ජවිපෙ නායකයා ධනපති ක්‍රමය රැකදෙන “විකල්ප වැඩපිලිවෙලක්” ඉදිරිපත් කරයි

විලානි පීරිස් විසිනි, 2018 සැප්තැම්බර් 20

මෑතකදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ ) නායක අනුරකුමාර දිසානායක, 2019 ජනවාරි මාසය වන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජාතික පක්ෂ කඳවුරු දෙකට එරෙහි “විකල්ප” වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කලේය. දිසානායකගේ මෙම “විකල්ප වැඩපිලිවෙල” ධනපති ක්‍රමයට කවර හෝ විකල්පයක් නොවන සහ ධනපති ක්‍රමය ආරක්ෂා කරන ප්‍රතිගාමී වැඩපිලිවෙලක් බව ඔහුගේ කතාවෙන් ඉතා පැහැදිලි විය.

දිසානායක මෙසේ පැවසීය: “අප වැනි කුඩා රටක ආර්ථිකයේ සංවේදී ක්ෂේත්‍ර රාජ්‍ය මැදිහත්වීමෙන් සිදුකල යුතුව තිබෙනවා. එසේ නොමැති වුවහොත් අපේ රටේ ආර්ථිකය පෞද්ගලික ආයතනවලින් ගිල ගැනීමට ඇති හැකියාව වැඩියි. එම නිසා අත්හල නොහැකි මැදිහත්වීමක් රජය විසින් කල යුතුව තිබෙනවා.”

ඔහු පවසන්නේ පුද්ගලීකරනය ක්‍රියාවට දමන අතරතුර ඇතැම් අංශ ධනපති රජය යටතේ පවත්වාගෙන යායුතු බවය. පුද්ගලීකරනයට එරෙහිව වැඩෙන මහජන විරෝධය ගසා කෑම සඳහා පුද්ගලීකරනයට විරුද්ධ බවක් ජවිපෙ වරින්වර පැවසුව ද ඔවුන් යෝජනා කරනුයේ පුද්ගලීකරනයමයි.

ජවිපෙ හි මෙම ආර්ථික වැඩපිලිවෙල එල්ල වී ඇත්තේ විදේශීය සහ දේශීය ආයෝජකයන්ට සහන පුදා ඔවුන්ගේ ලාභ පොදි තරකර ගැනීම සඳහා කොන්දේසි සකසා දීමටයි. 2017 සැප්තැම්බර් 14 වන දා කොලඹ පැවති සම්මන්ත්‍රනයකදී මහා ව්‍යාපාරිකයන් අමතා දිසානායක මෙසේ සහතික වූයේ ය: “අපේ පක්ෂය විදේශ ආයෝජන හෙලා නොදකී. ඒවා තෝරාගත් අංශවලට අපි පිලිගනිමු... රුසියාව හා චීනය බඳු තවත් සමාජවාදී රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම අපගේ ප්‍රයත්නය නොවේ.”

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට හාත්පසින්ම සහාය දුන් දිසානායක, එම ආන්ඩුව ක්‍රියාත්මක කරන පිලිවෙත් පිලිබඳ වගකීමෙන් මුලුමනින්ම මිදෙමින් මෙසේ පැවසීය: “වත්මන් ආන්ඩුවේ වසර තුනක පාලන කාලය තුල රටේ ආර්ථිකය බරපතල ලෙස කඩා වට්ටලා තිබෙනවා. රටේ ජනතාවට තමන්ගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යා නොහැකි ලෙස උද්ධමනය ඉහල ගොස් තිබෙනවා. ග්‍රාමීය ජනතාව තමන් ගත් නය ගෙවාගත නොහැකි තත්වයකට මුහුන පාලා. රටේ ජාතික නය නැවත ගෙවාගත නොහැකි තත්වයක තිබෙනවා. රුපියලේ අගය වේගවත් ලෙස පහල බසිමින් තිබෙනවා.”

වත්මන් ආන්ඩුවේ සහ හිටපු ජනාධිපති රාජපක්ෂගේ ආර්ථික පිලිවෙත් වලට “විකල්ප” යැයි පවසන දිසානායක ගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කල හැක්කේ, “කම්කරුවන්ගේ, බුද්ධිමතුන්ගේ, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ, ලේඛකයන්ගේ සහ අනෙක් අයගේ පුලුල් පෙරමුනක්” තුලින් රාජ්‍ය බලය ලබා ගැනීමෙන් බව 2015 වසරේ මුලසිට ඔහු නැවත නැවතත් පවසා ඇත.

මෙම “පුලුල් පෙරමුන” වනාහි, ආන්ඩුවට එරෙහිව වැඩෙන කම්කරු-පීඩිත මහජනතාවගේ අරගල ධනපති ක්‍රමය පෙරලා දමන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් දෙසට වර්ධනය කිරීම වලකාලන නව උගුලකි.

ශ්‍රී ලංකාවේ නය අර්බුදය ලෝක ධනේශ්වර අර්බුදයේම කොටසක් බව සඟවාලන ජවිපෙ, එම අර්බූදය ජාතික තලයේ විසඳිය හැකිය යන මිථ්‍යාව වගාදිගා කරයි.

2008 දී වෝල් වීදියේ මහා බැංකු බිඳ වැටීමෙන් ආරම්භ වී වඩවඩාත් ගැඹුරු වන ගෝලීය ධනේශ්වර අර්බුදය විසඳා ගැනීමේ ප්‍රයත්නයක් ලෙස, ලොවපුරා ධනපති පාලක පන්තීහු සමාජ ප්‍රතිවිප්ලවයේ න්‍යාය පත්‍රයන් ක්‍රියාවට දමමින් සිටිති.

මේ තත්වය තුල ඇති නැති පරතරය බරපතල ලෙස ඉහල නැග ඇත. 2008 දී අමෙරිකාවේ ධනවත්ම පුද්ගලයින් 400 ක් විසින් ඩොලර් ට්‍රිලියන 1.5 ක ශුද්ධ වටිනාකම අත්පත් කරගෙන තිබුනි. දස වසරකට පසු දැන් මේ සංඛ්‍යාව දෙගුන වී ඩොලර් ට්‍රිලියන 3 කට ආසන්න මට්ටමකට ඉහල නැග ඇත.

මෙම අර්බූදය සෑම රටකටම බලපා ඇති අතර ලංකාව තුල සමාජ කප්පාදු වැඩපිලිවල ක්‍රියාවට දැමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අනකිරීම් වලට අනුවය. මුල්‍ය හිඟයකින් පෙලෙන සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ගෙවුම් ශේෂ හිඟය මධ්‍යයේ 2016 දී ජාමූඅ වෙතින් ඩොලර් බිලියන 1.5ක නය මුදලක් ලබා ගත්තේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට පොරොන්දු වෙමිනි.

2015 දී දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 7.2 ක් වූ අයවැය පරතරය 2020 වනවිට සියයට 3.5 ක් දක්වා අඩු කිරීම සඳහා දැවැන්ත වියදම් කප්පාදුවකට ආන්ඩුව එකඟව සිටියි. කුමන ධනපති ආන්ඩුවක් බලයට පත්වූවද මෙම ප්‍රහාරයන් ඉදිරියටම ගෙනයනු ඇත.

ජවිපෙ මෙම පසුබිම තුල, ධනවත්ම සමාජ ස්ථරයට ඇදී යන වත්කම් හා සසඳන විට තම පංගුව අඩුවීම සම්බන්ධයෙන් උරනව සිටින ඉහල මධ්‍යම පන්තියේ සහ ඔවුනගේ ඊනියා සිවිල් සංවිධානයන්ගේ පුලුල් එකමුතුවක පිහිට පතයි. මෙම එකමුතුව සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රොත්තක් දැනටමත් ඉදිරියට පැමින ඇත. නිර්මාල් රංජිත් දේවසිරි, ලියනගේ අමර කීර්ති සහ හරිනි අමරසූරිය යන අය ඒ අතරින් ප්‍රමුඛ වෙයි. මේ සියල්ලෝම සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙනඒම සඳහා අත්වැල් බැඳගත් අය වෙති.

රාජපක්ෂ ආන්ඩුවේ දූෂන හෙලිදරව් නොකලේයැයි වත්මන් ආන්ඩුව විවේචනය කරන ඔවුහු, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙන කම්කරු-පීඩිත මහජනතාවන්ගේ අරගල, ධනපති ක්‍රමයට එරෙහි ව්‍යාපාරයක් දෙසට වර්ධනය කිරීම වලකා ලීමට දැනුවත්ව ක්‍රියා කරති.

ඉඳහිට සමාජවාදය ගැන කතා කරන ජවිපෙ ඉතිහාසය පුරා කර ඇත්තේ ධනපති ආන්ඩු බලයට ගෙන ඒමට දරදිය ඇදීමයි. 2004 දී චන්ද්‍රිකා කුමාරතුංගගේ හවුල් ආන්ඩුවේ ඇමතිකම් තුනක් ලබා ගත් ජවිපෙ ධනේශ්වර පාලනයට සෘජුව ම සම්බන්ධ විය. චන්ද්‍රිකා කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ ආන්ඩු පමනක් නොව, 2015 දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ මෙහෙයුමකින් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමේදී ජවිපෙ ප්‍රමුඛ ක්‍රියා කලාපයක් ඉටු කලේ ය.

ඌව පලාත් සභාවේ ජවිපෙ මන්ත්‍රීවරයෙකු වන සමන්ත විද්‍යාරත්න සමග කල සාකච්ඡාවක් අගෝස්තු 14 දා ඬේලි මිරර් පත්‍රයේ පල විය. එහිදී ඔහු තම පක්ෂය ධනවාදයට විරුද්ධ පක්ෂයක් ලෙස පින්තාරු කිරීමේ ප්‍රෝඩාකාරී උත්සාහයක් දරා තිබුනි.

“වර්තමාන ගෝලීය ප්‍රවනතා සහ අවශ්‍යතා සමග එක පෙලට සිටගන්නාවූ සමාජ විප්ලවයක් අපිට අවශ්‍යයි. එය සියලු මානවයාට සමානතාවය තහවුරු කරන්නාවූ හා ජීවත්වන සියල්ලන්ට යුක්තිය ඉෂ්ට කරන්නාවූ ක්‍රමයක්. ධනේශ්වර ක්‍රමයට එවැනි විසඳුමක් දිය නොහැකියි. අපි ඉදිරිපත් කරන්නේ සමාජවාදයයි.”

විද්‍යාරත්න ගේ මෙම ප්‍රකාශය මුලුමනින්ම ප්‍රලාපයකි. මහා පරිමාන වතු, බැංකු සහ කම්හල් කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කරමින්, ලාභය පදනම් කරගත් ධනේශ්වර නිශ්පාදනය අහෝසි කොට, මානුෂීය අවශ්‍යතා සපුරාලන සමාජවාදී නිශ්පාදන ආර්ථික ක්‍රමයක් ලෝක පරිමානව තහවුරු කිරීමේ වැඩපිලිවෙලට ජවිපෙ මුලුමනින් සතුරුය.

විද්‍යාරත්න එම සම්මුඛ සාකච්ඡාවේදී කියා සිටියේ, 1917 රුසියානු විප්ලවයෙන් ආරම්භකත්වය ගැනුනු ඉහත සමාජවාදී වැඩපිලිවෙල මත ජවිපෙ පාදක නොවන බවයි. ඔහු මෙසේ පැවසීය: “1917 කොමියුනිස්ට් මොඩලය, චීන ක්‍රමය හෝ කියුබානු මොඩලය දෙස ආපසු බැලීමට අපිට නොහැකියි. අපි ඒ ආකාර නොවෙයි.”

කැස්ත්‍රෝවාදය, මාඕ වාදය හා සිංහල වර්ගවාදයේ අච්චාරුවක් මත, 1960 ගනන් වලදී පිහිටුවන ලද ජවිපෙ “සන්නද්ධ අරගලය” දේශනා කරමින් දේශපාලනයට අවතීර්න විය. මෙම පක්ෂය මෑතක් වන තුරුම කියුබානු හා චීන විප්ලවය පිලිගත් අතර දැන් විශේෂයෙන්ම ආයෝජකයන්ට කියා සිටින්නේ තමන් තව දුරටත් මහජනයා රැවටීමට හෝ මෙම විප්ලව සමග එකපෙලට සිට නොගන්නා බවය.

විද්‍යාරත්න විරුද්ධ වන්නාවූ 1917 රුසියානු විප්ලවය ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල යටතේ කම්කරු පන්තිය බලය ගත් එකම සමාජ විප්ලවයයි. 1917 විප්ලවයේ පදනම් මත ජවිපෙ කිසිදිනක පාදක වූයේ නැත. ජවිපෙ දැන් සූදානම් වන්නේ ඔවුන්ගේ ධනේශ්වර වැඩපිලිවෙලට සමාජවාදී සලුවක් පොරවා කම්කරුවන් තුල සමාජවාදය දෙසට වැඩෙන අනුකූලතාවය ගසා කමින්, ඔවුන් සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධවීම වලකා ලීමටයි. ඒ සමගම ධනේශ්වර ක්‍රමය රැකීමේ හැකියාව තම පක්ෂයට ඇතිබව ධනපති පාලක පන්තිය තුල තහවුරු කිරීම ඔවුන්ගේ අභිලාෂය යි.

1917 ඔක්තෝබර් විප්ලවයේ පාඩම් වලින් කම්කරු පන්තිය සන්නද්ධ කරමින් ධනේශ්වර ක්‍රමයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු-පීඩිත මහජනතාව බලමුලු ගැන්වීමට සටන් වදින්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂයන් පමනි.

Share this article: