එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය අමතා ජනාධිපති සිරිසේන කල කතාව:
ආඥාදායක පාලනයක් සඳහා මිලිටරියේ සහාය දිනා ගැනීමේ ප්‍රයත්නයක්

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 ඔක්තෝබර් 04

එක්සත් ජාතීන්ගේ (එජා) 73 වන සමුලුවේදී ශ්‍රී ලංකාවේ හමුදාවන් පැසසුමට ලක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කල කතාවේ තානය තුල පැවතියේ ආඥාදායක පියවර ගැනීම ට අර අදින පාලකයකු තම හමුදාවන්ගේ සහාය සහ විශ්වාසය තහවුරුකර ගැනීමට දරන ප්‍රයත්නය යි. ගැඹුරු දේශපාලනික සහ ආර්ථික අර්බුදයක ගිලී සිටින තම ආන්ඩුවට එරෙහිව වේගයෙන් වැඩෙන මහජන විරෝධය සහ පන්ති අරගල හමුවේ, මිලිටරිය මත වඩවඩාත් වාරුවීම හැර අන් විකල්පයක් සිරිසේන ට නොමැත.

“ලෝකයේ ඉතාමත් ප්‍රබල ත්‍රස්තවාදි සංවිධානය” තම හමුදාව විසින් පරාජය කරනු ලැබූ නිසා අද ශ්‍රී ලංකාව බෙදෙන්නේ නැතිව ස්ථීර සාමයක් ඇති රටක්” විදියට පවතින බවද රටේ “ස්ථිර සාමයක් ඇති කිරීමට” ඔවුන් කල “යුග මෙහෙවරට” ගෞරව කරන බවද සිරිසේන කියා සිටියේය.

ඉන් අනතුරුව, සැප්තැම්බර් 26 වන දා, ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවේ ජනාධිපති සිරිසේන පැවසුවේ, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කල අවසාන සොල්දාදුවාගේ සිට හමුදාපතිවරුන් දක්වා සියලුදෙනා “ශ්‍රේෂ්ඨ රනවිරුවන්” නිසා ඔවුන්ගේ “අභිමානය සුරැකීමට” රජය නිරන්තරයෙන් කැපවී සිටින බවයි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි 26 අවුරුද්දක යුද්ධය 2009 මැයි 18 දින එහි මිලිටරි පරාජයෙන් කෙලවර වූ අවසන් සති දෙකේ රටේ වැඩබලන ආරක්ෂක ඇමති ලෙස ක්‍රියා කලේ තමන් බවට කයිවාරු ගසමින් යුද ජයග්‍රහනය සමග අනන්‍ය වීමට ද සිරිසේන තැත් කලේ ය.

සිරිසේන ගේ කතාවෙන් දිරි ගැන්වුනු සිංහල අන්තවාදී නඩ ද ඒවාට උඩගෙඩිදෙන ජන මාධ්‍ය ද තවත් ඉදිරියට යන ලෙස ඔහුගෙන් ඉල්ලී ය. උදාහරනයක් ලෙස සැප්තැම්බර් 28 වන දා දිවයින කතුවැකිය මෙසේ ලියා තිබුනි: “ශ්‍රී ලංකාව යුද අපරාධ උගුලට හසු කිරීමට උත්සාහ ගන්නා බලවේග වලට ජනාධිපතිවරයා නිසි පිලිතුරු ලබා දී ඇත. මෙය සැබැවින්ම දේශප්‍රේමී ප්‍රකාශයකි.”

කෙසේ නමුත්, එජා මහා මන්ඩල රැස්වීමේදී සිරිසේන කල කතාව සිංහල අන්තවාදීන් ද උසිගන්වා ගනිමින් පසුගිය මාස කිහිපයක සිට අරඹා ඇති මෙහෙයුමක අලුත්ම ප්‍රකාශනය යි.

මසකට පමන පෙර ආරක්ෂක අංශවල ප්‍රධානීන් කැඳවා ගනිමින් හා ජාතික ආරක්ෂක මන්ඩලයේ රැස්වීම්වලදී ජනාධිපති සිරිසේන, දැනට විභාගවෙමින් පවතින ඝාතන හා අතුරුදහන් කිරීම් පිලිබඳ නඩුවලදී උසාවිවලින් ඉල්ලා ඇති ත්‍රිවිධ හමුදාවලට සම්බන්ධ තොරතුරු කිසිවක් නොසපයන ලෙස පොලිසියට නියෝග කල බව ප්‍රකට ය. සිරිසේන මෙම නියෝගය කර ඇත්තේ මිලිටරියේ සැකකාර නිලධාරීන් පිලිබඳ පොලිස් පරීක්ෂනවල දී ඔවුන් අපරාධවලට සම්බන්ධවීම පිලිබඳව සාක්ෂි තිබෙන බවට ප්‍රකාශවී තිබියදී ය. ආසන්න වසයෙන් එවන් චෝදනා එල්ල වී ඇත්තේ ආරක්ෂක මන්ඩල ප්‍රධානී, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුනරත්නට ය.

ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු කම්කරු පන්තිය භේදකර මර්දනය කර තැබීම සඳහා දශක තුනක් තිස්සේ ගෙන ගිය දෙමල විරෝධී වර්ගවාදී යුද්ධය තුල, නිදහසේ අපරාධයන් හි යෙදීමටත් සමස්ත සමාජය තුල බලහත්කාරී අධිකාරයක් පවත්වාගෙන යාමටත් පාලක පන්තිය විසින් ආරක්ෂක හමුදාවලට ශක්තිය ලබාදුනි. යුද්ධයේ අවසන් සති කීපය තුල, රාජ්‍ය හමුදා ප්‍රහාරවලින් සිවිල් වැසියන් 40,000 ක් මියගිය බව එක්සත් ජාතීන්ගේ වාර්තා ප්‍රකාශ කරයි.

මේ, යුද්ධය ඇරඹුනු 1983 සිට මරනයට පත්කෙරුනු තවත් දසදහස් ගනනකට අමතරවය. දෙලක්ෂයක් මිලිටරි කඳවුරු තුල සිරගත කලහ. පැහැර ගෙනයාම්, අතුරුදහන් කිරීම් සහ වධ හිංසා වලට ගොදුරුවූ තවත් දහස් ගනනකි. යුද්ධය මධ්‍යයේ මෙම ක්‍රියාවල යෙදුනු හමුදාවන්ට වර්ගවාදී පදක්කමක් එල්ලමින් “රනවිරුවන්” ලෙස ඔසවා තැබුනි.

සිරිසේන මේ අපරාධ සිදුවූ බව දන්නවා පමනක් නොව අනුප්‍රාප්තික රාජ්‍ය පාලකයන් මෙන්ම තමන් ද ඒවාට වගකිවයුතු බවත් දනී. 2015 ජනාධිපතිවරන ව්‍යාපාරය තුල දී මෙම ප්‍රශ්න දෙමල මහජනයා පමනක් නොව පොදුවේ කම්කරුවන්, දුගීන් හා තරුනයන් හිටපු ජනාධිපති රාජපක්ෂට එරෙහිව මතු කරන තත්වයේදී, තමන්ගේ ඊනියා යහපාලනයක් යටතේ මානව අයිතීන් සුරැකෙන බව හා පරීක්ෂන පවත්වා වගකිවයුත්තන්ට දඬුවම් කරන බවට තමන් පොරොන්දු දුන් බව ද සිරිසේන දනී.

ඔහු තමන් පෙරට දමා ගෙන උද්ඝෝෂනය කල යුඇන්පී යේ නායක රනිල් වික්‍රමසිංහ, දෙමල ධනපති පක්ෂ, ජනතා විමුක්ති පෙරමුන හා ව්‍යාජ වම ඇතුලු කන්ඩායම් සමග එසේ පොරොන්දු දුන්නේ බලයට පත්වීම සඳහා මහජන විරෝධය ගසාකෑමේ ප්‍රෝඩාකාරී වෑයමක් ලෙස ය.

ශ්‍රී ලංකාවේ හමුදාවන්ට එරෙහි යුද අපරාධ පිලිබඳව එජා මානව හිමිකම් සංවිධානයේ දී ඉදිරිපත්වූ යෝජනා භූ-දේශපාලනික ආතතීන් වල ප්‍රතිඵලයකි. එක්සත් ජනපදයේ ප්‍රධාන තරගකරුවා වන බීජිනය සමග වඩාත් සමීප සබඳතා වර්ධනය කරමින් සිටි රාජපක්ෂ තන්ත්‍රය පෙරලා දමා ලංකාව චීනයට එරෙහි තම මුලෝපායික කක්ෂය තුලට ගැනීම සඳහා ලංකාවේ වර්ගවාදී යුද්ධයේ ප්‍රමුඛ සහායකයෙකු වූ වොෂින්ටනය කුහක ලෙස හමුදාවන්ට එරෙහි යුද අපරාධ චෝදනා පෙරට දමන ලදී. සිරිසේන හා වික්‍රමසිංහ පෙල ගැසුනේ ඇමරිකාවේ මේ මැදිහත් වීම සමගයි.

සිරිසේන හා වික්‍රමසිංහ බලයට පත්වීමෙන් පසු, ලංකාවේ යුද අපරාධ සිදුවී නැතැයි ද ඒ පිලිබඳ පරීක්ෂනයන්ට තමන් විරුද්ධ බවද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලහ. වොෂින්ටනය තමාට නැඹුරු වූ නව තන්ත්‍රය බලයට පැමිනීමත් සමග යුද අපරාධ චෝදනා ක්‍රමයෙන් හකුලා ගන්නට පටන් ගත්තේ ය. එජා මානව හිමිකම් සංවිධානය තුල මානව අයිතීන් කඩවීම් පිලිබඳව ලංකාවේදී පරීක්ෂා කිරීමට ඉඩදීමේ යෝජනාවක් සම්මත කරදීමට ද වොෂින්ටනය ක්‍රියා කලේය.

ඇමරිකාවේ අලුත් ජනාධිපති ලෙස පත්ව සිටින මුල්‍ය මගඩි වලින් හා මැරකමින් අනුන ෆැසිස්ට් දක්ෂිනාශිංකයෙක් වන ඩොනල්ඞ් ට්‍රම්ප් විශේෂයෙන්ම චීනයට, රුසියාවට හා ඉරානයට එරෙහිව මිලිටරිවාදී ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයමින් මෑතකදී එජා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට තීන්දු කල අතර ජාත්‍යන්තර යුද අපරාධ උසාවියෙන් ඉවත්වන බවට තර්ජනයක් ද කර ඇත; ට්‍රම්ප් එසේ තර්ජන කලේ, වොෂින්ටනයේ හා එහි සගයන්ගේ යුද අපරාධ චෝදනා ගසාබසා දමා නව අපරාධවලට සුදානම් වෙමිනි.

සිරිසේන ද ඉන් ගැම්මක් ගෙන ලංකාවේ තමන්ද ඇතුලු දේශපාලන නායකයන් හා මිලිටරි නායකයන්ගේ ලේ සෝදා ගැනීමට තැත් කරයි. සිරිසේන ගේ කටින් පිටවන්නේ අන් සියල්ටමත් වඩා මිලිටරියේ ඉල්ලීමයි.

ඊට හොඳ හේතු තිබේ. පාලන තන්ත්‍රයක් හමුදාව මත වඩවඩාත් යැපෙන්නේ සහ අවසානයේ ආඥාදායක පාලනයක් වෙතට යොමු වන්නේ එකී තන්ත්‍රයේ ශක්තියක් නිසා නොව එය මුහුන දෙන අතිමහත් ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයන් හේතුවෙනි. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මුහුන දී සිටින්නේ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ආන්ඩු මුහුන දුන් බරපතලම අර්බුදයට යි.

ආර්ථිකය සම්බන්ධයෙන් ගත් කල රජය විසින් ගෙවීමට ඇති නය ප්‍රමානය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 77 ඉක්මවා ඉහල නැග ඇත. ගෝලීය අර්බුදය ද ඇමරිකාව චීනයට හා ඉරානයට පනවා ඇති වෙලඳ සහ ආර්ථික තහංචිවලින් ගිනිගන්නා භුදේශපාලන ආතතීන් ද නිසා රුපියලේ අගය කඩා වැටෙමින් ලංකාවේ ප්‍රශ්න ඔද්දල් වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල තවතවත් තද කිරීම ආන්ඩුව විසින් අරඹා ඇත. එය තුඩුදෙන්නේ දැනටමත් ඇවිලී ඇති කම්කරුවන්ගේ දුගීන්ගේ හා සිසුන්ගේ අරගල සමාජ පිපිරීම් ලෙස මතුවීටයි.

සිරිසේන හා වික්‍රමසිංහ ආන්ඩුව සූදානම් වන්නේ වැඩකරන ජනතාව මතට රුදුරු කඩා පැනීමකටයි. හිටපු ජනධිපති රාජපක්ෂ ඇතුලු පාලක පන්තියේ සෑම කොටසක්ම ද මහා ව්‍යාපාරිකයන් හා ජන මාධ්‍ය ද “රටේ ස්ථාවර පාලනයක් ඇති කලයුතුය” යි මොරදෙන්නේ එබඳු කඩා පැනීමකට තල්ලුව දෙමිනි. මිලිටරිය ඔවුන්ගේ ආඥාදායක පාලනයක ගැලවුම් කරුවායි. ලංකාවේ දේශපාලනයේ මුඛ්‍ය බලයක් බවට පත්ව සිටින මිලිටරිය ද එවන් ගනන් බැලීම් කරන බවට සැක නැත.

මහජන අරගලයන් සම්බන්ධයෙන් ආන්ඩුවේ ප්‍රතිචාරය රුදුරුතම මර්දනය යි. ඒ සඳහා පවත්නා මර්දන නීති ප්‍රමානවත් නොවන බවට ගනන් බලන ආන්ඩුව වඩාත් රුදුරු නීති හඳුන්වා දෙමින් පොලිස් රාජ්‍යය ශක්තිමත් කරමින් සිටී. හමුදාවේ සාමාජිකයන් පසසමින් සහ ආරක්ෂා කරමින් ජනාධිපති සිරිසේන කරන සැඳහුම් පිටුපස පවත්නේ පොලිස්-මිලිටරි රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ මෙම සැලසුම් ය.

2008 දී ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රයේ පුපුරා යාමෙන් ඇලලී ගිය අර්බුදය දැන් ධනේශ්වර පද්ධතියේ සමස්ත බිඳ වැටීමක් ලෙසට වර්ධනය වී ඇති තතු යටතේ සෑම රටකම පාලක පන්තීහු සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කප්පාදු කරමින් තම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටිති. උදුරා ගැනෙන තම අයිතීන් වෙනුවෙන් සටන් වදින කම්කරුවන් මැඩීම සඳහා ආඥාදායක පාලනයන් වෙතට මාරුවීම ජාත්‍යන්තර ප්‍රපංචයකි.

එක්සත් ජාතීන් අමතා කල කතාවේදී සිරිසේන මෙසේ ද පවසයි: “ගෙවීගිය වසර තුන හමාරක කාලය තුල මගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර තිබෙනවා. මානව හිමිකම් ශක්තිමත් කර තිබෙනවා. මිනිසුන්ගේ නිදහස ශක්තිමත් කර තිබෙනවා. මාධ්‍ය නිදහස පුළුල් ලෙස ශක්තිමත් කර තිබෙනවා. අධිකරනයේ ස්වාධීනත්වය ශක්තිමත් කර තිබෙනවා. මීට වසර තුන හමාරකට පෙර තිබුන ශ්‍රී ලංකාව නොවේ අද තිබෙන්නේ ඊට වඩා වෙනස් වූ මානවවාදී සමාජයක්. පරිපූර්න වූ ජන සමාජයක් බව මට මෙහිදී සඳහන් කරන්න පුළුවන්”.

මෙය අමූලික බොරුවකි. ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදයේ “ශක්තිමත්” බව කෙසේද යත්, යුද්ධය නිමා වී දස වසරක් ගත වෙද්දී පවා උතුරු-නැගෙනහිර පවතින්නේ තථ්‍ය මිලිටරි පාලනයක් යටතේ ය. සාමාන්‍ය මහජනතාවට මෙතෙකුදු ජීවත් වීමට සිදුව ඇත්තේ හමුදාවන්ගේ සුපරීක්ෂනය යටතේ වන අතර, විශේෂයෙන්ම, එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධව සිටියේ යැයි අත් අඩංගුවට ගෙන “පුනරුත්ථාපනය” කොට මුදා හරින ලද තරුන තරුනියන්ට මුහුන දීමට සිදුව ඇති දැඩි සුපරීක්ෂනය ඔවුනගේ නිදහස සහ පෞද්ගලිකත්වය මුලුමනින්ම උදුරාගෙන ඇත. හමුදාවන් විසින් අත්පත් කරගත් දෙමල ජනයාගේ ඉඩම් අක්කර දහස් ගනනක් මෙතෙකුදු ඔවුනට ආපසු ලබා දී නොමැත.

සිරිසේන ගේ මාධ්‍ය නිදහස ද එසේම ය. ඔහුගේ “පරිපූර්න සමාජය” පිලිබඳ බේගලය හෙලිදරව් කිරීමට දත්ත කීපයක් වුව ප්‍රමානවත් ය. පසුගිය වසරේ පමනක් රාජ්‍ය සේවකයන්ගේ මූර්ත වැටුප් සියයට 7 කින් ද පුද්ගලික අංශයේ මූර්ත වැටුප් සියයට 5 කින් ද පහත වැටිනි. අගෝස්තු මස නිල උද්ධමන රේට්ටුව පසුගිය වසරට සාපේක්ෂව සියයට 5.9 න් ඉහල ගොස් ඇති අතර එය මේ වසරේ ඉහලම අගය විය. වඩාත් නරක අතට හැරෙමින් පවත්නා ජීවන කොන්දේසි හමුවේ දිනපතා වර්ධනය වන පන්ති අරගල මාලාව ඔහුගේ “පරිපූර්න සමාජය” පිලිබඳ පචය කීතු කර දමයි.

සිරිසේනගේ එජා මහා මන්ඩල කතාව බරපතල අනතුරු ඇඟවීමක් ලෙස වැඩකරන ජනතාව විසින් ගතයුත්තේ මේ නිසාය. සිරිසේන මෙන්ම පාලක පන්තියේ සෑම කොටසක් ම ආඥාදායක පාලනයකට කුරුමානම් අල්ලති.

Share this article: