හිටපු අගමැති ‘අඩු නපුර’ ලෙස හුවාදැක්වීම: කම්කරු පන්තියට අටවන තවත් උගුලක්

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2018 නොවැම්බර් 28

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සිය අගමැති රනිල් වික‍්‍රමසිංහ එම ධුරයෙන් පහකර මහින්ද රාජපක්ෂ එම ධුරයට පත්කිරීමේ දේශපාලන කුමන්ත‍්‍රනයෙන් මසකට ආසන්න කාලයක් ගතවෙද්දී ලංකාවේ පාලක ප‍්‍රභූවේ කර්කශ ඝට්ටනයන් නාටකාකාර ලෙස දිගහැරෙමින් පවතී. ගෙවුනු සති කිහිපයේදී මහජනතාව අත්දුටුවේ හිස සිට දෙපතුල දක්වා කුනුවී ගිය ලංකාවේ පාර්ලිමේන්තු පාලනය තුල ප‍්‍රදර්ශනය වූ ජුගුප්සාජනක කාකොටාගැනීම් මාලවකි.

මෙම ගැටුම් මධ්‍යයේ, සිරිසේන-රාජපක්ෂ හවුල විසින් උල්ලංඝනය කෙරෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට යැයි කියමින් හිටපු අගමැති වික‍්‍රමසිංහ පාර්ශවයෙන් ආරම්භකර ඇති ඊනියා උද්ඝෝෂනය සමඟ පෙලගැසීම සඳහා මධ්‍යම පන්තික වෘත්තිකයන්, වෘත්තීය සමිති නායකයන්, ශාස්ත‍්‍රාලිකයින් ඇතුලු කන්ඩායම් කිහිපයක් ඉදිරිපත් වී සිටිති. මොවුන් අතරින් බොහොමයක් 2015 දී රාජපක්ෂ බලයෙන් පහකොට සිරිසේන බලයට ගෙන ඒම සඳහා දරදිය ඇද්දාවූ පුරවැසි බලය සහ සමාජ සාධාරනත්වය සඳහා ජාතික ව්‍යාපාරය ආදියෙහි ලැග සිටි පිරිස්ය.

සෘජුව හෝ වක‍්‍රව වික‍්‍රමසිංහ “අඩු නපුර” ලෙස පින්තාරු කිරීම අරමුනු කරගත් මෙම කන්ඩායම්, එහිලා සිරිසේනගේ ව්‍යවස්ථා උල්ලංඝනය සහ ඔහු විසින් ආන්ඩු බලයේ පිහිටවනු ලැබූ රාජපක්ෂ පාර්ශවයේ වියරු සහගත හැසිරීම “වැඩි නපුර” ලෙස ඉස්මතු කරති. රාජපක්ෂ අත පාලන බලය තහවුරු වුවහොත් ඔහුගේ පෙර පැවති පාලන සමයේ තීව‍්‍ර කෙරුනු ආඥාදායක පාලන විධික‍්‍රම යලි පනගැන්වෙනු ඇති බව ඔවුන්ගේ මූලික තර්කයකි.

මේ කන්ඩායම් අතරින් එකක් වන “දිදුලන හදවත” නම් සංවිධානයක් නොවැම්බර් 14 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. තමන් සියලු දේශපාලන පක්ෂවලින් ස්වාධීන බවක් මවාපෑමට උත්සාහ කලත් එහි කථිකයෝ උගුරට හොරා බෙහෙත් කන ලීලාවෙන් උත්සාහ කලේ වික‍්‍රමසිංහගේ පාර්ශවයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලාපොරොත්තු විය හැකි බව තහවුරු කිරීමටයි.

සංවිධානයේ සම කැඳවුම්කරු රවී සිරිවර්ධන පැවසුවේ “මෙය ජනවාරි අට පරිවර්තනයෙන් අත්පත් කරගත් අවම ශිෂ්ඨ සම්පන්න අයිතිවාසිකම් ටික පවා ආපස්සට හරවන තක්කඩි දේශපාලන ක‍්‍රියාවලියක්” බවයි. රාජපක්ෂ-සිරිසේන හවුල පරාජය කිරීමෙන්, එනම් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එජාපය අත යලිත් බලය තහවුරු කිරීමෙන් “අවම ශිෂ්ට සම්පන්න අයිතිවාසිකම්” කරා යලිත් ගමන් කලහැකි බව ඔහු වක‍්‍රව පවසයි. මෙම තර්කය කම්කරු පන්තිය ඇතුලු පීඩිත මහජනතාවන් මුලාවේ හෙලීම සඳහා ගොතන පචයකි.

ඊට ප‍්‍රතිකූල ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් ක‍්‍රියාත්මක කිරීමටත් තදින්ම බැඳී සිටි සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඊට එරෙහි නැගී ආ අරගල රැල්ල මර්නදය කිරීම සඳහා පොලිස් මිලිටරි රාජ්‍යයක් දෙසට ගමන් කරමින් සිටියේය. කම්කරුවන්ගේ වැඩවර්ජන තලා දැමීමට පොලිසිය සහ මිලිටරිය යෙදවූ අතර අරගල වලදී කම්කරුවන් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම් කිසිසේත් ලබා නොදෙන බව ආන්ඩුව දිගටම කියා සිටියේය. කැරලි මර්දන ඒකක මගින් විරෝධතා ගනනාවකටම රුදුරු ප‍්‍රහාරයන් එල්ල කල අතර දේශපාලන විරුද්ධවාදීන්ගේ මතවාද මැඩීම අරමුනු කරගෙන සමාජ මාධ්‍ය මත රෙගුලාසි පැනවීම ආරම්භ කර තිබුනි.

වික‍්‍රමසිංගේ පාර්ශවය ට, එනම් එක්සත් ජාතික පක්ෂය (එජාපය) ට, ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමග කවර හෝ සම්බන්ධයක් නැති ඓතිහාසික වාර්තාවකි. 1948 ව්‍යාජ නිදහසෙන් පසුව එය තම පාලනය ආරම්භ කලේමත් දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහිමි කරමින් සිංහල ස්වෝත්තමවාදය අවුලවමිනි. අද දින ජනාධිපති සිරිසේන ද තම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පියවරයන් සඳහා යහමින් යොදාගනු ලබන 1978 රුදුරු ව්‍යවස්ථාව යෝජනා කොට සම්මත කරගනු ලැබුවේ, රනිල් වික‍්‍රමසිංහ ද ඇමතිකම් දැරූ ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුවයි.

එම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කෙරුනු විධායක ජනාධිපති ධුරයේ බලතල යොදා ගනිමින් 1980 මහ වැඩ වර්ජනයට සහභාගි වූ කම්කරුවන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් රැකියා වලින් නෙරපා හල ජයවර්ධන, “කලු ජූලිය” නමින් හැඳින්වෙන දෙමල සංහාරය උසිගන්වා දසදහස් ගනන් දෙමල ජනයා මරා දමමින් සහ සමස්ත දිවයිනම වියවුලට ඇද දමමින් දශක තුනකට ආසන්න කාලයක් ඇදී ගිය දෙමල විරෝධි සිවිල් යුද්ධය ආරම්භ කලේය.

දෙමල ජනතාවගේ අයිතීන් තහවුරු කරන බවට පිලින දෙමින් 2015 දී බලයට පත් එජාපය ඊට ඉඳුරා ප‍්‍රතිකූලව උතුරේ මිලිටරි වාඩිලාගැනීම් තව තවත් තර කලේය. ලංකාවේ ජනගහනයෙන් සියයට 0.6ක් වැනි අවම ප‍්‍රමානයක් වෙසෙන මුලතිවු දිස්ත‍්‍රික්කයේ ලංකාවේ මිලිටරියෙන් සියයට 25 ක් යොදා ඇති බව හියුමන් රයිට්ස් වොච් වාර්තාවකින් පෙන්වා දෙයි. මීට අමතරව 2017 වර්ෂයේදී ශ‍්‍රී ලංකා පොලිසියේ අත්තනෝමතික රඳවා තබාගැනීම් සහ වධදීම් ඉහල ගොස් ඇති බවට ලංකාවේ මානව හිමිකම් කොමිසම වාර්තාවක් මගින් ඉදිරිපත් කර තිබුනි.

රාජපක්ෂ විසින් නායකත්වය දෙන ආන්ඩුවකට වඩා වික‍්‍රමසිංහ යටතේ පවතින ආන්ඩුවක් දක්ෂිනාංශික බවෙන් අඩුවනු ඇතියි ඉඟි කරමින් නැවත වික‍්‍රමසිංහ අතට බලය ගොනුකිරීමට ඉව අල්ලන මෙම මධ්‍යම පන්තික හොරවෙද්දු මේවා වසන් කරති. මෙම කූට න්‍යායන් පෝෂනය කිරීමට ව්‍යාජ වම්මුන්ගේ සහයෝගය ප‍්‍රදර්ශනය කරමින් අක්ෂය සාමූහිකය, විමුක්ති ව්‍යාපාරය ආදී ව්‍යාජ-වාම සංවිධාන කිහිපයක්ද මෙම සංවිධානය සමඟ සාකච්ඡා පවත්වා තිබුනි.

“ජනාධිපති සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත‍්‍රනයෙන් රටම අනතුරේ” යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීන්ගේ ද සහභාගීත්වය සහිතව පසුගිය සතියේ කොලඹ දී සත්‍යග‍්‍රහයක් ආරම්භ කල සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව වික‍්‍රමසිංහ යලි බලයට ගෙන ඒමට සෘජුවම උද්ඝෝෂනයේ යෙදෙන සංවිධානයකි. එහි රැස්ව සිටි පිරිස ඇමැතූ වෘත්තීය සමිති නායක සමන් රත්නප‍්‍රිය පැවසුවේ “මෛත‍්‍රිපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ ඇතුලු කන්ඩායම රටට කරපු විනාසේ වගකීම භාරගත යුතු වෙනවා. රට අනතුරේ දාල තියෙන්නේ මේ අය. තවදුරටත් මේ තත්වය ක‍්‍රියාත්මක වීමට ඉඩදිය නොහැකි” බවයි. ඉන් පසුව කතාකල දඹර අමිල භික්ෂුව රාජපක්ෂ-සිරිසේන හවුලේ අනතුරෙන් මාතෘ භූමිය ගලවාගැනීමට සියලු භේද අමතක කර එක පෙරමුනකට ඒකරාශී විය යුතු බව පැවසිය.

මෙම කන්ඩායම් අතර මුදුනේම සිටින ව්‍යාජ වාම නව සමසමාජ පක්ෂයේ නායක වික‍්‍රමබාහු කරුනාරත්න, වික‍්‍රමසිංහ දැවැන්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු ලෙස පින්තාරු කිරීම සඳහා නරුම උද්ඝෝෂනයක යෙදී සිටියි. ඔක්තෝබර් 30 දා පැවති එජාප රැලියකට සහභාගී වෙමින් “මම මෙතෙන්ට ආවෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙන්නෙ මෙතන හින්ද” යයි කියූ කරුනාරත්න, සෘජුවම ප‍්‍රකාශ කලේ වික‍්‍රමසිංහ යලි අගමැති කල යුතු බවයි. (බලන්න: ශ‍්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ව්‍යාජ-වාම නසසපය එජාප උද්ඝෝෂනය දිරිමත් කරයි)

රාජපක්ෂ බලයට ගෙන එමින් සිරිසේන විසින් දියත් කල අන්තයටම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වූ කුමන්ත‍්‍රනයේ අනතුර වටහාගන්නා අතරම, වික‍්‍රමසිංහ, රාජපක්ෂ-සිරිසේන හවුලට වඩා අඩු නපුරක් ලෙස දැකීම, ඒ හා සමානවම අනතුරුදායක බව කම්කරු පන්තිය වටහා ගත යුතුය.

ධනේශ්වර ගැති කල්ලි කන්ඩායම් වල මෙම වඩ වඩාත් දක්ෂිනාංශික උගුල් වලට එරෙහි වීමේදී 2015 දී රාජපක්ෂ බලයෙන් පහ කරමින් සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය බලයට පැමිනියේ චීනය ආර්ථිකව සහ මිලිටරිමය වශයෙන් වටලෑම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදය ගෙනගිය “තන්ත‍්‍ර-මාරු” වැඩපිලිවෙලේ කොටසක් ලෙස බව සිහිගැන්වීම තීරනාත්මකය. එය වනාහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ න්‍යෂ්ටික යුද වාසුලියට කෙලින්ම ලංකාව ඇද දැමීමකි. මෙම ව්‍යාජ වම්මුන් සහ අනෙකුත් මධ්‍යම පන්තිකයන් “අඩු නපුර” ලෙස සලු පිලි අන්දවන්නේ එවැනි අන්තරායකටයි.

වික‍්‍රමසිංහට ආවඩන කන්ඩායම් විසින් ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත කල බව හුවා දැක්වීමේදී ප‍්‍රධාන කොටම එල්ලී ගන්නේ ඔහුගේ ආන්ඩුව බලයට පත්වීමෙන් පසු රාජපක්ෂ ආන්ඩුවට එල්ලකර තිබු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ලිහිල් කිරීමයි.

වොෂින්ටනය එවැනි පියවරක් අනුගමනය කලේ වික‍්‍රමසිංහ විසින් ලංකාව තුල මානව හිමිකම් කඩ කිරීම් වලට එරෙහිව පියවර ගත් නිසා නොව වොෂින්ටනයේ යුද මූලෝපායන්ට උචිත පරිදි විදේශ පිලිවෙතේ සිදුකරන ලද වෙනස්කම් වලට සන්තෝසම් ලෙසයි. වොෂින්ටනය විසින් වික‍්‍රමසිංහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයෙකු කරමින් ලබාදුන් ව්‍යාජ සහතිකය ඔසවාගෙන මෙම ඊනියා වම්මුද වොෂින්ටනයේ යුද කරත්තයට තල්ලුව දෙමින් සිටිති.

රාජපක්ෂ බලයට පැනගැනීමට දරන උත්සාහය ආපස්සට අදිමින් වික‍්‍රමසිංහ යලිත් සිය බලය තහවුරු කරගැනීමට උත්සාහ දරන්නේ 2015 තන්ත‍්‍ර මාරුවේදී ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ එහි කලාපීය සගයා වන ඉන්දියාව සමඟ ගොඩනගා ගත් සමීප සබඳතා මත වාරු වෙමිනි. තමන් අතට යලිත් ආන්ඩු බලය ලබා ගැනීමට බලපෑම් දැමීම සඳහා තුටු පඬුරු හැටියට තව තවත් ලංකාව ඇමරිකානු යුද මුලෝපාය වෙත සමීප කරවීමට වික‍්‍රමසිංහ පොරොන්දු දී ඇතිවාට කිසිඳු සැකයක් නැත.

ශ‍්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා එහි පාඩම් යනුවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ඉදිරිදර්ශනයේ විග‍්‍රහ කල පරිදි:

“වික‍්‍රමසිංහ හා ඔහුගේ එජාපය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටීමට සිරිසේන-රාජපක්ෂ කල්ලියේ නීති-විරෝධී ක‍්‍රියා ගසාකමින් සිටිති. කොතරම් දුෂ්ට ප්‍රෝඩාවක් ද! ශ‍්‍රී ලංකාවේ කම්කරුවන් හා පීඩිතයන් මත ජාමූඅ කප්පාදු පිලිවෙත් පටවන අතරේ, ශ‍්‍රී ලංකාව චීනයට එරෙහි එක්සත් ජනපදයේ යුද ධාවනයට ඒකාග‍්‍ර කල හැකි වන පරිදි වොෂින්ටනය, ලන්ඩනය හා නව දිල්ලියේ උදව්වෙන් රාජ්‍ය යාන්ත‍්‍රනයට යලි අතගසා ගැනීමට වික‍්‍රමසිංහ නොඉවසිලිමත්ව සිටියි.”

මේ අර්බුදයේ ප‍්‍රතිඵලය හැටියට බලයට පැනගන්නේ පාලක පන්තියේ කවර කොටසක් වුවත් වඩ වඩාත් තියුනු වන ලෝක ආර්ථික අර්බුදය සහ භූ දේශපාලනික ආතති මධ්‍යයේ ඔවුන් කම්කරු පන්තිය ඇතුලූ අවශේෂ පීඩිතයන් වඩ වඩාත් අනතුරේ හෙලන පියවරයන් අනුගමනය කරනු ඇත.

වික‍්‍රමසිංහ විසින් නායකත්වය දෙන එජාපය සම්බන්ධයෙන් ගත් කල ඔවුන් කම්කරු පන්තිය තව තවත් තලා දමමින් සූරාකෑම ඉහල තලයකට නංවන ආර්ථික ප‍්‍රතිසංස්කරනයන් වෙත ගමන් කරනු ඇත්තේ කෙසේද යන්න එජාප ආන්ඩුවේ ප‍්‍රමුඛතම ඇමතියෙකු වූ පාටලී චම්පික රනවක ලංකාවේ දේශපාලන අර්බුදය පැන නැගීමෙන් පසු සිය ෆෙස්බුක් පිටුවේ, “අර්බුදය ප‍්‍රතිසංස්කරනයට මගක්” යනුවෙන් පලකල වීඩියෝවක ඔහු ඉදිරිපත් කරන යෝජනා තුලින් පැහැදිලි වේ.

ලංකාවේ ආර්ථිකය ඉහල නැංවීම සම්බන්ධයෙන් වඩාත් ප‍්‍රගතිශීලි වූ ජනාධිපතිවරුන් ලෙස ජේ.ආර් ජයවර්ධන සහ චන්ද්‍රිකා කුමාරතුංග නම් කරන ඔහු මෙසේ කියයි. “ජේ.ආර් ජයවර්ධන ලංකාව තුල ප‍්‍රබල ආර්ථික ප‍්‍රතිසංස්කරනයන් වෙත ගියා. අපනයන වැඩිකිරීම ඉලක්ක කරගනිමින් ඔහු ශ‍්‍රමය, සම්පත්, නීතිරීති ආදී නිෂ්පාදන සාධක ලාභ කලා. චන්ද්‍රිකා කුමාරතුංග ජේ.ආර් ට බැරිවුනු ලිබරල්කරනයේ ඊලඟ අංක, එනම් රාජ්‍ය සතුව තුබූ ආයතන පෞද්ගලීකරනයෙන් ලාභ ඉපයීම වෙත ගියා.”

රනවක සඳහන් කරන, ශ‍්‍රමය සහ නීතිරීති ලාභ කිරීමෙහි අන්තර්ගතය වනුයේ කම්කරු පන්තියේ වැටුප් කප්පාදු කරමින් රුදුරු ශ‍්‍රම සූරාකෑමක් දියත්කිරීම, එය පහසුවන පරිදි නීතිරීති සකස්කිරීම සහ මහා ධනපතියන්ට බදු සහන දීමයි. පෞද්ගලිකරනය තීව‍්‍ර කිරීම යනු මහජනතාවගේ සුභසාධන ලෙස පවතින කවර හෝ ක්ෂේත‍්‍රයක සේවාවක් වේනම් ඒවා පෞද්ගලික අංශයට පවරා ලාභය සඳහා වන ව්‍යාපාර බවට පත්කිරීමයි.

මෙම ප‍්‍රකාශයන් තුලින් එලිදරව් වන ධනපති පාලක පන්තියේ මිනීමරු එල්ලයන් වඩ වඩාත් පැහැදිලි කරන්නේ කම්කරු පන්තියට ඒ හෝ මේ ධනපති කන්ඩායම් අතරින් තෝරා ගැනීමක් කිරීම සඳහා කවර හෝ හේතුවන් නොමැති බවයි. මෙම අර්බුදය මධ්‍යයේ කම්කරු පන්තියේ කර්තව්‍යය වන්නේ සමාජයේ සියලූ පීඩිත කන්ඩායම් වල විප්ලවවාදී නායකයා බවට පත් වෙමින් සියලූ ධනපති කල්ලි කන්ඩායම් වලට එරෙහිව සමාජවාදය සඳහා සටන් වැදීමයි.

Share this article: