තැපැල් බෝම්බ ඝෝෂාව ඇමරිකානු දේශපාලනය ගැන කියන්නේ කුමක් ද?

What the mail bomb uproar says about American politics

2018 ඔක්තෝබර් 26

.

හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, හිටපු ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සහ අනෙකුත් නායක ඩිමොක්‍රටිකයන්ට හා ට්‍රම්ප්ගේ විවේචකයන්ට යොමු කරන ලද තැපැල් බෝම්බ සොයාගැනීමෙන් පැය 48කට පමන පසුව නව තොරතුරු ප්‍රසිද්ධ කර ඇත්තේ යන්තමිනි.

ඔක්තෝබර් 25දා පොලීසිය හා එෆ්බීඅයි තහවුරු කලේ මාධ්‍යයන් තුල පුලුල් ව වාර්තා කර ඇති දෙය ම ය: එනම්, උප ජනාධිපති ජෝ බයිඩන් හා කොංග්‍රස් සාමාජිකා මැක්සින් වෝටර්ස්ට පාර්සල් දෙක බැගින් ද ඔබාමා, ක්ලින්ටන්, හිටපු සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන්, හිටපු නීතිපති එරික් හෝල්ඩර්, බිලියනපති ජොර්ජ් සෝරෝස් හා නලු රොබට් ඩි නීරෝට පාර්සල් එක බැගින් වසයෙන් පාර්සල් දහයක් තැපෑලට දමනු ලැබූ බව යි.

පාර්සල් දහය ම ආසන්න වසයෙන් එක හා සමාන වූ අතර, ඒවායේ ආපසු ලිපිනය වූයේ හිටපු ඩිමොක්‍රටික් ජාතික කමිටු සභාපතිනි ඩෙබී වසර්මාන් ෂුල්ට්ස් නමැති ෆ්ලොරිඩා කොංග්‍රස් සාමාජිකාවගේ ලිපිනය යි. තහවුරු නො කරන ලද මාධ්‍ය වාර්තා ඔක්තෝබර් 25දා පෙන්නුම් කලේ ෂුල්ට්ස් වඩාත් ම ප්‍රමුඛ ඩිමොක්‍රටික් නායිකාව වන දකුනු ෆ්ලොරිඩාවේ සිට එම පාර්සල් තැපැල් කරනු ලැබ තිබිය හැකි බව යි.

සෑම පාර්සලයක ම දල වසයෙන් තනන ලද පයිප්ප බෝම්බයක් හා සමහර ඒවායේ හානිදායක නො වනසේ පෙනෙන සුදු පිටි සහිත තැපැල් කවරයක් තිබුනි. පැහැදිලි ව ම පෙනෙන දෙයට වැඩි යමක් ප්‍රේරක යාන්ත්‍රනය ගැන එෆ්බීඅයි කියා නැත. එනම්, පාර්සලය විවෘත කරන විට පුපුරා යාම සඳහා උගුල් වයරයක් තිබුනේ නැත. පාර්සල් කිහිපයක් විවෘත කරන ලදී.

බෝම්බ පිපිරී ගොස් මහජනයාට සත්‍ය වසයෙන් ම අනතුරුදායක වීදැයි හෙලිකිරීමට එෆ්බීඅයි නිලධාරීන් අකමැති වූ නිසා, මෙම පාර්සලයන් සඳහා ගැලපෙන යෙදුම “පුපුරනසුලු යයි සැකකටයුතු ආම්පන්න” යන්න බව යෝජනා කලේ ය.

ඔබාමා හා ක්ලින්ටන් වෙත යවන ලද පාර්සලයන් රහස් සේවා නිවාරකයන් විසින් පහසුවෙන් ම හඳුනාගනු ලැබ, යායුතු වූ ඉලක්කවලින් සැතපුම් ගනනාවක් තුලට වත් නො පැමිනීම හා ඉහත විස්තර කල පරිදි තොරතුරු හිඟ වීම, පාර්සල් මෙලෙස තැපැල් කිරීම “හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකු” ඉලක්ක කරගනිමින් “සමූහ ඝාතනය සඳහා දරන ලද උත්සාහයක්” ලෙස විස්තර කිරීමෙන් ඩිමොක්‍රටික් පක්ෂය හා සංගත මාධ්‍යවල ඩිමොක්‍රටික් හිතවාදී කන්ඩායම් වලක්වා නැත.

අමුතු පන්නයේ හා නො පැහැදිලි සිද්ධිය නිසැක ව ම බොහෝ කල්පිතයන්ට මගපාදන අතර ඉන් එකක් වත් තහවුරු කල නො හැක. ජනාධිපතිවරයාගේ දුෂ්ට පූච්චානම් හා ප්‍රචන්ඩ උසිගැන්වීම්වලට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප්ගේ සහකරුවෙකු විසින් පාර්සල් යවන ලද්දේ ද? බෝම්බ විසින් ඉලක්ක කරන ලද සියලු දෙනා කලින් ට්‍රම්ප්ගේ ට්විටර් පනිවුඩ තුල හා ඔහුගේ උද්ඝෝෂන රැලිවල කරන ලද දෝෂදර්ශනයන්ගේ ද ඉලක්කයන් වූ අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනා චෝදනාවන්ට ලක්කිරීම, සිරගත කිරීම හෝ නීතියට පිටස්තර ප්‍රචන්ඩත්වයන්ට ලක්කිරීම පිලිබඳ ව එම සැඳහුම්වල අඩංගු ව තිබුනි.

එසේ නැතහොත් කිසිදු ඩිමොක්‍රටිකයෙක් කිසිවිටෙක අනතුරට මුහුන පා නො සිටි හා ඩිමොක්‍රටික් පක්ෂය විසින් තැපැල් බෝම්බ ප්‍රහාරය ට්‍රම්ප් ව හෙලාදැකීම පිනිසත් මධ්‍යවාර මැතිවරනයට දෙසතියකටත් අඩු කාලයක් පමනක් තිබෙද්දී එය එහි ඡන්ද පදනම වැඩි කරගැනීමටත් ඩැහැගෙන සිටින තතු තුල මෙම පාර්සල් යැවීම “ව්‍යාජ අනතුරු හැඟවීමේ” මෙහෙයුමක් වී ද? ට්‍රම්ප්ගේ දක්ෂිනාංශික මාධ්‍ය සහකරුවන් මෙම අදහස පාකර යැවීමට යුහුසුලු වුනු අතර, ට්‍රම්ප්ට එරෙහි රුසියානු-විරෝධී උද්ඝෝෂනයේ දී ඩිමොක්‍රටිකයන් සමග ගැලතී සිටින මිලිටරි-රහස් ඔත්තු සේවා යාන්ත්‍රනය නිශ්චිත ව ම එවැනි ප්‍රකෝපකරනයක් සිදුකිරීමේ සම්පූර්න හැකියාව තිබේ.

එන්බීසී ප්‍රවෘත්ති සේවයේ දේශපාලන අධ්‍යක්ෂ චක් ටොඞ්, ඔහුගේ කිසිසේත් තහවුරු නො කල හා බොහෝ සෙයින් විය නො හැකි “බිය” වන “මෙය දැන් සිදුවෙමින් පවතින දෙය ...එනම් අප එකිනෙකා බෙදීම පිනිස සැලසුම් කල එක්තරා රුසියානු මෙහෙයුමක් විය හැකි ය” යන්න පාකර හැරියේ ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට ස්වාධීන සාක්ෂි නොමැති නමුත් යමෙක් සියලු කියාපෑම් දෙස සැකයෙන් බැලිය යුතු ය. සීඑන්එන්, එෆ්බීඅයි හෝ එන්වයිපීඩී අවධාරනය කරන නිසා සරල ව ම කිසි දෙයක් විශ්වාස කල නො හැක්කේ, ධවල මන්දිරයෙන් හෝ ට්‍රම්ප්ගේ ට්විටර් ගිනුමෙන් සම්භවය ලබන ප්‍රකාශන හොඳ යයි නො සැලකිය හැකිවාක් මෙන් ම ය.

තැපෑල හරහා සිදුවුනු ත්‍රස්ත ප්‍රහාර ඩැහැගෙන බියවැද්දීමේ උද්ඝෝෂනයක් සමගින් මහජන මතය කැලඹීමට සංගත මාධ්‍ය උත්සාහ දරා ඇති පලමු අවස්ථාව මෙය නො වේ. මිනිසුන් හය දෙනෙකු මරා දමමින් 2001 ගිම්හානයේ සිදු වූ ඇන්ත්‍රැක්ස් බියවැද්දීම වඩාත් ම අවධානයට ගනිමින් අපට මේ පිලිබඳ අතීතය මතකයට ගත හැකි ය. එවක දී දීර්ඝ-කාලයක් පුරා එක්සත් ජනපදය විසින් සැලසුම් කර තිබුනු ඉරාකය ආක්‍රමනය කොට යටත් කරගැනීමට අවශ්‍ය පරිදි මහජන මතය සූදානම් කිරීම සඳහා කල උද්ඝෝෂනයේ කොටසක් ලෙස බුෂ් පරිපාලනය හා මාධ්‍ය ඉරාකයට වරද පැටවීමට ක්‍රියාකල හ. අවසානයේ දී එලඹුනු නිගමනය වූයේ, කිසිදා නිශ්චිත ව පැහැදිලි කර නොමැති කොන්දේසි යටතේ ප්‍රධාන වසයෙන් නායක ඩිමොක්‍රටිකයන්ට තැපැල් කෙරුනු ඇන්ත්‍රැක්ස් පනිවුඩ, එක්සත් ජනපද හමුදාවේ විෂ බීජ යුද මෙහෙයුම් මධ්‍යස්ථානයකින් ජනනය වූ බව ය.

කිව හැකි දෙය වන්නේ තැපැල් බෝම්බ යැවීම එක්සත් ජනපද පාලක ප්‍රභූව ඇතුලත දිගහැරෙන දේශපාලන ඝට්ටනයක කොන්දේසි යටතේ සිදුවන බව ය.

සැකකටයුතු තැපැල් බෝම්බ හා ඉන් ප්‍රතිඵල වූ මාධ්‍ය ඝෝෂාවේ කාල නීර්නය සිත්ගන්නාසුලු ය. මැතිවරනයට දෙසතියකටත් අඩු කාලයක් තිබිය දී අනෙකුත් සියලු කාරනා පාහේ මහජන අවධානයට ලක්වීමෙන් ඉවතට හරවනු ලැබ ඇත: ට්‍රම්ප් විසින් සංක්‍රමනිකයන් දඩයම් කිරීම, සවුදි අරාබියේ විරුද්ධවාදියෙකු එරටෙහි මධ්‍යකාලීන රාජාන්ඩුව විසින් කෲර ලෙස මරා දැමීමට එක්සත් ජනපදයේ වගකීම, එක්සත් ජනපද හා ලෝක මූල්‍ය පද්ධතිය සොලවාලන ප්‍රකම්පනය සහ සමාජ හා ආර්ථික අසමානතාව අනවරත ව ගැඹුරු වීම යනාදිය ඒවා ය.

සීඑන්එන්හි දී තැපැල් බෝම්බය සොයාගැනීමෙන් පසුව ඔක්තෝබර් 24දා මැන්හැටන් මධ්‍යනගරය වසාදැමීමේ දී අඩුවෙන් අවධානයට ලක්වුනු අංශයක් වන්නේ, ටයිම් වෝනර් මූලස්ථාන ගොඩනැගිල්ලේ සිට නිශ්චිත අරයක් ඇතුලත සිටින ඕනෑම අයෙකුට, ජංගම දුරකථනයේ භූගෝලීය පිහිටීම පදනම් කරගෙන අනතුරු හැඟවීමේ කෙටි පනිවුඩයක් යවමින්, පොලීසිය විසින් ජංගම දුරකථන පද්ධතිය අල්ලාගැනීම ලෝකය තුල පලමු වරට යථා වසයෙන් ක්‍රියාත්මක කිරීම යි. ජාතික ගුවන්විදුලි හදිසි සංඥා පද්ධතිය පලමු වරට අත්හදා බලන ලද්දේ සති තුනකට පෙර ඔක්තෝබර් 3දා ය.

මහා පරිමානයෙන් ප්‍රාදේශීය, ප්‍රාන්ත හා මධ්‍යම පොලීස් සේවාවන් මෙන් ම ඔත්තු ඒජන්සීන් බලමුලුගැන්වීම සහ මාධ්‍යවල පූර්න පරිමාන උන්මාදය පහත සඳහන් ප්‍රශ්නය මතු කරයි: එවැනි සිද්ධියක් මැතිවරනයේ මුව විට හෝ මැතිවරන දිනයේ සිදුවුව හොත් ට්‍රම්ප් පරිපාලනය සමහර ප්‍රදේශවල හෝ සමස්ත ප්‍රාන්තවල මැතිවරන කල්දැමීමට හෝ මැතිවරනය ම අවලංගු කිරීමට හදිසි නීති බලතල යොදාගන්නේ ද? ඩිමොක්‍රටික් පක්ෂය හා සංගත මාධ්‍ය ධවල මන්දිරය වටා රැලි වන්නේ ද?

මේ වසර මුල දී, මැතිවරනයෙන් යන්තම් දින කිහිපකට පසුව එක්සත් ජනපද අගනුවර වීදිවලට යුද ටැංකි හා සන්නද්ධ මෝටර් රථ ගෙන එමින් වොෂින්ටන් ඩීසී නගරයේ දී පූර්න-පරිමාන මිලිටරි පෙරෙට්ටුවක් සිදුකිරීම සඳහා කොංග්‍රසයේ අනුමැතිය ලබාගැනීමට ට්‍රම්ප් තදින් ම උත්සාහ කලේය. එම සිද්ධියේ දී රිපබ්ලිකානු කොංග්‍රස් සභිකයන් හා මිලිටරි නිලධරය පවා එවැනි ප්‍රදර්ශනයක් මහජන විරෝධය අවුලුවනු ඇතැයි උත්සුක ව එය වැලැක්වී ය.

මෙම සිදුවීම්වල ගමන් මාවත අනතුරුදායක ය. එක්සත් ජනපද මැතිවරනය පැවැත්වෙන්නේ, මාලිගා උගුල් ඇටවීම් හා කුමන්ත්‍රන සමග ඒකාබද්ධ ව ප්‍රජාතාන්ත්‍රික රූපාකාරයන් ආන්තික ව ඛාදනය වීම විසින් සංලක්ෂනය කරනු ලබන ඇමරිකානු දේශපාලනයේ “ලතින් ඇමරිකානුකරනය” ලෙස විස්තර කල හැකි දෙයෙහි කොන්දේසි යටතේ ය. තමන් ව ම පුද්ගලාභිවාදකයෙක්, අනභියෝගී නායකයෙක්, දේශපාලනික-මිලිටරි ශක්තිවන්තයෙක් වීමට ශක්‍යතාව ඇත්තෙක් වශයෙන් හඳුන්වා ගනිමින් ට්‍රම්ප් මෙම මැතිවරනය තමන් පිලිබඳ ජනමත විචාරනයක් බවට පත්කර ඇත්තේ, ආකර්ශනීය ශ්‍රාවකයන්ට ෆැසිස්ට්වාදී පරුෂ වචන දොඩමින් හා ඔහුගේ හතුරන් විනාශ කරන බවට තර්ජනය කරමිනි.

ඩිමොක්‍රටික් පක්ෂයේ ට්‍රම්ප්ගේ නාමික විරුද්ධවාදියෝ, සියලු විරුද්ධත්වය බ්‍රෙනන් වැනි පුද්ගලයන් ඇතුලු මිලිටරියේ හා ඔත්තු සේවා යාන්ත්‍රනයේ බලගතු කන්ඩායම් පිටුපසට ගාල් කොට ඇත. මැද පෙරදිග තුල ද රුසියාවට එරෙහි ව ද වඩා ආක්‍රමනශීලී විදෙස් පිලිවෙතක් සඳහා පීඩනය යෙදීමට රුසියානු-විරෝධී උද්ඝෝෂනය උපයෝගී කරගෙන ඇති ඔවුහු, හා රට තුල “බෙදීම් වැපීරීමට” දරන සියලු උත්සාහයන් වැලැක්වීම සඳහා අන්තර්ජාලය වාරනය කිරීමට වඩා විවෘත පියවර ගන්නා ලෙස අනවති.

පාලක පන්තියේ කන්ඩායම් දෙක ම රැඳී සිටින්නේ අතිශයින් පටු සමාජ ස්ථරයන් මත ය. අභ්‍යන්තර කන්ඩායමික යුද්ධයක් දියත් කරන අතර, කම්කරු පන්තියේ අතෘප්තියේ හා අරගලයේ අර්ථභාරී ප්‍රකාශනයන් නිෂ්පන්න කිරීම අරඹා ඇති නවීන ඉතිහාසයේ පෙර නුවූ පරිමානයෙන් ආර්ථික අසමානතාව වර්ධනය වීම සහ එක්සත් ජනපද හා ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදයේ ගම්‍යයන්ගෙන් සියල්ලට මත් වඩා ඔවුහු තැතිගෙන සිටිති. නිල පක්ෂ දෙක හා මාධ්‍ය ඇතුලු රටෙහි සමස්ත දේශපාලන ජීවිතය බිලියනපතියන්ගේ හා බහු-මිලියනපතියන්ගේ කිහිප දහසක් විසින් පාලනය කෙරේ.

මේ සියල්ල නිෂ්පන්න කරන්නේ සියල්ලට ඉහලින් ආන්තික අස්ථාවරත්වය විසින් සංලක්ෂනය කරනු ලබන දේශපාලන පද්ධතියකි.

පැට්‍රික් මාටින්

Share this article: