හදිසි අවස්ථා රෙගුලාසි මගින් වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රුදුරු ලෙස පාගා දැමෙයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි , 2019 අප්‍රේල් 30

පාස්කු ඉරිදා එල්ල කෙරුන ත්‍රස්ත ප්‍රහාරයට මුවාවෙමින් කම්කරු -පීඩිත මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සැහැසි ලෙස මර්දනය කිරීමේ හා ආඥාදායක පොලිස් රාජ්‍ය පාලනයක් රට තුල තහවුරු කිරීමේ එල්ලය ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුදුරු හදිසි නීති රෙගුලාසි මාලාවක් බලාත්මක කර ඇත.

මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ කඩතුරාව යටතේ ජනාධිපති සිරිසේන විසින් මෙම පියවර ගෙන ඇත්තේ ධනපති පාලක පන්තීන්ගේ ප්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තරව වර්ධනය වන පන්ති අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ බලගතු පන්ති සටන් පුපුරායාමේ හා මෙරට ධනපති පන්ති පාලනයේ ආර්ථික සහ දේශපාලන අර්බුදය ගැඹුරු වන කොන්දේසි තුල ය.

ධනපති පාලක පන්තිය විසින් මෙම හදිසි නීති රෙගුලාසි නිශ්චිතව යොදා ගනු ඇත්තේ වැඩකරන ජනතාවගේ පන්ති සටන් තලා දැමීම පිනිස ය. බලාත්මක කර ඇති හදිසි අවස්ථා නියෝග මගින් සිවිල් නීතිය සහ අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ නීති පවා අමු අමුවේ උල්ලංඝනය කරනු ලබයි.

ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව අරගලයේ යෙදෙන කම්කරුවන් හා පීඩිතයන් සිරගත කිරීමේ, ඔවුන්ගේ සංවිධාන හා විරුද්ධ දේශපාලන පක්ෂ තහනම් කිරීමේ හා එකී පක්ෂ වල සාමාජිකයන් හදිසි නීති උල්ලංඝනය කිරීමේ වරදකරුවන් වුවහොත් ඔවුන්ට මරනීය දන්ඩනය පැමිනවීමේ රෙගුලාසි මෙම හදිසි අවස්ථා නියෝගවලට ඇතුලත් කර තිබේ.

අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් අප්‍රේල් 22 වෙනිදා ප්‍රකාශයට පත් කරන ලද හදිසි අවස්ථා නියෝග තුල “අත්‍යවශ්‍ය සේවාවන් හෝ සැපයීම්වලට බරපතල බාධා හෝ හානි සිදු කිරීම “ත්‍රස්තවාදය” යනුවෙන් කෙරෙන අර්ථ නිරූපනයට ඇතුලත් කර ඇත. එනම් කම්කරු පන්තිය වැටුප්, සේවා කොන්දේසි ඇතුලු තම අයිතීන් සඳහා කරන කවර හෝ අරගලයක් ත්‍රස්තවාදී ක්‍රියාවන් ලෙස නම් කොට මර්දනය කිරීමේ සහ එවන් පන්ති ක්‍රියාවන්හි යෙදෙන්නන් ත්‍රස්තවාදීන් ලෙස සලකා දඬු ගැසීමේ බලය පොලීසියට, හමුදාවට සහ අධිකරනයට පවරා ඇත. එමෙන් ම, කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ උද්ඝෝෂන හා දේශපාලන රැස්වීම් ජනාධිපති නියමයක් මගින් තහනම් කල හැකිය.

පුවත්පත්වල පලවන ලිපි සම්බන්ධයෙන් මෙම නියෝග ක්‍රියාවට දැමීම පිනිස “නිසි බලධරයෙකු” පත් කෙරේ. යම් පුවත්පතක පලකරන ලිපි තුල “කැරලි කෝලාහල හෝ මහජන කැලඹිලි” වලට තුඩු දිය හැකි කරුනු “පල කරනු ලැබේ යැයි හෝ පල කරනු ලැබුවේ යැයි හෝ පලකරනු ලැබිය හැකි යැයි” එම බලධරයාට හැඟී ගියහොත් එම පුවත්පත මුද්‍රනය කිරීම, බෙදා හැරීම වැලැක් වීමට හා එම මුද්‍රනාලය රාජ්‍ය සන්තකයට ගැනීමේ බලය ඔහුට ඇත.

පුවත්පත යන්නට “යම් සංග්‍රහයක්, සඟරාවක්, හෝ පත්‍රිකාවක් හෝ වෙනත් ප්‍රකාශයක්” ඇතුලත් වේ. මෙය ධනපති ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව, විශේෂයෙන් ම කම්කරු පන්තිය සහ එහි සංවිධාන මගින් ඉදිරිපත් කෙරෙන විවේචන හා ක්‍රියාමාර්ග මැඩලීම එල්ල කර ගත්තකි.

ගැසට් නිවේදනයේ 31 වන වගන්තිය මගින් වැඩවර්ජන හා උද්ඝෝෂන වලට වාරන පනවා ඇත. එහි මෙසේ සඳහන් වේ: “මහජන ආරක්ෂාවට, මහජන සාමයට හෝ ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාමට හෝ අගතිගාමී වන කරුනු අඩංගු යම් දැන්වීම් කොල, හෝ අත් පත්‍රිකා හෝ පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම හෝ බෙදා හැරීම” නීති විරෝධීය. මෙම අත්‍යවශ්‍ය සේවා ගනයට රාජ්‍ය හා පුද්ගලික සියලුම සේවාවන් පාහේ ඇතුලත්වේ.

හදිසි නීති නියෝග යටතේ නම් කෙරෙන “ත්‍රස්තවාදී” ක්‍රියාකාරකම් වල යෙදෙන්නන් 26 වන වගන්තියට අනුව වසර පහකට නො අඩු සහ වසර දහයකට නො වැඩි සිර දඬුවමකට යටත් කල හැකිය.

“අත්‍යවශ්‍ය සේවා හා සැපයීම් වලට අදාල කටයුතු වල නොයෙදීම හෝ පැහර හැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම, වැඩ වර්ජනයකට හෝ වෙනත් සංවිධානාත්මක ක්‍රියාවකට අනුබල දීමෙහිලා වුව ද ඔහු තම සේවය එකෙනෙහිම අවසන් කල ලෙස හෝ ඉවත් වූ ලෙස සලකනු ලබයි සහ වරදකට වරදකරු වන” බව උක්ත වගන්තියේ තවදුරටත් සඳහන් වේ. v

44(3) වගන්තියට අනුව: “වෙනත් අයෙකුට එම සේවය ඉටු කිරීමට බාධා පැමින වීම ද වරදක් කොට සැලකේ. කිසියම් තැනැත්තෙකු එකී වරදකට වරදකරුවෙකු වන බව ජනාධිපති වරයාගේ මතය වන්නේ නම් ඔහු සම්බන්ධ සංවිධානය තහනම් කරනු ලැබිය හැකිය”.

එකී නියෝගය කඩ කලහොත් 44 (6) අ වගන්තිය යටතේ සෙසු දඬුවම් වලට අමතරව, චූදිතයාගේ චංචල හා නිශ්චල සියලු දේපොල රාජ සන්තක කල හැකිය.

දේශපාලන පක්ෂයකින් හෝ වෘත්තීය සමිතියකින් ඉල්ලා අස්වන ලෙසට හෝ ධුරයකින් ඉලා අස්වන ලෙසට හෝ යම් දේශපාලන පක්ෂයකට බැඳෙන ලෙසට යමෙකු පෙලඹවීම හෝ රජයේ නිලධාරියෙකු හෝ යම් අත්‍යවශ්‍ය සේවයක යෙදී සිටින තැනැත්තෙකු ඉන් වැලැක්වීම වරදක් වන අතර උසාවියක නඩු විභාගයකින් එකී වරද ඔප්පු වුවහොත් ඔහුට “මරනීය දන්ඩනය” පැමින විය හැකි ය.

තව ද එවන් පෙලඹවීමක් කල බව සනාථ කෙරෙන යම් ලියවිල්ලක් චූදිතයා සන්තකයෙහි තිබී හමුවුවහොත් එය එවැනි ක්‍රියාවක් කිරීම “බැලූ බැල්මට” ඔප්පු වන සාක්ෂියක් ලෙස සැලකේ. එනම් වැඩ වර්ජන, උද්ඝෝෂන ආදිය සම්බන්ධව බෙදා හරින පත්‍රිකාවක් කිසියම් තැනැත්තෙකු ලඟ තිබීම පවා ත්‍රස්තවාදී ක්‍රියාවක යෙදුන බවට සාක්ෂියක් සහ දඬුවම් ලැබිය යුතු වරදකි.

මෙම නියෝගයන් මගින් අර්ථ නිරුපනය කරන වැරදි සම්බන්ධ නඩු විභාගයන් ජූරි සභාවකින් තොරව මහාධිකරන විනිසුරුවරයෙකු විසින් පවත්වනු ලබන අතර “පාපොච්චාරනයන් හා අපරාධාරෝපක ප්‍රකාශයන්” ඒ තැනැත්තාට විරුද්ධව ඔප්පු කල හැකිය. එනම් වද බන්ධන පැමිනවීම මගින් ලබා ගන්නා පාපොච්චාරන සහ ප්‍රකාශ චූදිතයාට එරෙහි සාක්ෂි ලෙස යොදා ගනු ලබයි. එවන් නඩු විභාගයකින් පසු දෙනු ලබන තීන්දුවක් වෙනත් කිසිදු අධිකරනයක් මගින් අත් හිටුවීම, අවලංගු කිරීම හෝ තහනම් කිරීම කල නොහැකිය. ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) 1971 සහ 1989-90 කැරලි සහ දෙමල ජන විරෝධී 30 අවුරුදු වාර්ගික යුද්ධය තුල දී මෙවන් කුරිරු විධික්‍රමයන් බලයේ පැවති ආන්ඩු විසින් යොදාගනු ලැබුනි.

එමෙන් ම, චූදිතයෙකු “සන්තකයෙහි, භාරයේ හෝ පාලනයෙහි තිබී සොයාගුනු ලබන යම් පොතක්, ලේඛනයක් හෝ පත්‍රිකාවක් ඔහුට විරුද්ධව කෙරෙන නඩු විභාගයක දී ඒවායෙහි අඩංගු කරුනු තව දුරටත් ඔප්පු කිරීමකින් තොරව ඔහුට එරෙහි සාක්ෂි වසයෙන්” පිලිගනු ලබයි.

හදිසි නීති රෙගුලාසි මගින් නම් කෙරෙන “ත්‍රස්ත” ක්‍රියාවන් හි යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ බලය පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාවට ද පවරා ඇති අතර ඔවුන් උසාවියකට ඉදිරිපත් නොකර ආරක්ෂක ලේකම් වරයාගේ අනුමැතිය ඇතිව දින 90 ක් රඳවා ගැනීමට සහ අනතුරුව උසාවියකට ඉදිරිපත් කර පරීක්ෂන පැවැත්වීම යටතේ චෝදනා ඇතිව හෝ නැතිව වසරක් රඳවා තැබිය හැකිය.

“ත්‍රස්ත” ක්‍රියාවන් මර්දනය කිරීමේ දී පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් කරනු ලබන සියලු ක්‍රියා සම්බන්ධ වගකීමෙන් ඔවුන් නිදහස් කෙරෙයි.

ජනාධිපති විසින් අප්‍රේල් 25 දා කැඳවුම් කල සර්වපාක්ෂික සමුලුවට සහභාගී වූ ආන්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන (ශ්‍රීලපොපෙ), දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), දෙමල ප්‍රගතිශීලී පෙරමුන (ටීපීඑෆ්) ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා ව්‍යාජ-වාම පක්ෂයක් වන නව සමසමාජ පක්ෂය (නසසප) ඇතුලු සියලු පක්ෂ මෙම මෘග හදිසි නීති රෙගුලාසි ක්‍රියාවට දැමීමට හා ඒ සඳහා ආරක්ෂක හමුදාවල ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට එකඟ වූහ.

එමෙන් ම, සෙසු ව්‍යාජ-වාම පක්ෂ වන එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හදිසි නීති රෙගුලාසි පිලිබඳ හුදු හෙලා දැකීමකට සීමා වෙමින් කම්කරු පන්තිය මුහනදෙන අන්තරාය වසන් කරමින් පාලක පන්තියේ පොලිස් රාජ්‍ය සැලසුම්වලට වක්‍රව සහාය දෙති.

ධනපති රාජ්‍යයේ මර්දන නීතිවලට කම්කරු පන්තිය එකහෙලා විරුද්ධ විය යුතු ය. ත්‍රස්ත ප්‍රහාර සහ ධනපති රාජ්‍ය ප්‍රහාරයන්ගේ මූලය ලෝක ධනවාදයයි. එම ප්‍රහාරයන් පරාජය කල හැක්කේ ධනවාදය පෙරලා දැමීම සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයක් තුල පමනි. කම්කරු පන්තිය සියලු ධනේශ්වර හා ව්‍යාජ-වාම පක්ෂවලින් ස්වාධීනව තමන්ගේම කම්කරු ක්‍රියාකාරී කමිටු සියලු වැඩපල වල සහ නිවහන් ප්‍රදේශවල ගොඩනගා ගනිමින් එවන් අරගලයකට උරදිය හැකි ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් සඳහා සටන සියතට ගත යුතු ය.

Share this article: