ශ්‍රී ලංකාව: කරෙයිනගර්හි ජනයා උග්‍ර වන ජල හිඟයකට මුහුන දෙති

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 අප්‍රේල් 15

රටෙහි පෙර නුවූ විරූ නියඟය මධ්‍යයේ ප්‍රාදේශීය බලධාරීන් හා පුද්ගලික සැපයුම්කරුවන් ජල සැපයුම අධික ලෙස සීමා කිරීම නිසා ඇති වූ ජල හිඟය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර්හි වැසියෝ දරුනු අපහසුතාවයකට මුහුන දෙමින් සිටිති.

ආපදා කලමනාකරන දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් 10දා නිකුත් කල වාර්තාවකට අනුව යාපනය, කිලිනොච්චි, මුලතිවු, මන්නාරම, අනුරාධපුර, පුත්තලම, මොනරාගල, කුරුනෑගල හා කෑගල්ල ඇතුලු දිස්ත්‍රික්ක 18ක පවුල් 143, 578කට අයත් 10, 548, 905ක් ජනයා නියඟයෙන් දැඩි ලෙස පීඩා විඳිති. පානීය ජලය හා කෘෂිකර්මාන්තය ඇතුලු දෛනික අවශ්‍යතා සඳහා ප්‍රමානවත් ජලය මෙම ජනයාට නැත.

අප්‍රේල් 1දා කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් හමු වූ තොප්පකඩු ගම්මානයේ වැසියන් 75ක් පමන බවුසර් මගින් ජලය සැපයීම යලි අරඹන ලෙස ඉල්ලා සිටිය හ. ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල ප්‍රාදේශීය ලේකම්වරයා දිනකට පානය සඳහා ජලය ලීටර් 6ක් පමනක් සැපයිය හැකි බව කියා ඇත. මහජනයා ඔහුට විරෝධය පලකල විට ඔවුන්ට ඉවත් ව යන ලෙස කී ඔහු දිගට ම රැඳී සිටිය හොත් පොලීසිය කැඳවන බවට තර්ජනය කලේ ය.

කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් හමු වූ තොප්පකඩු ගම්මානයේ වැසියන්

කරෙයිනගර් යනු යාපනයේ සිට කිලෝමීටර 20ක් දුරින් පිහිටි දිවයිනකි. පසුගිය වසර කිහිපය තිස්සේ වලිකාමම් නිරිතදිග ප්‍රාදේශීය සභාව විසින් පාලනය කරන පෙරියවිලාන් ගම්මානයේ පිහිටි ලිං දෙකකින් කරෙයිනගර් වෙත ජලය සපයා ඇත්තේ ප්‍රාදේශීය පරිපාලනය සහ ‘එව්රි ඬේ’ හා ලන්ඩන් කරෙයි සංවර්ධන සමාජය ඇතුලු පුද්ගලික සැපයුම්කරුවන් විසිනි.

පිරිසිදු නො කල ලිං ජලය ලීටරයක මිල සත 60 සිට සත 80 දක්වා ඉහල දමා ඇති අතර එක් පවුලකට සතියකට මිල දී ගත හැක්කේ ලීටර් 200-300 අතර ප්‍රමානයක් පමනි. බොහෝ ජනයාට මෙම ජලය ප්‍රමානය වත් ලැබෙන්නේ නැත. ඔවුන්ට ජලය අනෙකුත් දෛනික අවශ්‍යතා සඳහා ජලය සැපයෙන්නේ නැත.

විවිධ වාරිමාර්ග ව්‍යාපෘති ඇතුලු පොරොන්දු වූ ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු අසමත් ව ඇත.

“වානිජ පදනම මත ජලය බෙදාහැරීමෙන් අපේ ජල සම්පත් විනාශ කිරීම වලක්වමින් සිටින” බව පවසමින් ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ සභාපති ජෙබනේසන් අන්තෝනිපිල්ලේ ජලය කප්පාදු කිරීම සාධාරනීකරනය කර ඇත.

එහෙත්, ප්‍රදේශයේ ලිංවලින් ජලය සැපයීම නිසා ජල හිඟය ඇති වී ඇතැයි සනාථ කිරීමට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් සම්පාදනය කර නැත. තොප්පාකඩු ගම්වාසීන් වැනි දුගීන්ට ජලය සම්පාදනය කිරීමට ප්‍රදේශයේ වැසියෝ විරුද්ධ නො වෙති.

කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ), ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී), දෙමල ජාතික මහජන පෙරමුනේ (ටීඑන්පීඑෆ්) හා කුලය මත පදනම් වූ ප්‍රජා සංවර්ධන සංගමයේ නියෝජිතයන් සිටිය ද සියලු දෙනා ජල හිඟය නො තකා හැර ඇතැයි මහජනයා චෝදනා කරති. ඒ වෙනුවට ඔවුන් කරන්නේ මහජනයා එකිනෙකා සමග කෙටවීමට විරෝධතා සංවිධානය කිරීම යි.

එව්රි ඬේ ජල සැපයුම්කරුට අයත් ඉඩමට ඇතුලුවීම මාර්ගබාධක යොදා වැලැක්වූ ටීඑන්ඒ නියෝජිතයන් ජල සැපයුම අත්හිටුවන ලෙස ඉල්ලමින් විරෝධතාවක් පැවැත්වූ බව ගම්වැසියෝ කී හ. ඒ අතර ම, පුද්ගලික සමාගමට එරෙහි ක්‍රියාව සාධාරනීකරනය කිරීමට උත්සාහ දරමින් වලිකාමම් නිරිතදිග හා කරෙයිනගර් ප්‍රාදේශීය සභා, අසල තිබෙන ලිඳෙන් ජලය සැපයීම නතර කරන ලෙස ඉල්ලා ප්‍රදේශයේ ගොවි සභාවට ඒකාබද්ධ ලිපියක් යැවූ බව ගම්වැසියෝ කියති.

පාපැදියෙන් වතුර ගෙනියන කරෙයිනගර් කාන්තාවෝ

ජල හිඟයෙන් පීඩා විඳින ගම්වැසියන් එවැනි ප්‍රකෝපකාරී විරෝධතාවල හා මෙම ධනේශ්වර දේශපාලනඥයින් විසින් පොලඹවන ක්‍රියාවන්වල ගොදුරු බවට පත් නො විය යුතු ය.

කලාපයේ භූගත ජලය තුල බීමට නුසුදුසු මට්ටමේ ලුනු හා කැල්සියම් වල ඉහල සංයුතියක් ඇත. නියඟය හේතුවෙන් එම ලිං පවා සිඳී ඇති අතර, භූගත ජලය කර්මාන්තශාලා තෙල්, අපවහන ජලය හා කෘෂිකාර්මික රසායන ද්‍රව්‍යයන්වලින් දූෂිත වී තිබේ.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව දශක තුනක් ඇදී ගිය යුද්ධයේ දී උතුරු හා නැගෙනහිර පලාත්වල ජනයා, දසදහස් ගනනින් ඝාතනය කිරීම, අතුරුදන් කිරීම, අවතැන් වීම හා ඔවුන්ගේ නිවාස හා සීමිත සමාජ යටිතල පහසුකම් විනාශ කිරීම ආදී මිලිටරියේ ලේවැකි ප්‍රහාරයන්ට මුහුන දුන් හ.

ඊපීඩීපීයේ සහයෝගය ද සහිත ව එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් 1991 දී ක්‍රියාවට දැමූ යෝධ මිලිටරි මෙහෙයුමෙන් අනතුරු ව කරෙයිනගර්හි ජනගහනයෙන් සියයට 95ක් පමන වෙනත් ප්‍රදේශවලට පලා ගිය හ. 1990 සංඛ්‍යාලේඛනවලට අනුව දිවයින තුල 45,000ක් පමන ජනයා ජීවත්වූ හ. යුද්ධයෙන් පසු යලි පදිංචි කර ඇත්තේ 15,000කට ආසන්න සංඛ්‍යාවක් පමනි.

යුද්ධය අවසන් වී වසර 10ක් ගෙවී ඇතත් උතුරේ හා නැගෙනහිරේ ජනයා ජලය, සෞඛ්‍යය හා අධ්‍යාපනය වැනි මූලික පහසුකම් හිඟයට හා අඛන්ඩ මිලිටරි ආධිපත්‍යයට මුහුන දෙමින් සිටිති.

යුද්ධයෙන් ඉරිතැලී ගිය ප්‍රදේශය යලි ගොඩනැගීමට පොරොන්දු පාලක සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව හා කලින් පැවති රාජපක්ෂ ආන්ඩුව, මහජනයාගේ මූලික අවශ්‍යතා සම්පූර්න කලේ නැත.

කොලඹ ආන්ඩුව හා අධිරාජ්‍යවාදී බලයන් සමග සමීප සම්බන්ධතා පවත්වන ටීඑන්ඒ, ඊපීඩීපී හා ටීඑන්පීඑෆ් ඇතුලු සියලු දෙමල ධනපති පක්ෂ, කොලඹ ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දු ඔජ වඩවමින් වැඩෙන මහජන අතෘප්තිය මර්දනය කිරීමට උත්සාහ දරමින් සිටිති.

මානව අවශ්‍යතා සඳහා යොදාගත හැකි ජලය සම්පාදනය කිරීමට නවීන තාක්ෂනයන් වර්ධනය කොට තිබුනත් හා අවස්ථා පැවතුනත්, වාර්ගික පදනමක ක්‍රියාත්මක වන හා අරමුදල් කපන අනුප්‍රාප්තික ආන්ඩු ඒ සඳහා පියවර ගෙන නැත.

කයිට්ස් දූපතේ ක්‍රිස්තියානි පල්ලි පරිපාලනයක් තමන්ගේ ම වියදමින් පිරිසිදුකාරක යන්ත්‍රයක් ස්ථාපනය කොට ආධාර මුදල් සඳහා ජලය සම්පාදනය කරයි. ඩෙල්ෆ්ට් දූපතේ ද, කරෙයිනගර්හි වාඩිලාගෙන සිටින නාවික හමුදාව ද එම ක්‍රමය ම භාවිතා කරයි. බොහෝ ප්‍රදේශවල ජනයා ජල සැපයුම සුරක්ෂිත කරගැනීමට එවැනි සීමිත පියවරවල් සමගින් අරගලයේ යෙදෙති.

“ප්‍රාදේශීය සභාවට වෙන් කරන අරමුදල් ජනයාගේ අවශ්‍යතා සම්පූර්න කිරීමට ප්‍රමානවත් නැති” බව අන්තෝනිපිල්ලේ පිලිගත්තේ ය. “පිරිපහදු කල ජලය සැපයීමට අමාත්‍යාංශවලට විශාල අරමුදල් ඇතත්, මහජනයාගේ අවශ්‍යතා සඳහා යොදා ගැනීමට අපට ඒවා සපයන්නේ නැත” යි ඔහු තවදුරටත් කීවේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යටතේ අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි සමාජ වියදම් කප්පාදු කරන ආන්ඩුව, මහජනයාට මූලික සමාජ අයිතිවාසිකම් සම්පාදනය කිරීම ප්‍රතික්ෂේප කරයි.

තොප්පාකඩු ගම්මානයේ වයි. ඉලන්තිරියන් මෙසේ කීවේ ය: “මෙහෙ සම්පත් බහුලයි. ඒව පාවිච්චි කරන්න ආන්ඩුව සූදානම් නැහැ. කලින් අපට ජලය සපයන්න පාවිච්චි කරපු ජල මූලාශ්‍ර දැන් පාවිච්චි කරන්නේ නාවික හමුදාව. බලධාරීන්ට පිරිපහදු යන්ත්‍රයක් සවි කරල පිරිසිදු ජලය දෙන්න පුලුවන්. ඒත් ඒගොල්ලො ඒක ගනන් ගන්නෙ නැහැ.”

නෙයිදාල් ගම්මානයේ කේ. නලීනාකාන්ති: “අපිට වතුර හම්බ වෙන්නේ අඩුවෙන්. දැන් අපිට ලැබෙන්නෙ ලීටර 200ක් විතරයි. සමහර වෙලාවට අපේ ගමට එන බවුසරය ගෙවල් කිහිපයකට වතුර දීල වතුර ඉවරයි කියල කියනවා. බොහෝ පවුල් වතුරවලට පොරකනව. අපිට ලුනු වතුර නාන්න සිද්ද වෙලා.”

“අපේ මිනිස්සු කයිට්ස්වලට බෝට්ටුවෙන් ගිහිල්ල පිරිසිදු කරපු වතුර අරන් එනව. ඒත් ඒක හැම වෙලාවෙ ම නැහැ. බලා ඉන්න සිද්ද වෙනවා. අපිට හම්බ වෙන්නේ ලීටර් 10ක් විතර” යි එන්. වෛද්‍යලිංගම් කීවේ ය.

බවුසරය මගින් වතුර ලබාගන්නා ගම්වැසියෝ

පෙරියවිලාන්හි කේ. රන්ජිනී මෙසේ කීවා ය: “මේක සමාජ ගැටලුවක්. යාපනයට බොන වතුර පිටින් ගේන්න ඕන. මේ පලාතෙ භූගත ජලය දූෂිත වෙලා. ලිංවල වතුර වෙනස් වෙලා. ජල ප්‍රශ්නය විසඳීමේ වගකීම ආන්ඩුව ගන්න ඕන. මේ ආන්ඩුව ඒක කරන්නෙ නැහැ. යුද්ධයට ගොදුරු වුන අයගෙ ජීවිත යලි ගොඩනගන වගකීම එය ඉෂ්ට කරන්නෙ නැහැ.”

Share this article: