අරුවක්කාලු ව්‍යාපෘතිය: ගෝලීය අර්බුදයකට ජාතික විසඳුමක් දිය හැකි බවට මවාපාන ප්‍රෝඩාවක්

විජිත් සමරසිංහ විසිනි, 2019 අප්‍රේල් 18

මහ කොලඹ නාගරික ප්‍රදේශය තුල ජනනය වන ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා යයි කියමින්, පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු හා සාරක්කුලිය යන ප්‍රදේශ වල මහා පරිමාන කසල රඳවන සංකීර්නයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් දියත් කර ඇත. පලමු අදියර පසුගිය මස විවෘත වූ මේ ව්‍යාපෘතියට ප්‍රදේශවාසින්ගේ හා පරිසර වේදීන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.

කොලඹ සිට කිලෝමීටර 170 ක් පමන දුරින් පිහිටි පුත්තලමට දුම්රියෙන් කසල ගෙනගොස් එහි ඇති අංගනයකට බැහැරලීම මේ ව්‍යාපෘතියේ සැලසුමයි. පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා හුනුගල් කැනීම් කල බිමක් අංගනය සඳහා තෝරාගෙන ඇත. මෙහි එක් පසකින් විල්පත්තු ජාතික වනෝද්‍යානය ද අනෙක් පසින් පුත්තලම කලපුව ද පිහිටා තිබේ.

කසල අංගනය හා අපද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථාන ඉදිකිරීමද ඇතුලුව, ඇමරිකානු ඩොලර් මිලියන 100.9 ක කොන්ත්‍රාත් ගිවිසුම ප්‍රදානය කර ඇත්තේ චීන සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගමට යි. මෙගාපොලිස් අමාත්‍යංශට අනුව, සම්පූර්නයෙන් නිමකල පසුව එයට කොලඹ නාගරික ප්‍රදේශයේ දිනකට ජනනය වන මෙටි්‍රක් ටොන් 1200 ක් පමන වන මුලු අපද්‍රව්‍ය ප්‍රමානයම, වසර 25 සිට 80 දක්වා කාලයක් භාර ගැනීමට හැකිවනු ඇත.

මෙගාපොලිස් අමාත්‍යංශය මේ සහතිකවීම් සිදුකලද, ව්‍යාපෘතියට එරෙහිව අතිවිශාල පොදු මහජන විරෝධයක් පුත්තලම ප්‍රදේශයේත් රට පුරාත් ඇවිලෙමින් තිබේ. “පිරිසිඳු පුත්තලමක් ව්‍යාපාරය” ඇතුලු විරෝධතාව දක්වන සංවිධාන පවසන්නේ, වරින්වර සැලසුම වෙනස් කරමින් සිදු කරගෙන යන මේ ව්‍යාපෘතිය නිසා ප්‍රදේශවාසීන්ට, ධීවරයින්ට හා අවට පරිසර පද්ධතියට ආපසු හැරවිය නොහැකි විනාශයක් සිදුවන බවයි.

හුනුගල් සහිත බිමක, කලපුවට හා ලේවායට ආසන්නව හා තවමත් කැනීම් කරන විවෘත පතලක් ආශ්‍රිතව පිහිටා තිබීම නිසා මේ ප්‍රදේශය කසල රඳවනයක් සඳහා මොනම අයුරකින් වත් නුසුදුසු බව පරිසරවේදීන් තර්ක කරයි.

මාර්තු හා පෙබරවාරි මාසවල, පුත්තලම නගරයේ හා කොලඹ ගාලු මුවදොර පිටියේ ද දැවැන්ත මහජන විරෝධතා පැවැත්වුනු අතර, ආන්ඩුව ඒවා නොතකමින් බලහත්කාරයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ තැතක නියලී සිටී.

අරුවක්කාලු කසල රඳවනය පිලිබඳ ජනතා විරෝධය, අනුප්‍රාප්තික ධනපති ආන්ඩු මහජනතාවගේ ඕනෑම බරපතල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් දක්වන නොතැකීම හා මහජන ආරක්ෂාව නොතකමින් ඒවාට ගෙන එන ව්‍යාජ විසඳුම් පිලිබඳව ඇති දැඩි සැකය හා වෛරය තුලින් පැන නැගෙන්නකි.

ව්‍යාපෘතිය දියත් කිරීමට ආන්ඩුවට ඇති තදියම කිසිඳු අයුරකින් කසල අර්බුදය නිසා කොලඹ මහජනතාව මුහුන දී ඇති බරපතල සෞඛ්‍ය හා පාරිසරික ගැටලු ගැන උත්සුකයකින් පැනනැගුනක් නොව, පසුගිය රාජපක්ෂ පාලනය යටතේ “කොලඹ සංවර්ධන ව්‍යාපෘතිය” ලෙස හා වර්තමාන ආන්ඩුවේ “මෙගාපොලිස් ව්‍යාපෘතිය” නමින් ක්‍රියාත්මක වෙමින් ඇති, කොලඹ ඉඩම් හා යටිතල පහසුකම් පුද්ගලික ආයෝජකයන්ට පවරාදීමේ වැඩපිලිවෙලට කසල අර්බුදය බාධාවක් වීමෙන් ඇතිවූවකි.

1980 ගනන් වල සිට ලංකාවේ සිදුවූ සැලසුමකින් තොර නාගරික ප්‍රසාරන ය හා කාර්මීකරනය නිසා කසල ජනනය ඉහවහා ගිය අතර, සියලු ආන්ඩුවල පිලිවෙත වුයේ එම කසල තෙත් බිම්, ලඳු කැලෑ, කලපු වැනි පරිසර පද්ධති වලටත්, දුප්පත්ම ජනතාව වෙසෙන ප්‍රදේශ වලටත් ගෙන ගොස් ඇතහැරීමය. බ්ලුමැන්ඩල්, මීතොටමුල්ල, කරදියාන, ගොහාගොඩ වැනි කසල කඳු ඇතිවූයේ මෙලෙසය. මේ කසල කඳු වලින් ඇතිවෙමින් තිබුනු බරපතල පරිසර හා සෞඛ්‍ය ප්‍රශ්න වලට එරෙහිව නැගුනු ජනතා විරෝධය රුදැරු ලෙස මර්දනය කෙරිනි.

මේ විනාශයේ බියකරුම ප්‍රතිපලය වූ 2017 අප්‍රේල් මස මීතොටමුල්ල කසල කන්ද ගිලාබැසීමෙන් 40 දෙනෙකු මියගිය අතර නිවාස සිය ගනනක් විනාශ විය. කසල අර්බුදයේ ගැඹුර කොතරම්ද යත් පසුගිය මස තුල පමන ක්, ගොහාගොඩ කසල කන්ද නාය යාමෙන් හා කුරුනෑගල හා මාතර කසල බහාලන ස්ථාන වල ගිනිගැනීම් වලින් ද ප්‍රකාශයට පත්විය.

පසුගිය වසර 20 තුල මීට විසඳුම් ලෙස ආන්ඩු විසින් ගෙන ආ “සනීපාරක්ෂක කසල රැඳවුම්”, “ප්‍රතිචක්‍රී කරන මධ්‍යස්ථාන” හා “කසල දහනයෙන් බලශක්ති නිපදවීම” ආදී සියලු ආකාරයේ යෝජනා අවසානයේ එක් වුයේ ශ්‍රී ලංකාවේ දේශපාලන බොරු පොරොන්දු නමැති කසල ගොඩටය.

මේ බොරු පොරොන්දු වල ගඳගහන ඉතිහාසය එලෙස තිබියදීම, මෙගාපොලිස් අමාත්‍යංශය යලි පොරොන්දු වන්නේ අරුවක්කාලු ව්‍යාපෘතිය මගින් “පරිසරයට කිසිඳු හානියක් නොවනසේ” කසල බැහැර කිරීමට හැකි බවයි.

මේ මවාපෑම තහවුරු කිරීමට ධනපති විද්වතුන් පිරිසක්ද කරබදු වෙමින් සිටිති. පරිසර ඉංජිනේරුවකු හා ව්‍යාපෘතියේ උපදේශකයෙකු වන මහාචාර්ය මහේෂ් ජයවීර පවසන්නේ, ලංකාවේ කසල අර්බුදයට මෙතෙක් යෝජිත විසඳුම් වලින් වඩාත්ම දියුනු, ආර්ථික වශයෙන් සකසුරුවම් හා පාරිසරික වශයෙන් අවම හානිදායක විසඳුම මෙය වන බවත්, ඝන අපද්‍රව්‍ය නිසා කොලඹ නගරයේ ජනතාවට ගෙවීමට සිදුවී ඇති පරිසර විනාශයේ පිරිවැය සමග සසඳන විට මෙයින් සිදුවිය හැකි හානිය නොගිනිය හැකි තරම් බවත්ය.

මීට ප්‍රතිකුලව, පරිසරවේදීන් හා සංවිධාන පවසන්නේ ආන්ඩුවට කසල අර්බුදය සම්බන්ධයෙන් නිවැරදි “ජාතික ප්‍රතිපත්තියක්” නැති වීම, මේ අර්බුදයේ මූලය බවත්, එවැන්නක් තිබුනේ නම් නිසි කලමනාකරනයක් තුලින් දියුනු රටවල කර ඇති ආකාරයෙන් ලංකාවේද කසල අර්බුදය විසඳිය හැකිබවයි.

ධනපති ක්‍රමය හා ජාතික රාමුව තුල කොටුවී කරන මේ කිසිඳු විග්‍රහයකින්, ගෝලීය පරිසර අර්බුදයේ කොටසක් ලෙස වර්ධනය වෙමින් පවතින ලංකාවේ කසල ප්‍රශ්නයේ සැබෑ ස්වාභාවය අවබෝධ කරගැනීම හෝ ඊට විසඳුම් සෙවීම කල හැක්කක් නොවේ.

මේ ව්‍යාපෘතිය නිසා අරුවක්කාලු ප්‍රදේශයේ සුවිශේෂ පරිසර ගැටලු ගනනාවක් පැනනැගිය හැකි ය. පරිසර අවදානමක් සහිත සංවර්ධන කටයුත්තක් සිදුකර, පසුව එය පාලනය කිරීමට තාක්ෂනය යෙදවීම, පරිසර විද්‍යාවේ මූලිකම මූලධර්මයක් වන “පුර්වාරක්ෂා මුලධර්මය”ටමත් (Precautionary Principle) පටහැනිය. නමුත් මූලික ප්‍රශ්නය වන්නේ, මේ ව්‍යාපෘතිය තුලින් පැනනගින ඒ හෝ මේ ප්‍රාදේශීය පරිසරික හෝ සමාජීය ගැටලුව තාක්ෂනිකව විසඳා ගතහැකිද නැත්ද යන්න නොව, ඝන අපද්‍රවය අර්බුදයේ සැබෑ මූලයන් මොනවාද යන්නයි.

ශ්‍රී ලංකාවේ ඝන අපද්‍රව්‍ය කලමනාකරනය පාරිසරික ප්‍රශ්නයක් ලෙස මතුව ආවේ 1980 ගන න් වල මුල සිටය. නොදියුනු රටවල ජනතාව හා සම්පත්, ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයට යටත් කරමින් ගෙන ආ, විවෘත ආර්ථික ප්‍රතිපත්ති වල එක් ප්‍රතිපලයක් වූයේ, සැලසුමකින් තොර නාගරික ප්‍රසාරනය හා එමගින් නාගරීකරනය ආශ්‍රිත පාරිසරික ප්‍රශ්න සීඝ්‍රයෙන් ඉහල යාමය.

මේ කාලය තුල, ගෝලීය ආර්ථික ඒකාග්‍රකරනයේ ප්‍රතිඵලයක් ලෙස, පරිසරයේ ධාරන සීමාවන් ඉක්මවායන ප්‍රමානයෙන් අපද්‍රව්‍ය ජනනය වීම එක් පසකින් සිදුවන විට අනෙක් පසින් පෘථිවිය මත මෙතෙක් ස්වාභාවිකව නොපැවතුනු හා ස්වභාවික ක්‍රියාවලි මගින් දිරාපත් නොවන ප්ලාස්ටික්, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වැනි දෑ පරිසරයට එක්විය.

මෙලෙස බැරෑරුම් වන ඝන අපද්‍රව්‍ය අර්බුදය නිසිලෙස කලමනාකරන ය කිරීමට වඩාත් ඉහල සම්පත් හා තාක්ෂනය යෙදිය යුතුව තිබියදී, “විවෘත ආර්ථික ප්‍රතිපත්ති” යටතේ ලොව පුරා ධනපති ආන්ඩු සිදුකලේ එවැනි පොදු සේවා සඳහා වියදම් කපා හැරීමය. මේ තතු තුල, ඝන අපද්‍රව්‍ය අර්බුදය, දියුනු හා නොදියුනු රටවල් එකලෙස වෙලාගෙන ඇති ලෝක පරිමාන ගැටලුවක් බවට පත්වී ඇත.

කසල රඳවන ආශ්‍රිතව නිරතුරුව ඇතිවන අනතුරු, අපද්‍රව්‍ය වලින් සිදුවන දීර්ඝ කාලීන ජල දුෂන ය, ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ටොන් ගනනින් සාගර වලට එක්වීම ආදිය එහි බලපෑම් වලින් සමහරක් පමනි. පසුගිය වසර 15 තුල පමනක් නොදියුනු රටවල් වල, දුසිම් ගනන් හෝ සියගනන් එකවර මරනයට පත්කරමින් කසල කඳු ආශ්‍රිතව සිදුවූ දැවැන්ත ව්‍යසන 10 කට වඩා වාර්තා වී ඇත.

1960 ගන න් වල ඉතා සීමිතව හෝ විද්‍යාත්මක ඝන අපද්‍රව්‍ය කලමනාකරනයක් ආරම්භ කර පැවති දියුනු ධනපති රටවල පවා, මේ වනවිට කසල ආශ්‍රිත උග්‍ර ගැටලු පැනනැගී ඇති අතර, වඩාත්ම උපද්‍රවකාරක අපද්‍රව්‍ය දියුනු රටවල සිට නොදියුනු රටවලට ප්‍රවාහගත කරන ජාලයක්ද ගොඩනැගී ඇතිබව මෑතක සිදුකල අධ්‍යනයන් හෙලි කරයි.

මුලුමහත් පෘථිවි ගෝලයම වෙලාගෙන ඇති අරාජික ධනපති ආර්ථිකයේ අතුරුඵලයක් වන කසල අර්බුදය සඳහා ජාතික මට්ටමෙන් විසඳුම් සෙවීම ”අතීසාරයට අමුඩ ගැසීමකි”.

පසුගිය සියවස තුල අපද්‍රව්‍ය අර්බුදය ගැඹුරු වීමට හේතුව යැයි තර්ක කරන සමහර පරිසරවේදීන් ඊට විසඳුම ලෙස ඉදිරිපත් කරනුයේ ඉතිහාසයේ පසුපසට ගමන් කරමින් “පැරනි සරල ජීවන ක්‍රම” වැලැඳ ගැනීම යි. මෙම තර්කය සහ පරාගතවාදී විසඳුම් මුලුමනින්ම අවිද්‍යාත්මකය.

සීඝ්‍ර කාර්මිකකරනයට හා නිෂ්පාදනයේ වර්ධනයට සරිලන පරිදි අපද්‍රව්‍ය කලමනාකරනය සැලසුම් කරගත නොහැකි වූයේ, ජාතික රාජ්‍ය පද්ධතිය මත පාදක වූ ලාභය සඳහා කෙරෙන ධනපති නිශ්පාදනය එයට එරෙහිව පිහිටා සිටි බැවිනි.

පුරෝගාමී මාක්ස්වාදියෙකු වන ෆෙඞ්රික් එංගල්ස් ගේ “සොබාදහමේ දයලෙක්තිකය” කෘතියේ එන “මානව පරිනාමයේ ශ්‍රමය ඉටුකල කාර්ය භාරය” නමැති ලිපියේ මෙසේ සඳහන් වෙයි: ”ස්වභාව ධර්මයට එරෙහි අපගේ ජයග්‍රහන ගැන අපි උවමනාවට වඩා උදම් ඇනිය යුතු නැත, මන්දයත්, ඒ සෑම ජයග්‍රන යකට එරෙහිවම පරිසරය අපෙන් පලිගන්නා බැවිනි. .... නමුත් විද්‍යාවන් ලබා ඇති දියුනුව තුල, අපට අපගේ එදිනෙදා නිශ්පාදන ක්‍රියාකාරකම් වල දුරස්ථ පාරිසරික ප්‍රතිවිපාක අවබෝධ කර ගැනීම හා පාලනය කරගැනීමට වෙන කවරදාකටවත් වඩා හැකිවන තැනකට පැමින සිටිමු. නමුත් නිෂ්පාදනය හසුරුවන ධනපතියන්ට, තම ක්‍රියාවන්හි ආසන්නතම ප්‍රතිලාභය [හා ලාභය] හැර අන් කිසිවක් සැලකිල්ලට ගැනීමට හැකියාවක් නැත.”

ගෝලීය කසල අර්බුදය, මානව නිශ්පාදනයේ දුරස්ථ පාරිසරික බලපෑම් අතරින් එකක් පමනි. විධිමත් අපද්‍රව්‍ය කලමනාකරනයක් සාක්ෂාත් කල හැක්කේ පුද්ගලික ලාභය වෙනුවට මානව අවශ්‍යතා මත පාදක කෙරුනු සහ ගෝලීය සැලසුම්කරනයකට එරෙහිව පිහිටන ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කෙරුනු ජාත්‍යන්තර සමාජවාදී නිශ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමෙන් පමනකි.

ලෝක ධනපති ක්‍රමයේ අර්බුදය මගින් පැනනැගී ඇති ලෝක යුද්ධය හා ලෝක ආර්ථික අර්බුදය මෙන්ම ගෝලීය පරිසර අර්බුදය විසඳීම ද සිදුකල හැකි එකම විප්ලවවාදී සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. ජාතිකවාදී විසඳුම් වල ජනතාව හිරකර තබන පරිසර සංවිධාන හා නිශ්ඵල ව්‍යාජ-වාම විරෝධතා ව්‍යාපාර වලින් මිදී මේ ප්‍රශ්න වලට මැදිහත් වීමට කම්කරු පන්තිය තම ස්වාධීන සංවිධාන පිහිටුවා ගත යුතුය. ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් යටතේ මේ ප්‍රශ්න විසඳීමේ වගකීම කම්කරු පන්තිය විසින් තමන් අතට නොගත හොත්, මේ ශතවර්ෂය ඇතුලතදීම පෘථිවි ගෝලය තුල මිනිසාට පමන ක් නොව මුලුමහත් ජීවයටම පැවතීමේ කොන්දේසි අහෝසි වී යාම වැලැක්විය නොහැක.

Share this article: