මාක්සවාදී ඉතිහාසඥ සහ සමාජ විද්‍යාඥ වඩිම් රොගොවින් අභාවයෙන් විසි වැනි වසර

Twenty years since the death of Marxist historian and sociologist Vadim Rogovin

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2018 සැප්තැම්බර් 18

වඩිම් සඛාරොවිච් රොගොවින්

රොගොවින්ගේ ශ්‍රේෂ්ඨතම කර්තව්‍යයන් කුලුගැන්වුනේ සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීමෙන් පසුව ය. 1992 මුල දී ඔහු සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ ස්ටැලින්වාදී පරිහානියට එරෙහිව ලියොන් ට්‍රොට්ස්කි විසින් නායකත්වය සම්පාදනය කල විප්ලවවාදී මාක්ස්වාදී විපාර්ශවය පිලිබඳව වෙලුම් හතක ඉතිහාසයක් බවට පත්වූ විස්තීර්න කර්තව්‍යය ආරම්භ කලේ ය.

1923 සිට 1940 දක්වා කාල වකවානුව ආවරනය කෙරුන රොගොවින්ගේ ‘විකල්පයක් පැවතියේ ද’ ලේඛනය ඓතිහාසික බහුශ්‍රැතතාවය පිලිබඳ අතික්‍රමනය කල නොහැකි, ස්ටැලින්වාදී නිලධාරි තන්ත්‍රය ගැන අත්‍යවශය සහ ඔක්තෝබර් විප්ලවයේ මූලධර්ම හා ක්‍රියාමාර්ගය පාවාදීමට එරෙහිව ගැඹුරට මුල් බැසගත් සමාජවාදී විපාර්ශවය පිලිබඳ අතිශයින් වැදගත් ප්‍රතිපදානයකි. 1929 සෝවියට් සංගමයෙන් ට්‍රොට්ස්කි පිටුවහල් කිරීමෙන් පසුවත් ඔහු කෙරෙහි පැවති දැවැන්ත ජනප්‍රියත්වය ලේඛනගත කල රොගොවින් 1930 ගනන්වල දී ස්ටැලින්ගේ ලේවැකි ත්‍රස්තයේ මූලික අරමුන වූයේ ට්‍රොට්ස්කිගේ දේශපාලන බලපෑම අකාමකාදැමීම බව තහවුරු කලේ ය.

සෝවියට් සංගමය 1991 විසුරුවාහැරීමට පෙරාතුව පැවති අතිශය දුෂ්කර කොන්දේසි යටතේ ස්ටැලින්වාදය පිලිබඳ සමාජවිද්‍යාත්මක විශ්ලේෂනයක් සම්පාදනය කිරීම පිනිස බොහෝ වසර ගනනාවක් රොගොවින් වැඩ කරමින් සිටියේ ය. ඔහුගේ වෘත්තීය ජීවිතයේ වැඩි කාලයක් ඔහු මොස්කව්හි පිහිටි සමාජවිද්‍යා ආයතනයේ ශාස්ත්‍රාලිකයෙක් විය. සමාජවිද්‍යාව පිලිබඳ නිපුනත්වයක් ලබාගැනීමට ඔහු යොමු වූයේ සෝවියට් සමාජය තුල සමාජ ස්තරනයේ ගැටලු සම්බන්ධව අධ්‍යයනය කිරීමේ හා ලිවීමේ මාවතක් සොයාගැනීමේ අභිලාශය ඇතිව ය. ජීවන ක්‍රමයන්හි හා පරිභෝජන අසමානතාවයන්, සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ ශ්‍රම නිශ්පාදිතය පිලිබඳ ගැටලු වල සමාජ හා දේශපාලන මූලයන් සහ සමාජ සාධාරනත්වයේ අර්ථය සම්බන්ධව ඔහුගේ පර්යේෂනයන් යොමු විය.

ප්‍රමුඛ සඟරා සහ මාධ්‍යවල පුලුල්ව පල කෙරුන සමාජවිද්‍යාව සඳහා කෙරුන රොගොවින්ගේ ප්‍රතිපදානයන් මෙවැනි මතෘකා වලින් යුක්ත විය. “Justice as a Social-Philosophical and Socio-Economic Category” [“සාධාරනත්වය සමාජ-දාර්ශනික සහ සමාජ-ආර්ථික ප්‍රවර්ගයක් ලෙස”] (1982),“The Human Factor and the Lessons of the Past” [“මානව සාධකය සහ අතීතයේ පාඩම්”] (1984) සහ “On Social Benefits and Privileges” [“සමාජ ප්‍රතිලාභ සහ වරප්‍රසාද”] (1989). එකල සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය තුල හා බටහිර ශාස්ත්‍රාලිකයන් විසින් පවා පුලුල්ව පිලිගැනුනු සාධකයක් වූ සමානාත්මතාවය ආරක්ෂා කිරීම කෙරෙහි ඔහුගේ විවෘත කැපවීම නිසා ඔහු පෘථුල ජනප්‍රියත්වය ක් හිමිකර ගත්තේ ය.

ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී ඉතිහාසඥයා සහ සාමාජවිද්‍යාඥයා සමග 1992-1998 අතර ඉතා සමීපව වැඩකල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් වඩිම් රොගොවින් පිලිබඳව කරන ලද ප්‍රනාමයන් දෙකක් අපි මෙහි පල කරමු. පලමු වැන්න 1997 මැයි මාසයේ රොගොවින්ගේ 60 වන උපන්දිනයේ දී මොස්කව් හිදී කරන ලදී. දෙවැන්න ඉදිරිපත් කරන ලද්දේ ඔහුගේ 65වන උපන්දිනය සලකුනු කෙරුන 2002 මැයි මාසයේ මොස්කව් වල ම පැවති අනුස්මරන රැස්වීමක දී ය.

රුසියානු මාක්ස්වාදී ඉතිහාසඥ වඩිම් රොගොවින්ට උපහාර , 1997 මැයි 12

ඔහුගේ හැට වන ජන්ම දිනය අවස්ථාවේ දී වඩිම් රොගොවින් වෙත, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තතර කමිටුවේ ද එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ද සුභ පැතුම් ගෙන ඒම මහත් ගෞරවයට මෙන් ම මහත් සන්තෝෂයට ද කාරනාවකි. මෙම අවස්ථාවේ දී වඩිම්ගේ සහෝදරවරුන් හා මිතුරන් ලොව නන් දෙසින් මොස්කෝවට පැමින ඇත යන කාරනාව මගින් පෙන්නුම් කෙරෙන්නේ, ඓතිහාසික සත්‍යය සඳහා වූ ඔහුගේ අරගලය මගින් පොලඹවනු ලැබූ හා පෙරට තල්ලු කෙරුනු, කම්කරුවන්ගේ, සිසුන්ගේ හා බුද්ධිමතුන්ගේ ජාත්‍යන්තර ශ්‍රාවකත්වයක් විසින් ඔහුගේ වැඩ කටයුතු හා ජීවිතය අති මහත් ලෙස අගය කරනු ලැබීම යි.

මෙම උපහාරය සංවිධානය කරන ලද්දේ වසර බොහෝ ගනනක් තිස්සේ වඩිම් රොගොවින් සමග වැඩ කර ඇති ඔහුගේ සගයන් හා මිතුරන් විසින් ය යන කාරනාව මට වැටහේ ඔබ අතරින් වඩිම් සමග වැඩ කිරීමේ වාසනාව හා භාග්‍යය ලැබී ඇති අය -ඔහුගේ බුද්ධිමය අතිවිශේෂබලය, ඔහුගේ දැනුමේ විස්මය ජනක පුලුල් බව, මානසික ශ්‍රමය සඳහා ඔහුට පවතින අවසන් විය නොහැකි සේ පෙනෙන ධාරිතාව, ඔහුගේ චින්තනයේ කථනයේ හා ලේඛනයේ පවතින විස්මය ජනක චතුර බව හා වඩාත්ම සිත් කාවදින සුලු වන, බාධාවන් ඉදිරියේ ඔහුගේ ශාරීරික හා සදාචාරමය ධෛර්යය, ඔහුගේ චරිතයේ උදාරත්වය සහ ඔහුගේ හදවතේ යහපත් කම- අගය කරන බව මට විශ්වාසය. ඔහුගේ වැඩකටයුතුවල හා අදහස්වල සමහර අංග සමග සමහර විට එකඟ නො වන සමහරෙක් සිටිය හැකි වුවත්, වඩිම් රොගොවින් වානාහි විශේෂ මිනිසෙක් ය යන්න ප්‍රතික්ෂේප කරනු ඇති එකදු පුද්ගලයකු වත් අද මෙහි නැත.

එහෙත්, මෙම සුප්‍රසිද්ධ හා ගෞරවනීය ආයතනයේ සාමාජිකයන් අද අප උපහාර දක්වන ජීවිතයේ අර්ථභාරය මුලුමනින්ම අගය කරන්නේ දැයි යන්න දැන ගැනීමට මා කැමැත්තෙන් සිටින බව මට නො කියා බැරි ය. මෙසේ පැවසීමේ දී මට වැටහෙන පරිදි බොහෝ දෙනෙකු වඩිම්ගේ සමීපතම මි.තුරන් වන මෙම ආයතනයේ සාමාජිකයන්ට මොනම ආකාරයේ අගෞරවයක් කිරීම මගේ අභිප්‍රාය නො වේ.

ඔබට නිසැකව ම හුරු පුරුදු මෙවන් කියමනක් තිබේ; අනාගත වක්තෘවරයෙක් තමන්ගේ ම රට තුල දී ගෞරවයට ලක් නොවේ. මෙම කියමන මගේ මතකට නැගුනේ වඩිම් රොගොවින්ගේ ජීවිත කෘත්‍යය පිලිබඳව සැලකූ විට ය. සමකාලීන රුසියාවේ බුද්ධිමය හා දේශපාලන ජීවිතය තුල ඔහුගේ තත්වයේ පවතින අසීරුභාවය, සංකීර්නත්වය හා විරෝධාභාෂයන් පිලිබඳ අදහස් දැක්වීමක් ලෙස පමනක් නො ව, එය පැරනි සෝවියට් සංගමයේත් එහි බිඳ වැටීමෙන් පැනනැගි සමාජයේත් ඛේදජනක ස්වභාවය සංක්ෂිප්ත කොට දක්වන්නේ ය යන්න ද හේතු කොට ගෙන ය.

පසුගිය දශකය මුලුල්ලේ මෙහි සිදු වී ඇති සියලු කම්පන සහගත වෙනස්කම් තිබියදී ම, එක දෙයක් වෙනස් වී නැත: එනම්, ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම දේශපාලනික හා බුද්ධිමය චරිතයන්ගෙන් එකක් වූ ලෙව් ඩෙවිඩොවිච් ට්‍රොට්ස්කිගේ ජීවිත කෘත්‍යයට හා චින්තනයට උපහාර පුදනු තබා එය හඳුනාගැනීමට පවා අපොහොසත්ව ඇති රටක් ලෙස මේ රට තවමත් පවතී ය යන කාරනාව යි.

වඩිම් රොගොවින් වනාහි ඓතිහාසික සත්‍යය පිලිබඳ වක්තෘවරයෙකි. අන් සියලු වක්තෘවරුන් මෙන්, ඔහු තමා ජීවත්වන සමාජයට අභියෝග කරන්නේ හා ප්‍රතිමුඛ කරන්නේ, එම සමාජය මග හැරීමට හෝ නොතැකීමට කැමති අසීරු ප්‍රශ්නවලිනි. තම සමකාලීනයන් ඉදිරියේ වඩිම් තබා ඇති දැවැන්ත ඓතිහාසික ප්‍රශ්නය මෙයයි: “ස්ටැලින්වාදයට විකල්පයක් පැවතියේ ද?” සෝවියට් ඉතිහාසය පිලිබඳ ප්‍රගාඪ ආයතනයක පදනම මත, ඔහු අවධාරනය කරන්නේ, එවන් විකල්පයක් පැවති බවයි: ස්ටැලින්වාදය වනාහී ඔක්තෝබර් විප්ලවයේ නොවැලැක්විය හැකි ප්‍රතිඵලය වත් අවශ්‍ය ප්‍රතිඵලය වත් නොවන බවයි. ස්ටැලින්වාදය නියෝජනය කලේ ඔක්තෝබර් විප්ලවයේ පාවා දීම හා නිෂේධනය බවයි. වක්තෘවරයෙකු ලෙස වඩිම් ගැන සඳහන් කිරීමේදී තමා ජීවත්වන ලෝකයේ දිනපතා කාර්යයන් උවමනාවන් හා ප්‍රීතිජනක දේවල් නොතකන හා ඒවායෙන් වෙන් වූ ඉතා චාම් හා ප්‍රීතිය ප්‍රතික්ෂේප කරන මුනිවරයෙකුගේ ප්‍රතිරූපය ආරූඪ කිරීම මගේ අභිප්‍රාය නොවේ. වඩිම්ව දන්නා කිසිවෙකුට තාපස ලෙනක් තුල ඔහුව සිතින් මවා ගත නොහැකිවනු ඇත. ඔහු වනාහී ආනන්ද ජනක මිනිසෙකි. අයිස්ක්‍රීම්වලට හා ලස්සන සෑම දෙයකට ම ලැදි පුද්ගලයෙකි. ආවේශී විසිතුරු නරඹන්නෙකි. උද්‍යෝගිමත් කුතුහලයකින් යුක්තව ජීවිතය වින්දනය කරන සහ කාව්‍යයන්ට හා සගයන්ගේ ද මිතුරන්ගේ ද සමාගමයට ආස කරන මිනිසෙකි.

නමුත් සත්‍යය සොයා යාම ඔහුගේ ජීවිතය තුල ඔහු ආධිපත්‍යය දරන ආශාව යි. වඩිම් රොගොවින් එතරම්ම සුවිශේෂ පුද්ගලයකු බවට පත් කරන්නේ ඔහුගේ බුද්ධිමය හා සදාචාරමය ස්වභාවයේ මෙම මූලික අංගය යි. අප අද ජීවත් වන්නේ, සත්‍යය සම්බන්ධයෙන් එය දක්වන ආකල්පය මගින් පොන්ටියාස් පිලාතේගේ එම ආකල්පය මතකයට නංවන, අවපථ වූ හා ආකුල-ව්‍යාකුල ලෝකයක ය. තමන් ලෝකයට බිහිවී ඇත්තේ සත්‍යය වෙනුවෙන් සාක්ෂි දැරීමට බව එක්තරා කීර්තිමත් සිරකරුවකු පොන්ටියාස් පිලාතේට පැවසූ විට, තරමක් නරුම ලෙස පිලාතේ පිලිතුරු දුන්නේ මෙසේ ය: “ඉතින්, මොකක් ද සත්‍යය කියන්නෙ? ”

පිලාතේ බලාපොරොත්තු වූයේ මෙසේ කීමට ය: ප්‍රායෝගික හා සාර්ථක මිනිසෙකුට එවන් වියුක්ත ගැටලුවක් සම්බන්ධයෙන් කරදර වීම අවශ්‍ය නොවේ; කොහොම නමුත්, සත්‍යය පිලිබඳ අර්ථ දැක්වීම, දවසේ අවශ්‍යතාව සමග වෙනස් වන හුදෙක්ම පුද්ගලික කාරනාවකි. වසර 2000ක් ගත ව ඇති නමුත් රෝමානු නිලධරයාගේ තත්කාර්යවාදී දෘෂ්ටියට තව මත් බොහෝ අනුගාමිකයන් සිටී. සෑම දිශාවකින්ම අපට ඇසෙන්නේ මෙවන් කතාවකි: වෛෂයික සත්‍යය යනු මිරිඟුවකි.ඉසිලීමට දුෂ්කර දාර්ශනික නිර්මානයකි. හේතුයුක්තියේ බලය පිලිබඳ මෝඩ විශ්වාසය සමග බුද්ධිප්‍රබෝධයේ චින්තනයේ බොලඳ ආටෝපයකි - එය නොමැතිව මිනිසා වඩා පොහොසත් වනු ඇත.

සෝවියට් සංගමයේ ඉරනම සත්‍යය ගවේශනය සම්බන්ධයෙන් පවතින මෙම සාවඥ ආකල්පයේ ඉතා බලගතුම නිෂ්ප්‍රභාකරනය සොයා ගත හැක්කේ, සෝවියට් සංගමයේ හා සමකාලීන රුසියාවේ ඉරනම තුල ය. මෙම රට තුල අප දකින්නේ ඉතිහාසය ක්‍රමානුකූලව මුසාවාදකරනය කිරීම තුල සංකේන්ද්‍රනය වූ, වෛෂයික සත්‍යය මැඩීමේ භයංකර ප්‍රතිවිපාකයන් ය.

රුසියාවෙන් පිටත ජීවත් වන්නකු ලෙස, මෙම රට තුල පවතිනා කොන්දේසි ගැන මට දැන ගත හැක්කේ, ජන මාධ්‍ය මගින් හා රුසියානු මිතුරන්ගෙන් හා සම-චින්තකයන්ගෙන් මට ලැබෙන වාර්තාවල පිහිටෙනි. මේ රට තුල ජීවත් වන ඔබරුසියාවේ තතුවල වත්මන් ස්වභාවය පිලිඳව මට වඩා හොඳින් දන්නෙහි ය. එහෙත් ඔබගේ දේශපාලන අදහස් කුමක් විය හැකි වුවත්, මානුෂික හා ශිෂ්ට මිනිසුන් ලෙස, ඔබ ආර්ථික කඩා වැටීම හා සමාජ ඛාදනය පිලිබඳ අසංඛ්‍ය සංඛ්‍යානමය දර්ශකයන්ගෙන් – ඒ සම්බන්ධ දෘෂ්‍යමාන සලකුනු ගැන සඳහන් නොකල හොත් - ගැඹුරින්ම කනස්සල්ලට පත්ව ඇතැයි යන්න මට විශ්වාස ය. ජනගහනයෙන් අතලොස්සක් අප්‍රකට මාර්ගවලින් දුරාචාර ලෙස උපයා ගත් ධනයේ ගිලී සිටින අතර, මහජනයාගේ දැවැන්ත බහුතරය පෙර නොවූ විරූ දුෂ්කරතාවන්ට මුහුන දෙයි.

තතුවල වත්මන් ස්වභාවය සම්බන්ධයෙන් ව්‍යාජත්වයෙන් හා ගති ලක්ෂනයන්ගෙන් විවිධාකාර වන පැහැදිලි පැහැදිලි කිරීම් ගනනාවක් ම ඉදිරිපත් කරනු ලැබ ඇත. නමුත් දැන් වන විට එක දෙයක් පැහැදිලි විය යුතුය. සෝවියට් සමාජයේ දිගු කාලයක් කැකෑරෙමින් පැවති අර්බුදය අවසානයේ 1985 දී පුපුරා ඉස්මත්තට පැමිනි විට, සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය ප්‍රතිමුඛ කරන ගැටලුවලට විසඳුමක් සම්පාදනය කරනු තබා එම ගැටලු අවබෝධ කර ගත හැකි තත්වයක වත් සිටි කිසිවකු සොයා ගත නො හැකි විය. මහත් මවිතයට හා වික්ෂිප්තභාවයට පත් වූයේ කොමියුනිස්ට් පක්ෂයේ පලමු ලේකම් පමනක් නො වේ. සෝවියට් අර්ථශාස්ත්‍රඥයන්, දාර්ශනිකයන් හා සමාජ විද්‍යඥයන් වෙතින් ද මොනම උදව්වක් වත් ලැබුනේ නැත. පෙරස්ත්‍රෙයිකා යුගය තුල දී දේශපාලනඥයන්ගෙන් හා ඔවුන්ගේ උපදේශකයන්ගේ ක්‍රියාකාරකම් මගින් මතකට නංවන ලද්දේ “කනා මුට්ටිය බිඳීම” නමැති ක්‍රීඩාවකි. එක දිනක මහත් කාහල නාදයකින් යුතුව ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාමාර්ග, දෙවන දිනයේ දී ක්‍රියාවට දැමිය නොහැකි යැයි සොයා ගන්නා ලදුව, තෙවන දිනයේ දී එය අමතක කර දමන ලදී.

එකල අඩුපාඩුව ලෙස පැවතුනේ ඓතිහාසික ඉදිරිදර්ශනයක් පිලිබඳ කිසිදු හැඟීමක් වත් නො තිබීමයි. අතීතය සමග වෛෂයික හා අවංක ගැටුමකින් තොරව, අනාගතයට මාවතක් සොයා ගන්නේ කෙසේ ද? බෝල්ශෙවික් විප්ලවයේ 70 වන සංවත්සරය වෙනුවෙන් 1987 නොවැම්බරයේ දී ගොර්බචෙව් කල කතාව මගේ මතකයට නැගේ. ලජ්ජා සහගත ලෙස, සමාජවාදයට ඔහු කල ප්‍රතිපදානය වෙනුවෙන් ස්ටැලින් ප්‍රශංසාවට ලක් කල අතර, නිරතුරුව ම මෙන්, ට්‍රොට්ස්කි ලෙනින්ගේ ප්‍රධාන සතුරා ලෙස හෙලා දකින ලදි. සමස්ත කතාවම මුසාවන්ගෙන් හා ග්‍රාම්‍ය විකෘතිකරනයන්ගෙන් යුත් ප්‍රබන්ධයකි. මෙම තුච්ඡ හා වංක කතාව කියවීමෙන් පසුව, කෙනෙකුට එය ප්‍රතික්ෂේප කොට, තියුනු උපහාසයකින් යුතුව මෙසේ අදහස් දැක්වීම නො කර බැරි විය: “ඉතින් ගොර්බචෙව් සෝවියට් සමාජයේ පුනර්ජීවනය සැලසුම් කරන්නේ මෙම කුනු වූ පදනම මත යි!”

ඉතිහාසය මුසාකරනය ද වෛෂයික සත්‍යය ප්‍රතික්ෂේප කිරීම ද වෙනුවෙන් භයංකර මිලක් තව දුරටත් ගෙවීමට ඇත.

අප වඩිම්ගේ හැට වන ජන්ම දිනය සමරන වර්ෂය ම සෝවියට් සංගමයේ ඉතිහාසයේ අතිශයින් ම භයංකර වර්ෂයේ, 1937, හැට වන සංවත්සරය වීම කනගාටුදායක කාරනාවකි. සෝවියට් සංගමයේ ඉරනම ද ජාත්‍යන්තර සමාජවාදයේ අභිප්‍රාය ද සම්බන්ධයෙන් ඛේදනීය ප්‍රතිවිපාක ගෙන ඒමට නියමිතව තිබූ, එම වර්ෂයේ ඇති වූ සිද්ධීන්, වඩිම් රොගොවින්ගේ බුද්ධිමය ජීවිතයේ දිශාව ද නිර්නය කලේ ය.

වඩිම් ඉපදීමට යම්තම් තුන් මසකට පෙර ලියොන් ට්‍රොට්ස්කි, ස්ටැලින් විසින් හෙලාදකිනු ලැබූ රඩෙක්, පියටකොව් හා අනෙක් පැරනි බෝල්ශෙවිකයන්ට එරෙහි මොස්කව් බොරු නඩුවට පිලිතුරු දුනි. මොස්කව් අවනඩු පැන නැගුනේ අත්තනෝමතික නිලධරය විසින් සමාජවාදය පාවාදෙනු ලැබීම මගින් යයි ඔහු ප්‍රකාශ කලේ ය. විෂින්ස්කි විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කරන ලද සෑම චෝදනාවක් ම බොරුවක් විය. “අපගේ ඇටකටු මතින් හෝ සත්‍යය ජයගනු ඇත” යයි ට්‍රොට්ස්කි පැවසීය. තමා ඉමහත් ලැදිකමකින් විශ්වාස කරන එම සත්‍යයේ ජයග්‍රහනය වෙනුවෙන් වඩිම් රොගොවින් සිය ජීවිතය කැප කර තිබේ.

පැරනි සෝවියට් සංගමයේ ජනයාට ප්‍රතිමුඛ වන භයංකර සමාජ හා දේශපාලන ගැටලුවලට විසඳුමක් ලැබෙන අවස්ථාව හෝ එම විසඳුම ගන්නා නිශ්චිත රූපාකාරය පිලිබඳව අනාවැකි පල කිරීම අප කිසිවකුට වත් කල නො හැකි ය. අවසාන විග්‍රහයේ දී, මෙම අර්බුදය විසඳීම රඳා පවත්නේ, රුසියාව තුල සිද්ධීන් මත පමනක් නොව, එහි දේශ සීමාවන්ට ඔබ්බෙන් දිග හැරෙන පන්ති අරගලය ද මත ය. නමුත් අපට විශ්වාසයකින් යුතුව කිව හැක්කේ, විසඳුමක් සොයා ගැනෙමින් පවතින්නේ ය යන්න පිලිබඳ ඉතා ම වැදගත් බුද්ධිමය දර්ශකයන්ගෙන් එකක් නම් වඩිම් රොගොවින්ගේ පොත්වල ප්‍රසාරනය වන සංසරනය බවයි.

එමෙන් ම, අපේ මිතුරා, සගයා හා සහෝදරයා වන වඩිම් සඛාරොවිච් රොගොවින්, ඔහුගේ යුගයේ ශ්‍රේෂ්ඨතම ඉතිහාසඥයන්ගෙන් අයකු ලෙස පමනක් නො ව, සිය යුගයේ අතිශයින්ම අවංක හා සප්‍රතිපත්තික මිනිසුන්ගෙන් කෙනකු ලෙස ද, රුසියාව හා ලොව පුරා, පිලිගැනීමට ලක් වන කාලය වැඩි ඈතක නො වේ යනුවෙන්, පරම විශ්වාසයෙන් යුතුව, අනාවැකියක් පල කිරීමට මට හැකි ය.

කම්කරු මාවත /කලාපය 1406/ 1997 ජූනි 27- පලකෙරුනි

වඩිම් රොගොවින්ට ප්‍රනාමය දැක්වීමක් - 2002 මැයි 20

අප අද මෙහි රැස්වන්නේ වඩිම් රෝගොවින්ගේ 65 වන උපන්දිනය වන්නට තිබුනු දිනය ස්මරනය කිරීමට සහ ස්ටැලින්වාදයට විකල්පයක් තිබුනේ ද යන ඔහුගේ මහාර්ඝ ඓතිහාසික කෘති මාලාවේ සත්වන හා අවසාන වෙලුම පල කිරීමට සඳහා වූ උත්සවයට ය. රොගොවින්ගේ කෘතියේ වස්තුව 1923 වාමාංශික විපාර්ශවය පිහිටවූ තැන් පටන් 1940 දී ට්‍රොට්ස්කි ඝාතනය දක්වා ඔක්තෝබර් විප්ලවය පාවාදීමට එරෙහිව දේශපාලනය අරගලයේ ඉතිහාසයක් විය.

මෙම සිද්ධීන් ඒකාබද්ධ වීමේ ප්‍රගාඪ හා සිත් කම්පා කරවන සංකේතාත්මක බවක් පවතී. වඩිම්ගේ 65වන උපන්දින සංවත්සරය පැවැත්වීමේ දී අපි ඔහුගේ ජීවිතය පිලිබඳ උත්සවයක් පවත්වමු. ඔහුගේ කෘතියේ සත්වන වෙලුම පල කිරීමේ දී අපි වොඩිම්ගේ කර්තව්‍යයට ගෞරවය දක්වමු.

ඩේවිඩ් නෝර්ත් මොස්කව් හි දී අනුස්මරන දේශනය පවත්වයි- 2002 මැයි

සෑම මනුෂ්‍ය ජීවිතයක්ම නිත්‍ය වේ. අනිත්‍ය ද වේ. අනිත්‍යවන්නේ ස්වකීය පුද්ගල භාවය වසයෙන් ද ශාරීරිකව මරනාසන්න වන හෙයින් ද වේ. නිත්‍ය වන්නේ මිනිසාගේ සාමූහික සමාජික පැවැත්මේ අංශයක් ලෙස සහ එම පදනමේ දී මිනිස් මිනිස් ජීවිතයක් මානව අත්දැකීමේ අන්තර්ගත සාර්වත්‍රිකයට දැනුවත් ප්‍රකාශනයක් ලබාදෙන තරමට හා එමගින් අනිත්‍ය පැවැත්මේ සීමා ඉක්මවා යන තරමට ය.

ට්‍රොට්ස්කිගේ වචනවලින් කිවහොත් “ මානව වර්ගයා ගේ ඉරනමේ අංශුවක් තම උර මත ගෙන යන්නා වූ අය” සිටිති. මෙවන් මිනිසුන් තුල, නිත්‍ය පැවැත්මේ ඉතා අගනා අංගයක් සාතිශය දෘඪ ප්‍රකාශනයක් අත් කර ගනී. මිනිස් වර්ගයාගේ අනාගතයට ඔවුන්ගේ ප්‍රතිපදානය ඔවුන්ගෙන් පසුව ද පවතී. ඔවුන්ගේ ජීවිතවල උරුමය ඉක්බිතිව එන පරම්පරාවන්හි විඥානයට ඇතුලුව සමස්ත මානව වර්ගයාගේ මහාර්ඝ සහ සාමූහික උරුමය බවට පත් වෙයි. වඩිම් සඛාරොවිච් රොගොවින්ගේ ජීවිතය එවැන්නක් විය.

රොගොවින්ගේ ශ්‍රේෂ්ඨත්වය රැඳී පැවැත්තේ කොතැන ද? මෙම ප්‍රශ්නයට පිලිතුරු දිය හැක්කේ ඔහුගේ ජීවිතය ඔහු ජීවත්වූ සමයේ සන්දර්භය තුල තැබීම මගින් පමනි. විශේෂයෙන් ම ඔහුගේ ජීවිතයේ අවසාන දශකය තුල එනම් වඩිම්ගේ බුද්ධිමය නිර්මානශීලීත්වයේ උච්චතම කාල පරිච්ඡේදය තුල තැබීමෙන් පමනි. පසුගිය පසලොස් වසර, පෙර පැවති -සෝවියට් සංගමයේ බොහෝ දේ සිදුවී තිබේ. අද මගේ අධ්‍යාසය වන්නේ පශ්චාත් – සෝවියට් සමාජයේ සමාජ සහ ආර්ථික ව්‍යූහය තුල ඇති වී තිබෙන වෙනස්කම්වල ස්වභාවය ගැන විවාදයකට එලඹීම නොවේ. මෙහි සිටින අය අතර ඉහත කී වෙනස්කම්වල ස්වභාවය හා විපාක පිලිබඳව විවිධාකාර අදහස් පවත්නා බව මම දනිමි. ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මතය හා සමවූ වොඩිම්ගේ මතය වූයේ සෝවියට් ස්ටැලින්වාදී පාලනයේ දිග්ගැස්සුනු අර්බුදය 1980-90 ගනන්වල දී විසඳාලනු ලැබුවේ දේශපාලන වසයෙන් ප්‍රතිගාමී සහ සමාජමය වසයෙන් පරාගතවාදී ආකාරයකට බවය. එහෙත් පසුගිය පසලොස්වසරේ බුද්ධිමය වාතාවරනයේ සංවර්ධනය පිලිබඳ මෙහිලා සඳහන් කල යුතුම වූ එක් සුවිශේෂ ඉතා වැදගත් ලක්ෂනයක් පවතී. 1980 ගනන්වල මැද පටන් සිදු වූ සියලු සිද්ධීන් මධ්‍යයේ සෝවියට් හා පශ්චාත් සෝවියට් සමාජය තුලින් ජාත්‍යන්තර ගෞරවය තබා සැලකිල්ලවත් දිනාගත් එකදු දේශපාලන පුද්ගලයෙකු හෝ පැන නැගී නැත.

මානව වර්ගයා යම් ප්‍රමානකට නව සහ අපේක්ෂාජනක අදහස් සොයමින් සිටින්නේ වී නමුත් එවැනි අදහස් සඳහා පැරනි සෝවියට් සංගමය දෙසට හැරිය යුතුයයි සිතන කෙනෙක් නැත. එම රටේ ප්‍රකට හෝ කුප්‍රකට බවට පත් කවරෙකු වුව ද මධ්‍යමාන-අවිශිෂ්ඨයන් හෝ පරිපූර්න තක්කඩියන් වෙති. අද දින ගොර්බචෙව්, යෙල්ට්සින්, ලෙබෙඩි සොබ්චාක් (මින් සමහර නමක් අද මතකයෙන් පවා ඉවත්ව ගොසිනි.) සමාවන්න මේ සම්බන්ධයෙන් දැන් ක්‍රෙම්ලිනයට වැදී සිටින පුද්ගලයා ගැන අසන්නන්ගේ සිනහ නොඅවුස්සා සඳහන් කලහැකි ද? කාට ද? මේ සියලුම පුද්ගලයෝ ඔවුන්ට කවර කලෙක වත් පොර දැකිය නොහැකි වූ ඓතිහාසික හා සමාජ සන්තතීන්හි නො දැනුවත් උපකරන ලෙස පැවතුනහ; නැතහොත් පවතිති.

අන්ධභාවය ද මධ්‍යමානභාවය ද යන රෝග දේශපාලන ජීවිතයට පමනක් සීමා වී නැත. සමහර විට මේ පිලිබඳව තොරතුරු නොලැබුනා විය හැකිය. එහෙත් මා විශ්වාස කරන්නේ රුසියාවේ සංස්කෘතික ජීවිතය එහි ආර්ථිකය තරම්ම දුප්පත් බවට පත්වී ඇති බව ය. ගතවූ සම්පූර්න දසවස තුල ම ජාත්‍යන්තර අවධානයට උචිත වූ එක්හෝ ප්‍රමුඛ නවකථාවක්, වැදගත් කාව්‍යයක්, අර්ථභාරී සංගීත නිර්මානයක් හෝ සිනමා කෘතියක් වත් නිෂ්පාදනය කරනු ලැබිනි ද? මෙම බුද්ධිමය හා සංස්කෘතික පසුබිම තුල වඩිම් රොගොවින්ගේ කතාන්තරයේ කෘතිය අනුස්මරනීය විජයග්‍රහනයක් සේ නැගී සිටී. වඩිම්ගේ ඉතිහාසයේ වෙලුම් හත රුසියානු පමනක් නොව ලෝක සාහිත්‍යයේ ප්‍රමුඛ ප්‍රතිපදානයක් ලෙස දිගුකල් පවතිනු ඇත. ඊ.එච්. කාර් සඳහන් කල පරිදි “ මහා ඉතිහාසය ලියනු ලබන්නේ හරියටම අතීතය පිලිබඳව ඉතිහාසඥයාගේ දෘෂ්ටිය වර්තමානයේ ගැටලු තුලට පවත්නා අභිනිවේෂයක් තුලින ආලෝකවත් කරනු ලැබූ කල්හි ය.” වඩිම්ගේ කෘතීන්හි අර්ථභාරය වටහා ගැනීමට යතුර මෙයයි. අතීතය හදාරා, විශ්ලේෂනය කොට, පැහැදිලි කිරීමට තම කාලය සහ උත්සුකය යෙදවීමට වඩිම්ව ප්‍රේරනය කරනු ලැබුවේ තමාගේම සමයේ ගැටලුවල යෙදී ගැනීම ද මානව වර්ගයාගේ අනාගතය පිලිබඳ ඔහුගේ අභිසන්ධානය ද විසිනි. ඓතිහාසික සත්‍යය පිලිබඳව වොඩිම් රෞද්‍ර ලෙස උනන්දුවූයේ සරල සදාචාරවාදියකු ලෙස නොවේ. ඒ වෙනුවට ඔහු අභිසන්ධානය නිෂ්පන්න වූයේ තමා ජීවත්ව යුගයේ මහා ගැටලුව තුලට ලද ප්‍රගාඪ අභිනිවේෂයක් තුලිනි – ඒ වනාහි (සමකාලීනයන් අතර) සමාජ ඉදිරිදර්ශනයේ සාර්වත්‍රික භංගත්වයත්, පන්ති විඥානය පිරිහී යාමත්, ඉහවහා ගිය දේශපාලන නන්නත්තාරයත්, පොදු ජන මතය හිරිවැටීමත් යනාදිය ස්ටැලින්වාදයේ මුසාවන් සහ මුසාකරනයන් සඳහා ගෙවන ලද සමාජ වියදම යයි සමුද්ග්‍රහනයකර ගැනීම ය.

තමන් මුහුන දෙන සමාජ සහ දේශපාලන ගැටලුවල ස්වභාවය වටහා ගැනීමට ද සිය සමාජයේ අර්බුදයට ප්‍රගතිශීලී විසඳුමක් සොයා ගැනීමට ද අසමත් ව්‍යාකූල හා අවමංගත ජනකායක් සමාජ විඥානය විනාශ කිරීම මගින් නිර්මානය කර තිබේ.

තමාගේ ජීවිතයේ අවසාන දශකයේ දී වඩිම් තමා ඉදිරියේ තබා ගත් කර්තව්‍යය වූයේ කුමක් ද? සෝවියට් ඉතිහාසයේ ට්‍රොට්ස්කිගේ ක්‍රියාකලාපය පිලිබඳ සිදුකර ඇති දැවැන්ත මුසාකරනය ඛන්ඩනය කිරීම ය; ස්ටැලින්වාදය ඔක්තෝබර් විප්ලවයේ අවශ්‍ය සහ ඓන්ද්‍රිය ප්‍රතිඵලය වූයේ ය යන බොරුව නිෂ්ප්‍රභ කිරීම සහ සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදයට විකල්පයක් පැවතුනේ නැතැයි යන කියාපෑමට පිලිතුරු සැපයීම ය. වොඩිම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග සාකච්ඡා කිරීමෙන් සහ ජාත්‍යන්තර කමිටුව සමග සහක්‍රියාකාරීව, 1930 ගනන්වල ස්ටැලින්වාදී විරේකයන් සෝවියට් කම්කරු පන්තිය සහ බුද්ධිමතුන් අතර මාක්ස්වාදී දේශපාාලනය සහ සංස්කෘතියේ නියෝජකයන්ට එරෙහිව එල්ල කරන ලද දේශපාලන ජන ඝාතනය ගත් රූපය ය යන සිය අර්ථකථනය වර්ධනය කලේ ය. එය වනාහි ස්ටැලින්ගේ අතවැස්සන් (මොලටොව්, කගනොවිච්, වොරොෂිලොව්, බෙරියා, යෙෂොව්, මිකෝයාන් සහ තවත් අය) විසින් යටපත් කරනු ලැබුව ද ඒ වන විටත් ශක්තිමත්ව පැවතුනු වාම විපාර්ශ්වයකට විරුද්ධව කරන ලද සිවිල් යුද්ධය ගත් ස්වරූපය යයි ඔහු විශ්ලේෂනය කලේ ය. එම වාම විපාර්ශ්වයේ මහා හඬ වූයේ ලෙව් ඩෙවිඩොවිච් ට්‍රොට්ස්කි ය.

මෙම ඓතිහාසික විශ්ලේශනයට යටින් දාර්ශනික ප්‍රගාඪත්වයෙන් යුතු සංකල්පයක් විය. ස්ටැලින්වාදී තන්ත්‍රයේ මිනීමරු ස්වභාවයට යටින් පැවති ප්‍රේරක බලවේගය වූයේ සමාජ වරප්‍රසාද අත් කර ගැනීම සඳහා වූ තල්ලුව යයි ඩොඩිම් අවධාරනය කලේ ය. – ඒ වනාහි වරප්‍රසාද වැඩි දෙනෙකුට අහිමි කරමින් ටික දෙනෙකු අතට පත් කිරීම ය. ස්ටැලින්ගේ අපරාධ තුලින් ප්‍රකාශනයක් අත් කර ගත් සමාජ පිලිවෙත වූයේ ඔහු නායකත්වය දුන් නිලධරය විසින් සමාජ අසමානතාවය පෝෂනය කිරීම හා ආරක්ෂා කිරීමයි.

බොල්ශෙවික්වාදය සහ ස්ටැලින්වාදය අතර අතිමූලික විසන්දනීයතාවය වූයේ හරියට ම පහත සඳහන් දෙයයි:

බොල්ශෙවික්වාදයේ ඓතිහාසික අරමුන වූයේ සමාජ සමානත්වය අත් කර ගැනීම ය; ස්ටැලින්වාදයේ අරමුන වූයේ පුද්ගලික වරප්‍රසාද ආරක්ෂා කිරීම යි. වඩිම් ලියූ පරිදි: “ද්‍රව්‍යමය දේවල් සඳහා ස්ටැලින්ට තිබුනු කෑදරකම, දිනපතා ජීවිතයේ දී සීමා රහිත සුඛෝපභෝගය සඳහා ඔහුට තිබුනු කෑදරකම, ගොර්බචොව් ද ඇතුලුව ස්ටැලින්ගේ සියලුම අනුප්‍රාප්තිකයන්ට උරුම විය. පැරනි බොල්ශෙවික් නායකත්වය මෙන් නොව මොව්හු මහජනතාව සමග ශාරීරික දුෂ්කරතා සහ අගහිඟකම් බෙදාහදා ගැනීමට නොසතුටු වූහ.”

ඉතිහාසය පිලිබඳ වඩිම්ගේ දෘෂ්ටියේ අරටුවෙහි පැවතියේ වෛෂයික සත්‍යයේ සත්භාවික වලංගු බව ගැන නොසැලෙන අවධාරනයකි. විද්‍යාත්මක ඓතිහාසික විඥානයේ සාරභූත පදනම වන්නේ, සත්‍යය යනු සමාජමය පැවැත්මේ වෛෂයික ගුනයන් සහ සන්තතීන් සමග ආත්මීය චින්තනය සම්පාතවීම ලෙසින් බව වටහා ගැනීම යි. මෙම සිද්ධාන්තය හුදෙක් සෝවියට් රුසියාවේ ඉතිහාසය හැදෑරීමට පදනම වනවා පමනක් නොවේ. මෙහිදී පරදුවට තැබී ඇත්තේ ජාත්‍යන්තර ගැටලුවකි; එනම් සමස්තයක් වසයෙන් 20 වන සියවසේ ඓතිහාසික අත්දැකීම් හා පාඩම් සමග පොරබැදීම පිලිබඳ ප්‍රශ්නය යි. මෙම ගැටලුවට අවධානය යොමු විය යුත්තේ රුසියාව තුල පමනක් නොවේ.

පශ්චාත්-සෝවියට් සමාජයේ රෝගී භාවය ගැන කල මගේ සඳහනේ දී මම ඇමරිකානුවන් හෝ යුරෝපීයයන් බුද්ධිමය නිර්මානක ක්‍රියාකාරිත්වයේ සුපුෂ්පිතවීමක් භුක්ති විඳිමින් සිටින බවක් ගම්‍ය නො කලෙමි. රුසියාවේ දේශසීමාවෙන් ඔබ්බේ තත්වය ද නො අඩු ලෙස ශෝචනීය ය. විවිධ රූපවලින් ද, විවිධ මට්ටමේ ගොරතරබවින් ද යුතුව අපට දැක ගත හැකි වන්නේ අවමංගතවීම, ව්‍යාකූලත්වය සහ මුග්ධතාවය යි. රුසියාවේ දී මෙන් ම මෙම අවමංගතවීමේ උල්පත වන්නේ වර්තමානය පැන නැගුනා වූ ඓතිහාසික සිද්ධීන් හා අත්දැකීම් උකහාගෙන න්‍යායිකව වටහා ගැනීමට අසමත්වීම ය. ඉතිහාසයේ විශේෂයෙන්ම ඔක්තෝබර් විප්ලවය සහ එහි ඉක්බිත්තේ – සිද්ධිමය සංරචකයන් පවා වසංකොට, මිත්‍යාකෘතව හා ආවෘතව පවත්නා තතු තුල අතීතයයේ අත්දැකීම් වටහාගෙන න්‍යායිකව ග්‍රහනය කර ගැනීමට අසමත්වීම ය. වඩිම් රොගොවින්ගේ කෘතිය ලෝක අර්ථභාරයක් දරන්නේ ද ජාත්‍යන්තර ශ්‍රාවකයක් දිනා ගැනීමට සමත්ව ඇත්තේ ද එහෙයිනි.

විප්ලවවාදී මහා සමාජ පෙරලි පැරනි බාධක බිඳ මානව සංස්කෘතියේ සෑම ක්ෂේත්‍රයක්ම තුල පෙරගමනක් සඳහා මාවත පැහැදිලි කරන්නා වූ කාලපරිච්ඡේද ඉතිහාසයේ පවතී. මෙවන් මහා පෙරලි මධ්‍යයේ නව යුගයේ කතිකයන් වන සුධීමත්හු පහල වෙති. ඔවුහු තමන්ගේ යුගයේ සියලු ප්‍රගතිශීලී ආවේග මොලවා ඒවාට ප්‍රගාඪ සාර්වත්‍රික හා අකාලික රූපයක් අත් කර දෙති.

එහෙත් අනෙක් අතට නිර්මානාත්මක සුධීමත්භාවයක් තනිව හා විපක්ෂගතව කැඹිරිය යුතු වූ වඩාත් දුෂ්කර ඉතිහාස කාලපරිච්ඡේදයෝ ද වෙති. මෙවන් යුගයක සුවිශේෂ පුද්ගලයන් වන්නේ කලට ඔබින වැඩකටයුතු කරන්නා වූ මිනිසුන් හා ගැහැනුන් නොවේ; තම සමයට නොහොබිනා මිනිසුන් හා ගැහැනුන් ය. මේ අර්ථයෙන් ගත් කල්හි ට්‍රොට්ස්කිගේ සහ රොගොවින්ගේ ජීවිත අතර සමාන්තරයක් පවතී. ට්‍රොට්ස්කි 1923 දී මරනයට පත් වී නම් ඔහු ඉතිහාසය තුල නිසැකවම තැනක් ගනු ඇත්තේ රුසියානු විප්ලවය ඉහල නැගි කාල පරිච්ඡේදයේ ප්‍රමුඛ පුද්ගලයන්ගෙන් එක් අයෙකු හැටියට ය. එහෙත් ට්‍රොට්ස්කි තම ජීවිතයේ 1923-1940 අවසන් 17 වසර තුල අත්පත් කර ගත් දෙය එනම් ලෝක සමාජවාදී විප්ලවය ස්ටැලින්වාදය විසින් පාවාදීමට එරෙහිව ඔහු ගෙන ගිය අප්‍රතිහත අරගලය, 20 වන පමනක් නොව 21වන ශතවර්ෂයේදී ශ්‍රේෂ්ඨතම හා වැදගත්ම විප්ලවවාදී චින්තකයා ලෙස ඔහුගේ අමරනීය භාවය සහතික කලේ ය. ට්‍රොට්ස්කිගේ මෙන්ම වඩිම්ගේ ද ශ්‍රේෂ්ඨත්වය දේශපාලන බුද්ධිමය හා සදාචාරාත්මක විපක්ෂයක් ලෙස ප්‍රකාශිත වූයේ බොරු, නරුමකම, සහ බියගුලු බවේ දශක ගනනාවක් විසින් කුනු කරන ලද වාතාවරනයක් තුල ඓතිහාසික සත්‍යයට ඔහු දැක්වූ ධෛර්යමත්, සප්‍රතිපත්තික සහ අපරිශ්‍රාන්ත (මහන්සි නොවන) කැප වී ගැනීම තුලිනි. ඔහු ජීවත්වූ සමයට ප්‍රතිවිරුද්ධව වඩිම් නිර්මානය කල සත් වෙලුම මනුෂ්‍ය වර්ගයා තම විප්ලවවාදී උරුමය යලිත් අත්පත් කර ගැනීමේ සදාචාරාත්මක සහ බුද්ධිමය සැතපුම්කනුවක් ලෙස ලෝක සාහිත්‍යය තුල පවතිනු ඇත.

වඩිම්ගේ කෘතියේ සත්වන වෙලුම The End is the Beginning ද එන්ඩ් ඉස් ද බිගිනිං (අවසානය ආරම්භයයි) යනුවෙන් නම් කරනු ලැබ ඇත. මෙම මාතෘකාව වඩිම් සඳහා ම උචිත වූ මෘත ප්‍රනාම පාඨයක් වෙයි. 1998, සැප්තැම්බර් 18 දා අපව හැර ගියේ ඔහුගේ ශාරීරික සත්තාවය, භවය පමනි. වඩිම්ගේ ජීවිතයේ සහ ක්‍රියාකාරිත්වයේ අමරනීය වූ ඒ දෙය අප සමගම ජීවත්ව දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතී.

Share this article: