මිල්ටරිය සම්බන්ධ තොරතුරු උසාවියට නොදෙන ලෙසට ජනාධිපති නියෝග කිරීම පොලිස් රාජ්‍යයක් තර කරන තවත් පියවරක්

2018 සැප්තැම්බර් 7

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාවල සහ පොලීසියේ ප්‍රධානීන් කැඳවා අගෝසතු 28 දා පැවැත්වූ සාකච්චාවකදී දැනට විභාගවෙමින් පවතින ඝාතන හා අතුරුදහන් කිරීම් පිලිබඳ නඩුවලදී උසාවිවලින් ඉල්ලා ඇති ත්‍රිවිධ හමුදාවලට සම්බන්ධ තොරතුරු නොසපයන ලෙස නියෝග කර ඇතැයි සතිපතා පලවන අනිද්දා පුවත්පත වාර්තා කර ඇත.

එම පුවතට අනුව සිරිසේන මෙම නියෝගය කර ඇත්තේ උසාවිවල විභාග වන නඩු වලට අදාලව සැකකාර මිලිටරියේ නිලධාරීන්ගෙන් ගත් ප්‍රකාශ හා පොලිස් පරීක්ෂනවලට අනුව ඔවුන් අපරාධවලට සම්බන්ධවීම පිලිබඳව සාක්ෂි තිබෙන බව එම සාකච්චාවේදී පොලිස්පති පූජිත ජයසුන්දර ප්‍රකාශ කර තිබියදී ය.

කෙසේ වුවද, එවැනි තොරතුරු සැපයීම “ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ය”යි ඉහත සඳහන් රැස්වීමේදී කෙරුන සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිගේ නියෝගය නිකුත් වී ඇත.

මෙම සාකච්ඡාගැන සවිස්තර තොරතුරු නැතත් ජනාධිපති ගෙන් එවැනි නියෝගයක් නිකුත් වීමට හොඳටම ඉඩ තිබේ. මීට මාස කීපයකට පෙර සිරිසේන තමන් නිල බලයෙන් ආරක්ෂක බලඇනිවල ප්‍රධාන ආඥාපති වුවත් තමන්ට නොදන්වා හමුදා නිලධාරින් පොලිස් අත් අඩංගුවට ගෙන ඇතැයි දොස් පවරා එසේ නොකරන ලෙසට ප්‍රසිද්ධියේ අවවාද කර ඇත.

සිරිසේන කර ඇති බවට සැලවෙන නියෝගය වනාහි මිලිටරිය හා පොලීසිය රටේ නීතියට ඉහලින් තැබීමකි. ඉන් සලකුනු කෙරෙන්නේ, පසුගිය ආන්ඩු විසින් පටන්ගෙන දැන් ජනධිපති සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ වේගවත්ව පොලිස් රාජ්‍යයක් රටතුල නිර්මානය කෙරෙමින් පවතින ආකාරයයි.

ඔත්තු අංශ ද ඇතුලුව මිලිටරියේ ප්‍රධාන පෙලේ නිලධාරීන් පොලිස් අත් අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ජනමාධ්‍ය වේදියෙකු වූ ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, ද නේශන්කර්තෘව සිටි කීත් නොයාර් පැහැරගැනීම හා පහර දීම, දෙමල තරුනයන් එකොලොස් දෙනෙකු කප්පන් ගැනීම සඳහා පැහැරගෙ ගොස් මරා දැමීම පිලිබඳ නඩු සම්බන්ධයෙනි. මෙම නඩුවලට අදාල තොරතුරු ලබා දෙන ලෙස ආරක්ෂක හමුදාවල අනදෙන නිලධාරීන්ට පොලීසිය විසින් දන්වා ඇතත් ඒවාට ප්‍රතිචාර ලැබී නැති බව ද අධිකරන විභාගවලදී එලිදරවී වී ඇත.

සිරිසේනගේ නියෝගයට ආසන්න හේතුව වී ඇත්තේ වත්මන් ආරක්ෂක මන්ඩල ප්‍රධානියා වන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුනරත්න සම්බන්ධ සිද්ධියක් බව පෙනේ. එනම්, දෙමල තරුනයන් 11ක් පැහැරගැනීම හා සම්බන්ධ නඩුවේ ප්‍රධාන සැකකරු ට ආධාර කිරීම සම්බන්ධයෙන් සාක්ෂි ඇත්නම් අද්මිරාල් විජේගුනරත්න අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පොලිසියට උපදෙස් දීමයි.

මෙම දෙමල තරුනයන් 2008-2009 කාලයේ දී පැහැරගැනීම හා ඝාතනය කිරීමේ නඩුවේ ප්‍රධාන සැකකරු වන ලුතිනන් කොමදෝරු චන්ද්‍රදාස හෙට්ටිආරච්චිට උදව් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක මන්ඩල ප්‍රධානියාට විරුද්ධව සාක්ෂි ඇති බව පොලීසිය උසාවියට දැන්වූ අවස්ථාවේ දීය මසේත්‍රාත් ගේ උපදෙස් නිකුත් වී ඇත්තේ.

දසක තුනකට ආසන්න කාලයක් ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු කම්කරු පන්තිය භේදකර මර්දනය කර තැබීම සඳහා ගෙන ගිය දෙමල විරෝධී වර්ගවාදී යුද්ධය තුල මෙවන් ඝාතන, පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් හා වධහින්සාවට ලක් කීරීම් අප්‍රමානව සිදුකෙරී ඇත. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ හදිසි නීතිය ද යුද වාතාවරනය ද යොදාගෙන මෙවැනි අපරාධවල යෙදීමට ආරක්ෂක හමුදාවලට පාලක පන්තිය විසින් මුක්තිය ලබාදුනි.

සාමාන්‍ය පුද්ගලයෙකු සම්බන්ධයෙන් අධිකරනයේ නියෝගයක් තිබුනේ හෝ නොතිබුනේ වුව ද වහාම කඩා පනින පොලීසිය, ආරක්ෂක මන්ඩල ප්‍රධානියා ගැන උසාවි ප්‍රකාශය අගෝස්තු 16 නිකුත් වී දැන් සති දෙකක් ඉක්මවා ඇති නමුත් ඒගැන තවමත් නිහඬ ය.

මේ කකුල්ගෑටීමට හේතුව, ආරක්ෂක හමුදාවල මුදුන්, රටේ කාටත් පොදු නීතිය තමන් ට එරෙහිව යොදා ගැනීම කෙරෙහි විරුද්ධ වීම මෙන්ම හමුදා සහ පොලීසිය මත වාරුවී සිටින සිරිසේන හා වික්‍රමසිංහ එවැන්නකට එරෙහි වීමයි. මෙම ආරක්ෂක හමුදා නිලධාරින්ට නීතියට ඉහලින් සිටීමේ වරදානය ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩුවලින් ලැබී තිබේ.

එහි තීරනාත්මක කඩඉමක් වූයේ ඇමරිකාව ප්‍රමුඛ ප්‍රධාන බලයන්ගේ උදව්වෙන් යුද අපරාධ යට ගැසීමට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියා කිරීමයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙරලාදැමූ තන්ත්‍රමාරුවේදී ජනාධිපති සිරිසේන බලයට ගෙන ඒමට ප්‍රෝඩාකාරී ලෙස යොදාගත් එක් ප්‍රධාන උද්ඝෝෂනයක් වූයේ යුද අපරාධ සිදු කිරීම, මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩලීම කෙරෙහි සිංහල දෙමල මුස්ලිම් වාර්ගික භේද නොතකා කම්කරුවන් දුගීන් හා තරුනයන් අතර පැතිර පැවති විරුද්ධත්වයයි. කෙසේ වුව ද, යුද්ධයට රාජපක්ෂ මෙන්ම වගකිවයුතු සිරිසේන හා වික්‍රමසිංහ බලයට පත්වීමෙන් පසු ලංකාවේ යුද අපරාධ සිදුවී නැතැයි ද ඒ පිලිබඳ පරීක්ෂනයන්ට තමන් විරුද්ධ බවද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

ලංකාවේ පාලක පන්තිය හා ජනමාධ්‍ය විසින් මිල්ටරිය හඳුන්වනු ලබන්නේ යුද්ධය දිනූ රනවිරුවන් නමිනි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය කර රට බේරාගත් “විරුවන්” ලෙස ඔවුන්ට මෙම දෙමල විරෝධී වර්ගවාදී සලුපිලි අන්දවා ඇත. පාලක පන්තියේ මෙම හඳුන්වා දීමට අනුව මිල්ටරිය අත නොතැබිය, යුතු වන්දනාවට ලක් විය යුතු බලයකි.

එල්ටීටීඊයට එරෙහි යුද්ධය කුරිරු ලෙස අවසන් කර අවුරුදු නමයක් ගත වී තිබේ. එහෙත් එය ආන්ඩුවේ අයවැයෙන් ඉහලින්ම මුදල් වෙන්කර පෝෂනය කෙරෙන සංස්ථාවයි. 2009 ආන්ඩුවේ ආරක්ෂක වියදම රුපියල් බිලියන 210කි. 2018වන විට එය බිලියන 290 දක්වා සියයට 38කින් වැඩි කර ඇත.

ආරක්ෂක හමුදාවලට ආර්ථිකයේ විවිධ අංශවලට කඩාවැදීමට අවසර ලබා දී තිබේ. උතුරු පලාතේ ගොවිපොලවල් පවත්වාගෙන යන එය හෝටල් සහ සංචාරක කර්මාන්තයට අත ගසා ඇත. ආරක්ෂක විශ්වවිද්‍යාලයක් සතුව සිටින මිලිටරියට උසස් අධ්‍යාපය සඳහා මුදල් අය කර අධ්‍යාපනය දෙන ආයතන ඇරඹීමට නීති සකස් කර දී ඇත.

විශාල භට සංඛ්‍යාවකින් සමන්විත කෙරුනු මිලිටරිය දෙමල හා මුස්ලිම් ජනයා වැඩිවසයෙන් ජීවත්වන උතුරු නැගෙනහිර පලාත්වල පාලනය හසුරුවන්නා ලෙස වාඩිලාගෙන සිටී.

ලංකාවේ ආරක්ෂක හමුදා පසුගිය අවුරුදු කීපයේ විශේෂයෙන්ම ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මිලිටරිය සමග වඩවඩාත් තදින් ගැට ගසමින් තිබේ. ඇමරිකාවේ ආසියා පැසිෆික් ආඥා බල ඛන්ඩය විසින් ලංකාවේ හමුදා කන්ඩායම් පුහුනු කිරීම සිදුවේ. එය සිදුවන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් චීනය හා රුසියාව ඉලක්ක කරගෙන යුද සූදානමක යෙදී සිටින තත්වයක ය.

මෙලෙස, මිලිටරිය ලංකාවේ දේශපාලන තත්වය තුල ප්‍රධාන තීරන ගැනීමට ක්‍රියාකරන සාධකයක් බවට පත් කෙරී, එම බලය යොදාගනිමින් සිටී.

ලංකාවේ පාලක පන්තිය හා එහි ආන්ඩු මිලිටරිය හා පොලීසිය මත වාරු වීම හා පෙරට වඩම්මා ගැනීම සිදුව ඇත්තේ ධනපති පන්ති පාලනයේ අර්බුදය ගැඹුරු වන තත්වය තුලයි.

රටක්රටක් පාසා පාලක පන්තීන් දකුනට යාම හා පොලිස් පාලනයන් ඇටවීම සූදානම් කටයුතු වේගවත් කර ඇත. ඇමරිකාවේ ට්‍රම්ප් පාලනය යටතේ ද යුරෝපයේ එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රන්සය වැනි රටවල ද අසල්වැසි ඉන්දියාවේ අගමැති නරේන්ද්‍රසිංහ මෝඩි යටතේ ද සිදුවෙමින් පවතින්නේ මෙම ක්‍රියාවලියයි.

ධනවාදයේ අර්බූදය පටවමින් එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලයන් පුනර්ජීවනය වන තතු තුල පාලක පන්තීන් ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩලමින් ආඥාදායක පාලනයක් සූදානම් කිරීමට යි.

ලංකාවේ සිරිසේන වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද ගෝලීය බැංකුකරුවන්ගේ ද අත්ගෙඩියක් ලෙස ක්‍රියාකරමින් ගෙන යන කප්පාදු පිලිවෙත් වලට විරුද්ධව කම්කරුවන්ගේ දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල ඇවිලී තිබේ. වෘත්තීය සමිති මෙන්ම නව සම සමාජ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය ආදී ව්‍යාජ වාම සංවිධාන මෙම අරගල පීලිපන්වා යටපත්කර ධනපති පන්තිපාලනය ආරක්ෂා කිරීමට කොතෙකුත් නම් ද්‍රෝහීකම්වල යෙදී සිටිති. මෙම ද්‍රෝහිත්වය මනාව උපයෝගී කර ගන්නා ආන්ඩුව හා පාලක පන්තිය එය ප්‍රමානවත් නොවන බව වඩවඩාත් තේරුම් ගනිමින් සිටී. මිලිටරිය හා පොලීසිය තර කරමින් පොලිස් පාලනයක කොන්දේසි නිර්මානය කරන්නේ මෙම තත්වය තුලයි.

කම්කරුවන්, තරුනයන් හා ප්‍රගතිශීලී බුද්ධිමතුන් මෙම වර්ධනයන්ගේ අන්තරාය ගැන බැරෑරුම්ව අවධානයට යොමුකල යුතුය.

මෙම අන්තරාය පරාජය කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය මත පදනම්ව ලංකාව තුල සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගෙවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා කම්කරු පන්ති නායකත්වයෙන් ස්වාධීන සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් ගෙඩනැගීමෙනි. සමාජවාදී සමානතා පක්ෂය ද සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධනය ද මෙම වැඩපිලවෙල සඳහා සටන් කරයි.

සමන් ගුනදාස සහ කේ. රත්නායක විසිනි

Share this article: