ජූලියන් අසාන්ජ් අත්‍යසාමාන්‍ය ලෙස බලහත්කාරයෙන් බාර කිරීම නතර කරනු!

Stop the extraordinary rendition of Julian Assange!

2019 අප්‍රේල් 15

බ්‍රිතාන්‍ය, ඉක්වදෝරියානු හා එක්සත් ජනපද ආන්ඩු විසින් මාධ්‍යවේදී හා විකීලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට පිට කර යැවීමට ගනු ලබන උත්සාහය ප්‍රජාතන්ත්‍රවාද විරෝධී කුමන්ත්‍රනයක් මෙන් ම ජාත්‍යන්තර නීතිය සැහසි ලෙස උල්ලංඝනය කිරීමකි. එක්සත් ජනපද ආන්ඩුව අසාන්ජ්ට එරෙහි ක්‍රියාදාමය උදර්පනයක් (extradition) (නෛතික කටයුතු සඳහා වෙනත් රටකට ගෙයාම) ලෙස ඉදිරිපත් කර ඇතත්, එමගින් උදර්පනය හා ”අත්‍යසාමාන්‍ය ලෙස බලහත්කාරයෙන් බාර කිරීම” (extraordinary rendition) ලෙස හඳුන්වන, අත්තනෝමතික රඳවා ගැනීම, වධහිංසා හා ලුහු දන්ඩනය සඳහා, පවතින නීතියට බැහැරින් විදෙස් රටකට පැහැර ගෙන යාම, අතර වෙනස සැබෑ ලෙසම මකා දැමෙමින් තිබේ.

එක්සත් ජනපද ආන්ඩුව, තම “ත්‍රස්තවාදය මත යුද්ධය” අතරතුර එය “අත්‍යසාමාන්‍ය ලෙස බලහත්කාරයෙන් බාර කිරීමට” යටත් කර තිබූ අයට එරෙහිව යොදා ගත් ක්‍රමවේදයන් ම අසාන්ජ්ට එරෙහිව යොදා ගනිමින් සිටී. 2001 සිට, සිය ගනනක් පුද්ගලයන් පැහර ගෙන, ඔවුන් කුදලා, ලෝකය හරහා රහස්‍ය සීඅයිඒ “කලු තිප්පලවල්” නමැති සිරගෙවල් වලට ගුවනින් ගෙන ගොස් දරුනු ප්‍රශ්න කිරීම්වලට හා වධහිංසාවලට යටත් කර ඇත. ආන්ඩුව අසාන්ජ් අල්ලා ගත් වහාම, ඔහු නැවත දක්නට ලැබේ දැ යි යන්නද සැක සහිත ය.

අනාබාධිත ලෙස කෙරීගෙන යන මාධ්‍ය හෙලා දැකීමේ ක්‍රියාවලියක් සමග මෙම ක්‍රියාදාමය අනුබද්ධවී ඇත. එහි අරමුන වන්නේ අසාන්ජ් යක්ෂයෙකු බවට පරිවර්තනය කිරීම යි; ඒ මගින් ඔහුගේ අයිතීන් තුරන් කල හැක.

නිමක් නැති මාධ්‍ය වාර්තා විසින් නොසලකා හරින්නේ සිවිල් වැසියන් මිලියන ගනනාවක් ද සොල්දාදුවන් දහස් ගනනාවක් ද මරා දැමූ යුද්ධ තුල අධිරාජ්‍යවාදීන් කල අපරාධ අසාන්ජ් විසින් හෙලිදරව් කර ඇති බව යි. ආන්ඩුව හා සංගත මාධ්‍ය රහසේ තබා ගැනීමට කුමන්ත්‍රනය කල බියකරු අපරාධ පිලිබඳව ඔහු එලිය විහිදුවා ඇත.

ප්‍රවෘත්ති දොඩවන්නන් හිංසාවට ලක් කෙරෙන මේ මාධ්‍ය වේදියාට කරන මඩ ගැසීම හා මධ්‍යම රාත්‍රී රුපවාහිනී වැඩසටහන් ඔහු අධම හා අසභ්‍ය කතාන්තරවලට පටලවන්නට දරන උත්සාහය නරඹන ඕනෑම කෙනෙකුට, මුන් හැම එකෙකුගේම ගඳගහන වාචාල කටවල් වලට සබන් වක්කිරීමට සිතෙනු ඇත.

එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය හා ඉක්වදෝරියානු ආන්ඩුව අසාන්ජ්ගේ උදර්පනය උචිත බව කියන්නේ, චෙල්සී මෑනිංට [එක්සත් ජනපදය ආරක්ෂක දත්ත ජාල වලට ඇතුලුවීමට] ආරක්ෂක මුරපදයක් මග හැර යාමට ඔහු උදව් කිරීම් කලේය යන තනි චෝදනාව මත පමනක් ඇමරිකාව නඩු පවරන බව අඟවන නිසා ය. නමුත් අසාන්ජ් අත්අඩංගුවට ගැනීමෙන් පසු, සංගත මාධ්‍ය හා දේශපාලකයින් මේ නිල පැහදිලි කිරීමට ප්‍රතිවිරුද්ධ දේ පවසන්නේ, ඇමරිකාවට අසාන්ජ් තමන් භාරයට ගැනීමේ සැබෑ හේතුවෙන් ලිස්සා යෑමට ඉඩ හරිමිනි.

වොෂින්ටන් පෝස්ට් කර්තෘ මන්ඩලය මෙසේ සදහන් කලේ ය: “අසාන්ජ් මහතා එක්සත් ජනපද අත්අඩංගුවට මාරු කිරීමෙන් පසු, ඔහුට විරුද්ධව ගෙන එනු ලැබිය හැකි රුසියාව සම්බන්ද චෝදනා හෝ ඔහු සාක්කිකරුවෙකු බවට හැරීම, බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට යටින් වල කැපීමේ රුසියානු ඔත්තුසේවා වල උත්සාහයන් ගැන ගැඹුරින් හැදෑරීමේ යතුරක් වනු ඇත. නිශ්චිතව ම ඔහුගේ පෞද්ගලික වගවීම අවශ්‍ය කෙරුනේ දීර්ග කාලයකට පෙර සිටය.”

නිව් යෝක් ටයිම්ස් මෙසේ පැවසී ය, “එක්සත් ජනපදයට ඔහු ගෙන ආ පසු, රුසියාව තම ප්‍රධාන ප්‍රහාරයේ එල්ලයවූ ‘ක්ලින්ටන් උද්ඝෝෂනය’ මෙහෙය වූයේ කෙසේදැ යි යන්න දැන ගැනීමට ඔහු ප්‍රයෝජනවත් මූලාශ්‍රයක් වනු ඇත. ”

බ්‍රිතාන්‍ය පොලීසිය අසාන්ජ් ඉක්වදෝරියානු තානාපති කාර්යාලයෙන් ඇද ගෙන ගිය පසු, ඩෙමොක්‍රටික සෙනේට් සුලුතර නායක චාල්ස් ස්ෂූමර් මෙසේ ට්වීට කලේ ය, “දැන් ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට ගෙන ඇත, පුටින් හා රුසියානු ආන්ඩුව වෙනුවෙන් අපගේ මැතිවරනය තුල ඔහුගේ ඇඟිලි ගැසීම් සඳහා අසාන්ජ්ට වගකීමට සිදුවනු ඇත යි මම බලාපොරොත්තු වෙමි.” කොංග්‍රස් මන්ඩල විදේශ කටයුතු කමිටුවේ සභාපති එලියට් එන්ගල් ට්වීටර් කලේ, අසාන්ජ් “පුන පුනා එක්සත් ජනපදය හා එහි මිතුරන්ගේ ජාතික ආරක්ෂාව අනතුරේ දැමුවේ ආන්ඩුවේ රහස්‍ය ලේඛන හා 2016 මැතිවරනයට සම්බන්ධ විශ්වාසදායක තොරතුරු ප්‍රසිද්ධියේ බෙදා හරිමින්” බව පවසමිනි.

මෙම ප්‍රකාශ පෙන්වන්නේ ව්‍යාජ රැවටිල්ලක් යටතේ උදර්පන පටිපාටිය හැසිර වෙමින් තිබෙන බව යි. රාජ්‍යයෙන් කෙරෙන තනි චෝදනාව ආවරනයකි. අසාන්ජ්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට, ඔහුට සාක්ෂි දීමට බල කිරීම හා එක්සත් ජනපද අපරාධ අනාවරනය කිරීමට එරෙහිව තවදුරටත් නඩු පැවරීමට ආන්ඩුව සැලැසුම් කරමින් සිටී. ඩෙමොක්‍රටික් සෙනෙට් සභික ජෝ මන්චින්ගේ වචනවලින්, අසාන්ජ් “අපට අයත් දේපලක්, අපට ඔහුගෙන් තොරතුරු හා සත්‍ය ලබා ගත හැක.”

ආන්ඩුවට මොන යම් හෝ සාක්ෂියක් දීමට අසාන්ජ් බැඳී නැත්තේ, තමන්ට එරෙහිව යොදාගතහැකි හැකි ආකාරයේ ප්‍රකාශ නොදීමට ඔහුට[ඇමරිකානු ව්‍යවස්ථාවේ] පස්වැනි සංශෝධනය යටතේ අයිතියක් ඇති බැවිනි. මාධ්‍ය හා දේශපාලඥයින්ගේ ප්‍රකාශ ප්‍රශ්නය මෙලෙස මතු කරයි: ඔහුගෙන් “කරුනු ලබා ගැනීමට” ආන්ඩුව සැලැසුම් කරන්නේ කෙසේ ද? අබු ග්‍රයිබ් හා බග්‍රම් යුද හමුදා කඳවුර තුල භාවිතා කෙරෙන, කුමන දරනු ක්‍රමවේද, ඔහුට එරෙහිව යොදනු ලබන්නේ ද?

අසාන්ජ් අත්අඩංගුවට ගැනීමේ තැන සිට සිදුවීම් පෙන්වන්නේ, ඕනෑ ම නීතිමය ක්‍රියාදාමයක දී ඔහු ලැබෙනු ඇති සැලකිල්ලේ ආකාරය යි.

ඉක්වදෝරියානු ආන්ඩුව හා අධිරාජ්‍යවාදීන්ගේ දාසයකු වන ලෙනින් මොරේනෝගේ ආරාධනය පරිදි බ්‍රිතාන්‍ය ආන්ඩුව, ලන්ඩනයේ ඉක්වදෝරියානු තානාපති කාර්යලයෙන් ඔහු ඇද ගෙන යෑමෙන් රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තිය එලිපිට ම උල්ලංඝනය කෙරුනි. මෙය හෙලිදරව් කරන්නේ පසු ගිය වසරේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සෞදි තානාපති කාර්යාලයේ දී වොෂින්ටන් පෝස්ට් මාධ්‍යවේදී ජමාල් ඛෂෝගී ඝාතනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද හා බ්‍රිතාන්‍ය ආන්ඩු කල ප්‍රකාශ මුලුමනින් ම කුහක බව යි.

බ්‍රහස්පතින්දා, අසාන්ජ්ගේ ඇප ඉල්ලීම විමසූ බ්‍රිතාන්‍ය දිස්ත්‍රික් විනිශ්චයකාර, අසාන්ජ්ගේ නීතිඥයින් සාධාරන නඩු ඇසීමක් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහුට අවමන් කර සිනාසුනේ ය. “ඔහුට සාධාරන ඇසීමක් නොලැබුනු බවට ඔහු කරන ප්‍රකාශය සිනාවට කරුනකැ”යි විනිසුරු මයිකල් ස්නෝ පැවසීය. “එමෙන්ම ඔහුගේ හැසිරීම තමන්ගේම ආත්මාර්තකාමී වුවමනාවන්ගෙන් එහාට යාමට නොහැකි ආත්මරාගී එකකි.” අසාන්ජ් ත්‍රස්තවාදීන් හා අනෙකුත් බොහෝ අවදානම් රැඳවියන් සඳහා වන ඉහල ම ආරක්ෂක හිරගෙයක් වන බෙල්මාර්ස් වෙත යවා ඇත, මෙහි සිරකරුවන්ගෙන් අඩකට පමන තමන්ගේ හිරකුටියෙන් පිටතට යාමට ඉඩ දෙන්නේ සතියකට යන්තම් පැය දෙකක් පමනි.

සමස්ත දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය මේ වන විටත් ඔහුගේ වරදකාරීත්වය නිවේදනය කර ඇති, එක්සත් ජනපදය තුල අසාන්ජ්ට සාධාරන නඩු විභාගයක අයිතිය ප්‍රතික්ෂේප කරනු ඇති බවට විවාදයක් නොමැ. මොන “නඩු විභාගයක්” පැවතුනත්, තම සේවාදායකයාට එරෙහි සාක්ෂි විමර්ශනය කිරීමේ අයිතිය අසාන්ජ්ගේ නීතිඥයින්ට, “ජාතික ආරක්ෂක” අරමුනු සඳහා ”ප්‍රවේශය තහනම්” කර ඇති පදනම මත නිරතුරුව ප්‍රතික්ෂේප කෙරෙනු ඇත.

අසාන්ජ්ට එරෙහි කුමන්ත්‍රනය තහවුරු කරන්නේ පාලක පන්තිය තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනීසිටින කිසියම් හෝ කන්ඩාමක් නැති බව යි.

18වැනි සියවසේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ නායකයින්ට, මේ “අත්‍යසාමාන්‍ය ලෙස බලහත්කාරයෙන් බාර කිරීම” මතක් කර දෙන්නේ, දෙවැනි චාල්ස් හා 14වැනි ලුවීගේ රජවරුන් පවත්වාගෙන ගිය දේශපාලන හිරකරුවන්ගෙන් ඉතිරී ගිය තදබද අඳුරු සිරගෙවල්ය. ප්‍රන්සය හා එක්සත් ජනපදය තුල ධනේශ්වර විප්ලවය, දේශපාලන ප්‍රතිගාමීත්වයේ වෛරී ක්‍රමවේද ලෙස අත්තනෝමතික රැඳවීම හා වධහිංසා යොදා ගැනීම තහනම් කලේ, නිසි නීතිමය ක්‍රියාදාමය, අධිකරනයට ඉදිරිපත් කිරීම ඉල්ලා සිටීමේ අයිතිය (හේබියස් කෝප්ස්), කෲර හා අනියම් දඬුවමවලින් නිදහස් වීමේ අයිතිය ආදිය සහතික කරමිනි. අද ජාත්‍යන්ර නීතියට අනුව, න්‍යුරෙම්බර්ග් මූලධර්ම යටතේ, “අත්‍යසාමාන්‍ය ලෙස බලහත්කාරයෙන් බාර කිරීම” මානවර්ගයාට එරෙහි අපරාධයකි.

දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයෙන් කිසිදු විරුද්ධත්වයක් නොමැතිව පාලක පන්තියට අසාන්ජ්ට එරෙහි මෙම මෙහෙයුම හැසිර විය හැකි නම්, වෙනත් ඕනෑ ම අපරාධයක්ද එලෙස සිදුකල හැක. මේ අතර, ජෙරමි කෝබින් වැනි “වාම” නායකයින් මේ බොරුව සමග පෙල ගැසෙන්නේ, මොනයම් හෝ වගකීමකින් තමන් අත සෝදා ගනිමිනි.

බ්‍රිතාන්‍ය ආන්ඩුව සම්බන්ධයෙන් ගත් විට, අසාන්ජ් පිලිබඳ ඔවුන්ගේ කුරිරු මෙහෙයුම, සමූහ ඝාතන වලට එරෙහිව චිලියේ හිටපු ඒකාධිපති පිනෝෂේට ස්පාඤ්ඤයෙදී නඩු දැමීමට ස්පාඤ්ඤ විනිශ්චයකාරවරයෙකු වූ බල්තසර් ගර්සෝන් උත්සාහ කිරීමේදී ඔවුන් (බ්‍රිතාන්‍ය ආන්ඩුව) දැක්වූ ප්‍රතිචාරයට හාත්පසින් ම වෙනස් ය. 2000දී, ටෝනි බ්ලෙයාර්ගේ කම්කරු පක්ෂ ආන්ඩුව පිනෝෂේ පිටුවහල් කිරීම ප්‍රතික්ෂේප කල අතර, සරේ ප්‍රාන්තයේ ඔහුගේ මන්දිරයේ නිවාස අඩස්සියෙන්ද ඔහු නිදහස් කිරීමට නියෝග කලේ ය.

“ඔහුට එරෙහිව කෙරී ඇති චෝදනා අනුව, සෙනෙට් සභික පිනෝෂේගේ තත්වයේ චූදිතයෙකු, කිසිදු රටක දී සාධාරන නඩුවක් ලැබිය නොහැකි අතර එම නිසා මානව අයිතීන් පිලිබඳ යුරෝපීය ප්‍රඥප්තියේ හයවැනි වගන්තිය උල්ලංඝනය වනු ඇත” යි ඒ කාලයේදී බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලය සඳහන් කලේ ය.

1973 සැප්තැම්බර් 11වැනිදා කුමන්ත්‍රනයේ දී බලය ගැනීමෙන් පසු, පිනෝෂේ කම්කරුවන් හා සමාජවාදීන් දහස් ගනනක් මරා දැමූ අතර, ජූලියන්ජ් අසාන්ජ් කලේ එක්සත් ජනපද යුද අපරාධ ප්‍රසිද්ධ කිරීම යි. ජාත්‍යන්තර පාලක පන්තිය විසින් ඔහුට වෛර කරනු ලබන්නේ ඔහු අධිරාජ්‍යවාදී උත්සුකයක්ට සැලකිය යුතු හානියක් කර ඇති බැවිනි.

ඉක්වදෝරියානු තානාපති කාර්යාලයේ සරන පැතීමට අසාන්ජ්ට බලකෙරුනු දා සිට සත් වසර අත්දැක ඇත්තේ ජාත්‍යන්ර පරිමානව පන්ති අරගලයේ යලි මතුවීමකි. මෙම බලගතු සමාජ බලවේගය, එනම් කම්කරු පන්තිය, බලමුලු ගැන්විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරිමට හා චෙල්සී මෑනිං, එඞ්වර්ඞ් ස්නෝඩන් හා ජූලියන් අසාන්ජ් වැනි පන්ති යුද සිරකරුවන් නිදහස් කර ගැනීමට යි.

එරික් ලන්ඩන්

Share this article: