දේශපාලකයෝ අප ව රවට්ටනවා, වෘත්තීය සමිති අප ව පාවා දෙනවා : ශ්‍රී ලංකාවේ වතු කම්කරුවෝ කියති

‍ෙ

එම්. දේවරාජා විසිනි, 2018 ඔක්තෝබර් 28

දහස් ගනන් වතු කම්කරුවෝ සියයට 100ක වැටුප් වැඩිකිරීමක් ඉල්ලා කරන උද්ඝෝෂනය පසුගිය දින කිහිපය තුල උත්සන්න කර තිබේ.

සඳුදා මධ්‍යම කඳුකර දිස්ත්‍රික්කයේ ලිඳුල, ආගරපතන හා නානුඔය වතුවල කම්කරුවන් දහස් ගනනක් තලවාකැලේ නගරයේ දී විරෝධතාවක් පැවැත්වූ හ. විරෝධතාකරුවෝ නුවර එලිය-තලවාකැලේ ප්‍රධාන මාර්ගය පැය කිහිපයකට අවහිර කල හ.

හැටන් නගරය වෙත පෙලපාලියට පොලීසිය මාර්ග බාධක යොදා තිබුනි

බදාදා, යටියන්තොට පූනාගල වත්තේ කම්කරුවන් සිය ගනනක් වත්තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට දී විරෝධතාවේ යෙදුන හ. එදින ම හැටන් නගරයේ කඩසාප්පුකරුවෝ කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීමට සහයෝගය දක්වමින් කඩසාප්පු වසා දැමූ හ. විරෝධතාකරුවෝ හැටන් නගරයේ පෙලපාලියකින් ද ගමන් කල හ.

දික්ඔය වතුකම්කරු පෙලපාලිය

දික්ඔය, ඩන්බාර්, ඈන් ෆීල්ඞ්, ඉන්වේරි හා ඔට්ටේරි වතුවල කම්කරුවන් 2,000කට ආසන්න පිරිසක් ඔක්තෝබර් 20දා තවත් විරෝධතාවක් පැවැත්වූ හ. බදුල්ල දිස්ත්‍රික්කයේ ලුනුගල, රොසෑඞ්, එලදලුව, රොකතැන්න හා උඩුවර ඇතුලු වතු කිහිපයක දහස් ගනන් කම්කරුවෝ එදින ම විරෝධතා උද්ඝෝෂනයට එක් වූ හ.

එහෙත්, මහ ව්‍යාපාරිකය නියෝජනය කරන ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (පීඒ) හා එහි මව් සංවිධානය වන ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය (සීඊඑෆ්) රුපියල් 1,000ක දෛනික වැටුපක් ඉල්ලීම එකහෙලා ප්‍රතික්ෂේප කර ඇත. වෘත්තීය සමිති සමග පැවැත්වූ සාකච්ඡා වට කිහිපයකින් පසු, සීඊඑෆ් හා සමාගම් මූලික වැටුප යන්තම් රුපියල් 100කින් හෙවත් දැනට රුපියල් 500ක් වන වැටුපෙන් සියයට 20කින් ඉහල දැමීමට යෝජනා කර තිබේ.

මෙම යෝජිත සොච්චම ද දෛනික ඵලදාව වැඩි කිරීමට ගැටගසා තිබේ. සියලු දීමනා ඇතුලත් ව කම්කරුවෙකුට දිනකට රුපියල් 940ක් ඉපයිය හැකි බවට සමාගම් පවසති. පැමිනීමේ හා දිරිදීමනා යනාදී අටවා ඇති නියමයන් කරා ලඟා විය නො හැකි තතු තුල කම්කරුවන්ට මෙම දීමනා උපයාගත නො හැක.

ආන්ඩුව මුලුමනින් ම සමාගම් පිටුපස සිටින බව පෙන්වමින්, “රුපියල් 1,000ක මූලික වැටුපක් දෙන්න බැහැ. අපි එහෙම දුන්නොත් කර්මාන්තය කඩාගෙන වැටෙනවා” යයි වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මාධ්‍ය වෙත කීවේ ය.

සති කිහිපයකට පෙර කඩින්කඩ යන සීමිත විරෝධතා අරඹන ලද්දේ ඇමති පී. දිගම්බරම් නායකත්වය දෙන ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්) විසිනි. එම සමිතිය විරෝධතා කැඳවන ලද්දේ කම්කරුවන් කෙරෙහි අනුකම්පාවකින් නො ව, ඔවුන් අතර පවතින කෝපය අපසරනය කිරීමේ හා ඔවුන් ව සමිතියේ පාලනය යටතේ තබාගැනීමේ උපායක් ලෙස ය. එහෙත් පසුගිය දින කිහිපය තුල කම්කරුවන් ස්වයං-සිද්ධ ව එලිමහනට පැමිනීම අරඹා ඇත.

සමාගම්වල යෝජනා සමග තමන් එකඟ වී නැතැයි ව්‍යාජ ව හඟවන වෘත්තීය සමිති ආන්ඩුවට නිෂ්ඵල ආයාචනා ඉදිරිපත් කරති.

ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) ප්‍රකාශක අරුල් සාමි සන්ඬේ ටයිම්ස් වෙත කියා සිටියේ එහි නායක ඒ. තොන්ඩමන්, ප්‍රාදේශීය සංවර්ධන කමිටු (ආර්පීසී) සාකච්ඡාවල දී වැටුප් ප්‍රශ්නයට මැදිහත් වන ලෙස අගමැතිගෙන් හා ඔහුගේ උපදේශක ආර්. පාස්කරලිංගම්ගෙන් ඉල්ලා ඇති බව යි.

පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුනගැසුනු ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුනේ නායකයන් වන දිගම්බරම් හා මනෝ ගනේෂන් මෙම ප්‍රශ්නයට මැදිහත් වන ලෙස ඉල්ලා සිටිය හ. වතු සමාගම්වලට “උපදෙස් දීමට” සිරිසේන පොරොන්දු වී යයි කියනු ලැබේ. ගනේෂන් ද ආන්ඩුවේ ඇමතිවරයෙකි.

තමන් ආන්ඩුවෙන් ඉවත් වී මහා වැඩ වර්ජනයක් කැඳවන බව දිගම්බරම් ඊයේ වහසි බස් දෙඩුවේය. කම්කරුවන් මෙම පූච්චානම් ගැන කිසිදු විශ්වාසයක් නොතැබිය යුතු ය. ඝෝෂාකාරී ප්‍රකාශයන්ට පිටුපසින් වෘත්තීය සමිති සූදානම් කරමින් සිටින්නේ තවත් පාවා දීමකි. බලයේ සිටින ආන්ඩුවල සහයෝගය ද සහිත ව හාම්පුතුන්ගේ ඉල්ලීම් කම්කරුවන් මත පැටවීමේ වාර්තාවක් වෘත්තීය සමිති සතුව තිබේ.

කම්කරුවන්ගේ විරුද්ධත්වය වතු හරහා විහිද යද්දී වතු වෘත්තීය සමිති හා ආන්ඩුව, එම විරෝධය සමිතිවල පාලනයෙන් ගිලිහී අනෙක් කම්කරුවන් ද ආකර්ශනය කරගනු ඇතැයි බිය වෙති. නිලධරයන්ගේ භූමිකාව ගැන කම්කරුවන් කරන විවෘත විවේචන පෙන්නුම් කරන්නේ ඔවුන් වෘත්තීය සමිතිවලට එරෙහි කැරැල්ලක නිමග්න ව සිටින බව යි.

“ආන්ඩුව හා වෘත්තීය සමිති සෑම විට ම අප ව රවටා තිබෙනවා. මේ ගමන අපි ව රවට්ටන්න ඔවුන්ට ඉඩ දෙන්නෙ නැහැ. අහස උසට නගින ජීවන වියදම යටතේ අපි ජීවත් වෙන්නේ දරාගත නො හැකි කොන්දේසිත් එක්ක” යයි හැටන්හි මොන්ඩි ෆයර් වත්තේ වී. සුන්දරලිංගම් කීවේ ය.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයන් විසින් බෙදාහරින ලද ලිපිය තමන් කියවූ බව සුන්දරලිංගම් කීවේ ය. ඔහු සඳහන් කලේ, ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තර ව ද අනෙකුත් කම්කරුවන් සමග සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් වැදීමට ස්වාධීන ආරම්භකත්වයක් ගන්නා ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටි සසප ප්‍රකාශයක් පිලිබඳ ව යි.

ඔහු මෙසේ ද කීවේ ය: “කම්කරුවන්ට අව්‍යාජ නායකත්වයක් නැති නිසා නව නායකත්වයක් ගොඩනැගිය යුතු ය යන්නට මම මුලුමනින් ම එකඟ යි. සසප යෝජනා කරන ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට කම්කරුවන් ඉදිරියට ආ යුතු යි. අපිට නාස්ති කරන්න කාලයක් නැහැ.” ක්‍රියාකාරී කමිටුවක් තැනීම සඳහා ඔහුගේ වත්තේ සාකච්ඡාවක් සංවිධානය කිරීමට ඔහු පොරොන්දු විය.

යොහම්බාල්

කිසිදු ධනපති ආන්ඩුවක් කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා නො කරන බවත් ඔවුන් තමන් රවටන බවත් දික්ඔය ඉන්වේරි වත්තේ කාන්තා කම්කරුවකු වන එස්. යොහම්බාල් කීවා ය: “අපි මේ ඊනියා යහපාලන ආන්ඩුවට ඡන්දය දුන්නා. ඇමතිකම් හම්බ වෙච්ච වෘත්තීය සමිති නායකයො සුඛෝපභෝගී ජීවිත ගතකරද්දි අපි දුප්පත් කමෙන් විඳවනවා.”

“සමාගම් සමග පවත්වන සාකච්ඡා ගැන වෘත්තීය සමිති අපිට කිසි දෙයක් කියන්නේ නැහැ. පහුගිය වතාවෙ ඔක්කොම වෘත්තීය සමිති අපි ව පාවල දුන්න. ඵලදායිතාවට ගැටගහපු දීමනාවක් හඳුන්වා දීම හරහා අපේ පඩි කපන්න ඒගොල්ලො එකඟ වුනා. රුපියල් 140ක ඵලදායිතා දීමනාව ලබාගන්න අපි දලු කිලෝ 18ක් කඩන්න ඕන. රුපියල් 60 පැමිනීමේ දීමනාව ගන්න අපි දවස් 21ක් වැඩට එන්න ඕන. අපි දලු කිලෝ 14ට අඩුවෙන් කැඩුවොත් ඒ දවස වැඩ දවස් භාගයක් හැටියටයි ගනන් ගැනෙන්නෙ. මේ ක්‍රමය අහෝසි කල යුතු යි” යනුවෙන් දික්ඔය නගරයේ විරෝධතාවට එක්වූ කම්කරුවන් අතරින් එක අයෙක් කීවේය.

සීඩබ්ලිව්සී ශාඛා නායකයෙක් වන එස්. තමිල්සෙල්වන් කම්කරුවන්ගේ ඉල්ලීම් නවීන් දිසානායක විසින් ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධ විය: “ඔහුට එහෙම කියන්න අයිතියක් නැහැ. ඔහු පාර්ලිමේන්තුවට ගියේ අපේ ඡන්දෙන්. ඔහු ආරක්ෂා කරන්නේ අප ව නෙවෙයි, ආන්ඩුවයි සමාගමුයි. පහුගිය මහ ඡන්දෙදි තලවාකැලේ තිබ්බ රැස්වීමකදි වතු කම්කරුවන්ට රුපියල් 1,000ක වැටුපක් දෙනව කියල අගමැති පොරොන්දු වුනත් කිසිම දෙයක් වුනේ නැහැ.”

“සමාගමට වත්ත පාලනය කරන්න බැරි නම් අපිට ඒක පාලනය කරල කලමනාකරනය කරන්න පුලුවන්. අපේ අරගලය ඉදිරියට අරන් යන්න වෘත්තීය සමිතිවලින් වෙන්වෙලා කම්කරු කමිටු ගොඩනගන්න ඕන කියන එකත් එක්ක මම එකඟ යි” යනුවෙන් ඔහු කීවේ ය.

Share this article: