රජරට වෛද්‍ය පීඨයේ ආචාර්යවරු දීමනා කප්පාදුවට එරෙහිව පරිපාලන තනතුරුවලින් ඉල්ලා අස්වෙති

කපිල ප්‍රනාන්දු විසිනි ,2018 ඔක්තෝබර් 25

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති හා අංශාධිපති තනතුරු දැරූ ආචාර්යවරු 14 දෙනෙක්, මෙතෙක් ලබා දෙමින් තිබූ “රඳවා ගැනීමේ දීමනාව” කප්පාදු කිරීමට එරෙහිව මේ මස 09 දා සිට සිය පරිපාලන තනතුරුවලින් ඉල්ලා අස්වී අකුරට වැඩ කිරීමේ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්න වී සිටිති.

ආචාර්යවරුන්ගේ වර්ජන ක්‍රියාමාර්ගයට සහාය පල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් පසුගිය සිකුරාදා එම පීඨය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් පීඨයේ අධ්‍යයන කටයුතු මුලුමනින්ම ඇනහිට සති තුනක් ගත වී තිබේ. මේ මස මැද පැවැත්වීමට නියමිතව තිබු විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ට පමනක් 2013 වර්ෂයේ සිට උක්ත දීමනාව ලබා දී තිබුනේ වෛද්‍ය පීඨයේ පවතින ආචාර්ය හිඟය හේතුවෙන් දැනට සේවයට පැමිනෙන ආචාර්යවරුන් රඳවා ගැනීමේ පැලැස්තර විසඳුමක් වශයෙනි. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව තමා මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බූදය හමුවේ පසුගිය මාසයේ සිට මෙම දීමනාව කප්පාදු කිරීමට විශ්වවිද්‍යාලයේ පාලක සභාවට නියෝග කර තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නව දෙනෙකු හා උපකුලපතිවරයා ඇතුලු 17 දෙනෙකු පාලක සභාවට අයත් වේ.

බහුතරයක් ආචාර්යවරු කොලඹ සිට පැමිනෙන තත්වයක් තුල නිවාස කුලියට ගැනීම හා ප්‍රවාහනය ආදී වියදම් සඳහා මහාචාර්යවරයෙකුට රුපියල් ලක්ෂයක්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුට රුපියල් අසූදාහක් හා කථිකාචාර්යවරුයෙකුට පනස්දාහක් ලෙස දීමනාව ලබා දී තිබුනි. මේ වන විට රජරට වෛද්‍ය පීඨයේ උපාධිය හදාරන 1100 ක් පමන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා විවිධ විෂයයන් ඉගැන්වීම සඳහා ආචාර්යවරුන් 110 ක් අවශ්‍යය වුවත් දැනට සිටින්නේ 37 ක් පමනි. මේ තත්වය තුල විෂය කරුනු ආවරනය කිරීම සඳහා සෑම ආචාර්යවරයෙකුම වැඩකලයුතු කාලය මෙන් තුන් ගුනයක් වැඩ කරමින් සිටින්නේ වෛද්‍ය පීඨය වැසී යෑම නවතා ගැනීමේ අරමුනෙනි.

කෙසේ නමුත්, දැන් ආන්ඩුවේ කප්පාදුව වෛද්‍ය පීඨය වැසී යෑමේ තර්ජනය මතු කර තිබේ. වෛද්‍ය පීඨ ආචාර්ය සංගමයේ ආචාර්ය චන්න ජයසේකර ලෝක සමාජවාදී වෙබ් අඩිවියට (ලෝසවෙඅ) කියා සිටියේ ආචාර්යවරුන්ගේ සුදුසුකම්වලට සෞඛ්‍ය අමාත්‍යංශයේ, පුද්ගලික අංශයේ හෝ වෙනත් රටක දැනට ගෙවන වැටුපට වඩා වැඩි වැටුපකට රැකියාවක් සොයා ගැනීම දුෂ්කර කාර්යයක් නොවන බවත් මේ දීමනාව නොගෙව්වොත් ආචාර්යවරු ඒ ක්‍රියාමාර්ගයට යනු ඇති බවයි. “ඒකෙන් වෙන්නේ රටට වෛද්‍ය පීඨයක් නැති වෙන එකයි. ඒකේ වගකීම ආන්ඩුව ගන්න ඕන“ යයි ඔහු කියා සිටියේ ය.

උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවලින් විසඳුමක් නොලැබුන තැන ආචාර්යවරු පරිපාලන තනතුරුවලින් ඉවත්වීමට තීන්දු කල බව වෛද්‍ය පීඨයේ අධිපති මහාචාර්ය සිසිර සිරිබද්ධන මාධ්‍යයට ප්‍රකාශ කොට තිබේ.

ආන්ඩුවට එරෙහි අරගලයක් කිරීමෙන් වැලැකීමේ අරමුනින් ආචාර්ය සංගමය හා ශිෂ්‍ය සංගම්, දීමනා කප්පාදුව විශ්වවිද්‍යාලයේ උපකුලපති රංජිත් විජයවර්ධනගේ අත්තනෝමතික ක්‍රියාවක් යයි ප්‍රකාශ කොට තිබේ. කෙසේ නමුත්, මෙතෙක් දීමනාව ලබා දී ඇත්තේ එවකට උසස් අධ්‍යාපන ඇමති වූ එස්.බී. දිසානායක ගේ “කට වචනයකට“ වන බැවින් නිසි අනුමැතියකින් තොරව කිසිදු දීමනාවක් නොගෙවන ලෙස මහා භාන්ඩාගාරය නිකුත් කල චක්‍රලේඛයේ සඳහන්ව ඇතිබව උපකුලපති විජේවර්ධන මාධ්‍යයට පවසා ඇත.

එසේම කැබිනට් අනුමැතියක් ගැනීමට තමන් ගත් උත්සාහය ද අසාර්ථක වූයේ, එම දීමනාව රජරට වෛද්‍ය පීඨයේ කාර්යය මන්ඩලය වෙනුවෙන් ගෙවීමට අනුමැතිය ලැබුනහොත් අනෙකුත් විශ්වවිද්‍යාලවල ආචාර්යවරුද දීමනාව ඉල්ලා බලපෑම් සිදු කරනු ඇතැයි යන ආන්ඩුවේ තක්සේරුවෙන් නිසා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආචාර්ය හිඟයක් පවතිද්දී අධ්‍යපන කටයුතු පවත්වාගෙන යන්නේ රජරට වෛද්‍ය පීඨය පමනක් නොවේ. රජරට විශ්වවිද්‍යාලය යනු, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉහල යන ඉල්ලුම මධ්‍යයේ, බලයට පත් ආන්ඩු විසින් ඒ ඒ පලාත්වල අත්හැර දමන ලද රජයේ ගොඩනැගිලිවල ආරම්භ කරන ලද, සබරගමුව, වයඹ, රුහුන, නැගෙනහිර, අග්නිදිග හා සෞන්දර්ය වැනි, මෙතෙකුදු මධ්‍ය විද්‍යාලයක තරම්වත් පහසුකම් නැති විශ්වවිද්‍යාලවලින් එකකි. දශකයකට ඉහත දී රජරට වෛද්‍ය පීඨය ආරම්භ කෙරුනේ ද අත්‍යවශ්‍ය වන මහාචාර්ය ඒකකයක් පවා නොමැතිවයි.

යාපනය හා රුහුන වෛද්‍ය පීඨයන්හි ද ආචාර්යවරුන්ගේ දැඩි හිඟයක් පවතී. වසර දෙකකට පෙර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨය ආරම්භ කෙරුනේ කුලියට ගත් ගොඩනැගිල්ලක ය. ලබන වසරේ මුල බඳවා ගැනීමට නියමිත නවක සිසුන් සඳහා අවශ්‍ය වන ගොඩනැගිලි ඉදිකිරීමට කිසිදු පියවරක් මෙතෙක් ගෙන නොමැත. සමස්තයක් ලෙස රටේ සරසවිවල ඇත්තේ දරුනු මානව හා භෞතික සම්පත් අර්බූදයකි.

එක් අංශයක වැටුප් වැඩිවීමක් සමස්ත කම්කරු පන්තියේ වැටුප් ඉල්ලීම් මතු කරනු ඇතැයි ද ඒ හේතුවෙන් වැටුප් වැඩිවීම් ලබා දිය නොහැකිය යන තර්කය, ආන්ඩුව පසුගිය දිනවල විශ්වවිද්යාල අනධ්‍යන, තැපැල්, දුම්රිය, විදුලිබල මන්ඩල ආදී සෑම තැනකම පැන නැගි කම්කරු පන්තියේ වැටුප් අරගලයකටම ලබා දුන් පිලිතුරයි. කම්කරු පන්තියට තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට අවශ්‍ය වුවත් වෘත්තීය සමිති නායකත්වය ඒ ඒ අංශවල අරගල හුදෙකලා වූ සුලු විරෝධතාවයකට කොටු කොට කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම වලක්වා තිබේ.

ලෝක පරිමාන ධනේශ්වර අර්ථික අර්බූදය මගින් රුපියල අඛන්ඩව අවප්‍රමානය කොට, රටේ වෙලඳ හා අය-වැය හිඟය ඉහල යවා නය අර්බූදය උග්‍ර කෙරී ඇත. රටක් රටක් පාසා සිදු කරමින් යන ආකාරයටම අර්බූදයේ සියලු බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු නියෝග තවත් තීව්‍ර කිරීමට පියවර ගෙන ඇත. වැටුප් කැටි කිරීම, අත්‍යවශ්‍ය භාන්ඩ මිල ගනන් ඉහල දමන බදු පැනවීම් හා අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සුභසාධන සේවා කප්පාදුව යටින් ඇත්තේ මෙම ප්‍රහාරයන් ය.

කෙසේ නමුත් ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය), වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) නිදහස් අධ්‍යාපන කප්පාදුව යටින් ඇති ධනේශ්වර ක්‍රමයේ අර්බූදය දැනුවත්ව වසන් කරයි. නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ශිෂ්‍යයන් සමාජවාදී ඉදිරිදර්ශනය මත කම්කරු පන්තියේ නායකත්වය යටතේ බලමුලු ගැන්වීමට මෙම සංවිධාන එක සේ විරුද්ධ වෙති.

ධනපති ආන්ඩුවලට බලපෑම් දමා සමාජ අයිතීන් දිනා ගත හැකිය යන මාරාන්තික මිථ්‍යාව වගා දිගා කරන මෙම සංවිධාන, වසර දහයක් පුරා සයිටම් පෞද්ගලික උපාධි ආයතනයට එරෙහිව, ශිෂ්‍ය විරෝධතා කොටු කිරීමට කටයුතු කලේ ය.

පසුගිය සිකුරාදා දින අනුරාධපුරයේ පැවති විරෝධතාවයකින් පසු සිසුන් ඇමතූ වෛද පීඨයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු කියා සිටියේ අවිශිබමය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා දෙමාපියන් සමග කොලඹ වටකරනා බවයි. අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් තවත් පූච්චානම් වැලකින් ශිෂ්‍ය විරෝධය අවමංගත කිරීමට උත්සාහ ගත්තේ ය. “සයිටම් පරාජය වෙච්ච එකේ වේදනාව දරා ගන්න බැරිව“ ආන්ඩුව මෙම ප්‍රහාර එල්ල කරන බව කී වීරසේකර රජරට ප්‍රශ්නවලට ආන්ඩුව පිලිතුරු නොදුනහොත් “අරගල කිරීමට ලෑස්තියි“ යනුවෙන් හඬ තැලීය.

ආන්ඩුවේ “පරාජය“ ට විපරීතව, සයිටම් ශිෂ්‍යයන් තවත් මුදලට උපාධි ලබා දෙන විශ්වවිද්‍යාලයක් වන කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුයුක්ත කර ඇති අතර ආන්ඩුව රට පුරා විවිධ විෂයයන් යටතේ පෞද්ගලික උපාධි ආයතන ඉදි කිරීමට අවසර හා නය පහසුකම් සලසා දෙමින් අධ්‍යාපනයේ පෞද්ගලීකරනය ද, රජයේ විශ්ව විද්‍යාලයන්හි ගාස්තු අය කෙරෙන පාඨමාලා ආරම්භ කිරීම ද වේගවත් කර තිබේ.

ධනේශ්වර අර්බූදය යටතේ ශිෂ්‍යයන් මුහුන දෙන අධ්‍යාපනික ගැටලු උග්‍ර කෙරී ඇති ආකාරය ලෝසවෙඅට විස්තර කල රජරට විශ්වවිද්‍යාලයේ තුන්වන වසර ශිෂ්‍යාවක් මෙසේ විස්තර කලාය: “අපිට තියෙන ලොකුම අඩුව තමයි ආචාර්යවරුන්ගේ අඩුව. සමහර විෂයයන් කරන්න ගුරුවරු නෑ. දැනට ඉන්න ආචාර්යවරු 37 දෙනා එයාලගේ උපරිමයෙන් උගන්නවනවා. නමුත් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. විද්‍යාගාරවලත් ප්‍රශ්න තියෙනවා. කැම්පස් එකේ, හොස්ටල් එකේ ඉඳලා රෝහල්වලට යන්න බස් ප්‍රශ්නය ගොඩක් තියෙනවා. ඒ වගේ දුෂ්කර තත්වයක් තියෙන්නේ. මේ ගෙවීමත් කැපුවාම ආචාර්යවරු එන්නෙම නැති වෙයි.

“ආන්ඩුව දැන් වයඹ හා සබරගමුව විශ්වවිද්‍යාලවලත් වෛද්‍ය පීඨවලට මේ වසරේ ඉඳලා ලමයින්ව බඳවා ගන්න නිවේදනය කරලා තියෙනවා. නමුත් පීඨ සංකීර්න හදලා නෑ. ඒවගේම ඒ නගර දෙකේම මූලික රෝහල් කැම්පස් එක ආසන්නයේ නෑ. අපේ පීඨයේ මහාචාර්යවරයෙක්ව දැන් වයඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති කරන්න යනවා. එතකොට තවත් ආචාර්යවරු අඩු වෙනවා. මෙහෙම තමයි ආන්ඩුවේ වැඩ. අපි සයිටම් එක වහන්න කියලා අවුරුද්දක් වර්ජනයේ යෙදිලා අපේ කාලේ වැය කලා. නමුත් අධ්‍යාපනයේ පෞද්ගලීකරනය නතර වෙලත් නෑ. නිදහස් අධ්‍යාපන කප්පාදුව නතර වෙලත් නෑ“ යයි ඇය ප්‍රකාශ කලා ය.

Share this article: