මුදල් ඇමති නය බර මහජනයා මත පැටවීමේ සැලසුම් ගැන කතා කරයි

සමන් ගුනදාස විසිනි , 2018 සැප්තැම්බර් 13

මෙම වසරේ සිට 2020 දක්වා ගෙවීමට ඇති නය වාරික හා පොලිය, රුපියල් ට්‍රියන හයක් (ඇ. ඩො. බිලියන 37) බව මුදල් ඇමති මංගල සමරවීර අගෝස්තු 31 වනදා පැවති ප්‍රධාන විධායකයින්ගේ සම්මන්ත්‍රනයක් අමතා ප්‍රකාශ කලේය. මෙය නිදහස ලැබීමෙන් පසු රටට ගෙවීමට සිදුව ඇති වැඩිම නය වාරික හා පොලී ගෙවීම වන බව ඔහු කියා සිටියේය.

කලමනාකරනය පිලිබඳ පශ්චාත් -උපාධි ආයතනයේ ආදී ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන විධායකයන් සංවිධානය කල මෙම සම්මන්ත්‍රනය අමතා මුදල් ඇමති සහ මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කල කතාවන්ගෙන් ජාත්‍යන්තර ආර්ථික හා මුල්‍ය අර්බුදයෙන් බැටකන ලංකාවේ ධනපති පන්තිය ගෙනයන ප්‍රතිපත්ති පෙන්වා දෙයි. ඒවා කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ හා ජීවන කොන්දේසි කපා දමමින් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට හා මහ ව්‍යාපාරිකයන්ට වාසි සැලසීම සඳහා යොමුකර ඇත.

ආන්ඩුව “ජනප්‍රිය” ආර්ථික මැදිහත් වීම් සඳහා කෙටි මාවත් ගැනීම අත හැර දිගු කාලීන වේදනා විඳීම මගින් වැඩිකල් පවතින වාසි ලබා ගැනීමට යොමු වන බව සමරවීර කී බව ඬේලිඑෆ්ටී. කොම් වාර්තාවේ සඳහන් වේ. දිගු කාලීන වේදනා වැඩ කරන ජනයාටයි; වාසි මහා ව්‍යාපාරයන්ට යි.

ආර්ථිකය නිදහස් කරමින් පුද්ගලික ආයෝජන ආකර්ශනය කිරීම සඳහා තරඟකාරිත්වය රැක දීමට ආරක්ෂක දැලක් සපයන බව සමරවීර කියා සිටියේය. මෙම ආරක්ෂක දැල පිලිබඳව විස්තර ඉදිරිපත් නොකලත් මින් අදහස් වන්නේ මහා ව්‍යාපාර සඳහා බදු සහන ද ඇතුලු පහසුකම් සලසමින් ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයට ඉහල ලාබ උපැයීම සඳහා කොන්දේසි සකස් කිරීම ය. දැනටත් මහා ව්‍යාපාර හා පොහොසතුන් සඳහා වන සියයට 14 - 28 බදු ප්‍රතිශතය දකුනු ආසියාවේ හා ලෝක පරිමානව ද පවතින අඩු ප්‍රතිශතයකි.

පසුගියදා කොලඹ කොටස් වෙලඳපලේ පලවූ වාර්තාවකට අනුව මේ වසරේ පලමු කාර්තුවෙන් අවසන් වූ වර්ෂය තුල එහි ලැයිස්තුගත සමාගම් පෙර වර්ෂයට වඩා සියයට 11න් ආදායම ඉහල දමා ගෙන ඇත. වාර්ෂික ආදායම ඉහලයාම බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ සියයට 22ක්, ආහාරපාන හා දුම්කොල ක්ෂේත්‍රයේ සියයට 26ක් හා විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සියයට 33 ක් ද වේ.

ආර්ථික කටයුතු වලදී කම්කරුවන්ගේ නිමැවුම ඉහල මට්ටමකට නංවන්නාවූ, වඩාත් තරඟකාරී ක්ෂේත්‍රයන්ට පිවිසිය යුතු යැයි පවසමින් වැඩ කරන ජනයා දැඩිව සූරා කෑම සඳහා අවශ්‍ය විධි විධාන යෙදීමේ අවශ්‍යතාව පිලිබඳව සමරවීර ඇඟවුම් කලේය. ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ කොල්ලකාරී වුවමනාවන්ට අනුව කම්කරු ශ්‍රම සූරා කෑම ඉහල මට්ටමක පවත්වා ගැනීම මෙම අවශ්‍යතාවයයි.

ආන්ඩුවට අනාගත ආර්ථික වර්ධනය හා දියුනුව සඳහා වඩා දුෂ්කර හා අභියෝගාත්මක ප්‍රතිසංස්කරන සිදු කිරීම දැන් අවශ්‍ය වන බව සමරවීර අවධාරනය කලේය. මෙම අභියෝගාත්මක ප්‍රතිසංස්කරන මොනවාද යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග මත අන්ඩුව විසින් කරගෙන යන වැඩ කටයුතු වලින් පෙන්නුම් කෙරේ.

වැඩ කරන ජනයාට ලැබෙන සීමිත සහනාධාර කප්පාදු කිරීම, ඔවුන් මත පටවා ඇති වක්‍ර බදු ඉහල මට්ටමක පවත්වා ගෙන යාම හා පුලුල්ව සෘජු බදු දැල එලීම, රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීම හෝ වානිජකරනය කොට ඒවාට ආන්ඩුව ලබා දෙන මුදල් සියල්ල කප්පාදු කිරීම, රජයේ සේවක වැටුප් වැඩි කිරීම් සියල්ල අත්හිටුවීම යනාදිය මීට අයත්ය. ජාමූඅ අනුව තෙල් සංස්ථාව, විදුලි බල මන්ඩලය, වරාය අධිකාරිය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය ඩොලර් බිලියන අටකට ආසන්න වශයෙන් මේ වන විට නයවී ඇත.

ඉහත කී සම්මන්ත්‍රනය අමතමින් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි “අප සිටින්නේ ප්‍රපාතය අද්දරය” යි කියා සිටියේය. දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 77ක් වන ශ්‍රී ලංකාවේ නය රේට්ටුව ඉන්දියාව, පකිස්තානය, මැලේසියාව හා තායිලන්තය වැනි කලාපීය රටවලට වඩා ඉහලින් පවතින බව කුමාරස්වාමි ප්‍රකාශ කලේය. “බොහෝ අතින් සලකා බැලූ විට අප අපගේ ආර්ථික ස්වෛරීත්වය අහිමි කරගෙන ඇතැයි”ද කුමන ආන්ඩුවක් යටතේ වුවද වැඩ කල හැකි ව්‍යුහාත්මක රාමුව සීමා සහිත බව ද ආර්ථිකය කඩා වැටීමෙන් වලක්වා ගැනීමට නම් අතිශයින් තදබදවූ රාමුවක වැඩ කල යුතු බවද ඔහු කියා සිටියේය.

කුමාරස්වාමි “ස්වෛරීත්වය අහිමිවීම” යනුවෙන් සඳහන් කරන්නේ ජාමූඅ වැනි අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතනයන්ගේ නියෝග වලට පූර්න වශයෙන් අවනත වීමට සිදුවීමයි. ”තදබද වූ රාමුව” අන් කිසිවක් කිසිදු සහනයකට ඉඩක් නොමැති බවයි. ඔහු සිය ප්‍රසිද්ධ කතා වල දිගටම අවධාරනය කරමින් සිටින්නේ 2019 අය වැය වැඩ කරන ජනයාට කිසිම සහනයකින් තොර සකසුරුවම් අයවැයක් විය යුතු බවයි. ඔහු මෙය අවධාරනය කරන්නේ ජනාධිපතිවරනයද නුදුරේදී පැවැත්වීමට නියමිත බැවින් ආන්ඩුව ජනප්‍රිය ඇස්බැන්දුම් සඳහා හෝ මුදල් වෙන් කරතැයි බියෙනි.

වාර්තාගත ආකාරයට රටේ විදේශ නය ප්‍රමානය ඇ. ඩො බිලියන 55කි. ඉන් සියයට 14ක් ආසියානු සංවර්ධන බැංකුවද, සියයට 12ක් ජපානයද, සියයට 11ක් ලෝක බැංකුවද, සියයට 10ක් චීනයද සතුය. ගෝලීය ආර්ථික පසුබැසීම් හා ඇමරිකාව උසිගන්වා ඇති වෙලඳ යුද්ධය තුල ශ්‍රී ලංකාවේ රුපියලේ අගය දිනෙන් දින කඩා වැටීම ද, වෙලඳ ශේෂ හිඟය උග්‍රවීම හා කඳු ගැසී ඇති නය වාරික හා පොලී ගෙවීමට තව තවත් නය ගැනීමට සිදු වීම ද ආදී සියලු බර, වැඩ කරන ජනයා මත පැටවීමේ උත්සාහයක ආන්ඩුව නිරතව සිටියි.

සැප්තැම්බර් 6 වෙනිදා වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 162.65 මට්ටමට කඩා වැටුනු අතර ආන්ඩුව රුපියල කඩා වැටීම නොවලක්වන බවත් අගය වෙලඳපල විසින් තීන්දු කිරීමට ඉඩහරින බවත් රාජ්‍ය මුදල් ඇමති එරාන් වික්‍රමරත්න මාධ්‍යට පැවසීය. මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ පවසා ඇත්තේ ගෝලීය ප්‍රවනතා හැරුනු විට වෙනත් හේතුවක් නිසා රුපියල පහත වැටෙන්නේ නම් පමනක් මහ බැංකුව මැදිහත් වන බව ය.

රුපියල පහත වැටීම වැලැක්වීමට විදේශ සංචිත යොදා ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග විසින් වලකා ඇති අතර මෙම වසරේ පමනක් රුපියලේ අගය සියයට 5.8 න් කඩා වැටී තිබේ. දැනට රටේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 8.5 මට්ටමේ පවතින අතර එය අවශ්‍ය මට්ටමට වඩා පහල මට්ටමක පවතින බව වාර්තා වී ඇත.

මෙම පහත වැටීමට ජාත්‍යන්තරව ඇමරිකානු ට්‍රම්ප් ආන්ඩුව ඉරානයට හා තුර්කියට එරෙහිව ගෙන යන ආර්ථික ප්‍රහාරයන් ඇතුලු වෙලඳ යුද්ධයේ ජාත්‍යන්තර පසුබිම රටෙහි ආර්ථික දුර්වලත්වය ගැඹුරු වීමට බලපා තිබේ. ලංකාවේ ප්‍රධාන ගනුදෙනුකාර රට වන ඉන්දියාවේ රුපියල මෙම වසර තුල සියයට 12න් පහත වැටී ඇති අතර තුර්කි ලීරා මුදල එම කාලය තුල සියයට 41න් පහත වැටී තිබේ.

මෙලෙස රුපියලේ අගය පහත යාම ආනයනයන්ට බලපෑම හරහා සෘජුවම වැඩ කරන ජනයාගේ ජීවන වියදම ඉහල යාමට හා මූර්ත වැටුප් පහත වැටීමට බලපා තිබේ. පසුගිය සතියේ සියලු බේකරි නිෂ්පාදන වල මිල ඉහල ගිය අතර පාන් රාත්තලක මිල රු. 65 බවට පත්විය.

තෙල් මිල මාසයෙන් මාසයට වැඩි කෙරෙන අයුරින් මිල සූත්‍රයක් හඳුන්වා දී ඇති අතර මැයි මස සිට සැප්තැම්බර් 10 වනදා වන විට පෙට්‍රල් මිල රුපියල් 32 කින් හා ඩීසල් මිල රු. 38 කින් ඉහල දමා තිබේ. විදුලි බිල සඳහා ද එවැනි ”මිල [ඉහල දැමීමේ] සූත්‍රයක්” හඳුන්වා දීමට නියමිත ය.

පසුගිය වසරේ පමනක් රාජ්‍ය සේවකයන්ගේ මූර්ත වැටුප් සියයට 7න්ද පුද්ගලික අංශයේ මූර්ත වැටුප් සියයට 5න්ද පහත වැටිනි. අගෝස්තු මස නිල උද්ධමන රේට්ටුව පසුගිය වසරට සාපේක්ෂව සියයට 5.9න් ඉහල ගොස් ඇති අතර එය මේ වසරේ ඉහලම අගය විය.

2017 සෘජු විදේශ ආයෝජන සඳහා ආන්ඩුවේ ඉලක්කය ඩොලර් බිලියන 2.5 වුවද ආන්ඩුවට ලබා ගත හැකි වූයේ බිලියන 1.7ට සීමා විය. යුරෝපීය සංගමයෙන් ලැබුනු ජීඑස්පී+ වැනි සහනාධාර අතුලු සියල්ල සමඟින් අපනයන ඉහල යාම අතිශය සීමිත මට්ටමක පැවැති අතර මේ වසරේ මුල් හය මස තුල ආනයන හා අපනයන අතර වෙලඳ හිඟය ඇ. ඩො බිලියන 5.7ක් විය. මේ අනුව මේ වසරේ මුල් හය මසේ වෙලඳ හිඟය පසුගිය වසරේ පලමු හය මසේ පැවති වෙලඳ හිඟය වන ඇ. ඩො බිලියන 4.75ට වඩා සියයට 20ක ඉහල යාමකි.

විදේශගත කම්කරුවන්ගෙන් ලැබෙන මුදල්වල හා සංචාරක ව්‍යාපාරයේ යම් වර්ධනයක් පැවතියත් වෙලඳ ශේෂය ඉහල යාම විදේශ සංචිත පහත යාමට තුඩු දෙන බව පසුගිය ඉරිදා සන්ඬේ ටයිම්ස් ආර්ථික කොලම පෙන්වා දී ඇත.

මෙම තත්වය තුල මූලෝපායිකව එක්සත් ජනපදය හා එහි කලාපීය සගයා වන ඉන්දියාවේ අවශ්‍යතාවන් මත ක්‍රියාත්මක වන අතරතුරදීම හා බටහිර අධිරාජ්‍යවාදයේ තර්ජන මධ්‍යය් චීනයේ මූල්‍ය පිටුබලය ලබා ගැනීමට මුදල් සිඳී ගිය ආන්ඩුවට සිදුවී ඇත.

චීන සංවර්ධන බැංකුවෙන් ඇ. ඩො. බිලියනයක නයක් ලබා ගත් ආන්ඩුව චීන මහජන බැංකුවෙන් ඩො මිලියන 250ක් වටිනා චීන මුදල වන රෙන්මින්බි නයක් පැන්ඩා බැඳුම්කර ලෙස ලබා ගත්තේය. පෙර පැවති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සමයේ ඇ. ඩො. බිලියන 1.5ක මුදලක නයක් ලෙස හම්බන්තොට වරාය සෑදූ චීනයට, එම වරාය වසර 99ට ඇ. ඩො. බිලියන 1.1කට බදු දීමට වත්මන් ආන්ඩුව ක්‍රියා කලේය.

එක පසෙක දැවැන්ත ධන සම්භාරයන්ද අනෙක් පස දරිද්‍රතාව ලෙස අසමානතාව උග්‍ර කෙරෙන ධනපති සමාජ ක්‍රමයට මෙම අර්බුදයට දිය හැකි විසඳුමක් නැත. කොලඹ ආන්ඩුව රට ආර්ථික සංවර්ධනයක් වෙතට ගෙන යන බවට මුදල් ඇමති කරන ප්‍රකාශය බොරුවකි.

ඇමරිකාව ප්‍රමුඛ ප්‍රධාන ධනපති රටවල් අතර දැන් පැන නැගී ඇති වෙලද යුද්ධයෙන් සටහන් වී ඇති අයුරු අධිරාජ්‍යවාදීන් විසින් ලෝකය ගෙන යමින් සිටින්නේ ලෝක යුද්ධයකටයි. ලංකාවේ ධනපති පන්තිය වැඩකරන ජනයා එය තුලට ඇදගෙන යයි.

Share this article: