ඉතිහාසය මුසාකරනය හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් පිලිකෙව් කිරීම: ෆ්ලොයිඩ් ඒබ‍්‍රහම් විකිලීක්ස්ට පහර ගැසීම

Falsifying history and repudiating democratic rights: Floyd Abrams’ attack on WikiLeaks

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2019 අප්‍රේල් 15

2010 දී ඉරාක යුද සටහන් පලකිරීමෙන් පසුව විකිලීක්ස් ආරම්භකයා වන ජුලියන් අසාන්ජ් අවමානයට පත්කිරීමට එක්සත් ජනපද මාධ්‍ය සහ ආන්ඩුව දරු ප්‍රයත්නයන්ට එරෙහිව ඔහු ආරක්ෂා කිරීම සඳහා ඩේවිඩ් නොර්ත් විසින් රචිත, වසර අටකට පෙර ලියා පලකල මෙම ලිපිය, අපි නැවත මෙහි පල කරමු.

වසර 40කට පමන පෙර නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්ටගන් ලියකියවිලි ප‍්‍රසිද්ධියට පත්කිරීම පිලිබඳව පවරන ලද නඩුවේ විත්තිය වෙනුවෙන් සැලකියයුතු ක්‍රියාකලාපයක් ඉටුකල ෆ්ලොයිඩ් ඒබ‍්‍රහම්, විකිලීක්ස් වෙබ් අඩවියට හා එහි කර්තෘ ජූලියන් අසාන්ජ්ට එරෙහිව දියත්කර තිබෙන දඩයම, වෝල් ස්ට්‍රීට් ජර්නලයේ තීරුවක් තුලින් බුද්ධිමය වංචාව පෙන්වමින් අනුමතකර තිබේ.

"පෙන්ටගන් ලේඛන කෙරෙහි විකිලීක්ස් සතුරුකම් පාන්නේ මක්නිසා ද,” යන මාතෘකාව සහිතව 29දින පලකල ඒබ‍්‍රහම්ගේ තීරුවකින් කියා සිටින්නේ, අසාන්ජ් විසින් පිටවූ කේබල් පනිවිඩ ප‍්‍රසිද්ධ කිරීම මෙන්ම ආන්ඩුවේ රහස් හෙලිකිරීම, 1971 වසරේදී ඩැනියෙල් එල්ස්බර්ග් විසින් ගත් පියවරයන්ට කිසිදු සාම්‍යයක් නොදක්වන බවයි. අතීතාවලෝකනයක් ලෙස ඒබ‍්‍රහම් ඇඳ දක්වන පින්තූරයේ පරිදි එල්ස්බර්ග්, දේශපාලන ගරුත්වය පිලිබඳ මහඟු ආදර්ශයක් වූ අතර රූන්ඩ් සමාගමේ විශ්ලේෂකයෙකු ලෙස වැඩකරන අතරතුර නීතිවිරෝධී ලෙස පිටපත් කරන ලද වෙලුම් 43න් යුත් රහසිගත ලේඛන හෙලිදරව් කිරීමෙන් එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලට හානි නොකිරීම පිනිස වගබලාගත්තේය. ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට අදාලවන වෙලුම් හතරක් එල්ස්බර්ග් විසින් ප‍්‍රසිද්ධ නොකිරීමේ කාරනය මෙයට ආධාරකයක් ලෙස ඒබ‍්‍රහම් ගෙනහැර දක්වයි.

මෙයට සපුරා වෙනස් අයුරින් අසාන්ජ්ට, එවන් චකිතයක් තිබුනේ නැත. "ඒවායේ රහස්‍යභාවය නොතකා එම වෙලුම් හතර විකිලීක්ස් හරහා ඔහු විසින් ප‍්‍රසිද්ධියට පත්නොකරතැයි යමෙකුට සැකයක් තිබිය හැකිද? නොඑසේනම් යුද්ධයට කඩිනම් විසඳුමක් ගෙනඒමේ ව්‍යායාමයට එමඟින් බරපතල හානියක් සිදුවීමේ හැකියාව ගැන ඔහුට සුලුවෙන් හෝ තැකීමට නොතිබුනේ ද? ඒබ‍්‍රහම් ප‍්‍රශ්න කරයි.

ඒබ‍්‍රහම්ගේ තීරුව පලවීමටත් මත්තෙන් දැන් 79 වන වියේ පසුවන එල්ස්බර්ග්, පෙන්ටගන් ලිපිලේඛන පිලිබඳ "යහපත්” හෙලිදරව්ව විකිලීක්ස් මඟින් නිකුත්කල "නරක” තොරතුරුවලට එරෙහිව පිහිටුවීමට දරන උත්සාහය එක එල්ලේ හෙලාදැක තිබුනි. මෙම සාවද්‍ය වර්ගීකරනය, "අතිශයින්ම නොමඟ යවනසුලූ හා රහසිගත විදේශ ප‍්‍රතිපත්තිය පිලිබඳව පවා කෙරෙන කුමන හෝ හෙලිදරව්වකට තමන් විරුද්ධ බව පිලිගැනීමට අකැමති මිනිසුන් සඳහා හුදු ආවරනයක් පමනක් බවත්, සත්‍යය නම්, දැන් විකිලීක්ස්ට හා ජූලියන් අසාන්ජ්ට එරෙහිව එල්ල කරන සෑම පහරක්ම මට හා එවකදී පෙන්ටගන් ලියවිලි ප‍්‍රසිද්ධියට පත්කිරීමට එරෙහිවත් හරවා තිබීමයි.” එල්ස්බර්ග් එසේ සඳහන්කොට තිබුනි.

එල්ස්බර්ග්ගේ ආස්ථානය මූලධර්මාත්මක වනවා පමනක් නොවේ. දැන් අසාන්ජ්ට පහර දෙමින් හා ඔහුට එරෙහිව දඬුවම් පැමිනවීම හා අපකීර්තියට පත්කිරීම සඳහා දියත්කෙරී තිබෙන ජාත්‍යන්තර ව්‍යාපාරයට සහභාගී වන්නවුන් එමඟින් නිවැරදිව හඳුනාගෙන ද තිබේ. වෙලුම් 47න් එල්ස්බර්ග් විසින් ප‍්‍රසිද්ධියට පත් නොකරන ලද වෙලුම් 4 පිලිබඳ කථාව ගැන ඒබ‍්‍රහම් කරන සඳහන, 1971 දී පොරබදන ලද නීතිමය හා ව්‍යවස්ථාමය ප‍්‍රශ්න අසත්‍යකරනයේ හා හෑල්ලුවට ලක්කිරීමේ ලුනු ඇඹුලකි. ඒබ‍්‍රහම් හොඳින්ම දන්නා පරිදි එක්සත් ජනපද ආන්ඩුව, නිව් යෝර්ක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් පුවත්පත් මඟින් පෙන්ටගන් ලියවිලි ප‍්‍රසිද්ධියට පත්කිරීම වැලැක්වීම සඳහා දරන ලද සියලු උත්සාහයන්හිදී යලි යලිත් කියා සිටියේ මෙම ලියවිලි හෙලිදරව් කිරීමෙන් ඇමරිකානු ආන්ඩුවේ රාජ්‍යතාන්ත‍්‍රික කටයුතුවල පැවැත්මට බරපතල ලෙස වලකපනු ඇති බවයි. ඔබාමා පාලනාධිකාරය හා ව්‍යාපාරික මාධ්‍ය විසින් අද දිනයේ ගොතනු ලබනු සියලු තර්ක පූර්වකල්පනය කරමින් නික්සන් පරිපාලනය ප‍්‍රකාශ කලේ "ආන්ඩුවට, විදේශ බලවතුන් සමඟ රහසිගත ආකාරයකට කටයුතු කල නොහැකිනම් ඇමරිකානු ජනතාවගේ සුබසෙත වෙනුවෙන් තම විදේශ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැගීම, කල නොහැකිවන” බවයි.

1971 ජූනි 20 දින ටයිම්ස් පත‍්‍රය වාර්තාකල පරිදි, ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් රොනල්ඞ් එල්. සීග්ලර් මෙසේ අවධාරනය කලේය. රහස්‍යභාවය "විදේශ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවලියේ සාරයම වන්නේය. ආන්ඩුවට අනෙකුත් ආන්ඩු සමඟ රහස්‍ය ආකාරයකට කටයුතු කල හැකිවිය යුතුය.” ජනාධිපති පොරබදන විදේශ ප‍්‍රතිපත්ති පිලිබඳ විකල්පයන් ගැන "එකඑල්ලේ අගැයීම්” ඉදිරිපත් කිරීමට ජනාධිපති උපදේශකයන්ට අවසර නොතිබියයුතු බව ද මාධ්‍ය ලේකම්වරයා කියා සිටියේය. "ලියවිලි නිරාවරනය වේයයි තමන් සිතන්නේ නම් යම් කාරනයක් පෙන්වාදීමට” නිලධාරීන් මැලිවනු ඇතැයි ද ඔහු සඳහන් කලේය.

මෙම දිග ලිපිය තුල ටයිම්ස් පත‍්‍රය, රාජ්‍ය ලේකම් විලියම් පී. රොගර්ස් ඉදිරිපත්කල විරෝධතාවන් ද සඳහන් කරයි. එහි මෙසේ සඳහන් විය. "අතිශය රහස්‍ය තොරතුරු ප‍්‍රසිද්ධ කිරීම, එක්සත් ජනපදය සමඟ සම්බන්ධතා පවත්වන විදේශ ආන්ඩු කෙරෙහි නිශේධනීය බලපෑමක් ඇතිකලහැකි බව ඔහු පැවසීය.”

පෙන්ටගන් ලේඛන ප‍්‍රසිද්ධ කිරීම පිලිබඳ වෙනත් හෙලාදැකීම් ද ටයිම්ස් වාර්තාවට අන්තර්ගත වෙයි. එවකට රිපබ්ලිකන් පක්ෂයේ නැඟීඑන තරුවක් වූ සෙනේට් සභික රොබට් ඩෝල්, ලියවිලි ප‍්‍රසිද්ධ කිරීමෙන් ටයිම්ස් පත‍්‍රය "සමහරවිට අන්තරායකාරී හා විනාශකාරී ලෙසින් වගකීම් විරහිත” වී ඇතැයි ප‍්‍රකාශ කලේය. එවකට කැලිෆෝනියාවේ ආන්ඩුකාරයාව සිටි රොනල්ඩ් රේගන් ද ටයිම්ස් පත‍්‍රය හෙලාදුටුවේය.

අද දිනයේ ප‍්‍රමිතීන් සමඟ සසඳන කල ඔවුන්ගේ ප‍්‍රකාශ සාපේක්ෂව මෘදු විය. එහෙත් ටයිම්ස් හි උපුටා දැක්වූ එවක සිටි උග‍්‍ර ප‍්‍රතිගාමිකයෙකු වූ එක් දේශපාලඥයෙක් වන කොන්ග‍්‍රස් සභික නිව් යෝර්ක්හි සෑම් ස්ට‍්‍රැටර්න් අදට වඩාත් ගැලපෙන සඳහනක් කලේය. "තීරනාත්මක මොහොතක මෙම ලේඛන පලකිරීම හා බැඳුනු වත්මන් හා අතීත ඇමරිකානු නායකයින් හෙලාදැකීම නියෝජනය කරන්නේ, සතුරාට දැවැන්ත සුවපහසුවක් ගෙනදෙන දැවැන්ත උදව්වක් සැපයීමයි.”

කෙසේ වෙතත් නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා තුල එල්ස්බර්ග් හෝ එම පුවත්පතේ ප‍්‍රකාශකයා මරාදමන ලෙස ඉල්ලා සිටින කිසිදු ප‍්‍රසිද්ධ පුද්ගලයෙකු ගැන සඳහන් නොවේ.

පෙන්ටගන් හා විකිලීක්ස් වාර්තා අතර සැලකිය යුතු විශේෂත්වයක් නිර්මානය කරන ඒබ‍්‍රහම් බලාපොරොත්තු වන්නේ, අසාන්ජ් අපරාධකරුවෙකු කිරීම නීතියුක්ත කර ඔහු වරදකරුවෙකු කිරීම පමනක් නොව, ටයිම්ස් පුවත්පත මෙන්ම තමා ද 1971දී දැඩි ලෙස ආරක්ෂා කරන ලද නිදහස් භාෂනය පිලිබඳ පලමු මූලධර්මාත්මක සංශෝධනයේ අරටුවම ප‍්‍රතික්ෂේප කිරීමයි.

එම වර්ෂයේ ජූනි මාසයේදී නිව් යෝර්ක් ටයිම්ස් නීති උපදේශකයින්, නික්සන් පරිපාලනය විසින් පෙන්ටගන් ලියවිලි ප‍්‍රකාශයට පත්කිරීම වලක්වන තහනම් නියෝගයක් ඉල්ලීමට විරුද්ධව නිව් යෝර්ක් දිස්ත‍්‍රික් උසාවිය හා ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ ඉදිරිපත්කල තර්ක කියවන යමෙකුට හැඟී යන්නේ මෙම නඩුව විමසා ඇත්තේ වෙනත් රටක හා වෙනත් ඓතිහාසික වකවානුවක බවය.

ටයිම්ස් පුවත්පතට එරෙහිව තහනම් නියෝගයක් ඉල්ලීමේ උත්සාහයේදී නික්සන් පරිපාලනය, පෙන්ටගන් ලියවිලි ප‍්‍රසිද්ධියට පත්කිරීම නිසා හුදෙක් තම පාලනය අපහසුතාවයට පත්වන බව කියාසිටියේ නැති අතර අවධාරනය කලේ එමඟින් එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට ඉමහත් හානියක් සිදුවන බවත් නොගිනියහැකි තරම් ජීවිත අනතුරේ හෙලන බවත්ය. නඩුව පලමුවෙන් විනිශ්චයකාර මරේ ගර්ෆින් හමුවේ 1971 ජූනි 18 දින නිව් යෝර්ක් ෆෙඩරල් දිස්ත‍්‍රික් උසාවියේදී විභාගයට ගනු ලැබින. ඔහු ආන්ඩුවේ කියමන් කෙරෙහි පක්ෂපාතී බවක් පෙන්නුම් කලේය. "සීමිත ආරක්ෂක දෘෂ්ටිකෝනයකින් හැරෙන්නට මෙම පුවත්පත් කිසිදු ආකාරයක වාරනයකට යටත්කරනවාට දේශප්‍රේමී මාධ්‍ය (සංස්ථාපිතය) කැමැත්තක් නොදක්වන්නේ කුමක් නිසා ද? එය මා අපහසුතාවයකට පත්කරන බැවින් ඔබ එයට පිලිතුරු දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.” ඔහු පැවසීය.

නීතිමය අරගලය දිගහැරෙද්දී ටයිම්ස් වෙනුවෙන් පෙනීසිටි අධිනීතිඥ ඇලෙක්සැන්ඩර් බිකෙල් පුවත්පත දැඩිව එල්බ සිටි ආස්ථානය ආරක්ෂා කරමින් මෙසේ තර්ක කලේය. ආන්ඩුව, ජාතික ආරක්ෂාවට හා පුරවැසියන්ගේ ජීවිතවලට සිදුවන අනතුර පිලිබඳව කරන පොදු අවධාරනය සෑහෙන්නේ නැත. තොරතුරු ප‍්‍රසිද්ධ කිරීම හා කියා සිටින අනතුර අතර පවතින හේතුකාරක සම්බන්ධය දැඩි නිශ්චිතභාවයකින් හා පැහැදිලි කමකින් ද හදිසි හා නොවරදින ආකාරයෙන් ද පෙන්වාදිය යුතුය. එනම්, නිදසුනක් වශයෙන්, හමුදා භටයින් ප‍්‍රවාහනය කරන යානයක් පිටත්වන දිනය හා ගමනාන්තය ප‍්‍රසිද්ධියට පත්කිරීම නිසා එම හමුදා භටයින්ට සිදුවියහැකි හානිය වැනි දෙයක්.

ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජනය පැහැදිලි කිරීම අවශ්‍ය නොවන බව කියා සිටිමින් ආන්ඩුව එයට විරුද්ධව පෙනී සිටියේය. එක්සත් ජනපද අධිනීතිඥ විට්නි නෝර්ත් සීමෝ තර්කකල පරිදි, "ආධුනිකයෙකුට එය පැහැදිලි නොවියහැකි නමුත්, බුද්ධි අංශයේ පුහුනු අයෙකුට හෙලිදරව්වන් එක්සත් ජනපදයේ ආසක්තයන්ට හානිදායක බව දැනටමත් පැහැදිලි වනු ඇත. එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සබඳතා දැනටමත් පලුදුවී තිබේ. අප කටයුතු කරමින් සිටින්නේ මලගිය ඉතිහාසයක කරුනු සමඟ නොව ඉතාම වැදගත් හා ප‍්‍රමුඛ අති නූතන කාරනා සමග ය.”

ටයිම්ස් "රහස් සොයා ගැනීමටත් හෙලිදරව් කිරීමටත් ඇති තම අයිතිය ආරක්ෂා කර ගැනීමට වෙහෙස දැරීය. දිස්ත්‍රික් අධිකරනයට ඉදිරිපත්කල ප‍්‍රහාරාත්මක දිව්රුම් පෙත්සමක් තුල පුවත්පතේ ප‍්‍රධාන වොෂින්ටන් වාර්තාකරු මැක්ස් ෆ‍්‍රැන්කල් මෙසේ ලිවීය. "රහස්‍ය” තොරතුරු ප‍්‍රයෝජනයට නොගෙන වොෂින්ටනයේදී හෝ ඉන් පිටතදී අපගේ මිනිසුන්ට පිලිගත හැකි පරිදි ප‍්‍රමානවත් රාජ්‍යතාන්ත‍්‍රික, මිලිටරි හා දේශපාලන වාර්තාකරනයක් කල නොහැකිවේ. විදේශ කටයුතු පිලිබඳ ක්ෂේත‍්‍රයේදී, මහජනතාවට හුදෙක් දැනුම්දීමේ සෘජු කර්තව්‍යය සඳහා වුවත් ආන්ඩුව මාධ්‍ය වෙත පොදු තොරතුරු ලබාදෙන්නේ කලාතුරකින් පමනි. බොහෝ අවස්ථාවල දී විදේශ කටයුතු පිලිබඳ වැදගත් තොරතුරු මාධ්‍ය විසින් ලබාගන්නේ, මෙම තොරතුරු ආන්ඩුව වෙතින් ආන්ඩුවේ ම විවිධ අංශ හා කාර්යාල වෙත මෙන්ම පොදුවේ මහජනතාව වෙත ද සම්ප්‍රේෂනය කිරීමේ වටිනාකම හා රහස්‍ය තොරතුරු පිලිබඳව තමන් ද වගකිවයුතු පාර්ශවයක් ලෙස පෙනීසිටීමට එයට හැකි නිසාය. මාධ්‍ය යනු ආන්ඩුවේ සිව්වන ශාඛාව ලෙස නිවැරදිවත්, බුද්ධිමත් ලෙසත් හඳුන්වන්නේ එබැවින්ය.”

ෆ‍්‍රැන්කල් මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්නේ ධනේශ්වර දෘෂ්ටි ආස්ථානයක සිටිමින් බව මෙහිදී සටහන්කර ගැනීම වටී. එය අද දවසේ යම් රැඩිකල් ස්වභාවයක් ගැනීම, පාලක පන්තිය තුලත් එහි ආයතනවලත් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් කෙතරම් පිරිහීමකට පත්ව තිබේ ද යන්නට සාක්ෂියකි.

විනිශ්චයකාර ගර්ෆින් තහනම් නියෝගයක් සඳහා කෙරුනු ආන්ඩුවේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කලේය. නික්සන් පරිපාලනය මෙම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරනයේ පිහිට පැතූ අතර, එයටයිම්ස් තහනම් නියෝගයක් පනවන ලදී. එහෙත් ඒ සමග ම වාගේ නඩුව ශේෂ්ඨාධිකරනය වෙත යොමුවූ අතර ජූනි 26 දින එහි සාක්ෂි විභාගය ආරම්භ විය.

එක්සත් ජනපදයේ නීතිපති අර්වින් ග‍්‍රිස්වර්ල්ඩ් පෙන්ටගන් ලියවිලි ප‍්‍රසිද්ධ කිරීම පිලිබඳව මෙසේ පැවසීය. එමඟින් "මම මෙහිදී තර්ක කිරීමට උත්සාහ කර ඇති පරිදි එක්සත් ජනපදයේ ආරක්ෂාවට භෞතික වශයෙන් බලපානු ඇත. එය යුද්ධය නිමාකිරීමේ ක‍්‍රියාවලියට බලපානු ඇත. එය යුද සිරකරුවන් ගලවාගැනීමේ ක‍්‍රියාවලියට බලපානු ඇත. යුද්ධය අවසන් කිරීම හෝ යුද සිරකරුවන් මුදාගැනීම එක්සත් ජනපදයේ ආරක්ෂාව කෙරෙහි වහාම බලපාන දෙයක් යයි මට පැවසිය නොහැකිය. මෙම නඩුවේ තහනමක් පිලිබඳ පදනම බවට පත්වන ආකාරයෙන් එක්සත් ජනපදයේ ආරක්ෂාව කෙරෙහි එය බලපෑමක් ඇතිකරන බව මම පවසන්නෙමි.” ග‍්‍රිස්වර්ල්ඩ් මෙසේ ද එකතු කලේය. සැබෑ ගනන්බැලීම්වලට අනුව "දැනට කෙරීගෙන යන හෝ අනාගතයේදී සිදුකිරීමට අපේක්ෂා කරන ඉතා සංවේදී සාකච්ඡා එක්සත් ජනපදයේ ආරක්ෂාව කෙරෙහි බලපාන බව සක්සුදක්සේ පැහැදිලිය.”

ශ්‍රේෂ්ඨාධිකරනය ඒත්තු ගැන්වීමට දරන ලද ඔහුගේ උත්සාහයේදී ග‍්‍රිස්වර්ල්ඩ්, වියට්නාම් යුද්ධය නිමාකිරීමට නික්සන් පරිපාලනය දරනලද උත්සාහයන් පෙන්ටගන් ලේඛන මගින් කෙසේහෝ කඩාකප්පල් කිරීමේ හැකියාව මතුකර තිබුනි. මෙම තර්කයේ පැහැදිලි ඇඟවීම වූයේ ටයිම්ස් පත‍්‍රය මෙම ලියවිලි ප‍්‍රසිද්ධ කිරීම අනවශ්‍ය මරනවලට හේතුකාරක වන බවයි. මෙම තර්කය පිලි නොගෙන විකිලීක්ස් හෙලිදරව්වට එරෙහිව ඊට වඩා වැදගත් කවරාකාරයේ හෝ චෝදනා දමා ගැසීම කල නොහැකිය.

එවක ශ්‍රේෂ්ඨාධිකරනයේ දක්ෂිනාංශික විනිශ්චයකරුවෙක් වූ හැරී බ්ලැක්මන්, "සෙබලුන්ගේ මරනවලටත්, සන්ධානයන් බිඳහෙලීමටත්, අපගේ සතුරන් සමඟ සාකච්ඡා බෙහෙවින් දුෂ්කර තත්වයකට ඇද දැමීමටත්, පෙනී සිටින යුදවාදීන් අතර ගරුකටයුතු තැරැව්කරුවන් ලෙස සාකච්ඡා පැවැත්වීමේ හැකියාව අපගේ තානාපතිවරුන්ට නැතිකර දැමීමටත් තුඩුදෙන තොරතුරු ප‍්‍රසිද්ධ කිරීම කල්තියා තහනම් කිරීමේ නීත්‍යානුකූලභාවය ටයිම්ස් පිලිනොගැනීම” පිලිබඳව කනස්සල්ල පල කලේය.

"රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතුවලට හානි සිදුවීම පූර්ව තහනමක් සඳහා හේතුවක් විය හැකිය” යන තර්කය සමඟ තමන් එකඟ නොවන බව ප‍්‍රකාශ කරමින් බිකල් එක එල්ලේ පිලිතුරු දුන්නේය.

සෙබලුන්ගේ මරන පිලිබඳ හැකියාවට තුඩුදෙන පරිද්දෙන් ලියවිලි ප‍්‍රසිද්ධ කිරීම හා මරන අතර පැහැදිලි හා නිසැක පුරුකක් ස්ථාපිත කල හැකිවන්නේ නම් බිකල් පූර්ව තහනම පිලිබඳ නීත්‍යානුකූල භාවය පිලිගත්තා වනු ඇත. එහෙත් ආන්ඩුව එවන් සම්බන්ධයක් පෙන්වාදී නොතිබුනි. "එම සිදුවීමට (සෙබලූන්ගේ මරන) හා එසේ සිදුවේයයි සැක කිරීමට හේතුව ලෙස ප‍්‍රසිද්ධ කිරීමේ කාරනය අතර සම්බන්ධය එය කිසිම අවස්ථාවක පෙන්වාදී නොතිබුනි. මා යෝජනා කරන්නේ, හැම විටම එම පුරුක සමපේක්ෂනයේ ද බොහෝ අනුමානයන්ගෙන්ද එම ක්ෂේත‍්‍රයේම ක‍්‍රියාත්මක වන අනෙකුත් දේ සමඟ බැඳී ගන්නා පලමු පුරුක් එකෙන් හෝ දෙකෙන් පසුව එන හේතුපල සම්බන්ධයේ දම්වැලකි. එබැවින් අවසාන සිදුවීම කුමන හේතුවක් නිසා සිදුවූයේ ද යන්නට සක‍්‍රීය හේතුව කුමක් ද යන්න පැවසිය නොහැකිවේ. එවැනිදේ මඟින් පලමු සංශෝධනය යටතේ මා විසින් ගෙනහැර දැක්වූ ප‍්‍රමිතිය සාක්ෂාත් නොවන්නේය.”

හොඳින් ගැටගසා නොමැති තර්කයක දී නිතරම ප‍්‍රශ්නය වන්නේ එය හැමවිටම අවබෝධ කරගත නොහැකි වීමයි. එහෙත් විනිශ්චයකාර පොටර් ස්ටුවර්ට් විසින් නගනලද ප‍්‍රශ්නයකට, එනම්, තරුන සෙබලුන් 100කගේ මරන වැලැක්වීම සඳහා පූර්ව තහනමක් ටයිම්ස් පුවත්පත පිලිගන්නේ ද යන ප‍්‍රශ්නය, ප‍්‍රතිචාර වශයෙන් නිශ්චිත සූත‍්‍රගතකිරීමක් සමඟින් බිකල් පිලිතුරු දුන්නේ, "ප‍්‍රසිද්ධියට පත්කිරීමේ ක‍්‍රියාව හා අනුමාන කරන සිද්ධිය, එනම්, මෙම තරුනයන් 100කගේ මරන, අතර හේතුපලවාදී සම්බන්ධයේ දම්වැල පැහැදිලිය, සෘජුය, ක්ෂනිකය” යනුවෙන් අවධාරනය කරමිනි.

ස්ටුවර්ට් සිය ප‍්‍රශ්නය අවධාරනය කලේය.

යුද සිරකරුවන් මුදාගැනීමේ හැකියාව සහිත සංවේදී සාකච්ඡාවන්ට සම්බන්ධ පුද්ගලයෙකුගේ අනන්‍යතාවය හෙලිදරව් කිරීම තවත් සැලකිය යුතු කාලයකට එම සිරකරුවන් නිදහස් කරගැනීම ප‍්‍රමාද කරනු ඇත යන්න පිලිබඳව විනිශ්චයකරුවන්ට ලැබී ඇති තොරතුරු ඔවුන්ට සෑහීමකට පත්වීමට තරම් ප‍්‍රමානවත් යයි සිතන්න. මම එසේ ඉදිරිපත් කරන්නේ එය ක්ෂනික නොවන නිසාය. සිරකරුවන් මුදාගැනීමේ ප‍්‍රමාදය වැලැක්වීම සඳහා ප‍්‍රසිද්ධියට පත්කිරීමේ ක‍්‍රියාව නතර කිරීමට එය කාරනයක් වන්නේ ද නැද් ද?”

එයට පිලිතුරු වශයෙන් බිකල් තම තුවක්කු පත්තු කලේය. "සුවිශේෂී තොරතුරු ප‍්‍රසිද්ධියට පත්කිරීමේ තනි ක‍්‍රියාව, තර්ජනයට ලක්වන සිදුවීමෙන් පැහැදිලිව හා තීරනාත්මක ලෙස පෙන්වාදිය යුතුය. ‘හේතු 17ක් ඒවාට ඇතුල්කිරීම’ වශයෙන් සංයෝජනය කර නොවේ. ගරු ස්වාමීනි, පලමුවන සංශෝධනය මඟින් සමාජයක් දැරීමට අභිමත වන්නේ යයි සඳහන් කරන අවදානම එයයි. එය, මා නිශ්චිතවම ගනු ලබන නිදහසේ අවදානම පිලිබඳ කොටසයි.”

අභියාචනාධිකරනය විසින් ටයිම්ස් මත තවකාලිකව පනවා තිබුනු තහනම ශ්‍රේෂ්ඨාධිකරනයේ ඡන්ද හයට තුනක් ලබාගනිමින් අහෝසිකරන ලදී.

තීරනය පිලිබඳව ජයගොස නැඟූ නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය, "එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පලමුවන සංශෝධනයට ඇතුලත්කොට තිබෙන දැනගැනීම සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කිරීම, ජාතියේ ඉහලම අධිකරනය විසින් දැඩි ලෙස යලි තහවුරු කරයි” යනුවෙන් ප‍්‍රකාශ කලේය.

ටයිම්ස්හි ආස්ථානය පිලිබිඹු කලේ මාධ්‍යයේ පුලූල් කොටස්වල ආස්ථානයයි. ශ්‍රේෂ්ඨාධිකරනයේ තීරනය අනුමත කරමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් පත‍්‍රය ද ටයිම්ස් සමඟ එක්විය. "අපගේ දෘෂ්ටියට අනුව, ජාතියක ආරක්ෂාව රැඳී ඇත්තේ, එහි ජනතාව අප‍්‍රසන්න කරුනුවලට මුහුනදීමට ද මෙම දේවල් යථාර්තයක් බවට පත්කරන නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන රැකගැනීමට හා පරිපූර්නවූ ද උද්යෝගිමත්වූ ද වාද විවාදවලට එලඹීමට ද දක්වන අභිමතය මතය.”

අද දිනයේ ක‍්‍රියාත්මකවන මාධ්‍ය තුල එවන් මනෝගතීන්ගේ සලකුනක් හෝ සොයාගැනීම අමාරුය. අසාන්ජ් වටා ලේ රහ වැටුනු නඩයකගේ වාතාවරනය කුලප්පු කිරීමට මානබලන සුවිශාල මාධ්‍ය ජාලයක හිමිකරු වන රූපට් මර්ඩොක් වෝල් ස්ට්‍රීට් ජර්නලය ද අයිතිකරගෙන සිටියි. නිව් යෝර්ක් ටයිම්ස්හි විධායක කර්තෘ වන බිල් කෙලර්, ප‍්‍රසිද්ධ කිරීමේ අයිතිය හා සමානවම "ප‍්‍රසිද්ධ නොකිරීමේ අයිතිය ද” තමන් සැලකිල්ලට ගන්නා බව කියා ඇත. අත්තනෝමතික මිලිටරි-පොලිස් ආඥාදායකත්වයක් එක්සත් ජනපදය තුල බලයට පත්වුනත් එය කෙලී මහතා ධුරයෙන් පහකරනු නැත.

පලමුවන සංශෝධනයේ අතිජාත ආරක්ෂකයා ලෙස පෙනී සිටින ෆ්ලොයිඞ් ඒබ‍්‍රහම් සම්බන්ධයෙන් ගත්කල ඔහු, අසාන්ජ්ට එරෙහිව සාර්ථක චෝදනා පත‍්‍රයක් ගොනුකිරීමේ හැකියාව අලලාගත් සාකච්ඡාවක් සඳහා ඔහුගේ තීරුවෙන් සැලකියයුතු පංඟුවක් කැපකරයි. ඔහු 1917 ඔත්තු බැලීමේ පනත අසාන්ජ්ට එරෙහිව සාර්ථකව යොදාගත හැක්කේ කෙසේද යන්න පිලිබඳව යෝජනා ඉදිරිපත් කරයි. "එක්සත් ජනපදයට හානිකිරීමේ අරමුනෙන් අසාන්ජ් මහතා රහස්‍ය තොරතුරු සම්පේ‍්‍රෂනයකර හෝ රැස්කරගෙන ඇතැයි හෙලිදරව් වුවහොත් (ඔහුගේ සමහර ප‍්‍රකාශන එසේ යයි පිලිගත හැකි තත්වය තුල) ඳඬුවම් කිරීමේ අවස්ථාවක් එලඹෙනු ඇතැයි” ඒබ‍්‍රහම් යෝජනා කරයි.

ෆෙඩරල් ආන්ඩුවේ පැමිනිලි පක්ෂය වීමේ හැකියාව ඇති අයට උපදෙස් දීමෙන් සෑහීමට පත් නොවන ඒබ‍්‍රහම් ඔහුගේ තීරුව තුල විකිලීක්ස් ප‍්‍රකාශකයාට එරෙහිව අසාමාන්‍ය චෝදනාවක් නඟමින් මෙසේ නිගමනය කරයි. "අසාන්ජ් මහතා ඇමරිකානු මාධ්‍යකරුවන්ට වාසියක් සලසන්නේ නැත.” මක්නිසාද යත්, "මේ දැන් කල්තබන ලද කොන්ග‍්‍රසය තුල ඉදිරිපත් කිරීමට යෝජිතව පැවති රහස්‍ය මූලාශ‍්‍ර පාවිච්චි කිරීමේදී මාධ්‍යකරුවන් ආරක්ෂා කරන ෆෙඩරල් නීති ආවරනය, ඔහුගේ ක‍්‍රියාකාරකම් නිසා දැනටමත් මියැදී ඇති බැවින්ය. ඔහු පිලිබඳව ඉදිරිපත්වන චෝදනාවකට පසුව, රාජ්‍යතාන්ත‍්‍රික මෙන්ම ආරක්ෂක කටයුතු පිලිබඳ වඩාත් වගකිවයුතු වාර්තාකරනයේදී දැනට පවතිනවාට වඩා භාෂනය සීමාකරන නීතිමය මූලධර්ම පිලිබඳ නීතිමය අර්ථකථන පවා ගෙනආ හැකිය.”

කුමන අවමන් සහගත බියසුලු කමක් ද? අසාන්ජ් විසින් රාජ්‍යයේ බලය හමුවේ කැමැත්තෙන්ම වැඳ වැටෙන අයගේ පැවැත්ම වඩාත් දුෂ්කර කර ඇත. තම ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් භාවිතා කිරීම මඟින් අසාන්ජ්, පලමුවන සංශෝධනයේ සතුරන් ප‍්‍රකෝපකර තිබේ.

පසුගිය හතලිස් වසර අත්දැක තිබෙන්නේ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගොජ දමන කුනුවීමයි. ඇමරිකානු ධනවාදයේ ආර්ථික දිරාපත්වීම සිය නීතිමය ප‍්‍රකාශනය අත් කර ගෙන ඇත්තේ, අති මූලික ව්‍යවස්ථාමය මූලධර්ම එන්ට එන්ටම පිලිකෙව් කිරීම තුලය. නික්සන් පරිපාලනය සාපරාධී කටයුතු පිලිබඳව වරදකරු බවට පත්කල වෝටර්ගේට් අර්බුදය දිගහැරුනේ පෙන්ටගන් ලියවිලි පිලිබඳ පලහිලව්වෙන් ක්ෂනික ඉක්බිත්තෙහි දී ය. ඩැනියෙල් එල්ස්බර්ග්ට එරෙහි නීතිමය කටයුතු සැලසුම් කිරීම ද ඇතුලු සිදුකරන ලද සැබවින්ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කුමන්ත‍්‍රන නික්සන්ගේ ධවල මන්දිරය තුල වැඩී ගියේ පෙන්ටගන් ලියවිලි මුල්කරගෙන ශ්‍රෙෂ්ඨාධිකරනය දුන් නියෝගයට පලවූ ප‍්‍රතිචාරයේ කොටසක් ලෙසය. එල් සැල්වදෝරයේ හා නිකරගුවාවේ ජනතාවට එරෙහිව නීච යුද්ධයක් ගෙනයාමේදී 1980 ගනන්වල රේගන් පරිපාලනය පැහැදිලිවම සාපරාධී ක‍්‍රමවේදයන් අනුගමනය කලේය. 1990 ගනන්වලදී ෆෙඩරල් අධිකරන සංස්ථාව තුල මූලාශ‍්‍රයන් සමඟ අත්වැල් බැඳගෙන කොන්ග‍්‍රසය තුල දක්ෂිනාංශික රිපබ්ලිකානුවන් කල්ලියක් දේශපාලන කුමන්ත‍්‍රනයකින් ජනාධිපති බලයෙන් පහකිරීමට දැරූ උත්සාහය වැරදී ගියේ නූලෙනි. වසර 2000 දී ජනාධිපතිවරනයේ ප‍්‍රතිපලය ශ්‍රේෂ්ඨාධිකරනයේ තීරනාත්මක මැදිහත්වීමෙන් අසත්‍යකරනයට ලක්විය. එම දේශපාලන අපරාධයෙන් ඉක්බිත්තෙහි එක්සත් ජනපදයේ කටයුතු තව තවත් විවෘත ලෙස සාපරාධී ස්වභාවයක් ගත්තේය. මුසාවාද පදනම් කරගෙන යුද්ධ දියත්කරන ලදී. දිගු කාලීනව තහවුරු කොට තිබෙන ව්‍යවස්ථාපිත මූලධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් මිනිසුන් මරනයට, සිරභාරයට හා වධබන්ධනයට පමුනුවන ලදී.

ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් සඳහා ඡන්ද පදනමකින් වන සැලකියයුතු කිසිදු දේශපාලන කැපවීමක් පාලක පැලැන්තියේ හා එහි බුද්ධිමය නියෝජිතයන් තුලින් මුලුමනින්ම නැතිභංගස්ථානවී තිබේ. මේ අර්ථයෙන් ගත්කල ටයිම්ස් වැනි ආයතන ද ඒබ‍්‍රහම් වැනි පලමුවන සංශෝධනයේ හිටපු ආරක්ෂකයින් ද ජූලියන් අසාන්ජ් හා විකිලීක්ස් දඬුකඳේ ගැසීම පිටුපස පෙලගැසීම වනාහි 21වන සියවසේ පලමු දශකය අවසානයේදී ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මලගිය ස්වභාවය පිලිබඳ සැලකියයුතු මිම්මක් වෙයි.

Share this article: