ඊනියා ජනබලය කොලඹට: දක්ෂිනාංශික ව්‍යාපාරයක් පෙරට ගැනීමේ තැතක්

කේ. රත්නායක විසිනි, 2018 සැප්තැම්බර් 10

ගිය බදාදා හිටපු ජනාධිපති රාජපක්ෂගේ නායකත්වයෙන් යුක්ත පාර්ලිමේන්තුවේ ‘ඒකාබද්ධ විපක්ෂය’ සහ ශ්‍රී ලංකා පොදු ජන පක්ෂය (පොජප) කොලඹ විරෝධතා ව්‍යාපාරයක් පැවැත් වූයේ එහි සංවිධායකයන් විසින් අඟවන පරිදි රටේ මහ ජනයාගේ ප්‍රශ්න ගැන සලකාගෙන නොවේ. වත්මන් ආන්ඩුවේ ප්‍රහාරයන්ට ලක්ව සිටින මහජනයා අතර වැඩෙන බරපතල විරුද්ධත්වය ගසාකා දක්ෂිනාංශික ව්‍යාපාරයක් තරකරගැනීමට ගෙන යන වැඩ කටයුතුවල කොටසක් හැටියට ය.

විපක්ෂයේ නායකයන් විවිධ පලාත්වලින් දෙලක්ෂයක් ජනයා කොලඹට ගෙන එන බවට පාරම්බෑ නමුත් ජනමාධ්‍යවල වාර්තා හා රාජ්‍ය ඔත්තු සේවාවන්ට අනුව ඊට සහභාගී වුයේ 75,000-60,000 අතර සංඛ්‍යාවකි.

ආන්ඩුව විරෝධතාකරුවන් ඇති කරන කලහකාරී තත්වයකට මුහුන දීම සඳහා යයි පොලිස් භටයන් 5000ක් කොලඹට කැඳවූ අතර සන්නද්ධ කැරලි මර්දන පොලීසිය ජල ප්‍රහාරක රථ ද සමග පෙල ගස්වා තබුනි. අඟහරුවාදා පැවති කැබිනට් සාකච්ඡාවේ දී කලහකාරී තත්වයක් ඇති වුව හොත් “තදින් සිටින ලෙස පොලීසියට උපදෙස් දීමට” තීන්දු කල බව වාර්තා විය. ආන්ඩුවේ ප්‍රධාන පෙලේ නායකයකු හා මුදල් ඇමති වන මංගල සමරවීර පොලීසිය යොදා කලබල කරන්නන් මැඩලන ලෙස ද” “අවශ්‍යනම් දනහිසින් පහලට ඩෙඩිතබන ලෙස” ද කැබිනට් රැස්වීමේදී යෝජනා කර තිබුනි.

කම්කරුවන්, ගම්බද දුගීන් හා තරුනයන් අතර කැකෑරෙන සටන්කාමීත්වය නිසා වෙව්ලුම්කා සිටින ආන්ඩුව ප්‍රතිවාදී විපක්ෂ කන්ඩායම්වල උද්ඝෝෂනයෙන් තැති ගෙන සිටි බව මින් පෙන්නුම් කෙරේ.

රෑ එලිවන තුරු විරෝධතාව ගෙනයන බව එහි සංවිධායකයන් ප්‍රකාශ කල ද සහභාගීවූවන් අතර කිසිදු උද්‍යෝගයක් දල්වාගැනීමට නොහැකිවූ තතු තුල මධ්‍යම රාත්‍රිය වන විට ජනයා විසිර ගිය බව වාර්තා විය. විරෝධතාවේ බංකොලොත්කම එය සංවිධානය කිරීමට මූලිකත්වය ගත් රාජපක්ෂගේ පුතෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ”දේශපාලන අපරිනත භාවය” නිසා සිදුවූ බව ද සන්ඬේ ටයිම්ස් ඇතුලු ඇතැම් පුවත්පත් හුවා දක්වයි.

කෙසේ වුවද කම්කරුවන් හා තරුනයන් විරුද්ධ පක්ෂයේ ව්‍යායාමය ද අන්ඩුවේ සූදානම ද කිසිසේත්ම ලිහිලින් නොගත යුතු ය. ආන්ඩුව හා විපක්ෂය අතර මොන උපායික මතභේද තිබුනත් දෙපාර්ශවයම කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව සිටින ධනපති පන්තියේ කන්ඩායම් ය.

විරෝධතා රැස්වීමේදී කථා කල හිටපු ජනාධිපති රාජපක්ෂ “වර්තමාන ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරමින් රට ඒකාධිපතිත්වය කරා ගෙන යනවා” යයි චෝදනා කලේ ය. උද්ඝෝෂනයේ ඉල්ලීම් අතර මූලික වූයේ “මහා මැතිවරනයක් වහා පවත්වනු යන්න හා” “විශේෂ උසාවිය මගින් දේශපාලන දඩයම නතර කරනු” යන්නය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව වඩාවඩාත් පොලිස් විධික්‍රම යොදාගනිමින් සිටින බව සත්‍යයකි. එහෙත් රාජපක්ෂ හෙලන්නේ කිඹුල් කඳුලු ය.

කෙටියෙන් ගතහොත් ඔහුගේ දශකයක පාලනයේ වාර්තාව ලියවී ඇත්තේ මෙලෙස ය: දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊය) එරෙහි යුද්ධය යලි අරඹා දෙමල ජනයා දහස් ගනන් ඝාතනය කර එය අවසන් කිරීම; කම්කරුවන්ගේ දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල මැඩීමට පොලිස් මිල්ටරි බලය යෙදීම; ගෝලීය මූල්‍ය අර්බුදයෙන් හා අධික ආරක්ෂක වියදම්වල බරින් ගැඹුරු වූ ආර්ථික ප්‍රශ්නවල බර මහජනයා මතින් යවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග ක්‍රියාවට දැමීම.

රාජපක්ෂ ඇතුලු කන්ඩායමේ උද්ඝෝෂන ව්‍යාපාරය කැරකෙන්නේ මහමැතිවරනයක් ඉල්ලීම හා ඒකාධිපති පියවරට විරුද්ධවීම වටා ය. මේ ව්‍යාපාරය බඩු මිල ඉහල දැමීම ජීවන කොන්දේසි මැඩීම ගැන කථා කරතොත් ඒ ඉඳහිට කෙරෙන්නකි.

මෙම විරෝධතාවයේ දී පෙන්නුම් කෙරුනු පරිදි, ජාමුඅ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමමින් ආන්ඩුව සමාජ හා ජීවන අයිතීන් ට එරෙහිව එකඑල්ලේ ගෙනයන ප්‍රහාරය ගැන කතා නොකිරීමට රාජපක්ෂ ප්‍රමුඛ කන්ඩායම වගබලාගෙන ඇත. කම්කරුවන්ගේ වර්ජන හා සිසුන්ගේ උද්ඝෝෂන මැඩීමට පොලිස් ප්‍රහාර එල්ල කිරීම ගැන ඔවුන් නිහඬ ය.

උතුරේ ජනයා කුරිරු යුද්ධයෙන් සිදුවූ විනාශයන්ගෙන් අත් මිදීමට හා තම සමාජ කොන්දේසි නගා සිටුවා ගැනීමට ගෙනයන උද්ඝෝෂනවලට විරුද්ධව මෙම කන්ඩායම හඬ තලන්නේ එය එල්ටීටීඊය හිස එසවීමක් ලෙස හංවඩුගසමින් ආන්ඩුව ඒවා තලා දැමීමමට පියවර නොගන්නේ යයි චෝදනා කරමිනි.

මෙවර උද්ඝෝෂනයේ දී රාජපක්ෂ ප්‍රමුඛ කල්ලිය “ආන්ඩුව රට බෙදීමට ව්‍යවස්ථාවක් සකස්කරන්නේ යයි” ප්‍රකාශ කරමින් දෙමල විරෝධී වර්ගවාදය ඇවිස්සීමට එය අවස්ථාවක් කර ගත්තේ ය. ඔවුන්ගේ මෙම බොරු ඝෝෂාව සිදුවන්නේ අලුත් ව්‍යවස්ථාවක් මගින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නේ යයි ප්‍රකාශ කරමින් බලය ගත් සිරිසේන හා වික්‍රමසිංහ එම පොරොන්දුව කුනු කූඩයට දමා ඇති තත්වයක ය.

2015 ජනවාරි 8 දා ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ පෙරලාදැමුනේ ඔහුගේ ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් මැඩීමට එරෙහිව පැනනැගී තිබූ විරෝධය සිරිසේන බලයට ගෙන ඒමට හරවා යැවීමෙනි. “යහ පාලනය” ද සමාජ අයිතීන් තහවුරු කිරීමට ද සිරිසේන යටතේ පිහිටුවනු ලබන ආන්ඩුවකින් පියවර ගන්නේ යයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන, දෙමල ජාතික සන්ධානය හා ව්‍යාජ වම්මු වංචනික ව්‍යාපාරයක් ගෙන ගියේ ය.

මෙම තන්ත්‍ර මාරුවේදී තිරයට පිටුපසින් පැවතියේ වොෂින්ටනයේ හස්තයයි. රාජපක්ෂ ආන්ඩුව විසින් ලංකාව බෙයිජිනයට සමීප කිරීම නවත්වා, චීනය තම ආධිපත්‍යයට යට කර ගැනීම සඳහා ගෙනයන රාජ්‍ය තාන්ත්‍රික හා මිල්ටරි වැඩකටයුතුවල කක්ෂයට ගැනීම එක්සත් ජනපදයේ ඉලක්කය විය.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට පැමින අවුරුදු 4 කට ආසන්න ය. එය ජාමුඅ අත්ගෙඩියක් ලෙස කම්කරුවන් හා දුගීන්ගේ අයිතීන් කප්පාදු කිරීමට හා ඊට එරෙහිව නැගෙන අරගල මැඩීමට පොලිස් විධික්‍රම යොදාගනිමින් සිටී. පසුගිය මාස දුම්රිය, විදුලි, තැපැල්, ජල, සරසවි හා වතු කම්කරුවන්ගේත් සිසුන්ගේත් උද්ඝෝෂනවලින් ඇලලී ගියේ ය.

ආන්ඩුව සමිති නායකයන්ගේ උදව් හා පොලිස් මැඩලීම් උසිගන්වමින් ක්‍රියා කල ද ධනපති පන්තිය ඒ ගැන සෑහීමකට පත්ව නැත. විශාල සමාජ පිපිරීමක් සිදුවෙතැයි ගනන් බලන ඔවුහු ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටිති.

පසුගිය මාසයේ අග ජාත්‍යන්තර වෙලඳ මන්ඩලය (ශ්‍රී ලංකා) කැඳවූ සාකච්ඡාවකදී ලංකාවේ ඉහල පෙලේ ව්‍යාපාරිකයෝ තමන්ට පනවා ඇති බදු ගැන අප්‍රසාදය පල කල අතරම ආර්ථිකය ද වෙලඳපල ද මුලුමනින්ම ලිබරලීකරනය කරන ලෙස ද ඉල්ලා සිටියහ. ඇක්සස් සමූහයේ සභාපති සුමල් පෙරේරා එවන් ප්‍රතිසංකරනයන් ක්‍රියාවට දැමීමට නම් “බලවත් නායකත්වයක්” අවශ්‍ය යයි පවසමින් මෙසේ ද සඳහන් කලේ ය. “අපට ඕනෑ බලවත් නායකත්වයක්; අපට අවශ්‍යවන්නේ ආඥාදායකයෙක්. පක්ෂ දෙකක් අද පාලනය ගෙන යතත් ඉන් එකක් වත් [බලවත්] තීන්දු ගන්නේ නෑ”

වර්ගවාදී යුද්ධය යොදා ගනිමින් අධිපතිවාදී පාලනයක් ගෙනගිය රාජපක්ෂ ප්‍රමුඛ කන්ඩායම වත්මන් ආන්ඩුවේ අස්ථාවරත්වය ගැන ද පාලක පන්තියේ වැඩෙන අප්‍රසාදය ගැන ද හොඳින් කන් දී සිටියි. රටේ ආන්ඩුවක් නැතැයිද ආන්ඩුවට වැඩ බැරි යයි ද රාජපක්ෂ කන්ඩායම ප්‍රකාශ කර සිටී. පසුගිය පෙබරවාරි මාසයේ පලාත්පාලන මැතිවරනයේ දී පොජපෙ වැඩි ආයතන ගනනාවක් දිනා ගැනීමෙන් පසු රාජපක්ෂ මෙසේ පැවසීය: “ලංකාවේ මහජනයාට අප ආපසු බලයට ඒම අවශ්‍යව ඇති බව පැහැදිලි ය. 2015 ජනවාරි සිට මේ රටේ පැතිරී ඇති අවුල් තත්වය අවසන් කිරීමට ඔවුන්ට උවමනා ය” (ද හින්දු).

මහ ජනයාගෙන් බොහෝ දෙනා පොජපෙට චන්දය දුන්නේ රාජපක්ෂ පාලනයක් ගැන කැමැත්තකින් නොව ආන්ඩුවට අප්‍රසාදය පලකිරීම සඳහා ය. එසේ වතු දු ආන්ඩු කෙරෙහි මහජනයා අතර ඇති අප්‍රසාදය ගසාකා බලයට පැන ගැනීමට රාජපක්ෂ අධිෂ්ඨාන කර ගෙන සිටී. බෞද්ධ සංඝ සංස්ථාපිතය, සිංහල වර්ගවාදී නඩ රැලිකරගෙන සිටින ඔහු මිලිටරියේ කොටස් දිනා ගැනීමට ද මාන බලයි. තමන්ගේ පරාජයට තුඩුදුන් සමාජ පිපිරීම් සහගත තත්වය තවත් ගැඹුරු වී ඇති බව දන්නා රාජපක්ෂ ක්‍රියාත්මකවන්නේ එය තලා දැමීම සඳහා බලයට පැනගැනීමට ය.

2015 ජනාධිපතිවරනයේ දී සිරිසේන බලයට ගෙන ඒමට උදව් දුන් ව්‍යාජ වම්මු දැන් රාජපක්ෂගේ මෙම ව්‍යාපාරය ශක්තිමත් කිරීමට කොන්දේසි නිර්මානය කරති. ඉන් එක් අයෙක් වන්නේ නව සම සමාජ නායක වික්‍රමබාහු කරුනාරත්නය.

විපක්ෂයේ විරෝධතාව හෙලා දුටු කරුනාරත්න අනෙක් අතින් ආන්ඩුවේ ආරක්ෂකයා ලෙස පෙනී සිටිමින් ප්‍රකාශ කලේ එය රාජපක්ෂ පාලනයේ යටතේ “ම්ලේච්ඡයන්ගේ දේශය” “මනුෂ්‍යයන්ගේ දේශයක්” බවට පත් කර ඇති බවයි.

සිවිල් සංවිධාන එකතුව නම් වූ තවත් වේදිකාවක නායකයෙක් වන චමීර පෙරේරා ප්‍රකාශ කලේ විරෝධතාවයෙන් රාජපක්ෂ කන්ඩායමේ බංකොලොත්කම එලිදරව්වී ආන්ඩුවට “පිච්එක සකස්වී ඇති නිසා” ඔවුනට එරෙහි තදින් පියවර ගන්නා ලෙස යි.

මෙම වාම වෙස් ගත්තවුන් මහජනයාගේ අයිතීන්ට බරපතල ප්‍රහාර එල්ල කරන ආන්ඩුව ආරක්ෂා කරමින් යෙදී සිටින්නේ සිරිසේන-වික්‍රමසිංහ පාලනයට ද රාජපක්ෂගේ ව්‍යාපාරයට ද එරෙහිව කම්කරු පන්තියේ නායකත්වයෙන් දුගීන් හා තරුනයන් බලමුලු ගන්වන ස්වාධීන සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් ගෙඩනැගීම වැලැක්වීමට ය.

කම්කරුවන්, දුගීන් හා තරුනයන්ට එල්ලවන ප්‍රහාරවල මූලය ධනපති ක්‍රමයේ අර්බුදයයි. එවන් ප්‍රහාරවලට එරහිව ජාත්‍යන්තරව ම කම්කරුවන්ගේ අරගල පුනර්ජීවනයවෙමින් ඇත.

ලංකාවේ කම්කරුවන් තම ජාත්‍යන්තර සගයන් සමග එකමුතුව ගොඩනගා ගනිමින් ධනවාදය පෙරලා දමා සමාජවාදය තහවුරු කිරීමට සටන් කල යුතුය. ලංකාව තුල ඉන් අදහස් වන්නේ, එම ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙස සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් කිරීමයි.

කම්කරුවන්ගෙන්, සිසුන් ඇතුලු තරුනයන්ගෙන් හා ප්‍රගතිශීලී බුද්ධිමතුන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය (සසජාතශි) ඉල්ලා සිටින්නේ දේශපාලන තත්වයේ වර්ධනයන්ගෙන් මෙම අවශ්‍ය නිගමන උකහා ගන්නා ලෙසයි; විප්ලවවාදී පක්ෂ පුලුල්ව තහවුරු කිරීමට සසපට හා සසජාතශි ව්‍යාපාරයට බැඳෙන ලෙසයි.

Share this article: