“නීතියේ ආධිපත්‍යය” සහ “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ පාලක පන්ති කොටස් හඬ තලන්නේ ඇයි?

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 නොවැම්බර් 21

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන විසින්, ඔක්තෝබර් 26 වන දා, රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම තනතුරට පත් කිරීමෙන් හටගත් ශී‍්‍ර ලංකාවේ දේශපාලන අර්බුදය වඩවඩාත් ගැඹුරු වෙමින් වෙමින් පවතී.

ආන්ඩු මාරුවෙන් යන්තම් සති දෙකක් ගතවත්ම, එනම් නොවැම්බර් 9 වන දා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හලේය. ඉන් පැය 36 ක් යන්නට මත්තෙන්, ජනාධිපති සිරිසේන නායකත්වය උසුලන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් (ශී‍්‍රලනිප* ඉවත්වූ අගමැති රාජපක්ෂ, ඔහු වක‍්‍ර අන්දමින් නායකත්වය දෙන පොදුජන පෙරමුනට එක්වූයේ තමාට හිතවත් තවත් ශී‍්‍රලනිප මන්තී‍්‍රවරුන් රැුසක් සමගිනි.

අනතුරුව, නොවැම්බර් 12 වන දා, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිගේ ගැසට් නිවේදනය තාවකාලිකව බල රහිත කෙරෙන නියෝගයක්, ශ්‍රේෂ්ඨාධිකරනයෙන් නිකුත් කෙරුනි. ඒ අනුව නොවැම්බර් 14 වන දා පාර්ලිමේන්තුව යලි රැුස්වූ අතර, රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුවට එරෙහිව වික‍්‍රමසිංහ පාර්ශ්වය ඉදිරිපත් කල විශ්වාස භංග යෝජනාවක් එහිදී සම්මත කෙරුනි.

කෙසේ නමුත්, ජනාධිපති සිරිසේන එම යෝජනාව ප‍්‍රතික්ෂේප කල බැවින් වික‍්‍රමසිංහ පාර්ශ්වය දෙවන වරට ද එම යෝජනාව සම්මත කර ගත්තේය. ඒ අනුව රාජපක්ෂ තන්ත‍්‍රය දිගටම බලයේ රැුඳී සිටී. යෝජනාව ”ව්‍යවස්ථානුකූලව” සම්මත කර ගන්නා ලෙස ජනාධිපතිවරයා කල නියෝගයට අනුව තෙවන වරට ද යෝජනාව ගෙන ඒමට යත්න දරනුයේ් පාර්ලිමේන්තුව තුල යලි යලිත් සිදුවන ලේ හැලෙන කාකොටා ගැනීම් මධ්‍යයේ ය.

තමා ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්නේ යැයි මන්ත‍්‍රයක් සේ ජප කරන ජනාධිපති සිරිසේන, ඔක්තෝබර් 26 වන දා සිට ගත් පියවර සියල්ලම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී වන අතර, ධනපති පාලකයන් විසින් සම්මත කරගෙන ඇති ව්‍යවස්ථාවට ද ඉඳුරාම පටහැනිය.

දිනෙන් දින ගැඹුරු වන මෙම බරපතල දේශපාලන අර්බුදය මධ්‍යයේ ධනපති මාධ්‍ය අටුවාකරුවන්, ව්‍යාජ වම්මුන්, සිවිල් කි‍්‍රයාකාරිකයන් සහ ශාස්ත‍්‍රාලිකයන්, ”නීතියේ ආධිපත්‍යය” සහ ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය” සුරක්ෂිත කෙරෙන ”ශක්තිමත්” ව්‍යවස්ථාවක් සඳහා හඬ තැලීමට පටන් ගෙන ඇත.

මේ අතරින් ඬේලි මිරර් පුවත්පත කැපී පෙනෙයි. ”ව්‍යවස්ථාව ටින්කරින් (සංශෝධනය* කිරීම නවත්වනු” යන හිසින් නොවැම්බර් 12 වන දා එහි පලවූ කතුවැකියේ මෙසේ සඳහන් වෙයි: ”කිසියම් රටක ව්‍යවස්ථාව එම රටේ නීතියේ ආධිපත්‍යයේ පදනම ලෙස සැලකෙයි. රටේ ව්‍යවස්ථාව රකින බවට ශපථ වී බලයට පත් වූ සියලූ දේශපාලන පක්ෂවල නායකයෝ, එකී ව්‍යවස්ථාව (නිදහසේ සිට තුන්වැන්න සහ දෙවන ජනරජ ව්‍යවස්ථාව* නැවත නැවතත් සංශෝධනය කලහ. නැතහොත් එය පාගා පෙඩිකර දැමූහ..... කනගාටුව වන්නේ, බොහෝ අවස්ථාවන්හි සංශෝධන ගෙන ආවේ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට හෝ මහජනතාවට වැඩි නිදහසක් සම්පාදනය කිරීමට නොව, ඒ වෙනුවට පාලකයන්ගේ බලය තහවුරුකර ගැනීමට වීමයි.”

ඬේලි මිරර් කතුවැකියෙන් ප‍්‍රකාශයට පත් වනුයේ, ”නීතියේ ආධිපත්‍යයේ” පදනම ලෙස හුවා දක්වන ධනේශ්වර ව්‍යවස්ථාවමත් පාලකයන් විසින්ම නග්නව උල්ලංඝනය කෙරෙන තතු තුල, ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව*, විධායකය (ජනාධිපතිවරයා* සහ අධිකරනය යන ති‍්‍රත්වයෙන් සමතුලිතව ඇතැයි පැවසෙන, ධනේශ්වර පාලනයේ සමස්ත කුනුවීම කම්කරු-පීඩිත මහජනතාව හමුවේ අනාවරනය වීම සම්බන්ධයෙන් පාලක කවයන් සහ ඔවුනගේ නියෝජිතයන් අතර වැඩෙමින් පවතින බලගතු උත්සුකය යි.

එමෙන් ම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරනය දුන් අතුරු තහනම් නියෝගය පිලිබිඹු කරන්නේ, සිරිසේන විසින් නග්න ලෙස ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම කම්කරුවන් හා ගම්බද ජනයා අතර වර්ධනය වන වර්ජන හා විරෝධතා ව්‍යාපාරයකට වැඩිදුර ඉන්ධන සපයතැයි පාලක කවයන් තුල පවතින භීතිය යි.

”නීතියේ ආධිපත්‍යය” ස්ථාපිත කෙරෙන ”ස්ථාවර” ව්‍යවස්ථාවක් වෙනුවෙන් මොවුන් කරන හඬ තැලීම් පිටුපස පවතින්නේ එම භීතිය යි.

ඔවුන් කෑ මොර දෙන්නේ කිනම් පන්තියේ නීතිමය ආධිපත්‍යයක් සඳහා ද? කිනම් පන්තියේ ව්‍යවස්ථාමය ස්ථාවරභාවයක් සඳහා ද?

ධනේශ්වර නීතියේ ආධිපත්‍යය තහවුරු කර ගැනීීම සහ ධනේශ්වර ව්‍යවස්ථාව ”ස්ථාවර” කර ගැනීම ඔවුනගේ අභිලාෂය යි.

ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාව මෙන්ම සෑම ධනපති ව්‍යවස්ථාවකම අති මූලික ලක්ෂනයක් වනුයේ, ”නීතිය හමුවේ සියලූම පුරවැසියන් සමානය” වැනි වංචනික වදන් වලින් එහි ඇති පන්තිමය ස්වභාවය වසන් කොට තැබීමයි. ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තු පද්ධතිය ස්ථාපිත කිරීමේදී පාදක වූ සෝල්බරි ව්‍යවස්ථාව (1947* මේ සඳහා සම්භාව්‍ය උදාහරනයකි.

වෙනස්කම් වලට ඉඩ නොතබා විවිධ ජන කන්ඩායම් අතර සමානතාව ස්ථාපිත කිරීමේ කඩතුරාව යටතේ එම ව්‍යවස්ථාවට ඇතුලූ කරන ලද 29 වැනි වගන්තිය ”මහජනයා මුලාකොට ධනපති කොටස් අතර සන්ධානයකට මග පාදා ගැනීමක්” බව ඉන්දියානු සම්භවයකින් යුත් වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීමේ පනත 1948 දී ඉදිරිපත් වූ අවස්ථාවේ සනාථ වූ බව, සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් ගේ ”වර්ගවාදී යුද්ධයට විසිපස් වසරක්” නම් කෘතියෙන් පෙන්වා දෙයි. ජී.ජී. පොන්නම්බලම් ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා දෙමල කොන්ග‍්‍රසය මෙම ම්ලේච්ඡු පනතට පක්ෂව ඡුන්දය දුනි.

ශී‍්‍ර ලංකාවේ ධනපති පන්තිය තම පාලනය පවත්වාගෙන යාම සඳහා ආරම්භයේ සිටම භාවිතා කල මූලික ක‍්‍රමවේදය වන කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමේ කොටසක් ලෙස, ගෙන ආ එම පනතට එරෙහිව ජාත්‍යන්තරවාදී ආස්ථානයක් ගනිමින්, ඉන්දීය බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි* නායක කොල්වින් ආර්. ද සිල්වා පාර්ලිමේන්තුවේදී මෙසේ පැවසීය:

”ජාතිය වර්ගය සමග සමසීමිත කොට රාජ්‍යය ගොඩ නැගීමේදී ජන වර්ගය තීරනාත්මක සාධකය කරන ලද්දේ ද නිශ්චිතවම ෆැසිස්ට්වාදය යටතේ ය. .. මෙම ආන්ඩුව මෙම ප‍්‍රශ්නයට ප‍්‍රවිෂ්ට වන්නේ ධනපති පන්තියේ දෘෂ්ටි කෝනයෙන් නම් අප පක්ෂය-හතරවන ජාත්‍යන්තරය- මෙම ප‍්‍රශ්නයට ප‍්‍රවිෂ්ට වන්නේ නිර්ධන පන්තියේ එනම් කම්කරු පන්තියේ දෘෂ්ටි ආස්ථානයෙනි. එහි තේරුම නම් මෙම ප‍්‍රශ්නයට පන්ති දෘෂ්ටි කෝනයකින්, වාර්ගික ප‍්‍රශ්න වලින් ස්වාධීන සහ වාර්ගික ප‍්‍රශ්න වලට ඉහලින් පිහිටි දෘෂ්ටි කෝනයකින් අප පිවිසෙන බවයි. මේ රටේ වැඩ කරන ජනතාව ඔවුන්ගේ වාර්ගික උපත මත පදනම් ව එක්මිනිසෙකු සහ අනෙක් මිනිසෙකු අතර වෙනසක් තහවුරු කිරීමට අප සූදානම් නැත. අප කියන්නේ කම්කරුවෙක් ප‍්‍රථමයෙන් සහ ප‍්‍රමුඛව කම්කරුවෙකු කියාය.” ( පිටුව 55, ශී‍්‍ර ලංකාවේ සසප හි ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම්*

සෝල්බරි ව්‍යවස්ථාව යනු, කොලඹ සිංහල ධනපතියන් විසින් පාලනය කරන ”ඒකීය රාජ්‍යයක්” තුල රටෙහි සුලූතර ජනවර්ගයන්් බලහත්කාරයෙන් සිරකොට තැබීම සඳහා, බි‍්‍රතාන්‍ය විජිත පාලකයන් සහ කොලඹ සිංහල ධනපතියන් අතර සිදු කෙරුනු කුමන්ත‍්‍රනයකින් අටවන ලද උගුලකි.

ලොව සෑම ධනපති ව්‍යවස්ථාවකම පාහේ අන්තර්ගත කෙරී ඇති ”නීතිය හමුවේ සියලූම පුරවැසියන් සමානය” යන වංචනික සූත‍්‍රය සෝල්බරි ව්‍යවස්ථාවේ ද අන්තර්ගත වෙයි.

එම සූත‍්‍රය විශ්ලේශනය කරමින් වී.අයි. ලෙනින් මෙසේ පවසයි:

” ‘මහජන සාමය කඩ කල’ විටෙක, එනම් පීඩිත පන්තිය ඇත්තෙන්ම එහි වහල් තත්වය කඩකර වහල් නොවන තත්වයකින් හැසිරෙන්නට උත්සාහ කරන විටෙක, කම්කරුවන්ට විරුද්ධව යුද්ධ හමුදා යැවීමේ, යුද්ධ නීතිය පැනවීමේ, එවන් වෙනත් පියවර ගැනීමේ හැකියාව ධනපති පන්තියට සහතික කරදෙන ඉඩකඩ, නැතහොත්, විශේෂ ප‍්‍රතිපාදන නොසලසන ව්‍යවස්ථාවක් ඇති එකම රාජ්‍යයක් වත් නොමැත.” (පිටුව 25, ලෙනින් තෝරාගත් කෘති 9 වැනි වෙලූම, ප‍්‍රගති ප‍්‍රකාශන*

1947 දී, 1972 දී සහ 1978 සම්මත කෙරුනු ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාවන් ට ලෙනින්ගේ ඉහත ප‍්‍රකාශය මුලූමනින්ම වලංගු වෙයි.

අනෙක් අතට, නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් යනු ඒ ඒ වකවානුවේ පැවති පන්ති බලතුලනයේ ප‍්‍රකාශනයක් වන අතර, එම බලතුලනතාව තම වාසියට හරවා ගැනීමේ පාලක පන්ති පරිශ‍්‍රමයේ ප‍්‍රතිඵලයකි.

1978 දී ජේ.ආර්. ජයවර්ධන ගේ එජාප ආන්ඩුව විසින්, අසීමිත විධායක බලතල හිමි ජනාධිපතිත්වයක් සහිත ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම වටහාගත හැක්කේ එම සන්දර්භය තුලයි.

ජාත්‍යන්තර ධනපති පන්තිය, තම ලාභ රේට්ටු පහල වැටීමට ප‍්‍රතිචාරයක් ලෙස ලාභ ශ‍්‍රමය සොයා ලොවපුරා සැරිසැරීම ආරම්භ කල මෙම කාල වකවානුවේ, තම රටවල් ලාභ ශ‍්‍රම වේදිකාවන් බවට පත්කරදීම සඳහා කැප වූ ලොවපුරා ධනපති පාලකයන්, කම්කරු පන්තියෙන් එයට එල්ල වන ප‍්‍රතිරෝධය මැඞීම සඳහා රුදුරු මර්දන පිලිවෙත් වලට පැන ගත්හ.

1978 ව්‍යවස්ථාවෙන් සිදු කෙරුනේ, ”විවෘත ආර්ථික පිලිවෙත” නමින් ශී‍්‍ර ලංකාව ලාභ ශ‍්‍රම වේදිකාවක් බවට පත්කරදීම සඳහා ජයවර්ධන ආරම්භ කල වැඩකටයුතු වලට එරෙහිව පැන නැගීමට නියමිතව තිබූ කම්කරු පන්තික අරගල මැඞීමට අවශ්‍ය බලතල ගොනුකර ගැනීමයි.

ඉන් වසර දෙකකට පසු පැන නැගි 1980 මහ වැඩ වර්ජනයේදී ලක්ෂයක් කම්කරුවන් තම රැුකියා වලින් නෙරපා දැමුවේ එම ව්‍යවස්ථාවෙන් හිමිකර ගත් රුදුරු ප‍්‍රජාතන්ත‍්‍ර-විරොධී බලතල යොදා ගනිමිනි.

එතැන් පටන් කම්කරුවන්ගේ සහ අනෙකුත් පීඩිතයන්ගේ සමාජ සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් තලා දැමීම සඳහා අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් එම ව්‍යවස්ථාවෙන් හිමි කෙරුනු බලතල නැවත නැවතත් යොදා ගෙන ඇත. විශේෂයෙන්ම, දෙමල පීඩිත ජනයාට එරෙහිව දශක තුනක් ඔස්සේ ගෙනගිය වාර්ගික යුද්ධය 1983 දී ආරම්භ කිරීමටත්, එය දිගටම පවත්වාගෙන යාමටත් යොදාගනු ලැබුවේ ජනාධිපති සතු එම විධායක බලතලයි.

ඬේලි මිරර් කතුවරයා වැලපෙන්නේ වසර 40 ක් තුල එම රුදුරු ව්‍යවස්ථාව 19 වරක් සංශෝධනය කිරීම පිලිබඳව යි.

2015 දී තම හස්තය මෙහෙයවා පිහිටුවාගත් සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය බලයෙන් පහ වීමෙන් චීනයට එරෙහි තම මූලෝපායික වැඩ කටයුතු වලට වල කැපෙතැයි ගනන් බලන එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර බලයන් ජනාධිපති සිරිසේනට බලකර සිටින්නේ මෙම ”ව්‍යවස්ථාවට අනුකූලව” කි‍්‍රයා කරන ලෙසයි.

එම සූත‍්‍රයම හඬ තලමින්, එජාප, ජවිපෙ සහ දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ* ඇතුලූ ධනපති කොටස් මෙන්ම, ව්‍යාජ වම්මු සහ ඊනියා ශාස්ත‍්‍රාලිකයෝ අධිරාජ්‍යවාදීන් සමග පෙල ගැසී සිටිති.

”දිවි හිමියෙන් ආරක්ෂා කරන” බවට ඔවුන් විසින් ශපථ වන ”ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ” සැබෑ අර්ථය වටහා ගැනීමට නැවතත් ලෙනින් වෙත හැරෙමු. ”මධ්‍යතනවාදය සමග සංසන්දනය කරන කල ධනපති

ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් මහා ඉදිරි ගමනක් සලකුනු වන නමුත්, එය කවදත් සීමා කල, කප්පාදු කල, ව්‍යාජ සහ වංචනික ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ද, ධනපතියන්ට පාරාදීසයක් සහ සූරාකනු ලබන්නන්ට, දුප්පතුන්ට උගුලක් සහ රැුවටිල්ලක් ද වූයේය. ධනපති ක‍්‍රමය යටතේ එය එසේම පැවතීම නොවැලැක්විය හැකිය.””මහා ඉදිරි ගමනක්” යන පදය ලෙනින් විසින් යොදා ගනු ලබන්නේ ධනේශ්වර විප්ලවයන් හරහා වැඩවසම් ක‍්‍රමය පෙරලා දමා ධනපති

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ ඓතිහාසික පියවර සම්බන්ධයෙනි.

කෙසේ නමුත්, ශී‍්‍ර ලංකාව ඇතුලූ ධනේශ්වර සංවර්ධනය කල් පමා වූ රටවල ධනපති පන්තිය බලයට පැමිනියේ ධනපති ක‍්‍රමයේ එම ප‍්‍රගතිශීලී ලක්ෂන වියැකී ගොස්, මනුෂ්‍ය වර්ගයාට ඉමහත්ම ව්‍යසනයන් ගෙනදුන් ලෝක යුද්ධ දෙකක් නිර්මානය කල ඓතිහාසික වශයෙන් ප‍්‍රතිගාමී සමාජ ක‍්‍රමයක් ලෙස ධනපති ක‍්‍රමය පරිහානියට පත් වූ පසුවයි.

කල්පසු වූ ධනේශ්වර වර්ධනයක් සහිත රටවල පාලක පන්තීන්්, අධිරාජ්‍යවාදයෙන් ස්වාධීන වීම, සුලූ ජන වර්ගයන්ට සමාන අයිතිවාසිකම් හා සියල්ලන්ට ශිෂ්ට සම්පන්න ජීවන කොන්දේසි ස්ථාපිත කිරීම ඇතුලූ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රශ්න විසඳීමට අසමර්ථ බව ලියොන් ට්‍රොට්ස්කි තම ”නොනවතින විප්ලව න්‍යායෙන්” පෙන්වා දුන්නේය. දශක හතක ශ‍්‍රී ලංකාවේ ධනේශ්වර පාලනය විසින් එම න්‍යායයේ මූලධර්ම බලගතු ලෙස සනාථ කෙරී ඇත.

ධනපති ව්‍යවස්ථාවම උල්ලංඝනය කරමින් ජනාධිපති සිරිසේන ගත් පියවරයන්, ශ‍්‍රී ලංකාවට ඊනියා ”නිදහස” ලබාදුන් 1948 පටන් දිග්ගැස්සෙමින් ආ පාර්ලිමේන්තු පාලනය කුනුවීම කූටප‍්‍රාප්තියට පත්වීමයි.

ශී‍්‍ර ලංකාවේ දේශපාලන අර්බුදය වනාහි ”ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය ද විශේෂයෙන් ම එක්සත් ජනපදය හා චීනය අතර තියුනු වන භූ-දේශපාලනික ආතතීන් හා ජාත්‍යන්තර ව පුනර්ජීවනය වන පන්ති අරගල ද ලංකාව තුල තියුනු ලෙස ප‍්‍රකාශනයක් අත්පත් කරගැනීම” සටහන් කරන බව, ”ශී‍්‍ර ලංකාවේ දේශපාලන අර්බුදයට සමාජවාදී විසඳුමක්” යන හිසින් සමාජවාදී සමානතා පක්ෂය (සසප* නිකුත් කල ප‍්‍රකාශයෙන් පෙන්වා දෙයි.

ඒ සමගම, ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලය, රාජ්‍ය බලය පිලිබඳ ප‍්‍රශ්නය හා සමාජවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීම සමග බැඳී තිබෙන” බව සසප එම ප‍්‍රකාශනයෙන් පෙන්වා දුනි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස තෝරා පත්කර ගැනෙන සැබෑ ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් මගින් කම්කරු පන්තික ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කෙරෙන කම්කරු පන්තික ව්‍යවස්ථාවක් සම්පාදනය කරගත හැක්කේ මෙම අරගලය තුලින් පමනකි.

Share this article: