පුත්තලමේ කසල අංගන ව්‍යාපෘතියට එරෙහි මහජන විරෝධය පැතිරෙයි

නිහාල් ගීකියනගේ සහ ශ්‍රීකාන්ත ප්‍රනාන්දු විසිනි, 2019 අප්‍රේල් 2

පුත්තලම සේරක්කුලිය ගම්මානයේ ගොඩනැගෙමින් පවතින නව කසල අංගනයට එරෙහි මහජන විරෝධතා මැඩීම සඳහා පොලිස් ප්‍රහාර එල්ල කිරීමට ආන්ඩුව ගත් පියවර නොතකා මහජන විරෝධතා ඉහල නගිමින් පවතී. පසුගිය පෙබරවාරි 13,14 සහ15 දිනවල පුත්තලමේ උද්ඝෝෂනයන්ට දස දහස් ගනනක් එක්වූ අතර මාර්තු 22 දින උද්ඝෝෂකයන්ට පොලීසිය පහරදී විසිරුවා හැරිනි.

පුත්තලම ප්‍රදේශයට සංචාරය කල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) නියෝජිතයන්ට දැක ගතහැකි වූයේ අරුවක්කාලු කසල අංගනය නමින් ප්‍රසිද්ධව ඇති නව කසල අංගනය ගොඩ නගනුයේ පුත්තලම කලපුව ආසන්නයේ ධීවර ජනතාව ජීවත්වන සේරක්කුලම ගම්මානයේ බවයි.

මෙම ව්‍යාපෘතිය මගින් සේරක්කුලිය හා කරතිව් යන ගම්මාන දෙකට ප්‍රධානවමද, සින්නනාග විල්ලුව, මාල විල්ලුව, එරිකලන් විල්ලුව, රා මඩුව, එලුවන්කුලම, ගඟේ වාඩිය හා මංගලපුර ආදී ගම්මාන වලටද අනතුරුදායක ප්‍රතිඵල ඇතිවිය හැකිබව ඒවායේ පදිංචිව සිටින මහජනයා පෙන්වා දුන්හ.

ඔවුනට අනුව, සේරක්කුලිය ග්‍රාමයේ පවුල් 300 ක් ද කරතිව් වල පවුල් 1200 ක් ද පදිංචිව සිටිති. අනතුරට මුහුන දී සිටින ගම්මාන සියල්ලේම පදිංචිව සිටින පවුල් සංඛ්‍යාව 7000 ක් පමන වන වෙයි.

මෙම පවුල් වලින් සියයට 90ක් පමන ධීවර කර්මාන්තයෙන් යැපෙන අතර අනෙක් පවුල් ගොවිතැන් හා ලුනු නිෂ්පාදනයේ යෙදෙති. ගොවිතැනට ජලය ලබාගන්නේ නල ලිං මගිනි. නව ව්‍යාපෘතියෙන් ජලය අපවිත්‍රවී මෙම සියලු රැකියා කර ගත නොහැකි තත්වයට ඇද වැටෙතැයි ඔවුහු භීතියට පත්ව සිටිති.

මෙම අංගනය විද්‍යානුකූලව ගොඩනැගෙන බවට ආන්ඩුව කියා සිටියද එය එසේ නොවන බවට පරිසරවේදීන් විසින් කරුනු දක්වා ඇත. තවද පසුගිය කාලය පුරා ධනපති ආන්ඩු ආරම්භ කල ව්‍යාපෘති මගින් මහජන ජීවිත විනාශ කෙරුනු ආකාරය පිලිබඳ උදාහරන ගෙන එමින් මෙම මෙම ව්‍යාපෘතියෙන් ද මහත් විනාශයක් සිදුවන බවට ප්‍රදේශවාසීහු තර්ක කරති.

ඔවුනගේ ප්‍රධාන අවධානය යොමුවන්නේ, 2017 දී මීතොටමුල්ල කසල කන්ද නායයාමෙන් සිදු වූ විනාශය සහ පුත්තලමේ නොරොච්චෝල් හි ගල් අඟුරු බලාගාරය මගින් සිදුකර ඇති පරිසර විනාශයත් කෙරෙහිය.

හුනුගල් බහුල මෙවන් ප්‍රදේශයන් කසල අංගනයන් සඳහා තෝරා නොගත යුතු බවට විද්‍යාත්මකව පිලිගත් මතයක් ඇති බවද, ප්‍රදේශයේ භූ ගත ජලය ඉහල තලයක පැවතීම අනතුර වැඩි කරන බවද පරිසරවේදීන් පෙන්වා දෙති. කසල අතර විදුලි උපකරන සහ රසායනික ද්‍රව්‍ය පවතින බැවින් ඒවා මගින් රසදිය හා ආසනික් වැනි විස පරිසරයට කාන්දු වී ජීවිත විනාශයන්ට බලපාන බවටද ඔවුහු තර්ක කරති.

ලෝසවෙඅ ට තම අදහස් ප්‍රකාශ කල ධීවරයෙකු වන උදිත දේශප්‍රිය ලංකාවේ පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය වෙත තම විරෝධය පල කලේය.

“ඔවුන් අපෙන් අරගෙන යන ප්‍රකාශ නෙමෙයි පල කරන්නෙ. රටේ දේශපාලන පක්ෂ, රටේ පවතින නීතිය, රටේ ආරක්ෂාවට සිටින හමුදා ආදී මේ කිසිවක් අපි වෙනුවෙන් ඇති ආයතන නෙමේ. අපි කියන දෙයට ඇහුම්කන් දෙන කිසිම ආයතනයක් නැහැ. වෙරල සංරක්ෂන, ජල ජීවී, වන ජීවී, වන සංරක්ෂන කෝ මේවා? අපි කියන දේට ඇහුම්කන් දෙනවද?”

තව දුරටත් ඔහු මෙසේ පැවසීය: “මේවා මුස්ලිම් අයගේ වැඩක්, ආන්ඩුවේ නොවන සංවිධාන වල වැඩක් කියල හංවඩු ගහන්න හදනවා. මේක අපි සැමගේ ඒකාබද්ධ අරගලයක්. බලන්න නොරෙච්චෝලේ තාප බලාගාරයට විරුද්ධව මිනිස්සු උද්ඝෝෂනය කලා. මිනිස්සු පැරදුනා ව්‍යාපෘතිය ජයගත්ත. අද බලන්න, හුලඟේ පාවෙන අලු නිසා අවට ජනතාව අපහසුතාවයට පත් වෙලා. මේ අලු මුහුදට වැටෙනවා. තාප බලාගාරයේ උනු වතුර කිලෝමීටර් 2-3 ක් ඈත මුහුදට මුදා හරිනවා. මේවා පරිසර හානි. පුත්තලමෙ සිමෙන්ති කම්හල, එයින් පිටවෙන දුවිල්ල නිසා මිනිස්සු ගම් දාල ගියා. මේවා නිසා මිනිස්සු පීඩාවට පත් වෙලා ඉන්නේ.”

ඉතිකා කියල ආයතනයක් උච්චිමුනේ ප්‍රදේශයේ ඉල්මනයිට් හෑරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් වන බවට ආරංචි පවතින බවත් එම ව්‍යාපෘතියේදී පස් සෝදා හරින්නේ කලපු ජලයෙන් බවත් ඔහු පැවසීය. මේ ප්‍රශ්න හේතුවෙන් තම ගම්බිම් අහිමි වෙතැයි ප්‍රදේශවාසීන් භීතියට පත්ව ඇති අයුරු ද දේශප්‍රිය පෙන්වා දුන්නේ ය. “ආන්ඩුව කියන්නේ මේ ව්‍යාපෘතිය එස්ටීඑෆ් එකේ සහයෝගයෙන් හෝ ඉදිරියට කරගෙන යනව කියලයි.”

මැල්කම් ජෝසෆ්

මැල්කම් ජෝසෆ් නම් ධීවරයා මෙසේ පැවසීය. “කන්දකුලියේ (කල්පිටිය අර්ධද්වීපයේ) වෙඩි පිටියක් තියනවා. ඒකෙ පිපිරුම් වලට පොලව හෙල්ලෙනව. අනිත් පැත්තෙන් සිමෙන්ති කම්හල හුනුගල් වලට ඩයිනමයිට් දානව. ගෙවල් දෙදරලා පුපුරලා තියෙන්නෙ. කසල කලමනාකරන මධ්‍යස්ථානය පොලව තලනව. අපේ ගෙවල් දෙදරුම් කනවා. එතකොට මේ කම්පනේට දියේ ඉන්න මාලු බොහෝ ඈතට යනව. අපිට අපේ රැකියාව අහිමි වෙලා තියෙන්නෙ.”

ඔහුට අනුව ධීවරයන්ට රැකියාව කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇත. බොහෝ ධීවරයන් තම යාත්‍රා ගොඩබිමට ඇද දමා කොලඹ නගරයේ ගොඩනැගිලි කම්කරුවන් හැටියට වැඩට යන බව ඔහු පැවසීය.

මාධ්‍ය කෙරෙහි ඔහුගේ විරෝධය මෙසේ ප්‍රකාශ කලේය. “සිරස ගම්මැද්ද වැඩසටහන අපිව විකුනගෙන කෑව. අහාර පාන වියදම් කරල අන්තිමේදී උන් කසල ව්‍යාපෘතිය සාධාරනීකරනය කලා. එදා ඇද වැටුන ධාරානිපාත වර්ෂාවත් සමග වැඩබිම හෝදගෙන විශාල ජල ප්‍රවාහයක් කලපුවට පාත් උනා. මුලු කලපුවම රතු උනා. අපේ ‘මොඩා’ (මාලු විශේෂයක්) මාලු ව්‍යාපෘතිය ඒ ජල දුෂනයත් සමග විනාශ උනා. ඒ වෙලාවේ අපි සිරස කැමරා ශිල්පීන්ට කිව්වා කලපුවට කැමරා හරවන්න කියල. උන් ඒක කලෙත් නෑ. මිනිස්සුන්ට කලපුව පැත්ත බලන්න එපා කිව්වා. මිනිස්සු සිරසට විරෝධය පාල වැඬේ කඩාකප්පල් කලා. නමුත් උන් ඒක එඩිට් කරල දාල තිබ්බෙ.”

අක්‍රම්

ඉංග්‍රීසි ගුරුවරයෙකු වන අක්‍රම් මෙසේ පැවසීය. “මාස 3 කට කලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අවා මහත්තුරු කට්ටියක්. ඒකේ මෙගා පොලිස් එකේ මහත්තුරු 7 ක් හිටිය. ඒ අය ප්‍රොජෙක්ටර් දාල අපිට පෙන්නලා කිව්වා මේ ව්‍යාපෘතියෙන් පරිසරයට හානියක් නෑ කියල. එය තට්ටු ක්‍රමයට (ලේයර්) කරන්නෙ කියල. අපි ඒ අයගෙන් ප්‍රශ්නයක් ඇහුව හුනුගල් කඩන්න ඩයිනමයිට් දානකොට ඔය ලේයර් වලට මොකද වෙන්නේ කියල බලන්න භූගත කැමරා දානවාද කියල? ඒ අය කිව්වා නෑ කියල. එතකොට අපි ඇහුව ඔයාල කොහොමද දන්නේ පොලව අභ්‍යන්තරයේ සිදුවන දේ කියල? එයාල කියනවා අපි ගෙයක් හදනවා ඒක කඩාගෙන වැටුනොත් අපි මොකද කරන්නෙ කියල.”

මාර්තු 22 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රදේශයට පැමිනීමට පෙර මහජන නියෝජිත පිරිසක් ඔහු හමුවීමට කොලඹට ගිය නමුත් එය ඉටු නොවූ බව ද ජනාධිපතිවරයා සුභ ආරංචියක් රැගෙන පැමිනෙතැයි ඔවුනගේ ලිපිය භාරගත් ජනාධිපති ලේකම්වරයා පැවසූ බවද අක්‍රාම් පැවසීය.

“ඒක විශ්වාස කරල අපි ආව. ජනාධිපති ආව වෙලාවේ අපිට ලියුම භාර දෙන්න ඉඩ දුන්නේ නෑ. කසල පිලිබඳව ජනාධිපති එක වචනයක්වත් කතා කලේ නෑ. අපි ලියුම දෙන්න ගිය වෙලාවේ අපේ ගෑනු අයටත් පොලීසිය එලව එලවා ගැහුව. අපිට අයිතියක් තියනවා ජනාධිපතිට ලිපියක් භාර දෙන්න. ඒක ජනාධිපති නොසලකා හැරියා.”

ඔහු මෙසේද පැවසීය: “අපි සටන් කරන්නෙ අපි වෙනුවෙන් නෙමේ. මම තව අවුරුදු 10-15 ක් ජීවත් වෙයි. අපි දැන් සටන් කරන්නෙ අනාගත පරපුර වෙනුවෙන්. අපි සටන් නොකෙරුවොත් අනාගත පරපුර කියාවි අපි අද මෙහෙම විඳවන්නේ අපේ වැඩිහිටියන් මෙයට විරුද්ධව අරගල නොකල නිසා කියල. අපි සිංහල, මුස්ලිම් භේදයක් නෑ. අපි එකම සහෝදර පිරිසක් ලෙස අරගල කරනව. අපිට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න සාමකාමී පරිසරයක ජීවත් වෙන්න.”

Share this article: