තවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකින්, ශ්‍රී ලංකාවේ ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවයි

In another anti-democratic act: Sri Lankan president dissolves parliament

කේ.රත්නායක විසිනි , 2018 නොවැම්බර් 10

රටේ ව්‍යවස්ථාව විවෘතවම උල්ලංඝනය කල ශ්‍රි ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිල වශයෙන් එහි කාලය අවසන් වීමට දෙවසරකට පෙර ඊයේ පාර්ලිමේන්තුව විසුරුවේය. පෙර දින රාත්‍රියේ නිකුත් කල ගැසට් නිවේදනයට අනුව ජනවාරි 5 වෙනිදා නව මැතිවරනය පැවැත්වෙන අතර ජනවාරි 17 වෙනිදා නව පාර්ලිමේන්තුව කැඳවනු ලබයි.

සිරිසේනගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් ඉස්මත්තට ආවේ අගමැති රනිල් වික්‍රමසිංහ තනතුරෙන් පහ කොට එතැනට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කිරීමෙන් යන්තම් දෙසතියකට පසුව ය. ඉක්බිතිව, සිරිසේන පාර්ලිමේන්තුව නොවැම්බර් 16 දක්වා කල් තැබූ අතර දේශීය සහ විදේශීය විවේචන මධ්‍යයේ පසුව එය නොවැම්බර් 14 වෙනිදාට වෙනස් කලේ ය. පාර්ලිමේන්තුව කල් තැබීම සාමාජිකයන් 225 ක පාර්ලිමේන්තුව තුල බහුතරය සකසා ගැනීම පිනිස රාජපක්ෂට කාලය ලබාදීමේ අශික්ෂිත උපාමාරුවකි.

සිරිසේන විසින් ඊයේ පාර්ලිමේන්තුව විසුරුවාහරිනු ලැබුවේ බහුතරය සඳහා ඔහුට තවමත් මන්ත්‍රීවරුන් අටදෙනෙකු අඩු බව රාජපක්ෂ ප්‍රකාශ කර පැය කිහිපයකට පසුවය.

පෙනුන විදිහට සිරිසේනගේ තීන්දුව ගැන දැන සිටියේ රාජපක්ෂ ඇතුලු පුද්ගලයන් අතලොස්සක් පමනි. නිවේදනයට සුලු වේලාවකට පෙරාතුව සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ලේකම් රෝහන ලක්ෂ්මන් පියදාස පාර්ලිමේන්තුව නො විසුරුවන බව මාධ්‍යයට සඳහන් කලේ ය.

සිරිසේන අවම වශයෙන් තවත් ඇමතිවරුන් හත් දෙනෙකු ඊයේ කැබිනෙට්ටුවට පත්කල අතර ජනවාරි මැතිවරනය අවසන් වනතුරු සිරිසේන-රාජපක්ෂ නායකත්වය දෙන තන්ත්‍රය “භාරාකාර ආන්ඩුවක්” ලෙස ක්‍රියාත්මක වනු ඇතැයි ප්‍රකාශ කලේ ය.

සුවිශේෂවම, තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට පසුගිය සති තුන තුල සිරිසේන පියවරයන් මාලාවක් ගෙන ඇත. නීතිය හා සාමය සහ මාධ්‍ය අමාත්‍යංශයන් මෑත දී තමන් යටතට ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ඇමති ලෙස ඔහුගේ තනතුර උපයෝගී කර ගනිමින් ඊයේ හෙතෙම රජයේ මුද්‍රන දෙපාර්තමේන්තුවේ පාලනය ද සියතට ගත්තේය. දැනට ඔහු දරන අමාත්‍ය තනතුරු සංඛ්‍යාව 18 කි.

ඔහු ජනාධිපතිකමට පත්වීමෙන් සිව් මසකට පසු 2015 අප්‍රේල් මාසයේ සිරිසේන ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට 19 වෙනි සංශෝධනයක් ගෙන ආවේ ය. එය ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ දිසාවට තැබූ පියවරක් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනයක් ලෙස, සිරිසේන සහ වික්‍රමසිංහ, ශාස්ත්‍රාලිකයන් සහ ව්‍යාජ වම්මුන් සමග එක්ව ඔජ වැඩවූහ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු බහුතරයක් සහිත අගමැතිවරයෙක් නෙරපීමට ජනාධිපතිට පැවති බලය අහෝසි කෙරුනා පමනක් නොව, අවම වශයෙන් වසර හතරහමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවාලීමේ බලය ද ඉවත් කෙරුනි.

සිරිසේන දැන් මෙම වගන්ති දෙක ම උල්ලංඝනය කර ඇති අතර පැටලිලි සහිත නෛතික අර්ථකථනයන් යොදා ගනිමින් ජනාධිපතිගේ ඒකාධිපති බලතල යලි තහවුරු කිරීමේ උත්සාහයක යෙදී සිටියි. වෛරයට පාත්‍ර වූ මෙම විධායක බලතල හුදෙක්, ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව පමනක් නොව, අන් සියල්ලටමත් වඩා එකී බලතල තම ප්‍රජාතන්ත්‍රීය සහ සමාජ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සටන් කරන වැඩකරන ජනතාවට විරුද්ධව යොදා ගනු ඇත.

සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවනු ලැබීම එක් අතෙකින් වික්‍රමසිංහ නායකත්වය දෙන එජාපයත්, අනෙක් අතින් රාජපක්ෂ සමග ජනාධිපතිගේ නව සන්ධානය තුල “එක්සත් කෙරුනු” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) අතර තීව්‍ර වන ගැටුමේ කොටසකි.

අගමැති නිල නිවස වන අරලිය ගහ මන්දිරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කර ඇති වික්‍රමසිංහ ආන්ඩු බලය යලි අල්ලා ගැනීමට එජාප උද්ඝෝෂනය මෙහෙයවමින් සිටී. පාර්ලිමේන්තු මන්ත්‍රීන් බහුතරයක සහයෝගය තමන්ට ඇති බව ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව වහාම යලි කැඳවන ලෙස එජාප ය ඉල්ලයි.

ඊයේ නිවේදනයෙන් පසු, ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් නැති බවත් ඊට එරෙහිව ඔවුන් නෛතික අර්ථකතනයක් ලබා ගැනීමට උත්සාහ කරන බවත් එජාප නායකයන් පැවසුවේ ය. එහි තේරුම, සිරිසේනගේ ගැසට් නිවේදනය බල ශුන්‍ය කරන ලෙස එජාප ශ්‍රේෂ්ඨාධිකරනයෙන් ඉල්ලනු ඇත.

ජනාධිපතිගේ “නීති විරෝධී ක්‍රියාවට” එරෙහි එජාප උද්ඝෝෂනය තීව්‍ර කරන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන ඉදිරියට ගෙන යන බවත් හිටපු සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න ඊයේ අරලියගහ මන්දිරයේ දී මාධ්‍යයට සඳහන් කලේ ය.

වික්‍රමසිංහගේ සහ සිරිසේන- රාජපක්ෂ කඳවුරේ “ප්‍රජාතන්ත්‍රවාදී” මවා පෑම් මුලුමනින් ම වංචනික ය. 1948 නිල නිදහසෙන් පසු දසක හතක් ශ්‍රී ලංකාව පාලනය කල එජාප සහ ශ්‍රීලනිප ආන්ඩු විසින් සිංහල, දෙමල සහ මුස්ලිම් සියලුම වැඩ කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය සහ සමාජ අයිතීන් ක්‍රමානුකුලව මැඩලනු ලැබ ඇත.

ජනාධිපතිවරනය තරඟ කිරීම පිනිස 2014 නොවැම්බර් මාසයේ එකල පැවති රාජපක්ෂ ආන්ඩුවෙන් ඉවත් වූ සිරිසේන 2015 දී වික්‍රමසිංහ සමග ආන්ඩුවක් පිහිටුවීමට කුමන්ත්‍රනය කලේ ය. ඥාති සංග්‍රහය, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝනය කිරීම සහ වැඩ කරන ජනතාවගේ ජීවන කොන්දේසිවලට පහරදීම ගැන රාජපක්ෂට චෝදනා කරමින් “යහ පාලනය” තහවුරු කරන බවට සිරිසේන සහ වික්‍රමසිංහ පොරොන්දු වුහ. මෙම වාචාල දෙඩවිලි යොදා ගත්තේ 2005 සිට 2015 දක්වා දසකයක රාජපක්ෂගේ ආඥාදායක පාලනය කෙරෙහි කම්කරුවන් සහ දුගීන් තුල පැවති මහජන විරෝධය ගසාකෑම පිනිස ය.

සිරිසේන සහ වික්‍රමසිංහ සෘජුව මැදිහත්ව රාජපක්ෂ බලයෙන් පහ කිරීම එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලැබූ කුමන්ත්‍රනයකි. වොෂින්ටනය, රාජපක්ෂ අලුතෙන් ආරම්භ කල යුද්ධයට සහයෝගය දුන්නේ ය. එහෙත්, බෙයිජිනය සමග පැවති රාජපක්ෂ ගේ සම්බන්ධකම් බිඳ දමා චීනයට එරෙහි එක්සත් ජනපදයේ ප්‍රකෝපකාරී වැඩ කටයුතු සමග ශ්‍රී ලංකාව පෙල ගස්වා ගැනීම එයට අවශ්‍ය විය.

සිරිසේන නායකත්වය දෙන ශ්‍රීලනිප කන්ඩායම සහ වික්‍රමසිංහගේ එජාප අතර ගැටුම අහසින් කඩාපාත් වුන එකක් නොවේ. සිව් වසරකට පසු සිරිසේන වික්‍රමසිංහ තන්ත්‍රය කම්කරුවන් සහ දුගීන් අතර බරපතල ලෙස අපකීර්තියට පත්ව තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියෝග කර ඇති කප්පාදු පිලිවෙත්වලට සහ ප්‍රජාතන්ත්‍රීය සහ සමාජ අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට විරුද්ධව කම්කරුවන්ගේ, ගම්බද දුගීන්ගේ සහ ශිෂ්‍යයන්ගේ වැඩෙන අරගලවලින් මෙම වසර සලකුනු කෙරී ඇත.

පාර්ලිමේන්තුව යලි රැස්කිරීමේ වික්‍රමසිංහගේ සහ එජාප ඉල්ලීම් සමග එක්සත් ජනපදය සහ සෙසු ප්‍රධාන බලයන් පෙල ගැසෙමින් සිටිති. පසුගිය සිව් වසර තුල එය කොලඹ සමග වගාකරගත් දේශපාලන සහ මිලිටරි සම්බන්ධකම් වලට බලපෑමක් ඇති කරනු ඇතැයි විශේෂයෙන් ම, සැලකිලිමත් වූ වොෂින්ටනය ඒ සම්බන්ධයෙන් යලි යලිත් ප්‍රකාශ නිකුත් කර ඇත.

එක්සත් ජනපදයට පැහැදිලි සඥාවක් ලෙස, ඔහුගේ පාලනය යටතේ පවතින කවර හෝ ආන්ඩුවක් “බටහිර, නැගෙනහිර, උතුර හා දකුන සමග වැඩකිරීමට” කැමති බව පසුගිය සඳුදා ශ්‍රීලනිප රැලියක් අමතමින් රාජපක්ෂ සඳහන් කලේ ය.

සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිනු ලැබීම, ගැඹුරු ආර්ථික අර්බුදයකින් ඇලලී ඇති සහ ආඥාදායක පාලන රුපාකාරයන් දිසාවට තල්ලු වන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානිගත තත්වය පිලිබඳව තවත් ඇඟවීමකි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) එජාප සමග පෙල ගැසී ඇත. ශාස්ත්‍රාාලිකයන් සහ නව සම සමාජ පක්ෂය (නසසප) බඳු ව්‍යාජ වාම සංවිධාන ද වික්‍රමසිංහට සහයෝගය දෙති. කලින් මෙම පක්ෂ, 2015 සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය ස්ථාපිත කල එක්සත් ජනපදයේ පිටුබලය ලත් මෙහෙයුමට සහයෝගය දුන්හ.

කම්කරු පන්තිය ශ්‍රී ලංකාවේ ධනපති පන්තියේ සියලු කන්ඩායම් සහ ඔවුන්ගේ අවස්ථාවාදී සගයන් ප්‍රතික්ෂේප කල යුතු ය. එය මෙම සියලු දේශපාලන සංවිධාන වලින් ස්වාධීනව සංවිධානය වෙමින් සමාජවාදී සහ ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් මත පාදක වූ කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනට දුගීන් සහ පීඩිතයන් බලමුලු ගන්වා ගත යුතු ය.

මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන අංශය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානයයි.

Share this article: