“වැටීමට පෙර”: 1930 ගනන්වල ජර්මානු සහ ඕස්ට්‍රියානු කලාව නිව් යෝර්ක් නුවර ප්‍රදර්ශනයේ

Before the Fall: German and Austrian Art of the 1930s on view in New York City

ෆ්‍රෙඞ් මසීලිස් , 2018 මැයි 26

වැටීමට පෙර: 1930 ගනන්වල ජර්මානු සහ ඔස්ට්‍රියානු කලාව, නිව් යෝර්ක් නගරයේ නව කලා කෞතුකාගාරයේ, මැයි 28 වෙනි දා සිට පැවැත්වෙන ප්‍රදර්ශනය, සිත් වශී කරන්නා වූද සිතිවිලි අවුස්සන්නා වූද එකකි. එම කලාගාරය මෙට්‍රොපොලිටන්, ද ගූගන්හයිම් හා ලොව කීර්තිමත් තවත් ආයතන රැසක් පිහිටා ඇති, නිව් යෝර්ක්හි පස්වෙනි මාවතේ, “කෞතුකාගාර සැතපුම” තුල මෑත දී ඉදි කල, කුඩා වූවත්, වැදගත් කෞතුකාගාරයකි.

මේ වත්මන් දැක්ම, වසර කිහිපයකට පෙර නව කලාගාරයේ ආරම්භ වුනු, මේ ලෙසම ආකර්ෂනීය වූ ප්‍රදර්ශන තුනක අවසාන දැක්ම වෙයි. පලමුවැන්න, “පරිහානිගත කලාව: නාසි ජර්මනියේ දී නූතන කලාවට එල්ල වූ ප්‍රහාරය” නම් විය. දෙවැන්න “බර්ලීන මහානගරය 1918-1933” නම් විය. ප්‍රදර්ශන තුනම අධ්‍යක්ෂනය කර තිබුනේ, ජර්මනියේ හලේහි මාර්ටින් ලූතර් සරසවියේ, ඔලෆ් පෙටර්ස් විසිනි.

වත්මන් ප්‍රදර්ශනය, කලින් ප්‍රදර්ශනය කෙරුනු පූර්වකාලීනයන් තරම් ප්‍රකට නොවූ කලාකරුවන්ගේ කෘති ඇතුලත් කර ගනියි. තවද, කලින් ප්‍රදර්ශිත කෘතිවලට වඩා තරමක් පසු වකවානුවල, එනම් තුන්වෙනි රයිෂයට යන්තම් පෙර හෝ එසමයේ චිත්‍ර, මුද්‍රිත සහ ඡායාරූප මෙහිදී ඉදිරිපත් කර ඇත.

මේ කලාකරුවන්ගෙන් සුලු දෙනෙකු, යුදෙව් මහා සංහාරය නිසා සිය ජීවිත අහිමි වූ හෝ කලා දිවි පීඩාවට පත්වුනු “අමතක වුනු සංගීත රචකයෝ” ගනයට සමාන ගනයකට සමහර විට ඇතුලත් කල හැකි ය. කෙසේ වෙතත්, ප්‍රදර්ශනයේ ඇතුලත් බොහොමයක්, යුද්ධයෙන් නොමැරී ගැලවුනවුන් වන අතර, යුදෙව්වන් වන්නේ ඉතා සුලු දෙනෙක් පමනි. ඇත්තෙන්ම, මෙම කලාකරුවන් අතර අතලොස්සක් නාසීහු හෝ කුමන ආකාරයකින් හෝ නාසි පක්ෂයට බැඳුන අය වෙති. ෆැසිස්ට්වාදයට විරුද්ධ වුනු කිහිප දෙනකු සිටිය ද ඔවුන්ගේ ජාත්‍යන්තර කීර්තිය 1930 ගනන් හා 1940 ගනන්වල සිදු වූ කැලඹීම් හේතුවෙන් පීඩනයට පත් වී ඇත.

මැක්ස් බෙක්මාන්, 1922

හිට්ලර්ගේ ඒකාධිපතිත්වයේ සෙවනැල්ල තුල ඉදිරිපත් වුනු මේ කාර්යයෙහි කාලෝචිතභාවය, අත්ලාන්තික් සාගරය දෙපැත්තේම පවතින වර්තමාන සමාජ සහ දේශපාලන අර්බුදය තුල නැවත සඳහන් නොකල යුතු තරම් ය. ඇත්තෙන්ම, නව කලාගාරයේ ප්‍රදර්ශන, නාසි වකවානුව තුල කලාව හා ඉන් බලපෑම් ලද කලාව වෙනුවෙන්, පසුගිය වසර කිහිපයේ, වෙන්වුනු ප්‍රදර්ශනවලින් කිහිපයක් පමනි. මේ දිනවලම, ජර්මනියේ, දෙවෙනි ලෝක යුද්ධයේ ආසන්න-පශ්චාත් සමයේ කලාව සමග කටයුතු කරන ප්‍රදර්ශනයක් ද මැසචුසෙට්ස්, කේම්බි්‍රජ්හි හාවර්ඞ් කලා කෞතුකාගාරයේ පැවැත්වේ.

දල වශයෙන් 150ක් පමන වූ නව කලාගාරයේ කෘති, මූලිකව කලා ප්‍රභේද වශයෙන්, නිසල ජීවිතය, පුද්ගලයෝ සහ ආලේඛ, සමාජය හා භූමිදර්ශන ලෙස වෙන් වුනු, වෙන් වෙන් අංශවලට බෙදා ඇත. ඡායාරූප සහ කඩදාසි මත නිර්මාන සහිත වෙනත් අංශ තිබේ.

මැක්ස් බෙක්මාන්, නලාවක් සහිත ස්ව-ආලේඛය(1938)

මැක්ස් බෙක්මාන්, ඔස්කාර් කොකොස්ච්කා සහ ඔට්ටෝ ඩික්ස්, ප්‍රකට නාමයන් අතරට ඇතුලත් වී තිබෙන අතර යුද්ධයෙන් නොමැරී ජීවත් වුනු ප්‍රති-නාසීන් වූ ඔවුන්ගෙන් බෙක්මාන් සහ කොකොස්ච්කා විප්‍රවාසීව ද, ඩික්ස් ජර්මනිය තුල ද දිවි ගෙවී ය. බෙක්මාන් (1884-1950), ඇම්ස්ටර්ඩෑමයේ විප්‍රවාසයට යාමෙන් වසරකට පසු, 1938, ඔහුගේ ප්‍රසිද්ධ නලාවක් සහිත ස්ව-ආලේඛය මගින් නියෝජනය වේ. මෙම කලාකරු, “සංස්කෘතික බොල්ශෙවිකයෙක්” වශයෙන් නාසීන් විසින් ලේබල්ගත කරන ලද අතර, 1933 දී ඔහු ගුරු වෘත්තියෙන් ඉවත් කරන ලදී. ඔහුගේ බොහෝ ස්ව-ආලේඛ අතරින් එකක් වූ මෙහි, බෙක්මාන් නලාව මේ දැන් නාද කර, ප්‍රතිචාරයක් නොපෙනෙන බැවින් හුදකලා සහ දුර්මුඛ හැඟුම් දැක්වීමකින් නරඹන්නා දෙස බලා සිටියි. ඔහු පැහැදිලිව සිතමින් සිටින්නේ තමා උපන් භූමියෙන් පිටත්ව යන්නට මග පාදන ලද වාතාවරනයන් ගැනය. ව්‍යසනයේ පූර්ව සංඥා නොවරදිනසුලු වන අතර, එසේ වන්නේ අතීතාවලෝකනයක් ලෙස පමනක් නොවේ.

ඔටෝ ඩික්ස් (1891-1969), ප්‍රශ්නයට අදාල කාලය පුරා ජර්මනියේ රැඳී සිටියේ ය. මුල දී යුද්ධය පිලිබඳ අපේක්ෂාවෙන් වෙලී සිටි, කැපවුනු නීට්ෂේවාදියකු වූ ඩික්ස්, පලමුවෙනි ලෝක යුද්ධයේ දී ජර්මන් හමුදාවට බැඳුනේය. සොම් නගරයේ සිදුවූ සටනට සහභාගි වීම හා වෙනත් භීෂනයන් අත්දැකීම ඔහු ක්ෂතියට පත් කලේ ය. 1920 ගනන්වල දී ඔහුගේ නාමය, ඔහු හා සමානව ප්‍රසිද්ධියට පත් චිත්‍ර ශිල්පියකු හා සිය කෘති මගින් වයිමාර් වසරවල දූෂනය, අර්බූදය හා අසමානතාව නිරූපනය කල, ජෝර්ජ් ග්‍රෝස්ගේ නාමය සමග නිතර බැඳුනේය.

ඔටෝ ඩික්ස්, මව සහ ඊවා,(1935)

ඩික්ස් “පරිහානිගත කලාකරුවකු” ලෙස ලේබල් කල නාසීන් ඔහුගේ සමහර චිත්‍ර ගිනි තැබීමෙන් හෝ වෙනත් ආකාරයෙන් පසුව විනාශ කරන්නට ඇතැයි සිතනු ලැබේ. ඔහු මේ යුගයෙන් නොමැරී ගැලවුනේ තම මුල් ශෛලිය සම්පූර්නයෙන් අත්හැර නොදමා, බොහෝ දුරට අනුවර්තනය වීමෙන් සහ එය මෘදු කර ගැනීමෙනි. දැන් පැවැත්වෙන ප්‍රදර්ශනයට ඇතුලත් ඔහුගේ චිත්‍ර අතුරෙන් එකක් වූ මව සහ ඊවා, 1935 වසරෙන් පැවතෙයි. ඩික්ස්ගේ මව සහ ලේලිය, ලොල් වඩන ජවනිකාවක් තුල ජීවන චක්‍රයට ඇරයුම් කරයි. මවගේ වියපත් කාය රූපායනය, ඇය පිට දී සිටින වෘක්ෂයට සමාන වන අතර, තඹවන් ගැහැනු දරුවා ඇගේ දෙපා මුල වාඩිවී සිටියි. විශේෂයෙන් මවගේ අඳුරු දුක්මුසු ගුනය, නිශ්චිත ලෙසම නාසි රෙජීමයේ සෞන්දර්යවේදී සාරධර්ම සමග මිශ්‍ර නොවෙයි.

ඔටෝ ඩික්ස්, 1925-26 (ඡායාරූපය ඕගස්ට් සැන්ඩර්ගෙනි)

වැඩි ප්‍රසිද්ධියක් නොමැති කලාකරුවෝ රැසක් ප්‍රදර්ශනයේ සිටිති. සමහර දෙනකුගේ කෘති ඓතිහාසික හෝ කලා-ඉතිහාස දෘෂ්ටිකෝනයකින් රුචිකර වන අතර, සමහර දෙනෙක් ඊට වඩා බෙහෙවින් ප්‍රකට වීමට සුදුසු අය වෙති. මේ කලාකරුවන් පිරිසට ඇතුලත් සමහරෙක් ෆැසිස්ට්වාදීන්ට එරෙහි වූවෝ වෙතත් ඔව්හු විප්‍රවාසය තෝරා නොගත්හ. සමහරු, මේ වකවානුවේ ඩික්ස් මෙන්, තම තමන් විවෘතව රෙජීමයට යට නොවෙමින් දිවි රැක ගැනීමට උත්සාහ කලහ..

යම් පමනකට අනුගත වීමට උත්සාහ කලවුන් අතර කාල් වෝල්කර් (1889-1962) සිටියි. “පරිහානිගතයි” නමැති ලේබලය වැදුනු පසුව, යුද්ධය නිමා වන තෙක්, වොල්කර් වැඩ නොකල තරම් ය. නව කලාගාර ප්‍රදර්ශනයට ඔහුගේ ශරත් සමයේ භූමිදර්ශනය ඇතුලත් වන නමුත්, කාර්මික හා නාගරික දර්ශන වෙත බෙහෙවින් යොමු වුනු ඔහුගේ 1920 ගනන්වල කෘති සමග සසඳන විට එය කෞතුකාගාර අධ්‍යක්ෂවරයා පවසන “අනතුරු විරහිත විෂයක්” ගැන චිත්‍ර ඇඳීමක් වේ.

රුඞ්ලොෆ් වැකර්, හානි වුනු හිස (1934)

නියෝජනය වන්නා වූ කලාකරුවන් රාශිය අතරේ රුඩොල්ෆ් වැකර් (1893-1939), කාල් හූබක් (1891-1979) සහ හාන්ස් ලුඞ්විග් කාට්ස් (1882-1940) වෙති. 1934 න් පැවතෙන වැකර්ගේ “හානි වුනු හිස”, හිට්ලර් චාන්සලර්වරයා වීමෙන් පසු වසරවල විසන්ධිය, ව්‍යාකූලත්වය හා ඛේදාන්තය පල කරයි. වෙනත් බොහෝ කලාකරුවන් මෙන්, වැකර් සිය කලා දිවිය ප්‍රකාශනවාදියකු ලෙස ආරම්භ කරන ලද නමුත් පසුව එම ගුරුකුලයේ ස්වභාවයෙහි තරමට වැඩි අන්තරාවර්තී බව වශයෙන් සලකන ලද දෙයින් බැහැර විය. ඒ වෙනුවට “නව වෛෂයිකත්වය”, යථාර්ථවාදය සහ දේශපාලන හා සමාජයීය නියුක්තිය වෙනුවෙන් කැප වීම පන ගැන්වීම පිලිබඳව යොමු විය. 1938 දී වැකර් අත්අඩංගුවට ගෙන දරුනු වදහිංසා පමුනුවන ලද්දේ ය. පසුව ඔහු නිදහස් කරන ලද නමුත් වසරකට පසුව මියගියේ ය.

හූබක් ඔහුගේ වාම-පාර්ශවීය අදහස් නිසා ප්‍රකට විය. ඔහු “නව වෛෂයිකත්වය” නමැති නිල නොවන ලෙස දියත් කරන ලද කලා ව්‍යාපාරයේ 1925 ප්‍රදර්ශනයට ඇතුලත් වුනු කලාකරුවන්ගෙන් කෙනෙක් විය. ඔහුගේ 1934 වසරේ චිත්‍රය , “ගල් යට ඇතිදැඩි වුනු දරුවෝ”, ජර්මනිය මත පතිත වුනු ම්ලේච්ඡත්වයේ සැබෑ තත්ත්වය පිලිබද විශිෂ්ට නිරූපනයක් වෙයි. මේ කෘතියේ දරුවන් අතරින් හරිමැද සිටින්නේ හිට්ලර්ටම සමාන වන දරුවෙකි. ගුරු වෘත්තියෙන් පහ කරනු ලැබූ හුබක්, මේ චිත්‍රය ඇන්දේ රහසිනි.

ගහාන්ස් ලුඞ්විග් කට්ස්, ප්‍රදර්ශනයේ නියෝජනය වන යුදෙව් කලාකරුවන් ස්වල්ප දෙනා අතරින් කෙනෙකි. මහා ජන සංහාරයේ ලකුනු උදා වෙත්ම, කට්ස් දකුනු අප්‍රිකාවට සංක්‍රමනය වුනු නමුත්, ඉන් පසු ඉතා ඉක්මනින් මියගියේ ය. ඔහුගේ චිත්‍රය, “අක්ෂි ශල්‍යකර්මය” (1929), අසාමාන්‍ය ස්ව-ආලේඛයක් වන අතර, දෘෂ්ටි ශල්‍ය චිකිත්සාව තත්කාලීන දේශපාලන චලනයෙහි පරම දුක්ඛය පහල කරයි. තවත් සඳහන් කල යුතු නිර්මාන බොහොමයක් ප්‍රදර්ශනයේ ඇත. ඒ අතර ඔස්ටි්‍රයානු කලාකරු විල්හෙල්ම් ටී්‍රගර්ගේ (1907-1980), “වියන්” නමැති ලයිනෝ කැටයම් 22 ක කෘති මාලාව ද වේ. කලාකරුට වයස 25ක් පමනක් වූ කල නිම කල මේ කෘතිය, මහා අවපාතය තුල හා ජර්මනියෙහි නාසිවාදීන්ගේ ජයග්‍රහනයට කෙටි කලකට පෙර, වියනා අගනුවර වීථි දර්ශන මාලාවක් පෙන්වයි. වියනා තුල රැකියා විරහිත වූවන්ගේ හා පාදඩ නිර්ධනීන්ගේ, ගනිකාවන්ගේ, යුද තුවාලකරුවන්ගේ සහ යාචකයින්ගේ ලෝකය අපි දකිමු. පැහැදිලිව විද්‍යමාන වන ධනය පසෙකින් තිබෙන අන්ත දුගීභාවයේ නිරූපනයන් ගෲස්ගේ හා ඒ වකවානුවේ අනුකම්පා විරහිත යථාර්ථවාදීන්ගේ කෘති සිහිපත් කරයි.

ෆීලික්ස් නස්බෝම්, කඳවුරේ දී ස්ව-ආලේඛය (1940)

ප්‍රදර්ශනයේ, කඩදාසි මත නිර්මානවලට වෙන් කල කුඩා කාමරය, උච්චස්ථානයක් සලකුනු කරයි. අවුෂ්විට්ස්හි මරනයට පත් වුනු සංඛ්‍යාව ඇතුලු, දේශපාලනිකව ඉතාමත් කැප වුනු කලාකරුවන් කිහිප දෙනෙකුගේ කෘති මෙහි ප්‍රදර්ශනය වෙයි. ෆීලික්ස් නස්බෝම් (1904-44), හිට්ලර් බලයට පැමිනීමෙන් පසුව රට හැර ගිය නමුත් 1940 බෙල්ජියමේ දී අත්අඩංගුවට ගන්නා ලදී. පලා යාමෙන් පසු, සැඟවී සිටි ඔහු, සිය බිරිඳ සමග අත්අඩංගුවට ගන්නා ලද අතර, 1944 අවුෂ්විට්ස්හි දී ඝාතනය කෙරුනි. නස්බෝම්, 1940 න් පැවතෙන, අවතාරයක ස්වරූපයෙන් සිත කාවද්දන අන්දමේ ප්‍රකාශයක් වන , “කඳවුර තුලදී ස්ව-ආලේඛය” නමැති චිත්‍රයෙන් ප්‍රදර්ශනය තුල නියෝජනය වේ. කලාකරුවා විවෘත අභියෝගයකින් යුතුව කැන්වසයෙන් නෙත් අයා ගෙන සිටින අතර, ඔහුගේ මුහුනේහැඟුම් ප්‍රකාශය අඳුරු දුක්මුසු වෙතත් පරාජිත නොවේ. විනාශ නොවී ශේෂ වී තිබෙන නස්බෝම්ගේ කෘති, ඔහු උපන් නගරය වන ජර්මනියේ, ඔස්නාබෘක්හි ෆීලික්ස් නස්බෝම් නිවසෙහි ප්‍රදර්ශනය වේ.

ෆ්‍රීඞ්ල් ඩිකර්-බ්‍රැන්ඬේස් (1898-1944), කොමියුනිස්ට් පක්ෂ සාමාජිකාවක වූ අතර, ප්‍රශ්න කිරීම (1934-35), 1933 දී ඇය නාසීන් අතින් භාජනය වූ වධහිංසනයේ භීෂනය හා මුර්ගත්වය ප්‍රකාශ කිරීම සදහා, රූපගැන්වීම සහ වියුක්තකරනය සංකලනය කරයි. වියානාවේ උපත ලද ඩිකර්-බ්‍රැන්ඬේස් 1919 සිට 1923 දක්වා වයිමාර් බවුහවුස්හි උගැන්වූවා ය. පසුව ඇය බර්ලින් සහ ප්‍රාග්හි සේවයේ නිරත වූවා ය. ප්‍රාග්හි දී අත්අඩංගුවට ගන්නා ලද ඇය, 1942 අගභාගයේ දී තෙරේසියන්ස්ටාඞ් රැඳවුම් කඳවුරට ද, ඉන් පසු අවුෂ්විට්ස් වෙත ද යවන ලද අතර, එහි දී ඇය ද මියගියා ය.

ජර්මනිය, ඔස්නාබෘක්හි ෆීලික්ස් නස්බෝම් නිවස

ප්‍රදර්ශනයේ මේ අංශයේ වෙනත් වටිනා කෘතිවලට ඇතුලත් “ගීතයක අවසානය”, ඒ. පෝල් වෙබර්ගේ මුද්‍රිතයක් වන අතර, එහි ෂෙලෝවක් වාදනය කරන ඇටසැකිල්ල, සංස්කෘතිය මත හා ජීවිතය මත ෆැසිස්ට් ම්ලේච්ඡත්වය විසින් ඇති කරන ලද බලපෑම උචිතාකාරයෙන් විශද කරයි. අර්වින් බ්ලූමින්ෆෙල්ඞ්ගේ, 1932 න් පැවත එන හිට්ලර්, ජෙලටින් සිල්වර් මුද්‍රිතය, කටින් හා ඇස්වලින් ලේ වෑස්සෙන නාසි නායකයා නිරූපනය කරයි.

කලාකරුවෝ සංස්කෘතිය සහ සමාජය මුහු දෙන මහා ව්‍යසනයට විවිධාකාරයෙන් ප්‍රතිචාර දැක්වූහ. සමහරුන්ට අකමැත්තෙන් නිශ්ශබ්දවීමට බල කෙරුනි. . ඔවුන් අතරින් ඉතාමත් නිර්භය වූවෝ තමා හාත්පස ලෝකය වෙත අඛන්ඩව බලපෑම් කිරීමේ මග තෝරා ගත්හ. නව කලාගාරයේ, “වැටීමට පෙර” ප්‍රදර්ශනය 20 වෙනි ශතවර්ෂයේ නොවිසඳුනු ප්‍රශ්න සහ උග්‍ර වර්ගවාදය, වෙනත් වාර්ගිකයින් කෙරෙහි වූ භීතිකාව සහ ෆැසිස්ට්වාදයේ අනතුරු පිලිබඳ අවධානය යොමු කරයි. මේ ප්‍රදර්ශනයට ඛේදාන්තමය මූලාංගයක් තිබෙන නමුත් එය කලාකරුවන් ඓතිහාසික ප්‍රශ්න හා සමාජ ජීවිතය සමග -කලාකරුවන් පමනක් නොවේ - ගැඹුරු ලෙස නියුක්ත වීමේ වුවමනාව වෙත බලගතු ලෙස ඇඟිල්ල දිගු කරයි.

Share this article: