මර්දනයට එරෙහිව උද්ඝෝෂනයේ යෙදුනු යාපනය විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කම්කරුවෝ දඩයමට ලක් වෙති

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 අප්‍රේල් 25

සේවා ස්ථානයේ සවිකරන ලද ඇඟිලි සලකුනු යන්ත්‍රය විනාශ කිරීමේ චෝදනාව යටතේ, යාපනය විශ්ව විද්‍යාලයේ පරිපාලනය විසින්, කුමාරසාමි නවරාසා සහ ෂන්මුගලිංගම් සසිදරන් යන ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගේ සේවය අප්‍රේල් 2 වැනි දා සිට අත්හිටුවා ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ අනධ්‍යන සේවක සංගමය මාර්තු 27 වැනි දා තමන්ට එල්ල කෙරන මර්දනයන්ට විරුද්ධව සහ තවත් ඉල්ලීම් ගනනාවක් මත උද්ඝෝෂනයක් පැවැත් වී ය. මෙම උද්ඝෝෂන ක්‍රියාවලියට ආරක්ෂක නිලධාරී නවරාසා උද්යෝගී ව සහභාගී වූ නිසා, ඔහු සහ ඔහු ගේ මිත්‍රයා වන සසිදරන් දඩයම් කරනු ලැබ ඇති බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක සංගමය පෙන්වා දෙයි.

පැමිනීම ලකුනු කිරීමට යන්ත්‍රය පමනක් භාවිතා කල යුතු බවට විවිධාකාර තර්ජනයන් කිරීම, අතිකාල වැඩ දීමනාව ලබා දීමට අසාධාරන කොන්දේසි පැනවීම, සමහර අංශ ප්‍රධානීන් සේවකයන් ට අශෝභන ලෙස ආමන්ත්‍රනය කිරීම, සේවකයන්ට විවිධ චෝදනා ඉදිරිපත් කරමින් විභාගයකින් තොර ව ඊපීඑෆ් සහ ප්‍රසාද දීමනා කැපීම හෝ අත්හිටුවීම, උසස්වීම් පමා කිරීම් හෝ අත් හිටුවීම්, අතිකාල දීමනා සහ නිවාඩු ලබා නොදීම සහ දඩ පැනවීම ආදි මර්දනයන් තමාට එරෙහි ව එල්ල වෙන බව අනධ්‍යන කම්කරුවෝ පවසති.

මීට අමතරව, නියමිත වැටුපට වඩා අඩු මුදලක් ලැබෙන සේ වැටුප්පත සකස් කිරීම සහ රක්ෂන ක්‍රමය ක්‍රියාවට නොදැමීම වැනි ප්‍රශ්න වලටද පිලිතුරු ලබා දෙන ලෙස මාර්තු 27 වැනි දා උද්ඝෝෂනයේ දී කම්කරුවෝ ඉල්ලා සිටියහ.

ආරක්ෂක සේවකයන්ට එරෙහි ව විශ්ව විද්‍යාල පරිපාලනය කෝපායි පොලිස් ස්ථානයේ පැමිනිල්ලක් ගොනු කර ඇති අතර එම පැමිනිල්ලට අනුව පොලිසිය දැනට ඔවුන්ට එරෙහි ව මල්ලාහම් උසාවියේ නඩුවක් පවරා ඇත. එම නඩුව අප්‍රේල් 25 වැනි දා විභාගයට ගැනීමට නියමිත ය.

ආරක්ෂක සේවකයන්ට එල්ල කර ඇති චෝදනාව සම්බන්ධ ව කිසිදු සාක්ෂියක් පාලකයන් විසින් ඉදිරිපත් කර නොමැති අතර, චෝදනාවට හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ යන්ත්‍රය ක්‍රියාවිරහිත වූ දිනයේ සේවකයන් දෙදෙනා එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටීමයි.

සේවකයන් දෙදෙනා නැවත සේවයේ පිහිටුවීම සහ යන්ත්‍රය ක්‍රියාවිරහිත වීමට හේතු සොයා බැලීමට පරීක්ෂනයක් ආරම්භ කරන මෙන් සංගමය ඉල්ලා සිටී.

වෘත්තීය සමිතිය විසින් පාලකයන්ට යවා ඇති ලිපියට අනුව, විශ්ව විද්‍යාලය තුල විවිධ තැන්වල සවි කර ඇති වෙනත් යන්ත්‍ර ද ක්‍රියා විරහිත ව පවතී. 2019 මාර්තු 30 වැනි දා, සහකාර ලේඛකාධිකාරීවරයා තම සහායකයන් සමග එතැනට පැමින අදාල යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට උත්සහ කලේ යැයි එම ලිපියේ සඳහන් වේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පොදු පාලක චක්‍රලේඛයකට අනුව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් ද පැමිනීම සටහන් කලයුතු නමුදු අනධ්‍යයන සේවකයන්ට පමනක් එය අනිවාර්ය කර ඇති නිසා සේවකයන් එම යන්ත්‍රයේ අස්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. පරිපාලනය විසින් පැමිනීමේ අත්සන් යොදන පොත් ඉවත් කර ගෙන ඇති නිසා අනධ්‍යයන සේවක සංගමය පැමිනීම සටහන් කිරීමට වෙනත් පොතක් පවත්වාගෙන යයි.

අනධ්‍යයන සේවක සංගමයේ එස්. කලාරාජ් පැවසුවේ ”අපි මේ වැඩ අත්හිටු වීම හෙලා දකිනවා. මේක යන්ත්‍රය පලුදු වීම සම්බන්ධයෙන් නිසියාකාර ව ස්වාධින ව සහතික කර ගැනීමකින් තොර ව සේවකයන්ට හිතාමතා එල්ල කල ප්‍රහාරයක්. ”

“වෙනස් කම් කරමින් පාලකයන් ගෙනයන මර්දනයටයි අපි විරුද්ධ වුනේ. අපි මෙය සලකන්නේ තමන්ගෙ අයිතිවාසිකම් සඳහා පාලකයන්ට විරුද්ධ වන සියලු දෙනා ම රැකියාවෙන් දොට්ට දැමීමට තර්ජනය කරන වැඩපිලිවෙලක් විදියට” යැයි තවත් සේවකයෙකු පැවසී ය.

යාපනය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයන් මත එල්ල කෙරී ඇති ප්‍රහාරය රට පුරා විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයන් මත එල්ල කෙරෙන ප්‍රහාරයේ සහ සමස්ත කම්කරු පන්තිය මත එල්ල කරන ප්‍රහාරයේ කොටසකි. ජාත්‍යන්තර

මූල්‍ය අරමුදලේ අන පරිදි සිරිසේන වික්‍රමසිංහ ආන්ඩුව ගෙන යන කප්පාදු වැඩ පිලිවෙලවලින් අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි ශුභසාධන සේවාවන් සඳහා වියදම කපා හැරෙන අතර වැඩ වේගවත් කිරීම ද සිදු කෙරෙයි.

ඇඟිලි සලකුනු යන්ත්‍ර සවි කිරීම වැඩ වේගවත් කිරීමටත්, කම්කරුවන් විනයගත කිරීමටත් කරන වැඩකි. මෙම පිලිවෙත් ක්‍රියාවට දැමෙන්නේ වෘත්තීය සමිති නිලධරයේ පූර්න සහයෝගය ඇතිව ය.

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක සංගම් සම්මේලනයේ නිලධාරීන් පසුගිය අප්‍රේල් 10 වැනි දා කොලඹ සිට යාපනයට පැමින ආරක්ෂක සේවකයන් නැවත සේවයේ පිහිටුවීම සහ නඩුව ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් පරිපාලනය සමඟ සාකච්ඡා පවත්වා ඇත. විශ්ව විද්‍යාල පරිපාලනය පවසා ඇත්තේ මැයි 2 වැනි දා ඇඟිලි සලකුනු යන්ත්‍රය යලි ක්‍රියාවට දැමීමට ආරම්භ කිරීමෙන් අනතුරු ව සෙසු කාරනා සලකා බැලිය හැකි බවකි. සම්මේලනයේ නිලධාරීන් කලේ එම සිදු වීම කම්කරුවන්ට පැහැදිලි කිරීම පමනි.

මෙම ඇගිලි සලකුනු යන්ත්‍ර ක්‍රමය ක්‍රියාවට දැමීමට කම්කරුවන් විරුද්ධ වූ විට, එම විරුද්ධත්වය වෙනතක යැවීම සඳහා මෙම වෘත්තීය සමිති සම්මේලනය ප්‍රධාන වැඩ කොටසක් ඉටු කර ඇත. 2011 දී මොරටුව විශ්ව විද්‍යාලයේ ඇඟිලි සලකුනු යන්ත්‍ර ස්ථාපනය කිරීමට යාමේ දී එයට එරෙහිව කම්කරුවන් පිකට් විරෝධතාවයකින් නැගී සිටි විට, යන්ත්‍ර ස්ථාපනය කිරීමෙන් අතිකාල ලබා ගැනීම විධිමත් වනු ඇතැයි යන ව්‍යාජ තර්කය ඉදිරිපත් කරමින් වෘත්තීය සමිති එම විරෝධතා කඩාකප්පල් කලහ.

පසුගිය වසරේ සේවක විරෝධය නොතකා ම ඇඟිලි සලකුනු යන්ත්‍ර ක්‍රමය “වඩාත් විමධ්‍යගත කිරීමට”-එනම් යන්ත්‍ර ප්‍රධාන පිවිසුම් දොරටු අසල නොව, ඒ ඒ අංශයේ යන්ත්‍ර ස්ථාපිත කරමින් සේවකයන් වඩාත් දුෂ්කරතාවයන්ට පත් කිරීම සඳහා වෘත්තීය සමිති කටයුතු කලහ.

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් පසු ගිය වසරේ මාස තුනකට ආසන්න කාලයක් ගෙන ගිය වැටුප් අරගලය කිසිදු ජයග්‍රහනයකින් තොර ව වෘත්තීය සමිති විසින් පාවා දෙනු ලැබුනි.

ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව පවත්නා අනෙකුත් සියලු වෘත්තීය සමිති මෙන්ම විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක සමිති ද යෙදී සිටින්නේ ධනපති පාලක පන්තියේ සහ ඔවුනගේ ආන්ඩුවල අවශ්‍යතා වෙනුවෙන් බව වඩවඩාත් විශද වෙමින් පවතී.

කම්කරු පන්තියේ කවර හෝ අරගලයක් ඉදිරියට ගෙන යාමට නම් වෘත්තීය සමිති වලින් බිඳී තමාගේම ස්වාධීන සංවිධාන රූපයන්, එනම් කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගැනීම අත්‍යවශ්‍ය කෙරී පවතී.

Share this article: