ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය කොලඹදී සිය මැයි දින රැලිය පවත්වනු ලබයි

ජාත්‍යන්තර පන්ති අරගලයේ හා සමාජවාදය සඳහා අරගලයේ නව රැල්ල

Socialist Equality Party in Sri Lanka to hold May Day meeting in Colombo

2019 අප්‍රේල් 26

සමාජවාදී සමානතතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය එක්ව, මැයි 1දා සවස 3.00ට, ජාත්‍යන්තර කම්කරු දිනය සමරනුවස් කොලඹ නව නගර ශාලාවේදී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ලබයි.

සසප රැස්වීම සංවිධානය කරනු ලබන්නේ, සියලු මැයිදින උත්සව තහනම් කිරීම පිනිස පසුගිය 21දා සිදුවූ ත්‍රස්තවාදී බොම්බ ප්‍රහාර කඩතුරාව ලෙස යොදාගැනීමට සිරිසේන වික්‍රමසිංහ ආන්ඩුව දරන උත්සාහයන්ට අභියෝග කරමිනි. ආන්ඩුව මැයි දිනය තහනම් කලහොත් සසප හා සසජාතශි, කම්කරු පන්තියේ මෙම දිගු කාලීන සම්ප්‍රධාය ආරක්ෂා කිරීම පිනිස කම්කරුවන් බලමුලු ගැන්වීමට සටන් වදිනු ඇත.

අපගේ රැස්වීමෙහි ප්‍රමුඛ තේමාව වනු ඇත්තේ, ජාත්‍යන්තර පන්ති අරගලයන්ගේ හා සමාජවාදය සඳහා සටනේ නැඟී එන රැල්ලයි. කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, කොලඹදී පැවැත්වෙන මැයි දින රැලියට සහභාගී වන ලෙසත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මැයි 4දා පවත්වනු ලබන ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලිය සඳහා ලියාපදිංචිවී සහභාගී වන ලෙසත්ය.

ත්‍රස්තවාදී ප්‍රහාර ගසාකමින් ආන්ඩුව, කුරිරු හදිසි නීතිය පනවමින් සමාජ මාධ්‍ය වාරනය කරමින් ද ජනතාව අත්අඬංඟුවට ගනිමින් රඳවා තැබීම පිනිස පොලිසියට හා හමුදාවට පුලුල් බලතල ද පවරාදී ඇත. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්හි අරමුන, ත්‍රස්තවාදී ප්‍රහාර නතර කිරීම නොව, ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහිව කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ නැගෙන අරගල පොඩිපට්ටම් කර දැමීමයි.

2008 ගෝලීය මූල්‍ය අර්බුදය වනාහි, ධනපති ලාභ පද්ධතියේ ක්‍රමානුකූලව සිදුවෙමින් ඇති කඩාවැටීමමය. රටක් රටක් පාසා පාලක පන්තිය ඊට ප්‍රතිචාර දක්වන්නේ, අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීම අරමුනු කරගත් රුදුරු කප්පාදු වැඩසටහන් ක්‍රියාවට නැඟීමෙනි.

සිය මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට ද ජීවන තත්වයන්ට ද එරෙහිව එල්ල කෙරෙන නිමක් නැති ප්‍රහාර පරාජය කිරීමේ අරමුනෙන් ලොව පුරා කම්කරුවන්, වඩාත් පැතිරෙන වැඩවර්ජන හා විරෝධතා මාලාවකින් ඊට පිලිතුරු දෙයි. පසුගිය මාස හය තුල මෙක්සිකෝවේ මැටමොරොස්හි කම්කරුවන් 70.000ට වැඩි පිරිසකගේ වැඩවර්ජන ද ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත කම්කරු වර්ජන ද ඇමරිකාවේ දස දහස් ගනන් ගුරුවරුන්ගේ ද ශ්‍රී ලංකාවේ මෑතකදී ලක්ෂයක් වතු කම්කරුවන්ගේ අරගලය ද දැන් පෝලන්තයේ පැවැත්වෙන තුන් ලක්ෂයක් ගුරුවරුන්ගේ සටන ද ප්‍රන්සයේ “කහ බැනියම්” විරෝධතාවන් ද ඉන් සමහරකි.

මෙම ජාත්‍යන්තර නැඟිටීම් හමුවේ පාලක පන්තිය, වඩාත් වේගයෙන් මර්දනය ද ආඥාදායක පාලන ආකෘතීන් ද යොදාගනිමින් ප්‍රතිචාර දක්වයි. “ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කිරීම හා මත් ද්‍රව්‍ය මැඬලීමේ යුද්ධය” යන ව්‍යාජ කඩතුරාව යටතේ මෙරට ආන්ඩුව එම න්‍යාය පත්‍රයම ක්‍රියාත්මක කරයි.

ඇමරිකාවේ මූලිකත්වයෙන් අධිරාජ්‍යවාදී බලවත්තු, මානව වර්ගයා ව්‍යසනකාරී තුන්වන ලෝක යුද්ධය කරා ඇදගෙන යාමට සූදානම් වෙමින්, සමාජවාදී, වාමාංශික හා යුද විරෝධී ප්‍රකාශන වලට ද නිදහස් භාෂනයට ද විරුද්ධව පහර දෙන අතර, ඩොලර් බිලියන සිය ගනනින් මිලිටරි සූදානම සඳහා වැය කරති. දිරිමත් ලෙස ඇමරිකාවේ යුද අපරාධ හෙලිදරව් කල චෙල්සී මෑනිංට හා විකිලීක්ස් ප්‍රකාශක මාධ්‍යවේදී ජුලියන් අසාන්ජ්ට නීති විරෝධීව දඬුවම් පැමිනවීම පිටුපස ඇත්තේ මෙම කාරනාය.

දියුනු වේවා අඩු දියුනු වේවා රටවල කම්කරු පන්තිය ඉදිරියේ ඇති හදිසි කර්තව්‍යය, අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් කර, ධනවාදය පෙරලා දමා, සමාජ අසමානතාව හා ආඥාදායකත්වයට පිලිතුර ලෙස සමාජවාදය ක්‍රියාවට නඟන කම්කරු ආන්ඩු බලයට පත්කිරීමය.

අපි කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් හා ලෝසවෙඅ පරිශීලනය කරන අයගෙන් ඉල්ලා සිටින්නේ, මෙම ඉදිරිදර්ශනය සාකච්ඡා කරන කොලඹ මැයි දින රැස්වීමට සහභාගී වන ලෙසයි.

දිනය හා වේලාව: මැයි 1වන බදාදා සවස 3.00

ස්ථානය: කොලඹ ග්‍රීන්පාත්හි නව නගර ශාලාව

Share this article: