හාම්පුතුන්ගේ සම්මේලනය වතු කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

එම්. දේවරාජා විසිනි, 2018 ඔක්තෝබර් 20

වතු වෘත්තීය සමිති සහ ශ්‍රී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය අතර සඳුදා පැවති සාකච්චාවේ දී හාම්පුතුන්ගේ සම්මේලනය වතු කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම එක හෙලා ප්‍රතික්ෂේප කර ඇත. දැනට ඔවුන්ට ලැබෙන රුපියල් 5,00 දෛනික මූලික වැටුප රුපියල් 1,000 දක්වා සියයට සියයකින් ඉහල දමන ලෙස තේ සහ රබර් වතු කම්කරුවෝ ඉල්ලා සිටිති. ඔක්තෝබර් 15 වෙනිදා පැවති සාකච්චාවේ දී හාම්පුතුන්ගේ සම්මේලනය එකඟ වී ඇත්තේ සියයට 20 ක, එනම් දෛනික වැටුප රුපියල් සියයකින් වැඩි කිරීමට පමනි. එය, පිම්මේ ඉහල යමින් පවතින ජීවන වියදමට කිසිසේත් නොගැලපෙයි.

හාම්පුතුන්ගේ සම්මේලනය සමග සඳුදා පැවති සාකච්චාවට ලංකා කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලිව්සී), එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් මෙහෙයවන ලංකා ජාතික වතු කම්කරු සංගමය, ලංකා සම සමාජ පක්ෂය (ලසසප) සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කොප) ට සම්බන්ධ එක්සත් වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහභාගිවූහ.

වතු සමාගම් විසින් ඔවුන්ගේ වැටුප් ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම කෙරෙහි වතු කම්කරුවන් අතර බලගතු විරුද්ධත්වයක් මතු වී ඇත. දෛනික මුලික වැටුප රුපියල් 1,000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් හා සමිති සහ සමාගම් අතර ද්විවාර්ෂිකව අත්සන් කෙරෙන සාමූහික වැටුප් ගිවිසුමට විරෝධය පාමින් සඳුදා 6,000 කට ආසන්න තේ සහ රබර් වතු කම්කරුවෝ යටියන්තොට නගරයෙහි පැය කිහිපයක උද්ඝෝෂනයක නිරත වූහ.

මාධ්‍යයට අදහස් දැක්වූ උද්ඝෝෂනයේ යෙදුන කම්කරුවෝ වෘත්තීය සමිති සහ සාමූහික ගිවිසුම කෙරෙහි ඔවුන්ගේ කෝපය ප්‍රකාශ කලහ. “සුලු වැටුප් වැඩිවීමක් ලබා ගැනීමටත් අපි නිතර ම පාරට බැහැලා උද්ඝෝෂනය කරන්න ඕන. වෘත්තීය සමිති වලින් කිසි පලක් නැහැ. ඔවුන් අත්සන් කල සාමූහික ගිවිසුම් හැම විටම අපට විරුද්ධ ඒවා. එබඳු සාමූහික ගිවිසුම් අපට අවශ්‍ය නැතැ” යි ඔවුහු කීහ.

දැනට ලැබෙන දරිද්‍රතා මට්ටමේ වැටුප අහස උසට නගින ජීවන වියදමට කිසිසේත් ප්‍රමානවත් නොවන බවත් සියයට සියයක වැටුප් වැඩිවීමක් තමන් ට අනිවාර්යයෙන් අවශ්‍ය බවත් සඳහන් කල උද්ඝෝෂකයෝ කලින් අවස්ථාවල දී මෙන් තමන්ව රැවටීමට උත්සාහ නොකරන ලෙස වෘත්තීය සමිතිවලට සහ වතු සමාගම්වලට අනතුරු ඇඟවුහ.

බලයේ පැවති ආන්ඩු සහ වර්තමාන සිරිසේන-වික්‍රමසිංහ පාලන තන්ත්‍රය විවේචනය කල ඔවුන් “බලයට එන හැම ආන්ඩුවක් ම අපව රවටනවා. ආන්ඩු වරින් වර වෙනස් වුනාට අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැතැ” යි සඳහන් කලේ ය.

එදිනම, මස්කෙලිය, කොටගල, ආගරපතන, සහ හැටන් ප්‍රදේශයේ වතු ගනනාවක ද තවත් දහස් ගනනක් කම්කරුවෝ උද්ඝෝෂනයේ යෙදුනාහ. ඊට අමතරව, මෙම මාසය මුල දී නුවර-එලිය දිස්ත්‍රික්කයේ බ්රුන්ස්වික්, මුරේ, මොචා සහ ගාර්ට්මෝර් වතුවල 2000 ට ආසන්න කම්කරුවෝ විරෝධතාවල නිරත වූහ.

වතු කම්කරුවන් අතර වර්ධනය වෙමින් පවතින මෙම රැඩිකලීකරනය ධනපති ආන්ඩු සහ හාම්පුතුන් විසින් ඔවුන්ගේ රැකියා, ජීවන කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරනු ලබන ප්‍රහාර වලට එරෙහිව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල වැඩෙමින් පවතින පුලුල් රැඩිකලීකරනයක කොටසකි.

ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා කේවල උපකරනයක් ලෙස පාවිච්චි කල වෘත්තීය සමිතිවලට වතු කම්කරුවන් අතර දශක ගනාවක් පුරා පැවති සමාජ පදනම වේගයෙන් ඛාදනය වෙමින් පවතින අතර කම්කරුවන් තුල පැසවන නොසන්සුන්කම සිය පාලනයෙන් පිටතට යනු ඇතැයි වතු සමිති නිලධරය භීතියට පත් වී ඇත.

වතු කම්කරුවන් අතර වැඩෙන විරුද්ධත්වය හා සටන්කාමිත්වය මධ්‍යයේ ඔවුන්ගේ අරගලය පීලි පැන්නවීමේ සහ හාම්පුතුන්ගේ අවශ්‍යතාවලට යටත් කිරීමේ දැනුවත් උත්සාහයක වෘත්තීය සමිති යෙදී සිටිති.

ඉහත සඳහන් විරෝධතා උද්ඝෝෂනයන් සංවිධානය කරන ලද්දේ වර්තමාන ආන්ඩුවේ ඇමතියෙකු වන පී. දිගම්බරම් විසින් නායකත්වය දරන ජාතික කම්කරු සංගමය විසිනි. කම්කරුවන් අතර මෝදුවන සටන්කාමිත්වය වාෂ්ප කර ඔවුන්ගේ අරගලය දියකර දැමීම එහි අරමුනයි. වැටුප් ඉල්ලීම ලබා නොදෙන්නේ නම් ආන්ඩුවෙන් ඉල්ලා අස්වන බවට දිගම්බරම් මෑත දී බොරු තර්ජනයක් ද කලේ ය. අනෙකුත් වතු සමිති නායකයන් මෙන් ම දිගම්බරම් ද තම වරප්‍රසාද රැක ගැනීම සඳහා එහෙට මෙහෙට පනින දේශපාලන මැඩියෙකි.

තමන් හාම්පුතුන්ගේ සම්මේලනයේ තීන්දුවට එකඟ නොවන බවත් රුපියල් 1,000 වැටුප් ඉල්ලීම වෙනුවෙන් දිගටම සටන් කරන බවත් සීඩබ්ලිව්සී නායක ඒ. තොන්ඩමන් ප්‍රකාශ කර ඇත. වතු කම්කරුවන් ට එම වැටුප් වැඩිවීම ලබා දීමට ආන්ඩුව කටයුතු නොකලොත් ලබන මාසයේ ඉදිරිපත් කෙරෙන එහි අය-වැය යෝජනාවට ඡන්දය දීමෙන් සීඩබ්ලිව්සී පාර්ලිමේන්තු මන්ත්‍රීන් වැලකෙන බව ද ඔහු කියා ඇත. “ඉදිරි සාකච්චා වල දී රුපියල් 1,000 වැටුප් වැඩිවීම ලබා ගත හැකි වේවි. කම්කරුවන් දීපවාලි උත්සවය සතුටින් සමරනු ඇතැ” යි ද තොන්ඩමන් පැවසුවේ ය.

ඔහුගේ මෙම ප්‍රකාශයන්ගේ අරමුන කම්කරුවන්ගේ ඇස්වලට වැලි ගසා ඔවුන්ගේ අරගලය අවමන් ගත කිරීම ය. ලංකා ජාතික වතු කම්කරු සමිතියේ සහ ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායකයන්ගේ ප්‍රකාශ ද එබඳුම වංචනික ප්‍රකාශයන් ය.

කම්කරුවන් නොමග යැවීමේ නාටකයේ කොටසක් ලෙස ඔක්තෝබර් 17 වෙනිදා ජනාධිපති සිරිසේන මුන ගැසුන මනෝ ගනේෂන්, දිගම්බරම් ඇතුලු දෙමල ප්‍රගතිශීලී පෙරමුනේ නායකයෝ වතු කම්කරුවන්ට රුපියල් 1000 ක මුලික වැටුපක් ලබා දීමට මැදිහත් වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය. වතු සංගම් වලට ඒ සඳහා “උපදෙස්” දෙන බවට සිරිසේන පොරොන්දු වී ඇත.

වතු කම්කරුවන් සිරිසේනගේ පොරොන්දු තුට්ටුවකට ගනන් නොගත යුතු ය. තැපැල් හා දුම්රිය කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන බවට මෑත වර්ජන වල දී ඔවුන්ට දුන් පොරොන්දු අමු අමුවේ ඔහු බිඳ දැමුවේ ය.

මෙම සියලුම වෘත්තීය සමිති නායකයන් බොරුකාරයින් සහ ධනේශ්වර රාජ්‍යයේ හා හාම්පුතුන්ගේ සෘජු ඒජන්තයන් ය. ඔවුහු කම්කරුවන්ගේ කිසිදු අයිතියක් වෙනුවෙන් පෙනී නොසිටිති. යථා වශයෙන් ඔවුන් කැපවී සිටින්නේ ධනපති ආන්ඩුවේ සහ වතු සමාගම්වල උත්සුකතාවයන් වෙනුවෙනි. කම්කරුවන්ට එරෙහිව කාර්මික පොලීසියක් ලෙස ක්‍රියා කරමින් කම්කරුවන්ගේ සටන් කඩාකප්පල් කිරීමේ සිට ඔවුන් ව රාජ්‍ය දඩයමට ලක් කිරීම දක්වා කල හැකි හැම දෙයක් ම ඔවුහු කරති.

ධනපති ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ ප්‍රහාරවලට එරෙහිව කම්කරුවන්ගේ ස්වාධීන හා ඒකාබද්ධ අරගලයක් මතුවීම කෙරෙහි ඔවුන් පරම වශයෙන් ම සතුරුය. 2016 වැටුප් අරගලය පාවාදුන් මෙම සමිති නායකයෝ නිෂ්පාදන ඵලදායිතාවය ඉහල දැමීමේ කොන්දේසි සාමූහික ගිවිසුමට ඇතුලත් කිරීමට සහ ආදායම් බෙදීමේ නව වැටුප් ක්‍රමයට එකඟ වූහ.

ආදායම් බෙදීමේ ක්‍රමය යටතේ කම්කරු පවුලකට තේ පඳුරු 1000 ක් හෝ ඊට වැඩි ප්‍රමානයක බිම්කඩක් ලබා දෙයි. එහි සියලුම නඩත්තු කටයුතු සහ දළු නෙලීම ඔවුන් විසින් කල යුතු ය. පලදාව තමන් නියම කරන මිලකට සමාගම විසින් මිල දී ගනු ලබන අතර කම්කරුවන්ට ලැබෙන්නේ පොහොර, කෘෂි රසායන ආදියට සමාගම විසින් සපයන ලද වියදම් කපා ගැනීමෙන් අනතුරුව ඉතිරිවන මුදලකි.

එපමනක් නොව, අතීත අරගල මගින් දිනාගෙන දැනට කම්කරුවන් විසින් භුක්තිවිදින සේවක අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් අතුලු සමාජ අයිතීන් අහිමි වන අතර දැනට ලැබෙන ඉතා සීමිත නිවාස, අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් ද විනාශ කෙරෙයි. වතු කම්කරුවන් ධනපති සමාගම්වල අඳ ගොවීන් බවට පරිවර්තනය කරමින් ඔවුන් ව වෙන් වූ පවුල් ඒකක ලෙස අනුවලට කඩා විසුරුවා හැරීම මගින් ඔවුන්ගේ පන්ති එකමුතුව ද එමගින් බිඳ දමනු ලබයි.

ආන්ඩුවට හෝ වතු සමාගම්වලට බලපෑම් දැමීම මගින් වතු කම්කරුවන්ට හෝ කම්කරු පන්තියේ කවර කොටසකටවත් ඔවුන්ගේ කිසිදු අයිතික් දිනා ගත නොහැකිය. තැපැල්, දුම්රිය, ජල සම්පාදන, විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන්ගේ මෑත අරගල වල දී එය මැනවින් ඔප්පු විය.

වතු කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හා නිෂ්පාදන ඵලදායිතාවය ඉහල දැමීමේ මෘග සේවා කොන්දේසි ඇතුලු ඔවුන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන් පිටුපසින් ඇත්තේ ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය මුහුන දී සිටින ගැඹුරු වන අර්බුදය යි. තේ නිෂ්පාදන රටවල් අතර ලෝක වෙලඳපල තුල තරඟය තීව්‍රවීම හා ලෝක ධනවාදයේ අර්බුදයේ ප්‍රතිවිපාකයක් ලෙස ඉල්ලුම පහත වැටෙන තතු තුල තේ සහ රබර් අපනයන ආදායම දිගටම පහත වැටෙමින් ඇත.

වෘත්තීය සමිතිවලට එරෙහිව කම්කරුවන් අතර වැඩෙන විරුද්ධත්වය, විකල්ප නව සංවිධාන ගොඩනගා ගැනීමේ දිසාවට කම්කරුවන් තුල සිදුවන නැඹුරුවක සලකුනක් හා සාදරයෙන් පිලිගත යුතු වර්ධනයකි.

එහෙත්, වෘත්තීය සමිති විවේචනය කිරීම සහ ඒවා කෙරෙහි කෝපය ප්‍රකාශ කිරීම පමනක් ඒ සඳහා ප්‍රමානවත් නොවේ. වතු කම්කරුවන් වෘත්තීය සමිතිවලින් සහ සියලු ධනපති පක්ෂ වලින් ස්වාධීනව තම ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් තෝරා පත්කර ගනු ලබන කම්කරු ක්‍රියාකාරී කමිටු සෑම වත්තක ම පිහිටුවා ගත යුතුය. එම කමිටු තුල කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී සාකච්චාවක් මගින් වැටුප් සහ සෙසු ඉල්ලීම් සූත්‍ර ගත කල යුතු ය.

ක්‍රියාකාරී කමිටු නියෝජිතයන්ගේ සම්මේලනයක් කැඳවමින් එමගින් වතු කම්කරුවන්ගේ අයිතීන් සඳහා දැනුවත් හා ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට නොපමාව පියවර ගත යුතු ය. ඒ සමග ම වතු කම්කරුවන් ශ්‍රී ලංකාවේ අවශේෂ කම්කරුවන් හා සෙසු රටවල් වල වතු කම්කරුවන් ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග තම එකමුතුව තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

අන් සියල්ටමත් වඩා එය දේශපාලන අරගලයකි. වතු කම්කරුවන්ට හෝ කම්කරු පන්තියේ සෙසු කොටස්වලට තම අයිතීන් සාක්ෂාත් කර ගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස මහා වතු, බැංකු හා ව්‍යාපාර ඇතුලු ධනපති දේපල කම්කරු පාලනය යටතේ ජනසතු කරන සහ විද්‍යාත්මක හා සමාජවාදී සැලසුම්ගත ආර්ථික සැලැසුමක් ක්‍රියාවට දමන කම්කරු -ගොවි ආන්ඩුවක් ස්ථාපිත කිරීම තුලින් පමනි. ක්‍රියාකාරී කමිටුවල එල්ලය විය යුත්තේ එම අරගලය සඳහා අවශ්‍ය කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගන්වා ගැනීමය.

Share this article: