ශ්‍රී ලංකාවේ අර්බුදය: එජාප රැලිය පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස බලකරයි

Sri Lankan crisis: UNP rally demands reconvening of parliament

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 නොවැම්බර් 1

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පාර්ලිමේන්තුව වහා ම ආපසු කැඳවන ලෙස බලකිරීම සඳහා රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) අඟහරුවාදා කොලඹ දී විරෝධතාවක් පැවැත්වී ය.

මෙම විරෝධතාව, ඔක්තෝබර් 26දා දේශපාලන කුමන්ත්‍රනයක් සිදුකරමින් සිරිසේන විසින් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු යලි බලය ලබාගැනීම සඳහා එජාපය උත්සන්න කරන උද්ඝෝෂනයේ කොටසකි. සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කලේ ය.

දිගට ම අගමැති ධූරයේ සිටීම සඳහා තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන බව තහවුරු කිරීමට පාර්ලිමේන්තුව කැඳවන ලෙස වික්‍රමසිංහ කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, සිරිසේන ඔහුගේ ව්‍යවස්ථා-විරෝධී ක්‍රියාවෙන් පසු නොවැම්බර් 16දා දක්වා පාර්ලිමේන්තුව කල් තැබුවේය.

වික්‍රමසිංහ ඉවත් ව යාම ප්‍රතික්ෂේප කරමින් රැඳී සිටින අගමැති නිල නිවස වන කොලඹ කොල්ලුපිටියේ පිහිටි අරලියගහ මන්දිරය අවට විරෝධතාකරුවෝ රැස්වූ හ. පොලිස් වාර්තාවන්ට අනුව එජාපය සැලකිය යුතු 25,000ක් පමණ ජනයා මෙහෙයවාගෙන තිබුනි. 2,000කට වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදා තිබුන ද රැස්වූවන් විසුරුවීමට ඔවුන් උත්සාහ දැරුවේ නැත.

එජාපය මෙම විරෝධතාව “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නක්” ලෙස පින්තාරු කලේ ය. රනකාමියෙකු ලෙස පෙනී සිටිමින් රැස් ව සිටි පිරිසට වික්‍රමසිංහ මෙසේ කීවේ ය: “ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයේ බලතල පැහැරගෙන තිබෙනවා. අපි සටන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. අපි අරගලියගහ මන්දිරය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක් බවට පත් කර තිබෙනවා.”

මෙම “කුමන්ත්‍රනය අපගේ ජාතියේ පදනමට එනම් නීතිය, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාවට එල්ලවූ ප්‍රහාරයක් බැවින් සෑම ශ්‍රී ලාංකිකයෙකුට ම තර්ජනයක්” යයි වික්‍රමසිංහ ප්‍රකාශ කලේ ය.

වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෙකු ලෙස පෙනීසිටීම අමු ප්‍රෝඩාවකි. සිරිසේනගේ ව්‍යවස්ථා-විරෝධී ක්‍රියාව හෙලාදකින අතර, ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන් පිලිබඳ දිගු ඉතිහාසයක් ඇති එජාපය උත්සාහ දරන්නේ ජනතාව රවටා රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා එය ගෙනයන උද්ඝෝෂනය වටා රැලි කරගැනීමට යි.

2015 දී “ජාතික සමගි” ආන්ඩුව තනන ලද තැන් පටන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමමින් වික්‍රමසිංහ හා සිරිසේන ජීවන හා සමාජ කොන්දේසි වලට රුදුරු ප්‍රරහාර එල්ල කිරීමට නායකත්වය දෙමින් ඒවාට විරුද්ධ වූ කම්කරුවන්, ගොවීන් හා සිසුන්ට එරෙහි ව පොලීසිය හා මිලිටරිය මුදා හැරියහ.

2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ ඉවත් කිරීම සඳහා සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට තමන් සහයෝගය ගොනු කරගත්තේ කෙසේදැයි රැලිය අමතමින් වික්‍රමසිංහ කරුනු පැහැදිලි කලේය. එහෙත් තමන් හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඔවුන්ගේ අපේක්ෂකයා ලෙස සිරිසේනට පිටුබලය දීම සඳහා වොෂින්ටනය සමග කුමන්ත්‍රනයේ යෙදුනේ කෙසේදැයි වික්‍රමසිංහ විස්තර කලේ නැත. එසේ නොකලේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ඔහුගේ පූච්චානම්වල පල්ලයන නිසාය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි රාජපක්ෂගේ යුද්ධයට පිටුබලය දී තිබුනු වික්‍රමසිංහ, 2015 තන්ත්‍ර-මාරු මෙහෙයුමේ දී චීනයට එරෙහි වොෂින්ටනයේ මූලෝපායික පියවරයන්ට සේවය කලේය. එක්සත් ජනපදය ද එල්ටීටීඊයට එරෙහි රාජපක්ෂ යලි ඇරඹූ යුද්ධයට සහයෝගය දී තිබුනු නමුත් බීජිනය සමග ඔහුගේ වැඩෙන සබඳතාවන්ට හතුරු විය.

අඟහරුවාදා පැවති දක්ෂිනාංශික රැලියේ පලමු කථිකයන්ගෙන් එක් අයෙක් වූයේ ව්‍යාජ-වාම නව සම සමාජ පක්ෂයේ (නසසප) නායක වික්‍රමබාහු කරුනාරත්න යි. කිසිදු විලිලජ්ජාවක් නැතිව කරුනාරත්න මෙසේ පැවසී ය: “මම මෙතෙන්ට ආවෙ ප්‍රජාතන්ත්‍රවාදය මෙතන හින්ද. බලය කොල්ලකාගත් හොරුන් එලවල රනිල් වික්‍රමසිංහ ව යලි (අගමැති තනතුරට) පත්කරල ඔහුට විරුද්ධ අපරාධ නවත්තන්න.”

වික්‍රමසිංහ ව ප්‍රගතිශීලියෙක් හා ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙස පින්තාරු කරන නසසප නායකයා, එජාපයේ හා වික්‍රමසිංහගේ දීර්ඝකාලීන ස්ථීරසාර සහකරුවෙකි. 2015 දී වික්‍රමසිංහ ද සමගින් සිරිසේන වෙනුවෙන් ප්‍රමුඛ උද්ඝෝෂකයෙකු වූ කරුනාරත්න වසර හතරකට ආසන්න කාලයක් පුරා ආන්ඩුවේ කථිකයෙකු ලෙස ක්‍රියාකර ඇත්තේ එයට එරෙහි කම්කරුවන්ගේ අරගලවලට විරුද්ධ වෙමිනි.

ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෙකු නො වන වික්‍රමසිංහ, මහ ව්‍යාපාරිකයේ හා ආයෝජකයන්ගේ අවශ්‍යතාවන් රකින්නෙකි. ඔහුගේ පක්ෂය බලයේ සිටිය දී, 1980 මහා වැඩ වර්ජනයේ දී කම්කරුවන් 100,000ක් දොට්ට දැමීම, 1983 දී දෙමල සුලුතරයට එරෙහි දිග්ගැස්සුනු වාර්ගික යුද්ධය දියත් කිරීම හා 1989-90 සමයේ මරන 60,000කට හේතු වූ ගම්බද තරුන ජනයා ඝාතනය කිරීම ඇතුලු වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාර එල්ල කිරීමට වගකීම දරයි.

පාර්ලිමේන්තුව වහා ම යලි කැඳවාගැනීම සඳහා සිරිසේන මත පීඩනය යෙදීමට එජාපය දරන උත්සාහයේ කොටසක් ලෙස, කථානායක කරූ ජයසූරිය ඊයේ ජනාධිපතිවරයා මුනගැසුනි. පාර්ලිමේන්තුව යලි කැඳවීමට පක්ෂ ව මන්ත්‍රීවරුන් 126කගේ -මෙය ආසන 225කින් යුත් පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයකි- ඉල්ලීමක් ඔහු ඉදිරිපත් කල බව වාර්තා වේ. එම ඉල්ලීමේදී එජාපයට හා මුස්ලිම් ලීගයට විපක්ෂයේ දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) හා ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබේ.

මෙම ඉල්ලීම එකහෙලා ප්‍රතික්ෂේප කල සිරිසේන, තත්ත්වය “හිතකර” වූ විට තමන් පාර්ලිමේන්තුව කැඳවන බව කීවේ ය. සිරිසේන පාර්ලිමේන්තුව කල්දැමුවේ රාජපක්ෂගේ අගමැති ධූරයට අවශ්‍ය සහයෝගය ලබාගැනීම පිනිස මන්ත්‍රීවරුන් රවටා ගැනීම, බියවැද්දීම හා අල්ලස් දී බාගැනීම සඳහා කාලය ලබාගැනීමට ය.

නොවැම්බර් 5දා කොලඹ දී රැලියක් සඳහා සැලසුම් සාකච්ඡා කිරීමට සිරිසේන ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සංවිධායකවරුන් ව ඊයේ හමු විය. ඔහුගේ උද්ඝෝෂනයේ ස්වෝත්තමවාදී තානය ප්‍රකාශයට පත් කරමින් සිරිසේන සඳහන් කලේ, තමා ජනාධිපති ධූරයේ සිටිනතාක් කල් ෆෙඩරල් ව්‍යවස්ථාවකට ඉඩ නො දෙන බව යි.

දිවයිනේ උතුර හා නැගෙනහිර ටීඑන්ඒ නායකත්වය භාරදෙමින් පලාත් සභාවලට බලය ලබා දෙන ෆෙඩරල් ව්‍යවස්ථාවක් සිරිසේන හා වික්‍රමසිංහ විසින් සැලසුම් කරන්නේ යයි කියමින් දෙමල-විරෝධී මනෝගතිය ඇවිලවීමට රාජපක්ෂ හා ඔහුගේ සහකරුවෝ කලින් උත්සාහ දැරූ හ.

දේශපාලන අර්බුදය දික් ගැස්සෙද්දී කොලඹ රාජ්‍යතාන්ත්‍රික පොරපිටියක් බවට පත්වෙමින් තිබේ. එක්සත් ජනපදය සහ එහි සහකරුවන් වන එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, කැනඩාව හා ඕස්ට්‍රේලියාව ද සමගින් එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, පාර්ලිමේන්තුව වහා යලි කැඳවන ලෙස වික්‍රමසිංහ කරන ඉල්ලීමට සහයෝගය දෙමින් ඔහු සමග පෙලගැසෙති.

ඊයේ කථානායක ජයසූරිය මුනගැසුනු එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හවා සිංගර්, යුරෝපා සංගමයේ තානාපති ටුං-ලායි මාගු, බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස්, කැනඩා තානාපති ඬේවිඞ් මැක්කිනොන් හා ජර්මානු තානාපති ජෝර්න් රෝඬේ “ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය සලකා බලා පාර්ලිමේන්තුව කැඳවන්නැයි” උනන්දු කල හ.

ඬේලි මිරර් පත්‍රයේ වාර්තාවකට අනුව, කථානායක කාර්යාලයෙන් නිකුත් කල ප්‍රකාශයක සඳහන් වූයේ “මෙම රාජ්‍යතාන්ත්‍රිකයන් සිද්ධීන්ගේ ක්ෂනික දේශපාලන හැරුම ගැන කනස්සල්ල පලකල” බවත් එය රටට “අහිතකර ප්‍රතිවිපාක” ගෙනදෙන බවට අනතුරු හැඟවූ බවත්ය- එනම් සම්බාධක පනවන බවට අනතුරු ඇඟවීමකි. “වර්තමාන දේශපාලන තත්ත්වය අරබයා රාජ්‍යතාන්ත්‍රික පියවර ගැනීමට හදිසි නො වන” ලෙස කථානායකවරයා එම තානපතියන්ට කියා සිටි බව වාර්තා වේ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලූ කාං වාර්තාකරුවන්ට කීවේ, චීනය “ශ්‍රී ලංකාවේ තත්ත්වයේ වෙනස්වීම් සමීප ව අධ්‍යයනය කරමින් සිටින” බව යි. එක්සත් ජනපදය හා එහි සහකරුවන්ට වෙනස් ව ලූ කියා සිටියේ “ශ්‍රී ලංකාවේ වෙනස් වීම් අභ්‍යන්තර කරුනක්” බවත් චීනය “මැදිහත් නො වීමේ පිලිවෙතක්” අනුගමනය කරන බවත් ය. එහෙත් රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීම සාදරයෙන් පිලිගැනීම මගින් චීන ජනාධිපති ෂි ජිංපිං චීනය සිටින්නේ කවර පැත්තේදැයි දැනට මත් පෙන්නුම් කර ඇත.

පොරවැදී සිටින පාලක පන්තියේ කන්ඩායම් බලයේ ලීවරය අල්ලා ගැනීම සඳහා අරගලය ගෙන යද්දී මෙම භූ-දේශපාලනික ප්‍රතිමල්ලතාවන් කොලඹ දේශපාලන අර්බුදය වැඩිදියුනු කරනු ඇත. අනුයාත ආන්ඩු විසින් පටවනු ලබන කප්පාදු න්‍යාය පත්‍රය කෙරෙහි කම්කරුවන් අතර වර්ධනය වන ව්‍යාපාරයට බිය වන මෙම දෙපාර්ශවය ම, බලය ගත්විට එම මහජන විරෝධය මැඩීමට උත්සාහ දරමින් පොලිස් රාජ්‍ය පියවර යොදාගැනීමට පසුබට නො වනු ඇත.

Share this article: