ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට සමාජවාදී විසඳුමක් සඳහා සටන් කරනු

Fight for a socialist solution to the political crisis in Sri Lanka

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2018 ඔක්තෝබර් 31

ඔක්තෝබර් 26දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකල දේශපාලන කුමන්ත්‍රනයෙන් ඉක්බිති ව ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ රාජ්‍ය බලය සඳහා පොරවැදී සිටින කන්ඩායම් අතර දේශපාලන කාකොටාගැනීම පුපුරා ගොස් ඇත.

එක් කන්ඩායමක් පසුගිය සිකුරාදා අගමැති ධූරයෙන් නෙරපූ රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂය (එජාප) වටා රැලි වී සිටී. අනෙක් කන්ඩායම ජනාධිපතිවරයා හා ඔහු විසින් අගමැති ධූරයට පත්කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) මත පදනම් වෙයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින්නේ, මේ සියලු ධනපති පක්ෂ ප්‍රතික්ෂේප කොට තමන්ගේ ම පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීම පිනිස ස්වාධීන ව බලමුලුගැන්වෙන ලෙස යි. ශ්‍රී ලංකාවේ ධනේශ්වරයේ මෙම ඍජු නියෝජිතයන් මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරනු ඇතැයි කිසිවෙකුට කිසිදු මිථ්‍යාවක් නො තිබිය යුතු ය. අවසානයේ කවර පක්ෂයක් හෝ පක්ෂ කිහිපයක් ඉස්මත්තට පැමිනිය ද ඒවා විසින් කරනු ඇත්තේ සිංහල, දෙමල හා මුස්ලිම් වැඩකරන ජනයාගේ ජීවන කොන්දේසි මත ප්‍රහාරය ගැඹුරු කරමින් ඊට එරෙහිව පැනනගින ඕනෑම විරුද්ධත්වයක් රුදුරු ලෙස මර්දනය කිරීම යි.

කම්කරු පන්තියේ, තරුනයන්ගේ සහ නාගරික හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීම පිනිස, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියමාර්ගයක් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට සසප ධජය වටා රැලිවන ලෙස එය කම්කරුවන්ගෙන් හා තරුනයන්ටගෙන් ඉල්ලා සිටියි.

වික්‍රමසිංහ නෙරපමින් සිරිසේන සිදුකල ව්‍යවස්ථා-විරෝධී ක්‍රියාව, ශ්‍රී ලංකාවට ඊනියා “නිදහස” ලබාදුන් 1948 පටන් දිග්ගැස්සෙමින් ආ පාර්ලිමේන්තු පාලනය කුනුවීම කූටප්‍රාප්තියට පත්වීමයි. මෙම දේශපාලන කුමන්ත්‍රනය වනාහි ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය ද විශේෂයෙන් ම එක්සත් ජනපදය හා චීනය අතර තියුනු වන භූ-දේශපාලනික ආතතීන් හා ජාත්‍යන්තර ව පුනර්ජීවනය වන පන්ති අරගල ද ලංකාව තුල තියුනු ලෙස ප්‍රකාශනයක් අත්පත් කරගැනීම සටහන් කරයි.

සිරිසේන ඉරිදා රූපවාහිනියෙන් ජාතිය අමතා කල කතාවේ දී, තම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාව සාධාරනීකරනය කිරීමට තැත් කරමින් ප්‍රකාශ කලේ නෙරපූ අගමැතිවරයා විසින් විනාශ කරමින් සිටි “යහපාලනයේ යහපත් අපේක්ෂාවන් ආරක්ෂා කිරීමට” එසේ කිරීම අවශ්‍ය වූ බවයි. වික්‍රමසිංහ සඳුදා කතාවක් කරමින් එයට ප්‍රතිචාර දැක්වූයේ, ඔහුගේ ආන්ඩුව යටතේ ප්‍රජාතන්ත්‍රවාදය මල්ඵල දරමින් තිබුනේ යයි ප්‍රකාශ කරමිනි. එජාපය “නැගී එන ආඥාදායකත්වයකට” ඉස්මතු වීමට ඉඩ නො තබන බවටත් “පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කිරීම සඳහා අවසානය දක්වා සටන් කරන බවටත් ඔහු අනතුරු ඇඟවී ය.

මොනතරම් පච ගොන්නක්ද! කුහකත්වයක් ද! 2015 ජනාධිපතිවරනයේ දී සිරිසේන හා වික්‍රමසිංහ, රාජපක්ෂගේ ආඥාදායක පාලනය හෙලාදකිමින්, “යහපාලනය” හා වඩා හොඳ ජීවන කොන්දේසි පිලිබඳ ව පොරොන්දු දෙමින් එකට වේදිකාව බෙදාහදා ගත් හ. මෙම සටන් පාඨ හුදෙක් ම චීනයට වඩා සමීප යයි සැලකුනු රාජපක්ෂ බලයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජනපදය විසින් සිදුකල තන්ත්‍ර-මාරු කුමන්ත්‍රනය ආවරනය කිරීමේ වහන්තරාවක් විය.

පාලක පන්තියේ කිසිදු කන්ඩායමක් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සම්මතයන්, ව්‍යවස්ථාව හා සහතිකෙන්ම වැඩකරන ජනයාගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා නො කරයි. පාර්ලිමේන්තුව සෑම විට ම කම්කරුවන්ගේ හා දුගීන්ගේ වියදමින් ධනේශ්වරය එහි පන්ති අවශ්‍යතා රුදුරු ලෙස ආරක්ෂා කරගන්නා වහන්තරාවක් ව ඇත. ප්‍රතිමල්ලව පක්ෂ “ප්‍රජාතන්ත්‍රවාදය” සඳහා වන ඔවුන්ගේ කැපවීම ප්‍රකාශ කරමින් දැන් මෙම වහන්තරාව අතහරිමින් සිටියි.

2008 ගෝලීය මූල්‍ය බිඳවැටීමෙන් ඉස්මතු වන ප්‍රගාඪ අර්බුදයක් තුල ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගිලී තිබේ. උතුරු- නැගෙනහිර දෙමල ජනයාගේ ජීවිත ව්‍යසනයට ලක් කරමින්, බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව තීව්‍ර කරන ලද වාර්ගික යුද්ධයට අරමුදල් සොයාගැනීම සඳහා රාජපක්ෂ ආන්ඩුව නය කන්දරාවක් ලබාගත්තේ ය. ඒ අතර ම, එම ආන්ඩුව සමාජ සේවාවන් හා මිල සහනාධාරයන් රුදුරු ලෙස කප්පාදු කිරීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් ක්‍රියාත්මක කරමින් වැඩකරන ජනයා මත බරපැටවී ය.

2015 දී රාජපක්ෂ ඉවත් කොට බලයට ආ සිරිසේන ජනාධිපති ලෙස හා වික්‍රමසිංහ අගමැති ලෙස සිටි “ජාතික සමගි” ආන්ඩුව, වොෂින්ටනය වෙතට විදෙස් පිලිවෙත මාරුකල අතර, ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය දිගට ම ක්‍රියාවට දැමුවේ ය. වැඩකරන ජනයා වැඩ වර්ජන හා විරෝධතා සංවිධානය කල විට, ඒවා මර්දනය කිරීම පිනිස පොලීසිය හා මිලිටරිය දිගේලි කිරීමට ආන්ඩුව පසුබට නො වී ය.

මෙම වැඩෙන මහජන විරුද්ධත්වය හා ගැඹුරු වන මූල්‍ය අර්බුදය මධ්‍යයේ, පෙබරවාරියේ පලාත්පාලන මැතිවරනයේ දී ලැබූ විශාල පරාජයන් ගැන සිරිසේන හා වික්‍රමසිංහ එකිනෙකාට වරද පැටවූ තතු තුල “ජාතික සමගි” ආන්ඩුව ඉරිතැලීම ආරම්භ විය. ඒ අතර ම, ඔවුන් දෙදෙනා ම රාජපක්ෂ යලි බලයට පත්වීම සඳහා ඇවිලවූ දුෂ්ට සිංහල ස්වෝත්තමවාදී උද්ඝෝෂනයට ආබද්ධ වූ හ.

ජීවන තත්ත්වයන් මත ආන්ඩුව එල්ල කරන ප්‍රහාර කෙරෙහි ප්‍රතිරෝධය, වාර්ගික රේඛා කපාගෙන එක්සත් වීම අරඹා ඇති කම්කරුවන්ගේ විවිධ කොටස් අතර මෙන් ම ගොවීන්, ධීවරයන් හා ශිෂ්‍යයන් අතර පුලුල් ව පැතිර පවතී.

ඉතා වැදගත් වර්ධනයක් වුයේ සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රනයට දින දෙකකට පෙර සිංහල, දෙමල හා මුස්ලිම් තරුන තරුනියන් 5,000ක් ලක්ෂ සංඛ්‍යාත වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයට සහයෝගය දැක්වීම සඳහා කොලඹට එක් රැස්වීමයි. එම විරෝධතාව පාලක ප්‍රභූව කම්පනයට පත් කරද්දී, තරුන කම්කරුවන් පලමු වරට සමාජ මාධ්‍ය හරහා සංවිධානය වීම ගැන කතුවැකි විසින් අනතුරු ඇඟවන ලදී.

කන්ඩායමික භේද මොනවා වුවත්, කම්කරු පන්තියේ හා ගම්බද ජනතාවන්ගේ ඒකාබද්ධ ව්‍යාපාරයක් පිලිබඳ භීතියෙදී පාලක පන්තිය එක්සත් ය. “ප්‍රජාතන්ත්‍රවාදය” ගැන කියාපෑම් තිබිය දී, වර්තමාන කටුක බල අරගලයෙන් කවර පක්ෂ ජයග්‍රහනය කල ද ඒවා වැඩකරන ජනයාගේ විරෝධය තලාදැමීම සඳහා තිස් අවුරුදු කුරිරු වාර්ගික යුද්ධය තුල බලගන්වා ගත් පොලිස් රාජ්‍ය යන්ත්‍රයේ මුලු බලය යොදාගනු ඇත.

සිය විධානයන් පැටවීම සඳහා එකාධිපතියෙකුගේ අවශ්‍යතාව ගැන මහා ව්‍යාපාරික කව වෙතින් දැනට මත් තල්ලුවක් පවතී. මෑත දී පැවති ශ්‍රී ලංකා ජාත්‍යන්තර වානිජ මන්ඩලයේ හමුවක දී ඉහල පෙලේ ප්‍රධාන විධායක නිලධාරියෙක් වන අශෝක් පතිරගේ පැමින සිටි අනෙකුන්ගේ ද එකඟතාව සහිත ව මෙසේ ප්‍රකාශ කලේ ය: “අපට ශක්තිමක් නායකත්වයක් අවශ්‍ය යි; අපට අවශ්‍ය වන්නේ ආඥාදායකයෙක් වගේ කෙනෙක්. අද පක්ෂ දෙකක් විසින් පාලනය කරනවා, ඒත් එක්කෙනෙක් වත් තීරන ගන්නේ නැහැ.”

1948 රුපික නිදහසේ පටන් එජාපය හා ශ්‍රීලනිපය විසින් නායකත්වය දුන් අනුප්‍රාප්ත ආන්ඩු, වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් හා දැවෙන සමාජ අවශ්‍යතා ආමන්ත්‍රනය කිරීමට ධනේශ්වරයට පවතින නො හැකියාව මනා ලෙස ප්‍රදර්ශනය කර ඇත. කම්කරුවන්ගේ හා දුගීන්ගේ විරුද්ධත්වය ඉවත හැරවීම සඳහා 1940 ගනන් හා 1950 ගනන්වල ලබාදුන් සීමිත සහනාධාර එක්කෝ කප්පාදු කර හෝ නැතහොත් මුලුමනින් ම විනාශ කර තිබේ. එලෙස ම, එම අරගලයන්ට නායකත්වය දුන් පක්ෂ හා වෘත්තීය සමිති -විශේෂයෙන් ම ලංකා සම සමාජ පක්ෂය (ලසසප)- දැන් දේශපාලන සංස්ථාපිතයේ අත්‍යන්ත කොටස් ය.

දශක ගනනාවක් තිස්සේ කම්කරු පන්තිය බෙදමින් ධනේශ්වර පාලනයට මුක්කුව දීම සඳහා කොලඹ දේශපාලකයන්ගේ ප්‍රධාන ආයුධය වී ඇත්තේ දෙමල-විරෝධී ස්වෝත්තමවාදය යි. මෙම තුච්ඡ වාර්ගික දේශපාලනය අවසානයේ සමස්තයක් ලෙස කම්කරු පන්තියට ව්‍යසනකාරී විපාක ගෙනදුන් තිස් අවුරුදු යුද්ධයට මගපෑදී ය. දෙමල ජාතික සන්ධානය වැනි පක්ෂවල දෙමල ප්‍රජාගනවාදය ද ඇතුලු සියලු ආකාරයන්ගේ ජාතිකවාදයන් හා ස්වෝත්තමවාදයන්ට විරුද්ධ ව සිය පොදු පන්ති අවශ්‍යතා ආරක්ෂා කරගැනීමට එක්සත් නො වී කම්කරුවන්ට හා තරුනයන්ට පියවරක් වත් ඉදිරියට තැබිය නො හැකි බවට සසප අනතුරු අඟවා සිටී.

වර්තමාන අර්බුදය මධ්‍යයේ ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙක වන එජාපය හා ශ්‍රීලනිපය කෙරෙහි පවතින පුලුල් විරෝධය ගසාකෑමට උත්සාහ දරන ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) දේශපාලන වාචාල ඝෝශාබද්ධයන් ගැන සසප විශේෂයෙන් අනතුරු අඟවයි. පක්ෂ දෙකෙන් එකකට වත් සහයෝගය නො දෙන බවට ජවිපෙ කරන ප්‍රකාශය ප්‍රෝඩාවකි. කොලඹ දේශපාලන සංස්ථාපිතයේ කොටසක් ලෙස, 2004 දී ශ්‍රීලනිප ආන්ඩුවට එක්වෙමින් හා 2015 දී “ජාතික සමගි” ආන්ඩුවට පිටුබලය දෙමින් ප්‍රධාන පක්ෂ දෙක අතර ජවිපෙ විලිලජ්ජාවක් නැතිවම උපාමාරු දමා ඇත. දැනට ද එය එලෙස ම කරමින් සිටින්නේ, සමාජවාදය කෙසේ වෙතත් වැඩකරන ජනයාගේ අයිතීන් සඳහා සටන් කරනු වෙනුවට ඒ හෝ මේ ධනපති පක්ෂ සමග සම්මුතියක් අටවා ගැනීම පිනිස “ජනබලයට” ආයාචනා කරමිනි.

වත්මන් දේශපාලන අර්බුදය නාමික නිදහසේ ව්‍යාජ භාවය ද එලිදරවු කරයි. ජවිපෙ ද ඇතුලු ශ්‍රී ලංකාවේ සියලු ධනේශ්වර පක්ෂ, ව්‍යසනකාරී යුද්ධයකට මගපාදමින් තිබෙන ප්‍රධාන බලයන් අතර තීව්‍ර වන ප්‍රතිමල්ලවතාවන්ගේ ඉත්තන් ලෙස ක්‍රියා කරති. චීන ජනාධිපතිවරයා රාජපක්ෂ යලි බලයට පත්වීම සාදරයෙන් පිලිගන්නා අතර, පාලනය සඳහා තමන් දරන ප්‍රයත්නය ශක්තිමත් කරනු ඇතැයි ගනන් බලමින් පාර්ලිමේන්තුව යලි කැඳවන්නැයි වික්‍රමසිංහ කරන ආයාචනාවට එක්සත් ජනපදය හා එහි සහකරුවෝ පිටුබලය දෙමින් සිටිති.

චීනයට එරෙහි යුද්ධයට සූදානම්වෙමින් තමන් සමග පෙලගැසෙන ලෙස රටවලට බලකරන එක්සත් ජනපදය ඉන්දු-පැසිෆික් කලාපය රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික හා මිලිටරි යුදපිටියක් බවට පරිවර්තනය කර ඇත. තමන්ගේ පැත්තෙන් ප්‍රගතිශීලී විසඳුමක් නොමැති චීනය එක්සත් ජනපදයට මුහුන දීම සඳහා ආර්ථික බලපෑම භාවිතා කිරීමට උත්සාහ දරමින් හා ආයුධ සන්නද්ධවෙමින් සිටී. ශ්‍රී ලංකාව හා කලාපය පුරා පාලක පන්ති, මානව වර්ගයාට ව්‍යසනයක් ගෙනඑමින් පමනක් අවසන් විය හැකි න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලයන් දෙක අතර යුද පෙරමුන ඉදිරියේ තම ජනතාවන් තබා ඇත.

දශක හතක ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනය විසින් ලියොන් ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යායයේ මූලධර්ම බලගතු ලෙස සනාථ කරනු ලැබ තිබේ. කල්පසු වූ ධනේශ්වර වර්ධනයක් සහිත රටවල පාලක පන්තීන් අධිරාජ්‍යවාදයෙන් ස්වාධීන වීම සහ සුලුතරයන්ට සමාන අයතිවාසිකම් හා සියල්ලන්ට ශිෂ්ට සම්පන්න ජීවන කොන්දේසි ස්ථාපිත කිරීම ඇතුලු මූලික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න විසඳීමට අසමර්ථ බව ට්‍රොට්ස්කි පෙන්වා දුන්නේය. ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ කර්තව්‍යයන් ඉෂ්ට කිරීම හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දැමිය හැක්කේ, ධනේශ්වරයේ සියලු කොටස්වලට විරුද්ධ ව ගම්බද දුගීන් හා පීඩිත ජනයා තමන් වටා රැලි කරගැනීමට දේශපාලන අරගලයක නිරත වන කම්කරු පන්තියට පමනි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප පමනක් ම මෙම දේශපාලන ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය සඳහා සටන් වදින පක්ෂය වෙයි. දේශපාලන තත්ත්වය පිලිබඳ තක්සේරුවක් කරගෙන නො නවතින විප්ලව න්‍යායයේ පදනම මත තමන්ගේ ම ස්වාධීන මාවතක් සකසා ගන්නා ලෙස කම්කරු පන්තියෙන් අපි ඉල්ලමු.

කම්කරුවන් වැඩබිම්, නිවහන් ප්‍රදේශ හා වතුවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම මුලිකත්වය ගනිමින් ගම්බද දුගීන් හා තරුනයන් බලමුලු ගන්වාගෙන තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමට පියවර ගත යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය, රාජ්‍ය බලය පිලිබඳ ප්‍රශ්නය හා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීම සමග බැඳී තිබේ.

වැඩකරන ජනයා මුහුන දෙන කිසිදු ගැටලුවක්, අන් සියලටමත් වඩා ලෝක යුද්ධයේ අනතුර නතර කිරීම, ශ්‍රී ලංකාව තුල විසඳිය නො හැකිය. ඒ සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය කරයි. දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා කරන අරගලයේ අත්‍යන්ත කොටසක් ලෙස, ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සසප කැඳවුම් කර සිටී. මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමට අවශ්‍ය කම්කරු පන්තියේ පක්ෂය ලෙස සසපට බැඳී එය ගොඩනගන ලෙස අපි කම්කරුවන්, තරුනයන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලමු.

Share this article: