එක්සත් ජනපද පිටුබලය ලත් සවුදි තන්ත්‍රය කාන්තා ක්‍රියාකාරිනියක් සහ තවත් සිව්දෙනෙකුගේ හිස ගසා දැමීමට සැරසේ

US-backed Saudi regime set to behead female activist and four others

2018 අගෝස්තු 25

සෞදි අරාබියේ රාජ්‍ය අභිචෝදකයින්, සවුදි තන්ත්‍රයට එරෙහිව සටන් පාඨ කියමින් සහ සමාජ මාධ්‍ය තුල සිය විරෝධතාවයේ වීඩියෝ දර්ශන පලකරමින් රටේ රාජාන්ඩු ආඥාදායකත්වයට එරෙහිව සාමකාමී උද්ඝෝෂනයක නියැලීමේ “අපරාධය” සඳහා 29 හැවිරිදි දේශපාලන ක්‍රියාකාරිකාවක වන ඉස්රා අල්-ගොම්ගාම්, ඇගේ සැමියා වන මූෂා අල්-හෂිම් සහ තවත් තිදෙනෙකු ගේ හිස ගසා දැමීම මගින් දඬුවම් පැමිනවිය යුතු බවට කැඳවුම් කර ඇත.

චෝදනා එල්ල වී ඇති දේශපාලන අපරාධ මත පදනම්ව පලමු වරට සෞදි කාන්තාවක්ද ඇතුලුව මරන දඬුවම් පැනවීම්, අරාබි ලෝකය තුල වොෂිංටනයේ සමීපතම සගයා ලෙස සලකන සාපරාධී තන්ත්‍රයක් සංකේතවත් කරයි.

මෙම චෝදනාවලට හේතු වූ විරෝධතාවන් පැවැත්වුනේ රටේ ෂියා සුලුතර ජනගහනයෙන් බහුතරයකගේ නිවහන වන සෞදි රාජධානියේ තෙල් සම්පතින් පොහොසත් නැගෙනහිර පලාතේ ක්වැටිෆ් වරාය නගරයේදීය. 2011න් ආරම්භ වී එදා සිට ඉදිරියට යමින් මෙම විරෝධතාවයන් මගින් ආන්තික සාම්ප්‍රදායික සුන්නි නිකායක් වන නිල රාජ්‍ය අනුග්‍රහය ලත් වහබ්වාදයේ ආගමික ඉගැන්වීම් සමග ගැටගැසුනු රාජාන්ඩුවක් විසින් ෂියා ජනගහනය මර්දනය කිරීම සහ ක්‍රමානුකූලව වෙනස්කම් කිරීම අභියෝගයට ලක් කර ඇත.

සමානාත්මතාව, එහි පවන්තා තෙල් සම්පත නොතකා ගැඹුරු දරිද්‍රතාවයක් සහිත කලාපයක වැඩිදියුනු සමාජ තත්ත්වයන්, ප්‍රකාශනයේ නිදහස සහ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඉල්ලා සිටින විරෝධතාවයන්ට මිලිටරි වටලෑමට සමස්ථ ප්‍රජාවන්ම ඇද දමා ඇති පොලිස් රාජ්‍ය ප්‍රහාරයකින් පිලිතුරු දී ඇත.

2015 දෙසැම්බර් මස 06 වන දින ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ නිවස රාත්‍රී කාලයේ වැටලූ අවස්ථාවේ ඉස්රා අල්-ගෝම්ගම් සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගත්තේය. එතැන් සිට මාස 32 ක් තිස්සේ ඉන් වැඩි කාලයක් තුල නීතිඥ සහය වෙත ප්‍රවේශ වීම හෝ ඔවුන්ට එරෙහිව කිසිදු විධිමත් චෝදනාවක් ඉදිරිපත් කිරීමෙන් තොරව ඔවුන් බන්ධනාගාර ගත කොට ඇත. කම්කරු පන්තික පසුබිමකින් පැමිනෙන, ගෝම්ගම්ගේ පවුලට නීතිඥයෙකු හට ගෙවීමට මුදල් තිබුනේ නැත. ඇගේ පියා ඇයව ආරක්ෂා කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන නීතීඥයෙකුගේ ආධාරය පැතූ විට පමනි ඒ සඳහා නීතිඥයෙකු ඉදිරිපත් වූයේ.

2008 වසරේදී චෝදිත ත්‍රස්තවාදයට සම්බන්ධ නඩුකටයුතු විභාග කිරීමට පිහිටුවන ලද සෞදි තන්ත්‍රයේ විශේෂිත අපරාධ අධිකරනය තුල ඇය සහ ඇයගේ සම වග උත්තරකරුවන්ට එරෙහි නඩුව විභාග කරන ලදී. විත්තිකරුවන්ගේ අයිතීන් සැබැවින්ම නොපවත්නා අධිකරන ක්‍රියා පටිපාටිය, රාජාන්ඩුව විසින් තීන්දුව මෙන්ම දඬුවම කලින්ම නිශ්චය කරන ලද හොර නඩු විභාගයකි.

සෞදි රජුට සහ රජ කුමරු වන සිහසුනට හිමිකම් කියන 33 වියැති මොහොමඞ් බින් සල්මන්ට අපහාස කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස විස්තර කරන 2017 කුප්‍රකට ත්‍රස්ත විරෝධී නීති ක්‍රියාත්මක කිරීමේ කාර්යය උසාවියට පැවරී ඇත.

එම අධිකරනයම 2014 දී සුප්‍රකට ෂියා පූජකවරයෙකු වන නිම්ර් අල්-නිම්ර් සහ තවත් ෂියා ක්‍රියාකාරීන් හත්දෙනෙකුට මරන දන්ඩනය පැනවීය. 2016 ජනවාරි මාසයේ දී පුද්ගලයන් 47 දෙනෙකු ඝාතනය කල දිනයේම ඔවුන් ඝාතනය කෙරුනි. උසාවිය විසින් 2016 දී එවැනි ව්‍යාජ දේශපාලන චෝදනා මත තවත් 14 දෙනෙකුට මරන දඬුවම නියම කලේය.

සෞදි තන්ත්‍රය ජනතාව ත්‍රස්ත කිරීමේ පුරුද්දක් ලෙස සෞදි රජ මැදුර විසින් ක්‍රියාත්මක කරන නිරපේක්ෂ පාලනයට එරෙහි ඕනෑම බලගතු විරෝධතාවයක් බියවැද්දීමට සිය ගොදුරු වල හිස සුන් මලකඳන් කුරුසයට තබා ඇන ගැසීම සිදු කරයි.

එම අවසානයම සහිතව පලමු වතාවට කාන්තාවකට දේශපාලන විරෝධයේ චෝදනා එල්ල කිරීමට සෞදි තන්ත්‍රය දැන් යෝජනා කරයි. බොහෝ කාන්තාවන්ට වෙනත් අපරාධයන් සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වීමෙන් අනතුරුව ඝාතනය කොට ඇත. අනාචාරයේ යෙදීම සම්බන්ධ චෝදනා ලත් කාන්තාවන් සාමාන්‍යයෙන් ගල් ගසා මරා දමයි. හිස ගසා දැමීම සම්බන්ධයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් බොහෝ විරෝධය දක්වන බවත් එබැවින් හිසට වෙඩි තැබීම සිදු කරන බවත් තමා සොයාගත් බව සෞදි දිනපතා පුවත්පතක් වන සැබ්ක් පුවත්පතට සවුදි අලුගෝසුවෙකු ප්‍රකාශ කලේය.

සවුදි අරාබිය, මෙම ග්‍රහලෝකයේ වෙනත් කිසිදු රටකට වඩා වැඩි මිනිසුන් ප්‍රමානයක් ජනගහනයට අනුපාතිකව ඝාතනය කරයි. පසුගිය වසරේදී පුද්ගලයන් 150 කට ආසන්න පිරිසකගේ හිස් ගසා දැමීය. පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සමානුපාතිකව 2018 වසරේ පලමු කාර්තුවේ සියයට 70 කින් ඉහල ගිය හිස ගසා දැමීම් සහිත ව මෙම වසරේදී එය භායානක අයුරින් ඉහලම හිස ගසා දැමීම් ප්‍රමානයක් සහිත වසර වන බව පෙනෙන්නට තිබේ.

රාජාන්ඩුවට එරෙහි දේශපාලන විරුද්ධවාදීන්ට අමතරව, අදේවවාදය, දෙවියන්ට අපහාස කිරීම, අනියම් කාම සබඳතා පැවැත්වීම, සමලිංගිකත්වය හෝ හදි හූනියම් කිරීම පිලිබඳව සෞදි උසාවිය විසින් වරදකරු කරනු ලැබූ අයට එබඳු දඩුවම් නියම කරනු ලබයි.

ට්‍රම්ප් පරිපාලනය ඉස්රා අල් ගොම්ගම් හෝ ඇගේ සම වගඋත්තරකරුවන් නුදුරේදීම ඝාතනය කිරීම පිලිබද කිසිදු ප්‍රකාශනයක් නිකුත් කර නැත. මාධ්‍ය සාපේක්ෂව ගතහොත් නිහඬය. ඔවුන්ගේ ඉරනම විවේචනය කරමින් කිසිදු කතුවැකියක් පලවී නැත.

මෝටර් රථයක් ලබා ගත හැකි සෞදි කාන්තාවන්ට එය පැදවීමට ප්‍රතිපත්තිමය වශයෙන් ඉඩදීමට රජ කුමරු වන මොහොමඞ් බින් සල්මාන් විසින් හඳුන්වා දුන් “ප්‍රතිසංස්කරන” පිලිබඳව එක්සත් ජනපදයේ සංගත මාධ්‍ය විසින් දැඩිව සිදු කරන ලද ප්‍රචාරයේ අල්පමාත්‍රයක්වත් මෙම සාහසික අපරාධය කෙරෙහි යොමු කරන ලද අවධානය නියෝජනය නොකරයි. සම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි සවුදි කාන්තා ක්‍රියාකාරිනියන් ආරක්ෂක හමුදාවන් විසින් වට කර ගෙන ඇති බවත් ඔවුන්ගෙන් 14 දෙනෙකු තවමත් සිරගත කොට සිටින බවත් යන කරුන පිලිබඳ සඳහන් වනුයේ යන්තමිනි.

මී ටූ ව්‍යාපාරයට සම්බන්ධව ඉදිරියට පැමැනි පුද්ගලයින් මර්දනයට එරෙහිව කථා කිරීම වෙනුවෙන් සෞදි කාන්තාවක් ඝාතනය කිරීමට තර්ජනය කිරීම පිලිබඳව පැහැදිලිවම නිහඬව සිටී. ඔවුන් යෝජනා කරන කාන්තාවන්ගේ ආරක්ෂාව ධනවාදයේ ගොදුරු දක්වා කිසිදා විස්තාරනය කිරීමවත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය අවශ්‍යතා සමග මොනම ආකාරයකින් හෝ ගැටීමවත් කිසිදා සිදු නොකරයි.

අප්‍රේල් මාසයේ දී බින් සල්මන් එක්සත් ජනපදයේ සංචාරය කල විට, ට්‍රම්ප් පරිපාලනය විසින් පමනක් නොව, මාධ්‍ය සහ ඇමසන් ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස් ගේ සිට ඔබ්රා වින්ෆ්‍රේ, බිල් ගේට්ස් සහ ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් දක්වා ඇමරිකානු බිලියන පතියන් සමූහයක් විසින් ඔහුව උත්සවශ්‍රීයෙන් පිලිගනු ලැබීය.

මෙම රාජ්‍ය අපරාධකරුවා සහ මිනීමරුවා සිංහයෙක් කිරීමට සම්බන්ධ වී ඇත්තේ බලශක්ති සංගත වල ලාභ අවශ්‍යතා පමනක් නොව සෞදි අරාබියේ තෙල් සම්පතෙන් ලාභ ලබා ගැනීමට උත්සාහ කරන ආයුධ නිෂ්පාදකයන්, බැංකු හා වෙනත් බොහෝ සංගතවල ලාභ අවශ්‍යතා ය.

දශක හතකට අධික කාලයක් පුරා ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන පරිපාලනයන් දෙකම සෞදි රාජාන්ඩුව එය කට පෙත්ත දක්වාම සන්නද්ධ කරමින් මැද පෙරදිග එක්සත් ජනපද පිලිවෙතෙහි කඩ ඇනයක් ලෙස ලෝකයේ වඩාත්ම ප්‍රතිගාමී තන්ත්‍රයන්ගෙන් එකක් වන සෞදි රාජාන්ඩුවට එකසේ සහය දක්වා ඇත. කලාපයෙන් ඉරාන බලපෑම ආපස්සට පෙරලා යැවීමේ සහ එක්සත් ජනපද ආධිපත්‍යය සාක්ෂාත් කර ගැනීමේ අරමුන වෙනුවෙන් සෞදි අරාබිය සහ ඊස්රායලය යන රටවල් දෙකම ඇතුලුව ඉරාන විරෝධී සන්ධානයක් සැකසීමට උත්සාහ කරමින් ට්‍රම්ප් පරිපාලනය විසින් ඉරානයට එරෙහි එක්සත් ජනපද කුපිතකරනය උත්සන්න කර ඇති හෙයින් මෙම සහය වැඩිවූවා පමනි.

ට්‍රම්ප් පරිපාලනය සාමකාමී විරෝධතාවය වෙනුවෙන් සෞදි කාන්තාවක් සහ ඇයගේ අනෙකුත් වග උත්තරකරුවන් හිස ගසා දැමීමට තර්ජනය කිරීම පිලිබඳ නිහඬ බව පවත්වා ගන්නා පරිදිම ඔබාමා පරිපාලනයද ඔහු බලයේ සිටින විට දේශපාලන සිරකරුවන් මහා පරිමානයෙන් ඝාතනය කිරීමට සැලකිය යුතු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. ඒ වෙනුවට ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් ධවල මන්දිර සාමාජිකයන් සෞදි තන්ත්‍රය සමග ඩොලර් බිලියන සිය ගනනක ආයුධ ගනුදෙනුවලට අත්සන් කලේය.

එමෙන්ම පරිපාලනයන් දෙකම 16,000 ක් පමන ඝාතනය කොට මිලියන 8.5 කට අධික ප්‍රමානයක් හාමත් බවේ අද්දරටම ගෙන ආ යේමනය නම් දරිද්‍රතාවයේ ගිලිනු රටට එරෙහිව සෞදි භට කන්ඩායම් විසින් දියත් කල සමූල ඝාතනයකට සමාන යුද්ධය සඳහා ඇදහිය නොහැකි තරම් යුද ආධාර සැපයීය.

බ්‍රහස්පතින්දා හොඩෙයිඩා නම් විනාශ කරන ලද වරාය නගරයේ ආසන්න යුද පිටියකින් පලායමින් සිටි පවුලක් ගමන් කල වාහනය විනාශ කර දැමූ සෞදි ගුවන් ප්‍රහාරයකින් ලමයින් 22ක් ද ඇතුලුව සිවිල් වැසියන් 27 ක් ඝාතනය කල බව වාර්තා විය. මෙම දාමරිකකම සිදුවනුයේ ලමයින් 40 දෙනෙකු ඇතුලුව පුද්ගයන් 51 දෙනෙකු මරා දමමින් පාසල් ලමුන් පිරි බස් රථයක් එක්සත් ජනපදය විසින් සපයන ලද බෝම්යක් විසින් කැබලි වලට කුඩුකර දැමූ අගෝස්තු 09 ප්‍රහාරයෙන් යන්තම් සති දෙකකට පසුය. මෙම මහජන ඝාතන ක්‍රියාවන් පිලිබඳවද මාධ්‍ය තුල ලබා ගෙන ඇත්තේ සීමිත අවධානයක් වන අතර ම්ලේච්ඡ යුද්ධය සඳහා එක්සත් ජනපද සහායෙහි වෙනසක් සිදුව නැත.

සෞදි රාජකීය ආඥාදායකත්වය, එහි රුදුරු අපරාධ සහ ඒවා සඳහා එක්සත් ජනපද සහාය සැකසී ඇත්තේ වෙනිසියුලාවේ සිට සිරියාව, ඉරානය, රුසියාව හා චීනය දක්වා වූ සිය කොල්ලකාරී අරමුනු සාධාරනීකරනය කිරීමට වොෂිංටනය විසින් පොම්ප කරන සියලු “මානව අයිතිවාසිකම්” ප්‍රචාරනය මැන බැලීමට සුදුසු මිනුම් දන්ඩෙනි.

බිල් වෑන් ඕකන් විසිනි

Share this article: