ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය ගැඹුරු වෙයි: අගමැති ජනාධිපතිගෙන් භේද වේ

Sri Lankan political crisis deepens: Prime minister splits from president

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2018 නොවැම්බර් 13

නොවැම්බර් 9 දා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරනයක් කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ව්‍යවස්ථා-විරෝධී තීරනයෙන් සිදුව ඇත්තේ, ඔහු විසින් ඔක්තෝබර් 26 දා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කොට එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කිරීමෙන් අනතුරු ව කොලඹ තුල හටගත් දේශපාලන අර්බුදය තවත් ගැඹුරුවීම පමනකි.

පාර්ලිමේන්තුව විසුරුවා පැය 36 ක් ගතවන්නටත් ප්‍රථම, සිරිසේන සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් (ශ්‍රීලනිප) රාජපක්ෂ හදිසියේ ඉවත් වූයේ, ඔහුගේ සහෝදර බැසිල් රාජපක්ෂ නායකත්වය දෙන සාපේක්ෂ ව අලුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට (ශ්‍රීලපොපෙ) බැඳී එහි මැතිවරන උද්ඝෝෂනය දියත් කිරීම සඳහා ය.

ගැඹුරුවන ආර්ථික අර්බුදයක, වැඩෙන සමාජ අතෘප්තියක හා තීව්‍ර වන භූදේශපාලන ආතතීන්ගේ පීඩනයට යටත් ව සිටින කොලඹ දේශපාලන සංස්ථාපිතය ඉරි තැලෙමින් පවතී. 2015 ජනාධිපතිවරනයේ දී සිරිසේන රාජපක්ෂගෙන් බිඳී, විපාර්ශ්වික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සහයෝගය ද එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ පිටුබලය ද සහිත ව ඔහුට විරුද්ධ ව තරඟ කලේ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස බිහි වූ සිරිසේනගේ හා එජාප නායක වික්‍රමසිංහගේ “ජාතික සමගි ආන්ඩුව” ඔක්තෝබර් 26 දා බිඳවැටුනි. දැන් රාජපක්ෂ සමග සිරිසේනගේ අවස්ථාවාදී යලි එකමුතුව ඇද වැටෙමින් තිබෙන්නේ, ජනාධිපතිවරයා හුදකලා කරමින් හා ශ්‍රී ලංකාවේ දීර්ඝ-කාලීන ධනේශ්වර පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රීලනිපය බිඳවැටිය හැකි තත්වයකට මුහුන දෙද්දී ය.

මේ වසර මුල දී රාජපක්ෂවරු ඔවුන්ගේ ශ්‍රීලනිප කන්ඩායම සමග පදනම් ව ශ්‍රීලපොපෙ තැනුවේ පලාත් පාලන මැතිවරනයට තරඟ කිරීම පිනිස ය. “සමගි” ආන්ඩුව කෙරෙහි පැවති මහජන විරුද්ධත්වය ගසා කෑ ඔවුහු එජාපය ද සිරිසේනගේ ශ්‍රීලනිප කන්ඩායම ද අභිබවමින් සැලකිය යුතු ජයග්‍රහනයක් ලබාගත් හ. කම්කරුවන්, ශිෂ්‍යයන් හා ගොවීන්ගේ වැඩ වර්ජන හා විරෝධතා තුලින් ද ප්‍රකාශයට පත්වන මෙම පුලුල් විරෝධය දේශපාලන අර්බුදයට හේතු වූ මූලික සාධකයකි.

රාජපක්ෂගේ තීරනයෙන් සිරිසේන දේශපාලනික ව දුර්වල කෙරී ඇති වුව ද පසුගිය දෙසතිය පුරා ඔහු ජනාධිපතිවරයා ලෙස සැලකිය යුතු රාජ්‍ය බලයක් සංකේන්ද්‍රනය කරගෙන ඇත. මිලිටරිය හා පොලීසිය මෙන් ම රාජ්‍ය මාධ්‍ය හා අනෙකුත් අමාත්‍යාංශ ඔහු විසින් පාලනය කරයි. දැනට මත් අවස්ථා දෙකක දී විවෘත ලෙස ව්‍යවස්ථාව මුලුමනින්ම නො තකා ක්‍රියාකර තිබෙන සිරිසේනට, බලයේ රැඳී සිටීම සඳහා දරන මංමුලා සහගත ප්‍රයත්නයක දී විධායක ජනාධිපති ධුරයේ ආඥාදායක බලතල භාවිතා කල හැකි ය.

කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන්ට අනතුරු ඇඟවිය යුතු ය: පාලක පන්තියේ කිසිදු කන්ඩායමක් වැඩකරන ජනයාගේ මූලික අයිතීන් ආරක්ෂා නො කරනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) හා මහ ව්‍යාපාරිකයේ කප්පාදු නියෝගයන් ඔවුන් විසින් අනුකම්පා විරහිත ව ක්‍රියාවට දමනු ඇත. මහ ව්‍යාපාරිකයේ මෙම දේශපාලනඥයන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බවට කරන ව්‍යාජ කියාපෑම් ප්‍රතික්ෂේප කල යුතු ය.

“මහ මැතිවරනයක් ජනතාවගේ කැමැත්ත ස්ථාපිත කොට ස්ථාවර රටකට මාවත පාදනු ඇතැ”යි මහින්ද රාජපක්ෂ නොවැම්බර් 10දා ට්විටර් පනිවුඩයක සඳහන් කලේ ය. එදින ම ප්‍රසිද්ධ රැස්වීමක කතා කල ඔහුගේ බාල සහෝදර හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, “රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට මීට වඩා ශක්තිමත් පියවරක් නැතැ”යි කීවේ ය.

එහෙත් බලයේ සිටිය දී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධය අනුකම්පා විරහිත ව ක්‍රියාවට දැමීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සහෝදරයා යන දෙදෙනා ම කුප්‍රකට ය. 2009 දී ආන්ඩුවේ අවසන් ප්‍රහාරයේ දී දසදහස් ගනන් සිවිල් වැසියන් සංහාරයට ලක් කෙරුනි. දේශපාලන විරුද්ධවාදීන්, ජනමාධ්‍යවේදීන් හා බොහෝ දෙමල තරුනයන් ඝාතනය කිරීමේ හෝ “අතුරුදන්” කිරීමේ පොලිස් රාජ්‍ය තන්ත්‍රයක් රාජපක්ෂ ආන්ඩුව විසින් පවත්වාගෙන ගියේය.

තව ද වික්‍රමසිංහ නෙරපීම, පාර්ලිමේන්තුව කල්දැමීම හා බියවැද්දීම හා අල්ලස් හරහා පාර්ලිමේන්තු බහුතරයක් ලබාගැනීමට නො හැකි වූ විට නව මහ මැතිවරනයක් කැඳවීම යන සිරිසේනගේ ව්‍යවස්ථා-විරෝධී ක්‍රියාවන්ට රාජපක්ෂ සහයෝගය දුන්නේ ය. මැතිවරනය ජනවාරි 5ට දින නියම කෙරී ඇති අතර නව පාර්ලිමේන්තුව ජනවාරි 17 දා කැඳවීමට යොදාගෙන ඇත්තේ කිසිදු පක්ෂයක් බහුතරයක් දිනා නො ගතහොත් රහස් කාමර තුල සිදු කෙරෙන අතයට ගනුදෙනු සඳහා ඇති තරම් කල් ලබාදෙමිනි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි ව, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) යන විරුද්ධ පක්ෂ දෙකේ ද සහයෝගය සහිත ව තමන් ශ්‍රේෂ්ඨාධිකරනයට යන බව එජාපය සපථ කොට ඇත. එහෙත් ජනාධිපතිගෙන් පත්වීම් ලැබූ අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරු ජනාධිපති විසින් පැහැදිලි ව ම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබුනත් ඔහුට පක්ෂ ව තීන්දුව දීමේ හැකියාවක් තිබේ.

එජාප නායකයෙකු හා හිටපු මුදල් ඇමති වන මංගල සමරවීර නොවැම්බර් 10දා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ, “ආඥාදායක” ජනාධිපති සිරිසේන විසින් “ව්‍යවස්ථාදායකය කම්පාකාරී ලෙස නෙරපීමට” එරෙහි ව තම පක්ෂය සටන් කරන බව යි. “ප්‍රජාතන්ත්‍රවාදියෙක්” ලෙස පෙනී සිටිමින් ඔහු මෙසේ කියා සිටියේ ය: “උසාවියේ දී අපි සටන් කරනවා, පාර්ලිමේන්තුවේදිත් ඡන්ද පොලේදිත් අපි සටන් කරනවා.”

රාජපක්ෂ හා සිරිසේන මෙන් එජාපය ද තමන්ට ගැලපෙන විට ව්‍යවස්ථාව යොදාගන්නා අතර නො ගැලපෙන විට ප්‍රජාතාන්ත්‍රික හා නෛතික සම්මතයන් බැහැර කරයි. 1948 දී දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහෝසි කිරීම, රුදුරු මහජන ආරක්ෂක පනත පැටවීම හා 1978 දී විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කිරීම වැනි ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන්ගේ දිගු ඉතිහාසයකට එජාපය හිමිකම් කියයි.

2015 මැතිවරනය හරහා රාජපක්ෂ ඉවත් කොට සිරිසේන පත්කිරීමට වොෂින්ටනය ක්‍රියාවට දැමූ තන්ත්‍ර-මාරු මෙහෙයුමේ කේන්ද්‍රීය චරිතය වූයේ එජාප නායක වික්‍රමසිංහ යි. එල්ටීටීඊයට එරෙහි රාජපක්ෂගේ යුද්ධයට සහයෝගය දෙමින් මිලිටරියේ අපරාධ නුදුටුවා සේ සිටි එක්සත් ජනපදය ඔහුගේ ආන්ඩුව චීනය සමග පැවැත්වූ සමීප සබඳතාවන්ට හතුරු විය.

පුදුමයට හේතුවක් නො වෙමින් එක්සත් ජනපදය සහ එහි සහකරුවෝ -එක්සත් රාජධානිය, යුරෝපා සංගමය හා දැන් ඕස්ටේ්‍රලියාව- එජාපය හා වික්‍රමසිංහ සමග පෙල ගැසී ඇත. පාර්ලිමේන්තුව විසුරුවීම “ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා එහි ජාත්‍යන්තර කීර්ති නාමය අනතුරේ හෙලන” බව ප්‍රකාශ කල එක්සත් ජනපදය විසින් නොවැම්බර් 10දා නිකුත් කල අලුත් ම ප්‍රකාශය, “තමන්ගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට හා නීතියේ පාලනයට ගරු කරන” ලෙස ජනාධිපතිට අනවමින් “ඔහු හා ඔහුගේ ආන්ඩු තෝරා පත් කරගත් යහපාලනයට හා ප්‍රජාතන්ත්‍රවාදයට කැපවන” ලෙස ඉල්ලා සිටියේ ය.

කොතරම් අත්‍යන්ත නරුමත්වයක් ද! ව්‍යාජ-වාම සංවිධාන, වෘත්තීය සමිති හා විවිධාකාර රාජ්‍ය නො වන සංවිධානවල සහයෝගය සමගින් “යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කිරීමක් ලෙස 2015 දී රාජපක්ෂ ඉවත් කිරීම සඳහා වොෂින්ටනය තිරය පිටුපස යාන්ත්‍රනයන් ක්‍රියාවට දැමී ය. එය වොෂින්ටනයට අවශ්‍ය පරිදි ක්‍රියා නො කරන්නේ නම්, කොලඹ තන්ත්‍රය තමන්ගේ ආස්ථානය සමග සිටින බව තහවුරු කරගැනීම පිනිස තවත් තන්ත්‍ර-මාරු මෙහෙයුමක් සිදුකිරීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පසුබට නො වනු ඇත.

මහා බලයන්ගේ මැදිහත් වීමෙන් සිදුවනු ඇත්තේ, පාලක පන්තිය බෙදා, වියවුල් කරමින් භීතියට පත්කල කොලඹ තියුනු දේශපාලන අර්බුදය වැඩිදියුනු කිරීම පමනකි. මේ සති අන්තයේ සන්ඬේ අයිලන්ඞ් කතුවැකිය මෙසේ ප්‍රකාශ කලේ ය: “මෙම ඊනියා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා රට කබලෙන් ලිපට ඇද දමා ඇත...ව්‍යාකූල තත්වයක ගිලී තිබෙන රටට ස්ථාවරත්වයක් ගෙන ඒම ප්‍රමුඛතාවකි.” එහෙත් එය කරන්නේ කෙසේදැයි කතුවැකිය ප්‍රකාශ කලේ නැත.

2015 දී මෙන් දැන් ද ව්‍යාජ-වාම නව සම සමාජ පක්ෂය (නසසප) එජාපය හා වික්‍රමසිංහ සමග පෙලගැසී ඇති අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි අනෙකුත් සංවිධාන “වාමාංශික පක්ෂ, සිවිල් සංවිධාන හා මහජන ව්‍යාපාරවල පුලුල් පෙරමුනක්” සඳහා යලිත් උද්ඝෝෂනය කිරීමට පටන්ගෙන ඇත. ඍජුව හෝ වක්‍ර ව ඔවුන් ක්‍රියාත්මක වන්නේ කම්කරුවන් හා තරුනයින් ඒ හෝ මේ ධනේශ්වර පක්ෂයට බැඳතබමින් අර්බුද ග්‍රස්ථ ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමේ අරගලය වැලැක්වීමට යි.

කම්කරු පන්තිය මේ සියලු දේශපාලන ප්‍රෝඩාකාරයන්ගෙන් බිඳී වෙන්විය යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් රැකගැනීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික හා දේශපාලන සූදානම් වීම් ඔවුන්ට කල්දැමිය නො හැක. සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් ඒකාබද්ධ ව තත්වය තමන්ගේ ම අතට ගැනීම තීරනාත්මක ය. සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන සටනේ දී නාගරික දුගීන් හා ගම්බද ජනයා රැලි කරගැනීම පිනිස සියලු ධනේශ්වර කන්ඩායම්වලට එරෙහි දේශපාලන අරගලයක් අවශ්‍ය ය. සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින ඉදිරිදර්ශනය මෙය යි.

Share this article: