නාට්‍ය විචාර: මං කෙලින් මිනිහෙක්

සමන් ගුනදාස විසිනි, 2019 අප්‍රේල් 28

ලිංගික ප්‍රහසනයක් වන මං කෙලින් මිනිහෙක් වේදිකා නාට්‍යය අසංක සායක්කාර ගේ නිර්මානයකි. “වමේ” දේශපාලනඥයෙකුගේ අවස්ථාවාදී භාවිතාව නාට්‍යයට කේන්ද්‍ර වී ඇති නමුදු, එම භාවිතාවට හේතු කාරක වන යථා දේශපාලනික ප්‍රශ්න පිලිබඳව කවර හෝ ආලෝකයක් සායක්කාරගේ කෘතිය තුලින් සම්පාදනය නොකෙරේ. ඊට විපරීතව, නාට්‍යය තුලින් මූලික වශයෙන් සම්ප්‍රේෂනය කෙරෙනුයේ, ලිංගිකත්වය මත සියල්ල පදනම් වන්නේය යන පශ්චාත්නූතනවාදී ව්‍යාජ මතය යි.

වමේ පක්ෂයක නායකයෙකු වන එල්මන් නාගසිංහ සහ ඔහුගේ අනියම් පෙම්වතිය වන තක්ෂිලා අතර හෝටල් කාමරයක සිදුවන කතාබහක් වටා නාට්‍යය ගෙතී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නාගසිංහ ධනපති ආන්ඩුවකට සහය දෙමින් සිට විරුද්ධ පක්ෂ නායකයාගෙන් රුපියල් කෝටි හතරක කප්පම් මුදලක් ලබා ගනිමින් විරුද්ධ පක්ෂයට මාරුවීමට සැරසේ.

මෙය රටේ විශාල ආන්දෝලනයක් ඇති කිරීමට නියමිත බැවින් පිල් මාරුව නිල වශයෙන් මාධ්‍යයට දන්වන තෙක් ඔහු මාධ්‍යයෙන් වහංගුවී සිටී. තම පිල්මාරුව මාධ්‍ය තුලින් ප්‍රකාශ කිරීමට නියමිත දිනයේ එම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිත හෝටලයේ කාමරයකටවී රහසේ සිය අනියම් තරුන “පෙම්වතිය” සමග දවස ගත කරන වයසින් මුහුකුරා ගිය වාමාංශික නායකයා හා තරුනිය අතර සිදුවන සංවාද හා සිදුවීම් වලින් නාට්‍යය සමන්විත වෙයි.

තමන්ට ලැබෙන අල්ලස් මුදලින් දරුවන් පිටරට යවා ඉගැන්වීම හා නිවාස, යාන වාහන පිලිබඳව සිහින මවන නාගසිංහගෙන් සිය විවාහ මංගලෝත්සවය සඳහා, ලක්ෂ 15 ක් ලබා දෙන ලෙස තරුනිය කරන ඉල්ලීම වාමාංශික නායකයා ඉවත දමයි. ඉන් උරන වූ තරුනිය රහසින් ආන්ඩු පක්ෂයෙන් මුදල් ලබා ගැනීමේ උපායක් ලෙස නාගසිංහගේ සැලැස්ම ආන්ඩු පක්ෂයට දැනුම් දී, නාගසිංහ ට මාධ්‍ය හමුවට සහභාගි නොවිය හැකි තත්වයක් උද්ගත කිරීමේ කොන්ත්‍රාත්තුවේ නිරත වෙයි.

රමනයෙහි යෙදීම සඳහා නාගසිංහ භාවිතා කරන ඖෂධය නියමිත මාත්‍රාවට වඩා ලබා දීමට ක්‍රියා කරන තක්ෂිලා එමගින් දිගටම ප්‍රානවත්ව පවතින ලිඟුව නිසා නාගසිංහට මාධ්‍යය ඉදිරියට යාමට නොහැකි තත්වයක් ඇති කොට ඔහු සයනයට බැඳ දමා පිටවී යයි.

තම නාට්‍යයෙන් මූලික වශයෙන්ම ලිංගිකත්වය සහ දේශපාලනය අතර තියන සම්බන්ධය ගෙන හැර පාන බව සායක්කාර පවසයි: “මම මේකෙදි චරිත දෙකක් කේන්ද්‍ර කරගෙන තමයි ලිංගිකත්වය හා දේශපාලනය අතරෙ තියෙන අපි දන්නෙ නැති නමුත් හැමදාම තිබ්බ හා තියෙන මේ සම්බන්ධය වෙන විධියකට නාට්‍ය පෙලක් ලෙස ඉදිරිපත් කරන්නේ.”

තරුනිය පාරිභෝගික භාන්ඩයක් ලෙස පරිහරනය කිරීමේ නාගසිංහගේ අමානුෂීය ලිංගික ස්වභාවයමත් ඔහුගේ දේශපාලනික පරිහානියේ අත්‍යන්ත කොටසකි. ජාතිකව පමනක් නොව ජාත්‍යන්තර පරිමානවම සිදුව ඇති “වමේ” පරිහානිය කෙරෙහි බලපෑ ඓතිහාසික සහ දේශපාලනික ප්‍රශ්න කලාත්මකව අනාවරනය කිරීමේ බැරෑරුම් කාර්යයෙහි නිරතවනු වෙනුවට, “දේශපාලනය හා ලිංගිකත්වය අතර පවතින සුවිශේෂ බැඳීමක්” පිලිබඳව සොයා බැලීමේ ව්‍යාජ ව්‍යායාමයක සායක්කාර නිරත වෙයි.

සායක්කාරගේ මෙම ප්‍රවිෂ්ටය ඔහු දරා සිටින පශ්චාත්නූතනවාදී දෘෂ්ටිවාදාත්මක සංකල්පයන් සමග අත්‍යන්තයෙන් ම බැඳී පවතී. විගලිතභාවය, අවරෝධනය හා ලිංගිකත්වය සම්බන්ධ ප්‍රශ්න, කම්කරු පන්තියේ ආර්ථික සූරාකෑම හා බලය සඳහා එහි අරගලයට වඩා වැදගත් ලෙස දකින පශ්චාත්නූතනවාදීන් ධනවාදය සම්බන්ධයෙන් දක්වන “විරෝධය” අවසන් විග්‍රහයේදී පවතින ධනපති සමාජයට යම් සීමාසහිත ප්‍රතිසංස්කරනයන් ගෙන ඒමට වඩා දුර නොයයි. ඔවුනට මාක්ස්වාදය අවශ්‍ය වන්නේ ඉතාම දියාරු ස්වරූපයකනි.

මාක්ස්වාදයට හා භෞතිකවාදයටම විකල්ප ලෙස මෙම පශ්චාත්නූතනවාදී සංකල්ප ඉස්මතු වූ ආකාරය පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ඬේවිඞ් නෝර්ත් සිය ෆ්‍රැන්ක්ෆර්ට් ගුරු කුලය: පශ්චාත්නූතනවාදය හා ව්‍යාජ වමේ දේශපාලනය කෘතිය තුල මෙසේ පවසයි:

“ව්‍යාජ වමේ” දේශපාලනය ලෙස අප දැන් අතිශය නිවැරදි ලෙස හඳුන්වන බොහෝ දේශපාලන තේමාවන් 1950 ගනන් හා 1960 ගනන්වලදී පැබ්ලෝවාදයේ හා සුලු ධනේශ්වර වමේ වටාපිටාව තුලින් පැන නැගුන පුද්ගල අනන්‍යතාවය හා ජීවනචර්යාව මැදි කරගත්තාවූ ඒවාය. සුවිශේෂ වශයෙන් ෆ්‍රොයිඞ් හා මනෝවිද්‍යාව, මාකියුස් විසින් විග්‍රහ කල ලෙසට, මාක්ස්ට හා භෞතිකවාදයට විකල්පයක් ලෙස උත්කර්ෂයට නැංවුනු කාලපරිච්ඡේදයයි ඒ. මාකියුස් විසින් සර්ව අශුභවාදී ලෙස කම්කරු පන්තියේ විප්ලවවාදී ධාරිතාවයන් පිලිකෙව් කිරීම මගින් අනුමත කෙරුනා පමනක් නොව ඉල්ලා සිටිනු ලැබුනේ සර්වබලධාරී ලෙස සැලකුනු පීඩක සමාජය තුල පුද්ගල විමුක්තියේ පදනම ලෙස පන්ති අරගලයට විකල්පයන් සොයා යාමයි. (පිට: 212 - මෙහ්රින් බුක්ස් -මිචිගන්)

සායක්කාර සිය කෘතිය පිලිබඳව මාධ්‍යයට මෙසේ කියයි; “වම සම්බන්ධයෙන් විවේචන මේ නාට්‍ය හරහා තිබෙනවා. හැබැයි ඒ සැබෑ වමේ ඉන්න චරිත ගැන නෙවෙයි. වම කියලා ඇවිත් දකුනට මාරු වුනු හා දකුනේ ඉන්න ගමන් වමේ කියලා පෙන්නන පාර්ශව මේ හරහා දැඩිව විවේචනයට ලක් වෙනවා.”

එසේ වුවද වම හා ව්‍යාජ-වම අතර පවතින බෙදුම්කඩනය පිලිබඳ කවර හෝ අදහසක් ගෙන ඒමට නාට්‍යය අසමත් වනවා පමනක් නොව නාට්‍යය තුල මාක්ස්වාදී කෘතීන් සරදමට ලක් කිරීම තුලින් සමාජවාදය සහ වම සමස්තයක් ලෙස ගර්හාවට ලක් කෙරෙයි.

ව්‍යාජ-වාම නායකයන් මෙන්ම වෘත්තීය සමිති නිලධරයන්ද නාගසිංහට සමාන හැසිරීම්වල අඩු වැඩි වශයෙන් නිරතවන බව සත්‍ය වන නමුත් මෙම නායකයන්ගේ ප්‍රතිගාමී දේශපාලනය සහ එහි යථා මූලයන් හෙලිදරව් කිරීම හුදු චර්යාධර්ම පද්ධතියක් හරහා කල නොහැක්කකි. වෙනත් අයුරකින් පවසතොත් බ්‍රහ්මචාරී වෘතය රකින්නාවූ ව්‍යාජ-වමේ දුර්-නායකයෙකුගේ එම “සද්චර්යාව” නිසා ඔහු යෙදී සිටින දේශපාලනයේ ප්‍රතිගාමිත්වය අහෝසි නොවේ.

ව්‍යාජ-වමේ පරිහානියේ දුර්ලක්ෂනයන් එකී පරිහානියේ මූලයන් ලෙස, නැතහොත් රෝග ලක්ෂන රෝග නිධානය ලෙස හුවා දැක්වීම මඟින් සායක්කාර ප්‍රේක්ෂක මනස ව්‍යාකූල කරයි. පරිහානියේ මූලයන් ඉදිරිපත් කිරීමට තබා ඒ පිලිබඳ යමක් සදහන් කිරීමටවත් උත්සාහ නොදැරීම නිසා සන්නිවේදනය වන්නේ නාගසිංහ යනු සමස්ත වාම දේශපාලනයේ යුක්තියුක්ත නැතහොත් ඓන්ද්‍රීය නිර්මිතයක් ලෙසය; ධනයෙන් හා බලයෙන් ආඪ්‍ය දක්ෂිනාංශයට, වම දූෂ්‍ය කිරීමේ හැකියාව “පරම විධානය” ලෙස පවතී.

වම සහ මාක්ස්-ලෙනින්වාදී සාහිත්‍යය සමග අනන්‍ය වීමට නාගසිංහ ප්‍රයත්න දරන බවක් සහ වමේ නායකයෙකුගේ ප්‍රතිරූපය සහිතව මියයාමට ඔහු ප්‍රාර්ථනා කරන බවක් නාට්‍යයෙන් ප්‍රකට වෙයි.

ව්‍යාජ-වාමාංශිකයෙකු වන ඔහුගේ එකී “ප්‍රාර්ථනාව” පිටුපස ඇත්තේ, මාක්ස්-ලෙනින්වාදයේ මෙන්ම සමාජවාදයේ කීර්තිය ගසා කෑමට පවතින අවස්ථාවාදී වුවමනාව මිස, සමාජවාදයේ ඓතිහාසික අවශ්‍යතාව වටහා ගැනීමකින් නිපන් අව්‍යාජ ප්‍රාර්ථනයක් නොවන බව අනාවරනය කිරීමට නාට්‍යකරු අසමත් වෙයි.

ඒ වෙනුවට ප්‍රේක්ෂකයාට හැඟී යන්නේ එය නාගසිංහගේ අව්‍යාජ ප්‍රයත්නයක් සහ ප්‍රාර්ථනයක් ලෙසයි. මේ හේතුවෙන් නාගසිංහ සැබෑ වම නියෝජනය කරතැයි යන හැගීමක් ද ප්‍රේක්ෂකයා තුල ජනනය වීමේ ශක්‍යතාව පවතී.

“කොමියුනිස්ට් ප්‍රකාශනය තුල සියල්ලට පිලිතුරු ඇතැ” යි යනුවෙන් නාගසිංහ කරන පුනරුච්ඡාරනයන් උපහාසයට ලක් කරමින්, ප්‍රානවත් වූ ලිංගය අප්‍රානවත් කර ගැනීම පිලිබඳව එහි ලියා ඇත්දැයි බලන ලෙස තක්ෂිලා කරන ප්‍රකාශයෙන් එම විශිෂ්ට ඓතිහාසික කෘතිය ගර්හාවට ලක් කිරීම පමනක් නොව එය අදට අදාල නොවන බවක් පිලිබඳ නරුම ඉඟියක් ද ඉස්මතු කෙරේ.

කෙසේ නමුත්, අවස්ථාවාදී දේශපාලනය සමග දූෂන වංචා මෙන්ම වනචරකම්ද බැදී ඇති බව නොදන්නෝ කවරහුද? රැකියා ලබාදීමේ පොරොන්දු ආදී නොයෙකුත් වංචාවන් හරහා දේශපාලනඥයන් විසින් ස්ත්‍රීන් ලිංගික අඩන්තේට්ටම් වලට ලක් කෙරෙන බව ඉතා ප්‍රසිද්ධියට පත්වී ඇති කරුනක් නොවේද? මෙම නාට්‍යයට ප්‍රස්තූත වී ඇති ප්‍රානවත් කරගත් ලිංගය නිසා අකරතැබ්බයකට පත්වූ ආන්ඩුවේ ඇමතිවරයෙකු පිලිබඳ පුවතක් මෑතකදී මාධ්‍ය වලින් පවා ප්‍රසිද්ධ කර තිබිනි. මෙවන් දේශපාලන නායකයන්හට මහජනයාගේ ඡන්දය ලැබෙනුයේ සායක්කාර කියන පරිදි ඔවුන්ගේ කෙරුවාව ජනයා නොදන්නා නිසා නොව විකල්ප නායකත්වයක සහ ඉදිරි දර්ශනයක පවත්නා ඌනතාවය නිසාවෙනි.

Share this article: