නව වටයක සිසු මදර්නයකට අර අදිමින්, විශ්වවිද්‍යාල තුල “අන්තවාදීන්ට ඉඩ නොදෙන” බවට ජනාධිපති ශපථ වෙයි

කපිල ප්‍රනාන්දු විසිනි, 2018 සැප්තැම්බර් 12

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා පොලොන්නරුවේ දී පැවති උත්සවයක් අමතමින්, “විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක අන්තවාදී දේශපාලන කන්ඩායම්වලට ආන්ඩුව ඉඩ නොදෙන බව” ප්‍රකාශ කලේ ය.

සිරිසේනගේ මෙම ප්‍රකාශය, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහි වන ඕනෑම ශිෂ්‍ය සංවිධානයක් හෝ එයට නායකත්වය දෙන දේශපාලන පක්ෂයක් අන්තවාදී ලෙස නම්කොට දඬු ගැසීම එල්ල කොට ගත් එකකි. එමෙන්ම එය විශ්ව විද්‍යාල තුලට පමනක් නොව අනෙක් ඕනෑම ක්ෂේත්‍රයකට යොදාගත හැකි ක්‍රමවේදයකි.

1990 ගනන්වල නවක වද පනත සම්මත වූවත් බලයට පැමිනි සෑම ආන්ඩුවක් විසින්ම එම පනතේ නීති ක්‍රියාවට නංවා ඇත්තේ සුලු වශයෙන් වුවද, විශ්වවිද්‍යාල හා නීති බලධාරීන්ට එම නීතිය මුලුමනින්ම ක්‍රියාවෙි යෙදවීමට තම ආන්ඩුව උපදෙස් දී ඇති බවත් එහිදී සිරිසේන වැඩිදුරටත් කියා සිටියේ ය. සිරිසේන ප්‍රධාන ඇමති ධුරයක් දැරූ මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් මෙම රුදුරු නවක වද පනත ගෙන එනු ලැබුවේ ශිෂ්‍යයන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩීමේ අරමුනෙනි. සිරිසේනගේ අපේක්ෂාව වනුයේ එම පනත යටතේ රාජපක්ෂටත් එහා ගමන් කිරීමයි.

ඊයේ හම්බන්තොට පැවති තවත් උත්සවයක දී “නවක වදයට” එරෙහිව දෙමාපියන්, ගුරුවරුන්, බුද්ධිමතුන් පෙලගැසිය යුතු යයි සිරිසේන ප්‍රකාශ කලේ ය.

සිරිසේන ඇතුලු ආන්ඩුවට අවශ්‍යව ඇත්තේ ශිෂ්‍යයන්ට එරෙහි පොලීසි, හමුදා පමනක් නොව දක්ෂිනාංශික මැර කල්ලි කන්ඩායම් ද උසි ගන්වා ගැනීමයි. ආන්ඩුවේ මර්දනයකට පාර කපාදෙන ධනපති මාධ්‍ය කතුවැකි හා තවත් ලිපි ඒ සඳහා උඩගෙඩි දෙමින් සිටී. පසුගිය දා දිවයින කතුවැකියකින් කියා සිටියේ විශ්වවිද්‍යාල තුලට හමුදාව බැස්සවීමට කිසිවෙකුටත් විරුද්ධවිය නොහැකි බව සහ ආන්ඩුවේ නවක වදයට එරෙහි වැඩපිලිවෙලට විරුද්ධවන “කාලකන්නීන්ගේ කකුල් කපා දැමිය යුතු” බව යි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහි ආන්ඩුවේ මෙම උද්ඝෝෂනය සමස්ත කම්කරු පීඩිත මහජනයා මත දිගේලි කරමින් යන පොලිස් මිලිටරි රාජ්‍ය සැලසුම්වල කොටසකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවරයන් තීව්‍ර කර ඇති ආන්ඩුව මුහුන දී ඇත්තේ වර්ධනය වන කම්කරු පන්තික සටන්වලටයි. වැටුප් වැඩි කිරීම, පෞද්ගලීකරනය නතර කිරීම වැනි පොදු ඉල්ලීම් මුල් කර ගෙන පසුගිය මාස කිහිපයේ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ, පාසල් ගුරුවරු සහ තැපැල්, දුම්රිය, විදුලිබල, ජල සම්පාදන, ලංගම ඇතුලු අංශ ගනනාවක කම්කරුවෝ වර්ජනවල නිරත වූහ. වෘත්තීය සමිති එම සටන් සියල්ල ආන්ඩුවේ බොරු පොරොන්දු මත පාවා දී තිබේ.

වෘත්තීය සමිති තම සටන් පාවා දුන්න ද තම සමාජ සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට නොකඩවා එල්ල වන ප්‍රහාර හමුවේ කම්කරුවෝ නැවත නැවතත් අරගලයට අවතීර්න වෙමින් සිටිති. ජනාධිපති සිරිසේනගේ හා ආන්ඩුවේ සූදානම කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ මෙම පන්ති සටන් තලා දැමීම සඳහා පොලිස්-මිලිටරි රාජ්‍ය සැලසුම් වේගවත් කිරීමයි.

මේ මස 07 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ඉදිරිදර්ශන ලිපිය තුල මිලිටරිය සම්බන්ධ තොරතුරු උසාවියට නොදෙන ලෙසට ජනාධිපති කල නියෝගයක දේශපාලන ගම්‍යයන් හෙලි කෙරින. එම නියෝගය මගින් “ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ය” යන කඩතුරාව යටතේ උසාවිවල විභාග වන නඩු වලට අදාල මිලිටරියේ සැකකාර නිලධාරීන් රටේ නීතියට අඩංගු නොවන විශේෂ ප්‍රවර්ගයක් බවට පත්කොට තිබේ.

2009 දී යුද්ධය අවසන් කිරීමෙන් පසුවත් රටේ වැඩිම වියදම් “ආරක්ෂක” අංශය වෙනුවෙන් වෙන් කෙරෙන අතර එය අධ්‍යාපන හා සෞඛ්‍යය යන අංශ දෙකෙහිම ඒකාබද්ධ පිරිවැයට වඩා වැඩි ය. ආන්ඩුව වසරින් වසර කඳුලු ගෑස් හා ජල විදින යන්ත්‍ර ඇතුලු කැරලි මර්දන ඒකකවලට අවශ්‍ය නවීන ආයුධ ගෙන්වීම සඳහා මිලියන ගනනින් වැය කරමින් සිටී. සෑම අංශයක් තුලටම මිලිටරියේ අතපෙවීම වේගවත් කර ඇති අතර ආන්ඩුව මුහුන දී සිටින දේශපාලන අර්බූදය සහ පන්ති අරගල තත්වය හමුවේ එය වඩ වඩා මිලිටරිය මත යැපේ.

සිරිසේන, තමා හා ආන්ඩුව විවේචනය කරන්නාවූ සමාජ මාධ්‍යයන්, වෙබ් අඩවි හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වලට එරෙහිව ජුනි මාසයේ දී කඩා පැන්නේ බොරු ආරංචි පැතිරවීම, පවුල් අගයන්ට හානි කිරීම, වාර්ගික සාමය කඩ කිරීම හා අපරාධ පැතිරීම වැනි දෑ සිදු වන්නේ යැයි හුවා දක්වමිනි. ගූගල් සමාගමේ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වූ ආන්ඩුව, ඇමරිකා එක්සත් ජනපදයේ හා ලෝකයේ බොහෝ රටවල සහචර ආන්ඩු දැනටමත් ක්‍රියාවට නගා ඇති අන්තර්ජාල හා ෆේස්බුක් වාරනය ලංකාව තුල ක්‍රියාවට නැගීමට පියවර ගනිමින් සිටී. කම්කරුවන් ඒකාබද්ධවීම මෙන්ම තම අරගලවලට අවශ්‍ය දේශපාලනික ඉදිරිදර්ශන පිලිබඳව ඔවුන් දැනුවත්වීම වැලකීම මෙහි අරමුනයි.

මරන දන්ඩනය ලබාදිය යුතු වැරැදි ලැයිස්තුව සිරිසේන විසින් දිගු කරමින් සිටී. 05 දා පාර්ලිමේන්තුවේ දී ඔහු කියා සිටියේ මහජන මුදල් හා දේපල අවභාවිතය සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ද මරන දඬුවම ක්‍රියාත්මක කල යුතු බවයි. මත්ද්‍රව්‍ය වෙලඳාම සහ දූෂන වලට පමනක් නොව තවත් බොහෝ කාරනා වලට මරන දන්ඩනය පැනවිය හැකි අතර “අන්තවාදී” චෝදනාව ද ඉන් එකකි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහි මෙම උද්ඝෝෂනය තුල ආන්ඩුවේ උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ කාර්යයක් ඉටු කරයි. “මේ රටේ ලොකුම පාතාලය තියෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේ. මේ අය තරම් ත්‍රස්තවාදීන් ඉතින් තවත් ඉන්නවාදැ”යි ඔහු පසුගිය දා ප්‍රශ්න කලේ ය. පසුගිය සතියේ ඇමරිකාවේ නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ පැවති “සංස්කෘතිය සහ සාමය” පිලිබඳ විශේෂ සාකච්ඡාවක දී යුද්ධය අවසන් වී ඇතත් “ශ්‍රී ලංකාව තවමත් ප්‍රචන්ඩ අන්තවාදයට, සංක්‍රමනික, සරනාගත හා අසමානතාවයට” මුහුන දී සිටින බවත් ඒවා පිටුදැකීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීත්වයෙන් කටයුතු කිරීමට ආන්ඩුව සැදී පැහැදී සිටින බවත් රාජපක්ෂ පැවසීය.

ආන්ඩුවේ එල්ලය, සාමය ස්ථාපිත කිරීමේ මුවාවෙන් කම්කරු පන්තියට එරෙහිව රුදුරු ප්‍රහාරයක් දියත් කිරීමයි. ශිෂ්‍යයන්ට එරෙහි ප්‍රහාරය මගින් පෙර ඇඟවුම් කොට ඇත්තේ එයයි.

නවක වදය පිලිබඳ සංඛ්‍යා සහ දත්ත අතිශයෝක්තියට නගා ඇති ආන්ඩුව හා ධනපති මාධ්‍ය, බලයට පත් ආන්ඩු විසින් පසුගිය දශක කිහිපයේ විශ්වවිද්‍යාල හා පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සිදුකර ඇති කප්පාදූ හේතුවෙන් සිසුන් මුහුන දී ඇති තත්වය යට ගසයි. දේශන ශාලා නොමැතිකම, ආචාර්ය හිඟය සහ සියයට 80 ක දේශනවලට සහභාගී නොවීම හේතුවෙන් පනවන විභාග තහනමට එරෙහිව හා තවත් සුභසාධන ප්‍රශ්න මුල් කර ගෙන මේ වන විට විශ්වවිද්‍යාල හා උසස් තාක්ෂන ආයතනවල ශිෂ්‍ය විරෝධතා ඇවිලී තිබේ.

ඉහල යන ජීවන වියදම යටතේ බොහොමයක් සිසුන් තම දෙමාපියන්ට බරක් නොවී අධ්‍යාපන කටයුතුවල වියදම් දරා ගැනීම සඳහා විවිධ අර්ධකාලීන රැකියාවල නිරත වී සිටී. විශ්ව විද්‍යාල නේවාසිකාගාර හිමි වන්නේ සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සියයට 30 කටත් අඩු සංඛ්‍යාවකටයි. නගරබද කාමරයක් සඳහා නේවාසික ගාස්තු රුපියල් 3000 ඉක්මවා ඇති අතර ආහාර, ගමනාගමන හා ලිපි ද්‍රව්‍ය සඳහා වියදම් දිනෙන් දින ඉහල යමින් තිබේ. සිසුන් අඛන්ඩව විරෝධතාවලට යොමුවූයේ මේ තතු තුලයි.

කෙසේ නමුත් ශිෂ්‍ය විරෝධතා සංවිධානය කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) සහ එයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් අධ්‍යාපනය දිනාගත හැකි ය යන බංකොලොත් ඉදිරිදර්ශනයකට සිසුන් සිර කිරීම මගින් ආන්ඩුවල කප්පාදුවට පාර කපා දී තිබේ.

සිය විරෝධතා දේශපාලනයට සිසුන් නතු කර ගැනීම සඳහා අවිශිබමය “නවක වදය” වැනි පසුගාමී ක්‍රමෝපායන් මත වාරු වී සිටී. “ශිෂ්‍ය දේශපාලනය” යන කඩතුරාව යටතේ ශිෂ්‍යයන්ට වෙනත් දේශපාලන අදහස් දැරීමේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය අහුරා ඇති අවිශිබමය සැබෑවටම ක්‍රියාත්මක වන්නේ ආන්ඩුවල ආධාරක උපකරනයක් ලෙසයි.

Share this article: