ත්‍රස්ත බෝම්බ ප්‍රහාරවලින් පසු කම්කරුවන්, සිසුන් ඇතුලු මහජනතාව ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දක්වති

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 අප්‍රේල් 29

.

සියගනනකට මරු කැඳවමින් සහ තවත් විශාල පිරිසකට බරපතල තුවාල සිදුකරමින් අප්‍රේල් 21 ක් වන ඉරිදා එල්ල කෙරුනු ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර වලින් පසු ආන්ඩුව දිවයින තුල විෂඝෝර හදිසි නීති රෙගුලාසි බලාත්මක කර තිබේ.

ඒ අනුව පොලීසියට හා මිලිටරියට ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ හා රඳවා ගැනීමේ රුදුුරු බලතල ලබාදී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිකුරාදා කැඳවනු ලැබූ සර්වාපාක්ෂික සමුලුවේදී, තරකෙරුනු පොලිස්-රාජ්‍ය පියවරයන්ට සර්ව-පාක්ෂික අනුමැතියේ මුද්‍රාව තබාගත්තේ වඩාත් ආඥාදායක පියවරයන් ගැනීමට පුලුල් ලෙස ඉඩ විවර කරගනිමිනි.

ආන්ඩුවේ වැඩකටයුතු මහජනතාවන් සංත්‍රාසයේ ගිල්වා තබා ඇත. අප්‍රේල් පාසල් නිවාඩුව නියමිත කාලයට වඩා දෙසතියකින් දිර්ඝ කෙරී ඇති අතර මහමාර්ග වලදී සහ පොදු ප්‍රවාහන සේවයන් තුල හදිසි පරික්ෂාවන්, තවත් බෝම්බ ප්‍රහාරයන් පිලිබඳ අනතුරු ඇඟවීම් හරහා සාමාන්‍ය ජන ජීවිතය අවුල් කෙරී පවතී.

බෝම්බකරුවන් ප්‍රහාරයට සූදානම් වන අන්දම සහ බෝම්බය පුපුරුවාගැනීමේ ලොමුදැහැගැන්වෙන කැමරා දර්ශන තරගයට මෙන් ඉදිරිපත් කරන ධනපති මාධ්‍යයන් මහජනතාවන් තැති ගන්වා ඇත.

බෝම්බ ප්‍රහාරය ගසාකමින් ආන්ඩුව පොලිස්-මිලිටරි රාජ්‍යයක් අටවාගැනීමට දරන උත්සාහය, කම්කරු පන්තිය ඉදිරියේ පවතින බරපතල අන්තරායක් බව පැහැදිලි කරමින් ලෝක සමාජවාදී වෙඞ් අඩවිය (ලෝසවෙඅ) විශ්ලේෂන මාලාවක්ම ඉදිරිපත් කර ඇත්තේ අන් සියලු මාධ්‍යයන් ආන්ඩුවේ ප්‍රයත්නය මුලුමනින්ම අනුමත කරමින් සහ අගයමින් සිටින තතු තුලයි.

ලෝසවෙඅ නියෝජිතයන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක, කම්කරුවන්, ශිෂ්‍යයන් සහ අවශේෂ මහජනතාව සමග පැවැත් වූ සාකච්ඡාවලදී ප්‍රහාරය සහ ඉන් පසු තත්වය පිලිබඳව ඔවුන් දැක්වූ අදහස් පහත පල කරන අතර ආරක්ෂක හේතූන් මත ඔවුනගේ නම් හෙලි නොකරන්නෙමු.

මහජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් ආන්ඩුවේ වගකීම් විරහිත හැසිරීම ගැන කෝපය පලකරමින් මතුගම ප්‍රදේශයේ පාසැල් ගුරුවරයෙකු පැවසුවේ “ආන්ඩුව කියන්නේ ජනතාව ආරක්ෂා කරන්න තියෙන ආයතනයක් කියන එක බොරුවක් කියල මේ සිද්ධියෙන් ඔප්පු වුනා. මේවගේ විශාල අනතුරක් සිදුවුනාට පස්සෙත් ආන්ඩුවේ නියෝජිතයෝ කතාකරන හැටි දැක්කම ඔවුන්ට මහජනතාව ගැන කිසිම තැකීමක් නැහැ කියල පේනවා. ප්‍රවෘත්ති බලන එකත් අප්‍රියජනක දෙයක් වෙලා දැන්.”

ආන්ඩුව අන්තවාදය මැඩලීමේ නමින් පොලිසිය සහ හමුදා මැදිහත් කිරීම සම්බන්ධයෙන් ඔහු විවේචනශීලී විය. “දැන් සුලු ජාතික අන්තවාදී කන්ඩායම් මැඩපැවත්වීම සඳහා කියමින් ආන්ඩුව, හමුදා සහ පොලීසි යොදවල මහා භීෂනයක් පතුරුවමින් ඉන්නවා. ආන්ඩුවට අන්තවාදය පරාජය කිරීමට සැබෑ උවමනාවක් නැහැ. අපි දැක්කා මෑතකදී බෞද්ධ අන්තවාදී සංවිධාන මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රහාර දියත් කරද්දි ආන්ඩුව කටපියාගෙන හිටපු හැටි. ඒව සිද්ධවුනේ පොලිසියේ ආරක්ෂාව යටතේ. ජනතාවගේ ප්‍රශ්න යටපත් කරල තියාගන්න ආන්ඩුව මේ සිද්ධියෙන් ලොකු වාසියක් ගන්න බව පේනව.” යැයි ඔහු පැවසීය.

ප්‍රහාරය ගසාකමින් සිය සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී උද්ඝෝෂනය ශක්තිමත් කරගැනීමට පෙරට පැන සිටින මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ඇතුලු වර්ගවාදී නඩ ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ, “විපක්ෂයත් එහෙම තමයි. රාජපක්ෂගේ පැත්තෙන් මහජනතාව ගැන ලොකු කැක්කුමක් තියෙන බව පෙන්වන්න උත්සාහ කලත් ඒ තමන්ගේ මැතිවරන ව්‍යාපාරය පුම්බගන්න කියල ටිකක් කල්පනා කරල බලන කාට උනත් තේරෙනව”

කම්කරුවන්ගේ ධෛර්යසම්පන්න වැටුප් අරගලය මැද සමාජවාදී සමානතා පක්ෂයේ මැදිහත්වීමෙන් හැටන් ප්‍රදේශයේ ඇබොට්ස්ලි වතුයායේ කම්කරුවන් විසින් පිහිටුවාගත් කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙකු කියා සිටියේ “බෝම්බ ප්‍රහාරවලින් පසු ආන්ඩුව තබා ඇති පියවරයන් කම්කරු පන්තියේ අරගලවලට එරෙහිව යොදාගනු ඇති” බවයි. ඔහු මෙසේද පැවසීය: “පොලිසි, හමුදා පාරට දැම්මම යුද්දෙ කාලෙ හිටිය වගේ බයෙන් තමයි අපිට ඉන්න වෙන්නෙ. අපේ අයිතීන් වෙනුවෙන් අරගල කරන්න ඉඩක් නැති වෙනවා.”

පාලක පන්තියේ උත්සුකයන් ගැන අවධානය යොමුකල මීගමුව ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු මෙසේ ප්‍රකාශ කලේය. “මම හිටියා නම් මේ දේවල් පාලනය කරනවා කියලා රාජපක්ෂ යලි බලයට එන්න යනවා. මේ තත්වය පාලනය කරනවා කියලා කියන්නේ හදිසි නීතිය දාපු මහජනයාට කටක් අරින්න බැරි පාලනයක් ගේනවා කියන එකයි.”

“යුද්ධයට එරෙහි සමාජවාදය සඳහා සටන” යන මැයෙන් පලකෙරුනු හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශනය තමන් කියවා ඇති බවත් ඇමරිකානු අධිරාජ්‍යවාදය තමන්ගේ භූ දේශපාලනික අවශ්‍යතා ඉටුකර ගැනීමට වෙනත් රටවල් වල අර්බුද ගසාකෑම ගැන එයින් අවබෝධයක් ලැබූ බැවත් පැවසූ ඔහු “ඇමරිකාවේ එෆ්බීඅයි සංවිධානය බෝම්බ ප්‍රහාරවලින් පසු ලංකාවට පැමිනීම එම වැඩපිලිවෙලේම කොටසක් විය හැකි බවට සැක මතුවන” බවද ඔහු පැවසීය.

හැටන් ප්‍රදේශයේ ඈන්ෆීල්ඞ් වතුයායේ ජීවත් වන හැටන් කාර්මික විද්‍යාලයේ තරුන ආචාර්යවරයෙකු පැවසුවේ “ආන්ඩුව මේ සිදුවීම් වර්ගවාදය ඇවිස්සීමට යොදාගනු ඇති” බවයි. “සමාජ මාධ්‍යයන් ඔස්සේ එවැනි වැඩවලට මහජනතාවගේ විරුද්ධත්වය ප්‍රකාශයට පත්වෙනවා. ඒ අදහස් යටපත් කරන්න ආන්ඩුව සමාජ මාධ්‍ය අවහිර කරල තියෙනවා”.

බහුතරයක් දෙමල ජනයාගෙන් සැදුම්ලත් වතු කම්කරුවන්ගේ නායකත්වයේ සිටින වෘත්තීය සමිති නායකයින් රාජ්‍ය මර්දනයට සහය දෙන බවට තමන්ගේ නිරීක්ෂන ඉදිරිපත් කරමින් ඔහු මෙසේ පැවසීය: “සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී කරපු කතාව මම අහගෙන හිටියා. දිගම්බරම් ඔහුගේ කතාවකදී කිව්වා ත්‍රස්තවාදය මැඩපැවැත්වීම ෆොන්සේකාට භාරදිය යුතුයි කියලා. ෆොන්සේකා දෙමල මහජනතාවට එරෙහිව යුද්ධය ගෙන ගියපු ප්‍රධාන හමුදා නායකයෙක්. දෙමල ජනතාවගේ නායකයින් හැටියට පෙනී ඉන්න දිගම්බරම් වැනි අය නැවත වතාවක් ඔහුගේ අතට බලය දෙන්න කතාකරනවා.”

ලෝසවෙඅ ට අදහස් දැක්වූ හලාවත ප්‍රදේශයේ තරුන කාන්තාවක් පැවසුවේ “මේක ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක වැඩක් කියල කිව්වත්, මේ තරම් මිනිස් ජීවිත ප්‍රමානයක් විනාශවීමට සමස්ත පාලක පන්තියම වගකිව යුතු” බවයි. “ඔවුන්ට මනුස්ස ජීවිත ගැන කිසිදු තැකීමක් නෑ. ඒවගේම දැන් මේ ප්‍රහාරය ඉස්සරහට දාලා පසුගිය දවස්වල මහජනතාවට පැන නැගිලා තිබුනු නොයෙක් ප්‍රශ්න ආන්ඩුව යට ගහලා ඉවරයි.”

ධීවර රැකියාවේ නිරත ඇයගේ සහකරු හදිසි නීති පැනවීම සහ හමුදා සහ පොලිසි අතට බලය ලබාදීමෙන් උද්ගතවන තත්වය පිලිබඳ සිය අත්දැකීම් මෙසේ විස්තර කලේ ය: “ඉස්සර යුද්ධෙ තියෙද්දි අපිට ධීවර රස්සාව කරන්න බෑ. රජයේ ආරක්ෂක අංශවලින් අපිව බය කරලා සමහරදාට බෝට්ටුවලින් අපිව මුහුදට ඇදල දාලා සෝදිසි කිරීම් කලා. අපිට කටක් අරින්න බෑ. රට ඇතුලෙත් එහෙම තමා. ඒ තත්වය ආයේ ආවොත් මහ විනාශයක්. අපිට මොනම නිදහසක්වත් ඉතුරු වෙන එකක් නෑ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුවෙක් පැවසුවේ මෙම ප්‍රහාරයන් තමන්ට මහත් කම්පනයක් ගෙනදුන් බවයි. ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය හෙලාදකින බව පැවසූ ඔහු සාමන්‍ය මුස්ලිම් ජනතාව පත්ව ඇති තත්වය ගැන සැලකිලිමත් වෙමින් මෙසේ පැවසීය: “මේ කටයුත්ත නිසා මුස්ලිම් මිනිසුන්ට පාරට බහින්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. කවුරි හරි තමන්ට අල්ලං ගහයි කියල බයෙන් ඔවුන්ට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ.”

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද කීවේය: “අනික් පැත්තට මේකෙන් රජයට විරුද්ධ ව එන නැගිටීම් ඔක්කොම යට ගහනවා. හදිසි නීතිය යටතේ අධිකරන ක්‍රියාමාර්ග නැති ව ඕනෑම කෙනෙක්ව අත්අඩංගුවට අරන් රඳවා ගන්න පුලුවන්.”

කොලඹ ප්‍රධාන පාසලක ගුරුවරයෙකු ප්‍රකාශ කලේ මේ සිද්ධිවලින් පස්සේ ලංකාවේ ධනපති දේශපාලනය මහජනතාව ඉදිරියේ විහිලුවක් වූ බවයි. “වැඩි වැඩියෙන් ධනපති දේශපාලනයේ බංකොලොත්කම එලිදරව් වුනා. මට හිතෙන්නෙ බෝම්බ පිපිරීමත් එක්ක පුපුරාගියේ ලංකාවේ ධනපති දේශපාලනය” යැයි ඔහු පැවසීය.

“මේ සිදුවීම් මාලාවත් එක්ක ආන්ඩුව කරන්න හදන්නේ මහජනතාව අතරේ බියක් ඇති කරල ඒ හරහා ආන්ඩුවට ඔවුන්ගෙන් එල්ලවෙන විරෝධය යටපත් කරන්න. ධනපති මාධ්‍යයත් හවුල් වෙච්ච ලොකු නාට්‍යයක් තමයි තමයි ආන්ඩුව අරගෙන යන්නේ.”

සිදුවීම් වලට කලින් වතුකම්කරුවන්ගේ අරගලය ප්‍රමුඛ වැඩවර්ජන සහ විරෝධතා ගනනාවක් පැන නැගි බවත් ආන්ඩුව බෝම්බ ප්‍රහාරය යොදාගනු ලබන්නේ එම අරගල පිටුපසට තල්ලු කිරීමට බවත් ඔහු පැවසීය. “බොදුබල සේනාව ඇතුලු බෞද්ධ වර්ගවාදී සංවිධානවලට කලබල ඇතිකරන්න ඉඩදීලා උත්සහ කලෙත් ඒ දේ කරන්නයි.”

ප්‍රහාරයෙන් පසු ලෝසවෙඅ පලකල සියලු ලිපි තමන් කියවූ බවත් ඊට එකඟවන බවත් පැවසූ ඔහු ”මහජනතාවට ධනපති දේශපාලනයේ පරිහානිය පේනවා ඒත් පාලක පන්තිය පැත්තෙන් මේ සිද්ධිය ගසාකමින් ෆැසිස්ට් ව්‍යාපාරයක් ගොඩනගාගැනීමේ උත්සාහයකුත් තියෙනව. ඒ අවදානමෙන් මිදෙන්න නම් කම්කරු පන්තිය නායකත්වය දෙන මහජන ව්‍යාපාරයක් ගොඩනගන්නම වෙනවා” යැයි පැවසීය.

Share this article: