වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයට සහයෝගය දක්වමින් දහස් ගනනක් තරුන තරුනියෝ කොලඹ දී විරෝධතා දක්වති

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 ඔක්තෝබර් 27

බදාදා කොලඹ ගාලු මුවදොර පිටියට රැස් වූ 5,000 ක් පමන තරුන කම්කරුවෝ, රුපියල් 1,000ක දෛනික වැටුපක් ඉල්ලමින් වතු කම්කරුවන් ගෙන යන උද්ඝෝෂනයට සහයෝගය දක්වමින් දිනය පුරා විරෝධතාවක් පැවැත්වූ හ.

කොලඹ හා තදාසන්න නගරවල ද රටෙහි සමහර අනෙක් ප්‍රදේශවල ද රැකියා කරන බොහෝ තරුනයෝ හා තරුනියෝ සටන්පාඨ හඬ නගමින් දහවල් 12 දක්වා පැවති විරෝධතාවට එක් වූ හ. ඔක්තෝබර් 31ට කලින් කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම්වලට විසඳුමක් දිය යුතු යයි ඔවුහු බල කල හ.

එම දිනයේදී වෘත්තීය සමිති හා ශ්‍රී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය අතර නව සාමූහික ගිවිසුම අත්සන් කෙරෙනු ඇත. අතීතයේ දී කම්කරුවන්ගේ කෝපය අපසරනය කිරීම පිනිස පූච්චානම් දෙඩවීම සඳහා වෘත්තීය සමිති පාවිච්චි කෙරුන ද අවසානයේ සමිති ක්‍රියා කලේ නිතර කරන වැඩ වේගවත් කිරීම්වලට ගැටගසමින් සමාගම් විසින් කරන සොච්චම් වැටුප් වැඩිකිරීම් පැටවීමට යි. මේ වතාවේ ද වෘත්තීය සමිති සමාගම් සමග රහසිගත සාකච්ඡා සිදු කරති. (කියවන්න: ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති වතු හාම්පුතුන් සමග රහසිගත සාකච්ඡා සිදුකරති, 2018 සැප්තැම්බර් 8)

විරෝධතාකරුවන් අසල පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යාමට පටන්ගත් විට මාර්ග බාධක යොදා පොලීසිය ඔවුන් නැවැත්වූ හ. උද්ඝෝෂකයන්ට එරෙහි ව භාවිතා කිරීම පිනිස කඳුලු ගෑස්, බැටන් පොලු හා ජල ප්‍රහාරක ට්‍රක්රථවලින් සන්නද්ධ වූ කැරලි මර්දන පොලීසිය මාර්ග බාධකවලට පිටුපසින් සිටිය හ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු විරෝධතාකරුවන්ට දන්වා සිටියේ ඉහල නිලධාරීන් හමුවීම පිනිස පසු දින උදේ පැමිනෙන ලෙස නියෝජිතයන් කිහිප දෙනෙකු එවිය යුතු බව යි. පසු දින උදෑසන දක්වා කොටුවේ රැඳී සිටීමට විරෝධතාකරුවෝ තීරනය කල හ.

විරෝධතාකරුවෝ පොලීසියට මුහුනදෙති

රාත්‍රී 8 ට පමන ක්ෂනික ප්‍රචන්ඩත්වයක් මුදා හල පොලීසිය නිරායුධ තරුනයන්ගේ සාමකාමී විරෝධතාවට බැටන්පොලුවලින් පහර දුන්නේ තරුනයන් ව එම ස්ථානයෙන් එලවා දමමිනි.

කොලඹ විරෝධතාව පවත්වනු ලැබුවේ දැනට පවතින රුපියල් 500 දෛනික වැටුප සියයට 100 කින් ඉහල දමන ලෙස කරන ඉල්ලීම මුල් කරගෙන දහස් ගනන් වතු කම්කරුවන් දිනපතා විරෝධතා දක්වන තතු තුල ය. කම්කරුවන්ගේ කෝපය අපසරනය කිරීම පිනිස එම විරෝධතාවන් කැඳවුම් කරනු ලැබ තිබුනේ ඇමති පී. දිගම්බරම් නායකත්වය දෙන ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්) විසිනි. ප්‍රධාන අරගලයක් පුපුරා යතැයි බියට පත්ව සිටින මෙම සමිතිය, හිතාමතා ම ඇදි ඇදී යන සීමිත විරෝධතා කැඳවුම් කලේ ය.

බදාදා විරෝධතාවට ප්‍රතිචාර දක්වමින් කොලඹ දී මාධ්‍ය හමුවක් පැවැත්වූ වැවිලිකරුවන්ගේ සංගමය කම්කරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ ය. කම්කරුවන් ඉල්ලන පරිදි වැටුප් වැඩිකිරීමක් වතු කර්මාන්තය බිඳවැටීමට තුඩු දෙනු ඇතැයි ද සියයට 20ක හෙවත් රුපියල් 100ක වැටුප් වැඩිකිරීමක් පමනක් කල හැකි යයි ද සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද ප්‍රකාශ කලේ ය. අනෙකුත් විවිධාකාර දීමනා ද සමග රුපියල් 1,000ක් උපයා ගැනීමට කම්කරුවන් සමත් වනු ඇතැයි ඔහු කීවේ ය. එහෙත් ඵලදායිතාව ඉහල දැමීමට හා වැඩට පැමිනෙන දින ගනනට ගැටගසා ඇති එවැනි දීමනාවන් ලබා ගැනීම කම්කරුවන්ට අසීරු ය.

කොලඹ විරෝධතාව, කම්කරු පන්තියේ අරගල ජාත්‍යන්තර පරිමානයෙන් පුනර්ජීවනය වීමේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ පන්ති අරගලවල වර්ධනයේ නව අවධියක් සලකුනු කරයි.

විරෝධතාව සංවිධානය කල තරුනයෝ එය “24 කන්ඩායමේ” ක්‍රියාවක් ලෙස නම් කල හ. උද්ඝෝෂනය සංවිධානය කිරීම පිනිස ඔවුහු සමාජ මාධ්‍ය යොදාගත් හ. වතු කම්කරුවන්ගේ සාධාරන ඉල්ලීමට හඬක් ලබා දීමටත් රට තුල හා ජාත්‍යන්තර ව කම්කරුවන්ට සහයෝගය ගොනු කරගැනීම පිනිසත් තමන් සමාජ මාධ්‍ය භාවිතා කල බව කන්ඩායම කීවේ ය. මෙවැනි උද්ඝෝෂනයක් සඳහා එතරම් පුලුල් ලෙස ශ්‍රී ලංකාවේ කම්කරුවන් සමාජ මාධ්‍ය යොදාගත් පලමු අවස්ථාව මෙය යි.

ප්‍රසාද් කුමාර්

කන්ඩායම නියෝජනය කරන තරුන වෛද්‍යවරයෙකු වන ප්‍රසාද් කුමාර් ලෝසවෙඅ වාර්තාකරුවන්ට මෙසේ කීවේ ය: “බ්‍රිතාන්‍ය පාලනයේ වසර දෙසීයකට වැඩි කාලයක් පුරා ද නිදහසින් ඉක්බිති වසර 70 තුල ද වතු කම්කරුවෝ රටෙහි ආර්ථිකයට විශාල වසයෙන් දායකත්වය දී තිබෙනවා. එහෙත් අධිරාජ්‍යවාදී පාලකයන් මෙන් ම ශ්‍රී ලංකාවේ පාලකයන් ද ඔවුන් ව නොසලකා හැර තිබෙනවා. ඔවුන් දිනකට ලබන්නේ අඩු ම මට්ටමේ වැටුපක් වන රුපියල් 500 ක් පමනයි. ජීවන වියදම අහස උසට නගිද්දී රුපියල් 500කින් ඔවුන් ජීවත් වෙන්නෙ කොහොම ද?”

තම විරෝධතා වතු සම්භවයක් සහිත තරුනයන්ට සීමා නො කල බවත් වැටුප් ඉල්ලීමේ සාධාරනත්වය පිලිගන්නා සියලු දෙනාට විරෝධතාවට සහභාගි වන ලෙස ආරාධනා කල බවත් ඔහු කීවේ ය. ඒ අනුව, උතුරේ තරුනයන් හා දකුනේ සිංහල තරුනයන් ද සහභාගි වූවන් අතර සිටින බව කුමාර් කීවේ ය.

ඔහු මෙසේ අනතුරු ඇඟවී ය: “මෙවැනි අවස්ථාවන් තමන්ගේ වාසිය පිනිස ඩැහැගැනීමට ධනේශ්වර දේශපාලනඥයන් උත්සාහ කරනවා. විරෝධතාව පීලිපැන්නවීම පිනිස වතුකරයේ සමහර දේශපාලන පක්ෂ මෙතෙන්ට ඇවිත් ඉන්නවා.”

එන්යූඩබ්ලිව් හි, වතුකරය මත පදනම් වන තවත් වෘත්තීය සමිතියක් වන හිටපු ඇමති ආරුමුගම් තොන්ඩමන් නායකත්වය දෙන ලංකා කම්කරු කොංග්‍රසයේ හා දැන් තොන්ඩමන් සමග පෙලගැසී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා ගේ සහකරුවන් විරෝධතාකරුවන් අතර දක්නට ලැබුනි.

ලෝසවෙඅ වෙත කතාකල තරුනයෝ හා තරුනියෝ වෘත්තීය සමිති කෙරෙහි ඔවුන්ගේ අත්‍යන්ත විරෝධය පලකල හ.

කොලඹ රෙදිපිලි සාප්පුවක කම්කරුවෙකු වන යෝගා මෙසේ කීවේ ය: “කම්කරුවන්ට එක දෙයක් කියන වෘත්තීය සමිති, සමාගම් සමග වෙනත් දෙයක් සාකච්ඡා කරනවා. කම්කරුවන් වෙත පැමිනෙන සමිති ‘කම්හල් ඇදවැටීමේ අද්දර තියෙන නිසා සමාගම්වල වැටුප පිලිගෙන ආපහු වැඩට යන්න’ යැයි කියාවි. කම්කරුවන් අගාධයට ඇදවැටෙමින් සිටිනවා. ඒ හින්ද තමයි අපේ පරම්පරාවෙ හුඟක් අය වතුවල වැඩකරන එක නවත්තල කොලඹට ආවෙ. මෙහේ රස්සාවල් කරලත් අපි අපේ ජීවිත ගැටගහගන්නෙ යන්තමින්.”

උද්ඝෝෂනයට සහභාගිවූන්ගෙන් කොටසක්

මස්කෙලියේ වත්තකින් පැමින කාගිල්ස් ෆුඞ් සිටියක සේවය කරන තරුන කාන්තාවක් තමන් ලමාකාලයේ සිට ජීවත්වූයේ වත්තේ බව කීවා ය. දුෂ්කර කොන්දේසි මැද දෙමව්පියෝ ඇය ව පාසල් යැවූ හ. “අපි පාසලට කිලෝමීටර හයක් පයින් ගියා. ඒ නිසා අපිට රුපියල් 1,000 වැටුප අවශ්‍ය ම යි. මම උසස් පෙල ඉවර කරල දැන් කාගිල්ස් ෆුඞ් සිටියක සේවය කරනවා. මගේ සහෝරදයන්ට උගන්නන්න මම දෙමව්පියන්ට උදවු කරන්න ඕන.”

“කාගිල්ස් එකේ දි අපි දුෂ්කර වැඩ කොන්දේසිවලට මුහුන දෙනවා. උදේ 7 ට සාප්පුවට ඇවිල්ල හවස 5 වෙනකන් පැය 8ක් එක දිගට වැඩ කරනවා. සමහර වෙලාවට අපි වැඩමුර දෙකක් එක දිගට වැඩ කරනවා” යයි ඇය වැඩි දුරටත් කීවා ය.

බිබිලේ සිට පැමිනි ප්‍රභූ තමන්ගේ පවුලේ කිසිවෙක් වත්තේ වැඩ නො කරන බවත් එහෙත් තමන්ගේ සම්භවය වතුකරය බවත් කීවේ ය: “ඒ හින්ද වැටුප් උද්ඝෝෂනයට සහයෝගය දෙන්න මම මෙතෙන්ට ආව. ගොඩනැගිලි අංශයේ ස්ථානයක දුෂ්කර කොන්දේසි යටතේ වැඩ කරන මට දවසකට හම්බ වෙන්නෙ රුපියල් 1,500ක් විතරයි.

ශිෂ්ට සම්පන්න නිවාස ඇතුලු මූලික පහසුකම් වතු කම්කරුවන්ට නැති බව ඔහු විස්තර කලේ ය: “වතු කම්කරුවන්ට නිවාස තනා දෙන බවට වෘත්තීය සමිති පාරම්බෑවත් ඒගොල්ලො ප්‍රමානවත් ජල සම්පාදනයක් හරි හොඳ වැසිකිලි හරි නැති ගෙවල් කිහිපයක් විතරයි හැදුවෙ.”

“සමාජ සමානතාවෙන් යුක්ත සමාජයක් හැදීමේ ඔබලාගේ වෑයම සමග මම එකඟ යි. ඒකෙන් විශාල අවස්ථාවක් විවෘත කරාවි. ඕගොල්ලො කියන කරුනු සාකච්ඡා කරන්න අපි කැමතියි” යයි ඔහු කීවේ ය.

24 කන්ඩායමට ඉදිරිදර්ශනයක් නොමැති වීම නිසා ශ්‍රී රංගා නායකත්වය දෙන කන්ඩායම ඇතුලු ධනපති ගැති කන්ඩායම් අතයටින් වැඩකර විරෝධතාකරුවන්ගෙන් කොටසක් ආන්ඩුවට ආයාචනා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයයට අපසරනය කර යැවූ හ.

පසුගිය මාස කිහිපය පුරා, තැපැල්, දුම්රිය හා ජල සම්පාදන කම්කරුවන්ගේ අරගල ඇතුලු අරගල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බොරු පොරොන්දු පිලිගෙන වෘත්තීය සමිති විසින් පාවාදෙනු ලැබී ය. බලයට ඒම සඳහා ගෙනගිය උද්ඝෝෂනයේ දී වතු කම්කරුවන්ට රුපියල් 1,000ක් පොරොන්දු වූ ජනාධිපති සිරිසේන හා අගමැතිවරයා එම පොරොන්දු අත්හැර දැමූ හ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධානය කරන කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාවට දමන අධිරාජ්‍ය-ගැති ආන්ඩුව බලයට ගෙන ඒම පිනිස මෙම නායකයන්ගේ උද්ඝෝෂනය පිටුපස කම්කරුවන්ගේ විරෝධය ගැටගැසීමට වෘත්තීය සමිති සහයෝගය දුන් හ.

උද්ඝෝෂකයින්ගේ පෙලපාලිය

විරෝධතාවේ සංවිධායකයන් කියා සිටියේ වැටුප් අරගලය පිලිබඳ පනිවුඩය ගෙන ඒමට උද්ඝෝෂනය කර, එය රටෙහි අනෙකුත් නගරවලට ව්‍යාප්ත කිරීමට තමන් සැලසුම් කල බව යි.

මෙය පවත්නා තත්ත්වය පිලිබඳ ව කම්කරුවන් සවිඥානික කිරීමටත් ආන්ඩුව හා සමාගම් ද ඒවායේ ඍජු ඒජන්තයන් වන වෘත්තීය සමිති ගැන ද පවතින කෝපයත් මෙම තරුනයන්ගේ පැත්තෙන් ගත් යහපත් ආරුනයන් අතර විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමේ අවශ්‍යතාව සාකච්ඡා කල හ.

ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය විස්තර කල එම ලිපිය, කම්කරු පන්තියට හා දුගීන්ට ධනපති ක්‍රමය තුල තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජීය අයිතීන් සාක්ෂාත් කරගත නො හැකි බව අවධාරනය කලේ ය.

විශේෂයෙන් වතු කම්කරුවන් ඇමතූ එම ලිපිය, වෘත්තීය සමිති හා ධනේශ්වර දේශපාලන පක්ෂවලින් ස්වාධීන ව කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත්කර ගන්නා ක්‍රියාකාරී කමිටු සෑම වත්තක ම ගොඩනගන ලෙස කැඳවුම් කලේ ය. “මෙම කමිටු කම්කරුවන් සටන් කල යුතු ශිෂ්ට සම්පන්න ජීවිතයක් සඳහා අවශ්‍ය වැටුප සාකච්ඡා කර තීරනය කල යුතු ය. වතු හා අනෙකුත් ක්ෂේත්‍රවල කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් සඳහා කම්කරු නියෝජිතයන්ගේ සමුලුවක් ඒවා විසින් කැඳවුම් කල යුතු ය. මෙම අරගලයේ දී ජාත්‍යන්තර කම්කරු පන්ති සහෝදරයන්ගේ ඒකාබද්ධතාව සඳහා සටන් කිරීම අවශ්‍ය ය.

“සියල්ලටමත් වඩා මෙය දේශපාලන අරගලයකි. වතු කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියට තමන්ගේ අයිතීන් ඉටුකර ගත හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස විශාල වතු, බැංකු හා මහා සමාගම් කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් යටතේ ය. මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන් කිරීම පිනිස ස්වාධීන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට ක්‍රියාකාරී කමිටු සටන් වැදිය යුතු ය.”

Share this article: