“නිදහස් අධ්‍යාපනය සඳහා සිසුජන ව්‍යාපාරය”: කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකට එරෙහි තවත් උගුලක්

සකුන ජයවර්ධන විසිනි, 2018 සැප්තැම්බර් 5

පසුගිය දා කොලඹ විහාරමහා දේවී එලිමහන් රංග පීඨයේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) විසින් “සයිටම් අහෝසියි! නිදහස් අධ්‍යාපන අරගලය නව මගකට” යන තේමාව යටතේ පැවැත්වූ සමුලුවක දී සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය “නිදහස් අධ්‍යාපනය සඳහා සිසුජන ව්‍යාපාරය” බවට පරිවර්තනය කෙරෙන බව නිවේදනය කෙරුනි.

අවිශිබම සහ එයට අයත් ශිෂ්‍ය සංවිධාන වලට අමතරව කම්කරු අරගල මධ්‍යස්ථානය, එක්සත් කම්කරු සම්මේලනය, ලංකා ගුරු සංගමය, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඇතුලු වෘත්තීය සමිති ගනනාවක නියෝජිතයෝ මෙම සමුලුවට සහභාගී වූහ.

සමලුව තුල යෝජනා හයක් සම්මත කර ගැනුනි. අධ්‍යාපනය මානව අයිතියක් බව පිලිගත යුතු බව, අධ්‍යාපනයට දල දේශීය නිශ්පාදිතයෙන් සියයට හයක ප්‍රතිපාදන දිනාගැනීමේ “අඛන්ඩ අරගලයක්” ගෙන යා යුතු බව, පාසල් අධ්‍යාපන අයිතීන් දිනා ගැනීමට ජනතාව ඒකාබද්ධ කොට සංවිධානය කිරීමේ වගකීම නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය “පවරා” ගත යුතු බව, “සිසු ජනව්‍යාපාරය නව ලිබරල් ආර්ථික උගුලෙන් ගැලවීම සඳහා සටන් කරන බලවේග සමග එකට සිටගනිමින්” අරගල කල යුතු බව එම යෝජනා වල අන්තර්ගත විය.

මීට අමතරව සමුලු ප්‍රකාශයක් ද ඉදිරිපත් කෙරුනි. එම සමුලු ප්‍රකාශය ආරම්භ කෙරෙනුයේ, සයිටම් අහෝසි කිරීම මගින් පුද්ගලීකරනයේ “තවත් නියමු ව්‍යාපෘතියක්” ආපසු හැරවූ බවත්, එතුලින් “නව ලිබරල් පාලක ප්‍රතිපත්තියට තවත් එක් පරාජයක් අත්කර දුන් බව”ත් පවසමිනි. සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය “අරගලයක ජයග්‍රහනයේ ආශ්වාදයෙන්” සිටින බවත් එය “වැඩකරන පන්තියේ” ජයග්‍රහනයක් බවත් එහි සඳහන් වෙයි.

සමුලුව තුල සම්මත කෙරුනු යෝජනාවලියෙන්, ප්‍රකාශයෙන් සහ එය නියෝජනය කල සංවිධානවලින්මත්, “නිදහස් අධ්‍යාපනය සඳහා සිසුජන ව්‍යාපාරයේ” පන්ති ස්වභාවය සහ එහි අරමුනු එලිමහනට පැමිනෙයි. මෙම සියලුම සංවිධාන ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට පරම ලෙසම සතුරුය. එමෙන්ම, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය ගසා කෑමට යත්න දරන ඕනෑම ධනපති දේශපාලන සංවිධානයකට මෙම යෝජනා යටතේ “නිදහස් අධ්‍යාපනය සඳහා සිසුජන ව්‍යාපාරය” ට ඒකාබද්ධ විය හැකි වන අතර, නිසැකවම මෙය තවත් ධනපති පෙරමුනකි.

අනෙක් අතට, සයිටම් අහෝසි කිරීම, සිසුන් හා කම්කරු-පීඩිත මහජනතාව ලැබූ ජයග්‍රහනයක් ලෙස කෙරෙන ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යය. පාලක පන්තිය තම පුද්ගලීකරන පිලිවෙත් අංශුමාත්‍රයකින් හෝ පසු පසට ගෙන නැත. ඊනියා සයිටම්-විරෝධී සටනේ සිසුන් සිරකර තිබියදී, අනුප්‍රාප්තික ආන්ඩු සිය කප්පාදු පිලිවෙත් තීව්‍ර කරමින් සහ රට පුරාම පුද්ගලික විශ්ව විද්‍යාල අරඹමින් සිය ප්‍රහාරය ඉදිරියට ගෙන යාමට වැඩ කටයුතු කලහ.

මෙම ප්‍රහාරයේ එක් අංගයක් ලෙස, හමුදා නිලධාරින් සඳහා වන අධ්‍යාපන ආයතනයක් ලෙස ආරම්භ කෙරී පසුව විශ්ව විද්‍යාලයක් බවට පත් කෙරුනු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, සිවිල් ශිෂ්‍යයන් සඳහා ද ගාස්තු ගෙවා උපාධි ලබාගත හැකි ආයතනයක් බවට පරිවර්තනය කිරීම මගින්, ගාස්තු අය කෙරෙන විශ්ව විද්‍යාල රාජ්‍ය විසින්ම පවත්වාගෙන යාමේ වැඩපිලිවෙල ඉදිරියට ගනු ලැබුනි. අවසානයේ දී, අවිශිබම යේ සහයෝගය සහිතව සයිටම් සිසුන් ද ඇතුලත් කෙරුනේ මෙම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයටයි.

අනුප්‍රාප්තික ආන්ඩු විසින් අධ්‍යාපනයේ පුද්ගලීකරනය මේ සා පරිමාන ඉදිරියට ගෙන තිබියදී සයිටම් අහෝසි කිරීම ජයග්‍රහනයක් ලෙස හුවා දැක්වීමේ වංචාව බැඳී පවත්නේ අවිශිබමයේ සහ එයට දේශපාලන නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) දේශපාලන ඉදිරි දර්ශනය සහ ක්‍රියා මාර්ගය සමගයි.

පෙසප ඇතුලු ලොවපුරා ව්‍යාජ-වාම සංවිධානයන්ගේ ඉදිරි දර්ශනය වනුයේ පාලක පන්තීන්ට බලපෑම් කිරීම් මගින් නව ලිබරල් ධනවාදයේ කුරිරු අංග ලක්ෂනයන් වන, ආර්ථිකය තුල පුද්ගලික ක්ෂේත්‍රයට රාජ්‍යය මගින් පනවා ඇති සීමා සහ බාධක ඉවත් කොට හෝ ලිහිල් කොට සමාජය සහ ආර්ථිකය තුල පුද්ගලික ක්ෂේත්‍රයේ භූමිකාව දැවැන්ත පරිමානව ඉහල නැංවීම, රාජ්‍ය වියදම් බරපතල ලෙස කප්පාදු කිරීම සහ රාජ්‍ය ආයතන සහ සේවාවන් පුද්ගලීකරනය මෙන්ම එම ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට අවතීර්න වන කම්කරු-පීඩිත මහජනතාව මර්දනය කිරීම සඳහා පොලිස් රාජ්‍යයන් වර්ධනය කිරීම වැනි දෑ ඉවත් කොට “මහජන හිතකාමී ධනපති ක්‍රමයක්” නිර්මානය කිරීමයි.

ධනේශ්වර ක්‍රමය ඓතිහාසිකව මුහුන දී සිටින ප්‍රගාඪ අර්බුදයට ධනපති පාලක පන්තියේ, නැතහොත් එහි හිස වන මූල්‍ය කතිපයාධිකාරියේ ප්‍රතිචාරය වන නව ලිබරල් ධනවාදය බලපෑම් මගින් ආපසු හැරවිය නොහැක. එය පරාජය කල හැක්කේ ධනවාදය පෙරලා දැමීම එල්ල කොටගත් දේශපාලන අරගලයක් මගින් පමනකි. එම අරගලයට නායකත්වය දීමට ඓතිහාසිකව නිර්නය වී ඇති පන්තිය කම්කරු පන්තියයි. ශිෂ්‍යයන් සහ ධනපති ප්‍රහාරයන්ට මුහුන දී සිටින අවශේෂ ජන කොටස් කම්කරු පන්තිය යටතේ බලමලුු ගන්වමින් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත මෙම අරගලය ඉදිරියට ගෙන යා යුතුය.

ඉහත වැඩපිලිවෙල යටතේ ශිෂ්‍යයන් කම්කරු පන්තිය යටතේ සංවිධානය කිරීමට අවිශිබම සහ පෙසප ඉඳුරාම සතුරුය. සිසුජන ව්‍යාපාරයේ ප්‍රකාශය තුල මෙම ඊනියා ජයග්‍රහනයේ “තීරනාත්මක සාධකය” මෙරට “වැඩ කරන ජනතාව” සමග ඇතිකරගත් “ඒකාබද්ධතාව” බව ප්‍රකාශ කරයි. මෙය ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය යටතේ සිසුන් බලමුලු ගැන්වීම එල්ල කරගත් ඒකාබද්ධතාවයක් නොවේ. සිසු ජන ව්‍යාපාරය හෝ අවිශිබමය ඒකාබද්ධ වූයේ ධනපති පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් තම අරගල පාවාදීම නිසා කම්කරුවන්ගේ පිලිකුලට සහ වෛරයට පාත්‍ර වී ඇති වෘත්තීය සමිති නායකයන් සමගයි.

සිසු-ජන ව්‍යාපාරයට ඒකාබද්ධ කරගත් අනෙක් සංවිධානයන් වනුයේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට පරම සතුරු ව්‍යාජ වාම දේශපාලන පක්ෂයන් වන, නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය යි.

එහි අනෙක් පාර්ශ්වයන් වූයේ, ධනේශ්වර සංස්ථාපිතයට ඒකාග්‍රව සිටින ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), සිංහල වර්ගවාදී ජාතික හෙල උරුමය හා සයිටම් ආයතනය ස්ථාපිත කිරීමට කටයුතු කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයේ කොටස් ය.

අවිශිබම විසින් ඇටවීමට යත්න දරන්නේ, කලින් පැවති සිසු-ජන ව්‍යාපාරය මෙන්ම කම්කරු පන්තියේ ස්වාධීන අරගලයකට ඉඳුරාම සතුරු ධනපති පෙරමුනකි. ග්‍රීසියේ සිරිසා ව්‍යාපාරය මෙවන් ධනපති පෙරමුනු වල කාර්ය භාරය පිලිබඳ බලගතු උදාහරනය කි. ලොවපුරා ව්‍යාජ වම්මුන් විසින් නව ලිබරල් ධනවාදය පරාජය කලහැකි නව ප්‍රගතිශීලී ව්‍යාපාරයක් ලෙස ඔජවඩවනු ලැබූ සිරිසා බලයට පැමිනි වහාම කප්පාදු පිලිවෙත් ආපසු හැරවීම වෙනුවට සිදු කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා මහ බැංකුව සහ යුරෝපා සංගමය යන ත්‍රිත්වය විසින් පනවන ලද කප්පාදු වඩාත් වේගයෙන් ක්‍රියාත්මක කිරීමයි. පෙසප ය ආරම්භයේ සිටම යෝජනා කරනුයේ සිරිසා වර්ගයේ ධනපති පෙරමුනකි.

අවිශිබම ඉදිරිපත් කොට ඇති යෝජනා අතරින් වඩාත් විසකුරු වනුයේ අධ්‍යාපන අයිතීන් දිනා ගැනීමේ අරගලය සංවිධානය කිරීමේ වගකීම සිසු ජන ව්‍යාපාරයට “පවරා” ගත යුතු බවට කෙරෙන යෝජනාවයි. එහි අර්ථය වනුයේ, නිදහස් අධ්‍යාපන අයිතිය සඳහා කෙරෙන අරගලයේ නායකත්වය අවිශිබම ට පවරා ගත යුතු බවයි. නැතහොත්, නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරුවන් සහ අනෙකුත් පීඩිතයන්, අවිශිබම යටතේ සංවිධානය විය යුතු බවයි.

අවිශිබමයේ මෙම යෝජනාව ගලා එන්නේ එය පදනම් ව සිටින කම්කරු පන්ති-විරෝධී ඊනියා ශිෂ්‍ය දේශපාලනයෙනි. මෙම “ශිෂ්‍ය දේශපාලනය” පෙසප යේ අනන්‍යතා දේශපාලනය සමග බැඳී පවතී. පවත්නා ධනේශ්වර පර්යාය යටතේ ප්‍රහාරයට සහ පීඩාවට ලක්වන විවිධ සමාජ කොටස් වලට වෙන් වෙන්ව විමුක්තිය සාධනය කිරීමේ ඉදිරි දර්ශන ඉදිරිපත් කරමින් සහ ඔවුන් වෙන්ව සංවිධානය කරමින් සමාජයේ ප්‍රධාන භේදනය වනුයේ පන්තිය යන්න යටපත් කිරීම අනන්‍යතා දේශපාලනයේ මූලික ලක්ෂනයයි.

ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න වෙන්ව ගනිමින් “ශිෂ්‍ය ව්‍යාපාරය” ගොඩ නගන පෙසප, වතු කම්කරුවන්ගේ ප්‍රශ්න වෙනම සලකමින් “වතු කම්කරු ව්‍යාපාරය” ක් ගොඩ නගමින් සිටී. අතුරුදහන්වූවන් පිලිබඳ ප්‍රශ්න ඇතුලු උතුරේ දෙමල පීඩිතයන්ගේ ගැටලු වෙන්ව ගනිමින් “උතුරේ දෙමල පීඩිතයන්ගේ ව්‍යාපාරය” ක් ද ගොවියන්ගේ ප්‍රශ්න වෙන්ව ගනිමින් “ගොවි ව්‍යාපාරය” ක් ද ගොඩනැගීම පෙසප දේශපාලනය යි.

අධ්‍යාපනයට එල්ල කෙරෙන ප්‍රහාරය කම්කරු-පීඩිත මහජනතාවට එල්ල කෙරෙන සමස්ත ප්‍රහාරයේ කොටසකි. එය පරාජය කල හැක්කේ, ධනේශ්වර පද්ධතියේ ගෝලීය පරිමාන අර්බුදයේ ප්‍රතිඑලයක් ලෙස එල්ල වන ප්‍රහාර වලින් බැට කන සමාජ කොටස්, ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමේ ශක්‍යතාවය සහිත එකම විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තිය යටතේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත බලමුලු ගන්වා ගනිමින් ධනපති ක්‍රමය පෙරලා දැමීම සඳහා කෙරෙන සටනකින් පමනි.

ඒ සඳහා සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ පමනි.

Share this article: