කම්කරු අරගල මධ්‍යස්ථානය කම්කරුවන් විරෝධතා දේශපාලනය තුල කොටු කිරීමේ තවත් උද්ඝෝෂනයක් පවත්වයි

සකුන ජයවර්ධන විසිනි, 2019 අප්‍රේල් 8

ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) පෙරමුනු සංවිධානයක් වන කම්කරු අරගල මධ්‍යස්ථානය (කඅම) විසින් මාර්තු 28 වෙනිදා කොලඹ උද්ඝෝෂනයක් පැවැත් වීය. විරෝධතාවට රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ලංකා බැංකු සංගමය, වතු කම්කරු සංගමය, ටෙලිකොම් සමිති සම්මේලනය ඇතුලු සංවිධාන 16 ක් සහභාගී වුහ.

මරදාන එල්ෆිනිස්ටන් රඟහල අසලින් ආරම්භ කෙරුන පාගමනකින් කොලඹ කොටුව දක්වා පැමින විරෝධතාකරුවන් එහි දී රැලියක් පවත්වනු ලැබී ය. විරෝධතාවට සහභාගී වී සිටියේ මෙම සංවිධානවල ක්‍රියාකාරීන් 200 ක පමන පිරිසකි.

වැටුප් වැඩි කිරීම, අනියම් සේවකයින් ස්ථිර කිරීම, ප්‍රති-ත්‍රස්ත පනත අහෝසි කිරීම, මහජන දේපල විකිනීම හා විශ්‍රාම වැටුප් කප්පාදුව නතර කිරීම, ජනතා විරෝධී ගිවිසුම් අහෝසි කිරීම, අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් කොල්ලය නැවැත්වීම සහ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් 14 ක් උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම් ලැයිස්තුවට ඇතුලත් විය.

මෙම විරෝධතාවය පවත්වනු ලැබූයේ ධනපති ආන්ඩු වල ආර්ථික කප්පාදු පිලිවෙත් වලට එරෙහිව ශ්‍රී ලංකාවේත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තියේ අරගල වර්ධනය වෙමින් පවතින තත්වයක ය. ලක්ෂයකට අධික ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ මාස ගනනක වැටුප් අරගලයෙන් පසු මාර්තු මාසයේ දෙලක්ෂයකට අධික ගුරුවරු අධ්‍යාපන කප්පාදුවට එරෙහිව හා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වර්ජනයක නිරත වුහ.

ගෝලීයව දසදහස් ගනනක් ගුරුවරුන් පසුගිය සතිවල අරගල වලට එලැඹි අතර මෙක්සිකෝවේ මැටමොරෝස් කාර්මික කම්කරුවන්, ප්‍රන්සයේ කහ බැනියම් ව්‍යාපාරය, එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන් හා ඉන්දියාවේ රාජ්‍ය අංශයේ මිලියන 180 ක් කම්කරුවන් ගේ අරගල පන්ති අරගලයේ ජාත්‍යන්තර නැගීමක ප්‍රකාශනයන් ය.

විරෝධතා රැලිය ඇමතු කථිකයන්ගේ කතාවල පොදු හා මුලික සාරය වුයේ ධනපති ආන්ඩුව මත වැඩි පීඩනයක් යෙදීමෙන් වැඩකරන ජනයාට ඔවුන්ගේ ඉල්ලීම් දිනාගත හැකිය යන කුජීත මිත්‍යාව වගා දිගා කිරීම ය.

රජයේ මුද්‍රන ශිල්පීන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල: “කම්කරු පන්තිය ඒකරාශී වුනොත් එක මාවතකට ගෙනල්ලා මේ ආන්ඩුවේ මර්දනකාරී ක්‍රියා පිලිවෙත් මර්දනය කිරීමේ හැකියාව පවතින” බව ප්‍රකාශ කලේ ය. කම්කරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් “තීරනාත්මක මැදිහත් වීමක්” අවශ්‍යයැයි ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් පැවසීය.

ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සංවිධායක ලේකම් සංජීව බන්ඩාර “කම්කරු පන්තිය බරපතල අභියෝගයකට මුහුන දීලා ඉන්න නිසා අපිට එකට එකතු වෙන්න බලකෙරිලා තියෙනවා” යැයි සඳහන් කලේ ය. “වැඩ කරන ජනතාවට අයිතිවාසිකම් දිනාගන්න පුලුල්ව බලපෑම් කල යුතුයි. අපි එක මිටට පෙල ගැහුනොත් දෙන්න බැහැ කියන වැටුප් දෙයි” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

මෙම උද්ඝෝෂනය මෙහය වූ සියලු සංවිධාන අඩු වැඩි වශයෙන් ජනාධිපති සිරිසේන සහ වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට දර දිය ඇදී සංවිධානයෝ ය. එම නිසා ආන්ඩුව ගැන ඔවුන් කරන විවේචන වංචනිකය. එපමනට ම කුහකය.

ධනේශ්වර ආන්ඩුවට පුලුල් බලපෑම් දැමීම මගින් කම්කරු පන්තියට තම අයිතිවාසිකම් දිනා ගතහැකිය යන මිත්‍යාව මෙම සමිති නායකයන් තොරොම්බල් කරන්නේ හුදෙක් එවන් පීඩනයක් යෙදීමෙන් වැඩකරන ජනයාට වැඩි වැටුප් හා යහපත් සේවා කොන්දේසි ඇතුලු කිසිදු අයිතියක් දිනා ගත නොහැකි බව මෑත අරගල තුල දී යලි යලිත් අත් දකින තත්වයක් තුලය.

පසුගිය වසරේ තැපැල්, දුම්රිය හා විශ්ව විද්‍යාල අනධ්‍යයන කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියේ වැටුප් අරගල වල දී ඉල්ලීම් ඉටුකරන බවට ජනාධිපති සිරිසේන සහ රාජ්‍ය බලධාරීන් දුන් ව්‍යාජ පොරොන්දු පිලිගෙන සමිති එම අරගල නතර කල අතර ආන්ඩුව එම පොරොන්දු කුනු කුඩයට දැමීය.

ආන්ඩුවේ පිලිවෙත කම්කරු පන්තියේ අයිතීන් දීම නොව; ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග යටතේ හා හාම්පුතුන්ගේ ඉල්ලීම් වලට අනුව කම්කරු පන්තියේ වැටුප්, සේවා කොන්දේසි සහ රැකියා කප්පාදු කිරීම හා ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට කෙටීම ය.

ජනාධිපති සිරිසේන, මාර්තු 28 වෙනිදා, රාජ්‍ය පරිපාලන නිලධාරීන් අමතා කල කතාවක දී, රජයේ සේවකයන් “රජයට දැරිය නොහැකි වැටුප් සහ අනෙකුත් ප්‍රතිලාභ ඉල්ලා සිටින නමුත් රට සංවර්ධනය කිරීමට අවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව ඉටු කිරීමට අසමත් වී ඇතැයි” පවසමින් රාජ්‍ය අංශයේ සේවකයන්ට එරෙහිව චෝදනා ගොන්නක් ඉදිරිපත් කලේය.

රට බරපතල අර්බුදයකට මුහුන දී ඇති බැවින් 2020 ජනාධිපතිවරනයේ දී කවුරු බලයට ආවත් “විප්ලවීය” වෙනසක් නොකර රට ගොඩ ගත නොහැකි බව ඔහු පැවසීය. එහි තේරුම වනුයේ, සමාජ සහන හා වැටුප් කප්පාදුව, පුද්ගලීකරනය ඇතුලු ජාමූඅ විසින් නිර්දේශිත ආර්ථික ප්‍රතිසංස්කරන නිර්දයව ක්‍රියාවට දැමිය යුතු බවයි. තම අයිතීන් සඳහා සටන් කරන කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල තලා දැමීම සඳහා පොලිස් රාජ්‍යයක් වර්ධනය කිරීම මෙම “විප්ලවීය” වෙනසේ අත්‍යවශ්‍ය අංගයකි.

මාර්තු 3 වන දා කොලඹ බත්තරමුල්ලේ පාර්ලිමේන්තු වටරවුමේ දී සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට එල්ල කල ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය, සිරිසේන ඇතුලු ධනපති පාලක පන්තියට ලෝක ධනේශ්වර අර්බුදය මගින් වෛෂයිකව බලකෙරී ඇති ඉහත “වෙනසේ” පෙර ඇගවුම් ය.

සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව පැන නගින පන්ති අරගල “ත්‍රස්ත ක්‍රියා” ලෙස නම් කරමින් ඒවා මැඩීම ඉලක්ක කොට ගත් නීති සම්පාදනය කර ගැනීම යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතේ මූලික අරමුනයි. එසේම, ආන්ඩුවේ “මත්ද්‍රව්‍ය-විරෝධී යුද්ධය” සහ ඊට මුවා වී රාජ්‍ය හමුදා හා පොලීසි අධි තාක්ෂනික උපකරනවලින් සන්නද්ධ කිරීමේ එල්ලය වනුයේ දේශපාලන විරුද්ධවාදීන් සහ කම්කරු පීඩිත මහජනයා මත රාජ්‍ය ඔත්තු බැලීමේ ජාලයක් දිගේලි කිරීමයි.

මෙම තතු තුල, ආන්ඩුවේ සහ සමස්ත ධනපති පන්තියේ ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක අවශ්‍යතාව කම්කරුවන් අතරින්ම බලගතු ලෙස මතු වෙමින් පවතී. වතු කම්කරු වැටුප් අරගලයට අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් දැක්වූ අර්ථභාරී සහයෝගයෙන් ද, පසුගියදා පැවති එක්දින සංකේත වර්ජනයට දිවයින පුරා දෙලක්ෂයකට අධික ගුරුවරුන් වාර්ගික භේදකරනයන් නොතකා සහභාගි වීමෙන් ද මෙය පැහැදිලිවම ප්‍රකාශයට පත්විය.

නිසැකවම මෙම වර්ධනයන්ගේ වෛෂයික යොමුව පවතිනුයේ මහ වැඩ වර්ජනයක් දෙසටයි. වර්ධනය වී ඇති ආර්ථික සහ දේශපාලනික කොන්දේසි යටතේ එවන් මහ වැඩ වර්ජනයක් අනිවාර්යයෙන්ම බලය පිලිබඳ ප්‍රශ්නය මතු කරනු ඇත.

පොලීසිය සහ හමුදාවන් ඇතුලු සමස්ත රාජ්‍ය බලය කැඳවා ගනිමින් එකී මහ වැඩ වර්ජනය බිඳ හෙලීම සඳහා ආන්ඩුව විසින් පියවර ගන්නා තතු යටතේ, ධනපති පන්ති පාලනය පෙරලා දමා තම පන්ති පාලනය ස්ථාපිත කිරීම කම්කරු පන්තියේ අනිවාර්ය අවශ්‍යතාවයක් බවට පත් කෙරේ. මේ සඳහා විප්ලවවාදී දේශපාලන ඉදිරි දර්ශනයක් සහ නායකත්වයක් අත්‍යවශ්‍ය කෙරේ.

මහ වැඩ වර්ජනයක් දෙසට වන මෙම වෛෂයික යොමුව පිලිබඳව ඉතා දැනුවත් පෙසප සහ එය වටා රොක්ව සිටින වෘත්තීය සමිති නඩය, එවන් විප්ලවවාදී ඉදිරි දර්ශනයක් මත කම්කරු පන්තිය සංවිධානය කිරීම වැලැක්වීම සඳහා සෑම අතින්ම වැඩට බැස ඇත. මාර්තු 28 වන දා උද්ඝෝෂනය එම ව්‍යාපෘතියේ ම අංගයකි.

එම රැලිය ඇමතූ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව වැඩ කරන ජනතාවට එකමුතු වීමට “පස” සකස් වී තිබුන ද තවමත් “හිත හරි ගිහින්” නොමැති බව පැවසීය. “වෘත්තීය භේද, සමිති භේද, ශ්‍රේනි භේද අතහැර ඒකාබද්ධතාවයක් අවශ්‍ය” බවත්, ඉල්ලීම් දිනා ගැනීමට නම් “වෘත්තීය සමිති ව්‍යාපාරය” ඒකාබද්ධ කර “සමස්ත මහ වැඩ වර්ජනයකට පෙල ගැස්විය” යුතු බවත් ඔහු සඳහන් කලේ ය.

නාගමුව ගේ “සමස්ත මහ වැඩ වර්ජන” යෝජනාව වනාහි, කම්කරු පන්තික බලය ස්ථාපිත කිරීමට යොමු කෙරුනු මහ වැඩ වර්ජනයක් දිසාවට වර්ධනය වන කම්කරු පන්තියේ අරගලය දේශපාලනික ව හා ක්‍රියාමාර්ගික ව පීලි පන්නවා ධනපති ආන්ඩු වලට සහ හාම්පුතූන්ට බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනය තුල සිර කිරීමේ ප්‍රයත්නය කි.

Share this article: