ධනකුවේරයන් පිලිබඳ ව කල යුත්තේ කුමක් ද?

What is to be done about the plutocrats?

2018 නොවැම්බර් 2

ඔක්තෝබර් 30දා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය නිකුත් කල නව වාර්තාවක්, එක්සත් ජනපදය තුල සමාජ අසමානතාවේ වර්ධනයේ දී උරුමයෙන් ලත් ධනයෙහි භූමිකාව අවධානයට ලක්කරයි. එක්සත් ජනපදය තුල ධනවත් ම පුද්ගලයන් 400 දෙනා පිලිබඳ ෆෝබ්ස් සඟරාවේ ලැයිස්තුව විශ්ලේෂනය කරන “බිලියනපතියන්ගේ නිධානය: 21වන ශතවර්ෂය තුල එක්සත් ජනපදයේ ධන උරුමයලත් පෙලපත්” නමැති මෙම වාර්තාව, එම ලැයිස්තුවේ සිටින්නන්ගෙන් තුනෙන් පංගුවක් දෙනා ඔවුන්ගේ ධනය මූලික වසයෙන් උපුටා ගත්තේ ඔවුන්ගේ දෙමාපියන් හෝ ඊටත් වඩා පැරනි සුපිරි ධනවතුන්ගේ පරම්පරාවකින් බව සොයාගනී.

ඇමරිකාව තුල සාමාන්‍ය නිවහනක ධනය යන්තමින් කඩාවැටෙද්දී, ධනවත් ම පෙලපත් තුන වන වෝල්ටන්ස්, කොච් සහෝදරයන් හා මාස් පවුල 1982 සිට තම ධනය ආසන්න වසයෙන් සියයට 6000කින් ඉහල යාම දැකගත් හ. පිලිවෙලින් සිල්ලර වෙලඳාම, තෙල් නිෂ්පාදනය හා ආහාර නිෂ්පාදනය මත පදනම් වන මෙම පවුල් තුනෙහි 2018 ඩොලරයට අනුව සැකසූ ඩොලර් බිලියන 348.7ක් වූ ඒකාබද්ධ ධනයකට 2018 දී හිමිකම් කී අතර 1982 දී එය ඩොලර් බිලියන 5.84ක් විය.

වෝල්ටන්වරු හත්දෙනා, කෝච්වරු දෙදෙනා සහ මාස්වරු හයදෙනාට අමතර ව, කාගිල් උරුමකරුවන් නවදෙනා, ජොන්සන්ස්වරු පස්දෙනා (ප්‍රතිනිර්මාන ආයෝජකයෝ), ප්‍රිට්ස්කර්වරු නවදෙනා (හයාත් හෝටල්), කොක්ස් මාධ්‍ය ධනස්කන්ධයට උරුමකම් කියන පස්දෙනා, ඩන්කන් තෙල් ධනස්කන්ධයට උරුමකම් කියන හතරදෙනා, ලෝඩර්වරු හතරදෙනා (සුවඳ විලවුන්), ජොන්සන් සහ ජොන්සන් රාජධානියේ බිලියනපතියන් හතරදෙනා, බාස් සහෝදරවරු හතරදෙනා (තෙල්) හා ස්ට්‍රයිකර්ස්වරු තුන්දෙනා (වෛද්‍ය උපකරන) යනාදී වසයෙන් ෆෝබ්ස් 400 ලැයිස්තුව, වාර්තාවේ අවධානයට ලක් වේ. ඉහල ම බිලියනපති පෙලපත් 15 සතුව ඩොලර් බිලියන 618ක ඒකාබද්ධ ධනයක් තිබේ.

ප්‍රථම එක්සත් ජනපද “සුඛෝපභෝගී යුගයේ” සිට වසර 100කින් පසුව රොකෆෙලර්ස්, මෙලන්ස්, කානෙගීස් හා ඩියුපොන්ට්ස් වැනි ආරම්භක පෙලපත් පවුල්වල යෝධ ධනය, පසු උරුමකරුවන් විශාල සංඛ්‍යාවක් අතර බෙදීගොස් ඇතිවා මෙන් ම (1980ට පෙර පැවති) ප්‍රගතිශීලී බදුගැසීම විසින් දියාරු කරනු ලැබ හෝ ඉතා අඩු සිද්ධි කිහිපයක දී සිදුවූවාක් මෙන් පදනම් ආයතනවලට මාරු කරනු ලැබ ඇත. ආරම්භක “හොර සාමිවරුන්ගේ” උරුමකරුවන් කිහිප දෙනෙක් දැන් ෆෝබ්ස් 400 ලැයිස්තුවට අයත් වෙති. එහෙත් වාර්තාව මෙසේ සඳහන් කරයි: “දෙවන සුඛෝපභෝගී යුගයේ දශක කිහිපයක් ගතවන තැන, දැන් පෙලපතින් ධනය හිමි පවුල් යලිත් වරක් ෆෝබ්ස් 400 ලැයිස්තුවේ පෙනී සිටිති. කලින් පැවති පෙලපත් මෙන් මෙම පවුල්වලින් කොටසක් ද ඔවුන්ගේ ධනය හා බලය ආරක්ෂා කර ප්‍රසාරනය කරගැනීම සඳහා ඔවුන්ගේ ධනයේ හා බලයේ සැලකිය යුතු පංගුවක් ආර්ථිකයේ නීති කූටෝපායන්ට ලක්කිරීමට භාවිතා කරති.”

මෙම ධනවත් පවුල්, තථ්‍ය බාධාවකින් තොර ව ඊලඟ පරම්පරාවට ඔවුන්ගේ ධනය ලබා දීමට ඉඩ ලබාගැනීම පිනිස බදු හා උරුමක්කාර නීතිවල ප්‍රධාන වෙනස්කම් කිරීමට තල්ලුව දී ඇති අතර, එම වෙනස්කම්වල වාසි, ඇමරිකානු ජනගහනයේ පහල අර්ධයේ ධනයට වඩා වැඩි ඒකාබද්ධ ධනයකට හිමිකම් කියන, ජෙෆ් බෙසෝස්, වොරන් බුෆෙ හා බිල් ගේට්ස් යන තිදෙනා විසින් පුද්ගලාරෝපනය කරන සුපිරි ධනවතුන්ගේ නව ස්ථරයක් විසින් ලබාගනී.

එහෙත් ඇමරිකානු සමාජ හා දේශපාලන ජීවිතය මත ඔවුන්ගේ බලපෑම, ක්ෂනික ධන සමුච්ඡයකරනයට හා පවුල්වල ධනස්කන්ධය සුරක්ෂිත කරගැනීමට වඩා බොහෝ ඈතට දිව යයි. එක්සත් ජනපද මහබැංකුව වන ෆෙඩරල් රිසර්ව් මන්ඩලයේ හිටපු සභාපතිවරයා ලෙස මෙම ස්ථරයේ දේශපාලන හා සමාජ මනෝගතිය පිලිබඳ ව සමීප ව දන්නා තැනැත්තා වන පෝල් වෝල්කර්, අතිමහත් ලෙස ධනවත් තුනී ප්‍රභූවක් සමාජය පාලනය කිරීමේ අන්තරායන් පිලිබඳ ව කර ඇති අනතුරු ඇඟවීමක් උපුටා දක්වමින් වාර්තාව ඇරඹේ.

“කේන්ද්‍රීය කාරනාව වන්නේ අප ධනකුවේරවාදයක් (ධනකුවේරයන් විසින් පාලිත සමාජයක්) බවට වර්ධනය වීම” යයි වෝල්කර් කීවේ ය. “තමන් ධනවත් වී ඇත්තේ තමන් දක්ෂ හා නිර්මානශීලී නිසා යයි ඒත්තු ගෙන සිටින යෝධ ලෙස ධනවත් පුද්ගලයන් විශාල පිරිසක් අප සතුව සිටී. ආන්ඩුවට අකැමති ඔවුන් බදු ගෙවීමටත් කැමති නැත.” ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පරිපාලනයන් විසින් එක හා සමාන ව බදු කප්පාදුවේ හා සීමාවන් ඉවත් කිරීමේ න්‍යාය පත්‍රය ක්‍රියාවට දමන්නේ මේ නිසා ය.

එදා මෙදා තුර ඉහල ම ප්‍රමානයන්ගෙන් පුද්ගලික ධනය ගොඩගසා ගැනීම යන එක ම අරමුන සඳහා ඇමරිකානු සමාජයේ සෑම අංශයක් ම යටත් කර ඇති ධනකුවේර ප්‍රභූවේ ශක්තිමත් වීම පසුගිය වසර 40 තුල දැකගෙන ඇත. පසුගිය දශක දෙක තුල ජාතික ආදායමේ සෑම වැඩිවීමක් ම උරාගෙන ඇති ඉහල ම සියයට එක, 2008 අර්බුදයේ පටන් ජාතික ධනයේ සෑම ඉහලයාමක් ම අත් කරගෙන තිබේ.

මෙම කාලසීමාව තුල ඇමරිකානු දේශපාලනය නාටකාකාර ව හා අවසානයක් රහිත යයි පෙනෙන ලෙස දකුනට මාරු වීමේ මූලික පන්ති හේතුව මෙය යි. හොඳ වැටුප් සහිත රැකියා, දීර්ඝ-කාලීන රැකියා සුරක්ෂිතතාව, ශිෂ්ට සම්පන්න රජයේ පාසල්, ප්‍රවාහනය, සෞඛ්‍යාරක්ෂනය පමනක් නො ව ජලසම්පාදනය හා අපවහන පද්ධති යනාදී සමාජ යටිතල පහසුකම් සියල්ල, ධනකුවේරයන්ගේ උමතු මට්ටමේ හා කිසිදා අවසන් නො වන ස්වයං-සමෘද්ධියට කැපකරනු ලැබ ඇත.

වැඩකරන ජනයාගේ රැකියා, ජීවන කොන්දේසි හා සමාජ ප්‍රතිලාභ විනාශ කිරීම, සංගත ඇමරිකාව සහ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ විසින් “මුදල් නැත” යයි ප්‍රකාශ කිරීම සමගින් අනවරත ව හා සෘජුව සාධාරනීකරනය කරනු ලැබේ. සුපිරි ධනවතුන්ගේ ධනස්කන්ධයන් කලින් සිතාගැනීමට වත් නො හැකි වූ මට්ටම්වලට පිම්බෙද්දී පවා මෙම මන්තරය පුනරුච්ඡාරනය කෙරේ. මෙහි සැබෑ අර්ථය වන්නේ “අපට සියලු මුදල් අවශ්‍ය නිසා ඔබ වෙනුවෙන් මුදල් නැත” යන්න යි. ධනකුවේරයන් නවීන සමාජයට දක්වන සම්බන්ධය, පිලිකාකාරක පටකයක් මානව ශරීරයට දක්වන සම්බන්ධය වැනි ම එකකි.

එම්මානුවෙල් සායෙස්, තෝමස් පිකටි හා ගේබ්‍රියල් සුක්මන් වැනි ආර්ථික විද්‍යාඥයන්ගේ සොයාගැනීම් ගලප්පන මෙම සංඛ්‍යාලේඛන ප්‍රසිද්ධ කිරීම මගින් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ජනතා සේවයක් ඉටුකර ඇත. එහෙත් එය විසින් ඉදිරියට දමන පිලිවෙත් වන උරුමක්කාර බද්ද හා සියයට 1ක වාර්ෂික ධනවතුන් සඳහා වන බද්ද ප්‍රතිස්ථාපනය කිරීම වැනි ඇල්මැරුනු ලිබරල් ප්‍රතිසංස්කරන, වර්තමාන සමාජ පර්යාය යටතේ බලාත්මක කරනු ලැබීමට ඇත්තේ දුබල හැකියාවකි. එම යෝජනාවන් ගෙන එනු ලබන්නේ ඩිමොක්‍රටික් පක්ෂය පිලිබඳ ව මිථ්‍යාවන් ද විශේෂයෙන් ම බර්නි සෑන්ඩර්ස් වර්ගයේ දේශපාලනඥයන් ඉදිරියට දැමීම ද දිරිමත් කිරීම පිනිස ය.

යථාර්ථයේ දී ඩිමොක්‍රටික් පක්ෂය ද රිපබ්ලිකන් පක්ෂය මෙන් ම බිලියනපතියන්ට ආබද්ධ වී ධනවාදය රැකීමට කැප වී සිටී. මූල්‍ය වංශාධිපති කල්ලිය, තමන් විසින් ඉහල සිට පහලට පාලනය කරන කොංග්‍රසය හා ජනාධිපති තනතුර යන යාන්ත්‍රනයන් හරහා එවැනි පිලිවෙත් අනුමත කිරීමට කිසිදා ඉඩදෙනු නැත. එයට වෙනස් ව, සංගත-පාලිත පක්ෂ දෙක ම විවෘත ව ආඥාදායකත්වය දෙසට හැරීම එක්සත් ජනපදය තුල දැන් පවතින ආදායම් අසමානතාවේ පරිමානය ප්‍රජාතන්ත්‍රවාදය සමග නො පෑහේ ය යන්න පිලිබඳ බලගතු ප්‍රදර්ශනයකි.

බිලියනපතියන්ගේ ආඥාදායකත්වයට ඇති එක ම යථාර්ථවාදී විකල්පය, සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තිය දේශපාලනික ව ස්වාධීන ලෙස බලමුලුගැන්වීම යි. කම්කරු පන්තියේ බැනරය විය යුත්තේ “සුපිරි ධනවතුන් මත මධ්‍යස්ථ බදුගැසීම යලි ස්ථාපනය කරනු” යන්න විය නො හැක. ඒ වෙනුවට, එය “සුපිරි ධනවතුන් අස්වාමික කරනු” යන්න විය යුතු ය. ප්‍රමුඛ කොට ම කම්කරුවන් විසින් නිෂ්පාදනය කරන ලද බිලියනපතියන්ගේ ධනය, පොදු යහපතට අවශ්‍ය සම්පත් සම්පාදනය කිරීම සඳහා රාජසන්තක කිරීම කම්කරු පන්තිය විසින් තමන්ගේ ඉලක්කය බවට පත් කරගත යුතු ය. පුද්ගලික ලාබය වෙනුවට මානව අවශ්‍යතා සඳහා සේවය කිරීම පිනිස ආර්ථික ජීවිතය සමාජවාදී ව ප්‍රතිසංවිධානය කිරීමේදී ප්‍රථම හා වඩාත් ම තීරනාත්මක පියවර මෙය වනු ඇත.

පැට්‍රික් මාටින්

Share this article: