ඇමරිකාවේ රැඳවුම් කඳවුරුවල සංක්‍රමනික ලමුන් 12,800ක් රඳවා ගැනෙති

12,800 immigrant children detained in American internment camps

2018 සැප්තැම්බර් 14

තම දෙමව්පියන් හෝ රැකවලුන් රහිත ව එක්සත් ජනපදයට සංචාරය කරන සංක්‍රමනික තරුනයන් දහස් ගනනක් වටලා රඳවා ගැනීමට ට්‍රම්ප් පරිපාලනය රහසේ කටයුතු කරමින් සිට ඇති බව, සැප්තැම්බර් 12දා රාත්‍රීයේ නිව් යෝක් ටයිම්ස් පත්‍රය වාර්තා කලේ ය.

එම වාර්තාවට අනුව, සංක්‍රමන හා රේගු බලාධිකාරය (අයිසීඊ) සහ රේගු හා දේශසීමා ආරක්ෂක බලකාය (සීබීපී) 2017 මැයි මාසයේ සෑම රාත්‍රීයක ම 2,400ක් වූ රඳවාගෙන ඇති රැකවලුන් රහිත කනිෂ්ඨ පුද්ගලයන් ගනන, මේ මාසයේ සෑම රාත්‍රීයක ම 12,800ක් දක්වා ඉහල දමා ඇත. එක්සත් ජනපදය පුරා පිහිටා ඇති ලමා රැඳවුම් කඳවුරු හා ප්‍රතිරැඳවුම් මධ්‍යස්ථාන 100 ගනනක ජාලය ඒවායේ ධාරිතාව කරා ආසන්න වෙමින් පවතින්නේ, නියාමකයන් විසින් ශාරීරික, මානසික හා ලිංගික අඩන්තේට්ටම්වලට ලක් කරන සංක්‍රමනික තරුනයන් රැඳවුම් කූඩු හා නිදන මැදිරි තුල අඩස්සි ගතකර සිටිය දී ය.

රැඳවුම් කඳවුරු පවතින නගරවල තරම විශාල වසයෙන් ප්‍රසාරනය කිරීමට ට්‍රම්ප් පරිපාලනය සූදානම් වෙමින් සිටී.

ආන්ඩුව විසින් ලමුන් අවිනිශ්චිත කාලයක් රඳවා ගනු ලබන බවට ඉඟි කරමින්, ලමුන් ව දින 20කට වඩා රඳවා ගැනීම වලක්වමින් 1997 දී උසාවිය සමග එලඹුනු එකඟතාවක් තමන් අත්හැර දමන බව පරිපාලනය සැප්තැම්බර් 6දා නිවේදනය කලේ ය.

එල් පාසෝ නගරයට පිටතින් පිහිටි ටෝනිලෝ කූඩාරම් නගරයේ රැඳවුම් කඳවුරේ තරම තුන්ගුනයකින් ඉහල දමන බව සැප්තැම්බර් 11දා ට්‍රම්ප් පරිපාලනය නිවේදනය කලේ ය. අධිකරන දෙපාර්තමේන්තුවේ “කිසිවක් නොඉවසන” පිලිවෙත යටතේ, තම පවුල්වලින් වෙන් කරන ලද ලමුන් “තාවකාලික ව” රැඳවීමට ජුනි මාසයේ ගොඩනගන ලද මෙම කඳවුරේ, දැනට ලමුන් 3,800ක් සිටී.

ලේඛනගත නො කල ඥාතීන් බියවැද්දීමට හා බන්ධනාගාරවල සිටින තරුන ජනයා හුදකලා කිරීමට ලජ්ජා විරහිත උත්සාහයක් දරමින්, භව්‍ය අනුග්‍රාහකයින් සංක්‍රමන බලාධිකාරීන්ට ඇඟිලි සලකුනු ලබාදිය යුතු ය යන නව පිලිවෙතක් ජුනි මාසයේ දී පරිපාලනය විසින් ආරම්භ කරනු ලැබී ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2018 මූල්‍ය වර්ෂයේ මුල් මාස 10 තුල සීබීපීය විසින් අත්අඩංගුවට ගත් රැකවලුන් රහිත ලමුන් ගනන 40,000 ඉක්මවූවත් කඳවුරුවලින් නිදහස් කොට අනුග්‍රාහකයන් වෙත ලබාදුන් තරුනයන් සංඛ්‍යාව සියයට 30කින් ඇදවැටී තිබේ.

කඳවුරුගත ලමා ජනගහනයේ තරම විශාල ලෙස ඉහල යන්නේ, මැයි මාසයේ දී “කිසිවක් නොඉවසන” පිලිවෙත යටතේ දෙමව්පියන්ගෙන් වෙන් කරන ලද සියලු ලමුන් යලි ඔවුන්ට ලබා දෙන ලෙස ට්‍රම්ප් පරිපාලනයට විනිසුරුවරයෙක් විසින් නියෝග කිරීමෙන් සති හයක් ගතවෙද්දී ය.

පරිපාලනය අධිකරන නියෝගය ලජ්ජා විරහිත ලෙස නො තකා හැර ඇත්තේ, වෙන් කල ලමුන්ගේ පිටුවහල් කරන ලද දෙමව්පියන් සොයා ගුආතමාලාවේ, හොන්ඩුරාස්හි රටේ හා එල් සැල්වදෝරයේ පිටිසර ගම්මාන පුරා ගෙයින් ගෙට යෑමට ලාබ නො ලබන ආයතනවලට නියෝජිතයන් යැවීම පිනිස බලකරමිනි.

“කිසිවක් නොඉවසන” පිලිවෙතෙහි ප්‍රතිඵලයක් ලෙස තම පවුල්වලින් වෙන් කර සිටින ලමුන් ගනන 400ට අධික ය. “දෙමව්පියන් හිතාමතා ම එක්සත් ජනපදයෙන් පිටුවහල් කිරීම හෝ නැවත එක්සත් වීමට ඇති අයිතිය වැරදීමකින් ඔවුන්ට අහිමි කිරීම නිසා, සිය ගනන් වන මෙම පවුල් කිසිදිනෙක යලි එක්සත් නො වීමේ හැකියාව වඩ වඩා පෙනෙන්නට තිබේ” යයි ඒඉසඞ් සෙන්ට්‍රල් මෑතක දී සඳහන් කලේ ය.

ටයිම්ස්හි මූලික වාර්තාව හැරුනු විට, රඳවා සිටින ලමුන් ගනන හය ගුනයකින් ඉහල යාම සංගත මාධ්‍ය විසින් සඟවනු ලැබී ය. මෙය ලියන මොහොත වන විට සීඑන්එන්, පොලිටිකෝ, ෆොක්ස් නිව්ස්, එම්එස්එන්බීසී, ද හිල් හා ඒබීසී නිව්ස් යන කිසිදු මාධ්‍යයක් මෙම කරුන අනාවරනය කොට නො තිබුනි.

මහජන කෝපයට ප්‍රතිචාර ලෙස, ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප්ගේ පවුල් වෙන්කිරීමේ පිලිවෙතට විරුද්ධත්වය ආරෝපනය කරගෙන තිබුන ද ට්‍රම්ප් සංක්‍රමනිකයන් මත එල්ල කරන ප්‍රහාරයට පදනම දැමීම පිලිබඳ ව ඩිමොක්‍රටිකයෝ වගකීම දරති. විශේෂයෙන් ම 2014 සංක්‍රමන උද්ගමන කාලය තුල ඔබාමා ද ලමුන් දහස් ගනනක් රඳවා තැබුවේ ය. මේ වන විට, නොවැම්බරයේ පැවැත්වෙන මධ්‍යවාර මැතිවරනයේ දී ඩිමොක්‍රටිකයෝ සංක්‍රමනික ප්‍රශ්නය මුලුමනින් නො තකා හැර ඇත.

“නොවැම්බරයේ පැවැත්වෙන සෙනෙට් මැතිවරනයේ තරඟකාරී තැන්වල ඩිමොක්‍රටිකයෝ අයිසීඊය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී නො සිටිති” යයි පීබීඑස් සඳහන් කලේ ය. සත්‍යය වන්නේ, පරාජයට පත්විය හැකි සෙනෙට් අසුන් සඳහා යලි තේරී පත්වීමට තරඟ කරන හයදෙනාගෙන් පස්දෙනෙක් ම මෙම අවසන් වාරයේ දී සියයට 40කට වැඩි වාර ගනනක් ට්‍රම්ප් සමඟ ඡන්දය දුන් බව යි: බිල් නෙල්සන් (සියයට 43), ක්ලෙයාර් මැක්කාස්කිල් (සියයට 45), ජෝ ඩොනෙලි (සියයට 55), හෙයිදි හයිට්කාම්ප් (සියයට 55) හා ජෝ මැන්චින් (සියයට 61).

ඩිමොක්‍රටික් කොංග්‍රස් සභිකයන්ගෙන් සියයට 30කට වැඩි දෙනෙක්, සුලු අපරාධ වාර්තා සහිත සිය දහස් ගනනක් පිටුවහල් කිරීමට ඉඩ ලබාදෙන සංක්‍රමන-විරෝධී පනතක් සම්මත කිරීමට ඡන්දය දුන් හ. එම පනතට සහයෝගය දුන් අය අතර, වසන්ත සමයේ දී සංක්‍රමනිකයන්ට සලකන ආකාරය ගැන කිඹුල් කඳුලු හෙලූ කොංග්‍රස් ලතින් කන්ඩායමේ සභාපතිනි මිචෙල් ලූයාන්-ග්‍රිෂාම් සිටියා ය. ඩිමොක්‍රටික ජාතික සම්මේලනයේ උපසභාපති කීත් එලිසන් හා උතුරු කැරොලිනා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් කොංග්‍රස් කන්ඩායමේ සියලු ම දෙනා ඇතුලු ස්වයං-ප්‍රකාශිත “ප්‍රගතිශීලී ඩිමොක්‍රටිකයන්” බොහෝ දෙනෙක් එක්කෝ පනතට පක්ෂ ව ඡන්දය දුන් හ; නැතහොත් ඡන්දය දීමෙන් වැලකුන හ.

දැනට බලයේ සිටින රිපබ්ලිකානුවන්ට එරෙහි ව කොංග්‍රසය සඳහා තරඟ කරන බොහෝ ඩිමොක්‍රටිකයෝ පැහැදිලි සංක්‍රමන-විරෝධී ක්‍රියාමාර්ගයක් මත තරඟ වදිති.

ඇරිසෝනා ඩිමොක්‍රටික කොංග්‍රස් සභිකා හා සෙනෙට් තරඟකාරිනී ක්‍රිස්ටන් සිනෙමා, පසුගිය මාසයේ “අයිසීඊය වැදගත් කාර්යභාරයන් සම්පාදනය කරයි, ලිංගික දූෂනයේ හෝ මිනීමැරීමේ නිරත වීම මගින් අනෙක් මිනිසුන්ට හානි කරන භයානක අපරාධකාරී නොරටුන් ඉවත් කිරීම පිලිබඳ ව අයිසීඊය වගකීම දරයි” යනුවෙන් ප්‍රකාශ කරමින් ට්‍රම්ප් ව ප්‍රතිරාවය කලා ය.

අයිසීඊ-විරෝධී විරෝධතාකරුවන් “වැරදි” යයි හෙලාදුටු කෙන්ටකි ප්‍රාන්තයෙන් කොංග්‍රසයට තරඟ කරන ඇමී මැක්ග්‍රාත්, “අතිශය වෘත්තීයමය” වීම හා “අපගේ දේශසීමාවන් ආරක්ෂිත ව තබාගැනීමේ දී අත්‍යවශ්‍ය ක්‍රියාකාරකමක් ඉෂ්ට කිරීම” ගැන අයිසීඊය උත්කර්ෂයට නැංවූවා ය. ටෙක්සාස් ප්‍රාන්තයෙන් තරඟ වදින ගිනා ඕටිස් ජෝන්ස්, “අපේ ජාතියේ දේශසීමා ආරක්ෂාව පරදුවට තැබිය නො හැකි ය” යන හා “ඇමරිකානුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන වඩා හොඳ, වගකීම් සහගත සංක්‍රමනික ප්‍රතිපත්තියක් අපට අවශ්‍ය ය” යන තර්ජනය සමගින් විවිධත්වය හා “ඇමරිකානු සිහිනය” පිලිබඳ හරසුන් ප්‍රකාශන ඒකාබද්ධ කලා ය.

මහා පරිමාන පිටුවහල් කිරීම්වලට පදනම දමමින් සියලු ප්‍රධාන නීතීන් සම්මත කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය වගකිව යුතු වුවත්, මෙම සංක්‍රමන-විරෝධී, ධනවාද-හිතැති හා අධිරාජ්‍යවාද-හිතැති පක්ෂය “වමට” තල්ලු කලහැකි යයි ඇමරිකානු ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් (ඩීඑස්ඒ) වැනි සංවිධාන කියාපාති. “අයිසීඊය අහෝසි කරන්නේ කෙසේ ද” යන හිසින් ජුනි 29දා ඩීඑස්ඒ පිටුබලය ලබන ජැකොබින් සඟරාව පලකල ලිපියක් එහි පාඨකයන්ට ඩිමොක්‍රටිකයන් මත පීඩනය යොදන ලෙස ඉල්ලයි:

“සරල ව ම තම නව දේශපාලනය වෙනුවෙන් ඩිමොක්‍රටිකයෝ අයිසීඊය අහෝසි කිරීමට සහයෝගය දිය යුත්තා හ. බොහෝ සෙයින් ඩිමොක්‍රටික් ඡන්ද දායකයන් වන සංක්‍රමනිකයන්ගේ ජීවිත එමගින් ද්‍රව්‍යමය වසයෙන් ඉහල දමයි. ...මෙම ඒජන්සිය හකුලුවා දැමීමට දරන උත්සාහයන් කෙටිකාලීන ව සාර්ථක නො වෙතත් රේඛාවක් ඇඳගැනීම හා ඩිමොක්‍රටික් කොංග්‍රස් සභිකයන්ට තමන් සිටින්නේ කොයි පැත්තේදැයි ප්‍රකාශ කිරීමට බලකිරීම වැදගත් ය. බොහෝ ඩිමොක්‍රටිකයන් අපගේ පැත්තට එන තතු තුල, අයිසීඊය අහෝසි කිරීම අඟලෙන් අඟල යථාර්ථයක් බවට පත්වෙනු ඇත.”

ඩිමොක්‍රටික් පක්ෂයේ “ඡන්ද දායකය” වන්නේ ට්‍රම්ප් සංක්‍රමනිකයන් මත එල්ල කරන ෆැසිස්ට්වාදී ප්‍රහාරවලින් විකර්ෂනය කෙරෙන කම්කරු හා තරුන ජනයා නො ව, වෝල් වීදියේ බැංකු, මිලිටරි-ඔත්තු සේවා යාන්ත්‍රනය සහ මැතිවරනය එලඹෙද්දී එහි අපේක්ෂකයන් විසින් උත්කර්ෂයට නංවන අයිසීඊ හා සීබීපී ඒජන්තයන් ය.

2018 ජනවාරියේ සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස්ගේ ප්‍රකාශය ප්‍රතිරාවය කරමින් ඩිමොක්‍රටිකයන් විසින් පාලනය කරන කොංග්‍රස් සභාවක් ට්‍රම්ප්ගේ සංක්‍රමන පිලිවෙත් සමග හාමුවීමට කැමැත්ත පලකරනු ඇත: “ශක්තිමත් දේශසීමා ආරක්ෂාවක් අපට අවශ්‍ය ය යන්න සමග කිසිවෙක් එකඟ නො වනු ඇතැයි මම නොසිතමි. ශක්තිමත් දේශසීමා ආරක්ෂාවක් සහතික කිරීම සඳහා ජනාධිපතිවරයාට අප සමග එකට වැඩකිරීම අවශ්‍ය නම්, අපි එය කරමු.”

2001 සැප්තැම්බර් 11දා සිට දාහත් වසරක් ගතවෙද්දී, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඉවත් කිරීම, “ජාතික ආරක්ෂාව” හා “දේශසීමා ආරක්ෂාව” මගින් සුජාතකරනය කෙරේ ය යන හතිවැටුනු බොරුව පක්ෂ දෙක ම පුනරුච්ඡාරනය කරති. පාලක පන්තිය බලයෙන් ඇද දමා, ඔවුන්ගේ යුද්ධ අවසන් කිරීමට, ඔවුන්ගේ ධනය අස්වාමික කිරීමට, දේශසීමා අහෝසි කිරීමට හා හානියකින් තොර ව සියලු කම්කරුවන්ට ග්‍රහලෝකය පුරා සංචාරය කිරීම සහතික කිරීමට කම්කරු පන්තියේ ශක්තිමත් මහජන ව්‍යාපාරයක් අවශ්‍ය වේ.

එරික් ලන්ඩන්

Share this article: