ආන්ඩුව රාජගිරිය වේලුපුල්ලේවත්තේ දුගී නිවාස ඉවත් කිරීමට සැරසෙයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2018 සැප්තැම්බර් 12

පසුගිය අගෝස්තු 29 වනදා කොලඹ රාජගිරියේ වේලුපුල්ලේවත්තේ ජීවත් වන පවුල් 14 කට සති දෙකක් තුල එම ස්ථානයෙන් ඉවත් වන ලෙස අධිකරනයෙන් නියෝග කර ඇත. නියෝගය පනවා ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් එම නිවැසියන්ට එරෙහිව පවරා ඇති නඩුවක තීන්දුව දෙමිනි. මෙය ආන්ඩුවේ මෙගා පොලිස් වැඩසටහන යටතේ කොලඹ නගරයෙන් දුගී ජනයා ඉවත් කොට ආයෝජකයන්ට පැවරීමට ගෙන යන ව්‍යාපෘතියේ කොටසකි.

නියෝගයට මුහුන දී සිටින වේලුපුල්ලේවත්තෙහි නිවැසියන්ගෙන් බහුතරය පරම්පරා කිහිපයක් හරහා අවුරුදු සියයකට ආසන්න කාලයක් එහි ජීවත්වන පවුල් වලින් පැවැත එන්නෝ වෙති. එම වත්තේ පවුල් අසූවකට ආසන්න සංඛ්‍යාවක් ජීවත් ව ඇති අතර ඉන් හැටකට ආසන්න සංඛ්‍යාවක් එම ස්ථානයෙන් ඉවත් වී ආන්ඩුවෙන් ලබාදුන් මහල් නිවාස වල පදිංචියට ගොස් තිබේ.

අධිකරන නියෝගය පනවා ඇත්තේ එම ස්ථානයේ මෙතෙකුදු පදිංචි වී සිටින පවුල් වලට වන අතර, ඉඩම්වල අයිතිය තහවුරු කිරීම සඳහා ඔප්පු නොමැති වීම මේ සඳහා කඩතුරාව ලෙස යොදා ගෙන ඇත. ප්‍රදේශවාසීන් සඳහන් කලේ එම ස්ථානයෙන් ඉවත් වී ගිය අයට නිවාස ලබා දී ඇත්තේ ඔවුන් අනවසර නිවාස වල පදිංචිවී සිටි බවට අත්සන් ලබාගෙන බවයි.

මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරියේ සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහයෝගය යටතේ මෙම වත්ත තුල සුපිරි නිවාස සංකීර්නයක් සෑදීමට කටයුතු සූදානම් කර ඇත.

අවුරුදු හතලිහක් පුරා වේලුපුල්ලේවත්තේ ජීවත් වන සහ කුලී රැකියාවක නිරත තිලකරත්න ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසුවේ ඔවුන්ට ලබාදෙනවා යැයි කියන මහල් නිවාස වල පෙර පරිදි සාමාන්‍ය ජීවිතයක් ගත කල නොහැකි නිසා එම ස්ථානයෙන් ඉවත් වීමට අකමැති බවයි. “අලුතින් ෆ්ලැට් එකකට යනකොට රුපියල් 17,400 ක් ගෙවන්න ඕනි. ලයිට් බිල් වතුර බිල් අපිම ගෙවන්න ඕනි. මාසිකව තුන්දාස් ගානක් ගෙවන්නත් වෙනවා” යැයි ඔහු කීවේය.

කුඩා කඩයක් පවත්වාගෙන යාමෙන් ජීවත් වන පනස් වියැති පුෂ්පා මෙසේ ප්‍රකාශ කලාය: “අපි පරම්පරා තුනක් තිස්සෙ මෙහේ ඉන්නේ. දැන් බිස්නස් නැති හින්දා කඩයත් වහලා තියෙන්නෙ. යන්න කියන ගෙවල්වල පහසුකම් නැහැ.”

මෙම ඉඩමෙන්ම කොටසක් ඔවුන්ට ලබාදෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටි බවද ඇය පැවසුවාය.

මෙලෙස කොලඹ නගරයෙන් දුගීන් ඉවත් කිරීම වේගවත් කිරීමේ තවත් පියවරක් ලෙස තොටලඟ කජීමාවත්තේ පදිංචිව සිටින නිවැසියන් 114 දෙනෙකු පසුගිය අගෝස්තු 22 දා අත්අඩංගුවට ගනු ලැබුවේ අනවසරයෙන් විදුලිය ලබා ගත් බවට චෝදනා කරමිනි. ආන්ඩුව උත්සාහ දරනුයේ තම නියෝගයන් ප්‍රතික්ෂේප කරමින් එහි රැඳී සිටින එම නිවැසියන් බිය වද්දා ඉන් ඉවත් කිරීමටයි.

කොලඹ දිස්ත්‍රික්කය තුල ජීවත්වන දුගී පවුල් දහස් ගනනක් මෙලෙස පදිංචි ස්ථානයෙන් පලවා හැරීමට මුහුන දී සිටිති. සමීක්ෂන වලට අනුව කොලඹ පිහිටි අඩු ආදායම් ලාභී නිවාස වලින් නීත්‍යානුකූල ලිය කියවිලි ඇත්තේ සියයට 20 කට පමනි. 2012 දී සිදු කෙරුනු ජන හා නිවාස සංගනනයට අනුව ලංකාවේ ජනගහනයෙන් සියයට 1.3 ක් ජීවත් වන්නේ “අනවසර නිවාස” වලය. මේ වන විට එම අගය වඩාත් ඉහල අගයක් කරා වර්ධනය වී ඇති බව නිසැකය.

2015 දී නිකුත් කෙරුනු වාර්තාවකට අනුව කොලඹ ජනගහනයෙන් සියයට 54 ක් ජීවත් වන්නේ කූඩාරම්, මුඩුක්කු වැනි, මිනිස් වාසයට නුසුදුසු ස්ථාන වලය. තවත් වාර්තාවකට අනුව ගෘහාශ්‍රිතව ඉහල ආදායම් ලබන සියයට 20 ට පමනක් කොලඹ හා එහි ආසන්නයේ ඔවුන්ට අවශ්‍ය නිවාසය සාදා ගැනීමේ හැකියාවකින් යුක්ත වේ. ආදායම අඩු පවුල් වලට ඉඩමක් ලබා ගැනීමට නගර සීමාවෙන් කිලෝමීටර 20-25 පමන ඈතට යාමට බල කෙරේ. මේ අනුව නිවාස ප්‍රශ්නය වර්ධනය වන සමාජ අසමානතාව සමග බැඳී ඇති බව පැහැදිලි වේ.

මෙවන් තත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති ධනපති ආන්ඩු වගකිව යුතුය. බලයට පත්වූ කවර හෝ ආන්ඩුවක් නිවාස ප්‍රශ්නය විසඳීමට පියවර ගත්තේ නැත. මේ නිසා දුගී ජනතාවට සිදු වූයේ ඔප්පු නොමැති, අනාරක්ෂිත ස්ථාන වල නිවාස ඉදි කර ගැනීමටය. පැවති රාජපක්ෂ ආන්ඩුව මෙන්ම, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව උත්සාහ දරන්නේ, “අනවසර ඉදි කිරීම්” යන කඩතුරාව යොදා ගනිමින් මෙම පීඩිතයන් තම නිවහන් වලින් පන්නා දමා නිදහස් කර ගන්නා ඉඩම් ලාභ ලබන ස්ථාන බවට පත් කිරීමටය.

වටිනාකමෙන් ඉතා ඉහල ඉඩම් මුදා ගැනීම සඳහා නීත්‍යානුකූල ලෙස ඉදිකර ඇති නිවාස වලින් පවා මෙම අඩු ආදායම්ලාභී පවුල් පන්නා දැමේ. ඔවුන්ගෙන් කොටසකට මහල් නිවාස ලබාදෙන නමුදු ඒවා ශීලාචාරව ජීවත්විය හැකි තත්වයක නොපවතී. මෙවන් ඉවත් කිරීම් මගින් එම පවුල්වල ජීවනෝපායන්ට සහ දරුවන්ගේ අධ්‍යාපනයට සිදුවන බාධා පිලිබඳව පාලක පන්තියට ඇත්තේ නරුම ආකාරයේ නොතැකීමකි. මෙය ලංකාවේ පමනක් නොව ජාත්‍යන්තරවම දැකිය හැකි ලක්ෂනයකි.

මෙගාපොලිස් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දුගීන් හැටදාහකට ආසන්න සංඛ්‍යාවක් කොලඹ නගරයෙන් ඉවත් කිරීමට සැලසුම් සකස් කර ඇත. දුගී ජනතාව තමන් ජීවත් වන ස්ථාන වලින් ඉවත්කොට පදිංචි කිරීම සඳහා මහල් නිවාස 50,000 ක් ගොඩ නැගීමට පියවර ගන්නා බව පසුගිය දා ඉන්දියාවේ පැවති රැස්වීමකදී මුදල් ඇමති මංගල සමරවීර පැවසුවේය.

දුගීන් සඳහා මහල් නිවාස ගොඩනැගීම කෙසේ වෙතත් එහි අර්ථය මෙම ඉවත් කිරීම් වඩාත් වේගවත් කිරීමට ආන්ඩුව පියවර ගනිමින් සිටින බවයි.

Share this article: