අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය නවකවදය ආරක්ෂා කිරීමේ සම්මන්ත්‍රනයක් පවත්වයි

ප්‍රදීප් රාමනායක විසිනි, 2018 සැප්තැම්බර් 22

අගෝස්තු 30 වනදා “නවකවදය, පසුගාමීත්වය සහ මර්දනය” යන මැයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) කොලඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේදී සම්මන්ත්‍රනයක් පැවැත්වීය. සම්මන්ත්‍රනයේ ප්‍රධාන කතාව අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර විසින් පැවැත් වූ අතර අනෙකුත් කථිකයන් වූයේ අවිශිබමයේ දේශපාලන හා න්‍යායික ගුරෙකු වන සුමනසිරි ලියනගේ, ව්‍යාජ වාම ෆ්‍රැක්සිස් සාමූහිකයේ විදර්ශන කන්නන්ගර සහ විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වන දිලීප විතාරන නමැත්තෙකි.

සම්මන්ත්‍රනය කැඳවන ලද්දේ, නවකවද පනත යොදා ගනිමින්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දඬු ගැසීම සඳහා ආන්ඩුව රුදුරුතම ආකාරයේ මෙහෙයුමකට අරඅඳිමින් සිටින පසුබිමකය. කෙසේ නමුත් නවක සිසුන් තම දේශපාලනික ග්‍රහනයට ගැනීම සඳහා අවිශිබම විසින් නවකවදය යොදාගනු ලැබීමමත් ආන්ඩුවේ සිසු මර්දනයට පිනුම් පිත්තක් වී ඇත.

වීරසේකරගේ කතාව විශ්වවිද්‍යාල තුල නවකවදය පවත්වාගෙන යාම සාධාරනීකරනය කිරීම සඳහා දැරුනු ප්‍රයත්නයක් විය. බි්‍රතාන්‍යයේ විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබූ ප්‍රභූ පැලැන්තියේ සිසුන්, අන් සිසුන් හා සම තත්වයට ගැනීමේ ක්‍රියාවලියක් ලෙස නවකවදය ආරම්භ වූ බව ඔහු සඳහන් කලේ එහි යම් සාධනීය අන්තර්ගතයක් ඇති බව අඟවමිනි.

නවක වදයේ කවර හෝ සාධනීය අන්තර්ගතයක් නොමැත. එයට ගොදුරු වනුයේ කවර සමාජ පන්තියකට අයත්වන සිසුවෙකු ද යන්න නොතකා එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. එමෙන්ම, එය අමානුෂීය කායික සහ මානසික හිංසනයකි.

එවන් මූලධර්මාත්මක ආස්ථානයක් මත නවක වදයට එරෙහි වීමට වීරසේකරට මෙන්ම අවිශිබම ට හෝ එයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප) නොහැක.

අවිශිබම සහ පෙසප, නවකවදය සම්බන්ධයෙන් සහනශීලී ආකල්පයක් ගනුයේ, තම දේශපාලන අවශ්‍යතා සඳහා ඔවුන් විසින් එය යහමින් යොදා ගන්නා බැවිනි. නවකවදය හරහා නවක සිසුන් තුල ඇති කෙරෙන භය පක්ෂපාතිත්වය, “විශ්ව විද්‍යාල උප සංස්කෘතිය” හඳුන්වා දීමේ ඊනියා දේශන සහ සාකච්ඡා වලට එම සිසුන් යොමුකර ගැනීම සඳහා අවිශිබම විසින් නිරතුරුව භාවිතා කරයි. කම්කරු පන්තිය යටතේ ශිෂ්‍යයන් සංවිධානය කිරරීමට එරෙහිව ඊනියා ශිෂ්‍ය දේශපාලනය තොරොම්බල් කරමින් ශිෂ්‍ය සටන් උත්කර්ෂයට නැංවෙන්නේ මෙම සාකච්ඡා හරහා ය.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවේ සහ එය දිගු කාලයක් පවත්වාගෙන යනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් නායකත්වය දුන් අවිශිබම විසිනි. ජවිපෙ න් සංවිධානාත්මකව වෙන් වුව ද එහි දේශපාලන පෙකනි වැලෙන් කැඩී නොමැති පෙසප, දැන් අවිශිබම ට නායකත්වය දෙමින්, ජවිපෙ ක්‍රමවේදයම ඉදිරියට ගෙන යමින් සිටී.

1964දී ලංකා සමසමාජ පක්ෂය (ලසසප), ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගත වී කල පාවා දීමෙන් පසු, එතෙක් විශ්වවිද්‍යාල තුල ලසසප ට පැවති දේශපාලනික ආධිපත්‍යය ගිලිහීයෑමේ රික්තය ගසා කමින්, ජවිපෙ 1970 ගනන් වල දී ශිෂ්‍ය සංගම්වල නායකත්වය ඩැහැගත්තේ ය.

1968 දී ආරම්භ කෙරුනු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) සහ එහි තරුන ව්‍යාපාරය වන තරුන සමාජවාදියෝ), ජවිපෙ සුලු ධනේශ්වර ජාතිකවාදී දේශපාලනය හෙලිදරව් කරමින් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දිනා ගැනීම සඳහා කරන ලද අරගලයට එරෙහිව, ජවිපෙ විසින් අවිශිබම මෙහෙයවූයේ එතෙක් විශ්ව විද්‍යාලයන්හි නොපැවති ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රමවේදයන් යොදා ගනිමිනි.

කවර හෝ දේශපාලන ව්‍යාපාරයකට විශ්ව විද්‍යාල සිසුන් අතර දේශපාලනයේ යෙදීමට එතෙක් පැවති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාගා දමමින්, අන්‍ය දේශපාලන ව්‍යාපාරයන්ට විශ්ව විද්‍යාලයන්ට ඇතුලුවීම වලකාලීම සඳහා රුදුරු කායික ප්‍රහාරයන් දක්වා ජවිපෙ, අවිශිබම මෙහෙයවී ය. ඔවුනගේ මෙම දක්ෂිනාංශික දේශපාලනයට එරෙහිව අඛන්ඩව සහ මූලධර්මාත්මකව සටන් කල විකොස, තරුන සමාජවාදියෝ සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවිශිබම යේ මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාදාමයේ මූලික ඉලක්කය විය.

1988-89 කාල පරිච්ඡේදයේ කම්කරු පන්තියට එරෙහිව දියත්කල ෆැසිස්ට් පන්නයේ ප්‍රහාරයත් සමග ජවිපෙ, කම්කරු-පීඩිත මහජනතාව අතර මෙන්ම සිසුන් අතර ද ඉමහත් අප්‍රසාදයට පත්විය. මෙම තතු තුල, සිසුන් අතර තම දේශපාලන පදනම් රැක ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේදයන් මත ජවිපෙ සහ අවිශිබම වඩවඩාත් යැපුනි. නවකවදය තම දේශපාලනික අවශ්‍යතා සඳහා යොදා ගැනීම ඇරඹුනේ මෙම පසුබිම තුල යි.

වීරසේකර මෙම ඓතිහාසික සත්‍යය වසන් කිරීමට මුසාකරනයන් රැසක් ඉදිරිපත් කලේ ය. ලංකාවේ විශ්ව විද්‍යාලවල ආරම්භක අවධියේ ඒවාට ප්‍රවිෂ්ට වීමට වැඩි අවකාශයක් ලැබුනේ සමාජයේ වරප්‍රසාදිත පවුල්වල දරුවන්ට බැවින් එකල සිසුන් ඉතා අදේශපාලනික සහ පටු ඉල්ලීම් වලට සීමා වූ බව පෙන්වීමට ඔහු උත්සාහ කලේය.

“එදා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට තිබුනේ බිත්තර බාගේ බිත්තරයක් කරගැනීම, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට වාහන පාක් එකක් ලබාගැනීම වගේ සටන්පාඨ. විශ්වවිද්‍යාලයට වාහන පාක් ඉල්ලපු අයගේ පැලැන්තිය වෙනුවට පසු කාලීනව විශ්වවිද්‍යාලවල සංයුතිය වැඩිවශයෙන් ගම්බද ශිෂ්‍යයන් වෙතට මාරු වුනා” යැයි වීරසේකර පැවසීය.

වීරසේකර ගේ “බිත්තර අරගලය” ට ප්‍රතිකූලව එකල විශ්ව විද්‍යාල සිසුහු වැදගත් දේශපාලන අරගලයන් හි නිරත වෙමින් සිටිය හ. 1942 දී ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කෙරුනු පසු එහි ප්‍රධාන දේශපාලන බලවේගය ලෙස ඉස්මතු වූයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය යි. ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත පිහිටුවන ලද ඉන්දියාවේ බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයටත්, දේශීය ධනපති පන්තියටත් යන දෙකටම එරෙහිව ගෙන ගිය අරගලය ශිෂ්‍යයන් සහ ශාස්ත්‍රාලිකයන් විශාල පිරිසක් බීඑල්පීඅයි වෙත ආකර්ශනය කරගත්තේය.

1948 නිදහස ව්‍යාජ නිදහසක් ලෙස ඉදිරිපත් කරමින් ට්‍රොට්ස්කිවාදීන් ඊට දැක්වූ විරෝධය ශිෂ්‍යයන් අතර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ පදනම් වඩාත් ශක්තිමත් කලේය. ලසසප යේ අවස්ථාවාදී පල්ලම් බැසීම තිබියදී වුවත් 1953 හර්තාලයේදී ශිෂ්‍යයෝ කැපී පෙනෙන භූමිකාවක් ඉෂ්ඨ කලහ. 1960 ගනන් වල අගභාගයේ ගෙන ආ සිංහල වර්ගෝත්තමවාදී භාෂා පනතට එරෙහිව ද විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මූලධර්මාත්මක ආස්ථානයක් ගෙන සටන් කලහ.

නවකවදය සාධාරනීකරනය සඳහා වීරසේකර බේගල් රැසක් ඇදබෑවේ ය:

“විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූවාට පස්සේ සුබසාධන නැතිවුනා, සියල්ල විකුනන තත්වයකට බල්ලෝ මරල හරි සල්ලි හොයන තත්වෙකට රටේ තත්වය වෙනස් වුනා. මේ තත්වය යටතේ 1971, 1989-90 කාලේ මිනිස්සුන්ට ආයුධ අතට ගන්න වෙනවා, ආයුධ අතට ගත්ත මිනිස්සුන්ට තිබුනේ ප්‍රචන්ඩ මානසිකත්වය. මිනිස්සුන්ට මානසික විකෘතිතා ඇතිවෙන්න පටන් ගත්තා. මෙන්න මේ සංස්කෘතිය විශ්වවිද්‍යාල උපසංස්කෘතියට බලපෑවා” යැයි කියමින් වීරසේකර තරුන රැඩිකලීකරනය සහ නවකවදයේ ප්‍රචන්ඩත්වය අතර අභූත සම්බන්ධයක් ගොඩ නැගුවේය.

මෙම කාල වකවානුවේ පොදු මහජනතාව ආයුධ අතට ගත් බවට වීරසේකර කරන ප්‍රකාශ පරිපූර්න වශයෙන්ම ප්‍රලාපයන් ය. ආයුධ අතට ගත්තේ ජවිපෙ විසින් මෙහෙයවන ලද තරුන කන්ඩායම් වන අතර ඔවුනගේ තුවක්කු මූලික වශයෙන් එල්ල වූයේ කම්කරු පන්තියට එරෙහිවයි. නවකවදය වඩාත් අමානුෂික වූයේ ශිෂ්‍යයන් මත ආධිපත්‍යය දැරූ ජවිපයේ ෆැසිස්ට් ආකාර දේශපාලන පිලිවෙත් හේතුවෙනි.

නවකවදය ආරක්ෂා කිරීම සඳහා අවිශිබම නායකයින් දරන උත්සාහය පසුපස පවතින මූලිකම හේතුව වන්නේ, කම්කරු පන්තිය විසින් නායකත්වය දෙනු ලබන ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් දෙසට සිසුන්ගේ හැරීම වලකා, ධනපති ආන්ඩු වලට බලපෑම් යෙදීමේ විරෝධතා දේශපාලනය තුල සිසුන් සිරකර තබා ගැනීමට ක්‍රමෝපායක් ලෙස එය තවදුරටත් යොදාගතහැකියැයි විශ්වාස කරන බැවිනි.

“නවකවදය එක් දිනකින් අවසන් කල නොහැක්කක් බවත් ඒ සඳහා පුලුල් කතිකාවතක් අවශ්‍ය වන” බවත් පැවසූ වීරසේකර, “එම කතිකාවත ගොඩනැගීම සඳහා ව්‍යාපාරයක් හැටියට තමන් නායකත්වය දෙන බවට” පුහු ප්‍රකාශයක් කරමින් සිය කතාව අවසන් කලේය.

පසුව සම්මන්ත්‍රනය ඇමතූ සුමනසිරි ලියනගේ, ව්‍යාජ-වාම නව සම සමාජ පක්ෂය (නසසප) ගොඩ නැගීම සඳහා මුල් වූ කෙනෙකි. ඔහු පසු කලෙක නසසප ය හැර දමා යලි ලසසප ය ට එක් විය. කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට පරම ලෙස සතුරු ලියනගේ ධනපති සන්ධාන ගොඩනැගීම සඳහා තම ජීවිතයම කැපකොට ඇත්තෙකි.

“ශිෂ්‍යයන් අතරේ පවතිනා පසුගාමීත්වයන් ශිෂ්‍යයන් අතරේ කෙරෙන සාකච්ඡාවක් හරහා නැවත නැවත විවේචනයට භාජනය කරමින් අතික්‍රමනය කල යුතු” යැයි පවසමින් ඔහු වීරසේකරගේ පුහු යෝජනාවට සහයෝගය පල කලේය.

නවකවදය නම් වූ මෙම පසුගාමී සම්ප්‍රදාය තම දේශපාලනික අවශ්‍යතාවයන් සඳහා දැනුවත්ව යොදා ගන්නා අවිශිබමයේ ම වේදිකාවක සිට එය අතික්‍රමනය කිරීමේ සාකච්ඡාවක් වර්ධනය කිරීම සඳහා ලියනගේ කරන යෝජනාව, අතිශයින්ම වංචනිකය.

“කවුරු මොනවා කිව්වත් තවමත් විප්ලවවාදී ආත්මය පවතින්නේ ගැමි ගොවි තරුනයා තුල” යැයි පැවසූ විදර්ශන කන්නන්ගර “ගැමි, ගොවි තරුනයාගේ විප්ලවවාදී විඤ්ඤානයත් නාගරික පරිභෝජනවාදයත් අතර පවත්නා ආතතිය තමයි නවකවදය හැටියට ප්‍රකාශයට පත්වෙන්නේ. නවකවදය තුරන් කිරීම සඳහා මෙන්න මේක තේරුම් ගැනීමයි අවශ්‍ය වන්නේ” යැයි කියමින් තකතීරු න්‍යායක් ඉදිරිපත් කලේය.

විප්ලවවාදී විඤ්ඤානය යනු, ධනපති ක්‍රමය පෙරලා දැමීමේ සමාජවාදී විප්ලවය සඳහා ඓතිහාසිකව නිර්නයවී ඇති කම්කරු පන්තිය තුල විප්ලවවාදී පක්ෂය මැදිහත් වී දැනුවත්ව වර්ධනය කල යුතු විඤ්ඤානයකි. කන්නන්ගර විසින් එයට එරෙහිව “ගැමි ගොවි තරුනයාගේ විප්ලවවාදී විඤ්ඤානය” යන අභූතයක් ඉදිරිපත් කරනුයේ, කම්කරු පන්තිය යටතේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත ගැමි ගොවි තරුනයන් ඇතුලු පීඩිතයන් බලමුලු ගැන්වීම වැලැක්වීම සඳහා යි. මෙය පෙසපයේ සහ අවිශිබම යේ “ශිෂ්‍ය දේශපාලනය” සමග තකට තක ගැලපෙන න්‍යායකි. “ශිෂ්‍ය දේශපාලනයේ” මූලික දේශපාලන අරමුන වනුයේ කම්කරු පන්තිය යටතේ සිසුන් බලමුලු ගැන්වීම වැලැක්වීමයි.

ලියනගේ සහ කන්නන්ගර ඇතුලු ව්‍යාජ-වම්මු කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට එරෙහිව ධනපති ක්‍රමය ආරක්ෂා කිරීමේ “වමේ පෙරමුනක්” යෝජනා කරන්නන්ය. එවැනි පෙරමුනක් තැනීම සඳහා මූලික කරගත හැකි ප්‍රමුඛ සංවිධානයක් ලෙස ඔවුන් අවිශිබම දැක ගනියි.

සියලු විශ්ව විද්‍යාල සිසුන් නවකවදය නම් වූ මෙම අමානුෂීය මානසික සහ කායික හිංසනයට එරෙහිව මූලධර්මාත්මක ආස්ථානයක් ගත යුතු ය. මෙම හිංසනය තුරන් කල හැක්කේත් නවකවදයට මුවා වී සිසුන්ට එරෙහිව ගෙනයන රාජ්‍ය මර්දනය නතර කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම්වූ කම්කරු පන්තික දේශපාලන ව්‍යාපාරයක් හරහා ධනපති ආන්ඩුව පෙරලා කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ අරගලයක් හරහා පමනි. මේ සඳහා සටන් වදින්නේ සසප සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ පමනි.

Share this article: