තම දේශපාලන කුමන්ත්‍රනය පිලිබඳව ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ නරුම සාධාරනීකරනයන්

Sri Lankan president’s cynical justifications for his political coup

වසන්ත රූපසිංහ විසිනි, 2018 ඔක්තෝබර් 29

ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ කල රූපවාහිනී කතාවක දී, සිකුරාදා අගමැති රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථා විරෝධී ලෙස බලයෙන් නෙරපා හරිමින් එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කිරීමේ ඔහුගේ දේශපාලන කුමන්ත්‍රනය සාධාරනීකරනය කිරීමට උත්සාහ කලේ ය. වික්‍රමසිංහ ඉවත් කිරීම පිරිහෙන ආර්ථිකය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු පිලිවෙත්වලට එරෙහිව වැඩෙන ප්‍රතිරෝධය විසින් අවුලවනු ලැබ ඇති රටේ දේශපාලන අර්බුදයේ ගැඹුරුවීමක් සනිටුහන් කරයි.

සිරිසේන, රාජපක්ෂ ආන්ඩුවෙන් ඉවත් වී වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සහයෝගය ඇතිව මැතිවරනය ජයග්‍රහනය කිරීමෙන් ඉක්බිතිව 2015 පිහිටුවනු ලැබූ අස්ථාවර ජාතික සම්මුති ආන්ඩුව මෙම කලබගෑනියෙන් කෙලවර වී ඇත. සිරිසේනට හා රාජපක්ෂට පක්ෂපාතී කන්ඩායම් දෙකක් ලෙස ප්‍රබලව බෙදී තිබුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සිරිසේනගේ ක්‍රියාවන්ට සහයෝගය දීම පිනිස දැන් යලි එකමුතු වී ඇත.

සටන් රේඛා දැන් පැහැදිලිව ඇඳී ඇත. ඔහු තනතුරෙන් නෙරපීම ප්‍රතික්ෂේප කල වික්‍රමසිංහ අගමැති නිල නිවස වන අරලිය ගහ මන්දිරයේ දිගටම රැදී සිටියි. ඔහුගේ ආන්ඩුවට පාර්ලිමේන්තුව තුල තවමත් බහුතර බලයක් තිබෙන බව තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව රැස්කරන ලෙස ඔහු කල ඉල්ලීමට සිරිසේන ප්‍රතිචාර දක්වා ඇත්තේ පාර්ලිමේන්තුව නොවැම්බර් 16 වෙනිදා දක්වා කල් තැබීම මගිනි.

අරලිය ගහ මන්දිරයෙන් ඉවත් වන ලෙස වික්‍රමසිංහට ඊයේ අවසාන නිවේදනයක් නිකුත් කල රාජපක්ෂගේ සගයෙකු වන, වාචාල දෙඩවිලි ගැන කුප්‍රකට විමල් වීරවංශ, එසේ නොකලහොත් ඔහු ඉන් ඉවත් කිරීමට පියවර ගන්නා බවට තර්ජනය කලේ ය. දැනටමත්, හිටපු ඇමතියෙකු හා ඔහුගේ කායික ආරක්ෂකයන් සහ රාජපක්ෂ ගැති මැරයන් අතර ඇති වූ ප්‍රචන්ඩ ගැටුමක දී එක් අයෙකු මරනයට පත් වී තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

සිරිසේනගේ ආත්ම-සේවක නරුම කතාවේ අරමුන වුයේ ඔහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සාධාරනීකරනය කිරීම, කුමන්ත්‍රනයට තුඩුදුන් සැබෑ හේතුන් වසන් කිරීම සහ වික්‍රමසිංහ ආන්ඩුව ජීවන තත්වයන්ට එල්ල කල ප්‍රහාර කෙරෙහි වඩ වඩාත් විරෝධය පෑ මහජන ස්ථරයන්ට ආයාචනා කිරීමය.

පසුගිය වසර කිහිපය තුල ඔහුගේ ක්‍රියාවන් විසින් “උතුම් වූ යහපාලන සංකල්පය, ඒ උතුම් යහපාලන අරමුනු හා පරමාර්ථ” විනාශ කල බව සඳහන් කරමින් සිරිසේන “ශිෂ්ට දේශපාලනයට නොගැලපෙන” හැසිරීම් ගැන වික්‍රමසිංහට චෝදනා කලේ ය. කෙසේ නමුත්, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ක්‍රමානුකුලව මැඩලීමට සහ බෙදුම්වාදී දෙමල විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධයේ දී සිදුකල යුද අපරාධ වලට වගකිව යුතු රාජපක්ෂ තන්ත්‍රය 2015 දී පෙරලා දැමීමෙි දී යොදාගත්තේ මෙම වහන්තරාවම ය.

වික්‍රමසිංහගේ සමීපතමයෙකු වූ අලුතෙන් පත් කල මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගේ බෑනාට හිමි පර්පෙචුවල් ටේ‍රෂරීස් නම් මුල්‍ය සමාගමක් සිදුකල බැඳුම්කර වංචාව ගැන සිරිසේන, වික්‍රමසිංහට චෝදනා කලේ ය. අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම මගින් අවම වශයෙන් රුපියල් බිලියන 10 ක දැවැන්ත ලාභයක් මඩි ගසා ගත් බවට එම සමාගමට චෝදනා එල්ල වී ඇත. එකී දෝෂාරෝපනයන් සම්බන්ධයෙන් වික්‍රමසිංහට විරුද්ධව චෝදනා ගොනුකර නැත.

නම් නොකල කැබිනට් ඇමතිවරයෙකුගේ මැදිහත් වීමෙන් තමා “ඝාතනය කිරීමේ බරපතල කුමන්ත්‍රනයක්” පිලිබඳව පිලිගතහැකි තරමි කරුනු රහිතව ඔහු නගන චෝදනාව ජනාධිපති යලිත් කලේ ය. මෙම උපකල්පිත කුමන්ත්‍රනය රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීමට ඔහුව මෙහය වූ “වඩාත් ආසන්නතම සහ බලගතු හේතුව” වූ බව සිරිසේන පැවසු වූ නමුත් ඒ පිලිබඳව සාක්ෂි ඉදිරිපත් නොකලේ ය. උපකල්පිත ඝාතන සැලැස්ම සම්බන්ධව නිසි පරීක්ෂනයක් නොකිරීම ගැන ඔහු වික්‍රමසිංහගේ සමීප සහකරුවෙකු වූ පොලිස්පති හෙලා දුටුවේ ය.

“ශ්‍රී ලංකාවේ අනාගතය, සැබෑ ජනතා හද ගැස්ම නොහඳුන සුපිරි පන්තියක විනෝද කෙලියක් බවට පත් කර ගත්” වික්‍රමසිංහට ප්‍රතිවිරුද්ධව තමන් “ජනතාවගේ මිනිසා” ලෙස මවා පෑමට සිරිසේන නරුම ලෙස උත්සාහ කලේ ය.

යථාර්ථයේ දී, සිරිසේන, වික්‍රමසිංහ සහ රාජපක්ෂ, 1948 නිල නිදහසෙන් පසු වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය සහ සමාජ අයිතීන් මැඩලනු ලැබූ ශ්‍රී ලංකාවේ විසකුරු පාලක පන්තියේ නියෝජිතයෝ ය. බලයේ පැවති එජාප සහ ශ්‍රීලනිප ආන්ඩු සමාජ වියදම් සහ රැකියා කප්පාදු කිරීම මගින් ජාමුඅ කප්පාදු න්‍යාය පත්‍රයන් ක්‍රියාවට දමමින් ඊට එරෙහි විරුද්ධත්වය යටපත් කිරීම සඳහා පොලිස් රාජ්‍ය විධික්‍රම යොදා ගත් අතර කම්කරු පන්තිය බෙදීම පිනිස සිංහල ස්වෝත්තමවාදය ඇවිස්සීය. 1983 සිට 2009 දක්වා දිවයින විනාශකල කෲර වාර්ගික යුද්ධයට පක්ෂ දෙක ම සෘජුව වගකිව යුතු ය.

ඔහුගේ ක්‍රියාවන් “නීති විශාරදයන්ගේ උපදෙස් මත, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව” සිදු කල බව සිරිසේන සඳහන් කල නමුත් එසේ වූයේ කෙසේදැයි තර්ක කිරීමට උත්සාහ නොකලේ ය. පුලුල් අඥාදායක බලතල සහිත රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට 2015 බලයට පත්වීමේ දී ඔහු පොරොන්දු විය. ඇත්ත වශයෙන් ම, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව සිදුකලේ මෙම බලතල සංශෝධනය කිරීම පමනක් නමුත් අගමැතිවරයෙකු ඒක පාර්ශ්වීයව නෙරපීමට ජනාධිපතිට පැවති හැකියාව එමගින් අහෝසි කෙරුනි. වික්‍රමසිංහ ඉවත් කිරීම සඳහා සිරිසේන දැන් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත.

පාර්ලිමේන්තුව රැස්වීම අත්හිටුවීමේ සිරිසේනගේ අත්තනෝමතික ක්‍රියාවන්ගේ අරමුන වන්නේ තවමත් ඔහුට පාර්ලිමේන්තු බහුතරයක් ඇති බව පෙන්වීමෙන් වික්‍රමසිංහ වැලැක්වීම සහ අල්ලසට ගැනීමට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැති මාරුකිරීම පිනිස කල් ලබා ගැනීමකි. ඔවුන්ගේ අවස්ථාවාදී “පිල් මාරුකිරීම්” ගැන කොලඹ දේශපාලනඥයන් සුප්‍රසිද්ධ ය. හැකි තරම් කඩිනමින් නව මැතිවරනයක් පවත්වන බවට රාජපක්ෂ ඊයේ පොරොන්දු වූ නමුත්, පාලන තන්ත්‍රය ඉක්මනින් හෝ කොහෙත්ම හෝ මැතිවරනයක් පැවැත්වීම ගැන සහතිකයක් නැත.

තමන් දේශප්‍රේමියෙකු බව මවාපාමින් ජනාධිපති කථාව අවසන් කලේ ය. එය රට විකිනීම ගැන වික්‍රමසිංහ ආන්ඩුව හෙලාදකිනු ලබන අන්ත දක්ෂිනාංශික සිංහල ස්වොත්තමවාදී කන්ඩායම්වලට ආයාචනා කිරීම ඉලක්ක කරගත් වාචාල දෙඩවිල්ලකි. පසුගිය අවුරුදු කීපය තුල “විදේශීය ආයෝජන පමනක් කෙරෙහි විශ්වාසය තබමින් දේශීය කර්මාන්තකරුවන් දේශීය ව්‍යාපාරිකයන් දුර්වල කිරීමේ ආර්ථික ප්‍රතිපත්තියක්” වික්‍රමසිංහ ආන්ඩුව ගෙනගිය බව ඔහු ප්‍රකාශ කලේ ය.

“බොහෝ වටිනාකම් තිබෙන විශේෂ ටෙන්ඩර් විදේශ සමාගම්වලට දුන්නා. ඉදිකිරීම් බාරදුන්නා ටෙන්ඩර් කැඳවීමකින් තොරව” යැයි සිරිසේන සඳහන් කලේ ය. “පසුගිය සතියේ ඉඩම් පිලිබඳ විශේෂ විධිවිධාන සහිත පනත ඇමති මන්ඩලයේ සම්මත කරලා පාර්ලිමේන්තුවේ සම්මත වුනොත් ඔබේත් මගේත් මේ මාතෘභූමියේ සියලුම ඉඩම් කිසිදු කරදරයකින් තොරව විදේශික ව්‍යාපාරිකයන්ට සින්නක්කරව ගන්න පුලුවන්” යැයි ඔහු වැඩි දුරටත් පැවසීය.

මෙම හෙලාදකීම් පැහැදිලි ස්වෝත්තමවාදී හඬ තැලීම් ය. රාජපක්ෂ සහ ඔහුගේ හෙන්චයියන් විසින් ආන්ඩුවට එරෙහිව කර ඇති විවේචනවලින් බොහොමයක් යොමුකෙරී ඇත්තේ ඉන්දියාවට සහ අන්තවාදී ජාතිකවාදීන් විසින් ඉන්දියානු ව්‍යාප්තවාදයේ නියෝජිතයන් ලෙස හංවඩු ගසනු ලබන දිවයිනේ දෙමල සුලුතරයට විරුද්ධව ය. කොලඹ දේශපාලනඥයන් වැඩකරන ජනතාව බෙදීම සඳහා දිගුකාලීනව දෙමල විරෝධී වර්ගවාදය යොදා ගනු ලැබ ඇති අතර තීව්‍ර වන වර්ජන සහ පිරිහෙන ජීවන කොන්දේසිවලට එරෙහි විරෝධතා මධ්‍යයේ එවන් උද්ඝෝෂනයක් මුදා හැරීම අහම්භයක් නොවේ.

එක් අතෙකින් චීනයත්, අනෙක් අතින් ඉන්දියාව සහ එක්සත් ජනපදයත් අතර දකුනු ආසියාව තුල භූ-දේශපාලනික ආතතීන් තීව්‍ර කිරීමට ද ඉන්දියානු විරෝධී වාචාල දෙඩවිලි තුඩු දෙයි. එක්සත් ජනපදය, චීනයට වඩා සමීපතමයෙකු ලෙස දැකගත් රාජපක්ෂ බලයෙන් පහ කිරීමේ හැකියාව සිරිසේනට ලබාදුන් 2015 තන්ත්‍ර මාරුව මෙහෙය වී ය. ට්‍රම්ප් ආන්ඩුව එහි වෙලඳ යුද්ධය හා චීනය සමග ගැටුම තීව්‍ර කරන තතු තුල මුලෝපායාත්මකව වැදගත්කමක් සහිත ශ්‍රී ලංකාව තුල බෙයිජිනයට පක්ෂපාතී ආන්ඩුවක් ලෙස එය විසින් සලකනු ලබන පාලන තන්ත්‍රයක් තහවුරුවීම උදාසීනව පිලිනොගනු ඇත. තිරයට පිටුපසින් කෙරෙන උපාමාරු මගින් සිදුවනු ඇත්තේ කොලඹ දේශපාලන අර්බුදය තව දුරටත් තීව්‍ර කිරීම පමනි.

සිරිසේන, රාජපක්ෂගේ නව කැබිනට්ටුවට අද පත් කිරීමට නියමිතය. සෙනසුරාදා ජනාධිපති ලේකම් කාර්යාලය, කලින් ආන්ඩුවේ ඇමතිවරුන් යටතේ පැවති සියලුම දෙපාර්තමේන්තුවල ප්‍රධානීන්ගේ, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මන්ඩල සහ රාජ්‍ය බැංකු වල සභාපතිවරුන් ගේ ධුර කාලය අවසන් වූ බව නිවේදනය කලේ ය. ආන්ඩුව බලයෙන් පහ කිරීමට එරෙහිව “වීදී බසින” ලෙස ජ්‍යෙෂ්ඨ එජාප නායකයන් මහ ජනතාවට කැඳවුම් කර ඇත. එය තුඩු දෙනු ඇත්තේ තව දුරටත් රාජපක්ෂ ගැති බලවේග සමග ගැටුමට ය.

සංස්ථාපිතයේ කිසිදු පක්ෂයක් කම්කරු පන්තියේ සහ දුප්පත් ජනයාගේ උවමනාවන් ආරක්ෂා කරන්නේ නැත. පැවති පාලන තන්ත්‍රය මෙන් ම, නව ආන්ඩුව ද ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීමට සහ ඊට එරෙහි කවර හෝ විරුද්ධත්වයක් නිර්දය ලෙස මැඩීමට උත්සාහ කරනු ඇත. මෙම දේශපාලන අර්බුදය තුල, පාලක පන්තියේ අංශ දෙකම ද, ඔවුන්ගේ භේදකාරී ස්වෝත්තමවාදී දේශපාලනය ද ප්‍රතික්ෂේප කරමින්, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරු -ගොවි ආන්ඩුවක් සඳහා අරගලයට නාගරික සහ ගැමි දුප්පතුන් බලමුලු ගන්වන තමන්ගේම ස්වාධීන මාවතකට කම්කරු පන්තිය හැරී ගත යුතු ය.

Share this article: