පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවති ඩේවිඩ් නෝර්ත් ගේ දේශනය ශිෂ්‍යයින් හා කම්කරුවන්ගේ බලගතු සාහායක් දිනා ගනී

David North’s lecture at Peradeniya University in Kandy attracts significant support from students and workers

අපගේ වාර්තාකරුවන් විසිනි, 2018 ඔක්තෝබර් 5

නෝර්ත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති මෙන්ම එක්සත් ජනපදයේ සසප ජාතික සභාපති ද වේ. ශ්‍රී ලංකාවේ සසප ආරාධනය පරිදි හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවීමේ 80වැනි සංවත්සරය ද, ශ්‍රී ලංකාවේ සසප 50වැනි සංවත්සරය ද සැමරීමේ අවස්ථාවන්ට සහභාගී වීමට ඔහු මෙරටට පැමින සිටී.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඬේවිඞ් නෝර්ත් දේශනය පවත්වයි

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශනය නෝර්ත් තම සංචාරය තුල දී පවත්වන ලද පලමු දේශනය යි. ඔක්තෝබර් 7වැනිදා කොලඹ නව නගර ශාලාවේ දී ඔහු තවත් දේශනයක් පවත්වනු ඇත.

බදාදා දේශනයට සූදානම් වීමේ දී, සසප හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ශිෂ්‍යයින්, ශාස්ත්‍රාලිකයින්, අනධ්‍යන කම්කරුවන් අතර හා පේරාදෙනිය සහ මහනුවර නගරය අවට ගම්වල හා වැඩපොලවල තියනු උද්ඝෝෂනයක නියලුනහ. ඔවුහු පත්‍රිකා හා ලෝසවෙඅ ලිපි දහස් ගනනක් බෙදා හැරියහ.

ඩේවිඩ් නෝර්ත්

දේශනය පැවති දින උදෑසන නවයේ සිට සසප හා සසජාතශි විශ්වවිද්‍යාලය තුල මාක්ස්වාදී පොත් ප්‍රදර්ශනයක් පැවත් වූහ, එය ආචාර්යවරුන් හා ශිෂයින්ගේ අවධානය දිනා ගත් අතර පක්ෂ උද්ඝෝෂකයින් සමග ප්‍රබල සාකච්ඡාවලට ද මග පෑදී ය.

ඬේවිඞ් නෝර්ත් විසින් ලියන ලද, ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම සඳහා හා රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස ඇතුලුව පුලුල් පොත්පත් එකතුව ප්‍රදර්ශනය තුල මෙන් ම, දේශන ශලාවේ පොත් මේසයේ දී ප්‍රදර්ශනය කෙරුනි. රුපියල් 14,000ක් වටිනා පොත් අලෙවිවීම ඒ සඳහා වූ උනන්දුව පිලිබඳ වැදගත් දර්ශකයක් විය.

සන්ධ්‍යාවේ පැවති දේශනයේ ප්‍රේක්ෂකයින් අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, ආචාර්යවරු හා අනධ්‍යන කාර්ය මන්ඩල සේවකයෝ, පේරාදෙනිය ශික්ෂන රෝහලේ වෛද්‍යවරු, හෙදියෝ මෙන්ම සසප හා සසජාතශි සාමාජිකයෝ හා හිතවත්හු වූහ.

දේශනයේ මුලසුන ගනු ලැබුවේ සසප ජාතික ලේකම් විජේ ඩයස් විසිනි. දේශනය සඳහා විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ප්‍රධාන දේශන ශාලාව වන කාලාගාරය ලබා දීමට සහාය දැක් වූ එම විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන පීඨයට ඔහු කෘතඥතාව පල කලේ ය.

විජේ ඩයස්

සමාජවාදය සඳහා අරගලයේ ඓතිහාසික පාඩම් උකහා ගැනීමේ වැදගත්කම ගැන ඩයස් අවධානය යොමු කලේ ය. ලෝක ධනවාදය ගැඹුරු අර්බුදයකින් විඳවමින් සිටින බවත්, 2008 එක්සත් ජනපදය තුල ඇරඹී, ලෝකය ග්‍රහනයට ගත් මූල්‍ය බිඳ වැටීමේ තැන් සිට එය තීව්‍ර වී ඇති බව ද ඔහු පැහැදිලි කලේ ය. එක්සත් ජනපදයේ ගුරුවරුන් හා කම්කරුවන්ගේ සහ යුරෝපීය කම්කරුවන්ගේ අරගල මෙන් ම, ඉන්දියාවේ කම්කරුවන් හා දුප්පත් ගොවීන්ගේ විරෝධතාවන් මතු වී ඒම ගැන ද ඔහු කෙටියෙන් සඳහන් කලේ ය.

කම්කරු පන්තියට විප්ලවවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක මග පෙන්වීම අවශ්‍ය යැයි ඩයස් පැවසී ය. හතරවැනි ජාත්‍යන්තරයේ වසර අසූවක ඉතිහාසය හැදෑරීම මෙම ඉදිරිදර්ශනය සඳහා අතිශය වැදගත් බව ඔහු අවධාරනය කලේ ය.

ට්‍රොට්ස්කිවාදය සඳහා දශක හතරකට වැඩි කාලයක අරගලය තුල නෝර්ත් ප්‍රමුඛ කාර්භාරයක් ඉටු කර ඇත යි දේශකයා හඳුන්වා දෙමින් ඩයස් පැවසුවේ ය. “නොර්ත් ට්‍රොට්ස්කිවාදයේ ඉතිහාසය පිලිබඳ විශේෂඥයෙක් වගේ ම එය ආරක්ෂා කිරීම සඳහා බොහෝ පොත් ලියලා තියෙනවා” යැයි ඔහු සඳහන් කලේ ය.

තම දේශනය ආරම්භයේ දී, එවකට ලංකාව නමින් හැඳින් වූ ශ්‍රී ලංකාව තුල, 1935දී ලංකා සම සමාජ පක්ෂය ද (ලසසප), 1942දී ඉන්දීය බෝල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය ද (බීඑල්පීඅයි) පිහිටුවා තිබූ පුරෝගාමී ට්‍රොට්ස්කිවාදීන් විසින් කරන ලද ශ්‍රේෂ්ට දායකත්වයන් ගැන අවධාරනය කලේ ය. විප්ලවවාදී සමාජවාදී ගමන් මග සඳහා ඔවුන්ගේ දායකත්වය ලෝකය පුරා ට්‍රොට්ස්කිවාදීන් අතර සුප්‍රසිද්ධ බව ඔහු පැවසී ය.

අද සමාජවාදය සඳහා අරගලයේ දී ඓතිහාසික පාඩම්වල තීරනාත්මක වැදගත්කම අවධාරනය කරමින් නොර්ත් මෙලෙස සඳහන් කලේ ය. “ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, අනිවාර්යයෙන් ම, ඉතිහාසය ගැන දැනුවත්ය. ඓතිහාසිකව-පාදක වූ ඉදිරිදර්ශනයකින් තොර වූ කල, දේශපාලන විශ්ලේෂනය, සාරසංග්‍රහවාදී ලෙස තෝරා ගැනුනු ධාරනාවන්ගේ මට්ටමට පිරිහෙලනු ලබයි”

ස්ටැලින්වාදී නිලධරය විසින් ප්‍රචාරය කෙරුනු “තනි රටක සමාජවාදය” පිලිබඳ මාක්ස්වාද විරෝධී න්‍යායට එරෙහිව, 1917දී ඔක්තෝබර් විප්ලවයේ දී බලය ගැනීමට රුසියානු කම්කරු පන්තිය සඳහා විප්ලවවාදී මූලෝපාය සැපයූ, ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය ඔසවා තැබීමට ට්‍රොට්ස්කි විසින් ගෙන යන ලද න්‍යායික හා දේශපාලනික අරගලයේ අතිශය වැදගත් අවධීන් නෝර්ත් විසින් විස්තාරනය කරන ලදී. ට්‍රොට්ස්කි විසින් මාක්ස්වාදය ආරක්ෂා කිරීම, 1938දී හතරවැනි ජාත්‍යන්තරය ආරම්භ කිරීම සඳහා පදනම දැමී ය.

නොර්ත් මෙසේ තම කතාව අවසන් කලේ ය: ට්‍රොට්ස්කි පෙර දුටු පරිදි, මනුෂ්‍ය වර්ගයා, “යුද්ධයන්ගෙන්, නැගිටීම්වලින්, සාම ගිවිසුම්වලින් යුක්ත කෙටි අන්තර්කාල පරිච්ඡේදයන්ගෙන්, නව යුද්ධයන්ගෙන්, හා නව නැගිටීම්වලින් යුක්ත, දශක ගනනාවක්” හරහා ගමන් කොට තිබේ. වඩාත් ම අහිතකර කොන්දේසි යටතේ දේශපාලනිකව-වධබන්ධනයට ලක්කෙරුනු සුලුතරයක් ලෙස මාක්ස්වාදයේ උරුමය ආරක්ෂා කරගනිමින්, ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය යටතේ, හතර වන ජාත්‍යන්තරය දැවැන්ත අත්දැකීම් සම්භාරයක් සමුච්ඡය කරගෙන තිබේ. සිද්ධීන් විසින් එහි ඓතිහාසික ඉදිරිදර්ශනය සනාථ කරනු ලැබ ඇත. දැන්, ධනවාදයේ මර ලතෝනියේ මෙම පසුකාලීන හා ඉතා වැඩි දියුනු මට්ටමේ දී, සමාජවාදී විප්ලවයේ මහජන ලෝක පක්ෂය ලෙස හතර වන ජාත්‍යන්තරය ගොඩනැගීමට කොන්දේසි නිර්මානය වී තිබේ.

එක වර දෙමල හා සිංහල භාෂාවන්ට පරිවර්තනය කෙරුනු දේශනයෙන් පසු, ප්‍රේක්ෂක සාමාජිකයින් විසින් අසන ද ප්‍රශ්න මාලාවකට නෝර්ත් පිලිතුරු දුන්නේ ය.

ශ්‍රාවකයින්ගෙන් කොටසක්

එක්සත් ජනපදය තුල සමාජවාදය සඳහා වන අපේක්ෂාවන් පිලිබඳ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්, නෝර්ත් පැහදිලි කලේ ඇමරිකානු කම්කරුවන් අතර දේශපාලනික පන්ති විඥානයේ වර්ධනය මර්දනය කර තිබූ වෛෂයික කොන්දේසි, විශේෂයෙන් ම, ඇමරිකානු ධනවාදයේ අතිමහත් ධනය හා අනභියෝගී ගෝලීය ආධිපත්‍යය, ප්‍රගාඪ ලෙස ඛාදනය වී ඇති බව යි. ඇමරිකානු ධනවාදයේ ඓතිහාසික පරිහානිය හා අර්බුදය දැන් පන්ති විඥානයේ වර්ධනය සඳහා ආවේගය සපයයි.

“ට්‍රොට්ස්කි වරෙක සඳහන් කල පරිදි, ඇමරිකානු පාලක පන්තිය ලෝකයේ වඩාත් ම බිය වූ (පන්තියයි). එය හැම විටම කම්කරුවන් අතර සමාජවාදයේ වර්ධනය පිලිබඳව බිය වී ඇත. මේ නිසයි මාධ්‍ය තුල හැම විටම මාක්ස්වාද විරෝධී ප්‍රචාරය එතරම් බියකරු ලෙස හසුරුවා ඇත්තේ. නමුත් සමාජවාදය අපකීර්තියට පත් කිරීමේ සියලු උත්සාහයන් නො තකා කම්කරුවන් හා තරුනයන් අතර සමාජවාදය පිලිබඳ උනන්දුවේ පිබිදීමක් ඇත්තේ එම නිස යි.”

ඇමරිකානු කම්කරුවන් අතර සටන්කාමී වර්ධනය ද, පන්ති අරගලයේ ජාත්‍යන්තර ස්වභාවය පිලිබඳ ඔවුන්ගේ අවබෝධය වර්ධනය කිරීමට සසප ගන්නා උත්සාහය ද නෝර්ත් විසින් සඳහන් කල අවස්ථාවේ ශාලාව තුල ඔල්වරසන් හඬ නැගුනි.

පොත් ප්‍රදර්ශනය හා දේශනයට පෙර, සසප හා සසජාතශි සාමාජිකයෝ ශිෂ්‍යයින්, ආචාර්යවරුන් හා කම්කරුවන් සමග සාකච්ඡා කලහ.

සිතාරා

පලමු වසර මනෝවිද්‍යා ශිෂ්‍යාවක වන සිතාරා මෙසේ පැවසුවා ය. “ධනවාදය තුල මනුෂ්‍ය වර්ගයාට යහපත් අනාගතයක් නැති බව මම දැනටමත් දන්නවා. ඒ නිසා මම සමාජවාදය ගැන උනන්දුයි. මම ජේවීපී හිතවතෙකු විදිහට හිටියා. නමුත් මම තේරුම් ගත්තා ඒක සමාජවාදය සඳහා කිසිම සටනක් නොකරන බව”.

සසප සමග සාකච්ඡාව අගය කරන බව සිතාරා පැවසීය. “සමාජවාදය කම්කරු පන්තියේ සැබෑ අවශ්‍යතාව කියලා මම තේරුම් ගත්තා. කම්කරු පන්තිය මුහුන දෙන පොදු ප්‍රශ්නවලට එකම විසඳුම සමාජවාදයයි. නමුත් කම්කරු පන්තිය කොහොමද තමන්ගේ විප්ලවවාදී කාරිය තේරුම් ගන්නේ කියන එකයි මට තිබුන ප්‍රශ්නය. ඔවුන් දැනුම ලබා ගන්නේ කොහොමද? සාකච්ඡාවේ දී මම තේරුම් ගත්තා ඔවුන්ව දැනුවත් කිරීමට හා මෙහෙය වීමට විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය බව”.

විෂන්ක (දකුනේ), පොත්සැලේදී සසප සාමාජිකයෙකු සමග සාකච්ඡා කරයි

හතරවැනි වසර පස්චාත් උපාධි මනෝවිද්‍යා ශිෂ්‍යයෙකු වන විෂන්ක මෙසේ පැවසී ය: “මම තේරුම් ගත් ඉතාමත් වැදගත් දේ තමා ජාතික ඉදිරිදර්ශනයක පදනම මත සමාජවාදය සඳහා සටන් කරන්න බැහැ කියන එක. අපි ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කරන්න ඕනෑ. ඒ වගේ ම සියලු ව්‍යාජ වාම කන්ඩායම් ගැන බලගතු විවේචන කරන්න ඕන. පෞද්ගලික උත්සාහයන්ට ධනවාදය පෙරලා දමන්න බැහැ; අපි ධනවාදී අර්බුදයේ මුල් හේතුව තේරුම් ගන්න ඕනෑ. විශ්වවිද්‍යාල වල මේ වගේ මැදිහත්වීම් ඇත්තෙන් ම තීරනාත්මකයි කියලා මම හිතනවා.”

සමාජවාදී ඉදිරිදර්ශනයක් නැති තැන මහජනයා පහසුවෙන් නොමග යැවීමටත් ධනපති පක්ෂවලට යටත් කිරීමටත් හැකි බවත් භූගෝල විද්‍යා ශිෂ්‍ය ලක්ෂිත පැවසී ය. 2015 ජනාධිපතිවරනය ගැන අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසී ය: “ඔහු අඩු නපුර කියල හිතාගෙන මා ඇතුලු බොහෝ දෙනා ඡන්දය දුන්නේ මෛත්‍රීපාල සිරිසේනට. එයා මහින්ද රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට තිත තියයි කියලත් හිතුවා.”

“නමුත් දැන් අපිට පේනවා ඔහුගේ ආන්ඩුවත් ඉදිරියට ගෙන යන්නේ රාජපක්ෂ කරපු දේමයි කියලා. ජවිපෙ ඇතුලු ඔක්කොම ව්‍යාජ වාම පක්ෂ සිරිසේනට කඬේ ගියා. ඔබලා මෙන් වෙනත් කිසි කෙනෙක් ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ සැබෑ අර්බුදය පැහැදිලි කලේ නැහැ”.

ලක්ෂිත (වම්පසින්)

ලක්ෂිත ගෝලීය ආර්ථිකය හා ජාත්‍යන්තර කම්කරු පන්තිය ගැන ද කතා කලේ ය. “සෑම ආන්ඩුවක් ම, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය සඳහා වඩා හොඳ කොන්දේසි නිර්මානය කල යුතු බව ඔහු පැවසී ය. “ඒ නිසා තමන්ගේ රටවල්වල කම්කරු පන්තිය සූරාකෑම වේගවත් කිරීමට ඔවුන්ට අවශ්‍යයි. කම්කරු පන්තිය තමන් තනි ජාත්‍යන්තර පන්තියක් කියලා හඳුනා ගන්න ඕන.”

අවසන් වසර කලා ශිෂ්‍යයෙකු වන විජය සාකච්ඡාවට එක් වුයේ, ඔහු විශ්වවිද්‍යාලයේ මුහුන දෙන දුෂ්කරතා විස්තර කරමිනි. “මගේ තාත්තා මිය ගිහිල්ලා. මගේ අයියා වතු කම්කරුවෙක්. මම හැම සතියකම ගෙදර යනවා අම්මා බලන්න. එක වතාවක් ගෙදර යන්න රුපියල් 500ක් යනවා. හැකි තරම් සල්ලි ඉතිරි කර ගන්න යුනිවර්සිටි කැන්ටිමෙන් මම කන්නේ ලාභම කෑම.”

ධනවාදයේ අර්බුදයට විසඳුම සමාජවාදය කියලා තමන් විශ්වාස කරන නමුත් සමාජවාදී සමාජයක් ඇති කරන්නේ කොහොමද කියලා තමන් ට පැහදිලි නැති බව විජය පැවසී ය. ඉතා වැදගත් දෙය කම්කරු පන්තිය හා තරුනයන් අතර දේශපාලන දැනුවත්භාවය වර්ධනය කිරීම බව තමන් පිලිගන්නා අතර විද්‍යාත්මක මාක්ස්වාදී න්‍යාය මත පදනම් නො වූ සන්නද්ධ අරගලයකින් විප්ලවය සාර්ථක කර ගත නො හැකි බව තේරුම් ගත් බව ද ඔහු පැවසීය.

රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන්ද? හා සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජත්‍යන්තර පදනම් ඇතුලුව පක්ෂ ප්‍රකාශන කීපයක් විජය මිල දී ගත්තේ ය.

දේශනයෙන් පසු, ඔහු තේරුම් ගත් වැදගත් කාරනා සාකච්ඡා කලේ ය. ස්ටැලින්වාදය 1917 ඔක්තෝබර් විප්ලවය පාවා දුන්නේ කෙසේ ද යන්නත් ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනයේ නිවැරදි බවත් තමන් වටහා ගත් බව ඔහු පැවසී ය. ජවිපෙ නායකත්වය දුන් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සම්මේලනය “විශ්වවිද්‍යාල තුල දේශපාලනය එපා” යැයි ප්‍රචාරය කිරීම තමන් ප්‍රතික්ෂේප කරන බවත්, එය ඓතිහාසික වාර්තා හැදෑරීමෙන් ශිෂ්‍යයින් වල්කවන බවත් ඔහු සඳහන් කලේ ය.

<

Share this article: