ජවිපෙ මැර කල්ලි විසින් ට්‍රොට්ස්කිවාදී සටන්කරු ආර්.ඒ පිටවෙල ඝාතනය කොට තිස් වසරක් සැපිරෙයි

එස්. කේ. අයිරාංගනී විසිනි, 2018 නොවැම්බර් 21

ආර්.ඒ.පිටවල

සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) මැර කල්ලි විසින්, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස ) සාමාජික ආර්.ඒ. පිටවෙල (1952-1988) ඝාතනය කර, 2018 නොවැම්බර් 12දාට 30 වසරක්සැපිරෙයි. විකොස, ලෝක ට්‍රොට්ස්කිවාදී පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක), ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පුර්වගාමි සංවිධානය යි.

වෘත්තියෙන් නැටුම් ගුරුවරයෙකුවූ පිටවෙල, ඝාතනයට ලක් වන විට 36 වැනි වියෙහි පසු විය. ජවිපෙ ඝාතක කල්ලි විසින් ඔහු ඝාතනය කෙරුනේ, දෙමල ජනයාට එරෙහි ධනේශ්වර රාජ්‍යයේ වාර්ගික යුද්ධයට උඩගෙඩි දෙමින් ජවිපෙ ගෙන ගිය වර්ගවාදී දක්ෂිනාංශික උද්ඝෝෂනයට එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් මෙන්ම අනෙකුත් පීඩිතයන් බලමුලු ගැන්වීමට ඔහු සටන් වැදීම නිසා ය.

පිටවෙල ඝාතනයට ලක් කෙරුනු දින රාත්‍රී 7ට පමන වැලිමඩ හඟුන්නාවේ ඔහුගේ නිවසට ආ ඝාතකයෝ, අතරමංවූවෙකුට පාරක් අසා දැන ගැනීමේ ප්‍රෝඩාකාරී අවශ්‍යතාවක් පවසමින්, ඔහු ඉන් පිටතට කැඳවා ගෙන වෙඩි තබා මරා දැමූහ. අනතුරුව, ඔවුහු පිටවෙලගේ සිරුර අසල තිබූ ලයිට් කනුවක එල්ලුහ.

ජවිපෙ, පිටවෙලට අමතරව තවත් විකොස සාමාජිකයන් දෙදෙනෙකු, එනම් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සේවකයෙකු වූ 33 වියැති පී. එම්. ගුනපාල, 1988 දෙසැම්බර් 23දාත්, 27 වියැති හලාවත ග්‍රේෂන් ගීකියනගේ 1989 ජූනි 23දාත් ඝාතනය කලේ ය.

සිය ජීවිතයේ දශකයකට අධික කාලයක්, සිංහල කම්කරුවන් අතර මෙන් ම, ඔහු ජීවත් වූ වැලිමඩ ප්‍රදේශයේ දෙමල වතු කම්කරුවන් අතර හා ගම්බද දුගී ගොවීන් සහ තරුනයන් අතර විකොස ක්‍රියාමාර්ගය සඳහා පිටවෙල සටන් වැදුනි. මෙම අරගලයේ දී එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ මැර තර්ජන වලට මෙන් ම රාජ්‍ය දඩයමට මුහුන දීමට ඔහුට සිදු විය.

ලංකා ගුරු සංගමයේ සෙසු විකොස සාමාජිකයන් සමග එක්ව, එහි මාධ්‍යමිකවාදී නායකත්වයේ ජාතිකවාදී සහ සින්ඩිකල්වාදී පිලිවෙතට එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත ගුරුවරුන් බලමුලූ ගැන්වීමට ඔහු සටන් කලේ ය.

එජාප ආන්ඩුව විසින් ලක්ෂයක් කම්කරුවන් රැකියා වෙන් දොට්ට දැමුනු 1980 මහ වර්ජනයේ දී රැකියාව අහිමි වූ පිටවෙල, යලි සේවයේ පිහිටුවනු ලැබුවේ වසර තුනකට පසුව ය. මැර තර්ජන හෝ රාජ්‍ය දඩයම, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයෙන් ඔහු පසු බැස්සවීමට සමත් නො වී ය.

විකොස සහ සසපයේ දේශපාලන හා න්‍යායික අරගලයේ පදනම වන්නේ, 1905 ලියොන් ට්‍රොට්ස්කි ඉදිරිපත් කල හා 1917 ඔක්තෝබර් විප්ලවය සාක්ෂාත්වූ, නොනවතින විප්ලව න්‍යායේ ක්‍රියා මාර්ගය සහ ඉදිරිදර්ශනය යි. එනම් ධනේශ්වර විප්ලවය කල් පසු වූ විජිත හා අර්ධ විජිත රටවල ප්‍රජාතන්ත්‍රීය අයිතීන්, ජාතික විමුක්තිය හා ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ප්‍රශ්න විසඳා ගත හැකි වන්නේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය තුලින් පමනක් බවය.

ජවිපෙ ආරම්භයේ සිටම කම්කරු පන්තියේ ඓතිහාසික විප්ලවවාදී ශක්‍යතාව ද මාක්ස්වාදය ද ප්‍රතික්ෂේප කලේ ය. ස්ටැලින්වාදයේ සහ මාඕවාදයේ අච්චාරුවක් ලෙස බිහිවූ සුලුධනේශ්වර අවස්ථාවාදී සංවිධානයක්වූ, එය පදනම් වුයේ ගම්බද ගොවිජනතාව මත ය.

එවකට විකොස ප්‍රධාන ලේකම් වූ කීර්ති බාලසූරිය, “ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය” නම් මාහැඟි කෘතිය තුල ජවිපෙ පන්ති පදනම මෙලෙස පැහැදිලි කලේ ය: “ලෝකය පුරාම ඒ ඒ රටවල මධ්‍යම පන්තිය විසින් ගොඩනගාගෙන ඇති ව්‍යාපාරයන්ට සමාන්තරව ලංකාවේ සිංහල සුලුධනේශ්වර පන්තිය ගොඩනගාගෙන ඇති ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුන ය. එහි අරමුන කම්කරු පන්තිය බලයට ගෙන ඒම නොවේ. සිංහල කම්කරුවන් සිංහල ගොවියන්, සිංහල පීඩිතයන්, සිංහල ශිෂ්‍යයන්, පමනක් නොව ජාතික ධනේශ්වර පන්තියේ කොටසක් ද ‘දේශප්‍රේමී’ පදනම මත එක් කර ‘දේශප්‍රේමී රාජ්‍ය යන්ත්‍රයක්’ තැනීම ය.”

1980 දශකය, ලෝක ධනේශ්වර අර්බුය උග්‍ර වූ අවධියකි. මේ අර්බුදය තුල ධනපති ආන්ඩු කම්කරු පීඩිත ජනතාවට එල්ල කල ප්‍රහාරවල කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට පහර දුන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ දක්ෂිනාංශික ආන්ඩුව, දෙමල ජනයාට විරුද්ධව 1983 වාර්ගික යුද්ධයක් ආරම්භ කලේ, ඔහුගේ ආන්ඩුවේ ආර්ථීක කප්පාදු පිලිවෙත් කෙරෙහි මහජන විරුද්ධත්වයක් වැඩෙන තතු තුලය.

1987 ඉන්දු ලංකා ගිවිසුම මගින් ලක්ෂයක ඉන්දියානු හමුදාවක් උතුරු නැගෙනහිරට ගෙන්වාගත් ආන්ඩුව, රටේ සෙසු ප්‍රදේශවලට ආන්ඩුවේ හමුදාව මුදා හරිමින් දරුනු රාජ්‍ය භීෂනයක් දිගේලි කලේ මෙම මහජන විරුද්ධත්වය මැඩීමට ය.

මෙම අර්බුදය තුල ධනපති රාජ්‍යයේ ෆැසිස්ට් මුගුරක් ලෙස ක්‍රියාත්මක වූ ජවිපෙ, ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව සිංහල ස්වෝත්තමවාදී දක්ෂිනාංශික උද්ඝෝෂනයක් ඉස්මත්තට ගත්තේ ය. “පලමුව මව්බිම දෙවනුව වැඩපල, පලමුව මව්බිම දෙවනුව ගොවිබිම” ආදී ප්‍රතිගාමී සටන් පාඨ යොදා ගනිමින්, කම්කරු පන්තියේ පන්ති සටන් මැඩීමට සහ බලහත්කාරී පෙලපාලිවලට මහජනතාව තල්ලු කරමින් රාජ්‍ය භීෂනයට සමගාමීව කම්කරු පන්තිය සහ එහි සංවිධාන ත්‍රස්ත කිරීමේ ව්‍යාපාරයක් එය ගෙන ගියේ ය.

පිටවෙලගේ ඝාතකයන් ඔහුට විරුද්ධව එල්ල කල චෝදනා පත්‍රයේ පලමු වැන්න වුයේ, ඔහු මෙම වර්ගවාදී උද්ඝෝෂනයේ පෙලපාලිවලට සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීම ය.

ජවිපෙ බලහත්කාරී පෙලපාලිවල එල්ලය, “කම්කරු පන්තියට එරෙහිව සුලු ධනේශ්වරය බලමුලූ ගන්වාගෙන අධිරාජ්‍යවාදයට සේවය කිරීමේ අධිකාරය ජවිපෙ අතට ගැනීම” බව පැහැදිලි කල විකොස, එය පරාජය කල හැක්කේ, “එජාප ආන්ඩුව පලවා හැර වෙනත් ධනපති ආන්ඩුවකට හෝ ෆැසිස්ට් ආඥාදායකත්වයකට ඉඩ නො තබා, ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක්” සඳහා කම්කරු පන්තිය සටන් වැදීමෙන් බව අවධාරනය කලේ ය.

රාජ්‍ය භීෂනයට හා ජවිපෙ ත්‍රස්ත ව්‍යාපාරයට විකොස මුහුන දුන්නේ, තමන් පදනම් වී සිටි මාක්ස්වාදී මූලධර්ම හා එම ව්‍යාපාරයේ ඓතිහාසික අරගලවල පාඩම්වල පන්නරයෙනි. රාජ්‍ය භීෂනයට සහ ජවිපෙ ත්‍රස්ත ව්‍යාපාරයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ උපායාත්මක පිලිවෙතක් ලෙස කම්කරු පන්තික පක්ෂවල එක්සත් පෙරමුනක් සඳහා විකොස සටන් වැදුනි.

එවන් අරගලයක් සපුරාම ප්‍රතික්ෂේප කල ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂය එජාප ආන්ඩුව සමග පෙල ගැසෙමින් ධනපති රාජ්‍ය බලඇනිවල ආධාරය පැතූහ. මෙම ද්‍රෝහී ක්‍රියාකලාපය තුඩු දුන්නේ, ගම්බද ගොවි ජනතා ඉදිරියේ කම්කරු පන්තිය අපකීර්තියට පත් කිරීමට සහ ධනේශ්වර රාජ්‍යයේ සහ ජවිපෙ අත් ශක්තිමත් කිරීමට ය. විකොස සාමාජිකයන් තිදෙනෙකු ඇතුලූ කම්කරු පන්තියේ සටන්කාමීන් සිය ගනනක් මරා දැමීමට ජවිපෙට හැකිවුයේ, එම පාවා දීමේ ප්‍රතිපලයක් ලෙසය.

කෙසේ නමුත්, හජාජාක සහයෝගය ඇතිව රාජ්‍ය භීෂනයට සහ ජවිපෙ ත්‍රස්ත ව්‍යාපාරයට එරෙහිව විකොස ගෙන ගිය අරගලය තුල ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ බලගතු සහයක් දිනා ගැනීමට පක්ෂය සමත් විය.

ජවිපෙ ත්‍රස්ත ව්‍යාපාරය ගම්බද ගොවිජනතාවට එරෙහි රුදුරු මර්දනයක් සඳහා නිමිත්තක් කර ගත් එජාප ආන්ඩුව, එම මර්දනයේ දී 60,000 ක් පමන ගම්බද තරුන ජනයා ඝාතනය කලේ ය.

මෙම රාජ්‍ය මර්දනය තුල එහි නායකයන් සහ සාමාජිකයන් කීප දහසක් ඝාතනය කල එජාප ආන්ඩුව, ජවිපෙ තහනම් කලේ ය.

බරපතල මහජන විරුද්ධත්වයක් මැද, 1994 දී, 17 වසරක එජාප ආන්ඩුව පරාජයට පත් වීමෙන් පසු ජවිපෙ යලි විවෘත දේශපාලනය ට පිවිසුනේ, වඩාත් දකුනට තලලුවූ හා ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයට වඩා සමීපවූ සංවිධානයක් ලෙසය.

1994 බලයට පත්වූ චන්ද්‍රිකා කුමාරතුංගගේ පරිවාස ආන්ඩුවට ඇතුලුවූ ජවිපෙ, පසුව ඇගේ ආන්ඩුවේ ඇමතිකම් තුනක් භාර ගත්තේ ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝගයන් යටතේ කුමාරතුංග ආන්ඩුව මහ ජනතාවට එරෙහිව ක්‍රියාවට දැමූ සියලු ප්‍රහාරවලට සහාය දුන් එය, ඛෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ)ට එරෙහි වාර්ගික යුද්ධයේ කසකරුවන් ලෙස ක්‍රියා කලේ ය.

2004 ඔවුන් කුමාරතුංග ආන්ඩුවෙන් ඉවත් වූයේ, පශ්චාත් සුනාමි සහන සැලැස්ම (පීටොම්ස්) යටතේ, සුනාමි ව්‍යසනයට මුහුන දුන් උතුරු -නැගෙනහිර දෙමල ජනයාට සහන සැලසීමට එරෙහිව ය.

2005 දී මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට සහය දුන් ජවිපෙ, ඔහු යලි ආරම්භ කල වාර්ගික යුද්ධයට මුලුමනින් ම කරබදු විය. රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරයන්ට විරුද්ධව පැන නැගුන පන්ති අරගල එල්ටීටීඊ “ත්‍රස්තවාදයට” සහය දෙන ඒවා ලෙස හංවඩු ගසමින්, එම අරගල මර්දනය කිරීමට රාජපක්ෂ ආන්ඩුවට සහය දුන්නේ ය.

2015 දී, එක්සත් ජනපද මෙහයුමක් මගින් චීනයට වඩා සමීපවූ රාජපක්ෂ තන්ත්‍රය ඉවත් කොට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට ජවිපෙ සෘජුව සහයෝගය දුනි. සිරිසේන බලයට දමා ගැනීම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ චීනයට එරෙහි මිලිටරි සැලසුම්වල සහ කලාපය තුල එහි භූ-දේශපාලන මූලෝපායට ශ්‍රී ලංකාව ගැට ගසා ගැනීමේ කොටසකි.

පසුගිය ඔක්තෝබර් 26 දා, ජනාධිපති සිරිසේන දේශපාලන කුමන්ත්‍රනයකින් රනිල් වික්‍රමසිංහ බලයෙන් පහකොට රාජපක්ෂ අගමැති තනතුරට පත් කලේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ජාමුඅ නියෝග මත ක්‍රියාවට දැමු ආර්ථීක කප්පාදු පිලිවෙත් වලට එරෙහිව කම්කරු-පීඩිත ජනයාගේ අරගල වැඩෙන තත්වයක් තුල ය.

සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රනය මගින් ඇඟවුම් කෙරුනේ, පන්ති අරගලයේ උත්සන්නවීම තුල වඩා ආඥාදායක පාලනයකට මාරුවීමට පාලක පන්තිය තීන්දු කර ඇති බවය.

ජවිපෙ, උද්ගත වී දේශපාලන අර්බුදයේ වාසිය ගසාකෑමට උත්සාහ කරන අතරම, එජාපය සහ දෙමල ජාතික සන්ධානය සමග පෙල ගැසෙමින් ධනපති ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුව මගින් ප්‍රජාතන්ත්‍රවාදය රැකිය හැකි බවට අතිශයින් ම ප්‍රතිගාමී මිථ්‍යාවක් මහජනතාව මත පැටවීමට තැත් කරයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය තුල තියුනුව මතු කර ඇත්තේ, ධනේශ්වර ආඥාදායකත්වයට එරෙහිව කම්කරු පන්තියේ රාජ්‍ය බලය පිලිබඳ ප්‍රශ්නය යි. එනම් කම්කරු පන්තියේ නායකත්වය යටතේ ගම්බද දුගීන් සහ අවශේෂ පීඩිත ජනයා පෙල ගස්වා ගනිමින්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරු-ගොවි ආන්ඩුවකට සටන් වැදීමයි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනපති ව්‍යවස්ථාව රැකීමේ ජවිපෙ ප්‍රතිගාමී උද්ඝෝෂනයේ අරමුන කම්කරු පන්තියේ එවන් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ඉස්මත්තට ඒම වැලක්වීම ය.

සමාජවාදය ගැන වරින් වර වාචාල දෙඩවිලි කල ජවිපෙ, දැන් සෘජුවම ධනේශ්වර රාජ්‍යයේ සහ අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයේ උත්සුකතාවන් ආරක්ෂා කරන්නක් බවට පරිවර්තනය වී ඇත.

2008 වසරේ ඇරැඹී වඩ වඩාත් ගැඹුරු වෙමින් පවත්නා ලෝක ධනේශ්වර අර්බුදයේ මූලයන් වන්නේ, ගෝලීය නිෂ්පාදන ආර්ථීකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතරත්, නිෂ්පාදනයේ සමාජයීයකරනය සහ ලාභය සඳහා නිෂ්පාදනය අතරත් පැන නැගී ඇති පරස්පර විරෝධයන් ය. ධනවාදයේ අර්බුදය තුන්වන ලෝක යුද්ධයක අන්තරාය සහ සෑම රටක් තුල ම වැඩ කරන ජනතාවට එරෙහි සමාජ ප්‍රතිවිප්ලවයේ ප්‍රහාර තියුනු කොට ඇත.

මෙම අර්බුදය තුල සියලූම ධනේශ්වර, සුලුධනේශ්වර සහ ව්‍යාජ වාම පක්ෂවල ජාතිකවාදී ක්‍රියාමාර්ගවල බංකොලොත්කම හා පරිහානිය තීව්‍ර කර ඇත. ජවිපෙ පරිහානිය සහ දකුනට යාම එහි කොටසකි.

තුන්වන ලෝක යුද්ධයක අන්තරායට සහ සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහිව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත බලමුලු ගැන්වීමට සටන් වදින්නේ, හජාජාක සහ එහි ශ්‍රී ලංකා ශාඛාව වන සසප පමනි.

පිටවෙල සටන් වැදුනේ මෙම ජාත්‍යන්තර ඉදිරිදර්ශනය උදෙසා ය. ධනවාදයේ ප්‍රහාරයට එරෙහිව අරගලයට තල්ලුවන කම්කරුවන් සහ තරුනයන් ඉදිරියේ ඇති එකම විකල්පය එම ඉදිරිදර්ශනය සඳහා සටන් වැදීම යි.

පිටවෙල පිලිබඳ මතකය දිගුකල් දිනේවා!

Share this article: