ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව රාජපක්ෂගේ අගමැති ධූරය ප්‍රතික්ෂේප කරයි

Sri Lankan parliament rejects Rajapakse as prime minister

වසන්ත රූපසිංහ විසිනි, 2018 නොවැම්බර් 15

පාර්ලිමේන්තුව ඊයේ (14) අගමැති මහින්ද රාජපක්ෂට එරෙහි විශ්වාසභංගයක් සම්මත කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව තුල කර්කශ කන්ඩායමික කාකොටාගැනීම් දිගට ම පැවතීගෙන යයි. ඔක්තෝබර් 26දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ව්‍යවස්ථා-විරෝධී ලෙස රාජපක්ෂ අගමැති ධූරයට පත්කලේ ය.

ආසන 225කින් යුක්ත ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරු 122ක් විශ්වාසභංගය අනුමත කර ඇති බව, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කියා ඇත. ඔක්තෝබර් 28දා සිරිසේන විසින් කල්දැමීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වූ පලමු අවස්ථාව මෙය විය. මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී ඇමති තනතුරු ප්‍රදානය කිරීම ඇතුලු ගනුදෙනු හරහා ඔවුන්ගේ සහයෝගය ලබාගැනීමට රාජපක්ෂට ඉඩ ලබාදීම පිනිස සිරිසේන පාර්ලිමේන්තුව කල් දමා තිබුනි.

කෙසේ නමුත්, පාර්ලිමේන්තුව නොවැම්බර් 14දා යලි රැස්වූ විට බහුතරයක් ලබාගැනීමට රාජපක්ෂ අසමත් වන බව පැහැදිලි වූ විට එය සම්පූර්නයෙන් විසුරුවා, ජනවාරි 5දා මහ මැතිවරනයක් පැවැත්වෙන බව නිවේදනය කිරීමට සිරිසේන පියවර ගත්තේ ය.

ජනාධිපතිගේ ඒකපාක්ෂික හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවේ ව්‍යවස්ථානුකූලභාවය නොවැම්බර් 13දා ශ්‍රේෂ්ඨාධිකරනයේ දී අභියෝගයට ලක්කෙරුනි. ජනාධිපතිවරයාගේ විසිරවීම තහනම් කරමින් හා පාර්ලිමේන්තු සැසියකට මාවත විවෘත කරමින් අධිකරනය අතුරු තහනම් නියෝගයක් පැනවී ය.

විශ්වාසභංගය ඡන්දයට දැමීම සඳහා, කථානායක කරූ ජයසූරිය ඊයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවී ය. ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක හා තවත් ජවිපෙ මන්ත්‍රීවරයෙක් යෝජනාව ඉදිරිපත් කල හ. “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම” යන ව්‍යාජ කියාපෑම් යටතේ ජවිපෙ වික්‍රමසිංහ හා ඔහුගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග සම්මාදම් වෙමින් සිටී.

එජාප හා ජවිපෙ මන්ත්‍රීවරුන් විසින් අනුමත කරන ලදුව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) විසින් සහයෝගය දී ඉදිරිපත් කල යෝජනාව රාජපක්ෂගේ කැබිනට්ටුව හා ආන්ඩුව ගැන විශ්වාසයක් නැති බව ප්‍රකාශ කලේ ය.

ඇමතිවරුන් පස්දෙනෙකුගේ උපාමාරු මගින් පාර්ලිමේන්තුවේ රහස් මගඩිවල නින්දිත ස්වභාවය පෙන්නුම් කරනු ලැබී ය. වික්‍රමසිංහ හැරගොස් රාජපක්ෂගේ කඳවුරට එකතු වී තිබූ කිහිප දෙනෙක් ඊයේ යලි වික්‍රමසිංහට එකතු වූයේ විශ්වාසභංගයට අනුමැතිය දීම සඳහා ය.

පරාජය නිශ්චිත බව දැනගත් රාජපක්ෂ ඡන්ද විමසීමට පෙර පාර්ලිමේන්තුවෙන් පිට විය. එහෙත් ඔහුගේ ආධාරකරුවෝ පාර්ලිමේන්තු කටයුතු කඩාකල්පල් කිරීමට හා ඡන්දයක් වැලැක්වීමට සෑම උපායක් ම යෙදූහ. කථානායකවරයා අවසානයේ කටහඬින් ඡන්ද ලබාගැනීම සිදුකර විශ්වාසභංගය සම්මත වී ඇති බව ලහිලහියේ නිවේදනය කලේ ය. ඉන්පසු පාර්ලිමේන්තු සැසිය හදිසියේ ම අවසන් කරනු ලැබී ය.

ආරම්භයේ පටන් ම, රාජපක්ෂගේ සහකරුවෝ පාර්ලිමේන්තුව යලි කැඳවීම හෙලාදුටුවෝ ය. රාජපක්ෂගේ සමීප සගයෙක් වන හිටපු ඇමතිවරයෙක් හා ජාතික නිදහස් පෙරමුනේ නායකයා වන විමල් වීරවංශ, පාර්ලිමේන්තුව රැස්කිරීමට “නෛතික ප්‍රතිපාදන” නැතැයි මාධ්‍ය හමුවක දී කීවේ ය. තම කියාපෑම පැහැදිලි කිරීමට ඔහු උත්සාහ දැරුවේ නැත.

“දේශපාලනික අවිනිශ්චිත භාවයේ දින කිහිපයකට පසු අවස්ථාවට උචිත ව ක්‍රියාකරමින් අතිශය ජාතික වැදගත්කමක් සහිත මේ කාරනය සම්බන්ධව උචිත හදිසිභාවය හා සුපරීක්ෂාකාරීත්වයෙන් යුක්ත අධිකරනය සම්බන්ධයෙන් මහජනයාට ආඩම්බර විය හැකි” යයි කියමින් කථානායක ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරන නියෝගය උත්කර්ෂයට නැංවී ය. අධිකරනයේ දීර්ඝ-කාලීන නීච වාර්තාව සලකන කල ජයසූරියගේ කියාපෑම පැහැදිලි ව ම ව්‍යාජ ය.

ඊයේ විශ්වාසභංග ඡන්දයෙන් අනතුරුව පාර්ලිමේන්තුව අද යලි රැස්වන බවත් රටේ ව්‍යවස්ථාවට අනුව පියවර ගැනීම සඳහා යෝජනාවේ පිටපතක් හා ඡන්ද ප්‍රතිඵලය ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බවත් ජයසූරිය නිවේදනය කලේ ය.

ඊයේ සිද්ධීන් සම්බන්ධයෙන් සිරිසේන තවමත් කිසිවක් ප්‍රකාශ කර නැතත්, රාජපක්ෂගේ ආධාරකරුවෙක් වන ඇමති දිනේශ් ගුනවර්ධන ප්‍රකාශ කලේ විශ්වාසභංගය “නිසි ලෙස විවාදයට නො ගත්” නිසා තම කන්ඩායම ඡන්ද ප්‍රතිඵලය පිලි නො ගන්නා බව යි.

පසුගිය සති දෙකහමාර තුල සිරිසේන කල ව්‍යවස්ථා-විරෝධී ක්‍රියාවන් සමග සලකන කල ඔහු කුමක් කරනු ඇද්දැයි පැහැදිලි නැත. ඔහුගේ තීරනය හා ශ්‍රේෂ්ඨාධිකරනයේ අවසන් තීන්දුව කවරක් වුවත් පාලක ප්‍රභූවේ සියලු කන්ඩායම් වඩා ආඥාදායක පාලන රූපාකාරයන් වෙනුවෙන් එකාවන් ව පෙනී සිටිති.

ඊයේ ඡන්දය “ඓතිහාසික දිනයක්” බව ප්‍රකාශ කල වික්‍රමසිංහ, කථානායකවරයාගේ තීන්දුව අභියෝගයට ලක්කිරීමේ ඕනෑම උත්සාහයක් තවත් පාර්ලිමේන්තු ඡන්දයක් හරහා පරදවන බව වැඩිදුරටත් කීවේ ය. වික්‍රමසිංහගේ අදහස් පදනම් වන්නේ ජවිපෙ හා අනෙකුත් විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තුවේ දී ඔහුට දිගට ම සහයෝගය දෙනු ඇති ය යන විශ්වාසය මත ය.

“ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ” පූච්චානමට එකතු වෙමින් ටීඑන්ඒ නායක ආර්. සම්බන්දන් මෙසේ කීවේ ය: “අද ව්‍යවස්ථාදායකයේ ස්වෛරීභාවය තහවුරු වුනා. රට සාමාන්‍ය තත්වයට පත් කර, යහපාලනය තහවුරු කිරීමට කාලය මෙය යි.”

සම්බන්දන්ගේ “ප්‍රජාතන්ත්‍රවාදී” කියාපෑම් අවඥා සහගත ප්‍රෝඩාවකි. වැඩකරන ජනයාටත් විශේෂයෙන් ම දෙමල සුලුතරයටත් එරෙහි ව ගනන් නැති රුදුරු නීති සම්මත කිරීමේ කුප්‍රකට වාර්තාවක් පාර්ලිමේන්තුව සතුව ඇත.

එජාප, ශ්‍රීලනිප, ජවිපෙ හා ටීඑන්ඒ සහ ඔවුන්ගේ ව්‍යාජ-වාම ආවතේවකරුවන් ද වෘත්තීය සමිති ද යන සෑම ධනේශ්වර කන්ඩායමක් ම විසින් පොරොන්දු වන “සාමාන්‍ය තත්වය” මිරිඟුවකි. එවැනි කියාපෑම් භාවිතයට ගැනෙන්නේ, වොෂින්ටනයේ නියෝගයන්ට හා චීනයට එරෙහි එහි භූ-දේශපාලනික මෙහෙයුම්වලට ගැලපෙන පරිදි කොලඹ ආන්ඩුව විසින් රුදුරු කප්පාදු පිලිවෙත් හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීති සූදානම් කරද්දී, කම්කරුවන් හා තරුනයන් නිරායුද කිරීමට ය.

වර්ධනය වන දේශපාලනික හා ව්‍යවස්ථාමය අර්බුදය අධීක්ෂනය කරන සියලු ප්‍රධාන බලවතුන් අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කරයි.

රාජපක්ෂ චීනය සමග පවත්වාගෙන ගිය සමීප සබඳතා හේතුවෙන් ඔහු ව ඉවත් කර, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ස්ථාපිත කිරීම පිනිස 2015 දී සිදුකල තන්ත්‍ර-මාරු මෙහෙයුමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා ඉන්දියානු ආන්ඩුව ඍජු ව සම්බන්ධ විය. මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට හතුරු වොෂින්ටනය හා එහි සගයෝ, චීනය සමග පෙලගැසෙන ඕනෑම ආන්ඩුවක් බලයට ඒම වැලැක්වීමට අධිෂ්ඨානවත් වෙති.

ඔක්තෝබර් 31දා ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය නිකුත් කල ප්‍රකාශය, යටින් පවතින ආතතීන් විස්තර කලේ මෙසේ ය: “චීනයට එරෙහි යුද්ධයට සූදානම්වෙමින් තමන් සමග පෙලගැසෙන ලෙස රටවලට බලකරන එක්සත් ජනපදය ඉන්දු-පැසිෆික් කලාපය රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික හා මිලිටරි යුදපිටියක් බවට පරිවර්තනය කර ඇත. තමන්ගේ පැත්තෙන් ප්‍රගතිශීලී විසඳුමක් නොමැති චීනය එක්සත් ජනපදයට මුහුන දීම සඳහා ආර්ථික බලපෑම භාවිතා කිරීමට උත්සාහ දරමින් හා ආයුධ සන්නද්ධවෙමින් සිටී. ශ්‍රී ලංකාව හා කලාපය පුරා පාලක පන්ති, මානව වර්ගයාට ව්‍යසනයක් ගෙනඑමින් පමනක් අවසන් විය හැකි න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලයන් දෙක අතර යුද පෙරමුන ඉදිරියේ තම ජනතාවන් තබා ඇත.”

ඊයේ පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙන වෙලාවේ එහි සිටි එක්සත් ජනපද තානාපතිනි අලියානා බී. ටෙප්ලිට්ස් “ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවේ යෙදවෙනු දැකීම පිනිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යලි රැස්වීමට සහභාගි වීමට ලැබීම” තමන්ට ගෞරවයක් බව කීවා ය. සැසිවාරය “අතිශය සජීවී වුවත් මෙම ආයතනය, ව්‍යවස්ථාවේ භූමිකාව යලිත් ඉෂ්ට කිරීම ගැන [මට] සන්තෝෂයි” යනුවෙන් ඇය ප්‍රකාශ කලා ය.

“වර්තමාන වියවුලට සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් සොයාගන්නා ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට ගරු කරන ලෙසත් ශ්‍රී ලංකාවේ සියලු ම අදාල පක්ෂවලින්” යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉල්ලා සිටිය හ.

මෙම වර්ධනයන් යලි වතාවක් අවධාරනය කරන්නේ, ධනේශ්වරයේ සියලු කන්ඩායම් සහ ඔවුන්ගේ ව්‍යාජ-වාම හා වෘත්තීය සමිති ආවතේවකරුවන්ට විරුද්ධ දේශපාලන අරගලයක් තුල, සමාජවාදී සමානතා පක්ෂයේ ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ක්‍රියමාර්ගය මත, කම්කරු පන්තිය බලමුලුගැන්වීමේ හදිසි අවශ්‍යතාව යි.

Share this article: