වර්ජනයේ නිරත තමිල්නාඩු මෝටර් රථ කම්කරුවෝ රැකියාවලින් නෙරපීමේ තර්ජනයට මුහුන දෙති

A Striking Tamil Nadu auto workers face dismissal

මෝසෙස් රාජකුමාර් සහ නන්ද කුමාර් විසිනි, 2018 ඔක්තෝබර් 17

දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පිහිටි යමහා මෝටර් සයිකල් සමාගමේ වැඩ වර්ජනයේ යෙදී සිටින 800 ක් පමන කම්කරුවෝ සමාගම විසින් රැකියාවෙන් දොට්ට දැමීමේ තර්ජනයට ලක් වී සිටිති.

මෙය අනාවරනය වූයේ ඉන්දියානු වෘත්තීය සමිති මධ්‍යස්ථානය (සීඅයිටීයූ) විසින් වර්ජනයේ යෙදී සිටින කම්කරුවන්ට එරෙහිව යමහා සමාගම විසින් ”අසාධාරන වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම” වැලැක්වීමට ප්‍රාන්ත රජයේ කම්කරු දෙපාර්තමේන්තුවට බල කරන ලෙස ඉල්ලා චෙන්නායි මහාධිකරනයට පෙත්සමක් ගොනු කල අවස්ථාවේදී ය.

යමහා කම්කරුවන්, ප්‍රාන්තයේ අග නගරය වන චෙන්නායි නගරයට කිලීමීටර් 55 ක් දුරින් පිහිටි ඔරගඩෑම්-සිපෙරුම්බුදුර් කාර්මික කලාපයේ මේ වන විට වර්ජනයේ යෙදී සිටින දහස් ගනනක් මෝටර් කම්කරුවන් ගෙන් කොටසකි. වර්ජනයේ යෙදී සිටින අනෙකුත් කම්කරුවන් සේවය කරන්නේ රෝයල් එන්ෆීල්ඞ් හා මියොන් ශින් (එම්එස්ඒ) යන සමාගමවල ය.

සීඅයිටීයූ පාලනය වන්නේ ඉන්දියාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හෙවත් සීපීඑම් යටතේ ඇති වෘත්තීය සමිතියකි. මෙම සමිති සන්ධානය විසින් “අලුතින් සේවකයන් බඳවා ගැනීම වැලැක්වීමට” හා “සාමකාමී විසඳුමක්” කරා එලඹීමට සමාගම යොමු කරන්නැයි ඉල්ලා අධිකරනයට ආයාචනා කර තිබේ.

සැප්තැම්බර් 21 දින යමහා සේවක වැඩ වර්ජනය ආරම්භ වූයේ කම්කරුවන් දෙදෙනෙක් සීඅයිටීයූට අනුබද්ධව යමහා තොසිලහාර් සංගම් හෙවත් යමහා මොටර් කම්කරු සංගමය නමින් වෘත්තිය සමිතියක් ගොඩනැගීමට සම්බන්ධවීම හේතුවෙන් රැකියාවෙන් නෙරපීමට එරෙහිව ය. එල්ෆීල්ඞ් හා එම්එස්ඒ වැඩ වර්ජන පිලිවෙලින් සැප්තැම්බර් 24 හා සැප්තැම්බර් 5 යන දිනවලදී පැනනැගුනේ ද ඉහල වැටුප් ඉල්ලා හා වෘත්තීය සමිති සංවිධානය කිරීම හේතුවෙන් දඩයමට ලක් කිරීමට එරෙහිව ය.

ස්ටැලින්වාදී සීපීඑම් හා සීඅයිටීයූ සන්ධානය වර්ජිත එන්ෆීල්ඞ්, යමහා සහ එම්එස්ඒ කම්කරුවන් ආරක්ෂා කිරීමට මෝටර්රථ කම්කරුවන්ගේ කාර්මික ශක්තිය බලමුලු ගැන්වීම ප්‍රතික්ෂේප කොට ඇත. ඒ වෙනුවට ඔවුන් උසාවිවලට හා ප්‍රාන්ත රජයට හිස් ආයාචනා කරමින් සිටින්නේ එමගින් කම්කරුවන්ගේ ඉල්ලීම් සපුරාලීමට එම ආයතන හරහා සංගත වලට පීඩනය යෙදිය හැකිය යන මිත්‍යාව වගා කරමිනි.

මහාධිකරන විනිසුරු එස්. විමලා සීඅයිටීයූ විසින් ගොනු කල පෙත්සමට සති 4 ක් ඇතුලත ප්‍රතිචාර දක්වන ලෙස සමාගමට දන්වා ඇත. එහෙත් එමගින් කම්කරුවන්ගේ රැකියාවල සුරක්ෂිතභාවය තහවුරු කෙරෙන්නේ නැත. යමහා සහ අනෙකුත් සමාගම් වැඩ වර්ජන නීති විරෝධී යැයි ප්‍රකාශයට පත් කරමින් කම්කරු වර්ජන හා වාඩිලා ගැනීම් බිඳ දමන්නැයි පොලීසියෙන් හා උසාවියෙන් ඉල්ලා ඇත.

ප්‍රාන්ත රජය ද යමහා වර්ජනය නීති විරෝධී යැයි ප්‍රකාශ කොට ඇත. ඔක්තෝබර් 3 වන දින තමිල්නාඩු ප්‍රාන්ත ඒකාබද්ධ කම්කරු කොමසාරිස් පොන්නුස්වාමි මහතා “පූර්ව දැනුම් දීමකින් තොරව” වැඩ වර්ජන වලට පිවිසීම යුක්ති සහගත නොවන බව සමිතිවලට ප්‍රකාශ කලේ ය.

ඉන්දියානු මහා ව්‍යාපාරිකයන්, පාලක ප්‍රභූව සහ ජාත්‍යන්තර ආයෝජකයින් චෙන්නායි හා අනෙකුත් ප්‍රදේශ වල පැතිර යන මෝටරථ කම්කරුවන්ගේ අරගල සම්බන්ධව අවධානයෙන් සිටියි. “ඉන්දියාවේ කාර්මික මධ්‍යස්ථානයන්හි පැන නැගී ඇති අරගල මෝඩිගේ රැකියා උත්පාදනය කිරීමේ පිලිවෙතට වලකපයි” යන හිසින් යුත් රොයිටර්ගෙන් උපුටා ගත් දීර්ඝ ලිපියක් පසුගිය සඳුදා ඉකොනොමික් ටයිම්ස් පුවත් පත පල කලේ ය.

මෝටර් රථ නිශ්පාදන කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් වන චෙන්නායි හා නවදිල්ලියට ආසන්නයෙහි වන හරියානා ප්‍රාන්තයේ පිහිටා තිබෙන ගුරුග්‍රාම් හි වැඩ වර්ජන පිලිබඳව එම ලිපිය අවධානය යොමු කොට ඇත. චෙන්නායි හි වැඩවර්ජනයට අමතරව, උතුරු ඉන්දියාවේ ගුරුග්‍රාම් හි පිහිටි මරුටි සුසුකි කම්කරුවන් ද ඇතුලුව කම්කරුවන් සිය ගනනක් සුරක්ෂිත රැකියා කොන්දේසි හා ඉහල වැටුප් ඉල්ලීම් මුල් කරගෙන ඔක්තෝබර් 7 වන දින එක් දින සංකේත වැඩ වර්ජනයක නිරත විය.

“තිරසාර හා ආකර්ශනීය වැටුප්වලින් යුත් නව කාර්මික රැකියා උත්පාදනය කිරීමේ දී අගමැති නරේන්ද්‍ර මෝඩිගේ රජය මුහුන දී ඇති ගැටලු“ මෙම අරගල මගින් පෙන්නුම් කරන බව ලිපියේ සඳහන් වේ.

එහෙත් සත්‍ය වශයෙන් ගත් කල්හි, මෝඩි රජය සහ කොන්ග්‍රස් පක්ෂය විසින් නායකත්වය ගත් ආන්ඩුව ද ඇතුලුව මීට පෙර බලයට පත් ආන්ඩු, ඉන්දියාව විදේශ ආයෝජකයන්ට හා දේශීය මහා ව්‍යාපාරිකයන්ට විවෘත කලේ “ආකර්ශනීය ගෙවීම්” සහිත “තිරසාර රැකියා” නිර්මානය කිරීමට නොව, සුපිරි ලාභ සූරා ගත හැකි ලාභ ශ්‍රම තටාක නිර්මානය කිරීමටයි.

2012 වසරේදී මරුටි සුසුකි කම්කරුවන් විසින් සමාගමේ පන්දම්කාර වෘත්තීය සමිතිය ප්‍රතික්ෂේප කරමින් තමන්ගේම සමිති ගොඩනැගූ අවස්ථාවේ දී ඊට එරෙහිව කලමනාකරනය ඇවිල වූ ප්‍රකෝපකරනයක් මගින් සටන්කාමී කම්කරුවන්ට එරෙහි දඩයමක් දියත් කලේ ය. හර්යානා ප්‍රාන්ත රජය, මධ්‍යම රජය, පොලීසි සහ උසාවියද සමාගමට සහයෝගය දුන්නේ ය. එහිදි මෝඩි රජය විසින් සටන්කාමී කම්කරුවන් 13 දෙනෙකු සිරගත කොට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කෙරුනේ කම්කරු පන්තිය බිය වැද්දීමට ය.

කම්කරු නීති සම්බන්ධව දක්ෂිනාංශික මෝඩි ආන්ඩුවේ මහා ව්‍යාපාර ගැති සංශෝධන නිසැකව පෞද්ගලික සමාගම් දිරිමත් කර තිබේ. කෙසේ වෙතත් සීඅයිටීයූ හා සීපීඑම්, මරුටි සුසුකි කම්කරුවන් කෲර ලෙස දඩයමට ලක් වෙද්දී පවා ඔවුන් හුදෙකලා කිරීමට ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කලේය. යමහා, එන්ෆීල්ඞ් හා එම්එස්ඒ කම්කරුවන් හුදකලා කිරීමේ දී ද ඔවුන් සුපුරුදු භාවිතාවේම යෙදී සිටී.

පීපල්සි ඩිමොක්‍රසි නම් වූ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ පුවත්පත ඔක්තෝබර් 14 වන දින ඔවුන්ගේ ඉරනම සම්බන්ධව උසාවිය කෙරෙහි විශ්වාසය තබන්නැයි තමිල්නාඩු මෝටර් රථ කම්කරුවන්ගෙන් ඉල්ලා තිබුනි. “ඉන්දියානු ව්‍යවස්ථාව සෑම පුරවැසියෙකුටම රැස්වීමේ හා සංවිධානය වීමේ අයිතිය” තහවුරු කොට ඇති බව එම පත්‍රය ප්‍රකාශ කොට තිබුනි.

යමහා, එන්ෆීල්ඞ් හා එම්එස්ඒ ව්‍යවස්ථාවට ගරු නොකල බවට අඳෝනා නගන ගමන් එම ලිපිය සඳහන් කලේ සීපීඑම් “තමිල්නාඩුව පුරා සියලු පන්ති හා මහජන සංවිධානවල සහයෝගී ක්‍රියාවන් රැල්ලක්” ලබා දුන් බවය.

මෙය අමූලික බොරුවකි. සීපීඑම් හා ඊට අනුබද්ධ වෘත්තීය සමිති වර්ජනයේ යෙදී සිටින කම්කරුවන් ආරක්ෂා කිරීමට කම්කරු පන්තියට කැඳවුම් කලේ නැත. ස්ටැලින්වාදීන් විසින් තමිල්නාඩු රජයට, උසාවි වලට හා අනෙකුත් රාජ්‍ය ආයතන වලට ආයාචනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෝටරථ කම්කරුවන් දේශපාලනිකව නිරායුද කොට හුදෙකලා කරන අතරවාරයේ සමාගම් විසින් කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා රැකියා කොන්දේසි වලට එල්ල කෙරෙන ප්‍රහාර තීව්‍ර කර තිබේ.

කම්කරු නීති කම්කරුවන් ආරක්ෂා කිරීම වෙනුවට කම්කරුවන්ට වල කපා ඇත.

විසි හතර හැවිරිදි සතීෂ් කුමාර්, ආධුනිකයෙකු ලෙස වසර දෙකක් සහ පුහුනුව ලබන්නෙක් ලෙස තවත් වසරක් රෝයල් එන්ෆීල්ඞ් හි සේවය කිරීමෙන් පසුව දැන් රැකියාවක් නොමැතිව සිටී. ඔහු ඇතුලු සේවකයන්ගේ රැකියා ස්ථීර කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කලද ඔවුන්ව සේවයෙන් ඉවත් කල බව ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තා කරුවන්ට පැවසුවේ ය.

“රාජ්‍ය අංශයේ සමාගම්වලට ස්ථිර සේවකයන් බඳවා ගැනීම නවතා දැමීමට මෝඩි රජය කම්කරු නීතිය සංශෝධනය කර ඇති නිසා රෝයල් එන්ෆීල්ඞ් වැනි පෞද්ගලික සමාගම්ද ස්ථිර සේවකයන් බඳවා ගැනීම නතර කර ඇතැ”යි ඔවුන් අපට ප්‍රකාශ කලේ ය. “සමාගම විසින් ‘මගේ කන්ඩායමේ’ කම්කරුවන්ගේ සේවය අත්හිටුවා ඇත” යි ඔහු පැවසීය.

Share this article: