1930 මුල පටන් වූ, වාම විපක්ෂයේ ලේඛනවල අත් පිටපත් සොයා ගැනීමේ ඓතිහාසික මෙහෙවර

Historic discovery of Left Opposition manuscripts from the early 1930s

ව්ලැඩිමීර් වොල්කොව් හා ක්ලාරා වීස් විසිනි, 2018 අගෝස්තු 27

සිර ගත කරනු ලැබ සිටි ට්‍රොට්ස්කිවාදී වාම විපක්ෂයේ සාමාජිකයන් විසින් 1932-1933 අවධියේ සිය අත් අකුරින් ලියන ලද ලේඛන 30 ක් පමන රුසියාවේ දකුනු යූරල්හි යර්හ්නියුරල්ස් සිරගෙදර දී 2018 පෙබරවාරියේ සොයා ගන්නා ලදී. ඉන් බොහොමයක් ලියා තිබුනේ සටහන් පොත්වලය. නඩත්තු කටයුත්තක දී, එම සිරගෙයි අංක 312 දරන කුටියේ පොලොවට යොදා තිබූ ලෑලිවලට යටින් තිබී එම ලේඛන සොයා ගන්නා ලදී.

මෙකී අවධියේ සෝවියට් සංගමය තුලදී ලියැවුනු ට්‍රොට්ස්කිවාදී විපක්ෂයේ ලේඛනවලින්, මේ දක්වා සෙසු ලෝකයට දැක ගත හැකි වූයේ අල්පයක් පමනෙකි. ඕජීපීයූ-එන්කේවීඩී යන ස්ටැලින්වාදී රහස් පොලිසිය ට්‍රොට්ස්කිවාදීන් විසින් නිෂ්පාදිත ලේඛන විනාශ කිරීම සඳහා තමන්ට කල හැකි සියල්ල කලහ. වාම විපක්ෂයේ නායක ලියොන් ට්‍රොට්ස්කි හා ඔහුගේ පුත් ලෙව් සෙඩොව් විසින් සංස්කරනය කරනු ලැබ, විපක්ෂ බුලටීනයේ පල කල හැකි වන පරිද්දෙන් දේශසීමාව හරහා පිටතටගෙන ආ හැකි වූයේ ඒවා යින් අල්පයක් පමනි.

සෝවියට් වාම විපක්ෂය විසින් ලියන ලද සටහන් පොත්වල පිටු

මෙම ලේඛන සොයා ගැනීම ප්‍රමුඛ පෙලේ ඓතිහාසික හා දේශපාලනික වැදගත්කමක් දර යි. මේ දක්වා පල කෙරුනු ලේඛන තුන, ප්‍රතිවිප්ලවවාදී ස්ටැලින්වාදයට එරෙහිව 1938 දී හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවා ගත් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දශක ගනනාවක අරගලයේ යුක්තියුක්ත බව බලගතු ලෙස සනාථ කරයි. ඒවා පලකිරීම, දශක ගනනාවක් පුරා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට අපවාද එල්ල කිරීමටත්, එය සුලු කොට තැකීමට හා නිහඬ කිරීමට යත්න දැරූ මුසාකරනයේ ස්ටැලින්වාදී හා පශ්චාත්- සෝවියට් ගුරුකුලවලට වදින ප්‍රබල පහරකි.

ලියොන් ට්‍රොට්ස්කිගේ පුත් හා විපක්ෂ බුලටිනයේ කර්තෘ ලෙව් සෙඩොව්

කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපා හැර සිරගත කිරීමෙන් පසුව වුව, වාම විපක්ෂය බලගතු බලවේගයක්ව පැවැති බැව් මෙම ලේඛන සනාථ කරයි. ඒවා පලකිරීම සඳහා ක්‍රියා කරමින් සිටින්නන් අතරින් අයෙකු වන චෙල්යාබින්ස්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන ඉතිහාසඥ ඇලෙක්සැන්ඩර් ෆෝකින් සඳහන් කරන පරිදි:

ඉතිහාස ලේඛනයේදී පැලපදියම් වී ඇති මතය වන්නේ, 1927 න් පසු, එනම් ට්‍රොට්ස්කිගේ පරාජයෙන් පසු, රුසියාව තුල වාම විපක්ෂයේ පැවැත්ම තත්වාකාරයෙන්ම අහෝසි වී ගිය බවයි. එහෙත් මෙම සොයා ගැනීමෙන් ඔප්පු වන පරිදි, මෙම මිනිසුන් මැඩ පවත්වා හීලෑ කිරීමට ස්ටැලින්වාදී සිරගෙවල් වලට පවා හැකි වී නැත - ඔවුහු සංවිධානය වී අරගලය දිගටම ගෙන ගියහ. අත් පිටපත්වලට අනුව පැහැදිලි වන්නේ, ඔවුන් ඇත්තෙන්ම සෝවියට් සංගමයේ වර්ධනය සඳහා නිශ්චිත විකල්ප ක්‍රියා මාර්ගයක් නිර්මානය කිරීමට පරිශ්‍රම දරමින් සිටි බවයි.

සෝවියට් රජය හා කොමියුනිස්ට් පක්ෂය තුල නිලධාරිවාදය, පක්ෂය තුල හා සමස්තයක් ලෙස කම්කරු පන්තිය තුලම ද විරෝධය අවුලුවමින් පැවැති තතු යටතේ, ලෙනින්ගේ ජීවිතයේ අවසාන දිනවල හා අසාර්ථක ජර්මන් විප්ලවය මධ්‍යයේ, 1923 ශරත් ඍතුවේ දී වාම විපක්ෂය මතුවී ආවේ ය. ඒ වන විටත්, රුසියානු ආර්ථිකයේ පසුගාමිත්වය, සාර්වාදයේ උරුමය සහ ජාත්‍යන්තර - විශේෂයෙන් යුරෝපා - විප්ලවය ප්‍රමාදවීමෙන්, පක්ෂය හා රාජ්‍ය යාන්ත්‍රනය තුල ගතානුගතික වූත්, ජාතික දිශානුයෝජනයකින් යුතු වූත් කොටස් ශක්තිමත් කෙරින. 1917 ඔක්තෝබර් විප්ලවයේ ජාත්‍යන්තරවාදී සාරයට හා ඉදිරි දර්ශනයට ඍජුවම පටහැනි ලෙස 1924 පසුභාගයේ බුකාරින් හා ස්ටැලින් විසින් ඉදිරිපත් කරන ලද ”තනි රටේ සමාජවාදය” න්‍යාය තුල ඔවුහු, සිය දෘෂ්ඨිවාදාත්මක සාධාරනීකරනය සොයා ගත්හ.

1920 ගනන්වල මැද භාගයේ නව ආර්ථික පිලිවෙතේ (එන්ඊපී) කාල පරිච්ඡේදය තුල, සුලු ධනපතීන්ටත් ධනපතීන් වීමේ අපේක්ෂාවෙන් පසු වූ නව ආර්ථික පිලිවෙතෙන් මතුව ආ ව්‍යාපාරිකයන් හා කුලැක් වරුන් (ධනවත් ගොවීන්)ටත් අනුගත වීම පිලිබඳව මෙන්ම, කාර්මීකරනය වේගවත් කිරීම සඳහා වූ යෝජනා අවහිර කිරීමත්, පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීමත් පිලිබඳව ද වාම විපක්ෂය, පක්ෂ නායකත්වයේ ආධිපත්‍යය දැරූ කන්ඩායම විවේචනයට ලක් කලේය. විදේශ ප්‍රතිපත්තිය තුල දී ට්‍රොට්ස්කිවාදීහු, මහා බ්‍රිතාන්‍යයේ හා චීනයේ දී ලද පරාජයන් ද ඇතුලුව, කම්කරු පන්තියේ ව්‍යසනකාරී පරාජයන් මාලාවකට මඟ පෑදූ, වඩවඩාත් අවස්ථාවාදී වෙමින් පැවැති කොමින්ටර්නයේ ක්‍රියා මාර්ග හෙලා දුටුවෝය.

1927 දී ලියොන් ට්‍රොට්ස්කි සෝවියට් වාම විපක්ෂයේ නායකයන් සමඟ

1928 ශරත් ඍතුවේ දී බෝල්ශෙවික් පක්ෂයේ නිල නායකත්වයේ දක්ෂිනාංශික මාවත, අන්ත වාමාංශික සිග්සැග් ආකාරයේ මාවතක් මඟින් විස්ථාපනය කෙරින. මෙයට එක් හේතුවක් වූයේ, විපක්ෂය විසින් පෙරදකිනු ලැබූ පරිද්දෙන්ම, ධාන්‍ය තමන් නොරිසි මිලකට රජයට විකිනීමට කුලැක්වරුන් අකැමැති වීමයි. මන්දගාමී කාර්මිකරනයේ හා වෙලඳපොල යාන්ත්‍රනයන් මත වඩවඩාත් රඳා පැවතීමේ කාල පරිච්ඡේදයකට පසු ස්ටැලින්වාදී නායකත්වය අනෙක් අන්තය කරා - එනම්, සුපිරි කාර්මිකරනයේ හා කෘෂිකර්මාන්තය ප්‍රචන්ඩ ලෙස සාමූහිකරනය කිරීමේ, ව්‍යාකූල වූත් අවදානම්සහගත වූත් පිලිවෙත කරා - මාරු වූහ.

පක්ෂ අභ්‍යන්තර අරගලය ආන්තික ලෙස තියුනු වීමේ ප්‍රතිඵලයක් ලෙස 1927 දෙසැම්බරයේ පැවැති පහලොස්වන පක්ෂ සම්මේලනයේ දී, 8000 ක පමන විපක්ෂ සාමාජිකයන් සමඟ ට්‍රොට්ස්කි හා සිනොවියෙව් පක්ෂයෙන් නෙරපා හරින ලදී. මෙතැන් පටන් වාම විපාක්ෂිකයන්ට එරෙහි මර්දනය ක්‍රමානුකූලව උත්සන්න කෙරින. පිටුවාහල් කිරීමේ දන්ඩනය, සිර දඬුවම් පැමිනවීම දක්වා පුලුල් කෙරුනු අතර සිර අඩස්සියේ කොන්දේසි කිසිදා නොවූ විරූ ආකාරයේ කෲරත්වයක් අත්කර ගත්තේය. ඉතිහාසඥ හා සමාජ විද්‍යාඥ වාඩිම් රොගොවින් අවධාරනය කරන පරිදි, “සමාජවාදී ප්‍රතිනව්‍යකරනයක් සිදු කිරීමට දැරෙන කවර හෝ ප්‍රයත්නයකින් එය ආරක්ෂා කර ගැනීමේ නිලධාරිවාදී-මාධ්‍යමික දේශපාලන තන්ත්‍රයේ පදනම් දැමුනේ, වාම විපක්ෂයට එරෙහි පාලක කන්ඩායම්වල අරගලය තුලය.” (වී.ඉසෙඩ්. රොගොවන්, Vlast’ i oppozitsii, Moscow:, මොස්කව්: 1993, පි. 118)

යාරස්ලාව්ල්හි හා සූස්දල්හි පිහිටි දේශපාලන සිරගෙවල් සමඟ පවත්වා ගෙන ගිය, යෙර්හ්නියුරල්ස්ක් සිරගෙය ඉදිකරනු ලැබ තිබුනේ 1910 දශකයේදී ය. එය, බෝල්ශෙවික්-ලෙනින්වාදීන් ද - මෙය ට්‍රොට්ස්කිවාදී විපාක්ෂිකයන් තමන් හඳුන්වා ගත් නාමයයි - ඇතුලු පිටුවාහල් කල විරුද්ධවාදීන් සිරගත කල කඳවුරක් බවට පත් විය.

කෞතුකාගාරයක් බවට හරවන ලද Verkhneuralsk යෙර්හ්නියුරල්ස්ක් දේශපාලන සිපිරි ගෙයි ගොඩනැඟිල්ලේ ඡායාරූපයක්.

යෙර්හ්නියුරල්ස්ක් දේශපාලන සිරගෙදරට දක්කනු ලැබූ සුප්‍රකට පුද්ගලයන් අතර පෙර දේශපාලන කමිටුවේ සාමාජිකයන්ව සිටි, ග්‍රිගොරි සිනොවියෙව් හා ලෙව් කමනෙව් ද, ගොස්බෑන්ක් (රාජ්‍ය බැංකුවේ) හිටපු අධිපති සහ ව්ස්න්ක (ආර්ථිකය පිලිබඳ ඉහලම මන්ඩලය)හි උප-ප්‍රධානි වූ ජෝර්ජි පියතකොව්, කොමින්ටර්නයේ හිටපු ලේකම් කාල් රඩෙක්, කොම්සොමල්ස්කායා ප්‍රව්දාහි හිටපු ප්‍රධාන කර්තෘ ඇලෙක්සැන්ඩර් ස්ලෙප්කොව්, ඔහුගේ මිතුරා සහ 1930 ගනන්වල සුප්‍රකට සෝවියට් චිත්‍රපට නිලියක් වූ වේරා මරෙත්ස්කායාගේ සොහොයුරු ලේඛක ද්මිත්‍රි මරෙත්ස්කි ද වෙති. මෙහි සිටි සිරකරුවන් අතර මෙන්ෂේවික්වාදීන්ගේ, සමාජවාදී විප්ලවකාරීන්ගේ හා අනෙකුත් දේශපාලන ප්‍රවනතාවයන්හි නියෝජිතයන්ගේ කුඩා කන්ඩායම් ද වූහ.

1931 මාර්තුවේ විපක්ෂ බුලටිනයේ පල වූ සිරගත කෙරුනු බෝල්ශෙවික්-ලෙනින්වාදීන් 117 කගේ නම් සහිත ලැයිස්තුවට එ‘සමයෙහි ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදයේ වඩාත්ම ප්‍රකට නියෝජිතයන් වූ ඇතැමෙකුගේ නම් ද ඇතුලත් විය: වාම විපක්ෂයේ ප්‍රමුඛ න්‍යායාචාර්යවරයෙකු වූ ෆෙදෝර් ඩින්ගල්ෂ්ටීඩ්; ට්‍රොට්ස්කිගේ එකතු කල කෘති රුසියානු භාෂා මුද්‍රනයේ සංස්කාරකවරයා වූ වික්ටර් එල්ට්සින්; ට්‍රොට්ස්කිගේ බාල දියනිය නිනා බ්‍රොන්ස්ටීන්ගේ සැමියා වූ හා තුමූමත් ප්‍රමුඛ විපක්ෂ සාමාජිකයෙකු වූ මැන් නෙවෙල්සන්; ට්‍රොට්ස්කිගේ හිටපු ලේකම්වරුන් හා ඔහුගේ සමීපතම සහකරුවන් දෙදෙනෙකු වූ මුසියා මගිඩ් හා ඉගෝර් පොස්නන්ස්කි.

පිටුවාහලේ සිටි වාම විපාක්ෂිකයෝ. උඩ වමේ: වික්ටර් බොරිසොවිච් එල්ස්ටින්, මැද දකුනේ: ඉගෝර් එම්. පොස්නන්ස්කි. දෙදෙනාම ලියොන් ට්‍රොට්ස්කිගේ සමීප සහකරුවෝ වූහ.

පල කර ඇති ලේඛන අතරින් ඇතැම්විට වඩාත්ම වැදගත් එක, 1933 අප්‍රේල් 1 වන දින සිට ලියැවුනු “ජර්මනියේ ෆැසිස්ට් කුමන්ත්‍රනය” පිලිබඳ බෝල්ශෙවික්-ලෙනින්වාදී නිබන්ධනයයි. (රුසියානු බසින් ලියූ සම්පූර්න පෙල මෙතැනින් ලබා ගත හැකිය. Fascist Coup in Germany) ජර්මානු ධනපති පන්තියේ හා රාජ්‍යයේ ඉහලම තරාතිරම් දරන්නන්ගේ කුමන්ත්‍රනයකින් හිට්ලර් බලයට පත්කර යන්තම් දෙමසක ඇවෑමෙන් ලියන ලද මෙම ලේඛනය, ජර්මානු ෆැසිස්ට්වාදයේ ප්‍රභවයන් පිලිබඳව හා යුරෝපය පුරා කම්කරු පන්තිය හමුවේ ඇති කර්තව්‍යයන් පිලිබඳ තියුනු විශ්ලේෂනයක් ගෙන එයි. ලියැවිල්ල ආරම්භ වන්නේ නාසිවාදයේ පැන නැඟීම ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදයෙහි සන්දර්භය තුල තබමිනි:

ජර්මනියේ දැන් සිදුව ඇති රාජ්‍යය විසින් සංවිධානය කරන ලද ප්‍රතිවිප්ලවවාදී කුමන්ත්‍රනය - මාර්තු ප්‍රතිවිප්ලවය - අතිමහත් ඓතිහාසික වැදගත්කමකින් යුත් සිදුවීමකි. අධිරාජ්‍යවාදී යුද්ධය ධනේශ්වර සමාජයේ ප්‍රතිවිරෝධයන් කිසිවක් විසඳා නැත. ඊට පටහැනිව එය, එම ප්‍රතිවිරෝධයන් අසාමාන්‍ය ලෙස තීව්‍ර හා ගැඹුරු කොට වඩාත් ඉහල තලයකට ගෙන යමින් ඇත. ලෝක ආර්ථික අර්බුදය ධනපති සමාජයේ පදනම් ගැඹුරින්ම සොලවා, ප්‍රකම්පනය කොට ඇත. එක්සත් ජනපදය වැනි අධිරාජ්‍යවාදී තිමිංගලයෙකු (යුදෙව් විශ්වාසයන්හි එන මිත්‍යාකාරී මුහුදු දැවැන්තයෙකි-ප.) පවා එහි පහර ලැබ සැලී ගොස් ඇත.

ෆැසිස්ට්වාදය බලයට පත්කිරීමට ජර්මානු ධනවාදය ගත් තීරනයෙන් ඇඟවුම් කෙරෙන්නේ, ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිවිප්ලවය උත්සන්න කිරීමක් බවට මෙම ලේඛනය අවධාරනය කරයි. ජර්මානු ධනේශ්වරය, පාවා දෙනු ලැබූ ජර්මන් කම්කරුවන්ගේ හා නැවියන්ගේ 1918/19 විප්ලවය නැඟී එමින් පැවැති සමයේ, ඊට ලබා දීමට බල කෙරී තුබුනු කවර හෝ සහනයක් වුව වනසා ලීමට තීරනය කර තිබිනැයි බෝල්ශෙවික්-ලෙනින්වාදීහු තර්ක කලහ.

මෙකී ලේඛනයේ සැලකිය යුතු කොටසක් කැප කෙරෙන්නේ ජර්මන් කොමියුනිස්ට් පක්ෂයේ (කේපීඩීයේ) පාවාදීම හා එහි ඓතිහාසික ගම්‍යයන් පිලිබඳවය. ජාතික සමාජවාදී වැඩ පිලිවෙලේ “සමාජවාදී” යයි හඟින ලද දේ පිලිබඳ මිත්‍යාවන් වපුරා තිබීම, ජර්මානු කම්කරුවන් නාසි පක්ෂය දෙසට දිශාගත කොට තිබීම හා ෆැසිස්ට්වාදයේ නැඟීම “ජනයාගේ වාම රැඩිකලීකරනයක්” ලෙස උත්කර්ෂයට නැංවීමත්, ඒ සියල්ල අතරතුරදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කම්කරුවන් සමඟ එක්සත් පෙරමුනකට විරුද්ධ වීමත් පිලිබඳව කේපීඩීයට තියුනු ප්‍රහාරයක් දෙමින් එය මෙසේ පවසයි:

ෆැසිස්ට් කුමන්ත්‍රනයට එරෙහිව ජර්මන් කොමියුනිස්ට් පක්ෂය විරුද්ධත්වය නොදැක්වීම වූ කලී, පසුගිය වසරවල දිග්ගැසුනු කාල පරිච්ඡේදය පුරා ජාත්‍යන්තර ස්ටැලින්වාදය විසින් සිදු කරන ලද ලෝක විප්ලවය පාවාදීමේ සිද්ධිදාමයේ හුදු තීරනාත්මක හා අවසන් පුරුක පමනෙකි. ජාත්‍යන්තර විප්ලවය පිලිබඳව සිදු කල මෙම පාවාදීම .... ඉතිහාසය තුල [ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රය ජර්මන් රජය සඳහා යුද වියදම් අනුමත කල] 1914 අගෝස්තු 4 වන දිනය සමඟ එක පෙලට ලියැවෙනු ඇත.

.... ජාත්‍යන්තර නොනවතින විප්ලවය ප්‍රතික්ෂේප කිරීම මඟින් එය [නිලධරය] ප්‍රතිවිප්ලවය පෝෂනය කරයි. සෝවියට් සංගමයේ නිලධරය කොමියුනිස්ට් ව්‍යාපාරය කුඩුපට්ටම් කර දැමීම සඳහා නිතිපතා ලෝක ප්‍රතිගාමිත්වයට මාවත පාදා දී ඇත. සෝවියට් සංගමයේ නිර්ධන පන්තිය ලෝක නිර්ධන පන්තියෙන් හුදෙකලා කරන තරමටම සෝවියට් සංගමය, ලෝක නිර්ධන පන්තියෙන් තමාම හුදෙකලා කර ගනී.

එහි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කේපීඩීය විවේචනය කිරීමෙන් නොනැවතුනු බෝල්ශෙවික්-ලෙනින්වාදීහු, ජර්මනියේ තතු පිලිබඳව වාම විපක්ෂයේ, හා විශේෂයෙන්ම ලියොන් ට්‍රොට්ස්කිගේ, විශ්ලේෂන හා ප්‍රකාශයන් මඟින් සම්පාදනය කොට තුබූ විකල්පය සාරාංශගත කලහ. ඉක්බිති ඔවුහු, කොමින්ටර්නය විසින් ජාත්‍යන්තර පරිමානව ක්‍රියාවට නංවන ලදහොත් පැවැති තතු හා බල තුලනය කම්කරු පන්තියේ වාසියට මාරු කිරීමට සමත් වනු ඇති එකම නිවැරදි පිලිවෙත ඍජුවම ඉදිරිපත් කලහ:

ෆැසිස්ට් කුමන්ත්‍රනයක වර්ධනය වෙමින් පවතින අන්තරායය පිලිබඳ පවතින දැනුමේ ආලෝකය තුල, කොමියුනිස්ට්වරුන්ගේ විප්ලවවාදී නායකත්වය පහත දැක්වෙන වගකීම්වලට බැඳී සිටී:

ගත වන දිනයක් දිනයක් පාසා කම්කරු පන්තියේ ෆැසිස්ට්-විරෝධී පෙරමුන ශක්තිමත් කිරීම;

ෆැසිස්ට් කුමන්ත්‍රනයක් සඳහා දැරෙන කවර හෝ ප්‍රයත්නයකට වුව, ප්‍රතිචාර ලෙස ක්ෂනිකවම ක්‍රියාවට නැංවිය හැකි පරිද්දෙන් මහා වැඩ වර්ජනයක් සිතාමතා සැලකිලිමත්ව සංවිධානය කිරීම;

ප්‍රති-විප්ලවයේ ප්‍රහාරය දියත් වන මොහොතේම කම්කරුවන් සන්නද්ධ කිරීම සඳහා කල හැකි සියල්ල සිතාමතා සැලකිලිමත්ව සංවිධානය කිරීම;

ජර්මන් නිර්ධන පන්තියට සහාය දීම සඳහා ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ හොඳම බලවේග බලමුලු ගැන්වීම;

ජර්මන් කම්කරු පන්තියේ ෆැසිස්ට්-විරෝධී ප්‍රහාරයකට ක්‍රියාකාරී සහාය ලබා දීම සඳහා සෝවියට් සංගමයේ රතු හමුදාව බලමුලු ගැන්වීම;

ජර්මානු නිර්ධන පන්ති ජනයා වෙත, ෆැසිස්ට්වාදයට එරෙහිව කෙරෙන වීරෝදාර සටන තුල ඔවුන් තනි වී නැති බවත්, සෝවියට් සංගමය, මෙම ඓතිහාසික මොහොත සඳහා බලමුලු ගැන්වීමට සූදානම්ව පොරොත්තුව සිටින සන්නද්ධ හමුදා ද ඇතුලුව තම රටේ [සපයා දීය හැකි] සියලු සම්පත් යොදවා ප්‍රතිවිප්ලවය සුනුවිසුනු කර දැමීමට ඔවුන්ට ආධාර කරන බවත්, 1918 දී ජර්මන් සහෝදරයන් රුසියාව වෙත දැක්වූ එකී තීරනාත්මක වගකීම්සහගතභාවයෙන්ම යුතුව රුසියානු නිර්ධන පන්තිය ඔවුන් වෙත පෙරලා සිය වගකීම් ඉටු කරනු ඇති බවත් විවෘතව හා ධෛර්යසම්පන්න ලෙස නිවේදනය කිරීම.

මෙකී “මූලික ජාත්‍යන්තර විප්ලවවාදී වගකීම්” සඳහා ප්‍රයත්නයක්වත් නොදැරීම තුලින්, “ජාත්‍යන්තර ස්ටැලින්වාදය නිර්ධන පන්තියේ මෙම දැවැන්ත ලෝක පරිමාන පරාජය සූදානම් කොට ඒ සඳහා කොන්දේසි සකසන ලදැ”යි බෝල්ශෙවික්-ලෙනින්වාදීහු ප්‍රකාශ කලෝය. “මේ අයුරින් ඔවුහු විප්ලවයේ තමන්ගේම පාවාදීම සම්පූර්න කලෝය. මේ අයුරින් කොමින්ටර්නය විප්ලවවාදී සාධකවල ලැයිස්තුවෙන් එතෙරව, සමාජ-ප්‍රජාතන්ත්‍රයේ අවසන් කෙලවර, එහි වාමාංශය, බවට පත් වී ඇත.” [අවධාරනය මුල් ලිපියේ]

ලේඛනය කම්කරු පන්තිය මුහුන දෙන අනතුරු ඍජුවම සාරාංශගත කොට දැක්වීය. “ෆැසිස්ට් ජර්මන් ආන්ඩුවේ අභ්‍යන්තර හා බාහිර ප්‍රතිවිරෝධයන් විසින් එය බාහිර ප්‍රචන්ඩත්වය කරා මාවතේ - හා ඓතිහාසික තලයක සෝවියට් සංගමයට එරෙහිව - තල්ලු කෙරෙනු ඇත. මක්නිසාදයත්, ප්‍රතිවිප්ලවයේ දිග්ගැසෙන ස්ථාපනයකට යුද්ධය විනා අන් මාවතක් නොමැති හා නොපැවතිය හැකි බැවිනි.”

කෙසේවෙතත් නාසි තන්ත්‍රය දශක ගනන් කෙසේ වෙතත් වසර ගනන්වත් නොපවතිනු ඇතැයි ද, ජර්මානු හා ලෝකයේ අවශේෂ කම්කරු පන්තිය විප්ලවවාදී අරගලවලට එලැඹෙනු ඇතැයි ද බෝල්ශෙවික්-ලෙනින්වාදීහු පෙරදුටුවෝය:

ජර්මන් කම්කරු පන්තිය එම රටෙන් හරි අඩක් පුරා සිටී. අප ජීවත්වන්නේ, ජනයාගේ දේශපාලන අත්දැකීම් වහා වර්ධනය වන්නා වූ ද, සමාජ ජීවිතයේ සියලු ක්‍රියාවලීන් හත් ගුනයක වේගයෙන් චලනය වන්නා වූ ද, තමන්ට පත් පරාජය කෙතෙක් කුරිරුවූයේ වී වුව පන්තිවලට දීර්ඝ කාලයක් පුරා ව්‍යාකූලත්වයේ හෝ නිෂ්ක්‍රියභාවයේ කිඳී සිටිය නොහැක්කා වූ ද යුද්ධ හා විප්ලවයන්හි යුගයකය. ජර්මානු කම්කරු පන්තිය රටෙන් භාගයක් තරම්ය. අප ජීවත් වන්නේ යුද්ධයන්ගේ හා විප්ලවයන්ගේ අවධියකය. එවිට ජනතාවගේ දේශපාලන අත්දැකීම් වැඩෙනු ඇත. එවිට සමාජ ජීවිතයේ සියලු ක්‍රියාවලීන් හත් ගුනයක වේගයකින් ක්‍රීයාත්මක වනු ඇත. එවිට,තමන් අත්විඳි පරාජයන් කොතෙක් කුරිරු වුවත්, පන්තීන්ට දිගු කලක් තිස්සේ ව්‍යාකූලතාවේ හෝ නිෂ්ක්‍රීය බවේ ගැලී සිටිය නොහැකිවනු ඇත.

ලේඛනය හමාර කෙරෙන්නේ මෙසේ ය:

ලෝක විප්ලවය එහි වඩාත්ම නාටකාකාර අවධීන් අතරින් එකකට ඇතුලුවෙමින් සිටී. මුලුමහත් ලෝකයේ කම්කරුවන්ට මෙය පැහැදිලි කර දීමට ද; කම්කරුවන් බලමුලු ගැන්වීමට ද; මෙම අවධිය කරා ලඟාවීමට තුඩුදුන් හේතු කම්කරු පන්තිය විසින් වටහා ගන්නා බැව්, ස්ටැලින්වාදී තන්ත්‍රය යටතේ නිර්ධන පන්තියේ ජයග්‍රහනය දිනා ගත නොහැකි බැව්, මෙහි (සෝවියට් සංගමයේ) පමනක් නොව යුරෝපයේ දී ද එය වඩාත් අසීරු කොට ඇති බැව්, ජාත්‍යන්තර ස්ටැලින්වාදය යනු ලෝක ප්‍රතිගාමිත්වයේ මහා රල පහර පරදවා ජය ගනු වස් තමන් විසින් සුනුවිසුනු කර දමනු ලැබිය යුතු තීරනාත්මක බාධකයන් අතුරෙන් එකක් බැව් කම්කරු පන්තිය වටහා ගන්නා බව සහතික කර ගැනීමට ද අවශ්‍යය. මෙය අපේ ප්‍රමුඛ කර්තව්‍යයයි. තවද, අප අත ඇති සෑම ශක්‍යතාවයක්ම යොදා සෑම ආකාරයකින්ම එය සපුරාලීමට අපි බැඳී සිටිමු.

මෙම නිබන්ධනය එෆ්. ඩින්ජෙල්ස්ටෙඞ්, එම්. කර්යාකින්, පී. පපර්මෙයිස්ටර්, බී. ෂින්බර්ග්, පී. නොවිකොව්, ඒ. අබ්‍රම්ස්කි, එම්. පෝර්ට්නොයි, එම්. බොඞ්රොව්, යා. පපර්මෙයිස්ටර්, ෆෙල්ඞ්මන්, එම්. නෙවෙල්සන්, කෙසල්, බොර්සේන්ස්කෝ, බ්ලොක්, කුගෙලෙව්, එන්. කොසෙව්නිකොව්, සරයිකින්, එස්. පපර්මෙයිස්ටර්, වී.බී. එල්ට්සින්, එල්. දනිලොවිච්, කේ. කුගායෙව්, බ්‍රොන්ට්මන්, වෂකිඞ්සේ, ගොගෙලශ්විලි, ටොපුරියා, එෆ්රෙමොව්, ශිප්ටල්නික්, සසොරොව්, කොල්මෙකින්, ශ්විරොව් ඇතුලු සිරගතව සිටී ට්‍රොට්ස්කිවාදීහු 30 දෙනෙකු විසින් අත්සන් තබනු ලැබ ඇත.

“රටේ පවතින තත්ත්වය හා බෝල්ශෙවික්-ලෙනින්වාදීන්ගේ කර්තව්‍යයන්” යන මාතෘකාව සහිත සටහන් පොත

කොයි අතින් බැලුවත් මෙම ලේඛනය සුවිශේෂී එකකි. ජාත්‍යන්තර වාම විපක්ෂය සමඟ සියලු සම්බන්ධතා මාර්ග කපා හැර සිරගත කර සිටී සෝවියට් ට්‍රොට්ස්කිවාදීහු, සියලු තීරනාත්මක කාරනා සම්බන්ධයෙන් ට්‍රොට්ස්කිගේම විශ්ලේෂනය සමඟ මුලුමනින් සම්පාත වන විශ්ලේෂනයක්, 1933 පිලිබඳ සවිස්තරාත්මක ඓතිහාසික ඇගයීමක් සඳහා වැදගත් වන පරිදි සියලු පැති අලලා ගනිමින් හා නිසි අවධාරනයන් සහිතව ඉදිරිපත් කොට ඇත. ඔවුන් හතරවැනි ජාත්‍යන්තරය සඳහා එතෙක් කැඳවීමක් නොකල නමුදු - එම කැඳවීම ට්‍රොට්ස්කි විසින්ම නිකුත් කෙරුනේ එම වසරේ වඩාත් පසු දින වල දීය - සිතා ගත හැකි පරිදි එම ලේඛනයට අනුව, ප්‍රධාන සෝවියට් ට්‍රොට්ස්කිවාදීන් හතරවැනි ජාත්‍යන්තරය ගොඩ නැඟීමට සහාය දී එහි කොටස්කරුවන් වනු ඇති බව ගැන සැකයක් පැවතිය නොහේ. තවද, පැරනි නායකත්වයන්ගේ පරිපූර්න බිඳවැටිම මධ්‍යයේ එවැනි ලේඛන යුරෝපයේ හා විශේෂයෙන් ජර්මනිය තුල බෙදා හරින ලද නම්, දශ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ නොවේ නම්, දහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ හෝ විඥානය මත එමඟින් අතිමහත් බලපෑමක් ඇති විය හැකිව තිබිනි.

මේ දක්වා පල කොට ඇති ලේඛන සංඛ්‍යාව හමු වූ ලේඛනවලින් දහයෙන් පංගුවක් පමනෙකි. සොයා ගනු ලැබූ අත් පිටපත් අතර “විප්ලවයේ අර්බුදය හා නිර්ධන පන්තියේ කර්තව්‍යයෝ” යන පොදු මාතෘකාවෙන් යුත් සටහන් පොත් ගනනාවක් ද වෙයි. අනෙකුත් ලේඛනවල මාතෘකා පහත ආකාරයේ ඒවා විය: “ඒකිකෘත විප්ලවයක්ද? නැතහොත් විවිධාර්ථවත් විප්ලවයක් ද?”, “නොනවතින විප්ලවය පිලිබඳ සාකච්ඡාවල ප්‍රතිඵල ගැන”, “නොනවතින විප්ලවයේ න්‍යාය සහ තනි රටේ සමාජවාදය පිලිබඳ න්‍යාය”, “ලෙනින්වාදී විරුද්ධ පක්ෂයේ න්‍යායික පදනම හා ස්ටැලින්වාදී ජාතික-සමාජවාදය ගැන”, “සංක්‍රමනිය කාල පරිච්ඡේදයේ ආර්ථිකය හා ප්‍රතිපත්ති පිලිබඳ මූලික ගැටලු”, “ආර්ථික පිලිවෙත පිලිබඳ නිබන්ධනයක් (පොදු හා සාමූහික සාකච්ඡාව සඳහා)”.

මෙම ලේඛන විසින් අවධාරනය කෙරෙන්නේ, විදහා දැක්වෙන්නේ හා යම් ආකාරයකින් සංයුක්ත කෙරෙන්නේ, පලමුව මෙම ක්‍රියාධරයන් සෝවියට් හා ජාත්‍යන්තර නිර්ධන පන්තියෙන් හුදෙකලා කරමින් ද ඉක්බිතිව මහා භීෂනයේ දේශපාලන ජනසංහාරය තුල ඔවුන් ඝාතනය කරමින් ද ස්ටැලින්වාදී නිලධරය සිදු කල ඓතිහාසික අපරාධයේ පරිමානයයි. ස්ටැලින්වාදී නිලධරය මෙම ක්‍රියාධරයන් ඉතිහාසයේ නො ඇසූ විරූ රුදුරු බවකින් යුතුව මර්දනය කලේ, ඔවුන්ගේ දේශපාලන ක්‍රියා මාර්ගය ජාත්‍යන්තරව, කම්කරු පන්තියේ ජීවමාන අත්දැකීම් සමඟ අනුනාද දුන් බවත්, එහි ඓතිහාසික හා දේශපාලන කර්තව්‍යයන් ඔවුන් පැහැදිලිව උදීරනය කල බවත් වටහා ගැනීමේ හේතුව නිසාමය.

1933 න් ආරම්භ කරමින්, විරුද්ධ පාක්ෂිකයන් ශ්‍රම කඳවුරුවලට ගාල් කරන ලද අතර, 1936 අවසානය වන විට ඔවුන් සියල්ලෝම පාහේ වඩාත්ම භයංකර ස්ථාන දෙකක රඳවනු ලැබූහ - එනම්, නැගෙනහිර සයිබීරියාවේ කොල්යාමා කඳවුරුවල හා යූරල්හි උතුරු කෙලවරේ ධ්‍රැව වෘත්තය අසල පිහිටි වොර්කුටා කඳවුරුවලය.

මෙහිදී බොහෝ දෙනෙක් එක්කෝ සාගින්නෙන්, රෝගාබාධවලින් හෝ බලහත්කාරයෙන් වැඩෙහි යොදවනු ලැබීමෙන් මිය ගියෝය, එසේ නැතහොත් ඝාතනය කරනු ලැබූහ. ජාත්‍යන්තර කම්කරු පන්තියේ නැඟිටීමක් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ආධාරකාරී වනු ඇතැයි බියට පත් ස්ටැලින්වාදී නිලධරය, එහි මර්දනය උත්සන්න කරමින්, 20,000 ත් 30,000 ත් අතර සංඛ්‍යාවකට නොඅඩු සෝවියට් ට්‍රොට්ස්කිවාදීන් ද, ලක්ෂ ගනනින් - හෝ ඇතැම්විට දශ ලක්ෂ ගනනින් - කොමියුනිස්ට්වාදීන් හා සමාජවාදී බුද්ධිමතුන් ද ඝාතනය කරමින්, මහා භීෂනය දියත් කලෝය. යර්හ්නියුරල්ස් දේශපාලන සිරකරුවන් රඳවා සිටි සියලු දෙනාම පාහේ ඝාතනය කරන ලදහ.

යර්හ්නියුරල්ස් දේශපාලන දේශපාලන සිරකරුවන් රඳවා සිටි මධ්‍යස්ථානයෙන් හමු වූ, අතින් ලියූ එක් පොත්පිංචක්

දෙවැනි ලෝක යුද්ධය අද්දර දී හා 1940 ගනන්වල මුල් කාලයේ යුරෝපයේ කම්කරු පන්තිය තුල ෆැසිස්ට්වාදයට එරෙහිව පැන නැඟුනු විප්ලවවාදී ව්‍යාපාරවලට නායකත්වය දීමෙහි ලා ස්ටැලින් විසින් විනාශ කරනු ලැබූ ක්‍රියාධරයන්, ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කල බැව් නිසැකය. ඉක්මනින්ම නාසිවාදයේ බිහිසුනු ඝාතන ක්‍රෝධෝන්මාදයේ ද උදව් ඇතිව, ට්‍රොට්ස්කිවාදී හා කොමියුනිස්ට් ව්‍යාපාරයට එරෙහිව ස්ටැලින්වාදය මුදා හල ජන භීෂනය, එකී ව්‍යාපාර දේශපාලනිකව මෙහෙයවා ගනිමින් ස්ටැලින්වාදයේ පාලනය යටතට ගැනීම සඳහා අවශ්‍ය කොන්දේසි සම්පාදනය කලේය.

මෙම ලේඛන, ප්‍රතිවිප්ලවවාදී ස්ටැලින්වාදී නිලධරයට එරෙහිව ට්‍රොට්ස්කිවාදීන්ගේ අරගලයට බලගතු යුක්තියුක්තතාවක් සම්පාදනය කරයි. ඔවුන්ගේ විශ්ලේෂනයේ සෑම අංගයක්ම සිදුවීම් විසින් සනාථ කරනු ලැබ ඇත. මෙම ලේඛන කියැවූ කිසිවෙකුට හෝ, වාම විපක්ෂය සෝවියට් සංගමය තුල නොවැදගත් දේශපාලන බලවේගයක් වී යැයි තර්ක කල නොහැකිය. එම ලේඛනවල සෑම පේලියකම කා වැදී ඇත්තේ විප්ලවවාදී ශුභවාදය, ස්ථිරසාරභාවය හා දූරදර්ශීභාවය, සහ සටන්කිරීමේ ප්‍රෞඪ, දෘඩතර ජීව ගුනයයි.

බෝල්ශෙවික්-ලෙනින්වාදීන් අවධාරනය කල පරිද්දෙන්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ප්‍රථම කොටත් ප්‍රමුඛ ලෙසත්, ජාත්‍යන්තර ප්‍රවනතාවයක් වූ අතර, සෑම කල්හිම එය එසේ පැවතින. ස්ටැලින්වාදයේ බිහිසුනු අපරාධ කවාරාකාරයේ වුව, හා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට විඳින්නට සිදු ව තුබූ අසාමාන්‍ය හානි කවරාකාරයේ වුව, එය දේශපාලන ප්‍රවනතාවයක් ලෙස පරාජය කිරීමට හෝ විනාශ කිරීමට නොහැකි වූයේ එබැවිනි.

මෙම ඓතිහාසික ලේඛන හා එමඟින් මතු කෙරෙන ප්‍රශ්න, හුදෙක් ලේඛනාරක්ෂකයන්ට පමනක් නොව, තත්කාලීන දේශපාලන ස්ථාවරයකින් ගත් කල වැදගත් වෙතැයි ගැඹුරු අවබෝධයක් රුසියානු සමාජය තුල පවතී. මේ වන විට රුසියාව තුල, දසදහස් ගනනින් නොවේ නම්, සිය ගනනින් හා දහස් ගනනින් ජනයා මෙම ලේඛන කියවා තිබෙනු ඇත. ට්‍රොට්ස්කිවාදීන් ඒවා තුල දක්වා ඇති, ඓතිහාසික හා දේශපාලන විශදත්වයේ, තීක්ෂනභාවයේ හා දූරදර්ශිභාවයේ මට්ටම පිලිබඳව ඔවුන් අතරින් බොහෝ දෙනෙකු විමතියට පත් වනු ඇත.

හතරවැනි ජාත්‍යන්තරය 1938 වර්ෂයේ පැරිසියේදී පිහිටුවා ගත්තේ, ලෝක ඉතිහාසයේ පැවැති දැවැන්තතම ප්‍රතිවිප්ලවකාරී භීෂන ප්‍රවාහය මධ්‍යයේය. ඩේවිඩ් නෝර්ත් ‘රුසියානු විප්ලවය හා නොනිමි විසිවන සියවස‘ කෘතිය තුල පැවසූ පරිදිම, එය, ස්ටැලින්ට එරෙහිව ට්‍රොට්ස්කි ලැබූ ජයග්‍රහනයයි. අවසානයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය; හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව; අන්තර්ජාලයේ වඩාත්ම පුලුල් ලෙස කියවනු ලබන ලෝක සමාජවාදී වෙබ් අඩවිය ස්ථාපනය කිරීමට මුල්වූ අතර, 1989-91 සමයේ අපකීර්තිමත් ලෙස බිඳ වැටුනේ, ස්ටැලින්වාදී නිලධරය, එහි බහුජන පක්ෂ හා යාන්ත්‍රනයන්ය.

මෙම ලේඛන සොයා ගැනීම ගැන රුසියානු ජනමාධ්‍ය විසින් පුලුල් ලෙස වාර්තා කරනු ලැබීම කැපී පෙනේ. දිනපතා පිටවන ව්‍යාපාරික පුවත්පතක් වන කොමර්සන්ට් (Kommersant) හා කොම්සොමොල්ස්කායා ප්‍රව්දා Komsomol'skaia Pravda පුවත්පත ඇතුලු ප්‍රමුඛ ප්‍රවෘත්ති ආයතන එය වාර්තා කොට ඇත. රුසියාවේ වඩාත්ම පුලුල් ලෙස කියවනු ලබන පුවත්පත් අතරින් එකක් වන කොමර්සන්ට් (2013 දී පැවැති පරිදි ඊට දිනපතා පාඨකයන් 120,000 හා 130,000 අතර සංඛ්‍යාවක් සිටියහ) එම ලේඛනවලින් දෙකක් එහි අන්තර්ජාල සංස්කරනයේ සම්පූර්නයෙන් පල කර, (එම ලිපි දෙක මෙම ලිපියේ සාකච්ඡාවට භාජනය කරන ලද ලිපි දෙකයි) ඒවා පිලිබඳව ඉතිහාසඥයන් ගනනාවක් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වෙමින් මෙකී ප්‍රශ්න අප සමඟ සාකච්ඡා කරන ලෙස අපි මෙම ලේඛන කියවන පාඨකයන්ගෙන් අවධාරනයෙන් ඉල්ලා සිටිමු. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සෝවියට් හා ජාත්‍යන්තර වාම විපක්ෂයේ වීරෝදාර අරගලයේ එකම අඛන්ඩතාවය නියෝජනය කරයි. එය, මෙම ලේඛන ඒ සා බලගතු ලෙස විදහා දක්වන ජාත්‍යන්තර සමාජවාදයේ ට්‍රොට්ස්කිවාදී ඉදිරි දර්ශනය හා ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී කාර්යභාරය පිලිබඳ සිය විශ්ලේෂනය ආරක්ෂා කිරීමට එය දශක ගනනාවක් පුරා සටන් වැදී ඇත.

ඔක්තෝබර් විප්ලවයේ ස්ටැලින්වාදී පාවාදීම, ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලය හා ඓතිහාසික මුසාකරනය පිලිබඳ පශ්චාත්-සෝවියට් ගුරුකුලය සමඟ බැඳුනු මූලික ඓතිහාසික හා දේශපාලනික ප්‍රයුක්තීන් වටහා ගැනීමෙහි ලා සම්පාදනය වී ඇති ප්‍රධාන දායකත්වයකින් සමන්විත, ඩේවිඩ් නෝර්ත් විසින් රචිත (ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා) කෘතියේ රුසියානු පරිවර්තනය හජාජාකය විසින් මේ වසරේ මුලදී පල කෙරින.

මෙම පොත මිල දී ගනිමින් එය හැකිතාක් පුලුල් ලෙස බෙදා හැරීමට අපට සහාය වන්න! මෙම ඓතිහාසික ගැටලු මත අප හා එක්ව සප්‍රතිපත්තික පදනමකින් වැඩ කිරීමට ඔබ උනන්දු වන්නේ නම් අප අමතන්න!

Share this article: