සමාජවාදය ඇමරිකානු පාලක පන්තිය බිය වද්දයි

Socialism haunts the American ruling class

2019 අප්‍රේල් 08

තම සමූහ රාජ්‍ය තත්වය පිලිබඳ වාර්ෂික නිල දේශනයේ දී “ඇමරිකාව කිසිදා සමාජවාදී රටක් නො වනු ඇත”යි ඩොනල්ඞ් ට්‍රම්ප් දිව්රා ප්‍රකාශ කිරීමෙන් පසු මාස දෙකේ දී, දක්ෂිනාංශික ගෝසාබද්ද ජනාධිපති හා රිපබ්ලිකානු පක්ෂය 2020 මැතිවරනයේ තම නිශ්චිත තේමාව ලෙස සමාජවාද විරෝධය වැලඳගෙන ඇත.

පසු ගිය සතියේ ජාතික රිපබ්ලිකානු කොංග්‍රස් මන්ඩල කමිටුවේ රාත්‍රී භෝජන සංග්‍රහයේ දී කතා කරමින්, ට්‍රම්ප් ප්‍රකාශ කලේ එක්සත් ජනපදය “සමාජවාදී පවරා ගැනීමකට” එරෙහිව සටන් කිරීමට තමන් 2020 මැතිවරනයට තරඟ කරන බව යි. “මැතිවරන උද්ඝෝෂන සටන්පාඨයක් ලෙස, ‘ඇමරිකාව බලවත්ව තබනු’ යන අදහසට මම කැමතියි. මන් ද සමාජවාදීන් රට විනාස කරනු ඇති නිසා” යැයි ට්‍රම්ප් පැවසී ය.

ට්‍රම්ප්ගේ කයිවාරු වඩ වඩා වැලඳ ගනිමින් සිටින්නේ සමස්තයක් වසයෙන් රිපබ්ලිකානු පක්ෂය විසිනි. පසු ගිය සතියේ යූටා ප්‍රාන්තයේ කොංග්‍රස් සභික ක්‍රිස් ස්ටුවර්ට් නියෝජිත මන්ත්‍රී මන්ඩලය තුල “සමාජවාද විරෝධී බල මන්ඩලයක්” පිහිටුවීම නිවේදනය කලේ ය. මෙම “සමාජවාද විරෝධී ව්‍යාපාරය, සමාජවාදී ප්‍රතිපත්ති හා නීති සම්පාදනයේ උන්නතිය” නතර කිරීමේ පවුරක් ලෙස සේවය කරනු ඇත යි ස්ටුවර්ට් පැවසී ය.

“එම බියකරු කාලය මතක් කර ගැනීමට අපට බැරි නම්, සමාජවාදයේ ආදිකල්පික ඉල්ලීම පෙරට පැමින අපගේ ආයතනවලට ලෙඩ රෝග පතුරුවනු ඇත”යි ඔහු තව දුරටත් පැවසී ය. සමාජවාදයට “නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ පාලනය විනාස කිරීමට” අවශ්‍ය යැයි කොංග්‍රස් සභිකයා ප්‍රකාශ කලේ ය.

රිපබ්ලිකානු න්‍යායවාදී ප්‍රකාශක පැට් බුකනන් ඊටත් එහා ගියේ, 2020 මැතිවරනය ට්‍රම්ප් හා සමාජවාදය අතර තේරීමක් වනු ඇති බව පවසමිනි, මෙහි දී “සමාජවාදීන් ඇමරිකාවට ඒමට එරෙහි අවසාන ආරක්ෂක වැට ට්‍රම්ප් වනු ඇති.” ට්‍රම්ප් හා රිපබ්ලිකානුවන් එය විශේෂයෙන් ම අශිෂ්ට රූපාකාරයකින් ප්‍රකාශ කරන අතර, ඇමරිකානු පාලක ප්‍රභූවේ පක්ෂ දෙක ම සමාජවාදය පිලිබඳ තම වෛරය හා භීතියේ දී එක්සත් ය. බරක් ඔබාමාගේ ප්‍රියතම බැංකුකරුවා ලෙස ප්‍රසිද්ධ හා ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන ආධාරකරුවා වී සිටින, ජේපී මෝර්ගන් හා චේස් ප්‍රධාන විධායක නිලධාරී ජැමී ඩිමොන්, කොටස්කරුවන්ට යැවෙන තම වාර්ෂික වාර්තාව කේන්ද්‍රගත කලේ සමාජවාදය හෙලා දැකීම මත ය.

ඩිමොන්ගේ බැංකුව ආන්ඩුවේ ඇප දීම්වල දී ඩොලර් බිලියන ගනන් ද එමෙන් ම ඔබාමාගේ ආන්ඩුවේ අන්ත-පහල පොලී අනුපාත හා “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” මුදල් අච්චු ගැසීමේ ප්‍රතිපත්තිවලින් තවත් බිලියන බොහෝ ගනනක් ද උපයා ගත්තේ ය. “සමාජවාදය අනිවාර්යයෙන් ම පල්වීම, දූෂනය හා ඒකාධිපතිවාදී ආන්ඩු ඇති කරන” බවත්, එමෙන් ම “අපගේ රටට විනාසයක්” වනු ඇති බවත් ඔහු තම කොටස් කරුවන්ට පැවසී ය.

මෙම ප්‍රකාශන කියා සිටින්නේ ජාත්‍යන්තර ව වැඩවර්ජන රැල්ලක් පොලඹවමින් තිබෙන, කම්කරු පන්තිය තුල සමාජ අසමානතාවට වන දේශාපාලනික විරුද්ධත්වයේ වර්ධනය සම්බන්ධයෙන් පාලක පන්තිය විනිවද යන භීතිය යි. පසු ගිය වසරේ එක්සත් ජනපද කම්කරුවන් ලක්ෂ පහකට වඩා වැඩවර්ජනය කල හ, එය 2017ට වඩා විසි ගුනයක ඉහල යාමකි.

පසු ගිය සතියේ, බ්‍රිජ්වෝටර් ඇසෝසියේට් නම් හෙජ් අරමුදලේ (hedge fund) හිටපු ප්‍රධාන විධායක නිලධාරී රේ ඩැලියෝ එක්සත් ජනපදය සමාජවාදී විප්ලවයේ අද්දර විය හැකි යැයි අනතුරු අඟවමින් ලිපියක් පල කලේ ය. ඔහු මෙසේ ලියයි: “ධනයේ අසමානතාව, විශේෂයෙන් ම වටිනාකම් තුල අසමානකම සමඟ අනුබද්ධවූ විට, වඩ වඩා ගැටුම්වලට ගමන් කරන අතර, එමෙන් ම ආන්ඩුව තුල, එය ම ප්‍රකාශ වන්නේ වමේ ජනතාවාදී රූපාකාරය හා දකුනේ ජනතාවාදී රූපාකාරය තුල මෙන් ම හැම විටම විප්ලව තුල යි.”

ඔහු මෙසේ ද පැවසී ය: “අප දැන් සිටින්නේ සන්ධිස්ථානයක වන අතර එය තුල” සමාජ අසමානතාවේ වර්ධනය, ආපසු හැර වූයේ නැත්නම්, “විශාල ගැටුම් හා විප්ලවයේ ඇතැම් රූපාකාරන්ට” මග පාදනු ඇත.

පුද්ගලික ඔත්තු සේවාවක් වන ස්ට්‍රැට්ෆෝර්, අනතුරු ඇඟවූයේ 2020 මැතිවරනය ඉහල යන සමාජ අසමානතාව සමඟ එක්සත් ජනපදයේ ගෝලීය ආධිපත්‍යයේ අර්බුදයක් අන්තර්ඡේදනය වීමෙන් සලකුනු කෙරෙන, “ගෝලීය වර්තන ලක්ෂ්‍යයක්” නියෝජනය කරන බව යි. “‘සමාජවාදී’ ලේබලය වමට හා දකුනට වැනෙමින් තිබෙන්නේ, එක්සත් ජනපද ධනවාදයේ පැවත්මම හා එහි සදාචාරාත්මක යුක්තියුක්ත භාවය ප්‍රශ්න කිරීමේ ආකාරයක් ලෙස යැ”යි ඔහු සඳහන් කලේ ය.

පාලක පන්තිය බිය ගන්වන්නේ ඇලෙක්සැන්ඩි්‍රයා ඔකෑසියෝ කෝර්ටෙස් වැනි ඩිමොක්‍රටික් පක්ෂයේ වාම කයිවාරු ගසන පුද්ගලයන් විසින් නො ව, ඊට වෙනස් ව දැවන්ත කම්කරු පන්තික අරගල සඳහා වන වෛෂයික ආවේශය හා ධනවාදය සඳහා වන විරුද්ධත්වය යි. තවමත් එහි ආරම්භක අවධියේ පමනක් වුවත්, පන්ති අරගලයේ වර්ධනය අනිවාර්යයෙන් ම නිශ්චිත ධනේශ්වර විරෝධී වර්ධනයක් හා සමාජවාදී මනෝගතියක් ඇති කරනු ඇත.

තමන්ට පිලිතුරු නැති, ජාත්‍යන්තර ආර්ථික, සමාජ හා දේශපාලනික අර්බුදයකට මුහුන දෙමින් සිටින ලෝකය වටා පාලක ප්‍රභූව අන්ත දක්ෂිනාංශික ව්‍යාපාර ප්‍රචාරනය කරමින් සිටිති. ට්‍රම්ප් මෙන් ම, මෙම සියළු ව්‍යාපාර ප්‍රමුඛත්වයට එසවුනේ විදේශික භීතිකාව හා ජාතිකවාදය තොරොම්බල් කරමින් වන නමුත්, ඔවුන් වඩ වඩා තම සාරභූත සමාජ ලක්ෂනය ප්‍රකාශ කරන්නේ, සියලු ෆැසිස්ට්වාදී සංවිධාන සමග එක පෙලට, සමාජවාදය පිලිබඳ තම අන්ත වෛරයේ දී ය.

ප්‍රන්සයේ දී, ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අන්ත දක්ෂිනාංශික ජාතික රැලිය පක්ෂයට සහය ප්‍රකාශ කල අතර, යුද කාලීන නාසින්ට සහාය දැක් වූ ඒකාධිපති මාර්ෂල් පිලිපේ පෙටේන්ට ප්‍රශංසා කලේ ය. බ්‍රිතාන්‍යයේ දී, බ්‍රෙක්සිට් යොදා ගනිමින් තිබෙන්නේ, කම්කරු පක්ෂ මන්ත්‍රීවරයෙකු වූ ජෝ කොක්ස් ඝාතනය කල, තවත් කම්කරු පක්ෂ මන්ත්‍රීවරයෙකු ඝාතනයට කුමන්ත්‍රනය කල, කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින්ට ප්‍රචන්ඩ ලෙස පහර දුන්, හා යලි යලිත් කාල් මාක්ස්ගේ සොහොන කෙලසූ දක්ෂිනාංශික අන්තවාදීන් බලමුලු ගැන්වීමට යි.

එහෙත් මෙම ක්‍රියාදාමය වඩාත් ම බියකරු රූපාකාරයක් අත් කර ගෙන ඇත්තේ ජර්මනිය තුල යි. එහි පාලක පන්තිය විසින් ලෝකයාට ඇඩොල්ප් හිට්ලර් ලබා දුන් අතර එහි මාධ්‍ය විසින් දේශපාලන සංස්ථාපිතය හා ශාස්ත්‍රාලිකයන්ගේ විශාල කන්ඩායම් විසින් අන්ත දක්ෂිනාංශය තුල ප්‍රමුඛ පුද්ගලයන් ක්‍රමානුකූලව ප්‍රචාරනය කර ආරක්ෂා කරනු ලැබ ඇත. සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ, “හිට්ලර් කෲර නො වී යැයි ප්‍රකාශ කල,” හුම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝර්ජ් බාබරොව්ස්කිගේ දක්ෂිනාංශික අන්තවාදී දෘෂ්ටීන් අවධානයට ලක් කල විට, සසජාතශිට පහර දුන්නේ මාධ්‍ය විසින් පමනක් නො ව, අන්ත දක්ෂිනාංශියේ වීරයා අචලව ආරක්ෂා කල, විශ්වවිද්‍යාල පරිපාලනය විසිනි.

මෙම වසර මුල දී සමාජවාදී සමානතා පක්ෂය සඳහන් කල පරිදි:

ෆැසිස්ට්වාදය තවමත් එය 1930 ගනන්වල දී පැවතියාක් මෙන් මහජන ව්‍යාපාරයක් නොවේ. එහෙත් වර්ධනය වන අනතුර නො සලකාහැරීම දේශපාලනිකව වගකීම් විරහිත විය හැකිය. පාලක පන්තියේ කොටස් සහ රාජ්‍යයේ උදව් ඇතිව දක්ෂිනාංශික ව්‍යාපාරවලට ජනප්‍රියවාදී ලෙස ජනගහනයේ පුලුල් කොටසකගේ කලකිරීම සහ කෝපය ගසාකෑමට හැකිවී තිබේ. මෙම තත්වය යටතේ දක්ෂිනාංශයේ සහ ෆැසිස්ට්වාදී ව්‍යාපාරයන්ගේ පුනර්ජීවනයට එරෙහිව සටන හදිසි දේශපාලන කර්තව්‍යයක් වනු ඇත.

කම්කරු පන්තිය තුල සමාජවාදී විරුද්ධත්වය වර්ධනය වීමට එරෙහිව ෆැසිස්ට්වාදී ව්‍යාපාරය ප්‍රචාරය කිරීමේ ඇමරිකානු පාලක ප්‍රභූවේ උත්සාහයන් අවධාරනය කරන්නේ, “ෆැසිස්ට්වාදයේ තර්ජනය හා එයට එරෙහිව සටන් කරන්නේ කෙසේ ද” යන නාමය යටතේ, මෙම සතියේ ඇරඹෙන එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂය හා සසජාතශි විසින් එක්සත් ජනපදය පුරා පවත් වමින් සිටින රැස්වීම්වල තීරනාත්මක වැදගත්කම යි.

රැස්වීම අමතනු ලබන්නේ ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ නියෝජ්‍ය ලේකම් මෙන් ම ඔවුන් ආපසු පැමිනෙන්නේ මන්ද? ඓතිහාසික මුසාකරනය, දේශපාලන කුමන්ත්‍රන හා ජර්මනිය තුල ෆැසිස්ට්වාදයේ පුනරාගමනය නමින් මෑත දී නිකුත් කෙරුනු ග්‍රන්ථයේ කතුවරයා ද වන ක්‍රිස්ටෝපර් වෑන්ඩ්‍රීයර් විසිනි. ජර්මනිය තුල 1930ස් ගනන්වල ෆැසිස්ට්වාදයට එරෙහි අරගලයේ පාඩම් ඔහු අද ඇමරිකානු ප්‍රේක්ෂකයන් හමුවට පමුනුවන්නේ ය. බොහෝ රැස්වීම් ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති මෙන් ම එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ඬේවිඞ් නෝර්ත් විසින් අමතනු ඇත.

අප අපගේ සියලු පාඨකයින්ගෙන් ඉල්ලා සිටින්නේ වෑන්ඩ්‍රීයර්ගේ දේශනවලට සහභාගී වී ෆැසිස්ට්වාදී තර්ජනයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ මූලෝපය පිලිබඳ සාකච්ඡාවට සහභාගී වන ලෙස යි. ෆැසිස්ට් අනතුරට එරෙහිව කම්කරුවන් හා තරුනයන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ දී මෙම රැස්වීම්වල වැදගත්කම පැහැදිලි කරමින් ඬේවිඞ් නෝර්ත් ජර්මානු ප්‍රේක්ෂකයින්ට මෙසේ පවැසී ය: “ආසන්න වශයෙන් එක රැයකින්, තමන් මුහුන දෙන තර්ජනය ගැන මිනිසුන් දැනුවත් වන පරිමානයට, අපි සමාජ හා දේශාපන විරුද්ධත්වයේ අතිමහත් වර්ධනයක් අපේක්ෂා කරමු. නමුත් එය ඉල්ලා සිටිනු ඇත්තේ බොහෝ ඉහල ඓතිහාසික හා දේශපාලනික දැනුවත් භාවයකි.”

ආන්ද්‍රේ ඩෙමොන්

Share this article: