නව සමසමාජ නායකයා ආන්ඩුව ආරක්ෂා කිරීමට පොලිස් මර්දනය ඉල්ලා සිටී

විජිත් සමරසිංහ විසිනි, 2018 සැප්තැම්බර් 6

සැප්තැම්බර් 5 වනදා ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ “ජන බලය කොලඹට” විරෝධතාවට එරෙහිව උපරිම පොලිස් බලය යෙදවීම සඳහා අද්වකාත්කම් කිරීමේ අන්ත ප්‍රතිගාමී ව්‍යායාමයක ව්‍යාජ-වාම නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුනාරත්න යෙදී ගත්තේ ය.

අගෝස්තු 31 දා පැවති මාධ්‍ය හමුවකදී කරුනාරත්න කියා සිටියේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව නව ව්‍යවස්ථාවක් සකසා එය ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයකට ඉදිරිපත් කිරීමට සුදානම් වන මේ මොහොතේ මෙවැනි විරෝධතාවක් සංවිධානය කිරීම බරපතල “ජාතිද්‍රෝහී” ක්‍රියාවක් බවයි. අවශ්‍ය වුවහොත් සිරගෙවල් වලින් සාමාන්‍ය සිරකරුවන් ඉවත් කොට විරෝධතා කරුවන්ගෙන් “සිරගෙවල් පුරවාලීමටද” පසුබට විය නොයුතු බව ද, විරෝධතාවන්ට සහාභාගී වන ජනතාව දේපල වලට හානි කරමින් “නීති විරෝධීව” හැසිරුනොත් එයට විරුද්ධ නිසි පියවර ගැනීමට පොලිස්පති පුජිත් ජයසුන්දර මැලි නොවන බව තමන්ට විශ්වාස යයි ද ඔහු තවදුරටත් පැවසීය.

රාජපක්ෂගේ උද්ඝෝෂනය “ජාතිද්‍රෝහී” ලෙස නම් කරමින් එයට එරෙහිව පොලිස් බලය යෙදීමටත් විරෝධතාකරුවන් සිරගත කිරීමටත් කරුනාරත්න කරන යෝජනාව කම්කරු පන්තිය බැරූරැම්ව ගත යුතුය. එය කම්කරු පන්තික අරගල “ජාතිද්‍රෝහී” සහ “නීති විරෝධී”ලෙස නම්කර ඒවාට එරෙහිව රුදුරු ලෙස පොලීසිය කඩා පැන්නවීම සඳහා ආන්ඩුව ඇතුලු පාලක පන්තියට දෙන විවෘත අවසර පත්‍රයකි.

කෙසේ නමුත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඊනියා ඒකාබද්ධ විපක්ෂය විසින් මේ විරෝධතාව සංවිධානය කර ඇත්තේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව පුපුරා යන සමාජ විරෝධය, වර්ගවාදී හා ජාතිකවාදී සටන්පාඨ මගින් අපගමනය කර යලි බලයට පැමිනීම සඳහා ඔවුන් ගෙනයන දක්ෂිනාංශික උද්ඝෝෂනයේ කොටසක් ලෙසයි.

රාජපක්ෂ ඇතුලු නඩය නිරන්තරව මතු කරන “රටේ දේශපාලන අස්ථාවරභාවය” පිලිබඳ කනස්සල්ලෙහි කේන්ද්‍රයේ පවතින්නේ වේගයෙන් වැඩෙන පන්ති අරගල රැල්ල පිලිබඳ පාලක පන්ති කොටස්වල පවත්නා බලගතු උත්සුකය යි. රාජපක්ෂ යලි බලයට පැමිනීමට උත්සාහ කරනුයේ එම පන්ති අරගල රුදුරු ලෙස මර්දනය කිරීමෙි න්‍යාය පත්‍රය අතැතිවය.

තමන්ගේ ද සම්මාදමින් බලයට පත්කල වත්මන් ආන්ඩුව, කම්කරුවන්ගේ, සිසුන්ගේ සහ අවශේෂ පීඩිත මහජනතාවන්ගේ විරෝධතා උද්ඝෝෂන රුදුරු ලෙස මඩිද්දී සහ නාට්‍ය ඇතුලු කලා කෘති වාරනය කරමින් භාෂනයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහරපිට පහර එල්ල කරද්දී මෙම ව්‍යාජ-වාම ඇට්ටැඹියා පැවසුවේ දැන් “ඇති තරම් ප්‍රජාතන්ත්‍රවාදය රට තුල පවතින” බව යි.

පොලීසිය සහ පොලිස්පති වගවර්නනා කරමින් කරුනාරත්න පැවසුවේ පොලිස්පති වරයා හොඳින් නීතියත් ධර්මයත් දෙකම දත්, “භාවනා කරන”, “බුදුන්ගේ දේශය ආරක්ෂා කරන” අයෙක් බවත්, ඔහු කිසිවෙකුට නොනැමෙන්නෙකු බවත් ය.

මහින්ද රාජපක්ෂ සමයේ සිටම පොලිස් මර්දනයේ පෙරමුනේම සිටින ධනපති ක්‍රමයේ මුර බල්ලෙක් වන පොලිස්පති පුජිත් ජයසුන්දර, වර්තමාන ආන්ඩුව යටතේ පසුගිය වසර දෙක පුරාම, ශිෂ්‍ය හා කම්කරු විරෝධතා වලට දිගින් දිගටම මුර්ග ප්‍රහාර එල්ල කල කිරීමටත්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් වලටත් පොලිසීය මෙහයවූ අයෙකි. 2017 අගෝස්තුවේදී පොලිසිය විසින් යාපනයේ තරුනයන් දුසිම් ගනනක් අත්අඩංගුවට ගත් මෙහෙයුමක් දියත් කිරීමෙන් පසු ජයසුන්දර යාපනයට ගොස් “අප මෙරටින් ත්‍රස්තවාදය තුරන් කොට ඇතැයි පැවසුව ද, එහි බීජ මුලුමනින් ම තුරන් කර ඇතැයි කිසිවෙකුට සහතික විය නො හැකිය” යන්න ප්‍රකාශ කලේ, ආන්ඩුවේ හා විපක්ෂයේ රුදුරු දෙමල-විරෝධී වාර්ගික උසිගැන්වීම් වල ඍජු නියාමකයෙක් ලෙසය.

ආන්ඩුව පත්වී වසර තුනකටත් අධික කාලයක් ගත වී ඇතත් උතුරු නැගෙනහිර තවමත් රජයේ හමුදාවල අත්අඩංගුවේ පවතිනවා පමනක් නොව, හමුදා පොලිස් වෙඩි තැබීම වලින් දෙමල තරුනයන් නිතිපතා ඝාතනය වෙමින්ද ඇත.

රාජපක්ෂ නඩය මෙම විරෝධතාවක් කැඳවා ඇත්තේ, ආන්ඩුව තම ජීවන කොන්දේසි හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාර වලට එරෙහි පුලුල් මහජන කෝපයක් හා පන්ති අරගල මාලවක් පැන නැගී ඇති තතු තුලයි.

පසුගිය මාස දෙක තුල පමනක් තැපැල්, අධ්‍යාපන, දුම්රිය හා බස් ප්‍රවාහන සේවා වල වැඩවර්ජන මාලාවක් දිග හැරින. ආන්ඩුවේ වාරන නියෝග හා වෘත්තීය සමිති වල මග පසුපසට ඇදීම් නොතකා ඒවා දින හා සති ගනන් පවත්වාගෙන යාමට කම්කරුවෝ සටන්කාමී වුහ. වැටුප් වැඩිවීමක් ඉල්ලමින් වතු කම්කරුවන්ද සටන් මාලාවකට එලැඹ ඇත.

පාලක පන්තිය මුහුන දී ඇති උග්‍ර ආර්ථික හා දේශපාලන අර්බුදය හා නැගී එන පන්ති සටන් රැල්ල නිසා පාලක එක්සත් ජාතික පක්ෂ (එජාප)- ශ්‍රීලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) ආන්ඩුව තුලත්, රාජපක්ෂගේ පාර්ශ්වය තුලත් ගැඹුරු ඉරිතැලීම් මතුවී ඇත. “ජනබලය කොලඹට” විරෝධතාවයමද සැප්තැම්බර් 5 දාට යොදා ගැනුනේ මාස කීපයක් පුරා කල් දැමීමෙන් පසුවය.

කවර හෝ ආකාරයක පුලුල් මහජන බලමුලු ගැන්වීමකට ආන්ඩුව තුල මෙන්ම රාජපක්ෂ පාර්ශ්වය තුලද මාරාන්තික භීතියක් පැවතුන ද, පන්ති අරගල තම හිසට උඩින් වර්ධනය වීම වලක්වා ගැනීම සඳහා, ඒවා වර්ගවාදී මංපෙත් ඔස්සේ හරවා යැවීම පාලක පන්තියේ කොටසක උපාය වී ඇත.

මාධ්‍ය හමුවේ දී කරුනාරත්න වංචනික ලෙස ප්‍රකාශ කල අන්දමට සිංහල වර්ගවාදය මත යැපෙන්නේ රාජපක්ෂ පාර්ශ්වය පමනක් නොවේ. සිරිසේන- වික්‍රමසිංහ ආන්ඩුවද බලයට පැමිනි දා පටන් මිනීමරු වර්ගවාදී යුද්ධය උත්කර්ෂයට නැංවීමටත්, බෞද්ධ සංස්ථාපිතය පිනවීමටත් ඇපකැප විය. මීට මෑතම උදාහරනය වන්නේ “බෞද්ධ විරෝධී” යන පදනම මත වේදිකා හා ගුවන් විදුලි නාට්‍ය කීපයක් ආන්ඩුව විසින් තහනම් කිරීමයි.

කරුනාරත්න, රාජපක්ෂ පාර්ශ්වයේ වර්ගවාදයට හා ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනයට එරෙහි ගැලවුම්කරුවෙක් ලෙස පෙනී සිටිමින් සැප්තැම්බර් 5 විරෝධතාවය මැඩීමට අද්වකාත්කම් කල ද, ඔහුගේ නියම එල්ලය ආන්ඩුවට එරෙහිව නැගෙමින් ඇති කම්කරුවන්ගේ සහ පීඩිතයන් ගේ සැබෑ විරෝධතා, වැඩවර්ජන හා පන්ති අරගල රැල්ලයි.

රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු, පුද්ගලීකරනය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව කම්කරුවන් හා පීඩිතයන් අතරින් 2011 සිට පැන නැගෙමින් පැවති අරගල රැල්ල අවමංගත කර ධනපති පාලනය රැක ගැනීම සඳහා, 2015 ජනවාරි ජනාධිපතිවරනයේදී ප්‍රෝඩාකාරී “යහපාලන” සටන්පාඨය යටතේ මෛත්‍රිපාල සිරිසේන බලයට පත් කිරීමට කරබදු වූ ව්‍යාජ වම්මුන් අතරින් කරුනාරත්න පෙරමුනේම සිටි අයෙකි.

2015 ජනාධිපතිවරනයට, රාජපක්ෂ ආන්ඩුවේම ප්‍රධාන ඇමතියෙකු වූ සිරිසේන ගෙන ඒම, රාජපක්ෂ පාලනය යටතේ ලංකාව චීනයට දෙසට නැඹුරුවීම වැලැක්වීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් ඍජුවම මැදිහත් වී සංවිධානය කල තන්ත්‍ර මාරු කුමන්ත්‍රනය ප්‍රතිඵලයකි. එයට නව සම සමාජ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය ආදී ව්‍යාජ වම්මුන් අනුගත වුයේ, ලංකාව තුල පමනක් නොව ලෝකය පුරාම ව්‍යාජ වාම සංවිධාන හා පක්ෂ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා වලට අනුගත වන පසුබිමක් තුලය.

මෙම ව්‍යාජ-වාම පක්ෂ විසින් නියෝජනය කරනු ලබන්නේ, පසුගිය දශක කිහිපය තුල වේගයෙන් වර්ධනය වූ මූල්‍ය සමපේක්ෂන ක්‍රියාවලිය හා ඊනියා නිදහස් වෙලඳපොල ප්‍රතිපත්තිවල පිහිටෙන් ධනවත් වූ සහ සැලකිය යුතු වරප්‍රසාද ගොනුකරගත් සමාගම් කලමනාකරුවන්, වෘත්තිකයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුලු ඉහල මධ්‍යම පන්තික ස්ථරයකි. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව හරහා තම වරප්‍රසාද වඩාත් තර කර ගැනීමට ඔවුහු මාන බැලුහ. මෙම ව්‍යායාමයේදී කරුනාරත්න වැනි දේශපාලන බඩගෝස්තරවාදීන්ට, ආන්ඩුවේ “ව්‍යවස්ථාදායක සභාව” ආදී ව්‍යුහයන් තුලින් ඍජුව ධනපති පාලනයටම සමබන්ධ වීමේ අවස්තාව හිමි විය.

තීව්‍ර වෙමින් පවත්නා පන්ති අරගල රැල්ල හමුවේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පමනක් නොව සමස්ත ධනපති දේපල සම්බන්ධතා වලටම අභියෝග කිරීමට කම්කරු පන්තිය පෙලඹිය හැකි බව කරුනාරත්න හොඳින් දනී. එය ධනපති පන්ති පාලනය යටතේ තමන් භුක්ති විඳින මේ වරප්‍රසාද අහිමි වීමේ තර්ජනයකි. උතුරේ හා දකුනේ කම්කරුවන්, පීඩිතයන් හා තරුනයන් ලේ ගංගාවන් හි ගිල්වා දැමූ ඉතිහාසක් ඇති ශ්‍රී ලංකා පොලිසිය ඇතුලු ආරක්ෂක අංශ වලට, මහජන විරෝධතා මැඩීමට ඉදිරියට එන ලෙසට මේ දේශපාලන තක්කඩියා කරන වියරු ආයාචනයේ මූලය එයයි.

Share this article: