ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: මන්ත්‍රීන් මිලදී ගැනීමේ සහ විකුනා ගැනීමේ කොල්ලය

ජනේන්ද්‍රී වීරගේ විසිනි, 2018 නොවැම්බර් 06

ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය තුල පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නින්දිත අන්දමේ කුනුවීමකට ලක්වී ඇති බවට උදාහරන වැඩකරන ජනතාවගේ ඇස් ඉදිරිපිට ප්‍රදර්ශනය වෙමින් තිබේ. එය නම්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීමත් සමග බහුතරය පෙන්වීමේ අර්බුදය තුල මන්ත්‍රීන් මිලදී ගැනීමේ හා විකුනා ගැනීමේ වෙන්දේසිය ඇරඹීමයි.

ඔක්තෝබර් 26 දින දේශපාලන කුමන්ත්‍රනයකින් රාජපක්ෂ අගමැති තනතුරේ දිවුරුම් දීමෙන් පසු සිරිසේන පාර්ලිමේන්තුව සති තුනකට කල් දැමුවේය. මෙම කල් දැමීම කලේ මූලිකවම මන්ත්‍රීන් බාගැනීමේ කොන්දේසි ඔහුට සකස් කරදීමට බවට අටුවා ටීකා අවශ්‍ය නොවේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 225 න් 113 ක බහුතරය පෙන්වීම ආන්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවයක් වන පසුබිමක රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීන් 96 දෙනාට අමතර ව තවත් 17 දෙනෙකු සොයාගැනීමේ හදිසි උවමනාවක් පවතී. ඒ විරුද්ධවාදී එක්සත් ජාතික පක්ෂය (එජාප) පාර්ලිමේන්තුවේ බහුතරයක් තමන්ට ඇතිබව ප්‍රකාශ කරන හෙයිනි.

ප්‍රසිද්ධ වේදිකාවේ දිගහැරුනු මන්ත්‍රීන් මිලදී ගැනීමේ සහ විකුනා ගැනීමේ කොල්ලයෙහි තවත් එක් ජවනිකාවක්, රුපියල් කෝටි 50 කට නැතිනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.8 කට තමා ව මිලදී ගැනීමට යෝජනාවක් පැමිනි බවට එජාප මන්ත්‍රී පාලිත රංගේ බන්ඩාර විසින් 2018.11.02 දින පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කිරීමත් සමඟ කරලියට විවර වී තිබේ. ඊට අමතර ව ජවිපෙ මන්ත්‍රීන් ද මිලදී ගැනීමට සැරසුනු බවත් ඔවුන් විසින් එය ප්‍රතික්ෂේප කල බවත් ප්‍රකාශ විය.

තවත් මන්ත්‍රීවරුන් රුපියල් කෝටි 20 ට 30 ට විකිනෙන බවට ප්‍රකාශ කෙරෙන පුවත්පත් වාර්තාවන් ද මෙම නින්දිත නාටකයෙහි අධම ස්වභාවය තවදුරටත් හෙලිදරව් කරමින් සිටී.

විශාල වරප්‍රසාද සහිත ඇමතිකම් සහ උප ඇමතිකම් දීම ද මෙම මිලදී ගැනීමේ සහ විකුනා ගැනීමේ කොල්ලයෙහි තවත් එක් ස්වරූපයකි. මෙය සනාථ කෙරෙන පිලිකුල් සහගත හඬපටයක් මේ දිනවල මූනු පොතෙහි සංසරනය වෙමින් පවතී. සිරිසේනගේ සමීපතමයෙකු වූ සහ හිටපු ඇමතිවරයෙකු වන එස්.බී. දිසානායක සහ රංගේ බන්ඩාර අතර සිදු කෙරුනු දුරකථන සංවාදයක් මෙම හඬපටයේ අන්තර්ගත වන අතර, සිරිසේන-රාජපක්ෂ කඳවුරට “පමා නොවී” පැමිනියහොත් “කැබිනට් අමාත්‍ය ධුරයක්” ලබාගත හැකි බවට දිසානායක එහිදී රංගේ බන්ඩාර ට පවසයි.

මෙලෙස මුදල් හෝ වෙනත් වරප්‍රසාදයන් තකා මන්ත්‍රීවරු ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිනෙන තත්වය හුදෙක් ශ්‍රී ලංකාවට පමනක් සීමා නොවේ. අසල්වැසි ඉන්දියාව මේ සම්බන්ධයෙන් කුප්‍රකටය. ධනේශ්වර සංවර්ධනය කල්පමා වූ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල සිට එක්සත් ජනපදය, මහා බි්‍රතාන්‍යය සහ ජර්මනිය වැනි “දියුනු” ධනපති රටවල් දක්වා වූ ලොව සෑම රටකම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ජරපත්වීම විවිධ ආකාරයෙන් ප්‍රකාශයට පත් වෙමින් පවතී.

පාර්ලිමේන්තුව යනු, කම්කරු-පීඩිත මහජනතාවගේ කවර හෝ අවශ්‍යතාවයක් නියෝජනය නොකරන, සිය ස්වාර්ථය පමනක්ම සලකන ධනපති වංචනිකයන් රොත්තකගේ ගුබ්බෑයමක් බව ලොවපුරා මහජනතාවන් ඉදිරියේ වඩාත් විශද වෙමින් පවතී.

පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ මහජන විශ්වාසය බිඳ වැටීම සම්බන්ධයෙන් ධනපති පාලක කොටස්වල උත්සුකය පෙන්නුම් කෙරෙන කතුවැකියක් නොවැම්බර් 05 වන දා ඬේලි මිරර් පුවත්පතේ පල විය. එහි මෙසේ සඳහන් වෙයි:

“දූෂිතම සමාජ ස්ථරයක් ලෙස දේශපාලනඥයන් දැක ගැනීමට සාමාන්‍ය මහජනතාව පටන් ගනිමින් සිටින අතර, ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම තරුන ජනයාගේ, විශ්වාසය ඛාදනය වීම සමස්තයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට නරකය. එබැවින් පාර්ලිමේන්තු පද්ධතිය තුල නරක අතට හැරෙමින් පවත්නා තත්වය අවසානයකට ගෙනඒම වඩවඩාත් අවශ්‍ය කෙරී ඇත.”

“දිග් ගැසෙන අර්බුදය හේතුවෙන් පාලනය කල නොහැකි තත්වයක් ඇතිවුවහොත්, වෙනසක් සඳහා, නැවත වරක් පාර්ලිමේන්තුවට පිටස්තර ක්‍රමයන් සලකා බැලීමට තරුනයන් යොමුවිය හැක.”

ඬේලි මිරර් කතුවරයා ඇතුලු පාලක පන්ති කොටස් සලිතව ඇත්තේ සමස්ත ධනපති ක්‍රමයට අභියෝග කෙරෙන “පාර්ලිමේන්තුවට පිටස්තර ක්‍රමයන් සලකා බැලීමට”, විශේෂයෙන්ම, ජාත්‍යන්තර සමාජවාදය දෙසට හැරී ගැනීමට තරුනයන් පෙලැඹෙතැයි යන භීතියෙනි.

ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මෙම ආන්තික කුනුවීම අහම්බයක් නොවේ. එය දශක හතක ප්‍රජාතන්ත්‍ර-විරෝධී කොලඹ ධනපති පාලනයේ කුලු ගැන්වීමකි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) මීට පෙරද පෙන්වාදුන් පරිදි ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තිය තම පාලනය තුල, අධිරාජ්‍යවාදයෙන් ස්වාධීන වීම සහ සුලුතර ජන වර්ගයන්ට සමාන අයිතිවාසිකම් හා සියල්ලන්ට ශිෂ්ට සම්පන්න ජීවන කොන්දේසි ස්ථාපිත කිරීම ඇතුලු මූලික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න විසඳීමට අසමර්ථ බව ඇති තරම් සනාථ කොට ඇත.

“ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට සමාජවාදී විසඳුමක් සඳහා සටන් කරනු” යන හිසින් සසප නිකුත් කල ප්‍රකාශයේ මෙසේ සඳහන් වෙයි: “ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ කර්තව්‍යයන් ඉෂ්ට කිරීම හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දැමිය හැක්කේ, ධනේශ්වරයේ සියලු කොටස්වලට විරුද්ධ ව ගම්බද දුගීන් හා පීඩිත ජනයා තමන් වටා රැලි කරගැනීමට දේශපාලන අරගලයක නිරත වන කම්කරු පන්තියට පමනි.”

“වැඩබිම්, නිවහන් ප්‍රදේශ හා වතුවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට මූලිකත්වය ගනිමින් ගම්බද දුගීන් හා තරුනයන් බලමුලු ගන්වාගෙන තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමට කම්කරුවන් පියවර ගත යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය, රාජ්‍ය බලය පිලිබඳ ප්‍රශ්නය හා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීම සමග බැඳී තිබේ.”

Share this article: