විපක්ෂය පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගනිද්දී ශ‍්‍රී ලංකාවේ දේශපාලන ව්‍යාකූලත්වය තීව‍්‍ර වේ

Political turmoil in Sri Lanka intensifies as opposition takes control of parliament

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 නොවැම්බර් 24

අගමැති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට ලබාදෙන අරමුදල් කප්පාදු කිරීමක් ඇතිකල හැකි මූලික කමිටුවක බහුතරය ආන්ඩු පක්ෂයට ලබාදීම කථානායකවරයා විසින් ඊයේ ප‍්‍රතික්ෂේප කල අවස්ථාවේ, රාජපක්ෂට සහයෝගය දෙන සියලු මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටව යාමත් සමග ශ‍්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය තවත් හැරීමක් සනිටුහන් කලේ ය.

රාජපක්ෂ හා නෙරපා දැමූ අගමැති රනිල් වික‍්‍රමසිංහ වටා සිටින කන්ඩායම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ (පීඑස්සී) පාලනය සඳහා තරඟ වැදුනේ, න්‍යාය පත‍්‍රය ද ඇතුලු පාර්ලිමේන්තුවේ කටයුතු නීර්නය කරන්නේ එය විසින් වන හෙයිනි.

තමා විසින් අගමැති තනතුරට පත්කල රාජපක්ෂට එරෙහි ව සම්මත කල විශ්වාසභංග යෝජනාවන්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූල නො වන බැවින්, පිලි නො ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, නොවැම්බර් 18 දා පැවති “සර්ව පාක්ෂික සමුලුවක” දී, වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) නායකත්වය දෙන විපක්ෂයට කීවේ ය.

ඊයේ පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයේ දී, පීඑස්සීයේ සංයුතිය පිලිබඳ ව පක්ෂ නායකයන්ට එකඟ වීමට නො හැකි වූ නිසා “ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප‍්‍රතිපාදන” අනුව තමන් ඊට සාමාජිකයන් යෝජනා කර ඇති බව කථානායක කරූ ජයසූරිය කීවේ ය.

රාජපක්ෂගේ කන්ඩායමට හා එජාපයට සාමාජිකයන් පස්දෙනා බැගින් නම් කල ජයසූරිය ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) හා දෙමල ජාතික සන්ධානයට (ටීඑන්ඒ) එක් අය බැගින් වෙන් කලේ ය. ජවිපෙ හා ටීඑන්ඒ එජාපයට සහයෝගය දෙන තතු තුල, දැන් පීඑස්සී කමිටුව ද කථානායක ධුරය ද පාලනය කරන්නේ විපක්ෂය විසිනි. ජයසූරිය එජාපයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි.

පීඑස්සීහි “ව්‍යවස්ථා-විරෝධී කමිටු සංයුතියට විරෝධය පෑම” සඳහා තම කන්ඩායම පාර්ලිමේන්තුවෙන් ඉවත් ව යන බව රාජපක්ෂගේ ආධාරකරුවෙක් වන ආන්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක දිනේශ් ගුනවර්ධන ප‍්‍රකාශ කලේ ය. පක්ෂපාතී ව කටයුතු කිරීම ගැන ඔහු ජයසූරියට චෝදනා කලේ ය.

ආන්ඩුවේ සාමාජිකයන් ඉවත් ව ගියපසු ඉතිරි ව සිටි මන්ත‍්‍රීන් 121 දෙනා ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත්ගේ යෝජනාවකට අනුව කමිටු නාමයෝජනා සඳහා විද්‍යුත් ක‍්‍රමයට ඡන්දය දුන් හ. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කප්පිත්තකු ලෙස පෙනී සිටින ජවිපෙ, යලි බලය ලබාගැනීම සඳහා එජාපය ගෙනයන යාන්ත‍්‍රනයන්ට සහයෝගය දෙමින් සිටී.

සිරිසේන විසින් නීති-විරෝධී ආකාරයෙන් පත්කල බවට ඔවුන් චෝදනා කරන, රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ආන්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය විරුද්ධ බව ඡන්දයෙන් පෙන් වූ බවට එජාප නායකයෝ උදම් ඇනූ හ.

වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කොට රාජපක්ෂ එම ධුරයට පත්කිරීම පිලිබඳ සිරිසේනට එරෙහි විවේචනයන් ප‍්‍රචාරනය සඳහා විපක්ෂ මන්ත‍්‍රීවරු සැන්දෑව වන තෙක් පාර්ලිමේන්තු සැසිය පවත්වාගෙන ගිය හ. ඔවුන්ගේ කතාවලින් පසු පාර්ලිමේන්තුව ඊලඟ අඟහරුවාදා තෙක් කල් තබන ලදී.

ආන්ඩුවේ ප‍්‍රධාන සංවිධායක ගුනවර්ධන පසුව පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කලේ, ආන්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කරන බවත් ඊලඟ න්‍යාය පත‍්‍රය පිලිබඳ ව සලකා බලා එයට සහභාගි වන්නේ ද යන්න පසුව තීරනය කරන බවත් ය.

පීඑස්සීය පාලනය කිරීම හරහා එජාපය නායකත්වය දෙන විපක්ෂය උත්සාහ කරන්නේ රාජපක්ෂ පරිපාලනය ඇදවැට්ටවීමට යි. ජවිපෙ හා ටීඑන්ඒ සහාය ලබන එය අගමැති කාර්යාලයට ලබා දෙන අරමුදල් අත්හිටුවීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, එය නොවැම්බර් 29 දා සම්මත කිරීමට නියමිත ය.

සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරනයේ දී විභාග කිරීම ආරම්භ කරන දෙසැම්බර් 4 දාට ප‍්‍රථමයෙන් තවත් විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂය සැලසුම් කරයි. පාර්ලිමේන්තුව විසුරුවා හරින බව නිවේදනය කරමින් සිරිසේන නිකුත් කල ගැසට් පත‍්‍රය නොවැම්බර් 12 දා අධිකරනය විසින් අත්හිටවූයේ පෙත්සම් වැඩිදුර විභාගයට ගැනීමේ අපේක්ෂාවෙනි.

එක්සත් ජනපදය හා අනෙකුත් ගෝලීය බලයන් 2015 දී සිරිසේනට රාජපක්ෂ පරාජය කිරීම සඳහා පිටුබලය දුන්නේ රාජපක්ෂ චීනයට වඩා සමීප යයි සලකන ලද නිසා ය. ඉන්දියාවේ ද සහයෝගය සහිත ව, ඉන්දු-පැසිෆික් කලාපය තුල චීනයේ අනුහසට එරෙහිව වොෂින්ටනය ගෙනයන සටනේ දී, ශ‍්‍රී ලංකාව මූලෝපායික ස්ථානයක පිහිටා තිබේ.

රාජපක්ෂ හා වික්‍රමසිංහ වටා තරඟවැදී සිටින කන්ඩායම් දෙක අතර පවත්නා තිත්ත අරගලයට, ඔවුන් ආරක්ෂා කරන්නේ කියන, මහජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික හෝ සමාජ අයිතීන් සමග කිසිදු සම්බන්ධයක් නැත. තරඟවැදී සිටින සියල්ලෝ, වැඩකරන ජනයාගේ හා දුගීන්ගේ වියදමින් ධනපති ලාභ පද්ධතිය ආරක්ෂා කරන පාලනයන්ට හවුල් වී ඇත. කන්ඩායම් දෙකම බලය ගැනීමට අපේක්ෂා කරන්නේ, වැඩෙන කම්කරු පන්තික විරෝධයට එරෙහි ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) මගින් නියෝග කරන කප්පාදු වැඩපිලිවෙල පැටවීම සඳහා ය.

දකුනේ බෙලිඅත්ත නගරයේ බ‍්‍රහස්පතින්දා පැවති රැලියක දී මැතිවරනයක් සඳහා තමන් කරන කැඳවුම රාජපක්ෂ යලි අවධාරනය කලේ ය. “මේ රටේ සියලු ජනතාව අර්බුදය විසඳීමට හොඳම ක‍්‍රමය මහජනතාව ඉදිරියට යාම බව ප‍්‍රකාශ කරනවා” යයි ඔහු කීවේ ගොවීන් හා කුඩා කර්මාන්තකරුවන්ට සහන පොරොන්දු වෙමිනි.

මෙය නරුම කියාපෑමකි. 2005 සිට 2015 දක්වා බලයේ සිටිය දී කම්කරු පන්තිය බෙදීමටත් සමාජ අයිතීන් මත ප‍්‍රහාරයට එරෙහි විරෝධය මර්දනය කිරීමටත් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධය රාජපක්ෂ විසින් යලි ඇරඹුවේ ය.

පෙබරවාරියේ පැවති පලාත් පාලන මැතිවරනයේ දී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ‍්‍රීලපොපෙ) බහුතරයක් දිනාගත් අවස්ථාවේ පටන් රාජපක්ෂ පාර්ලිමේන්තු මැතිවරනයක් සඳහා උද්ඝෝෂනය කර ඇත. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි පවතින මහජන විරෝධය ශ‍්‍රීලපොපෙට ගසාකෑමට හැකි යයි ගනන් බලමින් “ශක්තිමත් ආන්ඩුවක්” පිහිටුවීමට “අරාජක තත්වයෙන්” රට ගලවා ගැනීමටත් ඔහු පොරොන්දු විය.

කවර කන්ඩායමක් බලය අල්ලා ගත්ත ද එය කම්කරුවන් හා දුගීන් මත අනුකම්පා විරහිත ප‍්‍රහාර එල්ල කරනු ඇත. රටෙහි දුෂ්කර ආර්ථික ගැටලූ දේශපාලන අර්බුදය වැඩිදියුනු කරමින් දැන් වික‍්‍රමසිංහට සහාය දෙමින් සිටින ගෝලීය බලයන්ගේ පීඩනය ඉහල දමනු ඇත.

මේ සතියේ මූඩි වර්ගීකරන ඒජන්සිය ශ‍්‍රී ලංකාව පහත මට්ටමකට හෙලූ අතර, ජාමූඅ, “දේශපාලන තත්ත්වය සමහන් වන තෙක්” නය වැඩසටහන පිලිබඳ සාකච්ඡා ප‍්‍රමාද කරන බව කියා සිටියේ ය. පසුගිය සති හතර තුල පමනක් බැඳුම්කර වෙලඳපොලෙන් රුපියල් බිලියන 17.2 ක් පිටතට ගලා ගිය බව හා කොටස් වෙලඳපොලෙන් රුපියල් බිලියන 7.8 ක් ගලා ගිය බව රොයිටර් පුවත් සේවය වාර්තා කලේ ය. එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 180ට යන්තමින් අඩු මට්ටමකට ඊයේ, ශ‍්‍රී ලංකා රුපියල පහත වැටුනේ වසර ආරම්භයේ පටන් ආසන්න වසයෙන් සියයට 15ක අවප‍්‍රමානය වීමක් වාර්තා කරමිනි.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ මුදල් ඇමතිවරයා වූ මංගල සමරවීර ඔවුන්ගේ ආන්ඩුව “ශ්‍රී ලංකාවට දැවැන්ත නය ප‍්‍රමානයක් උරුම වූ නිසා මහජනයා මත හැකිතාක් අවම බරක් පැටවීමට උත්සාහ කරමින් ආර්ථිකය ඉතා පරිස්සමින් කලමනාකරනය කල” බව මාධ්‍ය හමුවක දී පැවසී ය. මෙය බොරුවකි. ජාමූඅ පිලිවෙත්හි කප්පිත්තකු වන සමරවවීර අනවරත විරෝධතා අවුලුවාලමින් කම්කරුවන් හා දුගීන් මත බර පැටවී ය.

පැවති පිලිවෙත් සමරවීර විසින් උත්කර්ෂයට නැංවීම, වික‍්‍රමසිංහ වේවා සිරිසේන හෝ රාජපක්ෂ වේවා කවුරුන් නායකත්වය දුන්න ද ඊලඟ ආන්ඩුවට මෙම ප‍්‍රහාර තීව‍්‍ර කිරීම හා එසේ කිරීම සඳහා ආඥාදායක පාලන රූපවලට හැරීම හැර වෙනත් විකල්පයක් නැති බවට කරන අනතුරු ඇඟවීමකි.

එක්සත් ජනපදය හා අනෙකුත් බලයන් වර්තමාන අර්බුදයේ දී ඔවුන්ගේ විකල්ප මත දිගට ම බර තබමින් සිටී. නොවැම්බර් 20දා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, නෝර්වේ, ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය, ඉන්දියාව, කොරියාව හා බංග්ලාදේශයේ කොලඹ රාජ්‍යතාන්ත‍්‍රිකයෝ ආර්. සම්බන්දන් නායකත්වය දෙන ටීඑන්ඒ මන්ත‍්‍රීවරු හමූ වූ හ.

එම හමුවෙන් පසු සම්බන්දන් මාධ්‍ය වෙත මෙසේ කීවේ ය: “ආන්ඩුවක් හෝ අගමැතිවරයෙක් නැති නිසා මේ සියලු උත්සාහයන් එකතැන තිබීම පිලිගත නො හැකියි. අර්බුදය ඉක්මනින් විසඳා ගැනීමට ක‍්‍රියාකල යුතු යි.” ඔහු මෙසේ ද කීවේ ය: “තමන්ට කල හැකි දෙය කරන බව රාජ්‍යතාන්ත‍්‍රිකයන් කියා තිබෙනවා.”

දෙමල ධනපති පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන ටීඑන්ඒ, එජාපය හා වික‍්‍රමසිංහ සමග වැඩකරමින් සිටී. වොෂින්ටනය සමග සමීප සබඳතා සහිත ටීඑන්ඒ, දෙමල ප‍්‍රභූවේ වරප‍්‍රසාද වෙනුවෙන් පමනක් නො ව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ භූ-දේශපාලනික අවශ්‍යතාවන්ට සේවය කිරීමට ද පෙනී සිටී.

මෙම පීඩනය යටතේ රාජපක්ෂ තම කැබිනට්ටුවට බදාදා මෙසේ කීවේ ය, “අනෙකුත් මූල්‍ය ආයතන හා ජාමූඅ සමග වැඩකිරීමට අපි අපේක්ෂා කරනවා.” ආර්ථික තත්ත්වය පිලිබඳ අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කිරීමට ද ඔහු යෝජනා කලේ ය.

ගෝලීය මූල්‍ය අර්බුදය හා දෙමල-විරෝධී යුද්ධය ආර්ථිකයට බලපෑම් කල නිසා රාජපක්ෂ 2009 දී ජාමූඅරමුදලෙන් ඇප නයක් සහතික කරගත්තේ ය. ජාමූඅ නය කොන්දේසිවලට සහනාධාර කැපීම සහ ආහාර, ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වැඩිකිරීම් ඇතුලත් විය. එල්ටීටීඊයට එරෙහි රාජපක්ෂගේ යුද්ධයට එක්සත් ජනපදය හා යුරෝපීය බලයන් සහයෝගය දුන්න ද චීනයෙන් ආධාර හා ආයෝජන පතා ඔහු ඒ දෙසට හැරුනු විට ඔහුට එරෙහි විය.

තරඟවැදී සිටින පාලක ප‍්‍රභූවේ මෙම කන්ඩායම් අතරින් කම්කරු පන්තියට තෝරාගැනීමක් නැත. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ ව්‍යාජ කයිවාරු පිටුපසින් ඔවුන් සූදානම් කරමින් සිටින්නේ ආඥාදායක පාලන රූපාකාරයන් ය.

ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වදින ස්වාධීන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට කම්කරුවන් වැඩපල, විශාල වතු හා නිවහන් ප‍්‍රදේශවල තමන්ගේ ම ක‍්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු ය.

Share this article: