බ්‍රිතාන්‍ය පොලීසිය ඉක්වදෝර තානාපති කාර්යාලයේ දී ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට ගනී

British police arrest Julian Assange in Ecuadorian embassy

ඔස්කාර් ග්‍රෙන්ෆෙල් විසිනි, 2019 අප්‍රේල් 11

බ්‍රහස්පතින්දා (අප්‍රේල් 11) උදෑසන ඉක්වදෝර ජනාධිපති ලෙනින් මොරේනෝගේ තන්ත්‍රය, ජූලියන් අසාන්ජ් අත්අඩංගුවටගැනීම සඳහා එරට ලන්ඩන් තානාපති කාර්යාලයට පැමිනෙන ලෙස බ්‍රිතාන්‍ය පොලීසියට ආරාධනා කරමින් ඔහුගේ දේශපාලන රැකවරනය නීති-විරෝධී ලෙස අවසන් කලේ ය.

බ්‍රිතාන්‍ය පොලීසියේ නිලධාරීන් කන්ඩායමක් අසාන්ජ් ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් එලියට ඇදගෙන ගියහ. ඔහුට කුරිරු ලෙස අඩන්තේට්ටම් කරමින් පොලිස් වෑන් රථයකට දමද්දී පවා “ට්‍රම්ප් පරිපාලනයේ මෙම උත්සාහයට එක්සත් රාජධානිය ප්‍රතිරෝධය දැක්විය යුතු යි... එක්සත් රාජධානිය ප්‍රතිරෝධය දැක්විය යුතු යි” යි කියමින් අසාන්ජ් ඔහුගේ චෝදකයන්ට අභියෝග කලේ ය.

ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ දී බ්‍රහස්පතින්දා උදෑසන ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට ගනු ලැබී ය

“තානාපති කාර්යාලයෙන් අසාන්ජ් නෙරපීම හා අත්අඩංගුවට ගැනීම පෙර නුවූ විරූ අපරාධයන්”යැයි ඕස්ට්‍රේලියානු සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජාතික ලේකම් ජේම්ස් කොගාන් කීවේ ය. “අපරාධයක් සිදුකර නැති ජනමාධ්‍යවේදියෙකු හා ප්‍රකාශකයෙකු වන අසාන්ජ්ගේ රැකවරනය අවසන් කොට, දේශපාලන සරනාගතයෙකු ලෙස ඔහුගේ තත්ත්වය ආරක්ෂා කරමින් එක්සත් ජාතීන් විසින් යලි යලිත් දෙන ලද නියෝග උල්ලංඝනය කරමින් ඔහු ව බන්ධනාගාරය කරා ඇදගෙන ගොස් ඇත.”

“අසාන්ජ්ට එරෙහි ප්‍රහාරය කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ව යොමු වී තිබේ. එහි ඉලක්කය වන්නේ යුද්ධය, කප්පාදුව හා ආඥාදායකත්වයට එරෙහි මහජන විරෝධය මර්දනය කිරීමේ පූර්වාදර්ශයක් නිර්මානය කිරීම යි” යි කොගාන් වැඩිදුරටත් කීවේ ය.

“මහනාගරික පොලීසියේ හදිසි ඒකකයක් විසින් ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම තෙරේසා මේගේ කොන්සර්වැටිව් ආන්ඩුව හා ලෙනින් මොරේනෝගේ ඉක්වදෝර ආන්ඩුව දේශපාලනික ව වගකිව යුතු දේශපාලන අපරාධයක්” යැයි බ්‍රිතාන්‍ය සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ක්‍රිස් මාස්ඩන් කීවේ ය.

“අත්අඩංගුවට ගැනීම සිදු වූයේ, එක්සත් රාජධානියේ විදේශ ඇමති සර් ඇලන් ඩන්කන් විසින් ‘අපේ දෙරට අතර විස්තීර්න සාකච්ඡාවක්’ ලෙස විස්තර කල දෙයට පසුව තානාපතිවරයා විසින් ඉක්වදෝර තානාපති කාර්යාලයට පැමිනෙන ලෙස පොලීසියට ආරාධනා කිරීමෙන් පසු ය. තිරයෙන් පිටුපස සිට එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය සිද්ධීන් මෙහෙයවමින් සිටී.

“සමාජවාදී සමානතා පක්ෂය මෙම කුමන්ත්‍රනය හෙලා දකී. ජාත්‍යන්තර නීතිය පැහැදිලි ලෙස උල්ලංඝනය කරමින් විකිලීක්ස් ආරම්භකයා එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට ගන්නා ආරම්භක පියවරයන්ට විරුද්ධ ව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ පලල් ම විරෝධතා ව්‍යාපාරයක් බලමුලුගැන්වීමට අපි අපට හැකි සෑම දෙයක් ම කරන්නෙමු.”

එක්සත් ජනපද නැගෙනහිර වේලාවෙන් පෙරවරු5:37ට පමන විකිලීක්ස් විසින් ට්විටර් පනිවුඩයක් මගින් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම සනාථ කලේ ය: “හදිසි පනිවුඩයක්: ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් ඉක්වදෝරය නීති-විරෝධී ලෙස අසාන්ජ්ගේ දේශපාලන රැකවරනය අවසන් කොට තිබේ. මිනිත්තු කිහිපයකට පෙර

බ්‍රිතාන්‍ය පොලීසිය විසින් ඉක්වදෝර තානාපති කාර්යාලයේ දී ඔහු ව අත්අඩංගුවට ගත්තේ ය.”

මිනිත්තු කිහිපයකට පසු විකිලීක්ස් ට්විටර් පනිවුඩයක මෙසේ ලිවී ය: “හදිසි පනිවුඩයක්: ජූලියන් අසාන්ජ් ‘තානාපති කාර්යාලයෙන් පිටතට පය තැබුවේ’ නැත. ඉක්වදෝර තානාපතිවරයා බ්‍රිතාන්‍ය පොලීසියට තානාපති කාර්යාලය තුලට ආරාධනා කල අතර ඔහු ව වහා ම අත්අඩංගුවට ගන්නා ලදී.”

බ්‍රිතාන්‍ය ස්වදේශ ලේකම් සජීඞ් ජාවිඞ් වහා ම ට්විටර් වෙත පිවිස ප්‍රකාශ කලේ: “ඉක්වදෝර තානාපති කාර්යාලයට ඇතුලු වීමෙන් ආසන්න වසයෙන් වසර හතකට පසුව ජූලියන් අසාන්ජ් පොලිස් අත්අඩංගුවේ සිටින බවත් එක්සත් රාජධානියේ නීතියට සාධාරනව මුහුන දී සිටින බවත් මට තහවුරු කල හැක. ඉක්වදෝරයේ සහයෝගිතාවයටත් මෙට්පොලිස්යූකේ හි වෘත්තීයවේදීත්වයටත් ස්තුතිය පලකිරීමට මම කැමැත්තෙමි. කිසිවෙක් නීතියට ඉහලින් නො පිහිටයි.”

අසාන්ජ්ට එරෙහි ඇප චෝදනා දේශපාලනික ව අභිප්‍රේරිත අතර වසර කිහිපයකට පෙර විසඳාගනු ලැබී ය.

බ්‍රිතාන්‍ය අධිකාරීන් විසින් විකිලීක්ස් ආරම්භකයා රඳවාගැනීමේ විනිවිද පෙනෙන අභිප්‍රාය වන්නේ ඔහු ව එක්සත් ජනපදයට පිටුවහල් කිරීම පහසු කිරීම යි. ව්‍යාජ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම මත පමනක් නො ව ගොතන ලද කුමන්ත්‍රන චෝදනා මත එක්සත් ජනපදය විසින් පිටුවහල් කරන ලෙස කල ඉල්ලීමකට පසුව ඔහු අත්අඩංගුවට ගත් බව ඔහුගේ නීතිඥයන් විසින් තහවුරු කරනු ලැබී ය.

ඩිමොක්‍රටිකයන්ගේ ද සහයෝගය සහිත ව ට්‍රම්ප් පරිපාලනය උත්සාහ දරන්නේ, විකිලීක්ස් විසින් යුද අපරාධ, මහා පරිමාන ඔත්තු බැලීම් හා නීති-විරෝධී රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්‍රන හෙලිදරවු කිරීමේ දී අසාන්ජ් ඉටුකල භූමිකාව පිලිබඳ ව ඔහුට චෝදනා නැගීමට යි.

පසුගිය වසරේ ඔක්තෝබරයේ තමන් බලාත්මක කල අත්තනෝමතික “සම්මුතියක්” අසාන්ජ් විසින් උල්ලංඝනය කිරීම නිසා ඔහුගේ රැකවරනය අවසන් කල බව මොරේනෝ තන්ත්‍රය ප්‍රකාශ කර ඇත. ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන මෙම සම්මුතිය, ඔහුගේ ම ඉරනම පිලිබඳ ව ද ඇතුලු කිසිදු දේශපාලන ප්‍රකාශනයක් කිරීමෙන් අසාන්ජ් ව වැලැක්වී ය.

විකිලීක්ස් යලි යලිත් ප්‍රකාශ කර ඇති පරිදි, මෙම සම්මුතිය අසාන්ජ්ගේ රැකවරනය උල්ලංඝනය කිරීමේ පැහැදිලි කඩතුරාවකි. එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් වලට ඉක්වදෝර රාජ්‍යතාන්ත්‍රිකයන් යටත් කරමින් හා සීඅයිඒ සංවිධානය වෙනුවෙන් අසාන්ජ් පිලිබඳ ඔත්තු බලමින් මොරේනෝගේ ආන්ඩුව ට්‍රම්ප් පරිපාලනයේ ගැත්තකු ලෙස ක්‍රියාකර ඇත.

“අසාන්ජ් මත එල්ල කරන මෙම ප්‍රකෝපකාරී ප්‍රහාරයේ දී ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප් පරිපාලනය සමග සම්පූර්නයෙන් ඒකාබද්ධ ව කටයුතු කරයි” යි එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝ කිෂෝර් කීවේ ය. “එය වනාහි ඩිමොක්‍රටිකයන්ගේ ප්‍රතිගාමී රුසියානු-විරෝධී උද්ඝෝෂනයේ කේන්ද්‍රීය අරමුනක් හා ප්‍රතිඵලයකි. අසාන්ජ් හා චෙල්සී මෑනිං අත්අඩංගුවට ගැනීම සියලු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරයක් වන අතර එයට විරෝධය දැක්විය යුතු යි.”

අසාන්ජ් අත්අඩංගුවට ගැනීම පලල් ව පැතිරුනු මහජන පිලිකුල හා ප්‍රමුඛ පෙලේ ජනමාධ්‍යවේදීන්ගේ හෙලාදැකීම ජනනය කර ඇත. “බ්‍රිතාන්‍ය පොලීසිය විසින් ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් ජූලියන් අසාන්ජ් ඇදගෙන ඒමේ ක්‍රියාව හා මෙම ම්ලේච්ඡත්වයට අවසරදීම මගින් ඉක්වදෝර තන්ත්‍රය විසින් ජාත්‍යන්තර නීතිය කඩා බිඳ දැමීම අතිශය මූලික ස්වාභාවික යුක්තියට එරෙහි අපරාධයන්” යැයි ඕස්ට්‍රේලියානු ජනමාධ්‍යවේදී ජෝන් පිල්ගර් ට්විටර් පනිවුඩයක ලිවී ය. “මෙය සියලු ජනමාධ්‍යවේදීන්ට අනතුරු ඇඟවීමකි.”

ඕස්ට්‍රේලියානු සසප ජාතික ලේකම් ජේම්ස් කොගාන් මෙසේ නිගමනය කලේ ය: “මොරේනෝ තන්ත්‍රය, අගමැතිනි තෙරේසා මේ ගේ බ්‍රිතාන්‍ය ආන්ඩුව හා අසාන්ජ් තානාපති කාර්යාලයෙන් නෙරපීමට කල කුමන්ත්‍රනයෙහි නියුක්ත වූ සියලු දෙනා, ඔවුන් සදාකාලයට ම අපරාධකරුවන් හා මැරවරයන් ලෙස හංවඩු ගසනු ඇත්තා වූ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් සිදු කර ඇත.

අසාන්ජ්ට පවතින යෝධ සහයෝගය බලමුලුගැන්වීමට සසප එයට හැකි සියල්ල කරනු ඇත. ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වන අසාන්ජ් අත්හැර දැමීම ගැනත් ඔහුගේ මූලික අයිතිවාසිකම් මත ප්‍රහාර එල්ල කිරීමේ දී බද්ධ වීම ගැනත් අපි ඕස්ටේ්‍රලියානු ආන්ඩුව හා සමස්ත දේශපාලන සංස්ථාපිතය හෙලා දකිමු.

“අසාන්ජ් කෙරෙහි ඕස්ට්‍රේලියානු ආන්ඩුවට පවතින වගවීම් ඉෂ්ට කරන ලෙස එයට බලකිරීම සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට දැන් අන් කවරදාටත් වඩා සසප සටන් වදිනු ඇත. එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට එරෙහි සහතිකයක් සහිතව බි්‍රතාන්‍යයෙන් පිටත් වී ඕස්ට්‍රේලියාවට පෙරලා පැමිනීම සඳහා අසාන්ජ්ට අවසර දීමට එය බ්‍රිතාන්‍යආන්ඩුවට බලකල යුතු ය.”

අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා ක්ෂනික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඕස්ට්‍රේලියානු ආන්ඩුවට බලකිරීමට හෙට එනම් අප්‍රේල් 12වන සිකුරාදා පස්වරු 1ට සිඞ්නිහි මාටින් ප්ලේස් ඇම්ෆිතියටර්හි දී ද පස්වරු 4ට මෙල්බෝන්හි වික්ටෝරියා රාජ්‍ය පුස්තකාලය පිටත දී ද සසප (ඕස්ට්‍රේලියාව) රැස්වීම් පවත්වනු ඇත.

ජූලියන්ගේ මව හා ඔහුගේ නිදහස සඳහා වන වඩාත් ම අධිෂ්ඨාන වත් උද්ඝෝෂිකාව වන ක්‍රිස්ටීන් අසාන්ජ් මෙම රැස්විම් අනුමත කරමින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කලා ය: “ජූලියන් ආරක්ෂා කිරීමට හා ඔහු ව නිවසට ගෙන ඒමට වහා ම ක්‍රියා කරන ලෙස ඕස්ට්‍රේලියානු ආන්ඩුවට බලකිරීම සඳහා හෙට පැවැත්වෙන රැස්වීම්වලට සහභාගි වන්නැයි පුරවැසියන් හෝ සංචාරකයන් වන ඕස්ට්‍රේලියාව තුල සියලු දෙනා ව මම උනන්දු කරමි. මැතිවරන සමයක අප සිටින අතර ඔබගේ මහජන බලය භාවිතා කිරීමට මෙය හොඳ කාලයකි.”

මෙම රැස්වීම්වලට සහභාගි වන ලෙස සියලු කම්කරුවන්, තරුනයන් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන්නන්ගෙන් අපි ඉල්ලමු.

Share this article: