විශ්‍රාමිකයෝ ජීවන වියදමට සරිලන වැටුපක් ඉල්ලා උද්ඝෝෂනය කරති

සකුන ජයවර්ධන විසිනි, 2018 ඔක්තෝබර් 13

දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිට පැමිනි රාජ්‍ය සේවක විශ්‍රාමිකයෝ දහසකට අධික පිරිසක් ඔක්තෝබර් 9 වනදා පාර්ලිමේන්තු වට රවුමේ උද්ඝෝෂනයක යෙදුනාහ. විශ්‍රාම වැටුප් විෂමතාවය අහෝසිකිරීම, 2016 සිට අහෝසි කොට ඇති රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ක්‍රමය යලි ස්ථාපිත කිරීම, ජාතික විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තියක් ක්‍රියාවට දැමීම, සියලු විශ්‍රාමිකයින්ට අග්‍රහාරය හා ජීවන වියදම් දීමනාව සමසේ ගෙවීම උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම් වලට ඇතුලත් විය.

පා ගමනකින් පාර්ලිමේන්තු වට රවුම වෙත පැමිනි විශ්‍රාමිකයෝ

පා ගමනකින් පාර්ලිමේන්තු වට රවුම වෙත පැමිනි විශ්‍රාමිකයෝ ඉහත ඉල්ලීම් සහිත සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් පැය තුනකට අධික කාලයක් උද්ඝෝෂනයේ නිරත වූහ. පා ගමන හා විරෝධතාවය සංවිධානය කර තිබුනේ සමස්ත ලංකා රජයේ විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ සංවිධානය (සලංරවිඒස) මගිනි.

දැනට ලැබෙන විශ්‍රාම වැටුපෙන් ජීවන වියදම පියවා ගත නොහැකි බවත් 2015 චක්‍රලේඛය මගින් විශ්‍රාමිකයන් අතර රුපියල් 5,000 ක පමන වැටුප් විෂමතාවයක් නිර්මානය කර ඇති බවත් ඔවුහු කීහ.

උද්ඝෝෂනයට සම්බන්ධ වූ විශ්‍රාමිකයන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට තමන් මුහුන දෙන දුෂ්කරතාවයන් විස්තර කල අතර ධනපති ආන්ඩුව කෙරෙහි ඔවුන්ගේ කෝපය ප්‍රකාශ කල කලහ.

ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරයෙකු ලෙස සේවය කල ගම්පහ පදිංචි නානායක්කාර ප්‍රකාශ කලේ විශ්‍රාම වැටුප කිසිසේත්ම පවුලේ වියදමට ප්‍රමානවත් නොවන බවය. “අපිට ලැබෙන්නේ රුපියල් 25,000 ක විතර විශ්‍රාම වැටුපක්. මාස භාගේකටවත් ඒ මුදල ප්‍රමානවත් නැහැ. ඊට පස්සේ ජීවිතය ගැට ගහ ගන්නේ නය වෙලා. ”

වසර දහයකින් පමන විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි වී නැති බව අරනායක සිට පැමිනි ගුනවර්ධන සඳහන් කලේ ය. “ජීවන වියදම් වැඩි වුනාට ඒ අනුව වැටුප් වැඩි වෙන්නේ නැහැ. රාජ්‍ය අංශයේ වැටුප් රුපියල් දහදාහකින් වැඩි කරනකොට විශාල විෂමතාවයක් ඇතිවුනා.අපි දෙපිරිසම මුහුන දෙන්නේ එකම ජීවන වියදමට. අපි අසරන වෙලා ඉන්නෙ. බඩු මිල අහස උසට නගිනවා. අත්‍යවශ්‍ය බඩු ටිකයි බෙහෙත් ටිකයි ගන්නකොට අතට ලැබෙන මුදල වාෂ්ප වෙනවා”.

“විශ්‍රාම වැටුප ජීවිතය පරදුවට තියල කරපු සටන් වලින් දිනා ගත්ත අයිතියක්. ඒ අයිතිය 2016 දි උදුරා ගැනීම අපට එල්ල කල බරපතල පහරක්. විශ්‍රාම වැටුප අහෝසි කිරීම වැරදියි. මෙතෙක් පැවති කිසිම ආන්ඩුවක් රාජ්‍ය සේවකයන්ට ශ්‍රමයට සරිලන වැටුපක් ගෙවුවෙ නැහැ. මේ ආන්ඩුව විශ්‍රාම වැටුප් අයිතියත් අහෝසි කලා”

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කල පී.ලියනගේ විශ්‍රාම වැටුප් වැඩි කරන්න ආන්ඩුවට සල්ලි නැතැයි කියන කතාව ප්‍රතික්ෂේප කලේ ය. “රටේ නිශ්පාදන ක්‍රියාවලිය ඉස්සරහට ගෙනැල්ලා තියෙන්නෙ අපි. නිශ්පාදන අයිතිය තියෙන්නෙ අපිට. වැටුප් ගෙවන්න සල්ලි නැත්නම් ආන්ඩුව ඉල්ලා අස්විය යුතුයි” ඔහු පැවසුවේ ය.

විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වන දැරිනියගල සුමනදාස වෘත්තීය සමිති විසින් ශ්‍රේනිවාදී ලෙස කම්කරු පන්තිය බෙදීම හෙලා දුටුවේ ය. “කම්කරුවන් ශ්‍රේනිවාදීව බෙදීම මගින් කම්කරු පන්තිය දුර්වල කරලා. එ්කෙන් කම්කරු පන්තියේ සටන් අසාර්ථක වෙනවා. වෘත්තීය සමිති කම්කරුවන්ගේ සටන් ජයග්‍රහනය කරවන්න නෙමෙයි පාවාදීල පරාජය කරන්නයි කටයුතු කරන්නේ. ඔබ පැහැදිලි කරන ආකාරයට කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුවයි වැදගත් වෙන්නේ” ඔහු පැවසීය.

අධ්‍යාපන පරිපාලන සේවකයෙකු වූ හම්බන්තොට රාමනායක විශ්‍රාමිකයන්ගේ වැටුප් ප්‍රශ්න විසඳන බවට ජනාධිපති සිරිසේන 2017 පොරොන්දු වූ නමුත් එය කඩකල බව සඳහන් කලේ ය. “විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න විසඳන බවට ජනාධිපති 2017 දී පොරොන්දු වුනා. නමුත් තාම විසඳුමක් නැහැ. අපි ඉල්ලුවා විශ්‍රාාමිකයින්ට වයස් සීමාවකින් තොරව රක්ෂනයක් දෙන්න කියලා. ඒකත් පලක් වුනේ නැහැ. ආන්ඩුව ඉදිරි කාලයේදි විශ්‍රාම වැටුප මුලුමනින් ම කප්පාදු කරන්න සූදානම් වෙන්නේ. 2016 වැටුප් විෂමතාවයක් ඇති කලේ විශ්‍රාමිකයින්ව භේද කරන්න” බව ඔහු ප්‍රකාශ කලේ ය.

ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව විශ්‍රාමිකයන් අතර බරපතල විරුද්ධත්වයක් පවතින නමුත් ඔවුන් නියෝජනය කරන වෘත්තීය සමිති උත්සාහ කරන්නේ එය ධනපති ආන්ඩුවට බලපෑම් දැමීමකට සීමා කොට දියකර හැරීමට ය. උද්ඝෝෂනයෙන් අනතුරුව සලංරවීඒස නායකයන් විසින් පාරිලිමේන්තු කතානායක වෙත යොමුකල පෙත්සමක් නියෝජ්‍ය කතානායකට භාර දුනි.

විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට “ඉදිරියේ දී” කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන ඇමති රන්ජිත් මද්දුමබන්ඩාර එදින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ ය. මද්දුමබන්ඩාරගේ ප්‍රකාශය විශ්‍රාමිකයන් රැවටීමක් පමනි. රජයේ සේවකයන්ට පමනක් නොව ගොවියන්, ධීවරයන්, වඩුකාර්මිකයන් ආදීන් ට ද විශ්‍රාම වැටුප් ලබා දෙන බව සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ඊනියා දින සියයේ වැඩ පිලිවෙලට අඩංගු විය. එහෙත් සිදු වී ඇත්තේ රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සහ විශ්‍රාමිකයන්ගේ අයිතීන් ද කප්පාදු කිරීමකි.

මහින්ද රාජපක්ෂ ආන්ඩුව මෙන් ම, මෙම ආන්ඩුව ද ක්‍රියාවට දමන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝගවලට අනුව රාජ්‍ය සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ අයිතීන් කප්පාදු කිරීමකි. එය රාජ්‍ය වියදම් කප්පාදු කිරීමේ ආර්ථික ප්‍රතිසංස්කරන වල කොටසකි. රුපියලේ අගය පහත වැටීම තුඩු දී ඇත්තේ උද්ධමනය ඉහල යාමට සහ විශ්‍රාමිකයන් ඇතුලු කම්කරු පන්තියේ මූර්ත වැටුප් අගය පහත වැටීමට ය.

ජීවන තත්වයන් පහත වැටීම මධ්‍යයේ තැපැල්, දුම්රිය ඇතුලු රාජ්‍ය අංශයේ කම්කරුවන් පසුගිය දිනවල වැටුප් අරගලවලට පිවිසි නමුත් ඔවුන්ගේ ඉල්ලීම් දීම ප්‍රතික්ෂේප කල ආන්ඩුව, සමිති නිලධරයේ ඝෘජු සහයෝගය ඇතිව ඒවා මර්දනය කලේ ය.

රාජ්‍ය අංශයේ වැටුප් වියදම දැරිය නොහැකි බව භාන්ඩාගාර ලේකම් ආර්.එස්. එච්.සමරතුංග මෑත දී ප්‍රකාශ කල අතර රජයේ සේවකයන් වර්ජනය කරන පලියට වැටුප් වැඩි කල නොහැකි බව අගෝස්තු මාසයේ දුම්රිය සේවක වර්ජනයේ දී මුදල් ඇමති මංගල සමරවීර තර්ජනාත්මකව සඳහන් කලේ ය.

ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය තුල සෑම රටකම ධනපති පාලක පන්තීන් ක්‍රියාවට දමන්නේ එවන් පිලිවෙත්ය. මෙම කොන්දේසි තුල විශ්‍රාමිකයන්ගේ වැටුප් ප්‍රශ්න විසඳීම වෙනුවට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පියවර ගනු ඇත්තේ ඔවුන්ගේ අයිතීන් තවදුරටත් කප්පාදු කිරීමටය.

Share this article: