“දුක්ගැනවිලි අධ්‍යයන” නම් වූ ප්‍රයෝගකාරී ලිපි ලිවීම හේතුවෙන් පීටර් බොගෝසියන් නෙරපා දමන බවට පෝට්ලන්ඞ් රාජ්‍ය විශ්ව විද්‍යාලය තර්ජනය කරයි

Portland State University threatens to fire Peter Boghossian for authoring “Grievance Studies” hoax

එරික් ලන්ඩන් විසිනි, 2019 ජනවාරි 10

“දුක්ගැනවිලි අධ්‍යයන (ග්‍රීවන්ස් ස්ටඩීස්)” නම් වූ ප්‍රයෝගකාරී ලිපි මාලාවේ සමකර්තෘවරයකු වන පෝට්ලන්ඞ් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පීටර් බොගෝසියන් විශ්ව විද්‍යාල පරිපාලනයේ පැහැදිලි පලිගැනීමකට ගොදුරු ව තම රැකියාව අහිමි වීමේ ආසන්න තර්ජනයකට මුහුන දී සිටී.

අනන්‍යතා දේශපාලනයේ සහ පශ්චාත්-නූතනවාදී දර්ශනයේ විද්‍යා-විරෝධි සහ දක්ෂිනාංශික ස්වභාවය එලිදරවු කරමින් බොගෝසියන්, හෙලන් ප්ලක්රෝස් සහ ජේම්ස් ලින්ඞ්සේ 2018 ඔක්තෝබර් 02 වැනි දා “ශාස්ත්‍රාලික දුක්ගැනවිලි අධ්‍යයන සහ විද්වත්කමේ දූෂ්‍යතාව” යන මැයෙන් ලිපියක් ප්‍රසිද්ධ කල හ.

දැනුවත් ව ම අභූතයන් මත පදනම්ව තමා විසින් රචනා කල ව්‍යාජ ලිපි, ඒවායේ අන්තර්ගත ව්‍යාජ-අධ්‍යනයන් පිලිබඳව සංස්කාරකවරුන්ගේත් අදාල විෂය පථයන්හි සමාලෝචකයන්ගේත් නොමඳ පැසසුම් මැද, පශ්චාත් නූතනවාදී ශාස්ත්‍රීය සඟරාවල පල කරවා ගත හැකි වූයේ කෙසේදැයි එම ලිපිය විමර්ශනයට ලක් කලේ ය.

ලිපිය පල වී නොබෝ දිනකින් පෝට්ලන්ඞ් රාජ්‍ය විශ්ව විද්‍යාලය ඇරඹූ ආයතනික විමර්ශන මන්ඩල පරීක්ෂනයකින් එම රැවටිල්ලට බොගෝසියන් ගේ දායකත්වය නිසා ඔහු “ආචාර ධාර්මික මූලධර්ම” උල්ලංඝනය කිරීමේ චෝදනාවට වැරදිකාරයකු වශයෙන් නිශ්චය කලේ ය. දඬුවම කුමක්දැයි තීන්දු වන තෙක් ඔහු ගේ රැකියාව අවිනිශ්චිත තත්ත්වයකට පත් ව ඇත.

“හංගන්න අවශ්‍ය නෑ, මම දැඩි මානසික පීඩාවකට පත් වෙලා ඉන්නේ.” යැයි බොගෝසියන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දැක්වී ය. “මාව පන්නා දාන්න ඔවුන් ඕනෑ ම දෙයක් කරාවි. මට හරි ම පරිස්සමින් වැඩ කරන්න වෙලා තියෙන්නෙ. මම නොයෙක් තර්ජනවලට මුහුන දීල ඉන්නෙ. මීට සති කීපයකට ඉස්සර යම් අයෙක් ප්‍රසිද්ධියේ මට කෙල ගැහුවා.”

පෝට්ලන්ඞ් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පීටර් බොගෝසියන් (ඡායාරූප අනුග්රහය: මයික් නේනා)[Credit: Mike Nayna]

විශ්ව විද්‍යාලය තම අනුග්‍රාහකත්වය යටතේ කෙරෙන පර්යේෂන ව්‍යාපෘතීන්ට බොගෝසියන් සහභාගි කර ගැනීම අවහිර කර ඇත. පර්යේෂන සහ උපාධි අධ්‍යයන අංශයේ උප සභාපති මාර්ක් ආර්. මැක්ලේලන් දෙසැම්බර් 17 දාතමින් බොගෝසියන්ට එවූ ලිපියක මෙසේ සඳහන් විය: “ඔබ ප්‍රධාන පර්යේෂකයා, හවුල්කරුවා හෝ ඕනෑ ම සැලකිය යුතු ආකාරයකින් දායකයකු වන අනුග්‍රාහකත්වය ලබන කිසිදු පර්යේෂන යෝජනාවක් හෝ වැඩසටහනක් පෝට්ලන්ඞ් විශ්ව විද්‍යාලය අනුමත නොකල යුතු බවට මම වැඩිදුරටත් නියෝග කරමි.”

රැවටීම සඳහා ලියු ලිපි අතරින් එකක දී කතුවරුන් පවසා සිටියේ සුනඛ උද්‍යානයන්හි දී තමන් පැය 1000ක කාලයක් “බල්ලෙක් බැල්ලක ගේ කරට නගින රටාවන්” නිරීක්ෂනය කිරීමට මිඩංගු කල බවයි. එම දත්තයන්ට අනුව ස්ත්‍රී දූෂන සංස්කෘතිය වලකා ගැනීමට නම් පිරිමින් බල්ලන් මෙන් පුහුනු කල යුතු බව සනාථ වී යැයි ඔවුහු ප්‍රකාශ කල හ. ජෙන්ඩර්, ප්ලේස් ඇන්ඞ් කල්චර් (ලිංගිකත්වය, ස්ථානය සහ සංස්කෘතිය) නමින් පලවන සඟරාව මෙම ලිපිය තම ඉතිහාසයේ ලද ඉතා ම වැදගත් ප්‍රතිපදානයක් ලෙස තෝරා ගත්තේ ය.

සිනහ උපදවන කාරනය නම් වෙනත් ලිපියකින් පෝට්ලන්ඞ් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මැක්ලේලන් මෙම ගොතන ලද සුනඛ උද්‍යාන අධ්‍යයනයේ දී බොගෝසියන් යම් හෝ සුනඛයෙකු හිරිහැරයකට ලක් කර තිබේ දැයි විශ්ව විද්‍යාලය පරීක්ෂනයක් පවත්වමින් සිටින බව ඔහුට දන්වා එවීම යි.

“ඔබේ එක් ලිපියක් සත්ත්ව චර්යා රටාවන් ගැන පර්යේෂනයක් (එය ව්‍යාජයක් වුවත් නොවූවත්) ගැන කතා කරන බැවින් එහි වලංගු භාවය රැක ගැනීමට එම පර්යේෂනයේ දී සතුන් ගේ ආරක්ෂාවට නිසි ක්‍රියාමාර්ග අනුගමනය කෙරුනාදැයි තහවුරු කර ගැනීම සඳහා පීඨයේ ආයතනික සත්ත්ව භාරකාර කමිටුවෙන් විමසා සිටිය යතු යැයි මම සිතමි.”

එහෙත් විද්වත් සමාජයේ අනන්‍යතා දේශපාලන ඇබ්බැහියේ ප්‍රතිගාමී හැඟවුම් සිනහවට කාරනයක් නම් නොවේ. බොගෝසියන්, ප්ලක්රෝස් සහ ලින්ඞ්සේ හිට්ලර් ගේ මෙයින් කාම්ප්ෆ් (මගේ සටන) කෘතියේ පරිච්ඡේදයක ස්ත්‍රීවාදී යලි ලිවීමක් පල කරවා ගැනීමට ද සමත් වූ හ. එහි වූ, සුදු සමක් ඇති බාලාංශ පන්ති සිසුවන් දම්වැල්වලින් ගැට ගසා “වරප්‍රසාදිත සුද්දන්” වීම ගැන ලජ්ජාවට පත් කල යුතු යැයි කල යෝජනාවක් විචාරක අගය කිරීම් දිනා ගත්තේ ය.

පෝට්ලන්ඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන්ගෙන් සහ කතිකාචාර්යවරුන්ගෙන් කිසිවෙක් හෝ බොගෝසියන්ගේ ආරක්ෂාවට මේ දක්වාම ඉදිරියට පැමින නැත. ඔවුන් බොගෝසියන් අත්හැර දමා ඇත.

නොවැම්බර් 09 වැනි දා පෝට්ලන්ඞ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය මන්ඩලයේ සාමාජිකයන් දොලොස් දෙනෙක් ගේ කන්ඩායමක් ද වෑන්ගාර්ඞ් නම් වන විශ්ව විද්‍යාලීය පුවත්පතේ ලිපියක් පල කරමින් “වංචාව”, “තමන් පුම්බා ගැනීම” සහ “ශාස්ත්‍රීය වංකභාවය” ගැන ඔහුට චෝදනා එල්ල කලේ ය.

අනන්‍යතාව හෙලි කර නොමැති එහි කතුවරු ඕපාදූප දෙඩුමක තානය ගත් බසක් යොදා ගනිමින් පුද්ගලික ප්‍රහාරයන්ට යොමු ව ඇත: “නොසැලකිලිමත් නිගමනවලට බැසීමට, හිත් රිද්දවීමට සහ අන් අය ප්‍රසිද්ධියේ අවමානයට ලක් කිරීමට ඇති අගති ගතිය කවර හෝ සැබෑ ශාස්ත්‍රීය අරමුනක් ඉක්ම ගියා සේ ය.”

“භාෂනයේ නිදහස හෝ ශාස්ත්‍රීය නිදහස යන වෙස් ගෙන මෙ බඳු වංචාකාරී, කාලකන්නි, බුද්ධි විරෝධි ක්‍රියාකාරකම්වල යෙදීම සමාන්‍ය දෙයක් බවට පත් ව ඇත,” යනුවෙන් එම ලිපිය අවසන් වෙයි.

මේ තත්ත්වය තුල බොගෝසියන් ශාරීරික හිංසනයකට ගොදුරු වීමේ තර්ජනයක් ද මතු ව ඇත. “ලඟ දී මගේ පස්සෙන් වැසිකිලියට ආ අයෙක් මා කවර වර්ගයේ වාහනයකින් ගමන් බිමන් යන්නේ දැයි මගෙන් විමසා මාව පසුව අල්ලා ගන්නම් යැයි පවසා සිටියා.” යි බොගෝසියන් සඳහන් කලේය. “ඔහු මාව ෆැසිස්ට්වාදියකු ලෙසයි හැඳින්වූයේ. උත්ප්‍රාසජනක කාරනාව නම් අපි සාකච්ඡා කරමු යැයි මම ඔහුට යෝජනා කල විට ‘මට තමුසෙ එක්ක කතාවක් නෑ. මට තමුසෙට පාඩමක් උගන්නන්යි ඕන’ යැයි ඔහු පැවසීමයි.”

පෝට්ලන්ඞ් විශ්ව විද්‍යාලයේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂකවරයා රහස්‍යතාව පිලිබඳ උත්සුකය හුවා දක්වමින්, බොගෝසියන්ට පර්යේෂනයන්ට සහභාගි වීම අවහිර කිරීම තුල මතු විය හැකි භාෂනයේ නිදහසට අදාල ගැටලුව සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය අදහස් පල නොකරනු ඇති බවට ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප්‍රකාශ කලේ ය. විශ්ව විද්‍යාලය නිකුත් කර ඇති නිවේදනයක සඳහන් කෙරී ඇත්තේ බොගෝසියන්ට එරෙහි ව සිදු කෙරෙන පරීක්ෂන රාජ්‍ය සහ ප්‍රාන්ත නීතියට අනුව සිදු කෙරෙන බවයි.

විශ්ව විද්‍යාලය බොගෝසියන් විසින් ආචාර ධාර්මික වගකීම් දෙකක් පැහැර හරිනු ලැබ ඇතැයි පවසයි. එනම්, (1) දත්ත සාවද්‍ය ලෙස සැකසීම, සහ (2) ”මිනිසුන් පිලිබඳ විෂය” පරීක්ෂනයකට යොදා ගැනීම සම්බන්ධයෙන් ඊට අදාල මන්ඩල වලින් අනුමැති ලබා ගෙන නොතිබීම යන ඒවා යි.

පලමු චෝදනාව බොගෝසියන්, ප්ලක්රෝස් සහ ලින්ඞ්සේ තම ලිපියේ සඳහන් කල පරිදි “ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඞ්හි නාගරික සුනඛ උද්‍යානවල ස්ත්‍රී දූෂන සංස්කෘතිය සහ සමලිංගික ක්‍රියාකාරකම්” සැබෑවට ම පැය 1,000ක් නිරීක්ෂනය නොකලේ ය යන කාරනාවෙන් පැන නැගී ඇත. දෙ වැනි චෝදනාව කතුවරුන් තිදෙන එම සඟරාවල සංස්කාරකයන් සහ විචාරකයන්ට එම ලිපි කියවීමට ඉදිරිපත් කිරීම මගින් ඔවුන් “පරීක්ෂනයකට” යොදා ගත්තේ ය යන්න මත පදනම් වෙයි.

බොගෝසියන්, ප්ලක්රෝස් සහ ලින්ඞ්සේ මෙයින් කාම්ප්ෆ් හි කොටසක් තමන් ගේ ලේඛනයක් වශයෙන් ඉදිරිපත් කර තිබුනත් පෝට්ලන්ඞ් විශ්ව විද්‍යාලය බොගෝසියන් පද චෞරත්වය පිලිබඳ චෝදනාවකට ලක් නොකිරීම කැපී පෙනෙන කරුනකි. නමුත් මෙම චෝදනාව එල්ල කර නැත්තේ, එසේ කිරීම විද්වත්-සමාලෝචිත ශාස්ත්‍රීය සඟරාවක “ආර්ය ජන වර්ගයේ” අනන්‍යතා දේශපාලනයේ සම්භාව්‍ය උදාහරනය වන හිට්ලර් ගේ ලියවිල්ලක් පල කලාය යන්න පිලිගැනීමක් වන හෙයිනි.

බොගෝසියන්ට සහය පල කරමින් ඇලන් සොකාල් ලියන ලද ලිපියක, “ඔහුට දඬුවම් කිරීම බරපතල අයුක්තියක් වනු ඇතැ” යි සඳහන් කලේ ය. 1996 දී, අර්ථ විරහිත පශ්චාත් නූතනවාදී වචන මාලාවකින් සමන්විත වූ “සොකාල් රැවටිල්ල” නමින් හැඳින්වෙන ලිපිය සෝෂල් ටෙක්ස්ට් සඟරාවට ඉදිරිපත් කල විට එය පල කරනු ලැබිනි. (කියවන්න: පශ්චාත් නූතනවාදී විස්මලන්තය: ඇලන් සොකාල් සහ ජීන් බි්‍රක්මෝ ගේ බුද්ධිමය වංචාවෝ කෘතිය - පරිවර්තක) මරක: යඑඑචි:/අඅඅ.අිඅි.දරට/ිසබය්ක්/2013/2013ව්බ/චපදා-14ව.යඑපක

බොගෝසියන්ට එල්ල වී ඇති ශාස්ත්රීය ආචාර ධර්ම කඩ කලාය යන චෝදනා හෙලා දකිමින් සොකාල් කරුනු පැහැදිලි කලේය: “මහාචාර්ය බොගෝසියන් සහ ඔහු ගේ සහයකයන් තම වැඩ කටයුතු මහජනතාව වෙනුවෙන් කලේ ය යන හේතුව ඔවුන් ගේ අස්ථ්‍යර්ථ ආරක්ෂාවට පවතී. ඔවුන් කිසි ම විටක මේ ව්‍යාජ ලිපි සම්පාදනයෙන් ආර්ථිකමය හෝ වෘත්තීයමය හෝ පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වුනේ නෑ. මීට ප්‍රතිපක්ෂ ව සිදු ව ඇත්තේ ඔවුන් ගේ රැකියා සහ පෞද්ගලික ජීවිත පරදුවට වැටීමයි. ඔවුන් ගේ ඒකායන පරමාර්ථය වූයේ සමකාලීන විද්වතුන් ගේ ඇතැම් කොටස්තුල බුද්ධි මට්ටමේ තරම පරීක්ෂා කිරීමත් ඒ ඌනතාවන් මහජන අවධානයට යොමු කිරීමත් ය.”

දුක්ගැනවිලි අධ්‍යයන ප්‍රයෝගයේ කිසිදු කතුවරයෙකු විසින්, බොගෝසියන්ට එරෙහි චෝදනා විභාග කිරීමට ආයතනික විමර්ශන මන්ඩලයට ඇති අයිතිය අභියෝගයට ලක් කර නොමැත. නමුත් ඔවුහු තිදෙන විශ්ව විද්‍යාලය පරීක්ෂනය නිසි ආකාරයෙන් නොපැවැත් වී යැයි කනස්සලු වෙති.

ජේම්ස් ලින්ඞ්සේ, පීටර් බොගෝසියන් සහ හෙලන් ප්ලක්රෝස් (ඡායාරූප අනුග්‍රහය: මයික් නේනා)[Credit: Mike Nayna]

“විශ්ව විද්යාල පුවත් පතේ පීටර්ට එරෙහි ව පල කෙරුනු නිර්නාමික ලිපියෙන් පෙනෙන්නේ ආයතනික විමර්ශන මන්ඩලය දේශපාලන හෝ දෘෂ්ටිවාදාත්මක බලපෑමකට නතු ව ඇති බවයි” යනුවෙන් ජේම්ස් ලින්ඞ්සේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසී ය.

බොගෝසියන් ගේ සම-කර්තෘවරු ඔහුව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන්නැයි ඔහුගේ සහෝදර විශ්ව විද්‍යාල ප්‍රජාවගෙන් ඉල්ලා සිටිති.

“අපට සහයෝගය පල කර ලැබෙන ලිපි අනුව පෙනී යන්නේ ශාස්ත්‍රාලික පරිසරය වෙනසකට ලක් වෙමින් තියෙන බවයි. මෙහි දී පෝට්ලන්ඞ් ප්‍රාන්ත ආන්ඩුව මොන වගේ ස්ථාවරයක් ගනී ද කියලා අපිට බලා ගන්න පුලුවන්. ඔහු ගේ ම සහෝදර විශ්ව විද්‍යාල ප්‍රජාවෙන් බලගතු සහයෝගයක් ගොනු නොවීම කනගාටුදායක නමුත් පවතින තත්ත්වය හැටියට ඇතැම් විටක ඔවුන්ට හිතේ හයියක් නැති ව ඇති. මොකද ඔවුන්ටත් මේ මන්ඩල, කමිටුවල සහ පරිපාලනයේ දඩයමට ගොදුරු වෙන්න සිද්ධ වෙන නිසා.” යැයි ලින්ඞ්සේ පැවසී ය.

“ඔහු සමඟ එකට වැඩ කරන දොලොස් දෙනෙක් දැනටමත් විශ්ව විද්‍යාලයකට කොහෙත් ම නොහොබිනා ආකල්පයක් ද වෑන්ගාඞ් පුවත්පතේ ලිපියක් පල කරමින් ප්‍රකට කර තිබෙනවා. නමුත් ඔහුට සහයෝගය දෙන අයත් ඉන්නවා. මම ඔවුන්ගෙන් ඉල්ලන්නේ එම සහයෝගය හොර රහසේ විද්‍යුත් ලිපි එවීමෙන් නො ව කෙලින් ම එලියට ඇවිත් ප්‍රකාශ කරන ලෙසයි.” යැයි පවසමින් හෙලන් ප්ලක්රෝස් එයට එකතු කිරීමක් කලා ය.

අනන්‍යතා දේශපාලනයට සහ පශ්චාත් නූතනවාදයට එරෙහි වීම නිසා තමන්ව දක්ෂිනාංශිකයකු ලෙස හංවඩු ගසන අයව හෙලා දකිමින්, “අපිව ‘විකල්ප දක්ෂිනාංශිකයන්’ (්කඑ-රසටයඑ) යැයි ලේබල් කරලා. මොන මනස්ගගාතයක් ද! මම කවමදාකවත් රිපබ්ලිකන් පක්ෂයට ඡන්දය දීල නෑ. මම නොසැලෙන ලිබරල් අදහස් ඇත්තෙක්. සමාජීය ව මම සමලිංගික විවාහ, ගබ්සාවට ඇති අයිතිය, සංක්‍රමනය වීමට ඇති අයිතිය පිලිගන්න මරනීය දන්ඩනයට විරුද්ධ අයෙක්. ඒ වගේ ම මම සටන්කාමී අදේවවාදියෙක්.” යැයි බොගෝසියන් පැවසී ය.

“මේ වාම වෙස් බැඳ ගෙන නටන උදවිය වාමාංශිකයන් නෙවෙයි. ඔවුන් මහා ආඛ්‍යාන පිලිගන්නේ නෑ. ඔවුන් ගේ යථාර්ථය ආත්මීයත්වය සහ කේවල අනුභූතිය පමනයි.” යැයි ඔහු අවසාන වශයෙන් පැවසී ය.

Share this article: