නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ ප්‍රෝඩාකාරී “මැතිවරන කුමන්ත්‍රන” වාර්තාව රුසියානු-විරෝධී උමතුව තීව්‍ර කරයි

New York Times’ fraudulent “election plot” dossier escalates anti-Russia hysteria

2018 සැප්තැම්බර් 21

“මැතිවරනයකට වල කැපීමට කල කුමන්ත්‍රනය” නමැති ප්‍රෝඩාකාරී හා ප්‍රකෝපකාරී “විශේෂ වාර්තාවක්” නිව් යෝක් ටයිම්ස් පත්‍රය සැප්තැම්බර් 20දා පලකලේ ය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සයිබර් යුගයේ දුෂ්ට කුමන්ත්‍රනකරුවෙකු ලෙස පින්තාරු කරන දාමරික පෙනුමැති රූප සටහන් වලින් පිරුනු මෙම වාර්තාව, “ඉතිහාසය තුල ඇමරිකානු මැතිවරනයකට බාධාකර බලපෑම් කිරීමට කල වඩාත් ම බලගතු විදෙස් උද්ඝෝෂනයේ හුයපට” නිරවුල් කිරීම අරමුනු කරගනී.

මෙම වාර්තාවට, “ගැඹුරු” ජනමාධ්‍යවේදය ලෙස ඉදිරිපත් කරනු ලබන සීඅයිඒය විසින් අධ්‍යක්ෂිත ව්‍යාජ තොරතුරු පිලිබඳ පාඨ ග්‍රන්ථ නිදසුනක් ලෙස සේවය කල හැකි ය. ටයිම්ස් විසින් නිෂ්පාදිත වෙලඳ දැන්වීම් රහිත පිටු 11ක් පුරා දිවෙන වචන 10,000කින් යුත් මෙය තුල, ප්‍රවෘත්ති, තහවුරු කල කරුනු හෝ අර්ථභාරී විශ්ලේෂනයක් අඩංගු නො වේ.

නිව් යෝක් සිටි හා වොෂින්ටන් නගරවල, 2016 ඔක්තෝබරයේ හා නොවැම්බරයේ දී රුසියානු ධජයකට ඉහලින් පුටින් “සාමසාධකයෙකු” ලෙස හා “මිනීමරුවානනි ආයුබෝවන්” යන සටන් පාඨය සහිත ඔබාමාගේ රූපයක් පෙන්නුම් කරන පාලම්වල එල්ලා තිබූ ධජයන් දෙකක සිද්ධි තර්ජනාත්මක ව යලි සිහියට නංවමින් ලිපිය ආරම්භ වේ.

“ධජයන් එල්ලා තිබුනේ කවුරුන්දැයි පොලීසිය කිසිවිටෙක හඳුනා නො ගත්” බව පිලිගන්නා ලිපිය, එතෙකුදු වුවත්, මෙසේ අවධාරනය කරයි: “නිව් යෝක් හා වොෂින්ටන් නගර තුලින් ක්‍රෙම්ලිනය එක්සත් ජනපද භූමියට ලඟා වී තිබුනු බව පෙනේ. මෙම ධජයන්ගේ අභිප්‍රාය විය හැක්කේ, ඉතිහාසය තුල ඇමරිකානු මැතිවරනයකට කල වඩාත් ම බලගතු විදෙස් මැදිහත්වීමේ දෘෂ්‍යමය ජයග්‍රහනය ලෙස ය.”

එය ක්‍රෙම්ලිනය බව “පෙනෙන්නේ” ඇයි? මෙම කියාපෑම සාධනය කරන සාක්ෂි මොනවා ද? නිව් යෝක් නගරයේ වාසය කරන මිලියන 8.5 හා වොෂින්ටන් ඩීසීහි තවත් 700,000ක් වැසියන් අතර, ඔබාමා මෙන් ම බොහෝ සෙයින් ව්ලැදිමීර් පුටින් ව අරහං වී ඇති පුද්ගලයන් ඕනෑ තරම් නො සිටිය හැකි ද?

එක්සත් ජනපද ඔත්තු සේවාවන්, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂවල ධනේශ්වර දේශපාලනඥයන් හා ටයිම්ස් පත්‍රය ම විසින් තනන ලද තහවුරු නො කල චෝදනා වැමෑරීම අඩංගු වන මෙම ලිපියේ සමස්ත තානය සකසන්නේ, “පෙනෙන්නට තිබේ”, “බොහෝ සෙයින් විය හැකිය” යන දෙක සමග ඒකාබද්ධිත “එක්සත් ජනපද භූමියට” ක්‍රෙම්ලිනය තම දුෂ්ට ග්‍රහනය විස්තාරනය කිරීම පිලිබඳ සමපේක්ෂනයන් සහිත මෙම අභූත ඡේදය විසිනි.

“ට්‍රම්ප්-රුසියා” කතන්දරය ගැන “මහජන අවබෝධයක්” නැති කම ගැන ලිපියේ කතුවරු දෙදෙනා වන ස්කොට් ෂේන් හා මාක් මැසේටි කනිපින්දම් කියති. වොෂින්ටනය තුල ද ටයිම්ස් පත්‍රය ඉලක්ක කරන පාඨකයන් වන ඉහල-මධ්‍යම පන්තියේ ධනවත් කොටස් අතර ද වසර දෙකක් තිස්සේ අවුලුවාලන ලද රුසියානු-විරෝධී උමතුව තිබුන ද මත විමසුම් පෙන්වා දී තිබෙන්නේ, 2016 ජනාධිපතිවරනයට රුසියාවේ “අතපෙවීම” පිලිබඳ චෝදනා ඇමරිකානු ජනගහනයේ පුලුල් මහජනයා අතරින් පැනනංවා ඇත්තේ අල්ප ප්‍රතිචාරයක් පමනක් බව යි.

ක්‍රෙම්ලිනය, එක්සත් ජනපදයට එරෙහි ව “සයිබර් යුගයේ රහස් පර්ල් හාබර්” ප්‍රහාරයක් දියත් කර, “මුහුනුපොත හා ට්විටර් වැනි ඇමරිකානු සමාගම්” හා “සංක්‍රමනය හා වර්ගය පිලිබඳ ව ඇමරිකානු පුරවැසියන්ගේ හැඟීම්” යන දෙක ම “පැහැරගැනීමේ දී” සාර්ථක වී යයි කියාපෑම මගින් අතපෙවීමේ චෝදනා කැටීමෙන් මෙම ගැටලුවට පිලියම් කිරීමට “විශේෂ වාර්තාව” යත්න දරයි.

“සාධනය කිරීමට හෝ නිෂ්ප්‍රභ කිරීමට නො හැකි වුවත් පුටින් මහතා ඔහු ආකර්ශනය වූ ට්‍රම්ප් මහතාට ජනාධිපති ධුරය ප්‍රදානය කිරීමේ දී සාර්ථක වූ බවට තේරුම් ගත හැකි හේතුවක් තිබේ” යන කියාපෑම සමගින් “වියහැකි” හා “පෙනෙන්නට තිබේ” යනුවෙන් වාර්තාව තුල කරන සියලු පලකිරීම් පිරී තිබේ. වෙනත් වචනවලින් කියතොත්, ටයිම්ස් වාර්තාකරුවන්ට ඔවුන්ගේ කියාපෑම් තහවුරු කල නො හැක.

ජාත්‍යන්තර සබඳතාවන්ගේ වෘතාන්තයන් තුල යම් සුවිශේෂී භයංකර දෙයක් තිබෙන්නාක් මෙන්, මුහුනුපොතේ පලකිරීම් පිටුපස සිටි මහමොලකරු පුටින් ය යන තර්කයේ පිහිට උපකල්පනය කරමින් මැසේටි හා ෂේන් ඔහුගේ ක්‍රියාකාරකම් පින්තාරු කිරීමට මහන්සි වෙති.

එහෙත් සුප්‍රකට දෙය වන්නේ, විදේශ මැතිවරනයන් මත බලපෑම් කිරීමටත්, එක්සත් ජනපදයේ අවශ්‍යතාවන්ට බාධාකාරී යයි දැකගන්නා ආන්ඩු පෙරලා දැමීමටත්, දේශපාලකයින්, බුද්ධිමතුන් හා බලපෑම් සහගත අනෙකුත් ඒජන්තයින් මිල දී ගැනීමටත්, එක්සත් ජනපදය සෑම වසරක ම ඩොලර් දස බිලියන ගනනක් වියදම් කරන බව යි. තන්ත්‍ර මාරු සිදුකිරීම පිනිස එය, කුමන්ත්‍රනවලට පිටුබලය දෙමින් ඍජු යුද්ධ දියත් කර තිබේ. මෙම කුමන්ත්‍රනවලින් බොහෝ ඒවාට නිව් යෝක් ටයිම්ස්හි සහයෝගය ලැබී තිබේ. එක්සත් ජනපද ඔත්තු සේවා ඒජන්සීන් සමග ඒකාබද්ධ ව ඇති එහි බොහෝ වාර්තාකරුවෝ, එක්සත් ජනපදයේ ජාත්‍යන්තර අවශ්‍යතා ඉදිරියට දැමීමට අවශ්‍ය ප්‍රචාරනය පිලිගන්වති.

එක්සත් ජනපදය විසින් ඉලක්ක කරනු නො ලැබූ දේශපාලන පද්ධතියක් සහිත රටක් ලෝකයේ නැත. මෙයට, රුසියාව හා පැරනි සෝවියට් සංගමය අයත් වන අතර, එහි, එක්සත් ජනපදය විසින් තන්ත්‍ර මාරු මෙහෙයුම් අඛන්ඩ ව සිදු කර තිබෙන්නේ, සෝවියට් සංගමය ස්ටැලින්වාදී නිලධරය විසින් බිඳ විසුරුවීමේ දී වොෂින්ටනය හා මොස්කෝව එකඟ වූ ගිවිසුම්වලට විරුද්ධ ව රුසියානු දේශසීමා අසලට ම එක්සත් ජනපදය නායකත්වය දෙන සන්නද්ධ හමුදා දිගේලි කරමින්, සෝවියට් සංගමය විසින් පුරප්පාඩු කරන ලද විශාල භූමි ප්‍රදේශ හා බලපෑම් සහගත කලාපවලට නැටෝ මිලිටරි සන්ධානයන් ප්‍රසාරනය කරන අතරතුරේ ය.

මෙය සරල ව නො තකා හරින ටයිම්ස්හි විශේෂ වාර්තාව, චෝදිත රුසියානු “අතපෙවීම” මුලුමනින් ම ජනාධිපති බැරැක් ඔබාමා හා ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සමග පුටින්ට පවතින පුද්ගලික ආරෝවන්වල නිෂ්පාදිතයකට සිඳුවයි.

එක්සත් ජනපදයේ ගෝලීය මෙහෙයුම්වල සන්දර්භය තුල ගත්කල, ටයිම්ස් කරන චෝදනා සියල්ල සත්‍යය යයි ඔප්පු වුවත් එවා තුට්ටුවක වටිනාකමට නො වැඩි දෙයක් වනු ඇත.

2016 එක්සත් ජනපද මැතිවරනයට බලපෑම් කිරීමට යෙදවූ රුසියානු “විපරම්කරුවන්, පරිඝනක දූෂකයන් හා ඒජන්තයන්” ගනන “දල වසයෙන් 100ක්” වූ බව එය කියයි. ඔවුන්ගේ කර්තව්‍යය වූයේ “මිලියන ගනන් ඇමරිකානු ඡන්ද දායකයන් මෙහෙයවීම” හා “මැතිවරනයක් කඩාකප්පල් කිරීම” බව එය සඳහන් කරයි.

එය ඉටුකිරීම සඳහා, රුසියානුවෝ මුහුනුපොතේ දැන්වීම් පලකිරීමට ඩොලර් 100,000ක්, “එනම්, ට්‍රම්ප් හා ක්ලින්ටන් යන දෙදෙනාගේ උද්ඝෝෂන මුහුනුපොත මත වියදම් කල කෝටි ගනනට සන්සන්දනාත්මක ව අල්ප මුදලක්” වියදම් කල බව එය කියයි. එම මුදල 2016 එක්සත් ජනපද මධ්‍යම මැතිවරනවල දී වියදම් කල ඩොලර් බිලියන 7ට ආසන්න මුදලට සන්සන්දනාත්මක ව එය ඉතා අල්ප මුදලකි.

එම වෙලඳ දැන්වීම් ඇමරිකානු දේශපාලන දේහය තුල “බෙදීම් රෝපනය කිරීම” ඉලක්ක කරගත් බව ටයිම්ස් කියා සිටින්නේ, එක්සත් ජනපදය දැනටමත්, වැඩකරන මහජනයාගේ ජීවන තත්ත්වයන්ගේ පිරිහී යාම් නිසා කෝපයට පත්ව සිටින ජනගහනයක් සහ මූල්‍ය හා සංගත කතිපයාධිකාරය ඉතිහාසයේ එදා මෙදාතුර විශාලම ආදායම් වැඩිවීම් ලබාගෙන තිබෙන, ඊනියා දියුනු ධනපති රටවල් අතරින් ගැඹුරුතම සමාජ අසමානතාව විසින් ඉරිතැලී ගිය රටක් නො වූවාක් මෙනි.

මුහුනුපොතේ රුසියානු වෙලඳ දැන්වීම් විසින් දිරිමත් කලා යයි කියන, මිනිසුන් දුසිම් කිහිපයක් ආකර්ශනය කරගත් විරෝධතාවන් අතලොස්සක් ගැන ලිපිය සඳහන් කරන්නේ, “කිසිවක් සැක නො කරන ඇමරිකානුවන් මත රූකඩ කප්පිත්තන්” ලෙස ක්‍රියාකල හැකි වූ මොස්කෝවේ “විපරම්දේහයන්”(ට්‍රොල්ස්) පිලිබඳ සාක්ෂි වසයෙනි. යමෙක් මේ සඳහා කලයුතු වන්නේ, 2014 දී යුක්‍රේනයේ රුසියාවට-හිතැති ආන්ඩුව පහකල ෆැසිස්ට්වාදීන් නායකත්වය දුන් සන්නද්ධ කුමන්ත්‍රනය දිරිමත් කිරීමට එක්සත් ජනපදය වැයකලා යයි රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරිනී වික්ටෝරියා නිව්ලන්ඞ් පිලිගත් ඩොලර් බිලියන 5 සමග මෙය සන්සන්දනය කිරීම යි.

ටයිම්ස් වාර්තාවේ වඩාත් ම දුෂ්ට අංශය වන්නේ, ඩිමොක්‍රටික් ජාතික කමිටුවේ (ඩීඑන්සී) හා ක්ලින්ටන් උද්ඝෝෂනයේ සභාපති ජෝන් පොදෙස්තාගේ ඊ-මේල් පනිවුඩ කාන්දු කිරීම ගැන විකිලීක්ස් වෙබ් අඩවිය හා එහි ආරම්භක ජූලියන් අසාන්ජ්ට චෝදනා කිරීම යි. එම ඊ-මේල් පනිවුඩ බර්නි සෑන්ඩර්ස්ට එරෙහි ව ක්ලින්ටන් වාසිදායක වන අන්දමින් ප්‍රාථමික මැතිවරන ඩීඑන්සීය විසින් ගසාකෑම හා වෝල් වීදියේ ශ්‍රාවකයන්ට ඔවුන්ගේ අවශ්‍යතා සුරක්ෂිත කරන බවටත් සිරියාව තුල යුද්ධය තීව්‍ර කරන බවට හා ඉරානයට බෝම්බ දමන බවටත් සපථ කරමින් ඉහල ගෙවීම් සහිත ව ක්ලින්ටන් කල කෙලතොලු කතා නිරාවරනය කලේ ය.

ක්ලින්ටන්ගේ ස්වයං-අප්‍රසාදී වචන “සන්දර්භයෙන් පිටත ගෙන වඩාත් ම හානිකර අර්ථකථනයන්ට භාජනය කල” බවට ටයිම්ස් වාර්තාව මැසිවිලි නගයි.

අසාන්ජ් ව ක්‍රෙම්ලිනයේ දැනුවත් හෝ නො දැනුවත් ඒජන්තයෙක් ලෙස වාර්තාව පින්තාරු කරන්නේ, විකිලීක්ස් ආරම්භකයා ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරනය අහිමි වීමේ හා අත්අඩංගුවට ගෙන ද්‍රෝහීත්වය හා කැරලි ගැසීම ගැන නඩු ඇසීම සඳහා එක්සත් ජනපදයට පිටුවහල් කරනු ලැබීමේ තර්ජනයට මුහුන පා සිටිය දී ය.

වාර්තාව තුල පුනස්ථාපනය කරන තවත් දෙයක් වන්නේ, 2016 හරිත පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජිල් ස්ටෙයින් පිලිබඳ නව-මැකාතිවාදී මඩගැසීම යි. “ක්ලින්ටන් මහත්මියගේ ඡන්ද ඇදගැනීම” සඳහා “රුසියානුවන් ඇයගේ අපේක්ෂකත්වය ද එසවූ” බව ටයිම්ස් කියා සිටී.

“විශේෂ වාර්තාවේ” දේශපාලන තෙරපුම පැහැදිලි ය. එහි ඉලක්කය වන්නේ, දේශීය විරුද්ධත්වය සාපරාධීකරනය කිරීම, ධනේශ්වර ද්වි-පක්ෂ පද්ධතිය විසින් අභිබවනය කරනු ලබන දේශපාලන ඒකාධිකාරයට එරෙහි ඕනෑම විරුද්ධත්වයක් නීති-විරෝධී කිරීම හා මර්දනය කිරීම සහ ටයිම්ස් පත්‍රයේ ලඝු ලේඛකයින් වැනි සීඅයිඒය විසින් කාවද්දන ලද “විශ්වාසවන්ත මූලාශ්‍ර” විසින් පලමු ව පෙරහන් නො කරන ලද ඕනෑම ප්‍රවෘත්තියක් වාර්තා කිරීමට හෝ අදහසක් පලකිරීමට අන්තර්ජාලය භාවිතා කිරීම නීති-විරෝධී කිරීම යි.

මැසේටි හා ෂේන් යනු ටයිම්ස් පත්‍රයේ ජාතික ආරක්ෂක වාර්තාකරුවන් දෙදෙනා ය. වාර්තාව සමගින් පුවත්පතේ වෙබ් අඩවියේ පලකරන ලද ලිපියක් තුල ඔවුන් කියා සිටින්නේ, අවසානයේ නික්සන්ගේ ජනාධිපති ධූරය ඇදහෙලූ වෝටර්ගේට් සෝලියේ පසුබිම හා වර්ධනය විස්තර කරමින් 1973 ජූලියේ හා ඊලඟ ජනවාරියේ ටයිම්ස්හි සඟරා කලාපයේ පලකරන ලද විශේෂ කලාප දෙකක් අනුව යමින් තමන්ගේ “විශේෂ වාර්තාව” සකස් කල බව යි.

ඔවුන්ගේ වාර්තාව ට්‍රම්ප් ව ඇදහෙලනු ඇතැයි සංඥා කිරීමට උත්සාහ දරනු හැකි වුවත්, මෙම සන්සන්දනය හාස්‍ය ජනක මෙන් ම ආත්මතෘප්තියක් පමනි. වසර 45කට පෙර ටයිම්ස් විසින් පලකරන ලද ලිපි අවම වසයෙන් පාර්ශවික ව හෝ එක්සත් ජනපද ආන්ඩුවේ අපරාධ හා කුමන්ත්‍රන හෙලිදරවු කිරීමට හේතු වූ විශ්වාසදායී දේශපාලන විශ්ලේෂනයක් සම්පාදනය කලේ ය. එම ලිපි පලකරන ලද්දේ, පුවත්පතට ඩැනියෙල් එල්ස්බර්ග් විසින් කාන්දු කරන ලද, වියට්නාමය තුල එක්සත් ජනපද යුද්ධය සමග බැඳී තිබූ බොරු හා අපරාධ හෙලිදරවු කරමින් පෙන්ටගන් පත්‍රිකා පල නො කරන මෙන් නික්සන් පරිපාලනය විසින් කල ඇනවීම් නො තකා හැරීමෙන් වසර තුනකට පසුව ය.

මැසේටි හා ෂේන් දුර්වල බඩවියත රැකගැනීමේ ප්‍රචාරක ලියවිල්ලක් ලියා ඇත්තේ, එක්සත් ජනපද ඔත්තු සේවාවල තහවුරු නො කල චෝදනා පුනරුච්ඡාරනය කරමින් හා ඉහත කී වර්ගයේ අපරාධ හෙලිදරවු කිරීම පිලිබඳ ව ජූලියන් අසාන්ජ්ට අපරාධ චෝදනා නැගීම සඳහා වේදිකාව සකසමිනි.

ටයිම්ස් තීරුලිපි රචක මොරීන් ඩවුඞ් විසින් ලියන ලද ලිපියක්, පලකිරීමට පෙර “මෙය එන්නේ මගෙන් නො වේ ... කරුනාකර කියවීමෙන් පසු මකා දමන්න” යයි ඉල්ලමින් 2011 දී සීඅයිඒ වෙත රහසේ යැවීම ගැන මැසේටි කුප්‍රකට ය.

පාකිස්තානයේ, ඇෆ්ගනිස්තානයේ, යේමනයේ හා තවත් තැන්වල ජීවිත දහස් ගනනක් බිලිගත් ධවල මන්දිරයේ ඝාතක වැඩසටහන සාධාරනීකරනය කිරීමට උත්සාහ දැරූ “ඩ්‍රෝන් ප්‍රහාර සඳහා සදාචාරාත්මක හේතු දැක්වීමක්” යන හිසින් 2012 දී පලකල ලිපියක කතුවරයා ෂේන් විය.

ඍජු ව පවසන්නේ නම්, මෙම කතුවරු දෙදෙනා එක්සත් ජනපද මිලිටරිය හා ඔත්තු සේවා යාන්ත්‍රනය සමග පෑහී සිටින ගාම්භීර ජනමාධ්‍යවේදීන් විසින් අවඥාවට ලක්කරනු ලබන බිඳ වැටුනු මොට්ටයන් දෙදෙනෙකි.

ඔවුන්ගේ “විශේෂ වාර්තාව” පිලිබිඹු කරන්නේ, රාජ්‍ය රහස්‍යභාවයේ සුරක්ෂාකරුවන්ගේ සහ යුද්ධය හා දේශපාලන මර්දනය සඳහා ක්ෂමාලාපකයන්ගේ භූමිකාව පවරාගෙන ඇති, ටයිම්ස් හා අනෙකුත් ප්‍රධාන මාධ්‍ය විසින් ගැඹුරු ප්‍රජාතාන්ත්‍රික මූලධර්මයන් සියල්ල නො තකා හරින බව යි.

බිල් වෑන් ඕකන්

Share this article: